එහි මේ පිරිනිවන් කථාවයි. භාග්‍යවතුන් වහන්සේ වේශාලියට නොදුරු බෙළුව ගම වසද්දී වැසි සමය ආසන්න වූයෙන් භික්ෂූන් අමතා “මහණෙනි, ඔබලා විශාලාව අවට පහසු පරිදි මිතුරන් හිතවතුන් ඇසුරෙහි වස් සමාදන් වව්. මම මේ බෙළුව ගම්හි වස් වසමියි වදාළහ. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහු ද? භික්‍ෂූන්ගේ පහසු විහරණය සඳහාය. උන්වහන්සේලාට බේළුව ගමෙහි සෙනසුන් ප්‍රමාණවත් නොවේ. භික්‍ෂා කඩවීම් ද විය හැකිය. විශාලාව අවට බොහෝ සෙනසුත් ඇත. දානය ද සුලභය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. එසේ නම් කුමක් හෙයින් උන් වහන්සේ පහසු පරිදි යන්නැයි පිටත් කළ සේක් ද? ඒ භික්‍ෂූන්ට අනුකම්පාව නිසාය. උන් වහන්සේට මෙසේ සිතිණ. මම දසමසක් පමණ සිට පිරිනිවෙමි. ඉදින් මොවුන් දුර ගිය හොත් පිරිනිවන් සමයෙහි මා දැකීමට නොලබනු ඇත. වේශාලිය අවට වාසය කළ හොත් මසකට අට වරක් පැමිණ බණ අසති. එබැවින් දුරට පිටත් නොකළහ. භික්‍ෂූහු ද බුද්ධ වචනයට අනුව විශාලාව අවට වස් විසූහ. බුදුහු විශාලාවෙහි වස් විසූහ. වස් විසූ භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයක් ඇතිවිය. විශාල විශාල වශයෙන් වේදනා පහළවෙයි. මාරාන්තික වේදනා උපදී. භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් නුවණින් නොපෙළෙමින් ඉවසාගත් සේක. ඒත් උන්වහන්සේට මෙසේ සිතිණ. ඉදින් මම භික්‍ෂූන්ට කථා නොකොට උපස්ථායකයන්ට නොදන්වා පිරිනිවෙම් නම් එය මට නොගැළපෙයි. ඉඳින් මම මේ ආබාධය විර්‍ය්‍යයෙන් මැඩ ගෙන ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වාසය කළෙම් නම් මැනවි කියායි. උන්වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය යටපත් කොටගෙන ජීවිත සංස්කාර අදිටන් කොට ගෙන විසූහ. උන්වහන්සේගේ ආබාධය සන්සිඳිණ.
ලෙඩින් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ නැගී සිටි කීප දවසකින් විහාර සෙවණැල්ලෙහි පැනවූ අසුනෙහි වැඩ හුන් සේක. එවිට ආනන්ද තෙරණුවෝ උන්වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක හිඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දුටුවෙමි. ස්වාමීනි, මාගේ ශරීරය ගල් වුණාක් වගේ පැත්ත පෙනුනේත් නැහැ. ධර්‍මය ද අමතකයි. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව නිසා එසේ වුවත් එක් සැනසීමක් විය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අරභයා තවම කිසිවක් වදාළේ නැත. එහෙයින් දැන්ම පිරිනිවන් නොපාන සේකැ”යි සිතීමි කියා පැවසූහ. ආනන්ද, තථාගතයන් වහන්සේ භික්‍ෂූන් අරභයා කුමක් කියන සේක් ද? ආනන්ද, මා දැන් මහලුයි. වෘද්ධයි. වයස්ගතයි, මම දැන් අසූවස් වෙමි. උණ පතුරුවලින් පිළියම් කළ දිරාපත් කරත්තයක් පවත්වන්නාක් මෙන් පවත්වන්නෙමි කියා වදාළ සේක. උන්වහන්සේ වස් පවරා බේළුව ගමෙන් පිටත්ව සැවතට යමුයි මහත් භික්ෂු සංඝයා සමඟ සැවතට වැඩ දෙව්රම්හි වසන සේක.
