චතුරාර්‍ය්‍ය සත්‍යය

චතුන්නං භික්ඛවෙ අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝ මද්ධානං සංධාවිතං සංසරිතං මමඤ්චෙ ව තුම්හාකඤ්ච.

යනුවෙන් “මහණෙනි, ආර්‍ය්‍ය සත්‍ය සතර නො දැනීම නිසා ම ප්‍ර‍ත්‍යක්ෂ කර නො ගැනීම නිසා ම අප තොප විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් සංසාරයෙහි ඔබ මොබ දිවීම ඇවිදීම කරන ලද්දේ ය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

වර්ෂ ගණනින් තබා කල්ප ගණනින් වත් ප්‍ර‍මාණ කළ නො හෙන තරමට දීර්ඝ වූ අතීත කාලයේ නරකයන්හි ඉපද ප්‍රේතව ඉපද තිරිසන්ව ඉපද සසර සැරිසරන එක් එක් පුද්ගලයකු විසින් ලබා ඇති දුඃඛස්කන්ධය ප්‍ර‍මාණ කළ හැකියක් නො වේ. සත්‍යාවබෝධය කරන්නට නුපුළුවන් වුවහොත් අනාගත සංසාරයෙහි ලබන්නට සිදුවන දුඃඛස්කන්ධය ද එසේ ම ප්‍ර‍මාණ නො කළ හැකිය. ලබා විඳ අවසන් කළ දුඃඛස්කන්ධය ගැන කළ යුත්තක් නැත. අනාගතයට විඳින්නට විය හැකි දුඃඛස්කන්ධයෙන් නිදහස් වීමට මඟක් සෙවීම සියල්ලන් විසින් ම කළ යුත්තකි. එයට ඇත්තා වූ එක ම මාර්ගය චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීම ය.

චතුරාර්‍ය්‍ය සත්‍යය ඉතා ගැඹුරු ය. එය අවබෝධකර ගැනීමත් එතරම් පහසු වැඩක් නො වේ. එහෙත් එය කිනම් පරිත්‍යාගයක් කොට වුව ද කොතරම් දුකක් විඳ වුව ද කළ යුත්තකි. ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳව ආරංචියකුදු අසා නැතියකුට සත්‍යයන් පිළිබඳ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය හදිසියෙන් ඇතිකර ගත හැක්කේ නො වේ. දුකින් මිදීමට හේතුවන සත්‍යයන් පිළිබඳ ප්‍ර‍ත්‍යක්ෂඥානය පළමුවෙන් සත්‍යයන් ගැන ආරංචිය දැන ගෙන ඒවා ගැන නැවත නැවත සිතීමෙන් විමසීමෙන් ඇතිකර ගත යුත්තකි. මේ ලිපිය සපයන්නේ ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ ආරංචිය දීමක් වශයෙනි.

සත්‍ය වූ දුකය, දුක් ඇතිවීම් සත්‍ය වූ හේතුව ය, සත්‍ය වූ සැපය, සැපයට පැමිණීමේ සත්‍ය වූ මාර්ගය ය යන මේ කරුණු සතර බුදු සමයෙහි උගන්වන ආර්‍ය්‍ය සත්‍ය සතර ය.

මේ කරුණු සතර ගැන සාමාන්‍ය ජනයා අතර සත්‍ය යන ව්‍යවහාරය නැත. ඒ කරුණු සතර ගැන සැලකිල්ලක් තිබේ. දුකින් මිදීම ය සැපය ඇතිකර ගැනීම ය යන මේ කරුණු දෙක ගැන සැම දෙනාගේ ම විශේෂ සැලකිල්ලක් තිබේ. එහෙත් සැප දුක් දෙක ගැන සාමාන්‍ය ජනයාට ඇත්තේ මහත් මුළාවෙකි. ඔවුහු සැබෑ සැපය සම්පූර්ණයෙන් ම නො හඳුනති. ඉතා රෞද්‍ර‍ දුක් පමණක් දුක් සැටියට සලකති. වඩා රෞද්‍ර‍ නොවන දුක් සැප සැටියට සලකති. එසේ සලකා ඒවාට ඇලුම් කරති. සැප සොයමි යි ඒ දුක් ම සොයති. අවිද්‍යාවෙන් අන්ධව දුක ම හොඳ දෙය ය, සැපය ය කියා එයම සොයන්නෝ කිසි කලෙක දුකින් නොමිදෙති. සැප දුක් දෙක හරියට හැඳින ගැනීම තුන්වන පළමුවන ආර්‍ය්‍ය සත්‍ය දෙක දැන ගැනීම ය. එ බැවින් මෙහි පළමුවෙන් සැප දුක් හැඳින්වීම කරනු ලැබේ.

