මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ මේ පරිනිර්‍වාණ කතාව

star_outline

ඉක්බිති මහාකාශ්‍යප තෙරණුවන්ගේ පරිනිර්වාණය වර්ණනා කරමි. මහසුප් තෙරණුවෝ පන්සියයක් රහතුන් සමඟ සප්තපර්ණි ගුහාද්වාරයෙහි ධර්‍ම සංගීතිය කොට ඒ රජගහ නුවර වේළුවන විහාරයෙහිම භික්‍ෂු සංඝයා සමඟ විසූහ. එකල්හි අජාසත් රජ මහ කසුප් තෙරුන් තථාගතයන් වහන්සේ මෙන් හඟිමින් බික්සඟන සහිත තෙරුන්ට සිව්පසයෙන් නිරන්තරවම උවටැන් කළේය. තෙරුන් වහන්සේ එක් විටෙක ධාතූන්ට අනතුරු දැක ඉඳින් මම ධාතු නිධානයක් නොකෙළෙම් නම් නොබෝ කලකින් ධාතූන් වහන්සේලා අතුරුදහන් වෙති. එහෙයින් මම ධාතු නිධානය කරමි. ධාතු පවත්නා විට බුදුන් සිටින්නාක් මෙනි කියා සිතා රජුවෙත ගොස් ධාතු නිධානයක් කිරීම සුදුසු යයි කීහ. රජ මැනව ස්වාමීනියි තෙරුන්ගේ කීම මුදුනින් පිළිගෙන ස්වාමීනි, නිධාන කර්‍මාන්තය මට භාරය. සෙසු ධාතු කෙසේ ගෙන එන සේක් ද? මහරජ, ධාතුගෙන ඊම ඔබට භාර නොවේ. එය අපටම භාරයයි කීහ. හොඳයි ස්වාමීනි, ඔබ වහන්සේ ධාතු ගෙන එනු මැනව. මම නිධානය කරමියි කීය.

එවිට මහකසුප් තරණුවෝ ඒ ඒ රජකුලවලට පුද කිරීමට පමණක් තබා සෙසු ධාතු ගෙන ආහ. රාමගාමයෙහි ධාතු නාගයෝ පිදූහ. ඒ ධාතුවලට අනතුරක් නැත. අනාගතයෙහි ලක්දිව මහාවිහාරයෙහි මහසෑයෙහි පිහිටන්නේ යයි තෙරුන් වහන්සේ නොගෙනාහ. සෙසු සත්නුවර ධාතු ගෙනවුත් රජගහ නුවරින් නැගෙනහිර සිට මෙතැන යම් පාෂාණයෙක් ඇද්ද. එය අතුරුදන් වේවා. පස් පිරිසිදු වේවා. ජලය මතු නොවේවායි අධිෂ්ඨාන කළහ. ඉක්බිති රජ ඒ ස්ථානය මිනිසුන් ලවා සාරවා එයින් ගොඩදැමූ පස්වලින් ගඩොළු තනා අසූ මහාශ්‍රාවකයන්ට චෛත්‍ය කරවීය. රජ මෙහි කුමක් කරන්නේදැයි විමසන්නවුන්ට මහාශ්‍රාවකයන් සඳහා චෛත්‍ය යයි කියති. කිසිවෙක් ධාතු නිධානයක් බව නොදනිති. අසූරියන් පමණ එතැන ගැඹුරු වූ කල්හි යට ලෝතහඩු අතුරුවා එහි ථූපාරාමයෙහි චේතිය ඝරය පමණ තඹලෝමුවා ගෙයක් කරවා සුදුහඳුන්මුවා කරඬු අටක් ද ස්තූප අටක් ද කරවීය. ඉක්බිති බුද්ධධාතු සුදුහඳුන් කරඬුවක බහාලීය. එය ද අනිකක බහාලීය. මෙසේ සුදුහඳුන් කරඬු අට එකතු කොට මේ ක්‍රමයෙන්ම සුදුහඳුන් කරඬු අට සුදු හඳුන් ස්තූප අටක බහාලීය.

