ගොචර සම්පජඤ්ඤය

සාත්ථක - සප්පාය සම්පජඤ්ඤ දෙක සම්පාදනය කළ සමථ යෝගියා විසින් ගන්නා සමථ කර්මස්ථාන අරමුණ ද, විදර්ශනා යෝගියා විසින් ගන්නා උපාදානස්කන්ධ පඤ්චක සංඛ්‍යාත අරමුණ ද ගොචරසම්පජඤ්ඤ නම් වේ. මෙසෙයින් මේ සම්පජඤ්ඤ පබ්බ විෂයයෙහි භාවනා කරන යෝගියා විසින් ඉදිරියට යන කල්හි පය ඉස්සීමක්, ගෙන යෑමක්, තැබීමක් පාසා “යනවා යනවා” යන ආදී වශයෙන් නොකඩවා මෙනෙහි කරමින් යා යුතු ය. පස්සට යෑම් ආදියෙහි ද මේ ක්‍රමය මැ යි.

මෙතන්හි සතර සතිපට්ඨානය හා එහි අරමුණු සතර ම යෝගී සිත හසුරුවන ස්ථාන වන බැවින් ගෝචර ය යි ද ඒ අරමුණු සතරෙහි නො කඩවා පවත්වන ඤාණය ම ගොචර සම්පජඤ්ඤ ය යි ද සැලකිය යුතු ය.

එහෙයින් සතිපට්ඨාන සංයුක්තයෙහි:

“ගොචරෙ භික්ඛවෙ චරථ සකෙ පෙත්තිකෙ විසයෙ, ගොචරෙ භික්ඛවෙ චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං න ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා.” යි වදාරණ ලදී.

මේ දේශනා නියමය අනුව නිතර සතිපට්ඨාන භාවනාවේ යෙදීම ම ගොචර සම්පජඤ්ඤ ය යි ස්ථිර ව ම සලකා ගත යුතු ය. එහෙයින් ම අටුවායෙහි “කම්මට්-ඨානස්ස පන අවිජහන මෙව ගොචර සම්පජඤ්ඤං” යි කීහ. කමටහන අත් නොහැරීම ම ගෝචර සම්පජඤ්ඤය වෙයි යනු එහි තේරුම යි.

අභික්කන්ත - පටිකන්ත පද විස්තර කළ අටුවායෙහි ගොදුරු ගමෙහි දී කමටහන අත් නොහැරිය යුතු ය යි දැක්වූයේ, ගොදුරු ගම නිතර සිහිවිකල විය හැකි ස්ථානයක් වූ බැවිනි. එහි දී කමටහන අත්නොහැරිය යුතු ය යි දැක් වූ නිසා, ගොදුරු ගමෙහි දී හැර ආරාමයෙහි දී ගොචර සම්පජඤ්ඤය නොවුව මනා ය යි වරදවා තේරුම් නොගත යුතු ය.

මේ ගොචර සම්පජඤ්ඤය පිළිබඳ ව අටුවායෙහි පුද්ගලයන් සතර දෙනෙකු දැවුහ. එනම්:

1. හරති න පච්චාගරතී - ගමේ හැසිරෙන කල්හි ම කමටහන මෙනෙහි කරමින් ගොස් ආපසු අරමට එන කල්හි කමටහන නොගෙන එන පුද්ගලයා ය.

2. න හරති පච්චාහරති - ගමේ හැසිරෙන කල්හි කමටහන ගෙන නොගොස් ආපසු අරමට එන කල්හි කමටහන ගෙන එන පුද්ගලයා ය.

3. න හරති න පච්චාහරති - ගමේ හැසිරෙන කල්හි ද කමටහන ගෙන නො ගොස් ආපසු ආරමට එන කල්හි ද කමටහන නො ගෙන එන පුද්ගලයා ය.

4. හරති පච්චාහරති - ගොදුරු ගමේ හැසිරෙන කල්හි ද ආපසු අරමට එන කල්හි ද කමටහන අත් නො හරින පුද්ගලයා ය.