මිනිස් සැපය ය, දෙව් සැපය ය යි සාමාන්‍ය ජනයා විසින් සැප දෙකක් ලෝකයෙහි ඇති සැටියට සලකනු ලැබේ. මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් ඇතිව අඹු සැමියන් වශයෙන් දූ දරුවන් වශයෙන් සහෝදර සහෝදරියන් වශයෙන් නෑයන් මිතුරන් වශයෙන් ඔවුනොවුනට ඇලුම් කරමින් කා බී ඇඳ පැළඳ ජීවත් වන්නට ලැබීම මිනිස් සැපය සැටියට සලකනු ලැබේ. මේ මිනිස් ලොව දුප්පතුන්ටත් ධනපතියන්ටත් නිලධරයන්ටත් මැති ඇමතිවරුන්ටත් රජුන්ටත් නොකී තවත් අයටත් ඇත්තා වූ සැපය එය ම ය. එහි ඇති උසස් පහත්කම් අනුව රජ සැප සිටු සැප යනාදි ව්‍යවහාර පවත්නේ ය. දිව්‍යලෝකයෙහි දිව්‍යමය පඤ්චස්කන්ධයක් ලබා ජීවත්වීම දිව්‍ය සැපය යි සලකනු ලැබේ.

රජ සැප සිටු සැප යනාදීන් සලකන මිනිස් සැපය සත්‍ය සැපයක් ද කියා විමසිය යුතු ය. සැප වශයෙන් සලකන යමක් සෑම කල්හි ම සැපයක් හැටියට ම තිබේ නම්, කලකදී දුක් බවට නො පෙරළේ නම්, කලකදී දුකක් ඇති නො කෙරේ නම්, දුකට හේතු නො වේ නම් ඒ දෙය සත්‍ය සැපය ය. මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් තිබීම සැපක් සැටියට සලකතත් කලෙකදී එය දිරා පරිහරණය කිරීමට ඉතා දුෂ්කර තැනට පැමිණේ. තරුණවියේ දී හොඳින් තුබුණු මිනිස් කය මහලු වියේ දී තමාටත් දුක් දෙන අනුන්ටත් එපා වූ දෙයක් වන්නේය. ඒ පඤ්චස්කන්ධය ස්ථිර ද නොවේ. කවදා හෝ මිනිසා මැරෙන්නේ ය. භයානක වූ මරණ දුක ඒ පඤ්චස්කන්ධයේ අවසානය ය. පඤ්චස්කන්ධය පවත්නා අතරවාරයේ ද සාගින්න පිපාසය හිසරදය ඇස් රෝග කන් රෝග දන්ත රෝග පීනස කැස්ස වමනය උණ හොරි දද වණ පිළිකා ආදි බොහෝ රෝගයෝ ශරීරයෙහි ඇතිවන්නාහ. ශරීරය පැවැත්වීමට දිවිහිමියෙන් වෙහෙසිය යුතුය. මෙසේ බලන කල්හි මනුෂ්‍ය පඤ්චස්කන්ධය කලකදී නපුරට පෙරළෙන දෙයක් වන බැවින් ද, නපුර ම කෙළවර කොට ඇතියක් බැවින් ද, මුල මැද අග යන සැමතැන ම දුකින් මිශ්‍ර‍වූවක් වන බැවින් ද බොහෝ දුක් ඇතිකරන්නක් බැවින් ද දුකක් ම ය. එය කිසි සේත් සැපයක් නොවේ.

