සත්වයන්ට සසර දුකින් මිදෙන්ට ඉඩ නො දී ඔවුන් සංසාරයෙහි බැඳ තබන කාමරාගය ආදී බැමි දශයකට සංයෝජන ය යි කියනු ලැබේ. එහි:-
1. අභ්‍යන්තර - බාහිර කාමවස්තූන් ගැන ආසා කිරීම කාමරාග සංයෝජනය යි.
2. කාම - රූප - අරූප භවයන් ගැන ආසා කිරීම භවරාග සංයෝජන ය යි.
3. ද්වේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය, වනස් සිතුවිල්ලය, තරහය යන මෙය පටිඝ සංයෝජනය යි.
4. තමා ම උතුමෙකැ යි හෝ උසස් ය යි සිතා උඩඟු වීම මාන සංයෝජන ය යි.
5. ශරීරය තුළ නිතර පවත්නා ආත්ම සාරයක් හෝ මම ය යි කිව යුත්තෙක් ඇතැ යි දන්නා වැරදි හැඟීම දිට්ඨි සංයෝජන ය යි.
6. බුද්ධාදී ඒකාන්ත සත්‍ය කරුණු විනිශ්චය කරගත නො හැකිව සැක කිරීම විචිකිච්ඡා සංයෝජන ය යි.
7. ගව - බලු ආදීන් සේ හැසිරීමෙන් සසර දුකින් එතෙර විය හැකි ය යි. ගන්නා වැරදි මතය සීලබ්බතපරාමාස සංයෝජන ය යි.
8. අනුන් තමාට වඩා සුවපත්ව සිටිනු අසන්ට දකින්ට ලැබීම නුරුස්නා බව ඉස්සා සංයෝජන ය යි.
9. තමා සතු සම්පත් හෝ ගුණය අනුන්ට නොලැබේවා! යි සිතන මසුරුකම මච්ඡරිය සංයෝජන ය යි.
10. නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණය නොදැනීම හෝ එය වරදවා සිතා ගැනීම අවිජ්ජා සංයෝජන ය යි. මේ අවිද්‍යාව කාම රාගය ආදී සංයෝජන නවය හා සමග ද නිතර එකට යෙදී පවතින්නී ය.
මේ සංයෝජන දහයෙන් බැඳී සිටින තැනැත්තා පරණ භවයෙන් චුත වූ වහා ම අලුත් භවයක පිළිසිඳ ගන්නේ ය. මෙසේ භවයෙන් භවය වෙන්විය නො දී සත්වයා භවයෙහි බැඳ තබන මේ කාමරාගය ආදී කෙලෙස් බැමි සංයෝජන නම් වේ.
එහි විස්තරය
රූප දන්නා කල්හි ඇසෙහි පවත්නා සියුම් ඔපය චක්ඛුප්පසාද නම් වේ. එය ම චක්ඛායතන - චක්ඛු ධාතු නමුදු වේ. දකිනු ලබන වර්ණය රූපය යි. එයට රූපායතන ය යි ද රූප ධාතු ය යි ද කියනු ලැබේ. මේ දැකීම සිදු කරන සිත් රැස මනායතනය යි. එයිනුත් දැකීම් මාත්‍රය සිදු කරන්නී චක්ඛු විඤ්ඤාණ ධාතුව යි. චක්ඛු විඤ්ඤාණයට පූර්ව භාගයෙහි මේ කුමක් දැ යි කල්පනා කරන්නාක් මෙන් උපදනා ආවජ්ජණ සිත සහ චක්ඛු විඤ්ඤාණයට අනතුරුව එම චක්ඛු විඤ්ඤාණයෙන් දක්නා ලද අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදනා සම්පටිච්ඡන සිත ද යන මේ දෙ සිත මනෝ ධාතු නම් වේ. දන්නා ලද අරමුණ විමසන සන්තීරණ සිත ද දකිනු ලැබුවේ හොඳ හෝ නරක අරමුණක් ය යි නියම වශයෙන් විනිශ්චය කරන වොත්ථප්පන සිත ද අරමුණු රසය කරා වේගයෙන් දුවන්නා සේ පවත්නා ජවන් සිත ද ජවනය අනුව ගොස් ඒ අරමුණ සියුම් ලෙස ගන්නා තදාරම්මණ සිත ද යන මෙකී සිත් රැස මනෝවිඤඤාණ ධාතු නම් වේ.
