නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්‍ධස්ස
යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. තං වො කතං මයා. එතානි භික්ඛවේ රුක්ඛමූලානි. එතානි සුඤ්ඤගාරානි. ඣායථ භික්ඛවේ මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථං. අයං වො අම්හාකං අනුසාසනී.
මෙය මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සූත්‍ර බොහෝ ගණනකදී අනේක වාරයක් දේශනය කරන ලද ධර්ම පාඨයෙකි.
එහි තේරුම මෙසේය :-
“මහණෙනි, ශ්‍රාවකයනට හිතෛෂී වූ, ශ්‍රාවකයනට අනුකම්පා කරන්නා වූ, ශාස්තෘවරයකු විසින් ශ්‍රාවකයනට අනුකම්පාව පිණිස යමක් කළ යුතු ද, නිවන හා නිවන් මඟ දැක්වීම් වශයෙන් මා විසින් එය තොපට කරන ලද්දේ ය. මහණෙනි, මේ වෘක්‍ෂ මූලයෝ ඇතහ, මේ ශූන්‍යාගාරයෝ ඇතහ. ඒවාට වී භාවනා කරව්, පමා නොවව්, එය නො කර හැර අන්තිම කාලයේ දී පසු තැවෙන්නෝ නො වව්, මෙය තොපට අපගේ අනුශාසනය ය.”
පින්වත්නි, මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිය ගණනක් සූත්‍රවල දී මෙසේ නැවත නැවතත් භාවනා කිරීමට අනුශාසනා කර තිබෙන්නේ නිවන් දැකීම සඳහා එය කළ යුතු දෙයක් ම වන බැවිනි. භාවනාවෙන් තොරව නිවන් දැකිය නොහෙන බැවිනි. ජාත්‍යාදි දුඃඛයන්ගෙන් පීඩිත ව සසර සැරිසරන සත්ත්වයනට සසර දුකින් මිදී නිවන් දැකීමට ඉඩක් ලැබෙන්නේ ද බුදුසස්න පවත්නා කාලයකදී ම ය.
බුදුසස්න වනාහි කල්ප කෝටි ගණනකිනුදු ලැබිය නො හෙන දුලබ දෙයකි. පින්වත්නි! දැන් ඔබ ඒ දුලබ බුදුසස්න හා වටිනා මිනිසත් බව ලබා සිටින්නහු ය. බොහෝ මිල මුදල් සපයා ගෙන, දිව විමන් බඳු ශෝභන මන්දිරයන් තනාගෙන, ඒවාට වී මියුරු බොජුන් ආදියෙන් ඉන්ද්‍රියයන් පිනවීම උතුම් මිනිසත් බවින් ගන්නට ඇති ඵලය නො වේ. බුද්ධෝත්පාද කාලයේ දී ලබා තිබෙන මේ උතුම් මිනිසත් බවින් ගන්නට ඇති උසස් ඵලය නම්, හැකිතාක් දුර නිවන් මඟ ඉදිරියට ගමන් කිරීම ය. එබැවින් මහා කාරුණිකයන් වහන්සේ ගේ අනුශාසනයට ගරු කරන සසර දුකින් මිදෙනු කැමති, බුදුසස්නෙන් හා මිනිසත් බවින් ගතහැකි උසස් ප්‍රයෝජනය ගනු කැමති, නුවණැත්තෝ තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය ම නිසරු වූ පස්කම් සුවය විඳීමට ම ගෙවා නො දමා තම ජීවිත කාලයෙන් එක් කොටසක දී වත් භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මගෙහි ඉදිරියට ගමන් කෙරෙත්වා.
භාවනා අතුරෙන් සතිපට්ඨාන භාවනාව නිවන දක්වා වැටී ඇති ඒකායන මාර්ගය ය. නිවනට කෙළින් ම පැමිණෙන මඟ ය.
ඒකායනෝ අයං භික්ඛවෙ මග්ගෝ සත්තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සාන අත්ථගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාන සච්ඡිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානා” යනාදීන් තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන්වල වර්ණනා කර ඇති භාවනාව ය.
මේ සතිපට්ඨාන භාවනාවෙන් ඇතැමෙකුට සතියකින් ද, ඇතැමෙකුට දෙසතියකින් ද, ඇතැමෙකුට තෙමසකින් ද, ඇතැමෙකුට සාර මසකින් ද, ඇතැමෙකුට පස් මසකින් ද, ඇතැමෙකුට සමසකින් ද, ඇතැමෙකුට සත් මසකින් ද, ඇතැමෙකුට වසකින් ද, ඇතැමෙකුට දෙවසකින් ද, ඇතැමෙකුට තෙ වසකින් ද, ඇතැමෙකුට සිවු වසකින් ද, ඇතැමෙකුට පස් වසකින් ද, ඇතැමෙකුට සවසකින් ද, ඇතැමෙකුට සත් වසකින් ද, රහත් බවට හෝ අනාගාමී බවට හෝ පැමිණිය හැකි බව මහා සතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.
මෙ කල භාවනා කොට මග-ඵල නො ලැබිය හැකි ය යි ඇතමුන් කියතත් සතිපට්ඨාන සූත්‍රයෙහි නම් සතිපට්ඨාන භාවනාවේ ඵලය නොලැබෙන කාල භේදයක් වදාරා නැත. යම්කිසි හේතු සමායෝගයකින් යම් ඵලයක් වේ නම් ඒ හේතු සමායෝගය සිදු වුවහොත් කවදා වුවත් ඒ ඵලය සිදුවන්නේ ය. කාලය යනු පරමාර්ථ වශයෙන් ඇතියක් නොව ප්‍රඥප්ති මාත්‍රයෙකි. එය සිස් දෙයකි. එහි යම්කිසිවකට බාධා පැමිණ වීමේ ශක්තියක් නැත. එබැවින් කවර කලෙක වුව ද මග-ඵල ලැබෙන සැටියට භාවනා කළහොත් එය ලැබෙන බව පිළිගත යුතු ය.
මෙ කල භාවනා කිරීමෙන් රහත් නො විය හැකි ය යි කීම තථාගතයන් වහන්සේ ගේ ධර්මය කලකට අවලංගු කිරීම් වශයෙන් ධර්මයට පහර දීමකි. මෙකල රහත් නො විය හැකි ය යි සිතා රහත් වීම ගැන බලාපොරොත්තුව හැර භාවනාවෙහි නො යෙදී නො විසිය යුතු ය. මේ සතිපට්ඨාන භාවනාව සෑහෙන කලක් ක්‍රමානුකූලව මග-ඵල ලැබෙන සැටියට කර ගෙන ගිය හොත් හේතු සම්පත් ඇතියෙක් වේ නම්, ඔබ මේ ජාතියේ දී රහත් බවට පැමිණෙන්නෙහි ය, මේ ජාතියේ රහත් බවට නො පැමිණිය හැකි වුවත් ඔබගේ උත්සාහය නිශ්ඵල නො වන්නේ ය. ඒ උත්සාහය ඔබට දෙවන ජාතියේ රහත් වීමේ පාරමිතාව වන්නේ ය. දෙවන ජාතියේ දී කරන උත්සාහයෙන් ද, ඔබ රහත් නුවුව හොත් ඔබගේ ඒ දෙජාතියේදී ම කළ උත්සාහ තුන් වන ජාතියේ දී රහත් වීමට පාරමිතාව වන්නේ ය. ජාති ගණනක පිරූ පාරමිතාවක් නැතියවුන්ට ද රහත් නො විය හැකි ය. එබැවින් මතු බුදු සස්නක දී වුවත් රහත් වී නිවන් දැකිය හැකි වීමට ප්‍රඥා පාරමිතාව පිරීම් වශයෙන් මේ බුද්‍ධෝත්පාද කාලයේ දී සතිපට්ඨාන භාවනාවෙහි යෙදිය යුතු ය.
