ආතාපී සම්පජානෝ සතිමා

star_outline

යන මේ පද තුනෙන් කායානුපස්සනාවට උපකාර වන ධර්මයන් ස්වරූප වශයෙන් උදුරා දක්ව යි. රූප සමූහ ය යි කියන ලද කය නිත්‍ය නො වේ. දුක් රැසක් වේ. ආත්මයක් නො වේ. අශුභ වූ වස්තුවකි. මෙසේ මේ රූප කය අනිත්‍ය ය, දුක් ය, අනාත්ම ය, අශුභ ය යි කියා ඇති සැටියෙන් බලන්නා වූ ද ඥානය කායානුපස්සනා ව යි. ඒ භාවනාවෙන් තොර වූ පුද්ගලයා රූපකය කෙරෙහි අතිශයින් ම වරදවා වටහා ගනී. කෙසේද යත්? ජීවිතාන්තය දක්වා පවතින්නේ එක මම රූපයක් ය යි ද, සත්වයෙක් ය යි ද, ඒ රූපය සුවපත් ව පවත්වන්නේ ය යි ද, එය ම ආත්මයක් ය යි ද, වටහා ගනී. ආත්මය වූ තමාට කැමති පරිදි යත හැකි ය. කනු බොනු හැකි ය. කළ හැකි ය, සතුටු විය හැකි ය, මේ රූප කර සෝභන වූ ශරීරයක් ය යි වරදවා වටහා ගනී. මෙසේ තදින් වරදවා වටහා ගෙන, පවත්නා රූප කය කෙරෙහි අනිත්‍ය ය, දුක ය, අනාත්ම ය, අශුභ ය යි කියා ඇත්ත ඇති සැටි වටහා ගැනීම ඉතා දුෂ්කර ය. එහෙයින් ලෝකයෙහි ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි කුඩා දෙයක් වෙයි නම්, ඒ කුඩා දෙය ලොකු කොට පෙන්වන කණ්ණාඩියෙන් බලා හරිහැටි දැකිය හැකි වන්නාක් මෙන්, යෝගී පුද්ගලයාට කයේ තත්වාකාර ය බලා ගැනීම පිණිස උපකාර වන ධර්‍ම කොටසක් ද ඇත. එනම්, විරිය, සති, සමාධි, පඤ්ඤා යන මේවා ය. මෙකී විරිය, සති, ආදියෙන් රූප කයෙහි ඇති සැටි බලන ආකාරය දක්වනු පිණිස “කායේ කායානුපස්සී විහරති. ආතාපී සම්පජානෝ සතිමා” ය යි වදාළ සේක.[1]

යෝගියා විසින් රූපකයෙහි ප්‍රකට ව පවත්නා රූප ක්‍රියා සියල්ල නුවණට වැටහෙනු පිණිස නො කඩවා වෑයම් කළ යුතු ය. මේ වෑයම් කිරීම ආතාප ය යි කියන ලද “සම්මප්පධාන වීර්යය”ය යි. මේ තියුණු වීර්යයයෙන් නොකඩවා වෑයම් කළහොත්, යෝගියා තුළ උපදනා තාක් රූප සියල්ල අත් නොහැර සිහි කළ හැකි ය. එසේ සිහිකළ හැකිවීම සති නම් වේ. ඒ සතිය දියුණු තියුණු වූ කල්හි ක්ෂණයක් ක්ෂණයක් පාසා නොයෙක් අරමුණුවල විසිර යමින් පැවති සිත එක ම අරමුණෙක්හි පිහිටු වන සමාධිය පහළ වී එන්නේ ය. මේ සමාධිය වනාහි සිහියගේ ආනුභාවයෙන් හටගන්නා වූ “විපස්සනා ඛණික සමාධිය” මැ යි. මේ සමාධිය වැඩිදියුණු වූ කල්හි රූපක්‍රියා සියල්ල ප්‍රකටව වැටහී එන්නේ ය. කොටස් කොටස් වශයෙන් ද වැටහී එන්නේ ය. රූපයන් ඉපිද නැතිවීම ද දත හැකි වන්නේ ය. ඒ සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය. අශුභ ය යි කියා දත හැකි වන්නේ ය. මෙසේ දත හැකි වීම “සම්පජඤ්ඤ” නම් අනුපස්සනා ඥානය යි. උපදනා තාක් රූපක්‍රියා සියල්ල නොකඩවා අත් නොහැර මෙනෙහි කරන යෝගියා කෙරෙහි යට දැක් වූ විරිය, සති, සමාධි, අනුපස්සනා ඥාන යන ගුණ ධර්ම සතර ම සම්පූර්ණ වන්නේ ය. මේ රූප කය අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අශුභ වූ රූප කයක් ම ය යි ඇති සැටියෙන් දත හැකි වීම කායානුපස්සනාව සම්පූර්ණ කිරීම ය යි කියනු ලැබේ. එහෙයින් “කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා” යනු වදාරණ ලදී.

“විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෙමනස්සං” යන වාක්‍යයෙන් භාවනාවගේ ඵලය දක්වන ලදී. කෙසේ ද යත්? කය පිළිබඳ රූප ක්‍රියාවන් කෙරෙහි ඉහත දැක් වූ පරිදි මෙනෙහි නොකළ හැකි වුව හොත් ඒ රූප ක්‍රියා සියල්ල නිතර පවත්නා ආත්මයක් ය, මම ය, සුවසේ වාසය කරන සත්වයෙක් ය යි වරදවා වටහා ගැනීමෙන්, අභිජ්ඣා නම් වූ දැඩි ලෝභය හෝ තව ඇතිවිය හැකි ය. රූප කයට පීඩා ඇති වීමෙන් වෙනස සහිත තරහ, ක්‍රෝධ ඇතිවිය හැකිය.

සත්වයන් තුළ ලෝහ දොසයන් ඇතිවීම මේ ආකාරයෙන් ම සිදුවන්නේ ය. රූප කය පිළිබඳ ඒ රූප ක්‍රියාවන් කෙරෙහි ලෝභය හා ද්වේෂය ඇති නොවන පරිදි, අනිත්‍යාදී වශයෙන් ඇති සැටියෙන් දැක ගැනීම ම අනුපස්සනා ඤාණයෙන් තදඞ්ග වශයෙන් කෙළෙස් පහ කිරීමය යි කියන ලදී. මේ දැක්වූයේ මෙනෙහි කළ අරමුණෙහි තදඞ්ග වශයෙන් ලෝභ දෝෂයන් පහව යන ආකාර ය යි.

තවද ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ල නොකඩවා මෙනෙහි කිරීමෙන් අනිත්‍යය, දුක්ය, අනාත්මය යි කියා දැන ගන්නා වාරයක් පාසා විරිය, සති, සමාධි යන සමාධිස්කන්ධ ධර්මයෝ දියුණු තියුණු ව පහළ වෙත්. මේ සමථයාගේ බලයෙන් චිත්තය අතිශයින්ම මෘදු මොලොක් වෙයි. කල් යත් යත් ක්‍රම ක්‍රමයෙන් මෘදු මොලොක් බවට පත් වෙයි. එහෙයින් මෙනෙහි නොකරණු ලැබූ අන්‍ය වූ රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් කෙරෙහි ද, සිතා මතා බැලීමෙන් ලෝභය හා දෝෂය බොහෝ සෙයින් ඇති නොවීමෙන් සංසිඳී යන්නට පුළුවන. මෙනෙහි නොකොට වාසය කරන කල්හි ද ඖදාරික ලෝභය හා දෝෂය පෙර මෙන් ඇති නොවී සන්සුන් විය හැකි ය. එවිට ඖදාරික ක්ලේශයන් තමා තුළ පහළ නොවන්නේ ය යි යෝගියාහට වැටහෙන්නේ ය.

මේ දැක්වූයේ මෙනෙහි, නොකළ අරමුණෙහි විෂ්කම්භණ වශයෙන් ලෝහ දෝෂයන් පහ ව යන ආකාර ය යි. මෙසෙයින් මෙනෙහි කළ අරමුණහි කෙලෙස් සංසිඳ වීම ය යි කියන ලද තදඞ්ග විනය හා, මෙනෙහි නො කළ අරමුණෙහි කෙලෙස් සංසිඳ වීම යයි කියන ලද විෂ්කම්භණ විනය යන, මේ භාවනා ඵල දෙක යෝගියාහට මෙනෙහි කිරීමක් පාසා ලැබිය හැකි ය. මෙකී ඵල වය ලැබීම සඳහා ප්‍රකට වනතාක් රූපක්‍රියා සියල්ල ම නො කඩවා මෙනෙහි කිරීමෙන් කායානුපස්සනාව වැඩිය යුතු යයි දත යුතු ය. වෙදනානුපස්සනා ආදියෙහි ද මේ ය ක්‍රමය මැයි.

විශේෂය නම් - කයෙහි අශුභ වශයෙන්ද වේදනා, චිත්ත, ධම්ම යන මොවුන් කෙරෙහි පිළිවෙලින් දුඃඛ අනිත්‍යය, අනාත්ම වශයෙන් ද මෙනෙහි කළ යුතු ය යි වෙසෙසා අටුවාවෙහි කියන ලදී. සාමාන්‍යයෙන් වනාහි කාය, වේදනා, චිත්ත, ධම්ම යන සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ වශයෙන් මෙනෙහි කළ යුතු ය.

  1. කායේ කායානුපස්සි ති එත්ථ අනුපස්සනාය කම්මට්ඨානං වුතං. ආතාපෙන සම්මප්පධානං, සතියා පටිලද්ධ සමථො, සම්පජඤ්ඤෙන විපස්සනා, අභිජ්ඣාදොමනස්ස විනයෙන භාවනා ඵලං වුත්තං - යනු අටුවා වචන ය යි. සතිග්ගහණෙන චෙත්ච සමාධිස්සාපි ගහණං දට්ඨබ්බං. යි ටීකාවෙහි කීහ.