පැවිද්දන් ගේ ධනය

star_outline

ධනය වනාහි ආර්ය ධනය, අනාර්ය ධනය කියා දෙවැදෑරුම් වේ. රන් රිදී මුතු මැණික් වස්ත්‍රාභරණ ගෙවල් වතු කුඹුරු ආදිය අනාර්ය ධන නම් වේ.

බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ගරු කරනු ලබන ශ්‍ර‍ද්ධාශීලාදි ගුණ ධර්මයෝ ආර්‍ය්‍ය ධන නම් වෙති. කිනම් ශීලයක් වුවද දිනක් දෙකක් රැකීම දුෂ්කර නො වේ. එය කාහට වුවද පහසුවෙන් කළ හැකිය. දුෂ්කර වන්නේ එක සිකපදයක් වුවද බොහෝ කල් රැකීම ය. එබැවින් එක සිකපදයකුදු නො බිඳ සතියක් පන්සිල් රැක ඇති අය ද මහජනයා අතර සුලභ නැත. පහසුවෙන් කළ හැකියක් වන බැවින් මඳ කලක් රක්නා ශීලයෙහි එතරම් වටිනා කමක් උසස් කමක් නැත. වටිනාකම ඇත්තේ ශීලය පරණ වූ පමණට ය. සතියක් රැකි ශීලයට වඩා මසක් රැකි ශීලය උසස් ය. මසක් රැකි ශීලයට වඩා වර්ෂයක් රැකි ශීලය උසස් ය. මෙසේ ශීලයේ උසස් වීම සැලකිය හැකිය. පැවිද්දා දිවි හිමියෙන් සිල් රකින්නෙකි. එබැවින් පැවිද්දා ගේ ශීලය ඉතා උසස් ය. එහි වටිනාකම පමණ කළ නො හැකිය. ඒ ශීලස්කන්ධය පැවිද්දාගේ ධනස්කන්ධය ය. ශීල සංඛ්‍යාත ගුණස්කන්ධයක් ඇති බැවින් ශතයකුදු නැති පැවිද්දා ද ධනවතෙකි. මේ ශීලස්කන්ධය හැර ශ්‍ර‍ද්ධා ශ්‍රැත ත්‍යාග මෛත්‍රී කරුණාදි තවත් බොහෝ ගුණ පැවිද්දකුට ඇත්තේ ය. ඒවා පැවිද්දාගේ ධනය ය. සිල්වත් පැවිද්දකු ගේ තබා දුසිල් පැවිද්දකු ගේ ගුණ දශයක් ඇති බව මිළින්දපඤ්හයේ මෙසේ දක්වා තිබේ.

“ඉධ මහාරාජ, සමණ දුස්සීලෝ බුද්ධෙ සගාරාවෝ හෝති, ධම්මේ සගාරාවෝ හෝති, සංඝෙ සගාරාවෝ හෝති, සබ්‍ර‍හ්මචාරීසු සගාරාවෝ හෝති, උද්දේස පරිපුච්ඡාය වායමති සවණබහුලෝ හෝති, භින්නසීලෝපි මහාරාජ, දුස්සීලෝ පරිසගතෝ ආකප්පං උපට්ඨපේති, ගරහ භයා කායිකං වාචසිකං රක්ඛති, පධානාභිමුඛමස්ස හෝති චිත්තං, භික්ඛුසාමඤ්ඤං උපගතෝ හෝති. කරෝන්තෝපි මහාරාජ, සමණ දුස්සීලෝ පාපං පටිච්ඡන්න ආචරති. යථා මහාරාජ, ඉත්ථි සපතිකා නිලීයිත්වා රහස්සේනේව පාපමාචරති, එවමෙව ඛෝ මහාරාජ, කරොන්තෝපි සමණදුස්සීලෝ පාපං පටිච්ඡන්නං ආචරති, ඉමේ ඛෝ මහාරාජ, දසගුණා සමණදුස්සීලස්ස ගිහීදුස්සීලතෝ විසේසේන අතිරේකා.”

