සාමණේර දශ ශීලය

star_outline

දශශීලය, දශපරිජි හෙවත් දශනාශනාංගයෝ ය, දශදඬුවම්වත්ය, සේඛියා වත් පන්සැත්තෑවය, නියමිත වත්ය යන මේවා සාමණේර ශීලයට අයත් ය. “සුක්ක විස්සට්ඨි ආදි ලෝකවජ්ජ සික්ඛාපදේසු ච සාමණේරේහි වත්තිතබ්බං” යනුවෙන් දැක්වෙන පරිදි සුක්කවිස්සට්ඨි සංඝාදිසේසාදි භික්ෂූන්ට පනවා ඇති ලෝකවද්‍ය ශික්ෂා පද ද සාමණේරයන් විසින් ද රැකිය යුතු ය. සාමණේරයනට ඇවැත් නැති බැවින් ඒවා ඉක්මවන සාමණේරයෝ දඬුවම් ලැබීමට සුදුස්සෝ වන්නාහ.

“අනුජානාමි භික්ඛවෙ, සාමණේරානං දසසික්ඛා පදානි, තේසු ච සාමණේරේහි සික්ඛිතුං.

පාණාතිපාතා වේරමණී

අදින්නාදානා වේරමණී

අබ්‍ර‍හ්මචරියා වේරමණී

මුසාවාදා වේරමණී

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී

විකාලභෝජනා වේරමණී

නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී

මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී

උච්චාසයන මහාසයනා වේරමණී

ජාත රූප රජත පටිග්ගහණා වේරමණී

අනුජානාමි භික්ඛවෙ, සාමණේරානං ඉමානි දස සික්ඛාපදනි, ඉමෙසු ච සාමණේරෙහි වත්තිතුං”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් සාමණේරයනට අනුදැන වදාරන ලද සිකපද දශය සාමණේර දශ ශීලය ය. දස සිකපදයන් ගේ විස්තර මතු දැක්වෙන පරිදි දත යුතු ය.

1. පාණාතිපාතා වේරමණී:

තමන් විසින් ම උපක්‍ර‍ම කිරීමෙන් හෝ අනුන් ලවා උපක්‍ර‍ම කරවීමෙන් හෝ සතුන් මැරීමෙන් වැළකීම “පාණාතිපාතා වේරමණී” නම් වේ.

සත්ත්වයකු වීම ය, සත්ත්වයකු යන හැඟීම ඇති බව ය. මරණ චේතනාවක් ඇති වීම ය, මරන්නට උපක්‍ර‍මයක් කිරීම ය, ඒ උපක්‍ර‍මයෙන් සත්ත්වයා මරණයට පත්වීම ය යන පඤ්චාංගය සම්පූර්ණ වන ප්‍රාණඝාතයෙන් මේ සිකපදය බිඳේ.

සතකු නො වන වස්තුවකට සතෙකැයි සිතා “මූ මරමිය”යි පහර දුන්නේ ද එහි සතකු නො වූ බැවින් ශීලභේදය නො වේ.

යම් කිසි ද්‍ර‍ව්‍යකැයි සිතා පාගා දැමීමෙකින් හෝ යට කිරීමෙකින් හෝ සතෙක් මළේ ද සතෙක් ය යන හැඟීම හා මරන අදහස ද නැති බැවින් සිකපදය නොබිඳේ.

පොළොව කෙටීම් ආදි අනෙකක් ගැන කරන දෙයකින් සතෙක් මළේ ද වධක චිත්තයක් නො මැති බැවින් සිකපදය නො බිඳේ.

බිය ගන්වා පලවා හැරීමේ අදහසින් ගැසූ පහරෙකින් සතෙක් මිය ගියේ ද වධක චිත්තයක් නැති බැවින් සිකපදය නො බිඳේ.

