විඤ්ඤාණයේ සමුදය-වය දැනගන්නා ආකාරය.

දක්නා කල්හි, ඇසෙන කල්හි, කල්පනා කරන කල්හි, සිතන කල්හි, ශරීරාඞ්ග හකුලන කල්හි, දිග හරින කල්හි “දකිනවා, ඇසෙනවා, කල්පනා කරනවා, සිතනවා, හකුලන්න ඕනෑ, දිගහරින්ට ඕනෑ” යන ආදී වශයෙන් මෙනෙහි කිරීමක් පාසා දැකීම් ආදිය සිදු කරන සිත් තත්පරයක් ඇතුළත අනේක වාර ගණනක් වහා ඇති ව වහා නැති ව යන බව යෝගී පුද්ගලයා දැනගන්නේ ය. මෙසේ දැන ගැනීම නම්, සමුදය ලක්ෂණ ය යි කියන ලද ඉපදීම දැන ගැනීම ය. වය (විපරිනාම) ලක්ෂණ ය යි කියන ලද නැති වීම දැන ගැනීම ය. මෙසේ විඤ්ඤාණය පිළිබඳ ඇති වීම නැතිවීම ප්‍රත්‍යක්ෂ ව දැන ගැනීම උදයබ්බයඤාණය යි.

ඉකුත් භවයේ දී ඇති වූ අවිද්‍යාව ය යි කියන ලද මෝඩකම නිසා මේ සිත ඇති වි ය. ඒ මෝඩකම නැත හොත් මේ සිත ඇති නො වේ. ආශාව හෝ තණ්හාව නිසා මේ සිත ඇති වෙයි. ආසාව හෝ තණ්හාව දුරුකළ හොත් මේ සිත ඇති නො වේ. පෙර කළ කර්මය නිසා මේ සිත ඇති වෙයි. කර්මය නැත හොත් මේ සිත ඇති නොවේ. ඵස්ස වේදනා ආදී නාම ධර්මයන් හා සිත ඇසුරු කරන වස්තු රූපත් නිසා මේ සිත ඇති වෙයි. ඒ නාම රූපයන් නැත හොත් මේ සිත ඇති නො වෙ යි. මෙසේ සිත ගැන විමසා දැනගන්නේ ය. මේ දැන ගැනීම සිත උපදවන සමුදය (ප්‍රත්‍යය) ධර්මයන් හා සිත නිරුද්ධ කර වන වය (වැය) කර වන ප්‍රත්‍යය ධර්මයන් අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බය ඤාණය යි. අරමුණක් ඇති නිසා සිත උපදන්නේ ය. පූර්ව පූර්ව සිතක් ඇති නිසා පසු පසු සිත උපදන්නේ ය. පූර්ව සිතක් නැත හොත් පසු සිත ඇති නො වන්නේ ය යි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. මේ බව “නාමරූප සමුදයා විඤ්ඤාණ සමුදයෝ, නාමරූප නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ” යන මේ පාඨයෙහි ඇතුළත් විය. මේ දැක් වූයේ “ඉතිවිඤ්ඤාණස්ස සමුදයෝ. ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමෝ” යන මේ දෙශනා පාඨයට ගැළපෙන සේ යි.

මෙසේ කියන ලද නය ක්‍රමයෙන් එක් එක් ස්කන්ධයෙක්හි උත්පාදය දැන ගැනීම් එකකි. භඞ්ගය දැන ගැනීම් එකකි. ස්කන්ධයන් උපදවන ප්‍රත්‍යය දැන ගැනීම් සතරකි. නිරුද්ධ වන ප්‍රත්‍යය දැන ගැනීම් සතරකි. මෙසේ ඤාණ දසයක් වේ. එහෙයින් ස්කන්ධ පංචකයෙහි ඤාණ පණසක් (50) විය හැකි ය. එකී ඤාණ පණස ම ස්කන්ධයගේ ලක්ෂණ පණස දැන ගන්නා උදයබ්බයඤාණය යි අටුවාවෙහි දක්වන ලදී. එයිනුත් උත්පාදනය හා භය දක්නා ඤාණ දසය ම අවශ්‍යයෙන් දැනගත යුතු ය.

මෙහි දී විශේෂයෙන් කිව යුත්තක් ඇත. එනම්, මෙය විදර්ශනා භාවනාවක් වූ බැවින් “පඤ්චසු උපාදානක්ඛන්ධෙසු” ය යි වදාළ පරිදි විදර්ශනාවට අරමුණු වශයෙන් ගත යුත්තේ උපාදාන ස්කන්ධ පඤ්චක ය යි. එයම තණ්හා දිට්ඨි උපාදානයන් විසින් මම ය මාගේ ය යි තදින් ගන්නා බැවිනි. උපාදාන ස්කන්ධ වනුයේ ලෞකික ස්කන්ධ පඤ්චක ය යි. ලෝකෝත්තර ස්කන්ධයෝ උපාදාන ස්කන්ධ නම් නො වෙති. ඒ ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට අරමුණු නො වන නිසා විදර්ශනාවගේ අරමුණු වශයෙනුත් නො ගැනෙති.

ඛන්ධ පබ්බය නිමි.