අරමුණේ හැපෙන ඵස්සය ද අරමුණු රසය භුක්ති විඳින වේදනාව ද, අරමුණ හැඳින ගන්නා සංඥාව ද, මෙහෙයවන චේතනාව ද අරමුණෙහි සිත අලවන ලෝභය ද සිත දූෂ්‍ය කරවන ද්වේෂය ද, යහපත් අරමුණෙහි සිත පහදවන ශ්‍රද්ධාව ද යන මේ ආදී චෛතසික සමූහය ධම්මායතන නම් වේ. එය ම ධම්ම ධාතු නමුදු වේ.
අරමුණට නැඹුරු ව පවත්නා බැවින් චිත්ත චෛතසික සමූහය නාම නම් වේ. චක්ෂු ප්‍රසාදය සහ දකිනු ලබන රූපය ද ශීත - උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාර වන බැවින් රූප නම් වේ.
දකින වාරයක් පාසා “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි කරන යෝගී තෙම ඒ අවස්ථාවෙහි ප්‍රකට ව පවත්නා මෙකී ආයතන සතරය, ධාතු සයය, නාම රූප දෙකය යන මොවුන් සුදුසු පරිද්දෙන් දැන ගන්නේ ය.
ශබ්ද ඇසෙන කල්හි කණෙහි ඇත්තේ සෝතප්පසාද රූප ය යි. එය සෝතායතන සෝත ධාතු යන නම් ඇති රූප ධර්මයකි. ඇසෙන ශබ්දය ද සද්දයතන සඥධාතු යන නම් ඇති රූප ධර්මයකි.
ඇසීම් ක්‍රියාව මනායතන - සෝත විඤ්ඤාණ ධාතු - මනෝ ධාතු - මනෝ විඤඤාණ ධාතු - ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්ම සමූහයකි.
ගඳ හෝ සුවඳ දැනෙන කල්හි නාසයෙහි පවතින්නේ ඝාණප්පසාද රූප ය යි. එය ඝාණායතන - ඝාණ ධාතු යන මේ නම් ඇති රූප ධර්මයකි. ගඳ හෝ සුවඳ ත් ගන්ධායතන - ගන්ධ ධාතු නම් වූ රූප ධර්මයකි.
ගඳ හෝ සුවඳ දැනීම මනායතන - ඝාණ විඤ්ඤාණ ධාතු-මනෝ-ධාතු මනෝ විඤ්ඤාණ ධාතු-ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්ම සමූහයකි.
රස දැනෙන කල්හි දිවෙහි පවතින්නේ ජීව්හාප්පසාද රූප ය යි. එය ජීව්හායතන - ජිව්හා ධාතු යන නම් ඇති රූප ධර්මයකි. රසය රසායතන - රස ධාතු නම් වූ රූපයකි.
රස දැනීම මනායතන - ජීව්හා විඤ්ඤාණ ධාතුමනෝධාතු - මනෝ විඤ්ඤාණ ධාතු-ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්ම සමූහයකි.
කයේ යමක් ගැටෙන කල්හි කයෙහි පවතින්නේ කායප්පසාද රූප ය යි. එය කායායතන - කාය ධාතු යන නම් ඇති රූප ධර්මයකි. පොට්ඨබ්බය ද පොට්ඨබ්බායතන - පොට්ඨබ්බ ධාතු නම් වූ රූප ධර්මයකි.
පොට්ඨබ්බය දැනීම මනායතන - කායවිඤ්ඤාණ ධාතු - මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතු - ධම්මා යතන - ධම්මධාතු යන නාමධමර් සමූහයකි.