මිනිසුන් විසින් සැපය යි සලකන කෑම් පීම් හිඳීම් සිටීම් යාම් ඊම් වැතිරීම් ආදිය ද ඒ ඒ දුක්වලට කරන ප්‍ර‍තිකාර මිස සැප නොවේ. පඤ්චස්කන්ධය සම්පූර්ණයෙන් ම දුක් ගොඩක් වුව ද ප්‍ර‍තිකාරයෙන් ඒ බව වැසී තිබේ. කිසිවක් නො කොට නිශ්චල ව ඉන්නා කල්හි යමක් ඇත්තේ නම් යමක් දැනේ නම් එය පඤ්චස්කන්ධයාගේ ප්‍ර‍කෘතිය ය. එය දත හැක්කේ කිසිවක් නො කොට එක් තැනකට වී නිශ්චල ව විසීමෙනි. එක් තැනකට වී කිසිවක් නො කොට එක් ඉරියව්වකින් පැය ගණනක් හිඳ බලනු. කාලය ගත වන්න වන්න පඤ්චස්කන්ධයේ ප්‍ර‍කෘතිය මතු මතුවී පෙනෙන්නට වනු ඇත. සාගින්න දැනෙනු ඇත. පිපාසය දැනෙනු ඇත. අත් පාවල හා තුනටියේ රුදාව දැනෙනු ඇත. හිසරදය හිස බර ගතිය දැනෙනු ඇත. තැන් තැන්වල තදය හිරිය දැනෙනු ඇත. කටුවලින් අනින්නාක් මෙන් දැනෙනු ඇත, කසනවා දැනෙනු ඇත. උගුර කට වියළුම දැනෙනු ඇත. ග්‍රීෂ්මය හෝ ශීතල දැනෙනු ඇත. නිකම්ම ඉන්නා කල්හි ඇත්තා වූ ඒ දැනෙන්නා වූ දේවල් පඤ්චස්කන්ධයේ ප්‍ර‍කෘතිය ය. පඤ්චස්කන්ධයේ ස්වභාවය ය.

කෑම් පීම් ඉරියව් වෙනස් කිරීම් ආදි හැම දෙයක් ම කරන්නේ ඒ දුක්වලට ප්‍ර‍තිකාර වශයෙනි. දුක්වලට ප්‍ර‍තිකාර වශයෙන් කරන සැප වශයෙන් සලකන ඒ සියල්ලත් සත්‍ය වශයෙන් සැප නො ව දුක් ම ය. අසවල් දෙය බලන්නට ඕනෑ ය, අසවල් දෙය අසන්නට ඕනෑ ය, අසවල් තැනට යන්නට ඕනෑ ය, අසවල් දෙය ලබන්නට ඕනෑ ය යනාදීන් තෘෂ්ණාදාහයෝ ද සත්ත්ව සන්තානයෙහි ඇති වෙති. ඒ දැවීම් ද දුක් ම ය. ධනය සැපයීම, යාන වාහන ගෙවල් සැපයීම, වස්ත්‍රාභරණ සැපයීම යනාදි සියල්ල ම කරන්නේ ඒ ඒ දෙය සම්බන්ධයෙන් ඇති වන තෘෂ්ණාදාහය සන්සිඳවීම පිණිස ය. සත්‍ය වශයෙන් ම ඒ සියල්ල දුක් මිස සැප නොවේ. දුක් වූ ද දුක්වලට උත්පත්තිස්ථාන වූ ද දුකට හේතු වන්නා වූ ද දුකින් මිශ්‍ර‍ වූ ද දේ හැර අන් කිසිවක් ලෝකයා සැප වශයෙන් සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම ආත්ම භාවයන්ට අයත් වූ ස්කන්ධයන් අතර නැත.

ආපායික සත්ත්වයන්ගේ පඤ්චස්කන්ධයන්ගේ දුක් බව ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. ආපායික සත්ත්වයන්ගේ ද මනුෂ්‍ය දේව බ්‍ර‍හ්මයන්ගේ ද යන සියල්ලන්ගේ ම පඤ්චස්කන්ධය සත්‍ය වශයෙන් ම දුකකි. එබැවින් එයට සත්‍ය වූ දුකය යි බුදු සමයෙහි උගන්වනු ලැබේ. “දුඃඛ සත්‍යය” යනු සැබෑ දුකට කියන නමෙකි.