සුදුහඳුන් ථූප අට රත්හඳුන් කරඬු අටක බහාලීය. රත්හඳුන් කරඬු අට රත්හඳුන් ථූප අටක බහාලීය. රත් හඳුන් ථූප අට දළකරඬු අටක බහාලීය. දළකරඬු අට දළථූප අටක බහාලීය. දළථූප අට සර්වරත්නකරඬු අටක බහාලීය. සර්වරත්නකරඬු අට සර්‍වරත්න ස්තූප අටක බහාලීය. සර්වරත්න ථූප අට රන්කරඬු අටක බහාලීය. රත්කරඬු අට රන්ථූප අටක බහාලීය. රන්ථූප අට රිදීකරඬු අටක බහාලීය. රිදීකරඬු අට රිදීථූප අටක බහාලීය. රිදීථූප අට මිණිකරඬු අටක බහාලීය. මිණිකරඬු අට මිණිථූප අටක බහාලීය. මිණිථූප අට ලෝහිතංකකරඬු අටක බහාලීහ. ලෝහිතංකකරඬු අට ලෝහිතංක ථූප අටක බහාලීහ. ලෝහිතංකථූප අට මසාරගල්ලකරඬු අටක බහාලීහ. මසාරගල්ලකරඬු අට මසාරගල්ලථූප අටක බහාලීය. මසාරගල්ලථූප අට පළිගුකරඬු අටක බහාලීය. පළිගුකරඬු අට පළිගුථූප අටක බහාලීහ. හැමට පළමු පළිගුමුවා චෛත්‍යය ථූපාරාම චෛත්‍යඝරය පමණ වෙයි. එහි උඩ සර්‍වරත්නමය ගෙයක් කරවීය. ඒ මත රන්මුවා ගෙයක් කරවීය. ඒ මත රිදීමුවා ගෙයක් ද ඒ මත තඹලෝගෙයක් ද කරවීය. එහි සර්‍වරත්නමය වැලි විසිරුවා දිය ගොඩ මල් ලක්‍ෂ ගණන් විසුරුවා පන්සිය පනස් ජාතක අසූ මහාශ්‍රාවකයන් ද සුදොවුන් මහරජු ද මහාමායා දේවිය ද සත් සහජාතයන් ද සියල්ල රනින් ම කරවා පන්සියයක් රන් පහන් ද පන්සියයක් රිදී පහන් ද සුවඳ තෙලින් පුරවා දුහුල් වැටි තැබ්බවීය.

ඉක්බිති කාශ්‍යප තෙරණුවෝ මල් නොමැළවේවා. සුවඳ හානි නොවේවා. පහන් නොනිවේවායි අධිෂ්ඨාන කළහ. අනාගතයෙහි පියදාස නම් කුමාරතෙම සේසත් නංවා අශෝක නම් සක්විති වෙයි. හෙතෙම මේ ධාතු පතුරුවා හරනේයයි රන් පටෙහි අකුරු ලියවීය. ඉක්බිති රජ තමාගේ අධිකාරය දැක ප්‍රීති භරිත හදින් අභිවර්‍ධනය වූ ශ්‍රද්ධාවෙන් පඤ්චප්‍රසාදයෙන් පුදා පසඟ පිහිටුවා වැඳ නැගී මුලපටන් දොරවල් වස්වා නික්ම ලෝහදොර වසා යතුරු මුදු ලණුවක ගැටගසා එහිම මහත් මැණික් කඳක් මත තබා අනාගතයෙහි දිළිඳු රජෙක් මේ මැණික ගෙන ධාතූන්ට සත්කාර කෙරේවායි අකුරු කෙටවීය. ඉක්බිති සක්දෙව්රජ ධාතු ආරක්‍ෂාව පිණිස විශ්ව කර්‍මයන් අමතා දරුව, අජාසත් රජු විසින් ධාතු නිධානයක් කරන ලදි. එහි රැකවල් ලවයි කීය. ඔහු පැමිණ බලසංඝාට යන්ත්‍රය යෙදීය. එහි රූප පළිඟුවන් කඩු ගෙන පවනට බඳු වේගයෙන් ධාතු ගර්භය වටා කැරකෙයි. යන්ත්‍රය යොදා එකම ඇණයකින් සවිකොට ධතු ගර්භය වටා හාත්පසින් ගලින් වට කොට මත්තෙහි එකම ගලකින් වසා පස් දමා පොළොව සමතල කොට ඊ මත පාෂාණමය ථූපයක් පිහිටුවීය.