එහෙයින් ශබ්දයක් ඇසෙන කල්හි “ඇසෙන වා, ඇසෙන වා” ය යි යෝගී පුද්ගලයා විසින් මෙනෙහි කළ යුතු ය. එසේ ම දුර්ගන්ධයක් දැනෙන විට “ගඳයි, ගඳයි” කියා ද සුවඳක් දැනෙන විට “සුවඳයි, සුවඳයි” කියා ද දිවට මිහිරි රසයක් දැනෙන විට “රසයි, රසයි” කියා ද තිත්ත රසයක් දැනෙන විට “තිත්තයි, තිත්තයි” යන ආදී වශයෙන් ද ස්පර්ශයක් දැනෙන විට “හැපෙනවා, හැපෙනවා” ය යි ද තද ගතියක් දැනෙන විට “තද වෙනවා, තද වෙනවා” ය යි ද (මෙය පඨවි පොට්ඨබ්බ ය යි) උණුසුමක් හෝ දැවිල්ලක් දැනෙන විට “උණුසුමක්, උණුසුමක්” “දැවිල්ලක්, දැවිල්ලක්” ය යි ද (මෙය තේජෝ ඵොට්ඨබ්බ ය යි.) උදරයේ උස්වීම හෝ පහත් වීම දැනෙන විට “පිම්බෙනවා, පිම්බෙනවා” “හැකිලෙනවා, හැකිලෙනවා” ය යි ද (මෙය වායෝ පොට්ඨබ්බ ය යි.) මෙනෙහි කළ යුතු ය. මෙසේ මෙනෙහි කරන යෝගී පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ දී ප්‍රකට වන ආයතන සතරය, ධාතු සයය, නාම රූප දෙකය යන මෙකී ස්වභාව ධර්මයන් සුදුසු පරිද්දෙන් දැන ගන්නේ ය.
සිතින් අරමුණු සිතන කල්හි අරමුණු ගන්නා ස්වභාව ය වූ සිත් රැස මනායතන - මනෝ විඤ්ඤාණ ධාතු නම් වූ නාම ධර්ම සමූහයකි.
මෙය විදර්ශනාවේ අරමුණු දක්වන ස්ථානයක් වූ බැවින් මෙතන්හි ගත යුත්තේ ලෞකික ධම්මායතන ධම්ම ධාතු කොටස පමණ යි.
සිත අරමුණේ හැපෙන ඵස්ස ය, අරමුණු රස විඳින වෙදනාවය, අරමුණු අඳුනන සඤ්ඤාව ය, සිත ඇතුළු අනික් චෛතසිකයන් මෙහෙය වන චේතනාව ය. සිත එකඟ කරවන එ්කග්ගතාව ය. තමා හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ජීවත් කරවන ජීවිතීන්ද්‍රිය ය, අරමුණු මෙනෙහි කරන මනසිකාර ය, සිත අරමුණට නංවන විතක්ක ය, සිත අරමුණෙහි ඔබා තබන විචාර ය, අරමුණු විනිශ්චය කරන අධිමොක්ඛ ය, සුර භවය සිදු කරන වීරිය ය, පිනවන ප්‍රීති ය, කටයුත්ත කිරීමෙහි කැමති ඡන්ද ය, අනුවණ ගතිය වූ මොහ ය, දුසිරිතෙහි පිළිකුල් නො කරන අහිරික ය, දුසිරිතෙහි භය නො වන අනොතප්ප ය, සිත තැන්පත් නො කරන උද්ධච්චය, අරමුණෙහි ඇලුම් කරන ලොභය, වැරදි මතය වූ දිට්ඨිය, උඩඟු ගතිය වූ මාන ය, සිතෙහි සැඩ පරුස ගතිය වූ දෝස ය, අනුන් ගේ සම්පත් නො රුස්සන ඉරිසියාව ය, තමා ගේ සම්පත් සඟවන මසුරු ගතිය වූ මච්ඡරිය ය, කළ නො කළ දුසිරිත් සුසිරිත් වෙනුවෙන් පසු තැවෙන කුක්කුච්ච ය, සිත කුසලයෙහි මැලි කරවන ථීන ය, චෛතසිකයන් කුසලයෙහි මැලි කරවන මිද්ධ ය, හොඳ අරමුණෙහි සැක කරවන විචිකිච්ඡාව ය, යහපත් අරමුණෙහි සිත පහදවන සද්ධාව ය, යහපත් අරමුණු සිහිපත් කර වන සති ය, දුසිරිතෙහි පිළිකුල් කරවන හිරිය, දුසිරිතෙහි තැති ගන්වන ඔතප්පය ය, අරමුණෙහි ආසා නො කරන අලෝභය, සිත සෞම්‍ය කරවන