පඤ්චස්කන්ධයක් තිබීමේ නපුර පඤ්චස්කන්ධයේ දුඃඛත්වය පඤ්චස්කන්ධයේ ආදීනවය අවිද්‍යාව නිසා නො දක්නා වූ පුද්ගලයා ඒ පඤ්චස්කන්ධය ලෝකයෙහි ඇති සියල්ලට උසස් දෙය සැටියට සලකා එයට තදින් ඇලුම් කරන්නේ ය. පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නා වූ පුද්ගලයාට තමා ඇලුම් කරන පඤ්චස්කන්ධය නැසෙනවාය කියනවා නම්, නැසෙන්නට යනවා නම් නැසීමේ ලකුණු පෙනෙනවා නම් එයට වඩා නපුරක් එයට වඩා බියක් නැත්තේ ය. හේ වර්‍තමාන පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට සෑම උත්සාහයක් ම කරන්නේ ය. වර්තමාන පඤ්චස්කන්ධය නැති වුවහොත් නැවත ද අලුත් පඤ්චස්කන්ධයක් ලබා ගැනීමට සෑම උත්සාහයක් ම කරන්නේ ය.

ලෝකයෙහි බොහෝ දෙනා දන් දෙන්නේ වන්දනා ගමන් යන්නේ මල් පහන් පුදන්නේ බණ පින්කම් පහන් පින්කම් කරන්නේ විහාර චෛත්‍ය කරන්නේ සංඝාවාස දහම්හල් පාසැල් ආදිය කරන්නේ සිල් රකින්නේ භාවනා කරන්නේ ක්‍රිස්තු භක්තිකයන් දෙවියන් යදින්නේ අනාගත පඤ්චස්කන්ධ ප්‍ර‍තිලාභය සඳහා ය. පඤ්චස්කන්ධයට ඇලුම් කරන තණ්හාව තරම් ශක්තිමත් වූ අන් කිසි චෛතසික ධර්මයක් පෘථග්ජන සන්තානයෙහි නැත. එහි බලයෙන් ඔහුට මතු ද නැවත නැවත පඤ්චස්කන්ධය ලැබෙන්නේ ය.

සත්ත්වයාහට වර්තමාන පඤ්චස්කන්ධය පවත්වා ගැනීමේ ද අනාගත පඤ්චස්කන්ධයන් ලබාගැනීමේ ද මේ බලවත් ඕනෑකම හෙවත් තණ්හාව නැති නම් අලුත් අලුත් පඤ්චස්කන්ධ ලැබීමට හේ උත්සාහ නො කරන්නේ ය. එයින් හේ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත දුඃඛයෙන් මිදෙන්නේ ය. පඤ්චස්කන්ධය නො හරින පඤ්චස්කන්ධය පතන තැනැත්තා නැවත නැවත එය ලබනු මිස එයින් නොමිදෙන්නේ ය. නැවත නැවත පඤ්චස්කන්ධය ලබා ගැනීමටත්, ලැබූ පඤ්චස්කන්ධය පවත්වා ගැනීමටත් සෑම උත්සාහයක් ම කිරීමට හේතු වන පඤ්චස්කන්ධය පිළිබඳ පවත්නා වූ බලවත් ඕනෑකම හෙවත් ඇල්ම - තවත් ක්‍ර‍මයකින් කියත හොත් පඤ්චස්කන්ධය පිළිබඳ වූ තණ්හාව ම පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත සත්‍ය වූ දුඃඛය ඇතිවීමේ හේතුව ය. බුදුසමයෙහි “සමුදය සච්ච” යන නම ව්‍යවහාර වන්නේ ද ඒ තණ්හාවට ම ය. මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සම්පත් නමැති පඤ්චස්කන්ධයන්ට වඩා උසස් සැපයක් වූ නිවනක් ඇත ය යි අසා එය සෙවීමට උත්සාහ කරන්නා වූ පින්වතුන්ට මේ තණ්හාවෙන් බාධා කරනු ලැබේ. නිර්වාණ මාර්ගය වසනු ලැබේ. ඒ නිසා ද මේ තණ්හාව දුක් උපදවන හේතුව වේ.