මරන්නට ම සිතා කළ උපක්‍ර‍මයෙන් සතා නො මැරුණේ නම් සිකපදය නො බිඳේ. මරන්නට සිතා ගැසූ පහරින් අවුරුදු ගණනක් ගත වී වුව ද සත්ත්වයා මැරෙන්නේ නම් පහර ගැසුවහු ගේ සිකපදය එ කෙණෙහි ම බිඳේ.

දඬු මුගුරුවලින් ආයුධවලින් පහර දීම හැර ප්‍රාණඝාතය කිරීමේ තවත් බොහෝ උපක්‍ර‍ම ඇත්තේ ය. වළවල් සාරා තැබීම, උගුල් අටවා තැබීම, වස දීම, සූනියම් කිරීම, වස්කවි කීම, බිය ගැන්වීම, ඔවුනොවුන් කෝලාහල කරවීම, මෝඩයන් උසිගැන්වීම, දිවි නසා ගැනීමේ ගුණ වර්ණනා කිරීම, ගැබ් හෙළීමට බෙහෙත් සැපයීම, දිවි නසා ගැනීමට සිතන අයට අසුවන සැටියට වස සපයා තැබීම, ආයුධ සපයා තැබීම යනාදිය ද මැරීමේ උපක්‍ර‍යෝ ය. කිනම් උපක්‍ර‍මයෙකින් වුව ද සත්ත්වයකු මැරීමෙන් මේ සිකපදය බිඳෙන්නේ ය.

2. අදින්නාදානා වේරමණී:

හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් අන්සතු වස්තුව සොර සිතින් ගැනීමෙන් ගැන්වීමෙන් වැළකීම “අදින්නාදානා වේරමණී” නම් වේ.

අදින්නාදානය සම්පූර්ණ වීමට අංග පසෙක් ඇත්තේ ය. එනම් අන් සතු වස්තුවක් වීමය, අන් සතු වස්තුවක් ය යන හැඟීම ය, සොර සිත ය, ගැනීමේ උපක්‍ර‍මය ය, ඒ උපක්‍ර‍මයෙන් ගැනීම ය යන මේ පස අදින්නාදානයේ අංගයෝ ය.

හිමියා විසින් හැර දමන ලද වස්තුවක් සොර සිතින් ගත ද වස්තුවට හිමියකු නැති බැවින් සිකපදය නො බිඳේ.

අන් සතු වස්තුවක් තමාගේ යයි සිතා හෝ හිමියකු නැති වස්තුවෙකැයි සිතා හෝ ගැනීමෙන් සික පදය නො බිඳේ.

අන් සතු වස්තුවක් අන් සතු බව දැන ම ආපසු දීමේ අදහසින් හෝ මෙය ගැනීමට විරුද්ධ නො වන්නේ ය යන විශ්වාසයෙන් හෝ ගැනීමෙන් සික පදය නො බිඳේ.

යම් වස්තුවක් සොර සිතින් ගත හොත් එකෙණෙහිම සික පදය බිඳේ. ගත් වස්තුව ආපසු දීමෙන් නො රැකේ. සොරෙන් ගන්නා අදහසින් අන් සතු වස්තුව තුබූ තැනින් එසවුව හොත් සිකපදය බිඳේ. නැවත එහි තබා ගිය ද සිකපදය නො රැකේ.

අදත්තාදානය සිදු වන ක්‍ර‍ම බොහෝ ඇත්තේ ය. විනය පොත්වල අදත්තාදනය සිදු විය හැකි ක්‍ර‍ම පස් විස්සක් දක්වා තිබේ. අදත්තාදාන සික පදය ඉතා සියුම් සිකපදයෙකි. එය ගැන මනා දැනුමක් නැති කමින් “සොරකම් නො වෙති” යි සිතා සොරකම් කොට ශීලය බිඳ ගනිති. අන්සතු වස්තුව ගැන පැවිද්දන් විසින් විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. පස් විසිඅවහාරය දත යුතුය. එය අප විසින් සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත” නමැති ග්‍ර‍න්ථයෙන් පහසුවෙන් දත හැකිය.

