පාලි
සන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති.
යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්සෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
කෙටි අදහස
යෝගී තෙම තමා තුළ ධම්මවිචය සම්බොජ්ඣඩ්ගය ඇතිව පවත්නා කල්හි දැන් මා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ඇතිව පවත්නේ ය යි දැන ගන්නේ ය. තමා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතහොත් දැන් මා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතැයි දැන ගන්නේ ය.
යම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය උපදී නම් එයත් දැන ගන්නේ ය. එසේ ම උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් මාර්ගයකින් සිදුවෙ යි. නම් ඒ අර්හත් මාර්ගයත් දැන ගන්නේ ය.
ධම්මවිචය නම්, නාම රූප ධර්මයන් ගේ ඇති තතු සොයා පරීක්ෂ කොට දැන ගන්නා ඤාණ ය යි. ඒ මෙසේයි: නාම-රූප ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කරන යෝගාවචරයා මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා - එක් එක් නාම - රූප අරමුණෙක්හි විශේෂයෙන් ප්‍රකට ව පවත්නා ස්වභාව ලක්ෂණය ද දැන ගන්නේ ය. ඒ ඒ නාමය හෝ රූපය. පහළ වීම ය යි කියන ලද ඉපදීම ද පිරිසිඳ දැන ගන්නේ ය. උපන් වහාම නිරුද්ධවීම ය යි කියන ලද නැතිවීම ද පිරිසිඳ දැනගන්නේ ය. එසේ ම නිතර නො පවතින්නා ආකාර ය යි කියන ලද අනිත්‍ය ලක්ෂණය ද, නො හොඳ නරක, දුක් හිරිහැර පීඩා උපදවන ආකාරය වූ දුක්ඛ ලක්ෂණය ද, මම යයි කියා ගත යුතු ආත්ම සාරයක් නො මැති ආකාර ය යි කියන ලද අනාත්ම ලක්ෂණය ද යන මේ ත්‍රි ලක්ෂණයන් ප්‍රකට කොට දැන ගන්නේ ය. මේ දැන ගැනීම චතුස්සත්‍යවබෝධයට ඉවහල් වන බැවින් ධම්මවිචය සම්බොජ්ඣංග ය යි කියනු ලැබේ.
ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපිද වීමට යෝනිසෝමනසිකාරය පමණක් නො ව වෙනත් කරුණු සතක් උපකාර වෙයි. එනම්,
1. පරිපුච්ඡකතා,
2. වත්ථුවිසදකිරියතා,
3. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා
4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනා
5. පඤ්ඤවන්ත පුද්ගල සෙවනා,
6. ගම්භීර ඥාණ චරිය පච්චවෙක්ඛණා,
7. තදධිමුත්තතා යනු යි.
එහි පරිපුච්ඡකථා යනු ස්කන්ධ, ධාතු ආයතන, ඉන්ද්‍රිය, බල, බෝධ්‍යඞ්ග, මාර්ගාඞ්ග, ධ්‍යනාඞ්ග, සමථ, විදර්ශනා යන මේ ධර්මයන් පිළිබඳ ගැටළු තන්හි අර්ථ අදහස් දැන ගැනීම පිණිස ප්‍රශ්න කිරීම ය.
