ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතු බෙදූ දින රැස් වූ සත්ලක්‍ෂයක් භික්‍ෂූන්ට සංඝ ස්ථවිර වූ මහාකාශ්‍යප තෙරණුවෝ බුදුන් පිරිනිවි සත් දිනකින් සුභද්ද මහලු පැවිද්දහු විසින් “ඇවැත්නි, කම් නැත. ශෝක නොකරව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෙමු. මෙය තොපට කැපය. මෙය තොපට නොකැපයයි බෙහෙවින් අපි වෙහෙසට පත් වූයෙමු. මෙවක් පටන් යමක් කැමැති නම් එය කරමු. යමක් අකැමති නම් එය නොකරමු”යි කියන ලද වචනය සිහිකරමින් නැවත මෙවැනි සංඝ සන්නිපාතයක දුර්ලභත්වය සිතමි. පාවචනය අතීතශාස්තෘකයයි කල්පනා කරන පාප භික්‍ෂූහු පක්‍ෂයක් ලබා නොබෝ කලකින්ම සද්ධර්මය අතුරුදහන් කරන්නාහ යන්න සිදුවිය හැක්කකි. ධර්‍මවිනය පවත්නා තාක් ප්‍රවචනය අතීතශාස්තෘක නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේය. ආනන්දය, මා විසින් ඔබලාට යම් ධර්‍මයක් විනයක් දෙසන ලද ද පනවන ලද ද එය මාගේ ඇවෑමෙන් ඔබලාගේ ශාස්තෘන් වහන්සේය කියායි. එබැවින් මම යම්සේ මේ ශාසනය දිගුකල් පවත්නේ ද චිරස්ථායි වෙයි ද, එසේ මම මේ ධර්‍මය ද ව්නය ද සංගායනා කරවන්නෙම් නම් මැනවැයි සිතූහ.
මට භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප, මේ හණවැහැරි පාංශුකූලය ඔබ දරන්නැයි කියා සාධාරණ චීවර පරිභෝගයෙන් අනුග්‍රහ කළසේක. මහණෙනි, මම යම්තාක් කැමැති නම් කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි. එමෙන් මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කැමති නම් -පෙ- ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි කියා මේ ආදි ආකාරයෙන් නව අනුපුබ්බවිහාර ෂඩභිඥා ආදි භේද ඇති උතුරු මිනිස්දහම්හි තමන් වහන්සේ හා සම තැන තැබීමෙන් අනුකම්පා කළ සේක. එසේම අහසෙහි අත දිග හැර චන්ද්‍රොපම පටිපදාවෙන් ද ප්‍රශංසා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ තම පුත්‍රයාහට සම්පත් ප්‍රදානයෙන් කුලවංශය පිහිටුවන්නාවූ සක්විති රජකු මෙන් භාග්‍යවතුන් වහන්සේ මේ තෙම මාගේ ඇවෑමෙන් සද්ධර්‍මවංශය පිහිටුවන්නේය යන මේ අසාධාරණ අනුග්‍රහයෙන් ද මේ මහත් ප්‍රශංසාවෙන් ද අනුග්‍රහ කළ සේකැයි සිතා ධර්‍ම විනය සංගායනාව සඳහා භික්‍ෂූන් උත්සාහවත් කරමින් මහකසුප් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ.
ඇවැත්නි, එක් සමයක මම පාවා නුවරින් කුසිනාරාවට පන්සියයක් පමණ මහාභික්‍ෂුසංඝයා සමඟ මහමඟට පිළිපන්නේ වෙමියි සියලු සුභද්ද ඛණ්ඩය සවිස්තරව පවසා ඇවැත්නි, අපි දැන් අධර්‍මය දීප්තිමත් වීමට පෙර ධර්‍මය බැහැරවීමට පෙර අවිනය දීප්තිමත් වීමට පෙර විනය බැහැර වීමට පෙර අධර්‍මවාදීන් බලවත් වීමට පෙර ධර්‍මවාදීන් දුබල වීමට පෙර අවිනයවාදින් බලවත් වීමට පෙර විනයවාදීන් දුබල වීමට පෙර ධර්‍මයත් විනයත් සංගායනා කරමුයි කීහ. එවිට භික්‍ෂූහු උන් වහන්සේට “එසේ නම් ස්වාමීනි, තෙර භික්‍ෂූන් රැස් කරන සේක්වායි, කී කල්හි තෙරුන් වහන්සේ සියලු නවාංග ශාස්තෘ ශාසන පර්යාප්තිධර පෘථග්ජන සෝවාන් සකෘදාගාමි අනාගාමි ශූෂ්කවිදර්ශක රහත් යන නොයෙක් දහස් ගණන් භික්‍ෂූන් හැර සියලු ත්‍රිපිටක පර්යාප්ති භේදධාරි පිළිසිඹියාපත් මහානුභාව ඇති බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්‍රයෙහි තැබූ ත්‍රිවිද්‍යා ආදි භේද සහිත එකුන්පන්සියයක් රහතන් වහන්සේලාම තෝරා ගත්හ.