මේ සිකපදය බිඳෙන්නේ වස්තු හිමියාට නොදැනෙන පරිදි යමක් ගැනීමෙන් පමණක් නො වේ. කූට උපක්‍ර‍මවලින් වස්තුහිමියා කැමති කරවා ඔහු අතින් ම ගැනීමෙන් ද සිකපදය බිඳේ. බිය ගන්වා ගැනීම, නො දෙන අදහසින් ණයට කියා ගැනීම, කිරීම් මැණීම් වලින් වැඩි කොට ගැනීම, අඩු කොට කිරා මැන දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් කොට අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම, පළුදු වූ නරක් වූ බඩු හොඳ බඩු ලෙස දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික් නොවන දේ රන් රිදී මුතු මැණික් ලෙස දී මුදල් ගැනීම, බොරු බෙහෙත් දී මුදල් ගැනීම, බොරු යන්ත්‍ර‍ මන්ත්‍ර‍ වලින් රවටා මුදල් ගැනීම, දැන දැන ම හොර නෝට්ටු හොර කාසි දී බඩු ගැනීම යන මේවායින් ද සික පදය බිඳෙන බව දත යුතු ය.

ඇතැම්හු තමන් ගේ දෙයක් ගත්තාය කියා හෝ තමන්ට අලාභයක් කළාය කියා හෝ තමන්ට කපටි කමක් කළාය කියා හෝ පළිගැනීමට අනුන් ගේ දේවල් ගන්නට තැත් කරති. තමන්ට අලාභයක් කළ නිසාය කියා අන් සතු දේවල් ගැනීමට නිදහසක් නැත. කිනම් කරුණක් නිසා වුව ද හිමියා නුදුන් දෙයක් ගත හොත් සික පදය කැඩෙන බව සැලකිය යුතු ය.

වරක් පාවිච්චි කළ තැපැල් මුද්දර, දුම්රිය ටිකැට් පත් නැවත පාවිච්චි කිරීම, පහළ පංක්තියෙක ටිකැට් වලින් ඉහළ පංක්තියෙක ගමන් කිරීම, අවසර පත් නොගෙන දුම්රියවල ගමන් කිරීම, අයබදු නොගෙවා ගුවන් විදුලි යන්ත්‍ර‍ පාවිච්චි කිරීම, රථවාහන පාවිච්චි කිරීම යන මේවායින් ද පැවිද්දන් පරිස්සම් විය යුතු ය.

3. අබ්‍ර‍හ්මචරියා වේරමණී

ගිහියන්ගේ ස්වභාවයක් වූ මෛථුන සේවනයෙන් වැළකීම “අබ්‍ර‍හ්මචරියා වේරමණී” නම් වේ. යෝනි මාර්ග - ගුද මාර්ග - මුඛ මාර්ග යන මාර්ගත්‍රයෙන් එකක මෛථුන සේවන චිත්තයෙන් තමාගේ අංගජාතය තල ඇටයක් පමණ දුරට වුව ද ප්‍රවේශ කිරීමෙන් මේ සිකපදය බිඳේ. සේවන චිත්තය ය, මාර්ගයෙක්හි ස්වීය මාර්ගය ප්‍රවේශ කිරීම ය කියා මෙහි අංග දෙකකි. අනුන් විසින් බලහත්කාරයෙන් ප්‍රවේශ කිරීමේදී නො ඉවසුව හොත් සික පදය නො බිඳේ. ඉවසුව හොත් බිඳේ. අයථා මෛථුනයෙන් සිකපදය නො බිඳේ. එයින් සාමණේරයා දඬුවම් ලැබිය යුත්තෙක් වේ.

4. මුසාවාදා වේරමණී.