එහි දී දනවි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වතාවත් කොට දිවා ස්ථානයට ගොස් හැමද පා සෝදා සම්කඩ අතුරා ඵල සමවතට සමවන්හ. ඵල සමවතින් නැගිටි උන්වහන්සේට, පළමුව තථාගතයන් වහන්සේ පිරිනිවෙන සේක් ද නැතහොත් අග්‍ර ශ්‍රාවකයන් දැයි යන විතර්කය ඇතිවිය. එවිට පළමුව අග්‍රශ්‍රාවකයන් බව දැන සිය ආයු සංස්කාරය බලන්නේ මින් පසු සත් දිනක්ම පමණක් සිය ආයු සංස්කාරය පවතී යයි දැන රාහුල තෙරහු තව්තිසා වෙහි පිරිනිවියහ. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරහු ඡද්දන්ත විලෙහි පිරිනිවියහ. මම කොහි පිරිනිවෙම්දැයි නැවත නැවත සිතන්නේ මෑණියන් සිහි විය. මාගේ මෑණි ශාරි බ්‍රාහ්මණිය රහතන්ම සත් නමකගේ මෑණියෝය. මාගේ ද සෝණ, රේවත, උපසේන, පාලා, උපපාලා, තිස්සූපපාලා සොහොයුරියන් තිදෙනාගේ ද මෑණියෝය. මෙසේ රහත්ම සත්නමකගේ මෑණි වූ අප මෑණියෝ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයෙහි නොපහන්ව මිථ්‍යාදෘෂ්ටි රියෙන් සසර තරණය කරනු කැමැත්තීය. ඇගේ උපනිශ්‍රය සම්පත්තියක් ඇද්දැයි බලන්නාහු කළයක් තුළ දැල්වෙන පහන් සිලක් මෙන් හද තුළ පවත්නා සෝවාන් ඵලයට හේතු වාසනා දැක කාගේ දේශනාවකින් ධර්මය අවබෝධ වේදැයි බලන සේක් තමන් වහන්සේගේ දේශනාවෙන් බව දැක ඉඳින් මා පමා වුවහොත් සැරියුත් තෙරහු සෙසු බොහෝ දෙනාට අවශ්‍ය වෙති. එසේම සමචිත්ත සූත්‍ර දේශනාවෙහි කෙළලක්‍ෂයක් දෙවියෝ රහත් වූහ. තුන් මඟට පිළිපන්නවුන්ගේ ගණනක් නැත. වෙනත් තැන් වල බොහෝ දෙනා ධර්‍මය අවබෝධ කළහ. අසූ කුල දහසක් උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ස්වර්‍ගයෙහි උපන්හ. තුන් වෙනි ආත්ම භාවයෙහි මවු බවට පත්වූවන් ප්‍රේත භාවයෙන් මිදවූහ. එහෙත් දැන් උන්වහන්සේ මේ ආත්ම භාවයෙහි මෑණියන් මිථ්‍යා දෘෂ්ටි මාත්‍රයෙන් වත් අත්හරවන්නට අසමත් වූහයි කියන්නෝ වෙති.
එහෙයින් මම මෑණියන් මිසදිටුවෙන් මුදා සෝවාන් බවට පමුණුවා සිය උපන් කුටියහිදීම පිරිනිවෙමි කියා සනිටුහන් කොට අදම භාග්‍යවතුන් වහන්සේගෙන් අනුදැන පිටත් වෙමියි චුන්ද තෙරුන් ඇමතූහ. චුන්ද ආයුෂ්මතුනි, අපගේ පන්සියයක් පිරිවර භික්‍ෂූන්ට ඇවැත්නි, පාසිවුරු ගනු මැනව. සැරියුත් තෙරණුවෝ නාලක ගමට වඩිනු කැමැති වෙති කියා දැනුම් දෙන්නැයි කීහ. චුන්ද තෙර එසේ කළේය. භික්‍ෂූහු සෙනසුන් අසුරා පාසිවුරු ගෙන තෙරුන් වෙත ආහ. තෙරණුවෝ පිරිවරින් බුදුන් වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරන සේක්වා. සුගතයන් වහන්සේ මට අනුදැන වදාරන සේක්වා. මට පිරිනිවීමට කාලයයි. මාගේ ආයුසංස්කාරය අවසන් කළෙමි කියා සැලකළහ. සාරිපුත්ත, එසේ නම් පිරිනිවෙනුයේ කොහිදැයි විමසූහ. ස්වාමීනි, මගධයෙහි නාලක ගම උපන් ගෙය තිබේ. මම එහි පිරිනිවෙමියි කීහ. සාරිපුත්ත, කල් දනුවයි වදාළහ. දැන් මෙතැන් පටන් සාරිපුත්ත, ඔබගේ බාල සොහොයුරන්ට ඔබ වැන්නකුගේ දර්ශනය නොලැබෙනු ඇත. ඔවුන්ට දහම් දෙසන්නැයි වදාළහ. තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ මාගේ සෘද්ධි විකුර්වණ පෙරටු කොට දැන් ධර්‍මදේශනා කැමැති වෙතියි දැන බුදුන් වැඳ තල් ගසක් පමණ අහසට පැන නැගී නැවත බැස බුදුන් වැඳ මේ ක්‍රමයෙන් සත්තල් ගසක් පමණ උඩ අහසෙහි සිට විකුර්වණ සෘද්ධි දක්වා අනිත්‍යතා ප්‍රතිසංයුත්ත දහම් දෙසූහ. දේශනාවසානයෙහි අහසින් බැස බුදුන් වැඳ ස්වාමීනි, මට යාමට වේලාව යයි සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් නැගිට ගඳකිළියට වැඩ මිණිපලඟෙහි වැඩහුන්හ. තෙරණුවෝ තෙවරක් පැදකුණු කොට සතර තැනක වැඳ “ස්වාමීනී, මෙයින් එකාසංඛ්‍ය කප් ලක්‍ෂයකට මතු අනෝමදස්සි බුදුසිරිපා මුල වැතිර ඔබ වහන්සේ දැකීමට ප්‍රාර්ථනා කළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනය සමෘද්ධ විය. මේ අවසන් දැකීමයි කියා සැලකළහ.
මහාමුනි ලෝක නායකයන් වහන්ස, ඇසුර දැන් සිඳී ගියේය. මින් මතු ගමනාගමනයක් නැත. මේ අන්තිම වන්දනාවයි. ස්වාමීනි, මාගේ ජිවිතය ස්වල්පය. සතියක් ඇවෑමෙන් බර බහා තබන්නාක් මෙන් මේ සසරින් නික්ම යමි.
නැවත ඔබ වහන්සේගේ දැකීමත් නැතැයි කියා දසනඛ සමෝධාන අංජලියෙන් පෙනෙන තාක් දුර බුදුන් දෙස බලාගෙනම ගොස් මෙතැන් පටන් ඔබ වහන්සේගේ පිහිට පතා කිසිම තැනක ගමනාගමනයක් නැතැයි කියා වැඳ පිටත්ව ගියහ. එකෙණෙහි ජලපොළොව කෙළවර කොට ඇති මහ පොළොව කම්පා විය. භාග්‍යවතුන් වහන්සේ තෙරුන් පිටත් කොට යවද්දීම පිරිවරා සිටි භික්‍ෂූන්ට මහණෙනි, වැඩිමහල් සොහොයුරන්ට පසුගමන් කරන්නැයි වදාළහ. භික්‍ෂූහු ගම් දොරටුව තෙක් පසුගමන් කළහ. එහිදී තෙරුන් වහන්සේ ඇවැත්නි, ඔබලා නවතින්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොපමාවනු මැනවයි භික්‍ෂු සංඝයා ආපසු යවා සිය පිරිස සමඟ පිටත් වූහ. උන්වහන්සේ අතර මඟ මහජනයාට සතියක් අනුග්‍රහ කරමින් සවස නාලක ගමට පැමිණ ගම් දොර නුග රුකක් මුල සිටියහ.