මේ සිවු දෙනාගෙන් ප්‍රථම භික්ෂුව දවල් කාලයෙහි සක්මන් කිරීමෙන් හා ඉඳ ගනිමින් නො කඩවා කමටහන් වඩා, නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කොට, රෑ ප්‍රථම යාමයෙහි ද භාවනා කොට මධ්‍යම යාමයේ සැතපී පශ්චිම යාමයෙහි ඉඳ ගැනීමෙන් හා සක්මනින් භාවනානුයෝගී ව සිට, චෛත්‍ය, බෝමලු ආදියෙහි වත් පිළිවෙත් කොට, ශරීරය පිළිබඳ කළ යුතු පිළිදැගුම් ද නිමවා සේනාංසනයට ඇතුල් ව, ඉඳීම් වාර දෙකක් තුනක් හොඳින් භාවනා කොට, කමටහන් අත් නො හැර ම ගමට පිඬු පිණිස යන්නේ ය. ආපසු අරමට එන කල්හි සාමණේර හා තරුණ භික්ෂූන් සමග කථා බස් කරමින් කර්මස්ථානයෙන් තොර ව ආපසු එන්නේ ය. මේ භික්ෂුව යන කල්හි පමණක් කමහන ගෙන ගොස් එන කල්හි නො ගෙන එන පුද්ගලයා ය. ද්විතීය භික්ෂුව රෑ දාවල් දෙක්හි ප්‍රථම භික්ෂුව සේ කමටහන් වඩයි. එහෙත් පිඬු සිඟා යන කල්හි බඩගින්න අධික වීමෙන් ශරීරය දුර්වල වන බැවින් ඩහදිය ගලන්ට පටන් ගනී. එබැවින් කමටහනෙහි සිත එකඟ නො වේ. එහෙයින් භාවනාවෙන් තොර ව ම පිඩු සිඟා ගොස්, කැඳ හෝ වෙන යමක් ලැබ එය දෙතුන් වරක් වැළඳීමෙන් පසු තද බඩගින්න සංසිඳුනු කල්හි, කර්මස්ථානය මෙනෙහි කරමින් වළඳා කර්මස්ථානයෙන් යුක්ත ව ම වාසස්ථානයට ආපසු එන්නේ ය.

මේ කියන ලද්දේ යන විට කමටහන ගෙන නො ගොස් එනවිට ගෙන එන පුද්ගලයා ය. මෙවැනි භික්ෂූන් කැඳ බොද් දී, දන් වළඳද් දී රහත් වූවෝ බොහෝ ය යි කියන ලදී. සිංහල ද්වීපයෙහි ම ඒ ඒ නගර ග්‍රාමයන්හි පිහිටි ආසන ශාලාවල වැඩ හිඳ කැඳ, බත් වළඳමින් භික්ෂුන් රහත් බවට නො පැමිණි එක ම ආසන ශාලාවකුත් නැති බව අටුවාවෙහි සඳහන්ව තිබේ. (මෙය බුද්ධ වර්ෂ 930 දී පමණ ලියූ අටුවා පොත්වල ඇතුළත් ව තිබෙන කියමනකි. එය ඒ කාලයෙහි මේ දිවයිනේ පැවැති තත්වය විනා දැන් පවත්නා තත්වය නොවේ.) මෙසේ ආහාර අනුභව කරන කාලය හෝ එම ක්‍රියාව කමටහනින් තොර වූ කාලයක් හෝ හිස් ක්‍රියාවක් යයි නො සිතා ඒ කාලයෙහි ද ගොචර සම්පජඤ්ඤය ගරුකොට වැඩිය යුතු ය.

