මේ කොටසින් ආනාපාන භාවනාව කෙටි කර දැක් වූ සේක. හුස්ම ඇතුල් කරන පිට කරන වාරයක් පාසා සිහියෙන් යුක්තව ම මේ ක්‍රමයෙන් වෑයම් කරන යෝගියා හට -
1. “සො සතොව අස්සසති” යන ආදී ප්‍රථම නය ය.
2. “දීඝං වා අස්සසතො” යන ආදී දුතිය නය ය.
3. “සබ්බකාය පටිසංවේදී” යන ආදී තෘතීය නය ය.
4. “පස්සම්භයං කාය සංඛාරං” යන ආදී චතුර්ථනය ය.
යන මේ නය ක්‍රම සතරින් විස්තර කොට දැක් වූ පරිදි විශේෂයෙන් අරමුණු වැටහෙන ආකාරය හා විශේෂ සිදුවීම් සියල්ල ඉබේටම වාගේ පිළිවෙළින් සම්පූර්ණ වන්නේ ය.
එය එසේ මැ යි. නාසයෙන් පිටවන - ඇතුල්වන වාතය හැපෙන නාසයේ අග කොණේ හෝ උඩුතොල උඩු පැත්තේ හෝ සිහිය පිහිටුවා ගෙන, වාතය පිට වෙනවා - ඇතුල් වෙනවා යයි නොකඩවා සිහි කරන යෝගියා ගේ සමාධිය තරමක් දුරට ශක්තිමත් ව දියුණු වූ කල්හි ම, දික් ව හා කෙටි ව පවත්නා ආශ්වාස - ප්‍රශ්වාස ද දත හැකි වෙයි. සමාධිය ඊට වඩා බලවත් වූ කල්හි නාසිකා වාතය ඉපදීමේ පටන් නිරුද්ධ වන තෙක් එහි මුල, මැද, අග යන සියලු කොටස් ම පැහැදිලි ව දැනගත යුතු ය. මෙසේ දැනගන්නා තෙක් සිහිකරමින් සිටීම සඳහා “සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති” ය යි වදාරණ ලදී. මෙහි දී එකී වාතය ප්‍රකට වනු පිණිස තද වෑයමකින් ආවාස - ප්‍රශ්වාස කළ යුතු ය යි වරදවා කල්පනා නොකළ යුතු ය. ආසයෙහි හා ප්‍රශ්වාසයෙහි මුල, මැද, අග මේ මේ ය යි වැටහීමෙන් ම සමාධිය හා ඤාණය බලවත් වෙ යි. අරමුණ ගොරෝසු ආකාරයෙන් වැටහීම වනාහි සමාධි - ඤාණයන්ගේ දියුණු වීමේ ප්‍රතිඵලයක් නොව අරමුණේ ම පවත්නා ස්වභාවයකි. භාවනාවේ ධර්මතා භාවය නම්, සමථ යෝගියා හට හෝ වේවා, විපස්සනා යෝගියා හට හෝ වේවා, සමාධි - ඥාණ දෙක මෝර මෝරා එන විට එකී වාතය ක්‍රමයෙන් සියුම් වීම ය. සමාධිය ඉතා බලවත් වූ කල්හි ඒ වාතය සංසිඳුනාක් මෙන් විය හැකි ය. එහෙත් එකී වාතය සම්පූර්ණයෙන් සංසිඳුනා නොව ඤාණය දුර්වල වූ නිසා නොදත හැකි වූවා පමණකි. අතර කඩ නොකර ඒ සියුම් වාතය අරමුණු කොට සමථ වශයෙන් වැඩුව හොත් පටිභාග නිමිත්ත වැටහීමෙන් උපචාර - අර්පණා සමාධි ද ලැබිය හැකි ය. විදර්ශනා වශයෙන් වැඩුවහොත් උදයබ්බය ආදී විදර්ශනා ඥාන ද ලැබිය හැකි ය.
මෙසේ ඖදාරික ආශ්වාස - ප්‍රශ්වාස නැති ව ගොස් සියුම් ආශ්වාස - ප්‍රශ්වාස අරමුණෙහි සමථ - විදර්ශනාවන් උපදනා තාක් ද, ඒ සමථ - විදර්ශනා බලයෙන් මාර්ග ඥානය උපදින තෙක් ද නොකඩවා භාවනා කළ යුතු බැවින්, “පස්සම්භයං කායසඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සිස්සාමීති සික්ඛති” ය යි වදාරන ලදී. මෙතන්හි ද ආශ්වාස - ප්‍රශ්වාසයන් භාවනාවෙන් ම මිස උත්සාහයෙන් මැඩ පැවැත්විය යුතු ය යි වරදවා කල්පනා නොකළ යුතු ය.
ඉහත කී පරිදි ඇතුල් වන – පිට වන වාතයන් නොකඩ වා සිහිකිරීමෙන් දික් ව හා කෙටි ව පවත්නා වාතයන් ප්‍රකට වශයෙන් දත හැකි ය. ඒ වාතයන්ගේ මුල, මැද, අග යන සියලු අවස්ථාවන් ද කොටස් වශයෙන් පැහැදිලි ව දත හැකි ය. එසේ ම ඖදාරික වාතයන් සංසිඳී යන ආකාරය ද දත හැකි ය.