සතිපට්ඨාන භාවනාව භික්ෂූන්ට හැර සෙසු අයට නුසුදුසු ද?

භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා, දිව්‍ය-බ්‍රහ්මාදීගේ වශයෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙන පිරිස කොටස් වශයෙන් බොහෝ වුව ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නා පිරිසෙහි භික්ෂුන් වහන්සේ ප්‍රධාන බැවින් ප්‍රධාන න්‍යායයෙන් භික්ෂූන්ට වදාළ නමුත්, අප්‍රධාන වූ සෙසු සියලු දෙනාට ම මේ භාවනාව සුදුසු බව සැලකිය යුතු ය. “රජතුමා පැමිණ සිටී’” ය යි ප්‍රකාශ කළ විට සෙසු පිරිස ද එතුමා සමඟ පැමිණි බව දත යුතු වන්නාක් මෙනි.

නොහොත් “පටිපන්නකො හි දෙවො වා හොතු මනුසො වො භික්ඛුති සබ්බං ගච්ඡතියෙව” යි අටුවාවෙහි කී බැවින් දෙවියෙක් වේ වා මිනිසෙක් වේ වා උපාසකයෙක් වේ වා උපාසිකාවක් වේ වා කවුරු හෝ වේ වා මේ භාවනාවෙහි යෙදුනු තැනැත්තා භික්ෂු නාමයෙහි ඇතුළත් වේ.