තුන්වැන්නා වනාහි භික්ෂුවක් වුවහොත් කමටහන් වැඩිය යුතුම ය යන හැඟීම් මාත්‍රයකු වූ නොමැති ව හැම දා ම භාවනාවෙන් තොර ව වසන භික්ෂුව ය. මෙබඳු භික්ෂුව හැම කල්හි කෙලෙසුන්ට වසඟ ව වසන බැවින් ප්‍රමාද විහාරි ය යි කියන ලදී. තවද මෙතෙම මේ භවයෙහි මාර්ග ඵල නොලැබිය හැකි යයි ද, ලැබීම පිණිස වෑයම් නොකළ යුතු ය යි ද, භාවනායෙහි ආලය දුරුකොට - ධුරනික්‍ෂේපය කොට වසන නික්බිත්තධීර පුද්ගල නමුදු වෙයි. තවද බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයෙහි සැක කිරීම ය. සබ්‍රම්සරුන් කෙරෙහි ක්‍රෝධ කිරීම ය, (එනම් කමටහන් වඩන යෝගීන් කෙරෙහි පවත්නා ක්‍රෝධය යි.) ශික්‍ෂාවෙහි සැක කිරීම ය යන පස් වැදෑරුම් චේතෝඛිල ධර්මයන්ගෙන් යුක්ත වීම ය. තවද හෙතෙම පඤ්චකාමයෙහි බලවත් ආශාව ය, ස්වකීය ශරීරයෙහි බලවත් ආශාව ය, බාහිර රූපයෙහි බලවත් ආශාව ය, බඩ පිරෙන තෙක් ආහාර අනුභව කොට සැතපී නිද්‍රා සුඛය භුක්ති විඳීම ය, දිව්‍ය සම්පත් පමණක් ප්‍රාර්ථනා කිරීම ය යන චේතෝවිනිබන්ධ ධර්ම පඤ්චකයෙන් වෙලී බැඳී පවතින්නේ ය. එහෙයින් මෙවැනි භික්ෂුව ආරාමයෙහි දිවා රෑ වාසය කරමිනුත් භාවනාවට කිසිසේත් සිත නොයොද යි. ගමෙහි ඇවිදින කල්හි ද භාවනාව ගැන නොසිත යි. දායක දායිකාවන් හා කථා කිරීමේ දී ද, භාවනානුයෝගියෙකු නොව යහලුවෙකු ලෙස කථා කර යි. කර්මස්ථානයෙන් තොර ව ම ආපසු අරමට එයි. මොහු ගෝචර සම්පජඤ්ඤයෙන් සර්ව ප්‍රකාරයෙන් තොර වූ පුද්ගලයා ය. ශාසන ඇසින් බලන්නහුට මොහු ඉතා ආකුල පුද්ගලයෙක් බව වැටහෙන්නේ ය.

ගොදුරු ගමට යෑමේ දී හා ආපසු අරමට ඒමේ දී භාවනාවෙන් යුක්ත ව යන එන භික්ෂුව නම්, පළමු කී භික්ෂුව මෙන් රෑ දාවල් දෙක්හි ද, පිඬු සිඟා යාමේ දී සහ ආපසු ඒමේ දී ද, භාවනාව අත් නො හැර මෙනෙහි කරමින් යන එන භික්ෂුව ය. නිදා ගන්නා වේලාව හැර රෑ දාවල් දෙක්හි සෑම මොහොතක දී ම කමටහන් මෙනෙහි කරන භික්ෂුව ය. කටයුතු බහුල වීමෙන් කමටහන් අමතක වන පිඬු සිඟා යෑමේ දී හා ආපසු ඒමේ දී පවා, කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ගතපචාගතික වත ය යි කියනු ලැබේ. බුදුරදුන් ජීවමාන කාලයෙහි සිට වර්ෂ 900 යකටත් වැඩි කාලයක් ගත වන තෙක් ප්‍රතිපත්තිය හොඳින් දියුණු වී පැවැති පූර්ව කාලයෙහි මේ ගතපච්චාගතික වත පිරූ සැටි අටුවායෙහි ප්‍රකාශ ව ඇත.

තමාගේ අධ්‍යාත්මික දියුණුව ප්‍රාර්ථනා කරන කුලපුත්‍රයා බුදුසසුනෙහි පැවිදි ව දස නමක් හෝ විසි නමක් - තිස් නමක් - හතලිස් නමක් - පනස් නමක් සිය - නමක් වූ හෝ පැවිදි පිරිස් සමග එක් ව වාසය කරන කල්හි කතිකාවතක් අනුව ක්‍රියා කළ යුතු ය. කෙසේ ද යත්? ඇවැත්නි! අපගේ මහණ පැවිදි වීම ණය තුරුස් වලින් නිදහස් වීම රාජ භය ආදියෙන් නිදහස් වීම සඳහා හෝ, ජීවිකාව කර ගැනීමේ අමාරුකම නිසා හෝ නොව, ඒකාන්තයෙන් සසර දුකින් නිදහස් වීම සඳහා ම ය. එහෙත් පැවිදි වූ පමණකින් ම සසර දුකින් නිදහස් විය නො හැකි ය. සසර දුකට මුල් වූ, කෙලෙස් දුරු කළ හැකි වුව හොත් දුකින් නිදහස ලැබිය හැකි ය. එහෙයින් ගමන් කිරීමේ දී උපදනා කෙලෙස් ගමනේ දී ම සංසිඳ විය යුතු ය. (සුදුසු පරිදි මෙනෙහි කිරීමෙන් හෝ පුරුදු අරමුණ මෙනෙහි කිරීමෙන්