බොරු කීමෙන් වැළකීම “මුසාවාදා වේරමණී” නම් වේ. කියන කාරණය අසත්‍යයක් වීම ය. අනුන් රවටන අදහස ය, කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත් පා ආදියෙන් සංඥා කිරීමෙන් හෝ බොරුව අනුන්ට ඇඟවීම ය. අන්‍යයන් එය තේරුම් ගැනීම ය යන අංග සතරින් යුක්ත මුසාවාදයෙන් මේ සික පදය බිඳේ. හොඳට නො ඇසීමෙන් හෝ බස නොදැනීමෙන් හෝ අසන්නා කියන දෙය තේරුම් නොගත හොත් සික පදය නොබිඳේ. සිංහල බස නො දන්නකුට සිංහලෙන් කොතෙක් බොරු කීව ද ඔහුට නො තේරෙන බැවින් සික පදය නො බිඳේ. බොරු කීමේ චේතනාවෙන් තොරව කියන අසත්‍යයෙන් ද සිකපදය නො බිඳේ. කවට කමට වුවද බොරුවක් කියුව හොත් සිකපදය බිඳී සාමණේරයා පරිජි වේ. බොහෝ සෙයින් සාමණේරයන් පරිජි වන්නේ මේ සික පදය කඩා ගැනීමෙනි. සමහරුනට බොරු කීමේ පුරුද්ද පිහිටා තිබේ. ඔවුහු විනෝදය පිණිස ද බොරු කියති. කිසි ම ප්‍රයෝජනයක් නැතිව ද බොරු කියති. බොරු කීමෙන් ලබන විනෝදය ආස්වාදය නින්දිත ය. බොරු කීමේ පුරුද්ද නො හළ සාමණේරයනට සෑම කල්හි ම වාසය කරන්නට සිදු වන්නේ දුශ්ශීලව ය. එය ඉතා භයානක ය. සත්‍යවාදීත්වය ශ්‍ර‍මණයකු තුළ පිහිටිය යුතු උසස් ගුණයෙකි. ඒ ගුණය ඇති කැර ගැනීමට ශ්‍ර‍මණයන් විසින් විශේෂයෙන් ම උත්සාහ කළ යුතු ය. කලක් සිහියෙන් යුක්ත ව බොරු කීමෙන් පරිස්සම් වී වාසය කිරීමෙන් බොරු නො කීම පුරුදු කර ගත හැකි ය.

5. සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී.

මදයට හා ප්‍ර‍මාදයට හේතු වන මද්‍යපානයෙන් වැළකීම “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” නම් වේ. මදයට හා ප්‍ර‍මාදයට හේතු වන මද්‍යවර්ගයක් වීම ය, එය පානය කිරීමේ දඅහස ය, පානය කිරීමට උත්සාහ කිරීම ය, මද්‍ය ශරීරගත වීම ය යන චතුරංගයෙන් යුක්ත සුරාපානයෙන් මේ සික පදය බිඳේ.

මෙහි “මදය” යි කියනුයේ බලවත් මෝහයෙන් යුක්ත වන උඩඟුකමට ය. “ප්‍ර‍මාදය” යි කියනුයේ කාය දුශ්චරිත වාක් දුශ්චරිත මනෝ දුශ්චරිතයන්හි හා පස්කම් සුවයෙහි ද සිත අලවා වාසය කිරීමට ය. ප්‍ර‍මාදය ඇති වන්නේ මදය, ඇති වීම නිසා ය. මද ප්‍ර‍මාද දෙකට හේතුවන රා අරක්කු ආදි බීම වර්ගයකින් පිනි බිඳක් පමණ වුව ද පානය කිරීමෙන් මේ සිකපදය බිඳේ. මදයට හා ප්‍ර‍මාදයට හේතු වන කංසා ආදි ද්‍ර‍ව්‍ය කෑම ද සුරාපානයට අයත් ය. නොදැන වුවද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්ෂූන්ට පචිති ඇවැත් වේ. සාමණේර ශීලය බිඳෙන්නේ සුරාවක් බව දැන සුරාපානය කිරීමේ අදහසින් ම සුරාව පානය කළහොත් ය. පුවක් - දුම්කොළ ආදියෙහි ද මත් කරවන ස්වභාවයක් ඇත්තේ ය. ඒවායින් වන මත ශරීරය ක්ලාන්ත වීම පමණෙකි. ඉහත කී මදය හා ප්‍ර‍මාදය ඒවායින් ඇති නොවේ. එබැවින් ඒවා වැළඳීමෙන් මේ සිකපදය නො බිඳේ. මද්‍ය ගන්ධය - රසය නැති මද්‍ය මිශ්‍ර‍ බෙහෙත් පාවිච්චියෙන් ද මේ සිකපදය නො බිඳේ. රෝග සුවය පිණිස වළඳන මද ප්‍ර‍මාදයන්ට හේතු නො වන මද්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැළඳීමෙන් ද වරද නො වේ.