කවර හේතුවකින් තෙරණුවෝ එකක් අඩු කළාහු ද? අනඳ තෙරුන්ට ඉඩ සැලසීම සඳහායි. උන්වහන්සේ ඇතිව ද නැතිව ද ධර්‍මය සංගායනා කිරීමට නොහැකිය. උන් වහන්සේ සේඛයෙකි. කළ යුතු දේ ඇත්තෙකි. එහෙයින් එක්ව කළ නොහැකිය. උන්වහන්සේට දසබල දේශිත සුත්ත ගෙය්‍යාදි අප්‍රත්‍යක්‍ෂ දෙයක් නම් නැත. එහෙයින් නැතිව ද නොකළ හැකිය. මෙසේ සේඛයෙකු වුවත් ධර්‍ම සංගීතියට බොහෝ උපකාර වත් බැවින් තෙරුන් වහන්සේ තෝරාගත යුතුමය. කුමක් නිසා තෝරා නොගත් සේක් ද? අනුන්ගෙන් උපවාද දුරුකරනු පිණිසය. තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් සමඟ අතිශයින් විශ්වාසවත් වූහ. උන්වහන්සේගේ කෙස් පැසී තිබෙද්දී මේ දරුවා පමණ නොදනී යයි කුමාර වාදයෙන් අවවාද කළහ. ශාක්‍ය කුලයෙහි උපන් උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ සහෝදරයෙකි. සුළුපියාණන්ගේ පුත්‍රයාය. එහි ලා සමහර භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යාමක් මෙන් සිතා අසේඛ පිළිසිඹියාපත් බොහෝ භික්ෂූන් හැර සේඛ, පිළිසිඹියා නොපත් අනඳ තෙරුන් තෝරා ගත්හයි උපවාද කරන්නාහ. ඒ පරූපවාදය ප්‍රතික්‍ෂේප කොට අනඳ තෙරුන් හැර සංගීතිය කළ නොහැකියි භික්‍ෂූන්ගේ අනුමතියෙන් ආනන්දයන් ගනිමියි සිතා තෝරා නොගත්හ.
එවිට ඒ භික්‍ෂූහු අනඳ තෙරුන් ඇරබ ඉල්ලා සිටියහ. ස්වාමීනි, මේ අනඳ තෙර සේඛ වුවත් ඡන්‍ද දෝස භය මෝහ යන අගතියකට නොයන්නෙකි. භාග්‍යවතුන් වහන්සේ වෙත බොහෝ කොට ධර්‍ම විනය උගත්තේය. එබැවින් ස්වාමීනි, අනඳ තෙරුන් තෝරාගත මැනව කියායි. එකල්හි කසුප් තෙරණුවෝ භික්‍ෂූන්ගේ අනුමතියෙන් අනඳ තෙරුන් තෝරා ගත්හ. එකල්හි අනඳ තෙරුන් සමඟ පන්සියයක් මහ තෙරවරු වූහ. ඒ භික්‍ෂූහු අපි කොතැනක ධර්‍මයත් විනයත් සංගායනා කරමුදැයි කීහ. එවිට උන්වහන්සේලා රජගහ නුවර වනාහි මහාගෝචරයෙකි. බොහෝ සෙනසුන් ඇත්තේය. අපි රජගහ නුවර වස්වැස ධර්‍ම විනය සංගායනා කරමු. වෙනත් භික්‍ෂුවක් රජගහ නුවර වස් නොඑළඹිය යුතුයයි සිතූහ. කුමක් නිසා උන්වහන්සේලාට මෙසේ සිත් වීද? මෙය අපගේ ස්ථාවර කර්‍මයකි. කිසි විසභාග පුද්ගලයෙක් සඟමැදට පිවිස බාධා කරතැයි කියායි.