හෝ කෙලෙස් දුරු කළ හැකි ය.) සිටීම, හිඳීම, හොවීම යන ඉරියව් වල දී උපදනා කෙලෙස්, ඒ ඒ මොහොතේ දී ම සංසිඳවිය යුතු ය යි, මෙසේ කතිකා වතක් අනුව පිළිපැදිය යුතු ය. මෙසේ පිළිපදින කල්හි ගමන් කරන විට කෙලෙස් ඇතිවුව හොත් ඒ ගමන්නේ දී උපන් කෙලෙස් එකෙණෙහි ම දුරු කළ නොහැකි වුව හොත් ගමන නවතා එතැන ම සිටගෙන සිටිය යුතු ය. අනික් භික්ෂුන් සමග එක පෙලට ගමන් කරන විට පළමුවෙන් යන භික්ෂුව නො ගොස් සිටින විට පසුව යන භික්ෂුව ද නො ගොස් සිටී. එකල්හි කෙලෙස් ඉපිද සිටින භික්ෂුව තමන්ට තමා ම අවවාද කර ගත යුතු ය. කෙසේ ද යත්? “පසුව එන භික්ෂුව ද තොපගේ කැත අදහස දැන ගත්තේ ය, මේ නරක අදහස තොපට නො ගැලපෙන්නේ ය, ලජ්ජා නැද්ද” යන ආදි වශයෙන් තමාට ම දොස් පවරා ගෙන විදර්ශනා වඩා ආර්යය මාර්ගයට පැමිණි ආර්යය පුද්ගලයෝ ද පූර්වයෙහි පහළ වූහ. සිට ගෙන භාවනා කොට කෙළෙස් පහකළ

නො හැකි වුව හොත් වාඩි විය යුතු ය. එවිට පසුව එන භික්ෂුව වාඩිවිය යුතු බව හා තමන්ට දෝෂාරෝපණය කර ගැනීම් ආදිය ද පෙර කී සේ ම ය. මෙසේ මෙනෙහි කොට ද ආර්යය භාවය නො ලදහොත් උපදිමින් පවත්නා දේශය තදඞ්ග වශයෙන් දුරු කොට කමටහන් අරමුණ මෙනෙහි කරමින් ම යා යුතු ය. කමටහනින් තොරව ඉදිරියට යෑමට පය නො එසවිය යුතු ය. කමටහන අමතක වී ඉදිරියට යැවුනා නම් කමටහන අමතක වූ මුල් තැනට ආපසු යා යුතු ය. එතැන් සිට කමටහන නැවත මෙනෙහි කරමින් යා යුතු ය. මෙසේ කමටහන් වැඩීම ආලින්දක විහාරවාසී මහා ඵුස්සදේව තෙරුන්වහන්සේගේ පිළිපැදීම් ආදීයෙන් දත යුතු ය. උන්වහන්සේ එකුන් විසි වූ අවුරුද්දක් මුළුල්ලෙහි ගතපචාගත වත පුරමින් විසූහ. උන්වහන්සේ පිඬු පිණිස යන මාර්ගය සමීපයෙහි ගොවිතැන් කරන ගොයම් කපන පාගන මනුෂ්‍යයෝ ද එසේ වඩින උන් වහන්සේ …… “නැවත නැවත ආපසු හැරී ගමන් කරති. කිමෙක මංමුළා වී වඩිනවා ද? නැතහොත් යමක් අමතක වීමෙන් වඩිනවා දෝ හෝ” යැ යි කියති. උන්වහන්සේ ඒ කථාව ගණනකට වත් නොගෙන භාවනා සිහියෙන් යුක්තව ම ගමන් කරමින් විසි වර්ෂයක් ඇතුළත රහත් බවට පැමිණි සේක. රහත් වූ දිනයෙහි ම උන්වහන්සේගේ සත්මන් මලු කොණෙහි අධිගෘහිත දේවතාවා ස්වකීය ඇඟිලිවලින් පහන් අලෝක විහිදුවමින් සිටියා ය.