6. විකාල භෝජනා වේරමණී.

බත් ව්‍යඤ්ජන කැවිලි පෙවිලි පලතුරු ආදි යාවකාලික ආහාරයන් නො කල්හි වැළඳීමෙන් වැළකීම “විකාල භෝජනා වේරමණී” නම් වේ. අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ආහාර වළඳන්නා හ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාල නම් වේ. විනයෙහි කන බොන දෑ සියල්ල ම යාවකාලික ය - යාමකාලිකය - සත්තාහ කාලිකය - යාවජීවිකය කියා කොටස් සතරකට බෙදා තිබේ. විකාලයෙහි යාවකාලික ආහාරයක් උගුරෙන් ඔබ්බට ගිලීමෙන් මේ සිකපදය බිඳේ. විකාලය වීම ය, යාවකාලික ආහාරයක් වීම ය, ගිලීම ය කියා විකාල භෝජනයට අංග තුනක් ඇත්තේ ය.

මේ සිකපදය රැකිය හැකි වීමට අරුණ හා මධ්‍යාහ්නය දත යුතු ය. “අරුණය” යි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍ර‍කට රතු පැහැයෙන් යුක්ත ආලෝකය ය. ඒ ආලෝකය මතුවීමට අරුණ නැඟීම යයි කියනු ලැබේ. විනය ක්‍ර‍මයේ සැටියට දිනයේ පටන් ගැනීම ගණන් ගන්නේ අරුණෝදයෙනි. අරුණ නඟින වේලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේ ය. එය පැය විනාඩි ගණන්වලින් හරියට දැක්වීමට දුෂ්කර ය. සාමාන්‍යයෙන් පෙරවරු 5 ටත් 5-30 ටත් අතර කාලයේ අරුණ නැඟුණු වේලාවේ පටන් පැවිද්දන්ටත් අටසිල් රක්නා උපාසකෝපාසිකාවන්ටත් ආහාර වැළඳීම සුදුසු ය. අරුණ නැඟීමට කලින් වැළඳුව හොත් සිකපදය බිඳේ. අලුයම් කාලයේ අහස දෙස බලා අරුණ සොයා ගත යුතු ය.

සාමාන්‍යයෙන් දවල් දොළහ මධ්‍යාහ්නය ලෙස සලකනු ලැබේ. එහෙත් සෑම දිනයකම මධ්‍යාහ්නය දවල් 12 ලෙස නො සැලකිය යුතු ය. රෑ දාවල් ප්‍ර‍මාණය දිනෙන් දින වෙනස් වේ. අවුරුද්දේ සමහර කාලයක දවාල පැය දොළසකට අඩුය. සමහර කාලයක පැය දොළසකට වැඩි ය. සූර්‍ය්‍යයා උදාවන වේලාව හා අස්ත වන වේලාව පඤ්චාංග ලිත්වල සඳහන් කර තිබේ. දවසේ ප්‍ර‍මාණය එයින් සලකා ගෙන මධ්‍යාහ්නය සොයා ගත යුතු ය. සමහර දිනයෙක දොළහට විනාඩි ගණනකට කලින් ද සමහර දිනයෙක දොළහ පසු වී විනාඩි ගණනෙකින් ද මධ්‍යාහ්නය පැමිණෙන්නේ ය. විකල් බොඩුන් සික පද රක්නවුන් විසින් මධ්‍යාහ්නය පැමිණිමට කලින් ආහාර වැළඳීම අවසන් කර ගත යුතුය. මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු එක් බත් හුලකුදු වැළඳුව හොත් සික පදය බිඳේ.

ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස කැපී පෙනෙන කරුණු වලින් එකක් මේ සික පදය යි. එ බැවින් මෙය සැහැල්ලු කොට නො සිතා ආදරයෙන් රැකිය යුතු ය. විකාල භෝජනයෙන් නො වළකින පැවිද්දා ගේ තත්ත්වය ඉතා පහත් ය.

7. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී

මෙයින් කියැවෙන්නේ නැටීම - නැටවීම - නටනු බැලීම - ගී කීම - කියවීම - කියනු ඇසීම, බෙර නලාදිය වාදනය කිරීම - කරවීම - වාදනය ඇසීම, මල්ලව පොර, ගවපොර - අසුන්ගේ තරග, දිවීම් ආදි ශාසනයට පටහැණි දෑ කරවීම් - බැලීම් - යන මේවායින් වැළකීම ය. තමා ඉන්නා තැනට පෙනෙන ඇසෙන නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන් හා ඇසීමෙන් සික පදය නො බිඳේ. අන් තැනකට ගොස් බැලීමෙන් - ඇහීමෙන් සික පදය බිඳේ. තමා නැටීම හෝ නැටවීම කළ හොත් සික පදය බිඳේ. ගැයුම් වැයුම් ද තමා කළේ හෝ අනුන් ලවා කරවූයේ හෝ මේ සික පදය බිඳේ. යටත් පිරිසෙයින් මොනර නැටුමක් වුව ද අන් තැනකට ගොස් බැලුව හොත් සික පදය බිඳේ. තමා යම් කිසි කරුණක් නිසා යන අතරමග දී නැටුම් පෙනීමෙන් හා ගැයුම් වැයුම් ඇසීමෙන් සිකපදය නො බිඳේ.

“සබ්බං අන්තරාරාමේ ඨිතස්ස පස්සතෝ අනාපත්ති. පස්සිස්සාමීති විහාරතෝ විහාරං ගච්ඡන්තස්ස ආපත්ති” යනුවෙන් ආරාමය තුළදී නැටුම් දැකීමෙන් ඇවැත් නො වන බව හා නැටුම් බැලීමට විහාරයෙන් විහාරයට ගිය හොත් ඇවැත් වන බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ. බුද්ධදේශනාව වුව ද විකාර කොට ගීතයක් වශයෙන් ගැයුමෙන් සික පදය බිඳේ. බුදු සස්නෙහි සූත්‍ර‍ වත ය, ජාතක වතය, ගාථා වතය කියා කීම් ක්‍ර‍ම දැක්වෙන්නේ ය. ඒ ක්‍ර‍ම නසා, පමණට වඩා ඇද, දහම ද නො කිය යුතු ය. පමණට වඩා ඇද කීම නම් ඒ ඒ අකුරට අයිති මාත්‍රා ගණන ඉක්මවා දික් ගස්සා විකාර කොට කීම ය. ශ්‍ර‍වණ මධුරත්වය ඇති වන පරිදි පවත්වන සරභඤ්ඤ නම් වූ දහම් දෙසීමේ ක්‍ර‍මයක් ඇත්තේ ය. එය පැවිද්දන්ට සුදුසු ය. එ සේ දහම් දෙසීමේ දී ද අකුරු නොනසා ඒ ඒ අකුරට නියමිත මාත්‍රා ගණනින් ම එය කළ යුතු ය. තරංගවත්තාදි වශයෙන් සරභඤ්ඤයේ ක්‍ර‍ම දෙතිසක් ඇති බව විනය අටුවාවෙහි දැක්වේ. ඒවා ගැන විස්තරයක් දැනට ඇති පොතක දක්නට නැත.

8. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී.

මේ සික පදයෙහි තේරුම:- මල් ය සුවඳ ය විලවුන් ය යන මේවායින් ශරීරය සැරසීම, ශරීරයේ අඩු තැන් පිරවීම, සම පැහැපත් කිරීම යන මේවායින් වැළකීමය යනුයි. ගෙතූ හෝ නොගෙතූ මල්වලින් හා රන් රිදී ආදියෙන් කළ අලංකාර භාණ්ඩවලින් ද ශරීරය සැරසීමෙන් මේ සික පදය බිඳේ. අලංකාරය පිණිස නූලක් වුව ද පැළඳීමෙන් සික පදය බිඳේ. ආරක්ෂාව පිණිස පිරිත් නූල් ආදිය පැළඳීමෙන් සික පදය නො බිඳේ. සුවඳ වර්ග ඇඟ ගල්වන කල්ක වර්ග හා සුණු වර්ග යම්කිසි ආබාධයක් දුරු කරගනු පිණිස බෙහෙතක් වශයෙන් ඇඟ ගැල්වීමෙන් සික පදය නො බිඳේ.

9. උච්චාසයන මහාසයනා වේරමණී.

පමණට වඩා උස් අසුන් හා මහ අසුන් නම් වූ අකප්පිය අසුන් පරිභෝග කිරීමෙන් වැළකීම, උච්චාසයන මහාසයනා වේරමණී නමි.

රියනකට වඩා උස් පා ඇති අසුන උච්චාසයනය ය. බොහෝ සැප පහසු ලැබෙන්නා වූ ද, බොහෝ ලස්සන වූ ද, වටිනාකම අධික වූ ද, අසුන් මහ අසුන් ය. විනයෙහි උච්චාසයන මහාසයනයන් දක්වා ඇත්තේ බුද්ධ කාලයේ ජීවත් වූ මිනිසුන් පරිභෝග කළ වස්තුවලිනි. දැනට ඇත්තා වූ භාණ්ඩ ඒවාට බොහෝ වෙනස් ය. මෙකල ඉන්නා මිනිසුන් පරිභෝග කරන ඇඳ පුටු ඇතිරිලි වලින් මහාසයනය වන නො වන ඒවා බුදුන් වහන්සේ විසින් ඒ කාලයේ දී මහසුන් වශයෙන් වදාරා ඇති අසුන්වල ලක්ෂණ අනුව සැලකිය යුතු ය.

“න භික්ඛවෙ, උච්චාසයන මහාසයනානි ධාරේ තබ්බානි. සෙය්‍යථිදං? ආසන්දි පල්ලංකෝ ගෝනකෝ චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලෝමි එකන්තලෝමි කට්ඨිස්සං කෝසෙය්‍යං කුන්තකං අස්සත්ථරං හත්ථත්ථරං අජිනප්පවේණි කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතෝලෝහිතකූපධානං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