එවිට උපරේවත නම් වූ තෙරුන්ගේ බෑනතෙම ගමෙන් පිටත යන්නේ තෙරුන් දැක වැඳ සිටියේය. තෙරුන් වහන්සේ ඔහුගෙන් මෑණියන් ගෙදර දැයි ඇසූහ. එසේය ස්වාමීනි. එසේ නම් ඔබ ගොස් අප ආ බව දන්වන්න. කුමට ආවාහුදැයි ඇසුව හොත් අද එක රාත්‍රියට ඇතුළු ගමෙහි වසති. උපන් කුටිය පිළියෙළ කරන්න. පන්සියයක් භික්‍ෂූන්ට ද වසන තැන් දෙන්නැයි කියන්න. ඔහු වහා ගොස් ආර්යාවෙනි, මයිලණුවෝ පැමිණියහයි කීය. දැන් කොහි ද? ගම් දොරටුවෙහිය. තනියම ද තවත් කවුරු හෝ ඇද්ද? පන්සියයක් භික්‍ෂූහු සිටිති. කුමකට ආවහු ද? ඔහු එපවත් දැන්වීය. මෑණියෝ “කිමෙක් ද? කුමකට එතරම් වසන තැන් පිළියෙළ කරවන්නාහු ද උපැවිදිවනු කැමැතිව ද? බාලකාලයෙහි පැවිදිව මහලු කාලයෙහි ගිහිවනු කැමැති වීදැයි සිතා වසන තැන් පිළියෙළ කරවා දඬුවැට පහන් දල්වා තෙරුන්ට යැව්වාය.
තෙරණුවෝ භික්‍ෂූන් සමඟ ගෙට වැඩ උපන් කුටියට පිවිස හිඳගත්හ. හිඳ භික්‍ෂූන් වසන තැන්වලට පිටත් කරවූහ. උන්වහන්සේලා ගිය පසු තෙරුන්ට දරුණු ආබාධයක් ඇති විය. ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් මාරාන්තික වේදනා ඇතිවිය. එක් භාජනයක් බැහැර කරයි. එක් භාජනයක් ඇතුල් කරයි. එවිට මපුතුන්ගේ තත්‍වය මාගේ සිත් නොගනීයයි මව දොරකඩට වී සිටීයාය. එවේලෙහි ලෝක පාලයෝ සතර දෙන සැරියුත් තෙරණුවෝ නාලක ගම උපන් කුටියෙහි පිරිනිවන් ඇඳෙහි සිටිති. පශ්චිම දර්ශනයට යමු කියා රාත්‍රියෙහිම ගොස් තෙරුන් වැඳ මුළු ගෘහය බබුළුවමින් සිටියාහ. තෙරුන් වහන්සේ ඔබලා කවරහු ද? කුමට ආවහුදැයි ඇසූහ. ස්වාමීනි, අපි ලෝක පාලයෝ සතර දෙන වෙමු. ගිලන් උවටැනට ආවෙමුයි කීහ. වේවා, මට උපස්ථායකයෝ සිටති. තෙපි යව් කියා පිටත් කළහ. ඔවුන් ගිය පසු සක් දෙව් රජ පැමිණියේය. ඔහු ගිය පසු මහබඹු පැමිණියේ ය. තෙරුන් වහන්සේ එසේම ඔවුන් පිටත් කළහ. එකල්හි සාරි බැමිණිය ඔවුන්ගේ පැමිණීම දැක විස්මය පත්ව මපුතුන් වෙත පැමිණි මොවුහු කවරහුදැයි තෙරුන්ගේ දොර ළඟට ගොස් චුන්ද පුත්‍රයෙනි, තොරතුරු කෙසේදැයි විමසුවාය.
උන්වහන්සේ එපවත් පවසා ස්වාමීනි, මහාඋපාසිකාව පැමිණියායයි තෙරුන්ට සැලකළහ. එසේ නම් ඇතුළට කැඳවන්න. ඕතොමෝ කාමරයට ඇතුල්ව උන්වහන්සේ ළඟ සිටගත්තාය. තෙරුන් වහන්සේ මහෝපාසිකාවෙනි, කුමට අවේලාවෙහි පැමිණියෙහි දැයි ඇසූහ. පුතේ, ඔබ බලන්නට යැයි කියා දරුව, පළමුවෙන් කවරෙක් ආවාහු දැයි විමසුවාය. උපාසිකාවෙනි, සතරවරම් රජහුයයි තෙරුන් වහන්සේ කීහ. ඒ සතරවරම් රජවරුන්ටත් වඩා ඔබ මහත් දැයි ඇසුවාය. උපාසිකාවෙනි, ආරාමිකයන් මෙන් ඔවුහු ශාස්තෘන් වහන්සේගේ ප්‍රතිසන්ධියෙහි පටන් කඩුගත් අත් ඇතිව උන්වහන්සේට රැකවරණ සැලසුවාහුය. දරුව, ඔවුන් ගිය පසු කවරෙක් පැමිණියෙහි ද? සක් දෙව් රජය. සක්දෙව් රජුටත් වඩා ඔබලා මහත් ද? උපාසිකාවෙනි, මොහු බඩුගත් සාමණේර කෙනෙකු මෙන් අපගේ ශාස්තෘන් වහන්සේ තව්තිසාවෙන් බස්නාවේලෙහි පාසිවුරු ගෙන බැස්සේය. දරුව, ඔහු ගිය පසු බබළන පැහැයෙන් පෙදෙස බබුළුවාගෙන කවරෙක් ආවහු ද? උපාසිකාවෙනි, ඒ ඔබගේ ශාස්තෘ වූ මහාබ්‍රහ්මයායි. අපගේ ශාස්තෘ මහාබ්‍රහ්මයාටත් වඩා ඔබ මහත් ද? එසේය උපාසිකාවෙනි, අපගේ ශාස්තෲන් වහන්සේ උපන් දවසෙහි මේ මහාබ්‍රහ්මතෙම දෙව් සේසත් දැරීය කීහ.