තවද කාලවල්ලිමණ්ඩප විහාරවාසී මහා නාග තෙරණුවෝ ද, ගතපච්චාගත වත පුරමින් පළමුකොට භාග්‍යවතුන් වහන්සේගේ දුෂ්කර චරියාවට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරනෙමැ යි, සත් වසක් මුළුල්ලෙහි දන් වැලදීම් ආදියෙහි දී අවශ්‍යයෙන් කළ යුතු වූ වාඩිවීම හැර, සිටීම, සක්මන යන මේ ඉරියව් දෙකින් කල් යවන්නෙකැ යි අධිෂ්ඨාන කර විසූහ. ඊට පසු සොළොස් වසක් මුළුල්ලෙහි ගතපචාගත වත පුරා රහත් වූහ. උන්වහන්සේ තුළ පැවැති විශේෂය නම් පිඬු සිඟා යන විට වතුර ටිකක් කටේ තබා ගෙනයෑ ම ය. එයට හේතුව නම් දන් බෙදන හෝ වඳින දායක දායිකාවනට “සුවපත් වෙත්වා!”, “දීඝායු වෙත්වා!” යන වචන මාත්‍රයෙන් වත් සමාධිය නො කැඩෙවා යන අධිෂ්ඨානය නිසා ය. එහෙත් යම්කිසිවෙකු ප්‍රශ්නයක් ඇසුවහොත් කටේ තිබෙන වතුර ගිල එයට පිළිතුරු දෙයි. ඉදින් නො විචාලහොත් ගම්දොර සමීපයෙහි දී වතුර ඉවත ලා වඩිති.

ගලම්බුතිත්ථ විහාරයෙහි වස් එළඹ විසූ භික්ෂුන් පණස් නම ද මෙසේ ම පිළිපදින්නාහු ය. ඒ භික්ෂුහු වස් සමාදන් වන දිනයට පෙර ඇසළ පුණු පොහෝ දිනයෙහි “අපි රහත් නොවී, රහත් වන තෙක් ඔවුනොවුන් කථා බස් නොකරන්නෙමු” ය යි කතිකාවතක් පැනවූහ. මෙය නුවුවමනා කථා බස් නො කිරීමට ය. ඉතා වුවමනා කරුණක් ගැන කථා බස් කළාට වරදක් නැත. කිසිවක් කථා නො කර ම මූග ව්‍රතය සමාදන් වුවහොත් ඇවතක් සිදුවන බව භික්ෂු විනයෙහි සඳහන් ව ඇත.

ගමට පිඬු පිණිස යන විට ද වතුර උගුරක් කටේ ඇති ව යති. කෙනෙකු ප්‍රශ්නයක් ඇසුවහොත් වතුර ගිලීමෙන් එය විසඳති. ප්‍රශ්න අසන්නෙකු හමු නොවුවහොත් ගම් දොරකඩ දී එය ඉවත දමායති. වතුර දැමූ සලකුණු බලා ගම්වැසියෝ අද මෙපමණ භික්ෂූන් ගමට පිඬු සිඟා වැඩියාහු යැයි දැන ගනිති. ඒ භික්ෂූන් පණස් නම එම වස් තෙමස ඇතුළතදී ම රහත් ඵලයට පැමිණියාහු ය. මෙහි දැක්වෙන පරිදි මහා පුස්සදෙව ස්වාමීන් වහන්සේ මෙන් - මහා නාග ස්වාමීන් වහන්සේ මෙන් - ගලම්බිතිත්ථ විහාර යෙහි වස් එළඹ විසූ භික්ෂූන් මෙන් පිඬු සිඟා යන කල්හි ද, කමටහනින් යුත් සිතින් ම පා ඔසවමින් ඈ යුතු ය. ගම් දොර ළඟ දී වතුර උගුරක් ගෙන හෝ නූවමනා වචන නො කියනෙමි යි ඉටා ගෙන හෝ සතුරු භය, නොමැති වීථියකට පිඬු පිණිස යා යුතු ය. පිඬු සිඟා යන විට සීඝ්‍ර වේගයෙන් නො යා යුතු ය. විසම භූමි භාගයක ගෙන යන දිය පිරූ ගැලක් මෙන් සෙමින් සෙමින් යෑ යුතු ය. මෙසේ සිහියෙන් යුක්ත ව ඉන්ද්‍රිය සංවරයෙන් යෑම ම සැදැහැවතුන්ට ශ්‍රද්ධා ප්‍රසාදය එලවන ඉදිරියට යෑම, ආපසු හැරීම, ඉදිරිය බැලීම, සරස බැලීම, ශ්‍රද්ධා ප්‍රසාදය උපදවන - අතපය හැකිලීම්, දිගහැරීම් යැ යි වදාරන ලදී. පිඬු සිඟා ආපසු ඇවිත් කමටහන් මෙනෙහි කරමින් ම දන් වැලඳිය යුතු ය. ආහාරයෙහි පිළිකුල් සංඥාව උපදින සේ, කරත්ත රෝදයේ කර ඇණයට තෙල් දමන්නාක් මෙන්, වණයට බෙහෙත් ගල් වන්නාක් මෙන්, පුත්‍ර මාංසය බුදින්නාක් මෙන් “නෙව දවාය” යන ආදී වශයෙන් දක්වන ලද අනුසස් අට ප්‍රත්‍යවෙක්ෂා කිරීමට ද අටුවායෙහි දක්වන ලදී. එහෙත් විදර්ශනා වඩන යෝගියා විසින් දන් වැලඳීම ම විශේෂයෙන් ගරුකොට සම්පජාන කාරි විය යුතු ය. දන් වැළඳීමෙන් පසු ද උදක කෘත්‍යය කොට, මොහොතක් බත් මත සංසිඳවා ගෙන, දන් වළඳන්ට පෙර කමටහන මෙනෙහි කළ පරිදි මුළු දවසෙහි ද, පෙර යමෙහි ද, පසු, යමෙහි ද කමටහන් නො කඩවා වැඩිය යුතු ය. මෙසේ නො කඩවා කමටහන වඩන භික්ෂුව, යෑම්, ඊම් දෙක්හි දී ම කමටහන් ගෙන යන - එන බැවින් ගත පච්චාගත වත පුරණ භික්ෂුව ය යි කියනු ලැබේ.