“මහරජ, මේ සස්නෙහි ශ්‍ර‍මණ දුශ්ශීල තෙමේ බුදුන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ වේ, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ වේ. එක් ව මහණදම් පුරන ආචාර්යෝපාධ්‍යායාදීන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, පෙළ හා අටුවා උගෙනීමට උත්සාහ කරන්නේ වේ, බොහෝ කොට බණ අසන්නේ වේ. මහරජ, බිඳුණු සිල් ඇත්තා වූ ද දුශ්ශීල තෙමේ පිරිස් මැදට ගියේ ශ්‍ර‍මණාකල්පය පවත්වන්නේ වේ. ගර්හාවට බිය ව කය වචන රක්‍ෂා කෙරේ. ඔහුගේ සිත ප්‍ර‍ධානයට අභිමුඛ ව පවතී. භික්ෂු සංඛ්‍යාවට පැමිණ සිටින්නේ වේ. මහරජ, ශ්‍ර‍මණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, යම් සේ සැමියකු ඇති ස්ත්‍රිය සැඟවී රහසින් ම පාප ක්‍රියාවෙහි යෙදේ ද, මහරජ, එපරිද්දෙන් ශ්‍ර‍මණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, ගිහි දුශ්ශීලයාට වඩා විශේෂයෙන් මේ ගුණ දශය අතිරේක වශයෙන් ශ්‍ර‍මණ දුශ්ශීලයා හට ඇත්තේ ය” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.

ශ්‍ර‍මණ දුශ්ශීලයාගේ පවා මෙතෙක් ගුණ ඇති කල්හි සිල්වත් පැවිද්දකුගේ ගුණ ගැන කවර කථා ද? මහත් වූ ගුණස්කන්ධයක් ඇති බැවින් පැවිද්දාගේ තත්ත්වය ගිහියන්ගේ තත්ත්වයට වඩා බොහෝ උසස් ය. පැවිදි ජීවිතය ඉතා සාරවත් ය. ඇතැම් පැවිද්දන් පැවිදි බැව්හි කිසි ආස්වාදයක් නො ලබා ගිහියන්ගේ තතු උසස් කොට සලකමින් ඔවුන් ගේ සම්පත් බල බලා ඒවා කෙළ ගිලිමින් සිට කලකදී සිවුරු හැර යන්නේ පැවිද්දෙහි ගුණ පැවිද්දෙහි උසස් බව නොදැනීම හෝ මෙනෙහි නොකිරීම නිසා ය. සතුටක් ඇති ව මහණදම් පිරිය හැකි වීමට සියලු පැවිද්දන් විසින් තම තමන්ගේ ශීලාදි ගුණ විටින් විට සිහි කොට පැවිදි බව පිළිබඳ සතුට ඇති කරගත යුතු ය.

“අන්‍යයන් බැඳී සිටින කාමබන්ධනයන් සිඳ දමා අන්‍යයන් එරී සිටින කාම නමැති මඩ ගොහොරුවෙන් නැඟී, ගිහිගෙය හැර, පැවිදි ව, මම අද බුද්ධාදි මහෝත්තමයන් ගිය මඟ වූ නිවන් මඟට පා තබා සිටිමිය, බොහෝ දෙනෙකුන් පව්කම්හි ඇලී වාසය කරන්නා වූ මේ ලෝකයෙහි මම සාමණේර ශීලය (උපසම්පදා සීලය) රකිමිය. බොහෝ දෙනකුන් නොයෙකුත් පව් කම්වලට ලාමට වැඩවලට යොදන්නා වූ මේ නිසරු කයින් මම චෛත්‍යයෙහි වත්, බෝධියෙහි වත් විහාරයෙහි වත්, ආචාර්‍ය්‍ය වත් සංඝාරාමයෙහි වත් කරමිය, රත්නත්‍ර‍යට වැඳුම් පිදුම් කරමිය, බොහෝ දෙනකුන් බොරු කීමට, පරුෂ වචන කීමට, කේලාම් කීමට, සම්ඵප්‍ර‍ලාප කීමට යොදන්නා වූ මේ කටින් මම බණ කියමිය, පිරිත් කියමිය, සිල් සමාදන් වෙමිය, සිල් සමාදන් කරමිය යනාදීන් තමා කරන යහපත් වැඩ නිතර සිහි කළ යුතුය. ශීලය මෙනෙහි කිරීමේ දී ප්‍රාණඝාතනය කරන අනුන්ට දුක් දෙන බොහෝ ජනයන් ඇති මේ ලෝකයෙහි මම මදුරුවකු මැස්සකු පවා නො මරා කාහටවත් පීඩාවක් නොකරමින් සැම සතුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් වෙසෙමිය” යනාදීන් සිකපද වෙන වෙනම සිහි කොට ප්‍රීතිය ඇති කර ගැනීම වඩාත් යහපත් බව කිව යුතු ය.