සිංහල ප්‍ර‍ත්‍යවේක්ෂා පාඨ

චීවර ප්‍ර‍ත්‍යවේක්ෂාව

මා මේ සිවුරු පරිභෝග කරන්නේ ශීතල නැති කර ගැනීමටය, උෂ්ණය නැති කර ගැනීමට ය. මැසි මදුරුවන්ගෙන් සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා වළකා ගැනීම පිණිස ය. නොවැසුවහොත් ලජ්ජාව නැතිවන ශරීරාවයවයන් වසාගනු පිණිසය.

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්ෂාව.

මා මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නො වේ. පුරුෂමදාදිය වඩනු පිණිස ද නො වේ. ඇඟ තර කර ගැනීම පිණිස ද නො වේ. ඇඟ පැහැපත් කර ගැනීම පිණිස ද නො වේ. මා මේ ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු පිණිස ය. සාගිනි වේදනාව දුරු කර ගනු පිණිස ය. බුදුසස්නෙහි පිළිවෙත් පිරිය හැකි වනු සඳහා ය. ජීවිතය චිරකාලයක් පවත්වා ගනු සඳහා ය. මෙසේ ආහාර වැළඳීමෙන් මාගේ සාගිනි වේදනාව දුරු වන්නේ ය. පමණ ඉක්මවා ආහාර වැළඳීමෙන් වන වේදනා ද නො වන්නේය. ජීවිතය චිරකාලයක් පැවැත්විය හැකි ද වන්නේ ය. මෙසේ ආහාර වැළඳීම අයුතු ලෙස ආහාර සපයා වැළඳීමක් නොවන හෙයින් නිවැරදි ආහාර වැළඳීමක් ද වන්නේ ය. මෙසේ පමණට ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි ද වන්නේ ය.

සේනාසන ප්‍ර‍ත්‍යවේක්ෂාව

මා මේ සෙනසුන පරිභෝග කරන්නේ ශීතල දුරු කර ගැනීම පිණිස ය. උෂ්ණය දුරු කර ගැනීම පිණිස ය. මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් වන පීඩා දුරු කර ගැනීම පිණිස ය. නපුරු සෘතුව නිසා වන පීඩා නැති කර ගැනීම පිණිස ය. නොයෙක් අරමුණු කරා යා නොදී සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස ය.

ග්ලාන ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යවේක්ෂාව

මා මේ ගිලන් පස වළඳන්නේ මා ගේ ශරීරයෙහි ඇති රෝගයන් හා වේදනාවන් දුරු කර ගැනීම පිණිස ම ය.

(මේවා කලින් කියා ඇත ද පාඩම් කර ගැනීමට පහසු වනු සඳහා නැවත දක්වන ලදි.)

අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍ර‍ත්‍යය යන මේවා පරිභෝග කරන සෑම වාරයේ දී ම ප්‍ර‍ත්‍යවේක්ෂා කළ යුතු ය. එසේ කිරීම දුෂ්කර ය. නොයෙක් විට ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොර ව සිවුපස පරිභෝගය පැවිද්දා අතින් කෙරෙන්නේ අමතක වීම් ආදියෙනි. ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන පසු දින අරුණු නැඟෙන්නට පෙර කවර අවස්ථාවෙක දී හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කළ යුතුය. ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට දිනය ඉක්මී ගියහොත් ඉණ පරිභෝග භාවයට පැමිණේ. අද පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන හෙට ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව ඒ ඒ දිනවල දී පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන කළ යුත්තකි. සවස තුනුරුවන් වැඳ අවසානයේ එදින අළුයම පටන් එතෙක් පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන ප්‍ර‍ත්‍යවේක්ෂා කරනු. ඉන් පසු පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන අරුණට පළමු නැඟිට ප්‍ර‍ත්‍යවේක්ෂා කරනු. අරුණට පළමු නැඟිට මුළු දවසේ ම පරිභෝග කළ ප්‍ර‍ත්‍යයන් ගැන ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමත් යෝග්‍ය ය. රාත්‍රියේ සැතපෙන්නට පටන් ගන්නා අවස්ථාවේ දී ද ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම යහපති. අරුණට පළමු නො නැඟිටිය හැකි අය විසින් ඒ වෙලාවේ දී වත් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමට පුරුදු කර ගත යුතු ය.