එවිට මහකසුප් තෙරණුවෝ ඤත්ති දුතිය කර්‍මයෙන් භික්‍ෂු සංඝයාට ඇස්වූහ. එහි වනාහි බුදුන් පිරිනිවීමෙන් විසි එක්වන දිනයයි. බුදුහු වෙසක් පුන් පොහෝදා අලුයම පිරිනිවියහ. සතියක් රන් වන් සිරුර ගඳින් මලින් පිදූහ. මෙසේ සතිය සාධුක්‍රීඩා දවස් නම් විය. ඉන් පසු සතියක් චිතකය ගින්නෙන් දැවිණ. සතියක් සත්තිපඤ්ජරයක් කොට සන්‍ථාගාර ශාලාවෙහි ධාතු පූජා පැවැත්වූහ. මෙසේ එක් විසි දිනය ගතවිය. පොසොන් මස පුර පක්‍ෂයෙහි පස්වන දින ධාතු බෙදූහ. ධාතු බෙදූ දිනයෙහි රැස් වූ භික්‍ෂු සංඝයාට සුභද්ද මහලු පැවිද්දහු විසින් කළ අනාචාරය දන්වා කී පරිදි භික්‍ෂූන් තෝරා සංඝයාට දන්වා තෙරුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ඇවැත්නි, දැන් ඔබලාට සතලිස් දිනක් ඉඩ ඇත. ඉන්පසු අපට මේ මේ පළිබෝධය ඇතැයි කිව නොහැකිය. එබැවින් මෙදෑතුර යමෙකුට රෝග පළිබෝධයක් හෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යාය පළිබෝධයක් හෝ රැඳීම් සිවුරු කිරීම් ආදී ආත්මපළිබෝධයක් ඇත්නම් ඒ පළිබෝධ නසා කටයුතු දේ කරව කියායි. මෙසේ කියා තෙරුන් වහන්සේ සිය පන්සියයක් පිරිස සමඟ රජගහ නුවරට ගියහ. අනුරුද්ධ තෙරණුවෝ ද දෙසිය පනසක් භික්‍ෂූන් සමඟ රජගහ නුවරට ගියහ. අනඳ තෙරණුවෝ ද භික්ෂූන් දෙසිය පනසක් සමඟ සැවැත් නුවර බලා චාරිකාවෙහි පිටත් වූහ.
පිළිවෙළින් සැවැතට පත් තෙරුන් දැක සැවැත් නුවර මිනිස්සු තෙරුන් වහන්සේ වැඩි සේකැයි පහන් දුම් ගඳමල් ආදිය ගෙන පෙරගමන් කොට පා වැඳ ආනන්ද ස්වාමීනි, පෙර සෙවණැල්ලක් මෙන් භාග්‍යවතුන් වහන්සේ සමගම යන්නෙහිය. අද කුමකට තනිව ආයෙහි ද? බුදුන් කොහි තබා මෙහි වැඩිසේක් දැයි කිය කියා හැඩූහ. බුදුන් පිරිනිවි දිනයෙහි මෙන් මහා විලාපයක් විය. එහිදී අනඳ තෙරණුවෝ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කථාවෙන් මහජනයා සනසා දෙව්රමට වැද බුදුන් වැඩ සිටි ගඳකිළිය වැඳ දොර හැර හිස් ගඳකිළිය දැක තමන් දරාගත නොහැකිව මහහඬින් හැඩූහ. ඉක්බිති ඇඳ පුටු බැහැර කොට ගසා පිරිසිදු කොට ගඳකිළිය හැමද රොඩු කුණු බැහැර කොට ඇඳපුටු ගෙන නිසි තැන්හි තබා බුදුන් සිටි කල්හි මෙන් කළයුතු සියලු වත් කළහ. එසේ කරද්දී නහන කොටු හමදිද්දී පැන් තබද්දීත් ගඳකිළියට වැද භාග්‍යවතුන් වහන්ස, මේ පැන් සනහන වේලාව නොවේ ද? මේ බණ දෙසන කාලය නොවේ ද? මේ භික්‍ෂූන්ට අවවාද කරන කාලය නොවේ ද? මේ සැතපෙන වේලාව නොවේ ද? මේ මුව දෝනා කාලය නොවේ ද? ආදි වශයෙන් හඬන්නට වූහ.