කොතෙක් දුක් ගෙන කොතෙක් උත්සාහයෙන් භාවනා කෙළේ ද, ක්‍රමය වරදවා ගෙන භාවනා කරන තැනැත්තාට ඉන් ඵලයක් දැකිය හැකි නො වේ. භාවනා ක්‍රම ඇත්තේ ද එකක් පමණක් නොවේ. යෝගාවචරයා විසින් ඉක්මනින් ඵල දැකිය හැකි වන භාවනා ක්‍රමයක් සොයා ගෙන එය පුහුණු කළ යුතු ය. අප විසින් මේ කුඩා පොතෙන් විස්තර කරන්නට යන සතිපට්ඨාන භාවනා ක්‍රමය ඉක්මනින් ඵල දැකිය හැකි භාවනා ක්‍රමයක් ලෙස බුරුමයේ බොහෝ දෙනකුන් විසින් පිළිගෙන ඇති භාවනා ක්‍රමයෙකි.
මෙලොව දී ම ඵල දැකිය හැකි වන පරිදි සතිපට්ඨාන වැඩීමේ ක්‍රය දැනට අප රටේ ඇත්තා වූ සතිපට්ඨාන සූත්‍ර සන්නාදියෙන් නො දත හැකි ය. දුර්භික්‍ෂ යුද්ධාදිය නිසා වරින් වර අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා හා බණ පොත් ද නැතිවී යාමෙන් අප රටේ පැවැති පෞරාණික භාවනා ක්‍රම ද අභාවප්‍රාප්ත විය. භාවනා ක්‍රම නැති වූවා පමණක් නොව අප රටේ අතීත යෝගාවචරයන් භාවනා කොට මගපල ලබාගත් ගල්ගුහාදී භාවනාවට යෝග්‍ය ස්ථානයන් ද වර්තමාන යෝගාවචරයනට අහිමි වී තිබේ. කිසිම යෝගාවචරයකුට ඒවාට ළං වන්නට වත් ඉඩ නොදී දැන් ඒවාට පුරාවිද්‍යාකාරයෝ අරක්ගෙන සිටිති.
සම්බුද්‍ධශාසනයාගේ චිරස්ථිතිය සතිපට්ඨාන භාවනාවෙන් ම වන බව “චතුන්නං ච ඛො බ්‍රාහ්මණ සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතේ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. එබැවින් සම්බුද්‍ධ ජයන්තිය ළංව එන්නා වූ මේ කාලයේ බුදුසස්න නගා සිටුවීම් වස් අප විසින් කළ යුත්තේ සතිපට්ඨාන භාවනාව නගා සිටුවීම ම ය. දැනට පුරාවිද්‍යාකාරයන් අරක් ගෙන සිටින ගල්ගුහාදි යෝග ස්ථානයන් නැවත නිදහස් කර ගැනීමට බෞද්ධයන් විසින් උත්සාහ කළ යුතු ය. යෝගාවචර භූමින් යෝගාවචරයනට නිදහස් කර දෙන ලෙස බෞද්ධයන් විසින් රජයෙන් ඉල්ලුම් කළ යුතු ය.
ලඞ්කාවෙහි මෙන් බුරුමයේ භික්‍ෂූන් වහන්සේලා නැත්තට ම නැතිවන තැනට බුදුසස්න පිරිහී නො ගිය නමුත් සමීපාතීතයේ පර්‍ය්‍යාප්තිධරයන්ට බොහෝ රාජ සම්මානනාදිය ලැබෙන්නට වූයෙන් එහි ද ග්‍රන්ථධුරය මිස විදර්ශනා ධුරය පුරන භික්‍ෂූහු මඳ වූහ. එයින් අප විසින් විස්තර කරන්නට යන මේ පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය එහි ද යටපත් වී ගියේ ය. එහෙත් ඇතැම් ආරණ්‍යවාසී මහා තෙරුන් වහන්සේලා අතර එය නො නැසී අප්‍රසිද්ධ වශයෙන් පැවැත්තේ ය.
