පීති සම්බොජ්ඣංගය

star_outline

පාලි

“සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

තමාගේ සන්තානයෙහි පීතිසම්බොජ්ඣංගය විද්‍යමාන ව පවත්නා කල්හි දැන් මා තුළ පීති සම්බොජ්ඣංගය ඇත්තේ ය යි දැන ගන්නේ ය. යම් කලෙක තමා තුළ පීතිසම්බොජ්ඣංගය නැති නම් ඒ නැති බව ද දැන ගන්නේ ය. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් පීතිසම්බොජ්ඣංගය උපදී නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගන්නේ ය. උපන් පීති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් මාර්ගයකින් සිදු වෙයි නම් ඒ රහත් මාර්ගය ද දැන ගන්නේ ය.

විදර්ශනා කමටහන් අරමුණ මෙනෙහි කරන කල්හි ඒ විදර්ශනා අරමුණෙහි සිත පිනවමින් භාවනාවෙහි සිත උකටලී කරවන, අරතිය දුරුකොට කුශලයෙහි සිත අලවන ධර්මරතිය දියුණු කරවමින් සිතේ ඇතිවන ප්‍රීතිය මාර්ගඥානයට උපකාර වන බැවින් පීතිසම්බොජ්ඣංගය ය යි කියනු ලැබේ.

ප්‍රීතිය වනාහි

1. ඛුදික්කා පීති ය,

2. ඛණිකා පීති ය,

3. ඔක්කන්තිකා පීති ය,

4. උබ්බේගා පීති ය,

5. ඵරණා පීති ය යි පස් වැදෑරුම් වේ.

එහි ඛුද්දිකා පීති නම්, ශරීරයෙහි ලොමු දැහැ ගැනීම (ලොම් කෙළින් කරවීම) පමණක් සිදු කොට නැවත නූපදින ප්‍රීතිය යි.

ඛණිකා පීති නම්, විදුලියක් සේ ක්ෂණයක් පාසා උපදනා ප්‍රීති ය යි. එය බහුල වශයෙන් උපදී.

ඔක්කන්තිකා පීති නම්, මුහුදු වෙරළට රැල ගසන්නාක් මෙන් නිතර කය සෑම තැන ම පැතිර යමින් නැගි නැගී බසින ප්‍රීති ය යි.

උබ්බේගා පීති යනු ශරීරය අහසට නැවීමට තරම් වේගවත් ප්‍රීති ය යි. එය මේ කථා පුවතින් දත හැකි ය.

එනම්:- පුණ්ණපාලික විහාරයෙහි වැඩ වසන මහාතිස්ස හිමිතුමා පුණු පොහෝ දිනක සිය අරමේ සෑ මලුවට ගොස් චන්ද්‍රාලෝකය දැක “මේ වේලාවෙහි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිස රුවන්වැලි මහ සෑය වඳිති ය” යි සිතා පෙර තමන් ඒ වැඳීම දුටු සැටි මෙනෙහි කොට බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගත්තේ ය. බලවත් වූ ඒ ප්‍රීතිය නිසා පොළොවේ ගැසූ රබර් පන්දුවක් මෙන් එතුමාගේ ශරීරය අහසට නැඟී මහ සෑ මලුවෙහි පහත් වී ය. එය සිදුවූයේ සෘද්ධි බලයෙන් නො ව ප්‍රීති වේගය නිසා ය.