මෛත්‍රිය වූ අදෝස ය, තමා හා එකට යෙදෙන ස්වභාව ධර්මයන් මධ්‍යස්ථ කරවන තත්‍රමජ්ඣත්තතාව ය, චෛතසිකයන්ගේ දැවිල්ල සංසිඳුවන කායපස්සද්ධි ය, සිතේ දැවිල්ල සංසිඳුවන චිත්තපසද්ධි ය, චෛතසිකයන් සැහැල්ලු කරවන කායලහුතාව ය, සිත සැහැල්ලු කරවන චිත්තලහුතාව ය, චෛතසිකයන් මෘදු කරවන කාය මුදුතාව ය, සිත මෘදු කරවන චිත්ත මුදුතාව ය, චෛතසිකයන් යහපත් කර්මයට යොග්‍ය කරවන කායකම්මඤ්ඤතාව ය, සිත යහපත් කර්මයට සුදුසු කරවන චිත්තකම්මඤ්ඤතාව ය, චෛතසිකයන් ප්‍රගුණ කරවන කායපාගුඤ්ඤතාව ය, සිත ප්‍රගුණ කරවන චිත්තපාගුඤ්ඤතාවය, වාක් දුශ්චරිත සතරින් වළක්වන සම්මා වාචාව ය, කායදුශ්චරිත තුනෙන් වළක්වන සම්මා කම්මන්ත ය, මිථ්‍යා ආජීවයෙන් වළක්වන සම්මා ආජීව ය, දුකට පැමිණි අනන්ත සත්ත්වයන් ගැන ළය කකියවන කරුණාව ය, සුවපත් නොයෙක් සත්වයන් ගැන සතුටු වන මුදිතාව ය, මෝහාන්ධකාරය දුරු කරමින් සිතේ හටගන්නා අලෝකයක් වැනි වූ ප්‍රඥාව ය යන මේ චෛතසික සමූහය ධම්මායතන - ධම්ම ධාතු නම් වූ නාම ධර්ම රැසකි.
සිත ඇසුරු කරන - සිතේ වාසස්ථානය වන හදය රූප ය, ගෑණු බව වූ ස්ත්‍රී භාවරූප ය, පිරිමි බව වූ පුරිස භාවරූප ය යන මේ ආදී සුබූම රූප සහ ප්‍රසාද රූප ද ධම්මායතන - ධම්ම ධාතු නම් වූ රූපධර්ම රැසකි.
එහෙයින් සිතන කල්හි “සිතනවා, කල්පනා කරනවා, දැනෙනවා, සිතින් දකිනවා, සලකා බලනවා, මෙනෙහි කරනවා, මතක් වෙනවා, සිහි වෙනවා,
යන මේ ආදී වශයෙන් මෙනෙහි කරන යෝගී පුද්ගල තම එකෙණෙහි සිතට ප්‍රකට වන මෙකී ආයතන දෙකය, ධාතු දෙකය, නාම රූප දෙකය යන මොවුන් සුදුසු පරිදි දැන ගන්නේ ය. මෙසේ සිතා දැන ගැනීමේ දී පවත්නා අරමුණ වනාහි පරමාර්ථ ද විය හැකි ය. ප්‍රඥප්තිය ද විය හැකි ය. පරමාර්ථ වුවහොත් ඒ අරමුණ ආයතන වශයෙනුත් ධාතු වශයෙනුත් නාම රූප වශයෙනුත් දත හැකි වෙයි.
දැකීම්-ඇසීම් ආදිය සිදු කරන කල්හි චක්ඛුප්පසාදය, රූප අරමුණය, දැකීමය, යන මොවුන් සහ සොතප්පසාදය, ශබ්ද අරමුණය, ඇසීමය, යන මේ ආදී ආයතනයන් “දකිනවා, ඇසෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි නො කළහොත් මෙකී ආයතනයන් ඇති සැටියෙන් නො දත හැකි ය. එහෙයින් ඒ පුද්ගලයා හට මේ සංයොජන දශය ඇති වන්නේ ය.
ඒ මෙසේයි:- දැකීමේ දී චක්ඛුප්පසාදය සහ රූප අරමුණ ද දන්නා සිත ද යන ආයතනයන් පහළ වන විට “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි නො කළ හොත් ඔහුට නොමඟින් මෙනෙහි වන අයෝනිසෝමනසිකාරය නිසා කාමරාගය ඇති විය හැකි ය. එවිට “කාමරාගය, කාමරාග ය” යි මෙනෙහි කොට එය දත හැකි ය. කාමරාගයට හේතු වන අයෝනිසෝමනසිකාරයත් දත හැකි ය. කාමරාගය පහව ගිය විට ඒ පහව යාමට හේතුවන යෝනිසෝමසිකාරය ත් දත හැකි ය.