එවිට බැමිණිය “මපුතුන්ගේ ආනුභාවය මෙසේ නම් ම පුතුන්ගේ ශාස්තෲන් වහන්සේගේ ආනුභාවය කොපමණ දැයි සිතත් සිතත් පස්වනක් ප්‍රීතිය ඉපිද සකල ශරීරයෙහි පැතිර ගියේය. තෙරුන් වහන්සේ “මාගේ මෑණියන්ට සතුටු සොම්නස් උපන්නේය. මෙය ධර්ම දේශනාවට සුදුසු කාලයයි” සිතා මහඋපාසිකාවෙනි, කුමක් සිතන්නෙහිදැයි ඇසීය. දරුව, පුතුගේ අනුහස මෙසේ නම් ඔහුගේ ශාස්තෘන් වහන්සේගේ ගුණානුභාවය කොපමණ ද කියා සිතමියි කීවාය. මහඋපාසිකාවනි, මාගේ ශාස්තෲන් වහන්සේ උපන් කෙණෙහිද මහබිනික්මනයෙහි ද සම්බෝධියෙහි ද දම්සක් පැවැත්වීමෙහි ද දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. ඒ භාග්‍යවතුන් වහන්ස්ගේ මෙබඳු යහපත් යශෝ ඝෝෂයක් පැතිර ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් සේක. -පෙ- දෙව් මිනිසුන්ට ශාස්තෘෘ සේක. බුද්ධ සේක. භගවත් සේක කියා මෑණියන්ට බුදුගුණ මුසු දහම් දෙසූහ. දේශනාවසානයෙහි සාරි බැමිණිය කෙලෙස් අනුසය තුන නසා දහසක් නයින් සැදි සෝවාන් ඵලයෙහි පිහිටියාය.
දත් දහම් ඇති ඕ තොමෝ විනීතව විශාරදව අහෝ මම බොහෝ කල් මිසදිටු වස සහිත වූයෙමි කියා, තෙරුන්ට මෙසේ කීවාය. දරුව උපතිස්සයෙනි, කුමක් නිසා මෙතෙක් කල් මෙවැනි අමා මඟක් නුදුන්නෙහිදැයි කීවාය. තෙරුන් වහන්සේ මම දැන් මාගේ මෑණියන්ට කිරි මිලත් පෝෂණය කිරීමේ මිලත් මෙපමණකින් දිනිමි කියා සිතා මහ උපාසිකාවනි, යන්නැයි පිටත් කොට චුන්දයෙනි, වේලාව කුමක්දැයි ඇසූහ. ස්වාමීනි, බෙහෙවින් පාන්දරය. එසේ නම් භික්‍ෂුසංඝයා රැස් කරන්න. උන්වහන්සේ එසේ කොට ස්වාමීනි, භික්‍ෂූහු රැස් වූහයි සැලකළහ. මා ඔසවා වාඩිකරවන්න. තෙරුන් වහන්සේ භික්‍ෂූන් අමතා ඇවැත්නි, සිව්සාලිස් වසක් මා සමඟ හැසිරෙමින් ඔබලා මාගේ යම් කාය කර්මයක් හෝ වාක් කර්‍මයක් හෝ රුචි නොකළාහු නම් එය ක්‍ෂමා කරන්නැයි කීහ. ස්වාමීනි, මෙපමණ කල් හෙවණැල්ලක් මෙන් අනුගමනය කරමින් පසුගමන් කළ අපට අරුචි වූවක් නම් නොවීය. ස්වාමීනි, ඔබ වහන්සේ අපට ක්‍ෂමා කළ මැනවැයි ආයාචනා කළහ. තෙරුන් වහන්සේ අනිත්‍යතා ප්‍රතිසංයුත්ත ධර්‍මකථා කොට භික්‍ෂුසංඝයාට දන්වා අරුණු රැස් පෙනි පෙනී මහපොළොව කම්පා කරවමින් අනුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියහ.
