අප විසින් 1966 දෙසැම්බර් මාසයේ සිට 1967 මැයි මාසය දක්වා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී “සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියක්” පවත්වන ලදී. එහිදී විදසුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස විදසුන් වඩන ක්‍රමය හැකිතාක් දුරට පැහැදිලි වනසේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළෙමි. මේ කරුණ මැනවින් ඉටු කිරීමට බුරුම රට රැංගුන් නුවර “සාසනයෙයිත්තා” භාවනා මධ්‍යස්ථානයේ අධිපති “මහාසී සයාඩෝ” නමින් හැඳින්වෙන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහා ස්ථවිරයන් විසින් බුරුම බසින් ලියන ලද “සතිපට්ඨාන සන්නය” ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ පොත්වලින් කරුණු ගෙන හැර දැක්වීමි. එසේම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවා හා ටීකාවලින් ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීමි. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්‍රණය කොට බෙදා දෙන ලදී.
එම ධර්‍ම පත්‍රිකා කිය වූ සැදැහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩන අයගේ පහසුව පිණිස එම දහම් කොටස සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරවන මෙන් ඉල්ලා සිටියහ. සතිපට්ඨානය ගැන ලියවුණු පොත් කොතෙකුත් ඇතත් මේ භාවනා ක්‍රමය එමගින් විස්තර නොවන හෙයින් පොතක් වශයෙන් සකස් වුව හොත් බොහෝ දෙනෙකුගේ යහපත පිණිස හේතුවෙතැයි මට ද සිතුනි. එහෙත් මෙකල මෙබඳු පොතක් මුද්‍රණය කරවීමට සෑහෙන මුදලක් යට කළ යුතුය. අපට එබඳු හැකියාවක් නැති හෙයින් එය මෙතෙක් කල් අතපසු විය. ඒ අතර සැදැහැවතුන් කීප දෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්‍යාග කොට මෙම කටයුත්තෙහි ලා අපව උත්සුක කළහ. මේ “සතිපට්ඨාන විපස්සනා භාවනා” නමැති පොත පළවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
සතිපට්ඨානය වනාහී සියළු ම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරන ලද්දකි. “සබ්බ බුද්ධානං අවිජහිතං ‘සතිපට්ඨානං’ යන්නෙන් එය පැහැදිලි කරයි. පසේ බුදුවරයන් හා සියලු බුදු සව්වෝ ද දුක් කෙළවර කොට නිවණට පැමිණියෝ මේ භාවනා මාර්ගයෙන් ම ය. නිවන් කැමති සියළු උවසු උවැසියන් විසින් ද වැඩිය යුතු - ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්‍රම ය යි. මේ භාවනාව වැඩීමෙන් මේ ආත්මයේ දී ම මගඵල හා නිවන් ලැබිය හැකිය.
එසේම භාවනා වැඩීමේ දී නිවන් දැකීමට පෙරාතුව ම භාවනාව තරමක් දියුණු වූ තැන් සිට පිළිවෙළින් කෙලෙස් මළ දුරුවී යෑමෙන් දුක් දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක් කම්කටොළුවලින් තාවකාලිකව නමුත් අස්වැසිල්ලක් ලද හැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමෙනි. එහෙයින්ම සිල් සමාදන් වන - භාවනා කරන හැම කෙනෙකු ලඟම සතිපට්ඨාන පොතක් දක්නට ලැබීම ඉතා අගනා දර්ශනයකි. ඇතැම් අය මරණාසන්න මොහොතේ දී පවා සතිපට්ඨානය අස්වති. ඈත අතීතයේ සිට ම මේ සිරිත පැවති බවක් ධම්මික උපාසක තුමාගේ කථා පුවතින් ද පැහැදිලි වේ. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත සකස් කිරීමට අදහස් කෙළෙමි.
අවිවේකීව හා රෝගාතුරව සිටිමින් ලිවීමට හා මුද්‍රණය කරවීමට සිදුවූ හෙයින් ප්‍රමාද දෝෂ ද විය හැකිය. එබඳු තැන් ඇතොත් නැවත මුද්‍රණය කිරීමේ දී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මධර පාඨකයිගේ පිටුවහල බලාපොරොත්තු වෙමි.
කෘතගුණ සැලකීම
කොල්ලුපිටියේ ඇඩ්වඩ් පටු මාවතේ අංක 52, නිවසේ ඇස්. ද ඇස්. වික්‍රමරත්න මහත්මයා සහ එම මහත්මිය ද, හැව්ලොක්ටවුන්හි පොලිස්පාක් පෙදෙසේ අංක 6, නිවසේ ගුණසේන ද සොයිසා මහත්මිය ද, කොල්ලුපිටියේ රයිලන්ඩ් පෙදෙසේ අංක 17, නිවසේ ඇල්ප්‍රඩ් ද සොයිසා මහත්මිය ද යන මේ සැදැහැතියන් විසින් තම තමන්ගේ අභාවප්‍රාප්ත ඥාතීන්ට පින් පිණිස පොත් දාහක් මුද්‍රණය කරවීමේ වියදම දරන ලදී. ඒ අයට සහ ඔවුන්ගේ මලගිය නෑයනට ද උතුම් නිවන් සුව අත් වේවා. මේ පොත සම්පාදනයෙන් ලත් කුශලය ද ඔවුන්ට අනුමෝදන් කරවමි.
එසේ ම පොත මුද්‍රණය කරවීම සම්බන්ධ හැම කටයුත්තකදී ම අතිශයින් උද්‍යෝගිමත්ව ක්‍රියා කළ අපගේ ප්‍රිය ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පත්බේරියේ සිරිනිවාස ස්ථවිර නම ද, බ්ලොක් එක සපයා දුන් බී. සුමනදාස පෙරේරා මහත්මයා ද, පොත් මුද්‍රණ කටයුතු හොඳින් කර දුන් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව පින් දෙමින් සිහිපත් කරමි.
ආචාර්ය පූජා
කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයයාධිපතිව වැඩ වෙසෙමින් මහඟු සේවාවක් සිදුකොට අපවත් වී වදාළ ශ්‍රී ලංකා ස්වේජීන් නිකායේ ආදිකතෘභූත ත්‍රිපිටක පර්යාප්ති ධරඅරංගල සිරි ධම්මාභිධාන අස්මදාචාර්ය මාහිමියන්ගේ ශ්‍රී නාමයට මෙම පුස්තකය පූජෝපහාරයක් වේවා !
දෙවිනුවර ඤාණාවාස ස්ථවිර (ශ්‍රී ලංකා ස්වේජිං නිකායේ මහානායක)
මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලය
දෙමටගොඩ,
කොළඹ 10.
2514 වප් මස
1970 ඔක්තෝම්බ 10 දින