කොතෙක් වර මළත් නැවත නැවත උපදවන, නැවත නැවත පඤ්චස්කන්ධය ඇති කරන, නැවත නැවත ජරාව ව්‍යාධිය මරණය ඇති කරන, නැවත නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පමුණුවන ඉහත කී තෘෂ්ණාව උපදින උපදින ජාතියක් පාසා ම නැවත නැවත ඇති වේ. පාඩම් කර ගෙන තිබෙන දෙයක් මතු කිසි කලෙක සිහි කළ නො හෙන පරිදි සර්වප්‍ර‍කාරයෙන් අමතක වී යන්නාක් මෙන් ඒ සන්තානයෙහි මතු කිසි කලෙක නූපදනා පරිදි අභාවයට යන ස්වභාවයක් ද ඒ තෘෂ්ණාවෙහි ඇත්තේ ය. මතු නැවත ඇති නො වන පරිදි තණ්හාව නැතිවීම අනුව ඒ තණ්හාව නිසා අනාගතයෙහි ඇතිවන්නට තිබෙන ස්කන්ධ පරම්පරාව අභාවප්‍රාප්ත වන්නේ ය. ඒ අභාවප්‍රාප්තිය අනුව ඇත්තා වූ සලකා ගත හැක්කා වූ ශාන්ත ස්වභාවය සැබෑ සැපය ය. කිසි කලෙ වෙනස් නොවන සෑම කල්හි ම පවත්නා සැපය ය. නිවනය යි කියනුයේ ද ඒ සැපයට ම ය.

ඒ නිවනෙහි මම ය අනිකා ය ස්ත්‍රිය ය පුරුෂයා ය මිනිසා ය දෙවියා ය යනාදි ව්‍යවහාරයන්ට ලක්වන දිරන බිඳෙන කිසිම සංස්කාරයක් නැත්තේ ය. කුඩාය මහතය සතරැස්ය වටය උසය මිටිය යනාදි ව්‍යවහාරයන්ට ලක්වන දෙයක් ද නැත්තේ ය. එය පරම ගම්භීර ශුද්ධ සුඛ ස්වභාවයකි. නිවනෙහි උතුම් බව වැටහෙන්නේ බුදුදහම අනුව නුවණ දියුණු තියුණු කරගත් සංසාරයේ සැටි දන්නා අයට ය. සෙස්සන්ට එය වැටහෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති කිසි වටිනාකමක් නැති හිස් බවක් ලෙස ය. පඤ්චස්කන්ධය මම ය කියා ද මාගේ ය කියා ද තදින් ගෙන සිටින්නා වූ පුද්ගලයන්ට වැටහෙන්නේ ඉතාම නපුරක් ලෙස ය. මම ය මාගේ ය කියා පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නා වූ අයට මම ය කියා ගන්නා ඒ පඤ්චස්කන්ධය නැති වී යාම වැටහෙන්නේ බියවිය යුත්තක් ලෙස ය. එබැවින් ඔවුහු නිවනට බිය වෙති. ඔවුන්ගේ කැමැත්ත පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට ය.

ධර්මඥානය නැතියවුන් උසස් කොට සලකන්නේ මම ය කියා සලකන පඤ්චස්කන්ධය ඇතිව, අඹුදරුවන් ඇතිව, නෑ මිතුරන් ඇතිව වුවමනා පමණ ඉන්ද්‍රිය පිනවන වස්තු ඇතිව, ජරාවක් ව්‍යාධියාක් මරණ්‍යක් නැතිව, ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වීමක් නැතිව සැමකල්හි ම සිටිය හැකි තත්ත්වයක් තැනක් ඇත්නම් එය ය. ලෝකයෙහි කිසිවකට එබඳු තත්ත්වයක් නැත. එබඳු තැනක් ද කොහිවත් නැත. ඇත්තේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්මය, නැවැත්මය යන මේ දෙක පමණකි. කාහට වුවත් ගන්නට ඇත්තේ ඒ දෙකින් එකකි.