බොහෝ දෙවි මිනිසුන් තෙර පිරිනිවනෙහි මහපුද සත්කාර කළහ. ආයුෂ්මත් චුන්ද තෙරුන් වහන්සේ තෙරුන්ගේ පාසිවුරු සහ තෙරුන්ගේ ධාතු පෙරහන ද ගෙන භික්‍ෂුසංඝයා සමඟ දෙව්රමට ගොස් අනඳ තෙරුන් වෙත පැමිණියහ. අනඳ තෙරුන් වහන්සේ ධාතු හිස තබාගෙන හැඬුහ. චුන්ද තෙර අනඳ තෙරුන් සමඟ ධාතු වඩාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. උන්වහන්සේ ධාතු පෙරහන ගෙන පන්සියයක් ගාථාවෙන් තෙර ගුණ වනා දෙව්රම් දොරටුවෙහි ධාතු චෛත්‍යයක් කරවා රජගහ නුවරට වැඩීම සඳහා අනඳ තෙරුන්ට සංඥා කළහ. උන්වහන්සේ භික්‍ෂූන්ට දැන්වූහ. ඉක්බිති බික්සඟන පිරිවැරූ බුදුහු රජගහනුවරට වැඩියහ. එකල්හි මුගලන් තෙරණුවෝ කාලසිලාවෙහි පිරිනිවියහ. එම පිරිනිවීමෙහි ද බොහෝ දෙව් මිනිස්සු මහසත්කාර කළහ. අහසින් මල් වැසි වැස්සේය. බුදුහු ධාතු ගෙන සෑයක් පිහිටුවා භික්‍ෂුසංඝයා සමඟ රජගහ නුවරින් ගංගාභිමුඛව උක්කවේලාවට වැඩියහ. බික්සඟන සමගින් ගංතෙර වැඩහිඳ සැරියුත් මුගලන් දෙනමගේ පිරිනිවන පිළිබඳ දහම් දෙසා උක්කවේලාවෙන් වෛශාලියට වැඩිසේක.
භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේශාලියෙහි පිණ්ඩපාත කොට පස්වරු අනඳ තෙරුන් ඇමතූහ. ආනන්‍ද, නිසීදනය ගන්න. දිවාවිහාරය සඳහා චාපාලචේතියට යමුයි කියායි. එසේ යයි නිසීදනය ගත් උන්වහන්සේ බුදුන් පසු පසින් චාපාලචේතිය වෙත පැමිණ පැනවූ අසුනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන්හ. වැඳ පසෙක හුන් අනඳ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද, වේශාලිය රමණීයයි. ආනන්ද, උදේන චේතිය රමණීයයි, ගෝතමක චේතිය රමණීයයි සබ්බත්‍ථදබ්බ චේතිය රමණීයයි. බහුපුත්තක චේතිය සාරන්දද චේතිය පාවාල චේතිය රමණීයයි. යම් කිසිවෙකුට ආනන්ද සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත වෙයි ද ඔහුට කැමැති නම් අයුෂ්කල්පයම හෝ ඊටත් ටිකක් වැඩියෙන් සිටිය හැකිය. තථාගතයන් වහන්සේ මැනවින් සෘද්ධිපාද සම්පූර්ණ කළ සේක. ඉතින් කැමැති නම් තථාගතයන් වහන්සේ ආයුඃකල්පයම හෝ වැඩ සිටිය හැකි වෙති කියා වදාළ සේක. මෙවැනි ඕළාරික නිමිති පෙන්වද්දීත් ඕළාරික ආලෝක කරද්දීත් අවබෝධ කිරිමට අනඳ තෙරුන් වහන්සේ අසමත් වූහ. මාරාවේශ වූවකු මෙන් කල්පයක් සිටින සේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකළහ. දෙවෙනි තුන් වෙනි