මේ පාඨයෙහි ආසන්දි යනුවෙන් දැක්වෙන්නේ පමණට වඩා උස් පා ඇති අසුනෙකි. එය උච්චාසයනයට අයත් ය. ඉතිරි අසුන් එකුන් විස්ස මහාසයනයෝ ය. පල්ලංක යනු පාවලට නපුරු සතුන්ගේ රූප යොදා ඇති අසුන් ය. ගෝනක යනු සතරඟුලකට වඩා දික් ලොම් ඇති පලස ය. චිත්තක යනු රත්නයන්ගෙන් විසිතුරු කළ එළු ලොම් ඇතිරි ය. පටිකා යනු ලොමින් කළ සුදු ඇතිරිය ය. පටලිකා යනු ඝන ව මල් යොදා කළ එළු ලොම් ඇතිරි ය. තූලිකා යනු පුළුන් පිරවූ ගුදිරියය. විකතිකා යනු සිංහ ව්‍යාඝ්‍රාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය ය. උද්දලෝමි යනු එක් පසෙකින් ලොම් මතු වී ඇති ඇතිරිය ය. ඒකන්තලෝමි යනු උඩ යට දෙපසෙහි ම මතු වූ ලොම් ඇති ඇතිරිය ය. කට්ඨිස්ස යනු පට නූල් අතර රන් කෙඳි යොදා කළ ඇතිරිය ය. කෝසෙය්‍ය යනු රත්නයන් අල්වා ඇති පට ඇතිරිය ය. කුන්තක යනු නිළියන් සොළොස් දෙනකුන්ට නැටිය හැකි ඇතිරිය ය. හත්ථත්ථර යනු ඇතු පිට එළන ඇතිරිය ය. අස්සත්ථර යනු අසු පිට එළන ඇතිරි ය. අජිනප්පවේණි යනු ඇඳේ ප්‍ර‍මාණයට දිවි සමින් මැසූ ඇතිරිය ය. කදලිමිගපවරපච්චත්ථරණ යනු කෙහෙල් මුව නම් මුවන්ගේ සම්වලින් කළ උසස් ඇතිරිය ය. සඋත්තරච්ඡද යනු රතු වියන් ඇති අසුන ය. උභතෝලෝහිතකූපධාන යනු හිසට හා පයට රතු කොට්ටා යොදා ඇති ඇඳ ය.

මේ උච්චාසයන මහාසයන වලින් ආසන්දි නම් වූ උස් අසුනය, පුළුන් ගුදිරි ය, පල්ලංක නම් වූ නපුරු සතුන් ගේ රූප පාවලට යෙදූ අසුන ය යන තුන හැර ඉතිරි අසුන් සියල්ල ගමෙහිදීත් දානශාලාවලදීත් ගිහියන් විසින් පනවා දුන් කල්හි ඒවායේ වාඩිවීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේ ය. එ සේම පුළුන් යොදා කුෂන් කළ ඇඳ පුටුවල වාඩිවීමට අනුදැන වදාරා ඇත්තේ ය. ධර්මාසනයෙහි ද ඒ අකප්පිය අසුන් කැප බව දක්වා තිබේ. ගිහියන් පිළියෙළ කළ ඒ මහාසයන කැප වන්නේ ද වාඩි වීමට පමණෙකි. ගිහියන් පිළියෙළ කර දුන්නේ ද ඒවායේ නිදා ගැනීම නො කළ යුතු ය.

10. ජාතරූපරජතපටිග්ගහනා වේරමණී.

මෙහි ජාතරූප යනු රන්ය. රජත යනු ගනුදෙනුවට වලංගු වන කිනම් දෙයකින් හෝ කළ මුදල් ය. ඒවා පිළිගැනීමෙන් වැළකීම ය. මෙහි පිළිගැනීම ය කියනුයේ අතට ගැනීම ම නො වේ. යමකු මුදලක් මෙය නුඹවහන්සේට දෙමි ය කියා ඉදිරියෙහි තැබූ කල්හි එය ප්‍ර‍තික්ෂේප නො කොට තුෂ්ණීම්භූත වීම් වශයෙන් සිතෙන් පිළිගත හොත් එයින් ද සික පදය බිඳේ. පිළිගැනීමක් නැති ව අනුන් අයත් දෙයක් හෝ විහාරයේ යම්කිසි කර්මාන්තයකට දෙන මුදලක් හෝ අතින් ඇල්ලීමෙන් සික පදය නො බිඳේ. මුදල් අනාමාස වස්තු බැවින් සාමණේරයන් විසින් අතින් ඇල්ලීමෙනුත් වැළකීම යහපති. විහාරයෙහි වැටී තිබෙන්නා වූ හෝ අමතක වී ගොස් ඇත්තා වූ හෝ අන්සතු මුදලක් හිමියකු පැමිණි විට දීමේ බලාපොරොත්තුවෙන් අතින් ම ගෙන පරිස්සම් කර තිබීමෙන් වරදක් නො වේ.