මෙසේ ධාතු නිධානය නිමවූ පසු මහාකාශ්‍යප තෙරුන් වහන්සේ ඒ වේළුවනයෙහිම වසමින් කල් ගෙවූහ. මෙසේ කල් ගෙවූ තෙරුන් වහන්සේ එක් රැයක ඵල සමවතින් නැගී සිය ආයු සංස්කාරය බැලූහ. මම දැන් එක්සිය විසිවයස් වූයෙමි. මාගේ ආයු සංස්කාරය කෙතෙක් පවතීදැයි විමසද්දී ආයුසංස්කාරය පිරිහුණ බැව් දැන කවදා පිරිනිවෙම්දැයි බලන්නාහු අදම රැය ගෙවීමෙන් පිරිනිවන්පාමි. කොහි පිරිනිවෙම් දැයි ඒ රජගහ නුවරම අවට බිම් පියස බලන්නාහු කුක්කුටසම්පාත නම් තුන් පර්වතය අතර පිරිනිවෙමියි සිතූහ.

උන් වහන්සේ මෙසේ සිතා රැය පහන් වූ කල සිරුරු පිළිදැගුම් කොට භික්‍ෂු සංඝයා රැස් කරවා ඇවැත්නි, ඔබලා ශාස්තෘෘ ශාසනයෙහි අප්‍රමාදව පිළිවෙත් අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මම ද ඇවැත්නි, පිරිනිවීමට සුදුසු ආයුසංස්කාර ඇත්තෙමි. අද සවසම කුක්කුට සම්පාත නම් තුන් කඳු අතරෙහි පිරිනිවෙමියි කීහ. එවිට පුහුදුන් භික්‍ෂූහු තෙරුන්ගේ පිරිනිවන අසා තමන් දරාගත නොහැකිව අහෝ ඒකාන්තයෙන්ම අපි අනාථ වීමු. ශාස්තෲන් වහන්සේ පිරිනිවියත් ආර්‍ය්‍යයන් වහන්සේ ජීවත්වීම ශාස්තෲන් වහන්සේ මෙනැයි සිතුවෙමු. දැන් උන් වහන්සේ පිරිනිවෙති. කවරෙක් නම් අපට අවවාද අනුශාසනා දෙත් ද කිය කියා වැලපුණහ. රහතන් වහන්සේලාට ධර්‍ම සංවේගය ඇති විය. අහෝ සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. අස්ථීරය. වෙනස්වන සුලුය කියායි. තෙරණුවෝ භික්‍ෂු සංඝයා අනිත්‍යතාප්‍රතිසංයුක්ත ධර්‍මකථායෙන් සනසා ඉදින් ඔබ වහන්සේලා මාගේ පිරිනිවන දකිනු කැමැත්තාහු නම් කුක්කුට සම්පාත පර්වත ප්‍රදේශයෙහි රැස්ව බලනු මැනවැයි ද කීහ.

තෙරුන් වහන්සේ පිණ්ඩපාත වේලාවෙහි නැගී අඳනය ඇඳ විදුලිය වැනි කාය බන්‍ධනය බැඳ නව විටක් පොළොව කම්පා වීමට සමත් සර්‍වඥයන් වහන්සේ විසින් දෙන ලද මේඝවර්ණ පෘථුල ගරුක පාංශුකූල මහාචීවරය පොරවා පාත්‍රය ගෙන මිණිසන්නාහයෙන් සන්නාහ ගන්වන ලද මහ ඇතෙකු මෙන් ධීරගමනින් සංසුන් ඉඳුරන් ඇතිව සන්සුන් මනසින් වියදඬු පමණ දුර බලමින් සෝභමාන පැවිදි වෙසින් රජගහ නුවර පිඬු පිණිස වැඩියහ. උන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬු සිඟා දන් වැළඳූහ. එදින භික්‍ෂු සංඝයා ද දන් වළඳා තෙරුන්ගේ පිරිනිවන බලමුයි උනුන් අමතා ඔබින් මොබින් නික්ම රැස් වූහ. වෙනත් දිව්‍ය මනුෂ්‍යයෝ ද තෙරුන්ගේ පිරිනිවන අසා ගඳ මල් ආදි පූජා සත්කාර ගෙන කුක්කුටසම්පාත පර්වත බිම් පියසෙහි රැස් වූහ.