එවිට එක්තරා දෙවියෙක් උන්වහන්සේට “ස්වාමීනි, ආනන්‍දයෙනි, ඔබ වහන්සේ මෙසේ වැලපෙන කල අන්‍යයන්ට කෙසේ දෙසන සේක්දැයි” සංවේගයට පැමිණවීය. ඔහුගේ වචනයෙන් සංවේගයට පත් හදින් සිහි ලැබ තමන් ධෛර්‍ය්‍යමත් වූහ. තථාගත පිරිනිවනෙහි පටන් උන්වහන්සේ සිටීම් ඉඳීම් බහුලබව නිසා දොස් කෝප වූ කය සැතැප්පීමට දෙවන දිනයෙහි කිරි විරේචනයක් පානය කොට විහාරයෙහිම සිටියහ. තුන් වන දින චේතිය තෙර පසුමහණ කොට සුභ මාණවකගේ ගෙදරට වැඩ සුභ විසින් ප්‍රශ්න කරන ලදුව දීඝනිකායෙහි සුභසූත්‍ර නම් දේශනාව කළහ. අනඳ තෙරණුවෝ දෙව්රම් වෙහෙරෙහි කඩතොලු පිළිසකර කරවා වස් විසීම ළංවූ කල ධර්‍මසංග්‍රාහක තෙරවරුන් සමඟම රජගහ නුවරට ගියහ. එසමයෙහි රජගහ නුවර පිරිවරා අටළොස් මහා විහාරයක් විය. ඒ සියල්ල හැරදැමූ ගරාවැටුණු අබලන් ඒවා විය. පන්සියයක් පමණ ඒ මහතෙරවරු ඒවා ප්‍රකෘතිමත් කරමින් මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඇවැත්නි, කඩතොලු පිළිසකර කිරීම වර්ණනා කරන ලදි. අපි මාසය මුල කඩතොලු පිළිසකර කරමු. මාසය මැද රැස්ව ධර්‍මයත් විනයත් සංගායනා කරමු කියායි. උන්වහන්සේලා එකච්ඡන්දව දෙවන දින රජ දොරටුවට ගොස් සිටියහ. සැහැල්ලු සිතින් පැමිණි අජාසත් රජ තෙරවරුන් වැඳ ස්වාමීනි, කුමකට වැඩි සේක්දැයි කළයුතු කිස විමසූහ. අටළොස් මහාවිහාරය පිළිසකර සඳහා අත්තම් දැනුම් දුන්හ. රජ අත්තම් කරන මිනිසුන් දුන්නේය.
තෙරුන් වහන්සේලා මාසය මුල සියලු විහාර පිළිසකර කරවා “මහරජ විහාර පිළිසකර කිරීම් නිම විය. දැන් ධර්‍ම විනය සංග්‍රහය කරමු”යි රජුට කීහ. රජ යහපත ස්වාමීනි, කරනු මැනව. මාගේ ආඥා චක්‍රයයි. ඔබ වහන්සේලාගේ ධර්‍මචක්‍රයයි. ස්වාමීනි, කුමක් කළ යුතු දැයි දන්වනු මැනව. මහරජ, ධර්‍ම විනය සංග්‍රහ කරන භික්‍ෂූන් සඳහා වැඩ හිඳිනා තැන් අවශ්‍යය. ස්වාමීනි, කොතැන්හි කළයුතු ද? මහරජ, වේහාර පර්වත පාර්ශ්වයෙහි සප්තපර්ණීගුහා ද්වාරයෙහි කිරීම මැනවි. රජ මැනවි ස්වාමීනියි තෙරුන් වැඳ පිළිගෙන එකෙණෙහිම අත්තම්කරු මිනිසුන් රැස් කරවා විස්කම් නිර්‍මාණයක් හා සමානව යෙදූ ටැම් සොපාන මාලාකර්ම ලතාකර්‍ම ආදියෙන් විසිතුරු මුළු ලොව රමණීය වූ දැකිය යුතු සාරමණ්ඩිත මඩුවක් කරවා විවිධ මල්දම් එල්බෙමින් බබළන සොඳුරු වියනින් යුත් නන්වන් පුෂ්පෝපහාරයෙන් විසිතුරු මැනවින් නිම වූ සමතල භූමි කර්මාන්ත ඇති බඹවිමනක් සේ සැරසූ ඒ මහාමණ්ඩපයෙහි අනර්ඝ වූ පන්සියයක් කැප ඇතිරිලි පනවා දකුණු දිශාව නිසා උතුරු දිශාව බලා ථෙරාසනය මණ්ඩප මධ්‍යයෙහි පනවා නැගෙනහිර බලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට යෝග්‍ය අසුනක් බඳු ධර්මාසනය පනවා ඇත් දත් කැටයමින් විසිතුරු විජිනිපත එහි තබා “ස්වාමීනි, මාගේ කටයුතු නිමා විය. ඔබ වහන්සේලා කළයුතු කටයුතු කරනු මැනව”යි සැළකළේය.