භාවනා මනස්කාරය මෙනෙහි කිරීම දියුණු වූ කල්හි කාමරාගාදිය ඉපදවීමට හේතු වූ නො මඟින් මෙනෙහි අයෝනිසෝමනසිකාරයත් සමග කාමරාගය ආදී සංයෝජන කෙලෙස් නිරුද්ධවීම ද සිදු ව න්නේ ය.
“යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති” යනු වදාළේ ඒ සඳහා ය.
“යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති” යනුවෙන් සංයෝජන කෙලෙස් නැවත නූපදින සේ සහමුලින් පහකරන සොවාන් ආදී ආර්ය මාර්ගය ස්වකීය ඥානයෙන් දැන ගැනීම වනාහි ප්‍රත්‍යවේක්‍ෂාඥානය ලබා ගත් කල්හි ම සිදු වන්නේ ය.
තවද සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඉස්සා, මච්ඡරිය යන සංයෝජන පහ සෝවාන් මගින් සහමුලින් පහව යන්නේ ය. ඖදාරික කාමරාගය හා පටිඝය ද යන සංයෝජන දෙක සකදාගාමි මගින් තුනී වීම් වශයෙන් පහව යන්නේ ය. සියුම් කාමරාගය හා පටිඝය ද යන සංයෝජන දෙක අනාගාමි මාර්ගයෙන් සහමුලින් පහ ව ය න්නේ ය. මාන, භව රාග, අවිජා යන සංයෝජන තුණ රහත් මගින් සහමුලින් පහව යන්නේය යන මේ දැනගැනීම සිදුවන්නේ ශ්‍රැතමය ඥානයෙන් ය.
මච්ඡරිය සංයෝජනය
මෙහිදී මච්ඡරිය ය සෝවාන් මගින් පහ කළ යුතුය යි කියන ලදී. සෝවාන් පුද්ගලයා තමා සතු වස්තු සම්පත් ඉල්ලන වාරයක් පාසා අනුන්ට දෙන්නේ ය යි ද ධනය රැස් නො කරන්නේ ය යි ද නො සිතිය යුතු යි. ධන ධාන්‍ය වර්ග තැන්පත් කර ගැනීම,
තමාගේ අයිතිය රැක ගැනීම, එහි ආසා කිරීම ලෝභය මිස මසුරුකම නො වේ. තමාගේ සම්පත් අනුන්ට අයත් වීම හෝ අනුන් පරිහරණය කිරීම නො රුස්සනා ගතිය වූ මසුරුකම ම මච්ඡරිය ය යි කියනු ලැබේ. එහෙයින් දෙන්ට නො කැමත්ත මසුරු බවට පමණක් නොව ලෝභයට ත් සම්බන්ධ වූවකි. සෝතාපන්නයාහට මසුරුකම නැතත් ලෝභය තිබේ. මේ කරුණෙහි ලා බුද්ධ කාලයෙහි ජීවත් වූ සෝවාන්, සකදාගාමි, අනාගාමි බවට පැමිණි රජවරු සහ බිසෝවරු සිටුවරු සහ සිටු දේවීවරු යන මොවුන් ගැන ද සිතා බැලිය යුතු ය. එකල සොර සතුරෝ ද සිටියාහු ය. බුදුසසුනට විරුද්ධකම් කළ තීර්ථකයන් සහ තීර්ථක ශ්‍රාවකයෝ ද සිටියාහු ය. අනුන්ගේ වස්තුව උදුරා ගන්නාක් මෙන් ඉල්ලන අයද සිටියාහු ය. ඔවුන් ඉල්ලන වාරයක් පාසා දුන්නා නම් ඒ ආර්ය පුද්ගලයන්ට හිඟන ජීවිත ගතකරන්ට සිදුවනු නො අනුමාන ය. ඒ හැර අනේපිඬු සිටුහුගේ මාලිගාවට සොරුන් ඇතුල් වූ කතා පුවත ද සිහි කළ යුත්තකි. ඉල්ලූ තරම් ම වස්තුව ඉල්ලන අයට ලැබුනා නම් සොරකම් කරන්න වුවමනා නැත. ඒ නිසා තමාගේ වස්තුව අනුන්ට අයිති වීම හා එය අනුන් පරිහරණය කරනු නොරිසි බව ය යි කියන ලද මසුරුකම මච්ඡරිය ය යි සැලකිය යුතුය. එවැනි මසුරුකමක් නොමැති වුවත් තමාට ඕනෑ කරන තමාගේ වස්තුව අනුන්ට දෙනු නො කැමැති වීම ලෝභය යි. නො දෙනු කැමති වස්තුව ඉල්ලන්නාහට දෙන්ට නො හැකි වීම වූ කලි ලෝභ-මච්ඡරිය දෙකටම සම්බන්ධ ය යි නොසිතිය යුතු ය.