මහාකස්සප තෙරණුවෝ ද දන් වළදා මෙසේ සිතූහ. අජාසත් රජ අපට බහූපකාරය. සංඝයාගේ ප්‍රත්‍ය දායකයෙකි. රත්නත්‍රය මාමකය. බුදුසසුනෙහි බැඳීම් ඇත්තේය. ඔහුට ද දන්වා පිරිනිවෙමියි අසුනින් නැගිට මනාව හැඳ පෙරව මද්දහනෙහිම රජගහ නුවරට පිවිසියහ. තෙරුන් වඩින වේලෙහි රජ අනුභව කොට යහන් ගැබට වැද නිදන්නේ වෙයි. රජගෙට පිවිසෙන තෙරුන් දුටු ඇමැතියෝ “අප රජුගේ උපාධ්‍යායයන් වහන්සේ මහමද්දහනෙහිම වඩිති. කුමකට දැයි අසුනින් නැගිට පෙරගමන් කොට වැඳ සිටියහ. තෙරුන් වහන්සේ උපාසකයෙනි, රජතුමා කොහිදැයි ඇමැතියන්ගෙන් විමසූහ. ස්වාමීනි, නිදතියි කියා උන්වහන්සේ වැඩි කරුණ ඇසූහ. තෙරණුවෝ ඔව් උපාසකවරුනි, මම රජුටත් දන්වා අද සවසම පිරිනිවිමෙයි කීහ. ස්වාමීනි, කොහි පිරිනිවෙන සේක් ද? කුක්කුටසම්පාත පර්වතයන් අතරැයි මෙපමණක්ම කියා වැඩියහ.

තෙරුන් වහන්සේ විහාරයෙහි හැමඳීම් ආදි කළයුතු වත් කොට මහත් භික්‍ෂු සංඝයා පිරිවරා කුක්කුටසම්පාත පර්වතය බලා පිටත් වූහ. උන්වහන්සේ එතනට වැඩ එහිම පිරිනිවන දැක්වීම සඳහා අහසට පැන නැග සත් තල් කඳක් පමණ අහසෙහි සිට දෘශ්‍යමාන කයින් සිට පළමුව දකුණු කයින් ගිනි ජාලාවක් විසිර වූහ. වම් කයින් ජලධාරාවක් විසිර වූහ. ඉක්බිති වම් කයින් ගිනිකඳ දකුණු කයින් ජලය ද එසේම උඩු කයින් ජලය ද යටි කයින් ගින්න ද නැවත යටි කයින් ජලය ද උඩු කයින් ගින්නද කිසි විටක සිරුරෙන් ගිනි දැල් ද කිසි විටක සියල් සිරුරින් දිය දහරා ද විසිර වූ සේක. කිසි විටෙක මෘදුව හැසිරෙන මඳ පවනින් සැලෙන රළ පෙන සහිත සැලෙන බබළන ජලය හා ගින්න ද එක්වර දක්වා දහම් දෙසූහ. වරෙක මලින් පලින් සැදි හිමවත් පර්වතය දැක් වූහ. කිසිවිටෙක පස්වනක් පියුමෙන් සැදි මහමුහුද වැනි ජලතලා දැක්වූහ. කිසි විටෙක දොළොස් යොදුන් පිරිමඬුලු ඇති සිව්රඟ සෙන් පිරිවැරූ සත්රුවනින් යුත් සක්විති රුව දක්වති. කිසි විටෙක තුන් ගව් පමණ අබරණින් සැරසුණ තව්තිසාදෙව් ගණ පිරිවැරූ සක් දෙවිඳු රුව දක්වති. කිසි විටෙක තුන් යොදුන් අත්බවෙන් යුත් බඹගණ පිරිවැරූ මහබඹරුව දක්වති.