ඒ තෙරවරු ඇසළ පුන් පොහෝදින පොහෝ කොට පෑළවි දිනයෙහිම රැස්ව වස් එළඹුණහ. උන් වහන්සේලා වස් එළඹ රජුට දැන්වූහ. කටයුතු දිනයෙහිම සමහර භික්ෂූහු අනඳ තෙරුන් පිළිබඳව මෙසේ කීහ. මේ භික්‍ෂු සංඝයා අතර එකම භික්‍ෂු නමක් විෂගඳ පතුරවමින් හැසිරෙයි කියායි. එයසා අනඳ තෙර මේ භික්‍ෂු සංඝයා අතර විෂගඳ පතුරුවන වෙනත් භික්‍ෂු නමක් නැත. ඒකාන්තයෙන් මොවුහු මා සඳහා කියතියි සංවේගයට පත්වූහ. සමහරු උන් වහන්සේට මෙසේ කීහ. ඇවැත්නි, හෙට පක්‍ෂයෙහි පස්වෙනි දින රැස්වීමය. මේ ඔබ වහන්සේ සේඛය. කළ යුතු දේ ඇත්තහුය. එබැවින් රැස්වීමට යාම නොසුදුසුය. නොපමා වනු මැනව කියායි. ඉක්බිති අනඳ තෙරණුවෝ “හෙට රැස්වීම යි. මා සෙඛව රැස්වීමට යෑම සුදුසු නොවේ” කියා සිතා රෑ බොහෝ වේලාවක් කායගතාසතියෙන් සක්මනෙනුත් කල්ගෙවා විශේෂයක් උපදවාගත නොහැකිව “භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද, ඔබ කළ පින් ඇත්තෙහිය. ප්‍රධන් වැඩීමෙහි යෙදෙව. වහා රහත් වන්නෙහියයි වදාළ සේක් නොවේ ද? බුදුවරුන්ගේ කථාවෙහි දොසක් නම් නැත. මම වීර්‍ය්‍යාරම්භ කළෙමි. මගේ සිත උද්ධච්චය සඳහාම පවතී. මම සමව විර්‍ය්‍ය කරමියි” සිතා රෑ අලුයම සක්මනෙන් බැස පා දොවා විහාරයට වැද ඇඳෙහි හිඳ මඳක් විවේක ගනිමියි කය ඇඳට යොමු කළහ. එවිට පොළොවෙන් මිදුණු දෙපා ඇති කොට්ටයට නොපැමිණි හිස ඇති උන්වහන්සේගේ සිත මේ අතර උපාදා රහිතව ආස්‍රවයන්ගෙන් මිදුණේය. තෙරුන් වහන්සේගේ ඒ රහත් බව සිවු ඉරියව් රහිත වූවකි. මේ ශාසනයෙහි නොහිඳ නොසිට සක්මන් නොකොට අර්හත්වයට පත්වූ භික්‍ෂුනම කවරෙක්දැයි කී කල්හි අනඳ තෙරණුවෝ යයි කීම වටී. ඉක්බිති ඒ මහතෙරවරු පක්‍ෂයෙහි පස්වන දිනය වූ දෙවන දවස්හි කළ කටයුතු ඇතිව පාත්‍ර තැන්පත් කොට සිවුරු එකාංස කොට දම්සභාවෙහි රැස් වූහ. එවේලෙහි අනඳ තෙරණුවෝ රහත්වම දැන් මම සන්නිපාතය මැදට පිවිසීමට සුදුස්සෙමියි සතුටු සිතින් සිවුර ඒකාංසකොට නටුවෙන් ගිලිහුණු ඉදුණු තල්පලක් මෙන් ද පණ්ඩු කම්බලයක තැබූ ජෝතිරංග මිණක් මෙන් ද වලා රහිත ගුවන්හි නැගුණු පුන් සඳක් මෙන් ද ළහිරු රැස් පහස ලැබ විකසිත පියුමක් මෙන් ද පිරිසිදු පැහැබර සශ්‍රික මුව ශෝභාවෙන් තමන්ගේ අරහත්ව ප්‍රාප්තිය දක්වන්නාක් මෙන් අහසින් අවුත් තමහට පත් ආසනයෙහි වැඩහුන් සේක.