මම ය මාගේ ය කියා ඇලුම් කරන ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම ගන්නහුට ස්කන්ධයන් හා බැඳී පවත්නා වූ ජාති දුඃඛය ද ලැබෙන්නේ ය. ජරාදුඃඛය ද ලැබෙන්නේ ය. ව්‍යාධි දුඃඛය ද ලැබෙන්නේ ය. අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග දුඃඛයන් ද ලැබෙන්නේ ය. කැමති දෑ නො ලැබීමේ දුඃඛය ද ලැබෙන්නේ ය. උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් වන්නට සිදුවන්නේ ය. ඌරන් කකුළන් එළුවන් ගවයින් බල්ලන් බළලුන් වන්නට ද තවත් නොයෙක් සතුන් වන්නට ද සිදුවන්නේ ය. සාදුක නිවා ගැනීමට සෑහෙන පමණට අහරක් නො ලබන, පිපාශාව සන්සිඳවා ගැනීමට සෑහෙන පමණක් පැනක් නො ලබන, හඳින්නට වතක් වසන්නට තැනක් නො ලැබෙන, ප්‍රේතයන් වන්නට සංජීව කාලසූත්‍රාදි නරකයන්හි ඉපද ගින්නේ දැවෙන්නට ලොහො ගුලි ගිලින්නට ලොහො දිය බොන්නට ද සිදු වන්නේ ය.

ස්කන්ධ පරම්පරාවේ නැවැත්ම වූ නිවන ගන්නහුට ඒ එක දුකකුත් නො වන්නේ ය. එහෙත් එහි මම ය අනිකා ය සත්ත්වයා ය පුද්ගලයා ය යි නම් කරන ස්කන්ධ නැත. මේ දෙකින් ඔබට වඩා හොඳ දෙය තෝරා ගන්න. බුද්ධාදි මහෝත්තමයන් විසින් සැබෑ සැපය සැටියට පවසන්නේ, දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි පවසන්නේ, ස්කන්ධ පරම්පරාවේ නැවැත්ම හෙවත් නිරෝධය ය.

දුකින් මිදීම සඳහා ද සැපයට පැමිණීම සැපය ලැබීම සඳහා ද සාමාන්‍ය ලෝකයා ගෙන සිටි මඟ අනිකකි. බුදුන් වහන්සේ පවසන මඟ අනිකකි. ධනය සැපයීම අඹුදරුවන් පෝෂණය කිරීම මරණින් මතු සුගතිගාමී වීම පිණිස පින් කිරීම යනාදිය සාමාන්‍ය ජනයා ගෙන සිටින මාර්ගය ය. එය තෘෂ්ණාවට පෝර දැමීමක් බැවින් එයින් තවත් තණ්හාව වැඩේ. සංසාරය තවත් දික් වේ. නිවන දුර වේ. බුදුන් වහන්සේ වදාළ මාර්ගය නම් සසර දිග් කරන තණ්හාව නසන වැඩ පිළිවෙළකි. යමක් කිරීමෙන් සංසාර දුඃඛය ඇති කරන තණ්හාව නැසේ නම් සන්තානයෙන් බැහැර වේ නම් ඒ වැඩපිළිවෙළ බුදුන් වහන්සේ පවසන සැපයට පැමිණීමේ මාර්ගය ය.

ලෝකයෙහි ඇති සෑම දෙයක ම ඒ ඒ දෙය නසන විරුද්ධ දෙයක් ද ඇත්තේ ය. තණ්හාවට විරුද්ධ තණ්හාව නසන දෙයක් ද ලොව ඇත්තේ ය. තණ්හාව සත්ත්ව සන්තානයෙන් බැහැර නො කළ හැකිය. ආයුධයකින් හෝ ගින්නෙන් දියෙන් හෝ නො නැසිය හැකිය. එය සත්ත්ව සන්තානයෙන් බැහැර කළ හැක්කේ එයට විරුද්ධ එය බැහැර කරන නසන දෙයක් සන්තානයෙහි ඇති කිරීමෙනි. ආලෝකය ඇති කළ කල්හි අඳුර දුරුවී යන්නාක් මෙන් තණ්හාවට විරුද්ධ ධර්ම සන්තානයෙහි ඇති කළ කල්හි තණ්හාව චිත්තසන්තානයෙන් බැහැර වන්නේ ය. නැසෙන්නේ ය.