මේ භික්ෂු තෙම ඉදින් රහත් වීමට උපනිශ්‍රය සම්පන්න වී නම් ප්‍රථම වයසේ දී ම රහත් වෙ යි. එසේ නො හැකි වුවහොත් මධ්‍යම වයසෙහි දී රහත් වන්නේ ය. එසේ ත් නොහැකි වුවහොත් පශ්චිම වයසෙහි දී එසේ ත් නොහැකි වුවහොත් මරණා සන්න කාලයෙහි දී රහත් වෙයි. එසේත් නොහැකි වුවහොත් දෙවෙනි භවයේ දී දිව්‍ය පුත්‍රයෙක් ව රහත් වෙයි. එසේ ද නොහැකි වුවහොත් අබුද්ධෝත්පාද කාලයෙක ඉපිද පසේ බුදු බව ලබයි. එසේ ද නොහැකි වුවහොත් මතු ලොවුතුරු බුදුවරයෙකු හමුවෙහි දී ඛිප්පාභිඤ්ඤ, මහාපඤ්ඤ, මහිද්ධික, ධුතඞ්ගධර, දිබ්බචක්ඛුක, විනයධර, ධම්ම කථික, ආරඤ්ඤික, බහුසුත, සික්ඛකාම යන ආදී ගුණ විශේෂයන් අතුරෙන් යම්කිසි ඒතදග්ගට්ඨානාන්තරයකින් යුක්ත ව අග්‍ර ශ්‍රාවක හෝ මහා ශ්‍රාවක රහතන් වහන්සේ කෙනෙකු විය හැකි ය.

රහත් බව, පසේ බුදුවබ, අග්‍රශ්‍රාවක හෝ මහා ශ්‍රාවක භාවය වනාහි එයට උපනිශ්‍රය සම්පත් ඇති කල්හි ම සිදුවන බව සැලකිය යුතු ය. මෙතන්හි පිඬු සිඟා යන ගමන යෑමේ දී පමණක් කමටහන් ගෙන ද යන පච්චාහරණ භික්ෂුව ද, නිත්‍ය සේනාසනයට ආපසු ඊමේ දී පමණක් කමටහන ගෙන එන පච්චාහරණ භික්ෂුව ද, යෑම් ඊම් දෙකේ දී ම කමටහනින් තොර ව යන එන නෙවහරණ නපච්චාහරණ භික්ෂුව ද, යෑම් ඊම් දෙකේදී ම කමටහනින් යුක්තව යන එන හරණ පච්හරණ භික්ෂුව ද යන මේ සිවු වැදෑරුම් භික්ෂූන් අතුරෙන් භරණ පච්චාහරණ භික්ෂුවට ම ගෝචර සම්පජඤ්ඤය සිඛා ප්‍රාප්ත (මස්තකප්‍රාප්ත) වන්නේ ය. එහෙයින් ගෝචර සම්පජඤ්ඤය සම්පාදනය කළ යුතු ය. මේ ගොචර සම්පජඤ්ඤය ශක්තිමත් වූ කල්හි අසමොහසම්පජන්දය ඉබේට ම වාගේ පහළ වන්නේ ය.