වත්ථුවිසදකිරියතා යනු ආධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදුකර ගැනීම ය. යෝගී පුද්ගලයා ගේ කෙස්, නිය, ලොම් දික් ව තිබේ නම්, ශරීරය හෝ වා, සෙම් ආදී දොස් කෝපව පවතී නම්, දහඩිය, කුණු ආදියෙන් අපිරිසිදු වී තිබේ නම් එය ආධ්‍යාත්මික වස්තු අපිරිසිදු වීම ය. ඇඳ සිටින සිවුරු හෝ වත්‍ර කිලිටිව දුගඳ හමයි නම්, සෙනසුන හෝ කුණුකසලින් අපිරිසිදුව තිබේ නම් බාහිර වස්තු අපිරිසිදු වීම ය. එවිට කෙස් නිය සිඳීම ය, විරේචන බේත් ගැනීම ය, ස්නානය කිරීම ය යන මේ ආදියෙන් අධ්‍යාත්මිකත් වස්තූන් පිරිසිදු කර ගත යුතුය. සිවුරු හෝ ඇඳුම් සේදීම් ආදී වශයෙන් බාහිර වස්තූන් පිරිසිදු කර ගත යුතු ය. අධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදු වූ කල්හි යෝගී පුද්ගලයාගේ ඤාණය ද පිරිසිදු වෙයි. එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය පහසුවෙන් උපදවා ගත හැකි වෙයි.
ඉන්ද්‍රිය සමස්ත පටිපාදනතා යනු සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම පස සම සමව පවත්වා ගැනීම ය. අශ්‍රද්ධාව ය, කුසීත බවය, සිහි මුළාව ය, උද්ධච්ච ය, අවිද්‍යාව ය යන මොවුන් මැඩ පවත්වා භාවනා සිතෙහි ප්‍රධානත්වය උසුලන සද්ධින්ද්‍රිය ය ආදිය සම සමව පවත්වා ගත යුතු ය. ඉදින් සද්ධින්ද්‍රිය බලවත් ව ඉතිරි ඉන්ද්‍රියයන් දුර්වල වුවහොත් භාවනා සිතට අනුබල දීම ය, භාවනා අරමුණ සිහිපත් කරවී ය, සිත තැන්පත් කරවීම ය, අරමුණේ ස්වභාව ලක්ෂණය හා සාමාන්‍ය ලක්ෂණය දැන ගැනීම ය. යන මේ කටයුතු දැය අනික් ඉන්ද්‍රියයන් ගෙන් සිදු නො වන්නේ ය. එහෙයින් වක්කලි තෙරුන් මෙන් අධික ශ්‍රද්ධාව මැඩ පවත්වා, අනික් සමාධි ප්‍රඥා ආදී ධර්මයන් හා සම තත්ත්වයෙහි පවත්වා ගත යුතු ය. වක්කලි තෙරුන්ගේ සිතෙහි ශ්‍රද්ධාව අධික ව විදර්ශනා අරමුණෙහි සිත යොදවා ගත නො හැකිව සිටින කල්හි ඒ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන්ට ඉන්ද්‍රිය ධර්මයන් සම සම ව පවත්නා අයුරින් කමටහන් අරමුණ පැහැදිළි කර දුන් සේක. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දුන් නය ක්‍රමයෙහි එල්බ ගෙන විදර්ශනා වඩා මාර්ග පිළිවෙළින් රහත් බව ලබා ගත්තේ ය.
ඉදින් විරියින්ද්‍රිය ය බලවත් වුවහොත් එවිට සද්ධින්දිය ආදියට අයත් කටයුතු සිදු නො කළ හැකි ය. එහෙයින් ඒ වීර්යය, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා භාවනා වැඩීමෙන් පිරිහෙවිය යුතු ය. සෝණ ස්ථවිරයන් වහන්සේ මෙනි. සෝණ හිමි ඉතා සිවුමැලි වූයෙකි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙන් කමටහන් ලබා ගෙන සීතවනයෙහි වෙසෙමින් මාගේ ශරීරය ඉතා සිවුමැලි වෙයි. සැප විඳිමින් සැප ලබා ගත නො හැකි ය. කයට දුක් දී භාවනා කළ යුතු ය යි සිතා, සිටිමින් හා සක්මන් කරමින් භාවනායෙහි වෑයම් කරන කල්හි යටි පතුල්වල දිය බුබුලු මතු වූහ. එවිට එයින් හටගත් දුක්ඛ වේදනාව ද ගණනකට නො ගෙන දැඩි සේ වෑයම් කරනුයේ, පටන් ගත් වීර්යයය ඉතා අධික වූ බැවින් බලාපොරොත්තු වූ හැටියට මාර්ග ඵල ලබා නො ගත හැකි විය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඒ බව දැක එහි පැමිණ වීණා උපමාවෙන් අවවාද දී වීර්යයය අනික් ඉන්ද්‍රියයන් හා සම කොට යොද වන විධිය දක්වමින් කර්මස්ථානය සුද්ධ කර දී ගිජ්ඣකුට පර්වතයට වැඩි සේක. සෝණ හිමි ද ශාස්තෘන් වහසේ දී වදාළ නය ක්‍රමයෙන්, වීර්යය අනික් ඉන් ඉන්ද්‍රියයන් හා සමකොට යොදා භාවනා කරනුයේ, විදර්ශනා ඥානය දියුණු කොට රහත් ඵලයෙහි පිහිටියේ ය.