උන්වහන්සේ දැක මහකසුප් තෙරණුවන්ට “ඒකාන්තයෙන් රහත්බව ලත් ආනන්දයෝ ශෝභමාන වෙති. ඉදින් ශාස්තෘන් වහන්සේ වැඩ සිටිසේක් නම් ඒකාන්තයෙන්ම අද ආනන්දයන්ට සාධුකාර දෙන සේකැයි සිතා දැන් මම ශාස්තෲන් වහන්සේ දිය යුතු සාධුකාරය දෙමියි තෙවරක් සාධුකාර දුන්හ. අනඳ තෙරුන් මෙසේ වැඩි කල කසුප් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ. ඇවැත්නි, කුමක් පළමුව සංගායනා කරමු ද? ධර්‍මය ද විනයදැයි විමසූහ. භික්‍ෂූහු මෙසේ කීහ. ස්වාමීනි, කාශ්‍යපයන් වහන්ස, විනය නම් බුද්ධ ශාසනයෙහි ආයුෂයයි. විනය ඇති කල්හිම සසුන පිහිටියේ නම් වෙයි. එහෙයින් පළමුව විනය සංගායනා කරමුයි කීහ. එසේ නම් ඇවැත්නි, කවුරුන් ධුර කොට විනය සංගායනා කළ යුතු ද? ආයුෂ්මත් උපාලි තෙරුන් යයි භික්‍ෂූහු පැවසූහ. කුමක් නිසා භික්‍ෂූහු මෙසේ කීවාහු ද? කිම අනඳ තෙර ප්‍රමාණවත් නොවන්නේ ද? උන්වහන්සේ ප්‍රමාණවත් නොවන්නෝ නොවෙති. එසේද වූවක් බුදුන් ජීවමාන සමයෙහිම විනය පර්යාප්තිය නිසා උපාලි තෙරුන් එතදග්‍රස්ථානයෙහි තැබූ සේක. එහෙයින් උපාලි තෙරුන් විමසා විනය සංගායනා කරමුයි කීහ. ඉක්බිති මහාකාශ්‍යප තෙරණුවෝ විනය විමසීම සඳහා තමන් වහන්සේම සම්මත කළහ. ඇවැත්නි, සංඝයා වහන්සේ මාගේ වචනය අසත්වා. ඉදින් භික්‍ෂූන්ට සුදුසු කාලය නම් මම උපාලි තෙරුන්ගෙන් විනය විමසමි කියායි. උපාලි තෙරණුවෝ ද විසඳීම පිණිස සම්මත කරති. ස්වාමීනි, සංඝයාවහන්සේ මාගේ වචනය අසන සේක්වා. ඉදින් සංඝයාට සුදුසු කාලය නම් ආයුෂ්මත් මහා කාශ්‍යයන් වහන්සේ විසින් විමසන ලද විනය මම විසඳමි කියායි.
මෙසේ තමන් වහන්සේ සම්මත කොට ගෙන උපාලි තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකාංස කොට ස්ථවිර භික්‍ෂූන් වැඳ ධර්මාසනයෙහි හිඳ ඇද්දත් කැටයමින් විසිතුරු විජිනිපත ගෙන හුන්හ. එවිට කසුප් තෙරණුවෝ ධුරාසනයෙහි හිඳ උපාලි තෙරුන්ගෙන් විනය විමසූහ. ආයුෂ්මත් උපාලි ස්ථවිරයනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොහිදී ප්‍රථම පාරාජිකාව පැනවූ සේක් ද? ස්වාමීනි, විශාලාවෙහිදීය. කවරකු අරභයා ද? සුදින්න කලන්දක පුතු අරභයායි. කවර වස්තුවෙක්හි ද? මෛථුන ධර්මයෙහිය. එවිට කසුප් තෙරණුවෝ උපාලි තෙරුන්ගෙන් ප්‍රථම පාරාජිකා වස්තුව විමසූහ. නිදානය ද විමසූහ. පුද්ගලයා ද ප්‍රඥප්තිය ද විමසූහ. ඉක්බිති අනු ප්‍රඥප්තිය ද විමසූහ. විමසූ විමසූ දෙය උපාලි තෙරණුවෝ විසඳූහ. ප්‍රථම පාරාජිකාව සංග්‍රහයට නැගූ කල්හි පන්සියක් රහතන් වහන්සේලා සංගායනාරූඪ කළ පරිදිම ගණසජ්ඣායනා කළ සේක.
සජ්ඣායනය අරඹද්දීම සාධුකාර දෙන්නාක් මෙන් ජලය කෙළවර කොට ඇති මේ මහා පොළොව කම්පා විය. එනයින්ම සෙසු පාරාජිකා ද සංගායනාරූඪ කොට මේ පාරාජිකා කාණ්ඩයැයි තැබූහ. ඉක්බිති තෙලෙස් සංඝාදිශේෂ තෙරස කාණ්ඩයයි තැබූහ. ශික්‍ෂාපද දෙකක් අනියත යයි තැබූහ. ශික්‍ෂාපද තිහක් නිස්සග්ගිය පාචිත්තිය යයි තැබූහ. දෙයානු ශික්‍ෂාපදයක් පාචිත්ති යයි තැබූහ. ශික්‍ෂාපද සතරක් පාටිදේසනීය කියා තැබූහ. ශික්‍ෂාපද පන් සැත්තෑවක් සේඛියායි තැබූහ. ධර්‍ම සතක් අධිකරණ සමථයයි තැබූහ. මෙසේ විස්සක් අධික දෙසියයක් ශික්‍ෂාපද මහාවිභංගයයි කියා තැබූහ.
