කායානුපස්සනායෙහි (1) ආනාපාන පබ්බය

නිර්දේශවාරය

පාලි

කථච පන භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛ මූලගතෝ වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලකං ආභුජිත්වා උජු කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.

එහි කෙටි අදහස

“මහණෙනි! සසර භය දක්නා අර්ථයෙන් භික්ෂු නම් වූ යෝගාවචර තෙමේ රූප කයෙහි රූප සමූහයක් ය යි රූප කය අනුව බලමින් කෙසේ වාසය කරයි ද? මහණෙනි, මේ ශාසනයෙහි යෝගාවචර තෙම වනයට ගියේ හෝ, භාවනාවට සුදුසු ගසක් මුලට ගියේ හෝ, ජනයාගෙන් හිස් වූ තැනකට ගියේ හෝ, පලඟ බැඳ උඩුකය කෙලින් තබා ගෙන සිහිය කමටහන් අරමුණට යොමු කොට එලවා තබා ගෙන ඉඳගනී” යනුයි.

මේ කොටසින් භාවනාවට සුදුසු තැනක් පිළියෙල කිරීමේ පරිකර්‍මය දක්වන ලදී. කැලෑවක් ය, ගසක් මුල ය, පාලු ගෙයක් ය යන මෙකී ස්ථානයන් දක්වා වදාළේ පළමුවෙන් භාවනා කරන යෝගියාහට සුදුසු විවේකය ලබා ගැනීම පිණිස ය. සමාධිය හා ඤාණය දියුණු කළ පුද්ගලයාහට නම් කවර තැනක දී වුවත් භාවනා කළ හැකිය. ඒ විවෙක ස්ථාන තුණෙනුත් සුඤ්ඤාගාර ය වැඩියත් සුදුසු ය.

තවද වාඩි වී හිඳීම් ඉරියව්ව ම මෙහි දැක්වූයේ එය අලුතෙන් භාවනා පුරුදු කරන යෝගියාහට ඉතා පහසු ඉරියව්වක් වූ බැවිනි. භාවනාව පුරුදු වූ පසු සතර ඉරියව්වෙන් ම නොකඩවා භාවනා කළ යුතු ය. පළඟ බැඳ භාවනා කරන්ට නියම කළේ වැඩි වේලාවක් වාඩි වී හිඳිනු හැකි බැවිනි. පසු පසු ව වෙනත් පහසු අන්දමකින් වාඩි වී භාවනා කළාට වරදක් නැත. විශේෂයෙන් මතක තබාගත යුත්තේ වාඩිවන විට කකුලට අමාරුවක් නොදැනෙන සේ වාඩි වීමට ය. එවිට වැඩි වේලාවක් වාඩි වී හිඳ සමාධිය හා ඤාණය දියුණු කළ හැකි ය.

පාලි

සො සතොව අස්‌සසති, සතොව පස්‌සසති. දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති. දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති. රස්‌සං වා අස්‌සසන්‌තො ‘රස්‌සං අස්‌සසාමී’ති පජානාති. රස්‌සං වා පස්‌සසන්‌තො ‘රස්‌සං පස්‌සසාමී’ති පජානාති. ‘සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. ‘සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. ‘පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං අස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති, ‘පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං පස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. සෙය්‍යථාපි භික්‌ඛවෙ දක්‌ඛො භමකාරො වා භමකාරන්‌තෙවාසී වා දීඝං වා අඤ්‌ඡන්‌තො ‘දීඝං අඤ්‌ඡාමී’ති පජානාති, රස්‌සං වා අඤ්‌ඡන්‌තො ‘රස්‌සං අඤ්‌ඡාමී’ති පජානාති. එවමෙව ඛො, භික්‌ඛවෙ භික්‌ඛු දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති, දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති, රස්‌සං වා අස්‌සසන්‌තො - පෙ - සික්‌ඛති.

එහි කෙටි අදහස

හෙතෙම සිහිය ඇති ව ම ආශ්වාස කරයි (නැහැයෙන් හුස්ම පිට කරයි.) සිහිය ඇතිව ම ප්‍රස්වාස කරයි (නැහැයෙන් හුස්ම ඇතුල් කරයි.) දිව ආශ්වාස කරමින් දික්ව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ප්‍රශ්වාස කරමින් කෙටි ප්‍රශ්වාස කරමි යි දැනගනී.

ආශ්වාස කය පිළිබඳ මුල මැද අග යන සියලු තැන ම, පැහැදිලි ව දක්නා සුලු වූයේ ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. (භාවනාවේ යෙදෙයි) ප්‍රශ්වාස කය පිළිබඳ මුල මැද අග යන සියලු තැන ම, පැහැදිලි ව දක්නා සුලු වූයේ ප්‍රශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. (භාවනාවේ යෙදෙයි.)

ආශ්වාස ය යි කියන ලද ඖදාරික (ගොරෝසු) කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. ප්‍රශ්වාස ය යි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කරනෙමි යි පුහුණු කරයි.

මහණෙනි! යම් සේ ද වූ ලියන වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ යම්කිසි දැව ආදී භාණ්ඩයක් ලිවීම පිණිස අතපය දිගු කොට අදිමින් දිගු කොට අදිනෙමැ යි දැනගනී ද, ලුහුඬු කොට අදිමින් ලුහුඩු කොට අදිනෙ මැ යි දැනගනී ද, මහණෙනි! එපරිද්දෙන් යෝගිතෙමේ දිගට ආශ්වාස කරමින් දිගට ආශ්වාස කරමි යි දැනගනී. කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ප්‍රශ්වාස කරමින් කෙටි ව ප්‍රශ්වාස කරමි යි දැනගනී.

ආශ්වාස කය පිළිබඳ මුල, මැද, අග යන සියලු තැන ම පැහැදිලිව දක්නා සුලවුයේ ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි (භාවනාවේ යෙදෙයි). ප්‍රශ්වාස කය පිළිබඳ මුල, මැද, අග යන සියලු තැන ම පැහැදිලි ව දන්නා සුලු වූයේ ප්‍රශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි (භාවනාවේ යෙදෙයි).

ආශ්වාස යයි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කර යි. ප්‍රශ්වාස ය යි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නේ මැ යි පුහුණු කර යි.

අනු මාතෘකා