වත් එසේම විය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ට ආනන්ද, යන්න. ආනන්ද, දිවා විහාරයට කල් දනුවයි වදාළහ. උන් වහන්සේ නැගිට වැඳ පැදකුණු කොට බුදුන් නුදුරෙහි ගසක් මුල වාඩි වූහ. අනඳ තෙරුන් වැඩි නොබෝ වේලාවකින් පාපී මාරයා බුදුන් කරා පැමිණ පසෙක සිට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලයයි. මම භාග්‍යවතුන් වහන්සේගේ අටවන සතියෙහි අජපල් නුගරුක මුලට පැමිණ භාග්‍යවතුන් වහන්ස, යම් අර්ථයක් සඳහා ඔබ වහන්සේ පාරමිතා පිරූසේක් ද ඒ අර්ථයට දැන් පැමිණියෙහිය. සර්වඥතාඥානය අවබෝධ කරන ලදි. ලොව හැසිරීමෙන් කවර පලක් ද? දැන් පිරිනිවෙනු මැනවැයි ඉල්ලා සිටියෙමි. එවේලෙහි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පාපී මාරය, මාගේ ශ්‍රාවක භික්‍ෂූහු යම්තාක් ව්‍යක්ත විනීත විශාරද නොවෙත්ද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්‍මප්‍රතිපන්නයෝ නොවෙත් ද සිය ආචාර්යවාද ගෙන නොකියත් ද නොදෙසත් ද නොපනවත් ද නොපිහිටුවත් ද විවරණය නොකරත් ද බෙදා නොදක්වත් ද ප්‍රකට නොකරත් ද උපන් පරප්‍රවාද ධාර්මිකව නිග්‍රහ කොට ධර්‍ම දේශනා නොකරත් ද යම් තාක් මාගේ ශ්‍රාවක භික්‍ෂුණීහු -පෙ- ශ්‍රාවක උපාසකයෝ -පෙ- ශ්‍රාවක උපාසිකාවෝ -පෙ- ප්‍රකාශ නොකරත් ද ඒතාක් පිරිනිවන් නොපාමියි වදාළහ.
ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු භික්‍ෂුණීහු උපසකයෝ උපාසිකාවෝ එසේ දැන ප්‍රකාශ කරති. ධර්මය සුප්‍රකාශිතය. දැන් පිරිනිවෙන සේක්වා. දැන් පිරිනිවීමට කාලයයි කියා ආයාචනා කළේය. එසේ කී කල භාග්‍යවතුන් වහන්සේ “මාරය මන්දෝත්සාහි නොවව. නොබෝ කලකින් තථාගත පරිනිර්වාණය වෙයි. මෙයින් තුන් මසක් ගෙවීමෙන් තථාගතයන් වහන්සේ පිරි නිවෙති කියා පාපී මාරයාට වදාළහ. එවිට මාරයා ලාභ ලද්දෙකු මෙන් එහිම අතුරුදහන් විය. භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි සිහියෙන් මනා නුවණින් ආයුසංස්කාර අත්හළ සේක. ආයුසංස්කාර හැරීමත් සමඟම බිහිසුණු ලොමු ඩැහැගන්වන මහා භූමිකම්පාවක් විය. දෙව්බර ද වාදනය විය. ඒ වේලහි අනඳ තෙරුන්ට “භවත්නි, ඇත්තෙන්ම ආශ්චර්‍ය්‍යයකි. ඇත්තෙන්ම පුදුමයකි. බිහිසුණු ලොමු ඩැහැගන්වන මේ භූමිකම්පාව විශාලයයි” සිතුණේය. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසමියි ද සිතිණ.
