සාර්ථක (ප්‍රයෝජනවත්) කටයුත්තක් වුව ද එය කිරීම සුදුසු ද නුසුදුසුදැ යි නුවණින් සළකා සුදුසු ය යි වැටහේ නම් කළ යුතු ය. නුසුදුසු ය යි වැටහේ නම් නො කළ යුතු ය. චෛත්‍ය දර්ශනය හෝ එයට පුද සත්කාර පැවැත්වීම සාර්ථක ය. එහෙත් බොහෝ ජනයා රැස්ව මහා පූජෝත්සව පවත්නා කාලයෙහි එහි යෑම යෝගී පුද්ගලයාහට සප්පාය නොවන්නේ ය. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව අගනා විසිතුරු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිත් ඇද ගන්නා සිතියම් කළ ප්‍රතිමා රූප මෙන් එතන්හි හැසිරෙති. එවිට ඉෂ්ට අරමුණෙහි ලෝභය ද, අනිෂ්ට අරමුණෙහි ක්‍රෝධය ද ඇති විය හැකි බැවිනි.
මෘත ශරීරයෙහි අසුභ දර්ශනය ද සාර්ථක වෙ යි. එහෙත් පුරුෂයා හට ස්ත්‍රී මෘත ශරීරය හා ස්ත්‍රියට පුරුෂ මෘත ශරීරය ද සප්පාය නො වේ. සභාග මෘත ශරීරයක් දැකිම ම සප්පාය වේ. ධර්ම ශ්‍රවණය ද සාර්ථක වෙයි. එහෙත් සාමාන්‍ය කටයුතු සඳහා ජනයා රැස් වූ ස්ථානයෙහි ද වැඩ කටයුතු බහුල ස්ථානයෙහි ද පුරුෂයා විසින් ස්ත්‍රියට හෝ ස්ත්‍රිය විසින් පුරුෂයාට රහසිගතව ද දහම් දෙසීම සප්පාය නො වේ. මෙහි සුදුසු නුසුදුසුකම් නුවණින් සලකා බැලීම සප්පාය සම්පජඤ්ඤ නම් වේ.
මේ සාත්ථකසම්පජඤ්ඤය හා සප්පාය සම්පජඤ්ඤය ලෞකික ලෝකෝත්තර දෙපක්ෂයෙහි ම උපකාර වෙයි. මෙකී සම්පජඤ්ඤ දෙකින් යුක්ත වූ කල්හි ලෝකයෙහි ද උසස් තත්වයක් ලබා ගත හැකි ය. සමථ විදර්ශනා පිළිබඳ සමාධිය හා ප්‍රඥාව ද සීඝ්‍ර ව ලැබිය හැකි වෙයි. එහෙත් මේ සම්පජඤ්ඤ දෙක සමථය හෝ විදර්ශනාව ද නො වේ. සමථ විදර්ශනාවන්ට උපකාර වන අත්තිවාරමක් වැනි වෙයි. පාරිහාරික පඤ්ඤා ය යි ද විසුද්ධි මාර්ගයෙහි මෙයට නම් කරන ලදී.