ඒ ගැන ම තව කථාපුවතක් ඇත. එනම්, ගිරි කණ්ඩවිහාරයට නුදුරු වත්තකාල ගමෙහි එක් තරුණ කුලදියණියකගේ මවුපිය දෙදෙන සවස බණ ඇසීමට විහාරයට යන්නාහු “දුවේ! ගර්භනීව සිටින ඔබට නො කල්හි ඇවිදීම සුදුසු නැත, අපි ඔබට ත් පින් සඳහා බණ අසන්නෙමු ය” යි කියා ගියහ. බලවත් ශ්‍රද්ධාව ඇති ඕ තොමෝ යනු කැමැති වුවත් මවුපිය දෙදෙනාගේ වචනයට කීකරු ව ගෙදර නැවතුනා ය. ගෙමිදුලේ සිට බලන කල්හි සඳ එළිය නිසා ගිරිකණ්ඩයේ කඳු මුදුනේ පිහිටි චෛත්‍යය බලන ඇයට පහන් පූජාව පෙනුණි. සෑය වැඳ ප්‍රදක්ෂිණා කරන සැදැහැවතුන් ද දකින්ට ලැබුණි. “මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පහන් ආදිය පුදමින් හැසිරෙන්ට ලබන්නෝ ද, මිහිරි බණ අසන්ට ලබන්නෝ ද ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ වෙති ය” යි සිතන ඇයට උබ්බේගා පීතීය උපන්නී ය. ඒ ප්‍රීති වේගය නිසා ඉන්ට ම අහසට නැගුණු ඕතොමෝ මවුපියන් එහි පැමිණෙන්ට පෙර ම චෛත්‍ය මලුවට අහසින් බැස චෛත්‍යය වැඳ බණ අසමින් උන්නා ය. මවුපිය දෙදෙන එතැනට අවුත් ඇය දැක, “ආවේ කොයි මගින්දැ” යි විචාරණ ලද්දී, “අහසින් ආවෙමි” ය යි කීවා ය. “දුවණියනි! අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේලා ය, නුඹ කෙසේ ආවෙහිදැ” යි ඇසූ විට සිදු වූ සැටි විස්තර කොට කීවා ය. මෙසේ උබ්බේග පීතිය පුලුන් පොදක් සේ ශරීරය ආකාශයෙහි පාකර හැරීමෙහි සමර්ථ වන්නී ය.

ඵරණ ප්‍රීතිය නම් සුළං පිර වූ රබර් කොට්ටයක මෙන් සකල ශරීරය තුළ පැතිරී ගිය ප්‍රීතියකි.

මෙහි වනාහි බෝධිසංඛ්‍යාත මාර්ග ඥානයට උපකාරවන විදර්ශනා ඥානය හා යෙදෙන ප්‍රීතිය ද මාර්ග ඥානය හා යෙදෙන ප්‍රීතිය ද පීති සම්බොජ්ඣංග ය යි කියනු ලැබේ.

ප්‍රීති සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසක් ඇත. එනම්:

1. බුද්ධානුස්සති,

2. ධම්මානුස්සති,

3. සංඝානුස්සති,

4. සීලානුස්සති,

5. චාගානුස්සති,

6. දේවතානුස්සති,

7. උපසමානුස්සති,

8. ලූඛපුග්ගලපරිවජ්ජනතා,

9. සිනිද්ධපුග්ගලසේනතා,

10. පසාදනීය සුත්තන්ත පච්වෙක්ඛණතා,

11. තදධීමුත්තතා යනු යි.

එහි බුද්ධානුස්සති යනු බුදුගුණ නැවත නැවතත් සිහිකිරීම ය.

ධම්මානුස්සති යනු ත්‍රිපිටක පර්යාප්තිය හා මාර්ග ඵල නිර්වාණ යන දහම් ගුණ නැවත නැවතත් සිහි කිරීම ය.

සංඝානුස්සති යනු ආර්යය සංඝයාගේ ගුණ නැවත නැවත ත් සිහි කිරීම ය.

සීලානුස්සති යනු තමා විසින් රක්නා ලද පිරිසිදු සීලය නැවත නැවතත් සිහි කිරීම ය.

චාගානුස්සති යනු තමාගේ ත්‍යාග ගුණය හෙවත් තමා විසින් දුන් දානය පිළිබඳ මසුරු මල දුරු කිරීම් වශයෙන් පැවැති පිරිසිදු ත්‍යාග ගුණය නැවත නැවතත් සිහි කිරීම ය.

දේවතානුස්සති යනු දේවතාවෝ ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා, හිරි, ඔත්තප්ප යන යම් සත්පුරුෂ ධර්මයකින් යුක්ත ව දේවත්වයට ගියාහු ද, එවැනි ගුණධර්ම මා තුළ ද ඇතැයි දෙවියන් ශිෂ්‍ය කොට ගෙන තමා තුළ පවත්නා ශ්‍රද්ධා-ශීල ආදී ගුණයන් නැවත නැවතත් සිහි කිරීම ය, සිහි කරමින් ඒවා දියුණු කිරීම ය.

