පැවිද්දකුගෙන් ලොවට සිදුවන යහපත

ලෝකයාට මෙලොව පරලොව දෙක්හි ම යහපත් සිදු කර ගැනීමේ මාර්ගය දක්වන්නා වූ එය අනුව පිළිපදින්නා වූ තැනැත්තන් හට සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තීන් ලබා දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තා වූ අත්‍යුත්තම ධර්මය (බුද්ධාගම) අතුරුදහන් වන්නට නොදී පවත්වන්නෝ පැවිද්දෝ ය. පැවිද්දන් නැති නම් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ලෝකයෙන් අතුරුදහන් වී බොහෝ කල් ය. ධර්මය නැති වන්නට නොදී පැවැත්වීම පැවිද්දන්ගෙන් ලොවට සිදුවන ඉතාම උසස් සේවය ය. පැවිද්දන් ඇසුරු කොට ඔවුන්ගෙන් බණ අසා රත්නත්‍ර‍ය සරණ යෑමෙන් පඤ්ච සීලයෙහි පිහිටීමෙන් දන් දීම් ආදි පින් කිරීමෙන් පෙහෙවස් විසීමෙන් මෛත්‍රී කරුණාදි ගුණ ඇති කර ගැනීමෙන් දහම් උගෙන සම්මෝහය දුරු කර ගැනීමෙන්, භාවනාවෙහි යෙදීමනේ බොහෝ ජනයෝ තම තමන්ගේ දෙලෝ වැඩ සිදුකර ගන්නාහ. ඇතැමෙක් සෝවාන් ආදි ලෝකෝත්තර මාර්ග ඵලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතැමෙක් පැවිද්දන් ඇසුරු කිරීමෙන් බුදුසස්න හැඳින තුමූ ද සසුනෙහි පිළිවෙත් පුරා නිවන් දක්නාහ. බොහෝ දෙනා පැවිද්දන් ඇසුරු කොට ඔවුන්ගේ උපදෙස් අනුව සුරාපානාදි පරිහානි කර දේ හැර දැහැමින් දිවි පවත්වා මෙලොව දියුණුව ලබන්නාහ. තවත් සමහරු පැවිද්දන් ගෙන් සිප්සතර උගෙන දියුණු වන්නාහ.

සිල්වත් ගුණවත් පැවිද්දකු වශයෙන් බුදුසස්නෙහි ජීවත් වීමෙන් තමාටත් බුදුසස්නටත් ලෝකයාටත් මහත් යහපතක් සිදුවන බව සලකා පැවිද්දට පැමිණෙන්නා වූ ද පැමිණ ඉන්නා වූ ද සැම දෙනා විසින් සිල්වත් ගුණවත් පැවිද්දන් සැටියට ජීවත් වීමට උත්සාහ කළ යුතුය.