එහෙයින් අඳනය ඉල්ලූ උදායි තෙරුන්ට උප්පලවණ්ණා තෙරණියන් විසින් “මයං ඛො භන්තෙ මාතුගාමා නාම කිච්ඡලාභා, ඉදඤ්ච මෙ අන්තිමං පඤ්චමං චීවරං. නාහං දස්සාමී”.
“ස්වාමීනි! මාගමුන් (කාන්තාවන්) වූ අපි වනාහි ලැබීම අඩු නිසා දුප්පත් වෙමු. මාහට ඇත්තේ පස්වැනි සිවුර වු මෙ අඳනය පමණයි. ඒ නිසා මේ අඳනය නො දෙන්නෙමැ” යි කීවා ය. මේ උප්පලවණා තෙරණියෝ වනාහි ලොභ - මච්ඡරිය ආදී සියලු කෙලෙස් පහකළ රහත් තෙරණි කෙනෙකි. එසේ වුව ද අඳනය නො දිය හැකි නිසා නො දෙන්නෙමැ යි කීවා මිස ලෝහය හෝ මසුරුකම නිසා ය යි නො සැලකිය යුතු ය.
උප්පලවණ්ණා වස්තුව වනාහි රසවත් කථා පුවතකි. උප්පලවණ්ණාව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිට පෙරුම් දම් පුරාගෙන අවුත් මේ බුදු සසුනෙහි පැවිදිව රහත්ව සෘද්ධිමත් තෙරණිවරුන් අතුරෙහි අගතැන් පැමිණි - ඒතදග්ග ඨානාන්තරය ලැබ ගත් - ඉතා ප්‍රියංකර රූප සම්පත්තියෙන් යුක්ත වූ භික්ෂුණියකි. මෙහි දක්වනු ලබන්නේ ඇය පිළිබඳව පාරාජිකා පාලියෙහි චීවර වග්ගයෙහි එන කථා පුවත පමණි.
උප්පලවණා භික්ෂුණිය එක් දවසෙක්හි සැවැත් නුවර දී පිඬු සිඟා වළඳා දිවා විහරණය පිණිස එනුවර සමීපයෙහි වූ අඹවනයට එළඹ එක්තරා සිහිල් සෙවන ඇති ගසක් මුල වාඩි වී සමවත් සුව විඳිමින් සිටියා ය. එකල්හි අනුගේ වස්තුව පැහැර ගනිමින් ජීවත් වන සොරුන් කණ්ඩායමක් ගවයෙකු මරා ඒ මස් තම්බා කනු පිණිස අන්ධවනයට ඇතුල් ව මස් තැම්බීමට සුදුසු තැනක් සොයා යන අතර ඉදිරියෙන් යන සොර දෙටුවා හට ඒ භික්ෂුණිය සමවත් සුව විඳිමින් සිටිනු දකින්ට ලැබී, ඇගේ තත්වය දැන සිටි ඒ සොර දෙටුවා මේ මාර්ගයෙන් ගියහොත් අනිත් සොරුන් භික්ෂුණියට කරදරයක් කරනවා ඇතැයි සිතා ඔවුන්ට භික්ෂුණිය නො පෙනෙන සේ වෙන පැත්තකින් ගොස් මස් තම්බා ඒ මස්වල හොඳ කොටස වෙන්කොට එය කොල ගොටුවක ඔතා භික්ෂුණියට පෙනෙන තෙක් මානයේ ඒ මස් පොදිය ගසක එල්ලා “යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ මස් ආදිය දකී නම් මෙය පරිත්‍යාග කරන ලද්දේ ඔහුටය” යි කියා යන්ට ගියේය.