මෙසේ තෙරුන් වහන්සේ නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා අහසෙහි සිට දහම්දෙසා අහසින් බැස භික්‍ෂූන්ට ද දන්වා තෙපව් අතරට පිවිස මම මෙතැන්හිම පිරිනිවෙමියි සිතූහ. සිතත් සමඟම දෙව් සමූහයා හැඳ ඇතුරූහ. ඇඳ වටා නිලුපුල්, පියුම්, කුමුදු, පුණ්ඩරීක පිරූ පුන්කලස් තැබූහ. ඇඳ සතර කොණ දුමලොසු සතරක් ද දඬුවැට පහන් සතරක් ද තැබූහ. නොයෙක් පුෂ්පසත්කාර ද අනර්ඝ පිළීවියන් ද මල් පහන් ද තැබූහ. තෙරුන් වහන්සේ සයනයට නැග හිඳ අධිෂ්ඨානයක් කළහ. මාගේ ආයුසංස්කාරය හළ කෙණෙහිම මේ තුන් පර්වතය එකිනෙක එක්ව යටිකුරු කළ පාත්‍රයක් මෙන් යහන් ගැබක් බවට පත් වේවා. මේ මල් ද නොපරවේවා. පහන් සතර ද ධූප සතර ද නොනිවේවා. මිනිසුන්ගේ සියයක් ආයු පිරිහී දසවස් ආයු කාලයෙහි අන්තර කල්පයක් වෙයි. අන්තර කල්පය ගෙවී මනුෂ්‍යයෝ ආයුෂයෙන් වැඩී අසංඛ්‍යායුෂ්ක වෙති. ඉක්බිති මිනිසුන්ගේ ඒ ආයු පිරිහි අසූදහසක් අවුරුද්දට ආයු වූ කල්හි මහ පොළොව යොදුනක් පමණ උසට වැඩේ.

එකල්හි ආර්යය මෛත්‍රෙය නම් සම්‍යග් සම්බුද්ධයන් වහන්සේ ලොව උපදනා සේක. උන්වහන්සේ දම්සක් පවත්වා දොළොස් යොදුනක් පැතිරි පිරිස් පිරිවරා මෙතැනට පැමිණ තමන් වහන්සේම මාගේ ශරීරය ඔසවා චක්‍ර ලක්ෂණ ලලිත රතු මෘදු දකුණු අත් තලෙහි තබා භික්‍ෂු සංඝයා මැද දෙව් මිනිසුන් මැද මාගේ ශරීරය දක්වති. ඔබලා මේ තෙරුන් දන්නහු ද? මෙතෙම මාගේ දෙටුසොහොයුරු ගෞතම සම්බුදුන්ගේ කාලයෙහි මහාකාශ්‍යප නම් මහාශ්‍රාවකයාය. තෙලෙස් ධූතාංගධාරීය. තමන් පාංශුකූලිකව පාංශුකූලිකයන්ගේ ගුණ කියන්නේය. තමන් තෙචීවරිකව තෙචීවරිකයන්ගේ ගුණ කියන්නේය. තමන් පිණ්ඩපාතිකව -පෙ- එකාසනිකව පත්ත පිණ්ඩිකව ඛලුපච්චාභත්තිකව ආරඤ්ඤකව රුක්ඛමූලිකව අබ්භෝකාසිකව සොසානිකව යථාසන්තතිකව නේසජ්ජිකව නේසජ්ජිකයන්ගේ ගුණ කියන්නේය. පැවිදි වූ තැන් පටන් පිරිනිවන දක්වා ඇඳෙක පිට නොදිග හැරියේය. අති උත්කෘෂ්ට ධුතාංගධාරී අල්පේච්ඡ සන්තුෂ්ට විර්යාරබ්ධව කුලයෙහි හෝ ගණයෙහි නොලැග පිරිසිදු ආජීවයෙන් ගුවන් තලයෙහි පිරිපුන් සඳමෙන් බුදු සසුනෙහි ප්‍රකට විය. මේ අයුරින් උන්වහන්සේ මහාපොළොව කුඩා කොට මාගේ ගුණ ඉතා ගැඹුරු කොට ප්‍රකාශ කරන සේක. මහමෙර පහත් කොට මාගේ ගුණ උස් කොට ප්‍රකාශ කරන සේක. එකෙණෙහිම මාගේ ශරීරයෙන් ගිනිදැල් නැගී තථාගතයන් වහන්සේගේ අත් තලයෙහිම දැවී යේවා කියායි.

