හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වෛනෙය ජනයාගේ නිර්වාණාවබෝධය සඳහා දේශනාකර වදාළ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය පිළිබඳ මේතාක් ප්‍රකාශයට පත්ව තිබෙන පොත් රැසකි. ඒවා බොහෝසෙයින් ම පාලිපාඨවලට අර්ථදීම පිණිස කෙරී තිබෙන බව පෙනේ. විදසුන් වැඩීමට නිසි මඟ පෙන්වා නො තිබීම නිසා නියම ප්‍රයෝජනය ගැනීම දුෂ්කර බව සැළකූ කොළඹ මහවිශුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයාධිපති ගෞරවාර්හ දෙවිනුවර ඤාණවාස මහානායක ස්ථවිර පාදයන් වහන්සේ බොහෝ වෙහෙස දරා අටුවා ටීකා හා බුරුම බසින් මුද්‍රිත පොත්පත්වල අදහස්ද ගෙන බුරුම රට “ශාසනයෙයිත්තා”භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක පරියාප්තිධර අග්ගමහා පණ්ඩිත භදන්ත සොභන මහස්ථවිර පාදයන් වහන්සේගේ ගුරූපදේශයන් ද ගෙන සකස් කරන ලද “සතිපට්ඨාන විපස්සනා භාවනා”නැමති අගනා පුස්තකය අප විසින් ද කියවා බලන ලදී.

එය විදසුන් වැඩීමේ නියම ක්‍රමය බවත් ඒ අනුව ක්‍රියා කිරීමෙන් භාවනාවකින් ලබා ගතයුතු නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවාට කිසිම සැකයක් නොමැති බවත් අත් දැකීම් අනුව ප්‍රකාශ කළ හැක. එබැවින් දුර්ලභව ලබාගත් මිනිස් ජිවිතයෙන් හා අතිශයින් දුර්ලභව හමුවූ නෛර්යයානික බුද්ධශාසනයෙනුත් ඇතිකර ගතයුතු ඵලය ලබා ගැනීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රමය මැනවින් පහදා දීමත්, භාවනා කරණ යෝගාවචරයින් හට හමුවන ඉතා සියුම් ධර්ම ක්‍රමයන්ද පැහැදිලි කර තිබීම වඩාමත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. මේ ආදී කරුණු අනුව කල්පනාකර බලන විට භයානක දුක්රැසක් දිවා රෑ දෙක්හි විඳිමින්, ගතිනියමයක් නො මැතිව සිටින, සංසාරික දුක්වලින් මිදීමට කැමැති සැම දෙනා විසින් ම, “සතිපට්ඨාන විපස්සනා භාවනා”පුස්තකයෙන් පෙන්නුම් කර දී තිබෙන අන්දමට භාවනා වඩා සියලු දුක් වලින් නිදහස් වීමට උත්සාහ කරත්වා! රෝගාතුර කම්වලින් පෙළෙමින් වයෝවෘද්ධව සිටින මහානායක ස්ථවිරයන් වහන්සේ මෙවැනි ලෝවැඩදායි අගනා ග්‍රන්ථයක් සකස් කිරීම සඳහා ගෙන තිබෙන පරිශ්‍රමය ගැන නිර්වාණාභිලාෂී සැම දෙනාම කෘතඥ විය යුතු වේ.

මීට- ශාසනස්ථිතිකාමී,

කහටපිටියේ සුමතිපාල මහාස්ථවිර

කඳුබොඩ - භාවනාමධ්‍යස්ථානය

2514 / 1970. 10. 5