මහා විභංගාවසානයෙහි පෙර පරිදිම මහපොළොව කම්පා විය. ඉක්බිති භික්‍ෂුණී විභංගයෙහි ශික්‍ෂාපද අටක් මෙය පාරාජිකා කාණ්ඩ යයි තැබූහ. සතළොස් ශික්ෂාපදයක් සතළොස් සංඝාදිසේස කාණ්ඩයයි තැබූහ. ශික්‍ෂාපද තිහක් නිස්සග්ගිය කියා තැබූහ. ශික්‍ෂාපද එකසිය හැටහයක් පාචිත්තියයි තැබූහ. ශික්ෂාපද අටක් පාටිදේසනී යයි තැබූහ. ශික්ෂාපද හැත්තෑපහක් සේඛියායි තැබූහ. ධර්‍ම සතක් අධිකරණ සමථයයි තැබූහ. මෙසේ ශික්‍ෂාපද තුන්සිය එකොළහක් භික්‍ෂුණී විභංගයයි කියා තැබූහ. මේ උභතොවිභංගය විභංග නම් වෙයි. බණවර සූසැටක් තැබූහ. උභතො විභංගාවසානයෙහි ද කී නයින් මහපොළොව කම්පා විය. මේ ක්‍රමයෙන් බණවර අසූවකින් පරිමිත පරිවාරය ද සංගායනා කොට මෙය විනය පිටකය කියා තැබූහ. මාතෘකාව තබා විනය පිටකය සංගායනා කොට අවසානයේ කී නයින් මහපොළොව කම්පා විය. උපාලි තෙරණුවෝ විනය සංගායනා අවසානයෙහි විජිනිපත තබා ධර්මාසනයෙන් බැස තෙර භික්‍ෂූන් නැමැද තමනට පත් අසුන්හි වාඩි වූහ.
විනය සංගායනා කොට ධර්‍මය සංගායනා කරනු කැමැතිව මහකසුප් තෙරණුවෝ භික්‍ෂූන් විමසූහ. ධර්‍මය සංගායනා කරන කල කවර පුද්ගලයෙකු ධූර කොට කරමුද කියායි. අනඳ තෙරුන් ධූර කොටයයි භික්‍ෂූහු කීහ. එවිට කාශ්‍යප තෙරණුවෝ සංඝයාට දැනුම් දුන්හ. ඇවැත් සංඝයා වහන්ස, මට ඇහුම්කන් දුන මැනව. ඉඳින් සංඝයාට සුදුසු කල් නම් මම අනඳ තෙරුන්ගෙන් ධර්‍මය විමසමි. අනඳ තෙරණුවෝ ද එසේම සංඝයාට දන්වා අසුනින් නැගී සිවුර එකාංස කොට ථෙර භික්‍ෂූන් වැඳ ධර්මාසනයෙහි හිඳ විජිනිපත ගත්හ. එවිට කාශ්‍යප තෙරණුවෝ ඇවැත්නි, කුමක් පළමුව සංගායනා කරමුදැයි භික්‍ෂූන් විමසූහ. ස්වාමීනි, සූත්‍රාන්ත පිටකයයි. සුත්‍රාන්ත පිටකයෙහි සංගායනා සතරකි. එයින් කුමක් පළමුව සංගායනා කරමු ද? දීඝනිකාය සංගීතියයි. ස්වාමීනි, දීඝනිකාය සංගීතියෙහි සුත්‍ර තිස් හතරකි. වර්‍ග තුනකි. ඉන් පළමුවෙන් කවර වර්‍ගය ද? ස්වාමීනි, සීලක්ඛන්‍ධවර්‍ගයයි. සීලකඛන්‍ධ වර්‍ගයෙහි සුත්‍රාන්ත දහ තුනකි. එයින් කවර සූත්‍රය ද? ස්වාමීනි, බ්‍රහ්මජාල සූත්‍රයයි. ත්‍රිවිධ සීලයෙන් අලංකෘත කුහන ලපනාදි නානා විධ මිච්ඡාජීව නසාලන දෙසැට මිසදිටු දැල් නිරවුල් කරන සහස්‍රී ලෝකධාතුව කම්පා කරවන එය පළමුව සංගායනා කරමු.