උපසමානුස්සති යනු නිර්වාණයේ පවත්නා දුක් සංසිඳ වීමේ ගුණය නැවත නැවත ත් සිහි කිරීම ය.

ලුඛපුග්ගලපරිවර්ජනතා යනු පැහැදිය යුතු බුදුගුණ දහම් ගුණ සඟ ගුණ ආදියෙහි ප්‍රසාද ස්නේහයක් නො මැති ව රූක්ෂ (තද හිත් ඇති) පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරුකිරීම ය. එසේ දුරු කරනු ලබන්නේ තමා රත්නත්‍රය කෙරෙහි ආදර ගෞරව කරන නිසා එයට බාධා විය හැකි බැවිනි.

සිනිද්ධපුද්ගලසේනතා යනු බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොලොක් සිනිඳු සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.

පසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා යනු රත්නත්‍රයයේ ගුණ ප්‍රකාශ කොට ඇති සූත්‍ර ධර්මයන් ඉගෙන එහි අර්ථ අදහස් විමසා බැලීම ය.

තද්ධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියවු පවත්වන හැම අවස්ථාවකදී ම විදර්ශනා ප්‍රීතිය උපදවා ගන්ට ඕනෑ ය යි එයට නැමුනු සිත් ඇති බව ය.

බුදු ගුණ සිහි කිරීමෙන් හටගන්නා ප්‍රීතිය නිසා උපදවන ප්‍රණීත චිත්තජ රූපවලින් සකල ශරීරය පුරවාලමින් පීතිසම්බොජ්ඣංගය පහළ වෙයි.

“සභාවත්තා ච නේකත්තා - එකස්සාපි ච ගම්භීරා

බුද්ධානුස්සති ආදීසු - උපාචාරො ව නාප්පනා”

යි කී බැවින් ඉතා ගැඹුරු පරමාර්ථ ස්වභාව ධර්‍ම වූ බැවින් ද බුදුගුණ, දහම් ගුණ ආදියෙහි බොහෝ කොටස් ඇති බැවින් ද, එක එක ගුණයක් ගෙන බැලුවත් එය අතිශයින් ගැඹුරු බැවින් ද, බුදු ගුණ ආදී කමටහන් මෙනෙහි කිරීමෙන් - සිහි කිරීමෙන් උපාචාර සමාධිය මිස අන්‍ය සමාධියක් උපදවාගත නො හැකි ය.

එසේ ම බොහෝ කලක් කඩ නො කර රත්නා ලද ශිලය ප්‍රත්‍යවේක්ෂ කරන කල්හි ද, ප්‍රණිත භෝජනය සිල්වතුන්ට දුන්නෙමැ යි ප්‍රත්‍යවේක්ෂා කරන කල්හි ද, දේවත්වයට පැමිණි දෙවියන් තුළ පැවැති ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්ම තමා තුළ පවත්නා බව සිහි කරන කල්හි ද, භාවනාවෙන් යටපත් වූ කෙලෙස් නූපදනා බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ද වෙහෙර විහාර, බෝධි, චෛත්‍ය ආදී සිද්ධස්ථානයන් සහ සිල්වත් ගුණවත් පැවිදි උතුමන් කෙරෙහි ගරු සැලකිලි නො දක්වන කටුක - රළු පුද්ගලයන් දුරු කොට, බුද්ධාදී උතුම් වස්තූන්හි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොළොක්

උතුමන් සේවනය කරමින්, ප්‍රසාදය වැඩි දියුණු කරවන දහම් කොටස් භාවිතා කරමින්, නිතර භාවනා ප්‍රීතියට නැමුනු සිත් ඇති ව වාසය කරන්නාහට පහසුවෙන් ම පීතිසම්බොජ්ඣංගය පහළ වන්නේ ය. මෙසේ යෝගාවචරයාහට උපන් ප්‍රීතිය අවසාන වශයෙන් මස්තකප්‍රාප්තවන්නී රහත් මාර්ගයෙන් ය යි දැන ගන්නේ ය.