වාන සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් නික්මෙන බැවින් නිර්වාණය ය යි ලද නම් ඇති අමා සුවය අත් දැකීම පිණිස යනු එහි තේරුම යි. මේ මාර්ගය වැඩීමෙන් පිළිවෙළින් නිර්වාණ සුඛය ප්‍රත්‍යක්ෂ කළ හැකි ය. එහෙයින් “නිබ්බානස්ස සච්ඡිකිරියා ය” යි කීහ. හෙද ඵල ඥානයට අරමුණු වන නිර්වාණය ම යැ යි “මූලපණ්ණාස ටීකා” යෙහි කීහ.
මෙ තන්හි ආර්යය මාර්ගයට පැමිණීම පිණිස, නිවන් සුව අත්පත් කර ගැනීම පිණිස, සම්මප්පධානය ආදී වෙනත් භාවනා ක්‍රම තිබෙනවා නොවේ ද? එය එසේ ය. එහෙත් සතිපට්ඨානයෙන් තොර ව සම්මප්පධානය ආදී භාවනාවක් ඇති විය නොහැකි ය. එහෙයින් ම මේ සතිපට්ඨානය ආර්ය මාර්ගයට පැමිණීමට ත්, නිවන් සුව අත්පත් කර ගැනීමට ත් “එක ම මාර්ගය” ය යි කියා වදාරණ ලදී.
මෙ තන්හි සති චෛතසිකය ම සතිපට්ඨානය යි කියනු ලැබුවේ ප්‍රධාන න්‍යායයෙනි. තනිකර සති චෙතසිකයෙන් ම භාවනා කෘත්‍යය සිදු නොකළ හැකි ය. වීරිය පඤ්ඤාවන් හා එක්වීමෙන් ම භාවනා කෘත්‍යය සිදුවිය යුතු ය. “ආතාපීසම්පජානො” යනුවෙන් වීරිය - පඤ්ඤා දෙක ද සතිපට්ඨාන භාවනාවෙහි ඇතුළත් කොට වදාළේ එහෙයිනි.
විශේෂයෙන් දත යුත්තක්:
මේ සතිපට්ඨාන භාවනාව ම ආර්ය මාර්ගයට හා නිර්වාණයට පැමිණීමට එක ම මාර්ගය ය යි වදාළ බැවින්, සතර සතිපට්ඨානයෙන් තොර වූ භාවනා ක්‍රම සියල්ල නිවනට නොපමුණුවන අමාර්ගයන් බව දත යුතු ය.