පෙර වදන

star_outline

මිහිඳු මහ රහතුන් වහන්සේ මේ හෙළ දිව බුදු සසුන පිහිටු වූ තැන් සිට, කලක් ම මෙ රට භාවනානු යෝගීන් ගණනින් වැඩී ගිය ද කලකට පසු විදර්ශනා ධුරයට වඩා ග්‍රන්ථධූරය නැඟී ගියේ ය. එහෙත් විදර්ශනාධූරය මුළු මනින් හෙළ දිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවසැ වූ ශාසන විනාශයෙන් පසු එය අතුරුදහන් ම වී ය.

වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ගේ උද්‍යෝගයෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යලිදු මෙහි සසුන පිහිටුවන ලදින් භාවනානුයෝගීහු මෙහි මඳ වශයෙන් ඇති වූහ. ඔවුන් අතුරෙහි කෙනෙක් ශමථය වැඩුහ. ඉතා ටික දෙනෙක් විදර්ශනා වැඩූහ.

බොහෝ පෙරැ සිට ම බුරුම රට ශමථයානික විදර්ශනයානික යෝගි පරම්පරාවෝ අවිච්ඡින්න වැ පැවැත්තා හ. පෙරැ බොහෝ සෙයින් සගයින් පර්වතය වැනි ආරණ්‍ය ශයනාසනයන්හි පැවැති යථොක්ත යෝගාවචර පරම්පරාවෝ ක්‍රමයෙන් පැතිර ගොස් අද ග්‍රාමාන්තශයනාසයන්හි ද දියුණු වෙමින් පවතිත්.

අද බුරුමරටැ විදර්ශනා කර්මස්ථානාචාර්යන් අතුරෙහි උපරිම ස්ථානයෙහි වැජඹෙන කෙනෙකි, රැන්ගුන් නුවරට නොදුරෙහි ශාසනයෙයිත්තා යෝගාශ්‍රමයෙහි අධිපති අග්ගමහා පණ්ඩිත මහාසීසෙයාඩෝ නමින් ප්‍රකට මහ තෙරණුවෝ. අද ධර්මධරයන් අතර ත්‍රිපිටකධාරී යැ යි කිව යුතු තරමට අටුවා ටීකා සහිත තෙවළා දහම්හි හසළ බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ මහාධර්‍මධරයෙකු වූ, විදර්‍ශනා භාවනායෙහි බොහෝ ඉහළට මුහුකුරා ගිය භාවනාමය ප්‍රඥා ඇති මහතෙරණුවන් විසින් වීදර්ශනා භාවනාව පිළිබඳ රැසැයුණු ග්‍රන්ථ කිහිපයක් ද වෙති. මෙ කී තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදී තෙරවරුන් මේ හෙළදිව වැඩ ඇරැඹි සතිපට්ඨාන භාවනා ක්‍රමය අද මෙරට අද නොයෙක් තන්හි සැදැහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලැබේ. කලක් ම මෙ රට පිරිහෙමින් පැවැති විදර්ශනාධූරය මෙසේ මහාසී මහතෙරුන් ගේ සිසු පිරිස මඟින් මෙහි හිස ඔසොවා නැඟී සිටින්නට විය.

මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳ ව වර්‍ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොත පත පළ වෙයි. මෑතක සිට මේ හෙළදිව ද විදර්‍ශනා භාවනාව පිළිබඳ පොත් පළවන්නට වී ඇත.

ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් ලියන ලද මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා පොත මෙයට පළමුවෙන් මෙහි පහළ වූ භාවනෝපදේශ පොත් අතුරෙහි උසස් ම තැනක් ගන්නා එකකැ යි කියතොත් එය අතිමාත්‍ර වර්ණනාවෙක් නොවේ යැ යි මගේ හැඟීම යි.

මහාසීමහතෙරුන් විසින් සතිපට්ඨාන භාවනාව පිළිබඳ ව බුරුම බසින් ලියා පළ කරවන ලද විශාල කාණ්ඩ දෙකකින් පරිමිත මහඟු මහා ග්‍රන්ථයක් ඇත. එය ද ඇසුරු කොට, තවත් පෙල අටුවා ටීකා ආදියෙන් ද කරුණු ගෙන මෙම පොත ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් රචිත ව ඇත. බුද්ධ ධර්‍මයෙහි යථාතත්වය දැනගනු රිසියවුනට ද භාවනානුයෝගීනට ද මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත් නම් බොහෝ පහළ වෙයි. එහෙත් මෙබඳු පොතක් පහළ වනුයේ කලාතුරකිනි. මේ පොත රැසැයූ ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරණුවෝ මෙයින් හෙළදිවට මහදර්ථයක් සිදු කෙරෙති.