නැවත මෙසේත් අධිෂ්ඨාන කළහ. යම් විටක අජාසත් රජ මාගේ පිරිනිවන අසා වඳිනු කැමැතිව මෙතනට පැමිණේ ද එවිට මේ තුන් පර්වතය වෙන් වේවා. රජ වැඳ නිම වූ පසු මේ පර්වත එක් වේවා කියායි. මෙසේ අදිටන් කොට තෙරුන් වහන්සේ ඒ මැද හෙව අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. එකෙණෙහි තෙරුන්ගේ අදිටන් බෙලෙන් තුන් පර්වතය එක්ව මුනිත් නැවූ පාත්‍රයක් මෙන් ඒකඝන විය. එවිට ඒ භික්‍ෂු සංඝයා ආදි කොට ඇති දෙව් මිනිස්සු පර්වතයෙන් වැසුණු තෙරුන්ගේ ශරීරය නොදැක එක් විටම ඇඬූහ. වැලපුණහ. පර්වතයෙන් බැහැරවම පුදසත්කාර කළහ. නොයෙක් ආශ්චර්ය ද පහළ විය. එකල රජ මැඳුරෙහි ඇමැතියෝ තෙරුන් වැඩි පසු සාකච්ඡා කළහ. ඉදින් අවදි වී රජ තෙරුන්ගේ පිරිනිවන අසා තෙරුන්ට ඇති දැඩි සෙනෙහෙ බලයෙන් දැඩි සෝක සන්තාපයෙන් තැවුණු හදින් කළුරිය කළ හැකිය. අපි දැන් උපායකින් රජුගේ ජීවිතය රැකගනිමු කියායි.

ඔවුහු මෙසේ සාකච්ඡා කොට වෙදුන් කැඳවා එපුවත ඔවුන්ට කියා කුමක් කටයුතුදැයි ඇසූහ. එවිට ඒ වෙදවරු එසේ නම් ඖෂධ ප්‍රයෝග යොදමුයි කීහ. එකෙණෙහි එක් දෙණක් ගෙන උක් රසයෙන් පිරවූහ. එකක් කිරිවලින් ද එකක් දීමණ්ඩයෙන් ද එකක් ගිතෙල් මණ්ඩයෙන් ද එකක් ගඳකලලින් ද එකක් මැටි කලලින් ද එකක් සිසිල් දියෙන් ද පිරවුහ. මෙසේ සත් දෙණක් ඖෂධ ප්‍රයෝගයෙන් පුරවා රජ අවදි වන තුරු බලා සිටියහ. එවිට රජ අවදි වී සයනයෙන් නැගී ගැබින් නික්ම මහමඬුවෙහි එසවූ සේසත් ඇති සිහසුනෙහි වාඩිවිය. එවිට ඔවුහු තෙරුන් වැඩි බව සැලකළහ. දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ උපාධ්‍යාය මහාකාශ්‍යප තෙරණුවෝ මෙහි වැඩියහ. කුමකට ද? ඔබ වහන්සේට දැන්වීම පිණිසයි. උන්වහන්සේ කොහි වසක්ද දේවයිනි, පිරිනිවෙනු කැමැත්තාහ. කවදා පිරිනිවෙත් ද? දේවයිනි, දැන් සැන්දෑවෙහිය. එය අසා රජ තෙරුන් කෙරෙහි වූ දැඩි සෙනෙහෙ බලයෙන් ක්‍ෂත්‍රිය මාන අමතකව තමන් දරා ගත නොහැකිව බලවත් ශෝක සන්තාපයෙන් උණුසුම් කයින් විසංඥව වැටුණේය.