එසේ ම සෙසු ඉන්ද්‍රියයන් අතුරෙන් ද එක් එක් ඉන්ද්‍රියයක් බලවත් වූ කල්හි අනික් ඉන්ද්‍රියයෝ තම තමන් ගේ කෘත්‍යයෙහි අසමර්ථ වෙති. මොවුන් අතුරෙන් ද විශේෂයෙන් ශ්‍රද්ධා-ප්‍රඥාවන්ගේ හා සමාධි-වීර්යයයන් ගේ සම භාවය සිදු කළ යුතු ය. ශ්‍රද්ධාව බලවත් ව ප්‍රඥාව අඩු පුද්ගලයා නො පැහැදිය යුතු තැන පැහැදීම ඇත්තෙක් වෙයි. හෙතෙම ගුණ දැන පහදින්නෙක් නො ව තිත්ථිය ශ්‍රාවකයන් මෙන් නො පැහැදිය යුත්තෙහි පහදින්නේ ය. ප්‍රඥාව බලවත් ව ශ්‍රද්ධාව අඩු පුද්ගලයා කෛරාටිකයෙක් වෙයි. බෙහෙතෙන් හටගත් රෝගයකට මෙන් එයට පිළියම් නො කළ හැකි ය. මේ තැනැත්තා සිතුවිලි මාත්‍රයෙන් ම කුසල් සිදු වන්නේ ය යි සීමාව ඉක්මවා කල්පනා කරමින් දන්දීම් ආදී කුසල් සිදු නො කොට නිරයෙහි උපදනේ ය. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකොට උපදවා ගත් තැනැත්තා පැහැදිය යුත්තෙහි ම පහදින්නේ ය. සමාධිය බලවත් ව වීර්යය අඩු පුද්ගලයා කුසීත කමට බර වන බැවින් කුසීත බව ඔහු යටපත් කරයි. එසේ ම වීර්යය බලවත් ව සමාධිය අඩු පුද්ගලයා වීර්යය උද්ධච්චයට පක්ෂ ව ඇති වන බැවින් උද්ධච්චය ඔහු යටපත් කර යි. සමාධිය වනාහි වීර්යය හා එකට යොදා ගත් කල්හි කුසීත බවෙහි ඇද නො වැටෙන්නේ ය. විර්යය හා සමාධිය එකට යොදා ගත් කල්හි උද්ධච්චයෙහි නො වැටෙන්නේ ය. ඒ නිසා ඒ දෙක සම ව තබා ගත යුතු ය.
තවද සමථ භාවනානුයෝගී පුද්ගලයා හට ශ්‍රද්ධාව මඳක් බලවත් වීමෙන් ඒ භාවනාව සාර්ථක වෙයි. එය එසේ මැයි. පඨවිකසිණය භාවනා අරමුණක් ලෙස ගතහොත් “පඨවි, පඨවි” ය යි මෙනෙහි කිරීමෙන් ධ්‍යනයක් උපදවන්නේ කෙසේ දැ යි සැක නො කොට, සම්මා සම්බුදු රජාණන් විසින් වදාරන ලද භාවනා විධිය ඒකාන්තයෙන් ම සමෘද්ධ වන්නේ ය යි විශ්වාස කොට භාවනා කිරීමෙන් ධ්‍යාන ලැබිය හැකි ය. සෙසු සමථ අරමුණෙහි ද මෙසේ ම ශ්‍රද්ධාව ඇති විය යුතු ය.