චීවර අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

අද මා සිවුරු පරිභෝග කළේ ශීතල නැති කැර ගැනීම පිණිස ය. උෂ්ණය නැති කැර ගැනීම පිණිස ය. මැසි මදුරුවන් ගෙන් සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදි සර්පයන් ගෙන් විය හැකි පීඩා වළකා ගනු පිණිස ය. නො වැසුව හොත් ලජ්ජාව නැති වන ශරීරාවයවයන් වසාගනු පිණිස ය.

පිණ්ඩපාත අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

අද මා ආහාර වැළඳූයේ විනෝදය පිණිස නො වේ. පුරුෂමදාදිය වඩනු පිණිස ද නො වේ. ඇඟ තර කර ගැනීම පිණිස ද නො වේ. ඇඟ පැහැපත් කර ගනු පිණිස ද නො වේ. මා ආහාර වැළඳූයේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු පිණිස ය. සාගිනි වේදනාව දුරු කර ගනු පිණිස ය. බුදුසස්නෙහි පිළිවෙත් පිරිය හැකි වනු පිණිස ය. ජීවිතය චිරකාලයක් පවත්වා ගනු පිණිස ය. එසේ ආහාර වැළඳීමෙන් මා ගේ සා ගිනි වේදනාව දුරු වන්නේ ය. පමණ ඉක්මවා ආහාර වැළඳීමෙන් වන වේදනා ද නො වන්නේ ය. ජීවිතය ද චිරකාලයක් පැවැත්විය හැකි වන්නේ ය. එ සේ ආහාර වැළඳීම අයුතු සේ ආහාර සපයා වැළඳීමක් නො වන බැවින් නිවැරදි, වැළඳීමක් ද වන්නේ ය. එ සේ පමණට ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි ද වන්නේ ය.

සේනාසන අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

අද මා සෙනසුන් පරිභෝග කළේ ශීතල දුරු කර ගැනීම පිණිස ය. උෂ්ණය දුරු කර ගැනීම පිණිස ය. මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් වන පීඩා දුරු කර ගැනීම පිණිස ය. නපුරු සෘතුව නිසා වන පීඩා නැති කර ගැනීම පිණිස ය. නොයෙක් අරමුණු කරා යා නො දී සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස ය.

ග්ලාන ප්‍ර‍ත්‍යය අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

අද මා ගිලන් පස වැළඳූයේ මා ගේ ශරීරයෙහි ඇති රෝග හා වේදනාවන් දුරු කර ගැනීම පිණිසම ය.

පැවිද්දකුට ඉණපරිභෝගයෙන් මිදීමට මේ ප්‍ර‍ත්‍යවේක්ෂාව ප්‍ර‍මාණවත් ය. ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙනුත් ප්‍ර‍ත්‍යවේක්ෂාව කරත හොත් ඉතා ම හොඳ ය. එසේ ද කරනු කැමතියන් විසින් මෙහි ඒ ඒ තැන් වල ඉහත දක්වන ලද ප්‍ර‍ත්‍යවේක්ෂා පාඨ ද පාඩම් කර ගෙන ප්‍ර‍ත්‍යවේක්ෂා කළ යුතු ය. ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙන් කරන ප්‍ර‍ත්‍යවේක්‍ෂාවෙන් බොහෝ කෙළෙස් දුරු වේ. විදර්ශනා වඩන යෝගාවචරයනට එය ඉතා ප්‍රයෝජනවත්ය. බොහෝ පැවිද්දන්ට ශ්‍ර‍මණ අදහස් නැති වී ගිහි අදහස් ඇතිවන්නේ, තෘෂ්ණා මානාදි කෙළෙස් අධික වන්නේ, බොහෝ ප්‍ර‍ත්‍යය සොයන්නට රැස් කරන්නට සිත් වන්නේ, මිල මුදල් සපයන්නට සිත් වන්නේ, පැවිද්දන්ට නුසුදුසු ක්‍ර‍ම වලින් ප්‍ර‍ත්‍ය සපයන්නට සිත් වන්නේ ප්‍ර‍ත්‍යවේක්‍ෂාවෙන් තොරව සිවුපසය පරිභෝග කිරීමෙනි. ශ්‍ර‍මණ ගුණ, ශ්‍ර‍මණ අදහස් ඇති වීමට, තහවුරු වීමට බලවත් හේතුවක් වන දෙය මේ ප්‍ර‍ත්‍යවේක්‍ෂාව ය.