දෙදහස් පන්සියය කාලයේ දී නැවතත් බුදුසස්න බැබලෙන්නට ඇති නිසා දෝ බුරුමයේ සුප්‍රසිද්‍ධ යෝගාශ්‍රමයක බොහෝ දෙනාට සතිපට්ඨාන භාවනාව පුහුණු කරවමින් වැඩ වෙසෙන භදන්ත සෝභන මහා ස්ථවිරයන් වහන්සේ මේ භාවනා ක්‍රමය සොයා තමන් වහන්සේ ද පුහුණු කර ගෙන බොහෝ යෝගාවචරයන්ට ද පුහුණු කරවමින් දැනට බුරුමයේ විදර්ශනා ධුරය නැවතත් නගා සිටුවමින් වැඩ වෙසෙති. එහි පුහුණු කරවන්නා වූ ඒ භාවනා ක්‍රමය විස්තර වශයෙන් ලියා භාවනා පොතක් ද උන්වහන්සේ විසින් ප්‍රසිද්ධ කර තිබේ. එය බුරුම බසින් සම්පාදිත පොතකි. අප මේ භාවනා ක්‍රමය විස්තර කරන්නේ ඒ පොතේ ඇති සැටියට ය. දැනට බොහෝ දෙනකුන් විසින් ප්‍රතිඵල ලබා ඇති බව කියන, නියම පෞරාණික සතිපට්ඨාන භාවනාව ය යි සලකනු ලබන මෙය සසර දුකින් මිදෙනු කැමැත්තෝ පුරුදු කෙරෙත්වා!
මෙ බඳු කුඩා පොතකින් භාවනා ක්‍රමය සර්වාඞ්ග සම්පූර්ණ කොට විස්තර නො කළ හැකි ය. අප විසින් මෙහි භාවනා ක්‍රමය දක්වන්නේ ගෙයක් තැනීමට සැලැස්මක් කරදාසියක ඇඳ දක්වන්නාක් මෙනි. එහෙත් මේ සැලැස්මෙන් බුදුදහම ගැන හා භාවනා ගැනත් සාමාන්‍ය දැනුමක් ඇති අයට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකිය.
මේ භාවනාව කරන තැනැත්තා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක ගැන දැනුම ඇති කර ගෙන තිබිය යුතු ය. එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනසය, රූප අට විස්සය යන මේවා ගැන සාමාන්‍ය දැනුමක් ඇති කර ගත යුතු ය. සප්තවිශුද්ධිය ගැන ද සාමාන්‍ය දැනුමක් ඇතිකර ගත යුතු ය. විදර්ශනාඥාන ගැන හා සප්තානුපස්සනා ගැන ද තරමක දැනුමක් ඇති කරගත යුතු ය. ස්කන්ධාදි ධර්ම විභාග ගැන දැනුම ඇති කර ගෙන තිබුණු තරමට භාවනාවට වඩ වඩා හොඳය. සතිපට්ඨාන සූත්‍රයේ එන කරුණු ගැන සාමාන්‍යයෙන් දැනගෙන තිබීමත් ප්‍රයෝජන ය.
මෙය සතර සතිපට්ඨානය ම එකවර භාවනා කිරීමේ ක්‍රමයෙකි. එහෙත් මෙය ශමථ භාවනාවක් නොව විදර්ශනා භාවනාවකි. සතිපට්ඨාන යනු සිතට බැහැරට යන්නට නො දී, කාය - චිත්ත - වේදනා - ධම්ම යන මේවා කෙරෙහි තමා ගේ සිත නැවත නැවත පිහිටුවන, නැවත නැවත පවත්වන, නැවත නැවත සිත කායාදියට ම ගෙනෙන, කායාදී ආරම්මණයෙහි සිත බැඳ තබන සිහිය ය. සතිපට්ඨාන භාවනාව ය යනු ඒ සිහිය හා සිහිය අනුව සමාධි ප්‍රඥා දෙක ද දියුණු කිරීම ය.
අප්පමාද යනු ද ඒ සිහියට ම නමෙකි. “අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං” යි තථාගතයන් වහන්සේ විසින් අප්‍රමාදය නිවනට හේතුවකැයි ද ප්‍රමාදය මරණයට හේතුවකැයි ද වදාරා තිබෙන්නේ මේ සිහිය ගැන ය. උන්වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී ශ්‍රාවකයන් අමතා තමන් වහන්සේ කරන අන්තිම අනුශාසනය සැටියට වදාළේ ද මේ අප්‍රමාදය ම ය. “අප්පමාදෙන සම්පාදෙථ” යනු මහාකාරුණිකයන් වහන්සේගේ අන්තිම වචනය ය. එබැවින් තථාගතයන් වහන්සේට ගරු කරන සෑම දෙනා විසින් මේ අප්‍රමාද ප්‍රතිපදාව ආදරයෙන් පිරිය යුතු ය.