විපස්සනා යෝගියාහට නම් ප්‍රඥාව බලවත් විය යුතු ය. එවිට යෝගී තෙමේ නාම-රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය හා අනිත්‍යාදි ත්‍රිලක්ෂණය ද ඇති සැටියෙන් අවබෝධ කර ගන්නේ ය.
මෙකී ශ්‍රද්ධා, ප්‍රඥා දෙක සම ව පැවැත් ම ද අර්පනා ප්‍රතිලාභයට උපකාරයකි. සතිය වනාහි හැම තැනක දී ම බලවත්වී ම සුදුසු ය. සති තොමෝ ඒක දේසයකින් උද්ධච්චයට පක්ෂ වූ ශ්‍රද්ධා, වීර්යය, ප්‍රඥාවන්ගේ වශයෙන් විසිර යන සිත උද්ධච්චය කෙරෙන් ආරක්ෂා කර ගනී. එසේ ම කුසීතකමට ලක් වූ සමාධිය ගේ වශයෙන් කුසීත බවට වැටෙන්ට ඉඩ නො දී කුසල් සිත ආරක්‍ෂා කර ගන්නී ය. හැම ව්‍යංජනයකට ම ලුණු වුවමනා කරන්නාක් මෙන් සතිය ද හැම තැනක දීම හැම කටයුත්තක දී ම හැම ගුණ ධර්මයකට ම වුවමනා කරන්නී ය. එහෙයින් “සති ච පන සබ්බත්ථිකා වුත්තා භගවතා, කිං කාරාණා? චිත්තඤ්හි සතිපටිසරණං, න ච විනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහො හොති” යි අටුවායෙහි කීහ. සතිය වනාහි හැම කටයුත්තකට ම වුවමනා කරන්නී ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් නිසා ද? කුසල චිත්තය සිහිය පිළිසරණ කොට ඇත්තේ ය. සතියෙන් තොර ව සිතට නිග්‍රහය හෝ අනුග්‍රහය සිදු නොවන්නේ ය යනු ඒ අටුවා පාඨයේ අදහස යි.
දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනතා යනු ස්කන්ධ ආයතන ආදිය නූගත් දුප්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරු කිරීම ය.
පඤ්ඤවන්තපුද්ගලසේවනතා යනු ප්‍රඥාව ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය. බහුශැත පුද්ගලයා ද ශ්‍රැතමය ඥානයෙන් යුක්ත බැවින් ප්‍රඥාව ඇත්තෙකි.
ඛන්ධපබ්බය අවසානයෙහි දැක් වූ පරිදි සමපණස් උදයබ්බය ඤාණය උපදවා තරුණ විපස්සනාවෙන් සමන්විත පුද්ගලයා ද භාවනාමය ඤාණයෙහි පිහිටා සිටින බැවින් ඒකාන්තයෙන් ම ප්‍රඥාව ඇතෙකි.
ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතා යනු ගැඹුරු වූ ස්කන්ධාදිය අරමුණු කොට පවත්නා ප්‍රඥාව ගේ ප්‍රභේදය ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.
තදධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියවු පවත්වන කල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවනු පිණිස එයට නැඹුරු වූ එයට අදාල වූ සිත් ඇති බව ය. උපන් ධම්ම විචය සම්බොජ්ඣංගය අවසාන වශයෙන් භාවනාවෙන් සම්පූර්ණ කිරිම සිදු වන්නේ අර්හත් මාර්ගයෙනි.