රූප අරමුණක් දකින කල්හි “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි කිරීමක් පාසා චක්‍ෂු ප්‍රාසාදය සහ රූපා රම්මණය යන මේ රූප ධර්මයන් තත්පරයක් ඇතුළත අනේක වාර ගණනක් ඉපිද නැති ව යන බව යෝගාවචරයාහට දැනගත හැකි වන්නේ ය.
මෙසේ දැන ගැනීම සමුදය (හටගැනීම්) ලක්ෂණ ය යි කියන ලද ඉපදීමය, වය (නැති වීම්) ලක්ෂණ ය යි කියන ලද අතුරු දන්වීම ය යන මේ දෙ කරුණ ඇසින් දකින්නාක් මෙන් ප්‍රත්‍යක්ෂ ව දකිනු ලබන්නේ උදයබ්බය ඤාණයෙනි. බාල පෘථග්ජනයා වනාහි නාම රූප දෙක සැප ය, හොඳ ය, සුභ ය යි කියා වැරදි ආකාරයෙන් වටහා ගන්නේ ය. එය දුකක් ය. හොඳ නැත, අසෝභන ය යි කියා දැන නො ගන්නේ ය. වටහා නො ගනේ ය. ඇති විය හැකි නාම රූප නැවත නො ඉපදී සහමුලින් නිරුද්ධ වී යෑම සැපයක් ය, හොඳක් ය යි කියා නො දන්නේ ය. නො වැටහෙන්නේ ය. මේ නො දැනීම අවිද්‍යාව යි. පූර්ව භවයෙහි ඉපිද කම් රැස් කරද්දී මේ නො දැනීම වූ මුළාව නිසා නාම රූප ධර්මයන් කෙරෙහි ආශ්වාදය ඇති වීය. එහෙයින් ඒ ආශ්වාදයට ගොදුරු වූ නාම රූප ධර්මයන් සඳහා යම්කිසි ආකර්මයක් රැස් කළ යුතු ය. එනම්, කුශල කර්මය හෝ අකුශල කර්මයකි. මේ මිනිස් භවයට ප්‍රත්‍යය වූයේ කුශල කර්‍මයන්මැ යි.
විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම පූර්ව භාගයෙහි ම “දිට්ඨි ච උජුකා” යනුවෙන් කුශල කර්මයෙන් හොඳ සැප විපාක ද, අකුශල කර්මයෙන් නරක දුක් විපාක ද ලැබෙන බව ශ්‍රැතමය ඥානයෙන් දැන විශ්වාස කර යි. විදර්ශනා වඩන කල්හි නාම රූපයන් උපදවන ප්‍රත්‍යය සහ ඔවුන්ගේ ඇති වීම හා නැති වීම ද ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේ ය. එහෙයින් දිට්ඨ සුත වශයෙන් දැකීමෙනුත් ඇසීමෙනුත් මතු දැක්වෙන නය ක්‍රමයෙන් ද ඒ බව දත හැකි වන්නේ ය. පූර්ව භවයෙහි දී ඇති වූ අවිද්‍යා නමැති මුළාව නිසා මේ රූපය ඇති වෙ යි. අවිද්‍යාව නැතහොත් රූපය ඇති නො වෙ යි. ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තණ්හාව නිසා රූපය ඇති වෙ යි. තණ්හාව නැත හොත් රූපය ඇති නො වෙ යි. පුර්ව භවයෙහි දී කරනු ලැබූ කුශල කර්මය නිසා මේ මනුෂ්‍ය රූපය ඇති වෙයි. ඒ කර්මය නැත හොත් මේ රූපය ඇති නො වේ. මේ භවයෙහි දී අනුභව කරන ආහාරය නිසා මේ රූපය ඇති වෙයි. ආහාරය නො ගත හොත් මේ රූපය ඇති නො වේ ය යි මෙසේ මෙනෙහි කොට දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම සඳහා “අවිජ්ජා සමුදයා රූප සමුදයෝ, අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ” යන ආදී වශයෙන් පටිසම්භිදා මග්ගයෙහි එන පරිදි සමුදය (රූපය හටගන්නා ප්‍රත්‍යය) හා වය (රූපය නැතිව යන ප්‍රත්‍යය) ද අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බයඤාණය පහළ වන බව දක්වා තිබේ.
තව ද ශරීර අවයවයක් “නමන්ට ඕනෑය” යන සිතක් පහළ වුව හොත් නැමීම පිළිබඳ රූප ඇති වෙයි. එවැනි සිතක් පහළ නො වුවහොත් නැමීම පිළිබඳ රූප ඇති නො වෙයි. එවිට ඒ ගැන දැනීම ඇති වන්නේ ය.
එසේ ම සීත වූ හෝ උණුසුම් ඍතුව ඇති වුව හොත් සිහිල් රූප හෝ උණුසුම් රූප ඇති විය හැකි ය. එවිට ඒ බව දැනගන්නේ ය. එවැනි රූප ඇති නො වුවහොත් ඒ බව ද දැනගන්නේ ය.
මේ භවයෙහි දී ලැබෙන ආහාරය නිසා රූප ඇති වුවහොත් ඒ බව ද දැන ගන්නේ ය. ආහාරය නැති නිසා රූප ඇති නො වුවහොත් ඒ බව ද දැනගන්නේය. “ආහාර සමුදයා රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ” යි දැක්වූයේ ත් ඒ සඳහා ය.
මේ දැක් වූ නය ක්‍රමයෙන් රූපයේ ඇති වීම නැති වීම යන දෙක ද ඇති වීමේ ප්‍රත්‍යය හා නැති වීමේ ප්‍රත්‍යය ද දත හැකි වෙයි. එහෙයින් “ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථගමෝ” යි වදාළ සේක.