එවිට ඒ හිතකාමී ඇමැතියෝ රජු ඔසවා උක්රස දෙණෙහි ගිල් වූහ. ඇමැතියෝ එයින් ඔසවා කිරි දෙණෙහි හොවාලූහ. රජ කිරෙහි බලයෙන් සැනසුම ලබා නැවතත් තෙරුන් වැඩි කරුණ ඇසීය. ඇමැතියෝ එපරිදිම කරුණ දැන්වූහ. රජ යළිත් සිහිසුන්ව කිරි දෙණෙහි ඇද වැටුණේය. ඇමැතියෝ රජු ඔසවා දී දෙණෙහි හොවාලූහ. මේ ක්‍රමයෙන් ගිතෙල් මණ්ඩ දෙණෙහි හොවාලූහ. ඉක්බිති ගඳකලල් දෙණෙහි මැටි කලල් දෙණෙහි සිහිල් දිය දෙණෙහි හොවාලූහ. රජ මහාඖෂධ ප්‍රයෝගයෙන් හා උත්සාහයෙන් අස් වැසුම් ලබා භවත්නි, මාගේ උපාධ්‍යායයන් වහන්සේ කොහි පිරිනිවෙනු කැමැති වූ සේක්දැයි විමසූහ. දේවයිනි, කුක්කුට සම්පාත පර්වතයෙහිය. ඉක්බිති රජ සියලු රජගහ නුවර ඝෝෂා කොට ඡත්‍ර, ධජ, පතාක, බෙර, පටහ, ශංඛ, පණව ආදිය ද විවිධ පූජෝපකරණාදිය ද ගෙන සිව්රඟසෙන් සහිතව නුවරින් නික්ම කුක්කුටසම්පාත පර්‍වතස්ථානයට පැමිණ තුන්කඳු ඒකඝනව ඇති බව දැන දරුවනි, උපාධ්‍යායයන් වහන්සේගේ සිරුර කොහි තිබේදැයි මහජනයාගෙන් ඇසීය. දේවයිනි, මේ පර්වත තුන ඇතුළත යයි කීහ.

එයසා රජ කවර නම් උපායකින් උපාධ්‍යායයන්ගේ ශරීරය පුදනු හැකි වන්නේ දැයි සිතන්නේ සත්‍යක්‍රියාව හැර වෙනත් උපායක් මට නැතැයි සිතා දණමඬල පොළොවෙහි තබා පසඟ පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ දේවතාවෝ සිටිත් නම් මාගේ වචනය අසත්වා. උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි මාගේ බලවත් ප්‍රීතියත් ශ්‍රද්ධාවත් ඉදින් සත්‍යයක් නම් මේ තුන් පර්වතය වෙන් වේවායි සත්‍යක්‍රියා කළේය. රජුගේ අදිටන් බෙලෙන් මෙන්ම මහාකාශ්‍යප තෙරණුවන්ගේ අධිෂ්ඨාන බලයෙන් තුන් පර්වතය වජ්‍රයෙන් බිඳීගියාක් මෙන් වෙන් විය. ඒ අසිරිය දුටු මහජනකාය විස්මය පත්ව පිළීසිසෑරිම්, අසුරු ගැසීම්, අත්පොළසන් දීම්, ලක්‍ෂ ගණන් සාධුකාරදීම් කළහ. රජ ද ඇඳමත හෝනා දේවතාවන් පිදූ පුදසත්කාර සහිත තෙරුන්ගේ සිරුර දැක ආශ්චර්ය අද්භූතව ප්‍රමුදිතව අනවරතයෙන් වැගිරෙන කඳුළු දහරාවෙන් තෙත්,මුවමඬලින් අඬ අඬා ළඟට ගොස් තෙරුන්ගේ පා හිසින් නැමැද නැවත නැවත වැඳ ඡත්‍ර, ධජ, පතාක, දීප, ධූප, ගන්‍ධ මාලාදියෙන් පිදීය. එම ස්ථානයෙහිම සාධු ක්‍රීඩා කළේය. සතියක් ඇවෑමෙන් ඒ තුන් පර්වතය එක්ව ඒකඝන විය. එවිට රජ මහජනයා සමඟ බැසගිය හිරු මෙන් තෙරුන්ගේ සිරුර නොදැක බලවත් සොවින් හඬා නැමැඳ මහ ජනයා සමඟින් නුවරට පිවිසියේය. තෙරුන්ගේ ශරීරය අද දක්වාත් පවත්නේය. යම් දිනක මෛත්‍රෙය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව උපදනා සේක් ද එතෙක් විනාශ නොවන්නේය. නොවිසිරෙන්නේය. කුණු වීමකට පත් නොවන්නේය. අනාගතයෙහි ආර්‍ය්‍ය මෛත්‍රෙය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව ඉපිද උන් වහන්සේගේ අත්තලයෙහිම තෙරුන්ගේ ශරීරය දැවෙන්නේය. මෛත්‍රෙය ලෝකනායකයන් වහන්සේ එම ස්ථානයෙහි තෙරුන්ගේ ධාතු චෛත්‍යය ලෝකපූජිත කරවන සේක.

මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ මේ පරිනිර්‍වාණ කතාව නිමියේය.