දැන් මේ මහඟු ග්‍රන්ථයේ කර්තෘ ඇරැබ ද යමක් කිය යුතු වැ ඇත.

යටකී පරිදි වැලිවිට සරණංකර සඟරජුන් ගේ ශාසන සංග්‍රහයෙන් සූත්‍රපිටක විනයපිටක දෙක්හි ද ව්‍යාකරණ ඡන්දෝලංකාර ශාස්ත්‍රයන්හි ද දැනීම මෙ රට කෙමෙන් වැඩී ගියේ ය. ඇතැම් ගිහි පැවැදි පඬි කෙනෙක් මහෝත්සාහයෙන් අභිධර්ම පිටකය අතේ දැනීම ද තරමක් දියුණු කැරැ ගත්තාහු ද එය පැතිරවීමෙහි එතරම් උනන්දු නොවූහ. එදා සූත්‍ර විනය දෙකට ම ප්‍රධාන තැන ලැබී තුබුණේ ය. මෙසේ පවත්නා අතරැ අන්තිම බුරුම රජුන් ගේ සමයෙහි බුරුම රටට ගොස් ත්‍රිපිටකධාරී මහ තෙරුන් පස් නමක් වෙතින් අටුවා ටීකා සහිත ව ත්‍රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගිහි පැවිද්දනට විශේෂයෙන් අභිධර්මය ඉගැන්වූ ලක්මිණිපහන් පත් සකසු වූ ධර්මරත්න පඬිතුමා නිසා අභිධර්මය හදාරනුයෙහි උනන්දුව මෙහි ඇති විය.

එයින් කලකට පසු බුරුම රට වැඩ එහි දී ම උපසපුව ලබා, මහාධර්මධර තෙරුන් ඇසුරින් සාර්ථකථා ත්‍රිපිටක ධර්මය ඉගෙන, ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුදනු ලැබ මෙසේ සොළොස් වසක් බුරුම රට වැස, මෙහි වැඩ කොළොඹැ මහා විසුද්ධාරාමය ඇති කොට ශත සංඛ්‍යාත ගිහි පැවිදි ජනයාට ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමෙන් මහත් ශාසන සේවාවක් කළ අරංගල සිරිධම්ම මහා නාහිමිපාණන් ගෙන් වූ ශාසනෝද්දීප්තිය ඉතා මහත් ය.

උන් වහන්සේ වෙත දහම් විනය හදාළ බොහෝ පැවිදි තැන් අතුරෙහි දෙවිනුවර ඤාණාවාස මහා නායක මහ තෙරණුවෝ උච්චස්ථානයක් ගත්තෝ ය. උන් වහන්සේ බුරුම රට ද වැඩ කලක් එහි ද දහම් විනය ඉගෙන ධර්ම පරීක්ෂණ කිහිපයකින් ම සාමර්ථය ලැබ පෙරළා මෙහි වැඩ, ඒ සිරිධම්ම මහ නාහිමිඳුන් ඇරැඹු ත්‍රිපිටක විද්‍යාලයයේ ඉගැන්වීමෙහි අදත් නිරත ව ඉඳිති.

මෙසේ වූ මහා ධර්මධර පඬිවරයකු විසින් ම විනා සාමාන්‍ය උගතකු විසින් මෙ බඳු ග්‍රන්ථයක් නිපදවනු දුෂ්කර ය. මේ පොත බොහෝ දුරට කියවා බැලූ මට මේ ග්‍රන්ථයෙහි අගය පමණ කළ නොහැකි සේ වැටහිණ.මේ වටිනා ග්‍රන්ථය භාවනානු යෝගීන් ගේ ත් ධර්මඥානාභිලාෂීත් මනදොළ පිරීමෙහි හැම ලෙසින් ම සමර්ථ වේ වා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර

(ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක)

1970. 10. 13

බළන්ගොඩ, බුලගමැ

උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ දී යැ.