අදහස් දැක්වීම

සතිපට්ඨාන විපස්සනා භාවනා නමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙභෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ විවරණයෙකි. මහා සතිපට්ඨාන සූත්‍රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ ද මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් ද කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්‍ර ධර්මයකි. භාෂා ශාස්ත්‍ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්‍යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතුය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.

ශ්‍රී ලංකා ශෙවජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්යය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාඞ්ගයන්ගෙන්ම පරිපූර්ණ මහා ස්ථවිර නමකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්යවරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්‍යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ග මහා පණ්ඩිත මහාසී සයාඩෝ නමැති කර්මස්ථානාචාර්යය මහා ස්ථවිරයන් වහන්සේ ආදි බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිත කර ඇත්තෙකි. භාවනා ක්‍රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත් දැකීම් ඇතියෙකි. කරුණු මෙසේ හෙයින් දෙවිනුවර ඥාණාවාස ස්ථවිරයන් වහන්සේ සතිපට්ඨාන සුත්‍රයට අර්ථ විවරණයක් කිරීමට ඉතා සුදුසු තෙර නමකි. උන් වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්ම ග්‍රන්ථය නිවන් මඟ සොයන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතු ය.

දහම් පාසල් ආදියෙහි සතිපට්ඨාන සූත්‍රය උගන්වන ගුරුවරුන් විසින් ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්‍රය උගැන්වීම දුෂ්කර වී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්‍යයනට ද මේ සීවටන් සුතුර අමිහිරි දහමක් වී තිබේ. ඥාණාවාස නා හිමියන්ගේ මේ ග්‍රන්ථයෙන් ඒ ගුරු ශිෂ්‍ය සැමදෙනාට ම ද මහත් පිහිටක් වනු ඇත. වයෝ වෘද්ධව සිටින අප නා හිමියන්ට තවත් මෙබඳු ග්‍රන්ථයන් සම්පාදනය කළ හැකිවීමට කාය ශක්තිය ලැබේවා! යි පතමු.

මීට- ශාසනෝදයකාමි,

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.

2514 /1970

ජූලි මස 23 වෙනි දින,

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.