ඒ මොහොතේ දී ම උප්පලවණ්ණා භික්ෂුණිය සමාපත්තියෙන් නැගී සිටි නිසා සොර දෙටුවාගේ මේ කියමන අසන්ට ලැබී ඒ භික්ෂුණිය මස් පොදිය භික්ෂුණී ආරාමයට ගෙන ගියා ය. ඉක්බිත්තෙන් ඇය පසුදින උදෑසන ඒ මස් කුලු බඩු ආදිය යොදා වැළඳීමට සුදුසු පරිදි රසවත් කොට සම්පාදනය කර ඇගේ තනිපට සිවුරෙන් පොදියක් බැඳගෙන සෘද්ධියෙන් අහසට නැගී වේළුවනාරාමයට ගියා ය. එය භාග්‍යවත් බුදුරජාණන් වහසේ ගමට පිඬු සිඟා වැඩිය වේලාව ය. එවිට විහාරය බලාගනිමින් සිටි උදායී නමැති භික්ෂුව වෙත පැමිණ “භාග්‍යවතුන් වහන්සේ කොයිදැ” යි ඇසුවා ය. එවිට ගමට පිඩු පිණිස වැඩිය බව කීවේ ය.
“ස්වාමීනි! එසේ වී නම් මේ මස් ටික භාග්‍යවතුන් වහන්සේට පිළිවන්වන්නට” ය යි ඈ කීවාය. එවිට “නැගණියනි! ඔබ භාග්‍යවතූන් වහන්සේ නම් මාංසයක් පුජා කෙළෙහි ය. මට ද යමක් නුදුන් බැවින් ඔය ඇඳ සිටින අඳනය මට දෙව” යි කීවේ ය. එවිට ඇය කීවේ “ස්වාමීනි! ස්ත්‍රී වර්ගයාට අයත් භික්ෂුණීන් වන අපට ලැබීම ඉතා අඩු ය. මාහට ඇත්තේ සිවුරු පසක් පමණි.
එනම්, සංකච්චිකාවය, උදක සාටිකාවය තුන් සිවුරය යන මෙය යි. (එහි සංකච්චිකා යනු භික්ෂුණියගේ ශරීරයෙහි අකු ඇටයෙන් යට ද නාභියෙන් උඩ ද වැසෙන සේ අඳින චීවර විශේෂයකි. එය අඳින්ට නියමකර වදාළේ භික්ෂුණින්ගේ පයෝධර යුගලය සහ උදරයත් නිතර වසා තබා ගැනීමට ය. එය නාඳින භික්ෂුණියට පචිති ඇවැතක් සිදුවෙයි. උදක සාටිකා යනු ජලස්නානය කරන විට අඳින නානකඩ ය යි. තුන් සිවුර යනු දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුරය යන මේ සිවුරු තුණය.)
“වැඩි අඳනයක් නැත. ඒ නිසා මේ අඳනය දෙන්ට නො හැකි ය” යි කීවා ය.
ඊට පසු ද උදායි භික්ෂුව නැවත නැවතත් කරදර කළ නිසා අඳනය දී ආපසු ආරාමයට ගොස් සෙසු භික්ෂුණීන් විසින් අඳනයට කුමක් වී දැයි අසන විට ඒ බව ප්‍රකාශ කළා ය. ඒ බව බුදුරජාණන් වහන්සේ දැනගන්ට ලැබී, නොනෑ භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නා භික්ෂුවට නිසඟි පචීතියක් පනවා වදාළසේක.
මෙහි දී උදාසී භික්ෂුව පෘථග්ජන වූ බැවින් ඔහුට වුවමනා කළේ අඳනය පමණක් නොව අඳනය ඉවත් කරන විට උප්පලවණා භික්ෂුණියගේ ඉතා ලස්සන ශරීරයෙන් සුළු කොටසක් වත් දැක ගැනීමට ය. ඒ බව දැනගත් ඕ තොමෝ කයේ ස්වල්පයක්වත් නො පෙනෙන සේ උඩ කොටසෙහි ඇඳගෙන තිබුන සංකච්චිකාව පහත් කර යට කොටස වසමින් ම අඳනය ඉවත්කර දී ආපසු සෘද්ධියෙන් අහසට නැගි ගියා ය.
උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න වුන් විසින් අඞ්ගුත්තර අටුවාව, ථෙරී ගාථා අටුවාව, දම්පියා අටුවාව යන ආදි පොත් බලා දත යුතුයි.
ආයතන පබ්බය නිමි.