එවිට මහ කසුප් තෙරණුවෝ අනඳ තෙරුන්ට මෙසේ කීහ. ආයුෂ්මත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය කොහිදී දේශනා කළ සේක්ද? ස්වාමීනි, රජගහ නුවරටත් නාලන්දාවටත් අතර අම්බලට්ඨිකාවෙහි රාජාගාරයෙහිදීය. කවරකු අරභයා ද? සුප්පිය පරිබ්‍රාජක සහ බ්‍රහ්මදත්ත මාණවක අරභයායි. කිනම් වස්තුවෙක්හි ද? ත්‍රිවර්‍ණ වර්ණනයෙහිය. මහකසුප් තෙරණුවෝ අනඳ තෙරුන්ගෙන් බ්‍රහ්මජාල සූත්‍ර වස්තුව ද විමසූහ. නිදානය ද විමසූහ. පුද්ගලයා ද විමසූහ. අනඳ තෙරණුවෝ විසඳූහ. විසඳීම් අවසන පන්සියයක් රහතන් වහන්සේලා ගණසජ්ඣායනා කළහ. එකල්හි සහස්‍රීලෝකධාතු මහාපෘථුවිය කම්පා විය. මෙසේ බඹදැල් සුතුර සංගායනා කොට ඉන්පසු සාමඤ්ඤඵල සූත්‍රය මෙබඳු පුච්ඡා විසර්ජනානුක්‍රමයෙන් බ්‍රහ්මජාලය සමග සියලු සුත්‍රාන්ත දහ තුන සංගායනා කොට මේ සීලක්ඛන්‍ධ නමැයි කියා තැබූහ. අනතුරුව සූත්‍ර දසයෙකින් යුත් මහාවර්ගයද අනතුරුව සූත්‍ර එකොළොසකින් යුත් පාතියවර්‍ගදැයි වර්‍ග සංග්‍රහ ඇති සූතිස් සුතුරකින් යුත් සූසැට බණවරකින් පරිමිත දීඝනිකාය සංගායනා කොට මේ දීඝනිකාය නමැයි කියා ආයුෂ්මත් ආනන්දයෙනි, මෙය ඔබගේ නිඃශ්‍රිතයන්ට උගන්වන්නැයි අනඳ තෙරුන්ටම භාර කළහ.
ඉක්බිති අසූ බණවරකින් පරිමිත මජ්ඣිමනිකාය සංගායනා කොට දම්සෙනෙවි සැරියුත් තෙරණුවන්ගේ නිඃශ්‍රිතයන්ට ඇවැත්නි, මෙය ඔබලා පරිහරණය කරන්නැයි භාර කළහ. අනතුරුව බණවර සියයකින් පරිමිත සංයුක්තනිකාය සංගායනා කොට, ඔබවහන්සේගේ ශිෂ්‍යයන්ට උගන්වනු මැනවයි මහකසුප් තෙරණුවන්ට භාර කළහ. අනතුරුව බණවර දෙදහසකින් පරිමිත අංගුත්තරනිකාය සංගායනා කොට ස්වාමීනි, මෙය ඔබගේ සිසුන්ට උගන්වනු මැනවැයි අනුරුද්ධ තෙරුන්ට පැවරූහ. ඉන්පසු ධම්ම සංගණී, විභංග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්‍ථු, යමක, පට්ඨාන යන සියුම් ඤාණගෝචර තන්තිය වූ අභිධර්‍මය සංගායනා කොට මෙය, අභිධර්‍ම පිටකය නමැයි පන්සියයක් රහතන් වහන්සේලා ගණසජ්ඣායන කළහ. කී පරිදිම පොළොව කම්පා විය. ඉන්පසු ජාතක, මහානිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, සුත්තනිපාත, ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්‍ථු, පෙතවත්‍ථු, ථෙරගාථා, ථෙරීගාථා, බුද්ධවංස, චරියාපිටක යන මේ පෙළ සංගායනා කොට බුද්දකග්‍රන්ථ නමැයි කියා අභිධර්‍ම පිටකයෙහිම සංගායනාරූඪ කළහ. මෙසේ මේ සම්බුද්ධ වචනය රස වශයෙන් එක් බඳුය. ධර්‍ම විනය වශයෙන් දෙවැදෑරුම්ය. පිටක වශයෙන් ත්‍රිවිධය. ආගම වශයෙන් චතුර්විධය. නිකාය වශයෙන් පඤ්චවිධය. අංග වශයෙන් නව විධය. ධර්‍ම ස්කන්ධ වශයෙන් සුවාසූ දහස්විධ යයි දත යුතුයි. මේ ප්‍රභේදය ව්‍යවස්ථාපනය කොටම සංගීතිය සත් මසකින් නිමකළහ. සංගීති අවසානයෙහි මහාකාශ්‍යප තෙරණුවන් විසින් මේ දසබල ශාසනය පස්වාදහසක් පමණ කල් පැවැත්මට සමත් කරන ලදැයි හටගත් ප්‍රමෝදයෙන් සාධුකාර දෙන්නාක් මෙන් ජලපොළොව කෙළවර කොට ඇති මේ මහ පොළොව අනේක ප්‍රකාරයෙන් කම්පා විය. බෙහෙවින් කම්පාවිය. වෙව්ලා ගියේය. අනේක ආශ්චර්‍ය්‍යයෝ ද පහළ වූහ.
සංගීතිකථා නිමි