දශ පරිජි හෙවත් දශ නාශනා

“අනුජානාමි භික්ඛවෙ, දසහංගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං, පාණාතිපාති හෝති, අදින්නාදායි හෝති, අබ්‍ර‍හ්මචාරි හෝති, මුසාවාදි හෝති, මජ්ජපායී හෝති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සංඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො හෝති, භික්ෂුනීදූසකො හෝති, අනුජානාමි භික්ඛවෙ, ඉමේහි දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසෙතුං.”

තේරුම:

මහණෙනි, අංග දශයකින් යුක්ත ව සාමණේරයා නසන්නට අනු දනිමි. ප්‍රාණඝාතය කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේ ද, මෛථුන සේවනය කරන්නේ වේද, බොරු කියන්නේ වේ ද, මද්‍යපානය කරන්නේ වේද, බුදුන්ගේ අගුණ කියා ද, දහමෙහි අගුණ කියා ද, සඟනගේ අගුණ කියා ද, මිසදිටු ගත්තේ වේද, භික්ෂුණීන් දූෂණය කරන්නේ වේද මහණෙනි, මේ දශාංගයෙන් යුක්ත සාමණේරයා නසන්නට අනුදනිමි.

“සංවාසනාසනාය - ලිංග නාසනාය - දණ්ඩකම්මනාසනාය” යි නාසනා තුනක් ඇති බව විනය අටුවාවෙහි “කණ්ටක ශික්ෂාපද වර්ණනාවෙහි” දක්වා තිබේ. මෙහි අදහස් කරන්නේ ලිංග නාසනාවය. එනම් පැවිද්දෙන් පහ කිරීම ය. පැවිද්දෙන් පහ කළ යුතු බවට පැමිණීම පාරාජිකා වීමකි. එබැවින් මේ දශ නාශනාවට “දශ පාරාජිකාය” යි ද කියනු ලැබේ.

නාශනාංග දශයෙන් ප්‍රාණඝාතය - අදත්තාදානය - අබ්‍ර‍හ්මචර්යාව - මෘෂාවාදය - සුරාපානය යන මේ කරුණු පස සාමණේර දශ ශීලයේ මුල් සික පද පස හා සම්බන්ධ කරුණු ය. උපසම්පන්න භික්ෂූන්ට වනාහි ප්‍රාණඝාතාදිය කිරීමෙන් එකින් එකට වෙන් වශයෙන් ඇවැත් වෙයි. සාමණේරයන්ට සික පදයෙන් පදයට වෙන වෙන ම ඇවැත් නැත. මුල් සික පද පසින් එකකුදු කඩ කළ හොත් සරණ ගමනයේ පටන් සියලු සාමණේර ශීලය බිඳේ. එයින් ම උපාධ්‍යාය ග්‍ර‍හණය ද අහෝසි වෙයි. කලින් ලබා තුබූ සෙනසුන ද ඔහුට අහිමි වේ. වස් කාලයේ දී නම් වස ද කැඩේ. ඉන් පසු ඔහුට තිරි වන්නේ ශ්‍ර‍මණ ලිංගය පමණකි. එසේ පරිජි වූ සාමණේරයා වරද පිළි ගෙන නැවත සංවරයෙහි පිහිටනු කැමැත්තේ නම්, ලිංග නාසනාවක් නො කොට නැවත සරණය දිය යුතු ය. සික පද සමාදන් කරවිය යුතු ය. උපාධ්‍යාය දිය යුතු ය. ඉදින් සාමණේරයා නො හික්මී නැවත නැවත ද වරද කෙරේ නම් සංඝයාට දන්වා සිවුරු හරවා බැහැර කළ යුතු ය. නැවත ඔහු හික්මී පැවිද්ද ඉල්ලා ආයේ නම් සංඝයාට දන්වා පැවිදි කළ යුතු ය.

බුදුන් වහන්සේ ගේ අගුණ කීම, ධර්මයේ අගුණ කීම, සංඝයාගේ අගුණ කීම යන මේ තුනෙන් යම්කිසිවක් කරන සාමණේරයා හට ආචාර්යෝපාධ්‍යායාදීන් විසින් එසේ නො කරන ලෙස අවවාද කළ යුතු ය. ඉදින් සාමණේරයා හික්මේ නම් සඟ මැද වරද ප්‍ර‍කාශ කරවා නැවත ඔහුට සරණ දිය යුතු ය. සිල් දිය යුතු ය. ලබ්ධිය නො හරී නම් සිවුරු හරවා බැහැර කළ යුතු ය. මිසදිටු ගැනීම ගැන පිළිපැදිය යුත්තේ ද එසේ ම ය. භික්ෂුණී දූෂණය ඉතා මහත් වරදෙකි. එය කළ සාමණේරයාට නැවත පැවිද්ද හෝ උපසම්පදාව නො ලැබිය හැකි ය. ඔහු සිවුරු හරවා යැවිය යුතු ය. ගිහියකු විසින් එය කළේ ද හේ පැවිද්දට හා උපසම්පදාවට අභව්‍ය පුද්ගලයෙක් වේ. භික්ෂුණී දූෂණය අබ්‍ර‍හ්මචර්යාවට ම අයත් ව තිබිය දී මෙසේ වෙන් වූ නාසනාංගයක් වශයෙන් වදාරා තිබෙන්නේ එය බරපතල කරුණක් බැවිනි.