තණ්හාව දුරු කරන තණ්හාව නසන බෙහෙත නම් මම ය, මිනිසා ය, දෙවියා ය, ස්ත්‍රී ය, පුරුෂයා ය යනාදීන් සලකන පඤ්චස්කන්ධයේ හා බාහිර ලෝකයේ තතු ඇති සැටියට දන්නා නුවණ ය. තණ්හාව ඇති වන්නේ වැරදි හැඟීම් නිසා ය. ඒ ඒ හේතූන් නිසා ඉපද ඉප බිඳි බිඳී යන නාම රූප ධාතූන් සත්ත්වයන් පුද්ගලයන් සැටියට වරදවා ගැනීම නිසා ද, අනිත්‍ය වූ ද දුඃඛ වූ ද බොහෝ ආදීනවයන් ඇත්තා වූ ද නාමරූප ධාතූන් නිත්‍ය දේ සැටියට, සැප වූ ද සැපට හේතු වූ දේ සැටියට හොඳ දේ සැටියට වරදවා ගැනීම නිසා ද තණ්හාව ඇති වේ. වීදුරු කැබෙල්ලක් මාණික්‍ය රත්නයකැයි සිතා පරෙස්සම් කරගෙන ඉන්නා තැනැත්තාට එය මැණිකක් නොවන බව දැනුණු පසු වීදුරු කැබෙල්ල ගැන කලින් තුබූ ඇල්ම නැති වන්නාක් මෙන් සැබෑ තතු නො දැනීම නිසා පඤ්චස්කන්ධය කෙරෙහි පවත්නා තණ්හාව පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දක්නා නුවණ ඇති වූ සැටියේ ම අභාවයට යන්නේ ය. අවස්ථාවක් ලද විටෙක මරා දමා වස්තුව පැහැර ගැනීම පිණිස මිත්‍ර‍ වේශයෙන් පැමිණෙන සතුරා පිළිගන්නේ ඔහු දුටු විට සතුටක් ඇති වන්නේ නො හැඳින සිටිනාතුරු ය. සතුරා සතුරකු බව හැඳින ගත් පසු ඔහු දක්නා කල්හි බියක් හා පිළිකුලක් මිස ආදරයක් සතුටක් ඇති නො වේ. එමෙන් පඤ්චස්කන්ධය හැඳින ගතහොත් ඉන්පසු එයට බියක් මිස ඇල්මක් ඇති නො වේ.

පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දක්නට සමර්ථ වූ ද ස්කන්ධ නිරෝධයේ අගය දක්නට සමර්ථ වූ ද නුවණ ම සංසාරය ඇති කරන තණ්හාව නසන ධර්මය වන බැවින් දුක නැති කිරීමේ සැපයට පැමිණවීමේ සත්‍ය හේතුව වේ. ඒ නුවණ ඇතිකර ගැනීමට අවශ්‍යයෙන් තිබිය යුතු තවත් ධර්ම සතක් ද ඇත්තේ ය. ඒවා ද නුවණ ඇති කිරීමට උපකාරවීම් වශයෙන් දුක් නැති කරන සැපයට පමුණුවන ධර්මයෝ වෙති. තථාගතයන් වහන්සේ ඒ ධර්ම සත ද සැබෑ සැපයට පමුණුවන සත්‍ය හේතූන් වශයෙන් ගෙන - සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ධර්ම අට සැපයට පැමිණවීමේ සත්‍ය හේතුව සැටියට වදාළ සේක.

මේ චතුරාර්‍ය්‍ය සත්‍යය සැකෙවින් දැක්වීම ය.