වේදනාවේ සමුදය - වය දැනගන්නා ආකාරය.

කය හා සිත සුවපත් වීම, සිත සතුටු වීම සුඛ වේදනාව යි. කය හා සිත දුක් වීම, සිත නරක් වීම දුක්ඛ වේදනාව යි. දුක ද නො වූ සැප ද නො වූ මැදහත් බව උපෙක්ඛා වේදනාව යි. මෙකී වේදනාවන් අතුරෙන් සුඛ වේදනාව “සැපයි, සැපයි” කියා හෝ “හොඳයි, හොඳයි” කියා හෝ මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කිරීමක් පාසා එක තත්පරයක් ඇතුළත එක ම වේදනාවක් අනේක වාරයක් ඇති ව නැති වන බව යෝගී පුද්ගලයාහට දැනගත හැකි වන්නේ ය. සෙසු වේදනාවන් ගැන ද මෙසේ මැයි. මෙසේ දැනගත හැකි වීම සමුදයවය (ඇතිවීම හා නැතිවීම) ප්‍රත්‍යක්ෂ ව දැක ගන්නා උදයබ්බය ඤාණය යි කියනු ලැබේ.

පූර්ව භවයෙහි දී ඇති වූ අවිද්‍යා නමැති මුළාව නිසා මේ වේදනාව ඇති වෙයි. අවිද්‍යාව නැත හොත් වේදනාව ඇති නො වෙයි. වේදනාව ගැන ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තණ්හාව නිසා වේදනාව ඇති වෙයි. තණ්හාව නැත හොත් වේදනාව ඇති නො වෙයි. පෙර දී කළ කර්මය නිසා වේදනාව ඇති වෙයි. කර්‍මය නැත හොත් වේදනාව ඇති නො වෙයි. දැන් සිත අරමුණ හා ගැටෙන ඵස්සය නිසා වේදනාව ඇති වෙයි. ඵස්සය නැත හොත් වේදනාව ඇති නො වෙයි. මෙසේ විමසමින් දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම සමුදය-වය (වේදනා උපදවන ප්‍රත්‍යය හා නූපදවන ප්‍රත්‍යය) අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බය ඤාණය යි.

තවද සිත ඇසුරු කරන වස්තු රූපය නිසා මේ වේදනාව ඇති වෙ යි. වස්තු රූපය නැත හොත් වේදනාව ඇති නො වෙයි. අරමුණ ඇති නිසා මේ වේදනාව ඇති වෙයි. අරමුණ නැතහොත් වේදනාව ඇති නොවේ. මේ ආදී වශයෙන් ඵස්සයෙන් අන්‍ය වූ වර්තමාන හේතූන් දැන ගැනීම ද “ඵස්ස සමුදයා වේදනා සමුදයෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ” යන මේ පාඨයෙහි ඇතුළත් වෙයි.

සඤ්ඤා සංඛාරයගේ උදය වය දැන ගන්නා ආකාරය ද මේ වේදනාවේ උදය-වය දැන ගන්නා ආකාරය හා සමාන වෙයි. එය “ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථගමෝ, ඉති සඤ්ඤාය සමුදයෝ” යන ආදිය අනුව දතයුතු ය.