අනඳ තෙර නැගිට බුදුන් කරා ගොස් වැඳ පසෙක හිඳ “ස්වාමීනි ආශ්චර්‍ය්‍යයි. ස්වාමීනි පුදුමයි. බිහිසුණු ලොමු දැහැ ගන්වන මහාභූමි කම්පාවකි. දෙව්බර ද පැළී ගියේය. ස්වාමීනි, මෙවන් භූමි කම්පාවක් ඇති වීමට හේතුව කුමක් ද. ප්‍රත්‍යය කුමක් දැයි විමසූහ. එවිට බුදුහු අටකරුණකින් පොළොව කම්පාවෙතැයි වදාළහ. අට කුමක් ද? මේ මහපොළොව ජලයෙහි පිහිටියේය. ජලය වායුවෙහි පිහිටියේය. වාතය ආකාශයෙහි පිහිටියේය. වාතය කුපිත වූ කල ජලය කම්පා වෙයි. ජලය කම්පා වූ කල මහ පොළොව කම්පා වෙයි. මෙසේ ධාතු කැළඹීමෙන් මහපොළොව කම්පා වෙයි. මහණ බමුණන්ගේ දෙවියන්ගේ අනුහසින් කම්පා වෙයි. බෝසතකු මව්කුස පිළිසිඳි කල්හි මව් කුසින් නික්මෙන කල්හි යන දෙතැන පින් තෙදින් කම්පා වෙයි. යම් විටක තථාගතයෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරත් ද එදින ද ඤාණ තේජසින් පොළොව කම්පා වෙයි. යම්දාක තථාගතයෝ අනුත්තර ධම්මචක්කය පවත්වත් ද එකල ධර්‍ම තේජසින් කම්පා වෙයි. යම්දාක තථාගතයෝ ආයු සංස්කාර අත්හරිත් ද එදා ද චිත්ත සංක්‍ෂෝභය නොඉවසිය හැකිව කම්පා වෙයි. යම්දාක තථාගතයෝ පිරිනිවෙත් ද එදින අනිත්‍ය ධර්‍මතා බලයෙන් කම්පා වෙයි. මේ අට කරුණින් පොළෝ කම්පාවට නිමිති දෙසා ආනන්දය, අද දැන් චාපාල චෛත්‍යස්ථානයහි සිහියෙන් නුවණින් තථාගතයන් වහන්සේ ආයු සංස්කාර හළ සේකැයි ප්‍රකාශ කළ සේක.
මෙසේ වදාළ කල්හි උද්වේගයට පත් හදින් අනඳ තෙර “භාග්‍යවතුන් වහන්සේ කල්පයක් සිටින සේක්වා. සුගතයන් වහන්සේ බහුජන හිත පිණිස බහුජන සැප පිණිස ලෝකානුකම්පාවෙන් දෙව් මිනිසුන්ට අර්‍ථය පිණිස හිත පිණිස සැප පිණිස කල්පයක් සිටින සේක්වායි ආයාචනා කළේය. ආනන්‍දය, තථාගතයන්ට ආයාචනා කිරීමෙන් කම් නැත. ආනන්ද තථාගතයන් වහන්සේට ආයාචනා කිරීමට දැන් අකාලයයි. ඔබ තථාගතයන් වහන්සේ විසින් ඕළාරික නිමිති දක්වද්දී ඕළාරික ආලෝක දක්වද්දී තේරුම් ගැනීමට අපොහොසත් වූයෙහිය. භාග්‍යවතුන් වහන්සේට කල්පයක් සිටින සේ ආයචනා නොකෙළෙහිය. ඔබම වරදවා ගත්තෙහිය. එබැවින් ආනන්ද, ඔබම වරදවා කරන ලද්දකි කියා වදාළ සේක. අනඳ තෙරුන් වහන්සේ තුන්වර දක්වා ආයාචනා කොටත් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදුව හීයෙන් විදින ලද හදවත ඇත්තෙකු මෙන් විසංඥ වූ ඇත් රජකු මෙන් කිසිත් නොවැටහී හුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ අස්වසමින් “ආනන්ද, සියලු ප්‍රියමනාප දෙයින් ඉවත් වීම වෙන් වීම වෙනසට පත් වීම කල්තියාම ඔබලාට මා විසින් ප්‍රකාශ කළා නොවේ ද? උපන් හටගත් පළුදුවන දෙයින් පළුදු නොවේවා යන්න කෙසේ නම් ලබන්න ද? එය නොසිදුවන්නකි. ආනන්‍දය, තථාගතයන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හරින ලදි. නොබෝ දිනකින් පිරිනිවීම වෙයි. මෙයින් තෙමසක් ගත වීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවෙති. එය තථාගතයන් වහන්සේ ජීවිත හේතුවෙන් වත් නැවත වෙනස් නොකරති. එය නොසිදුවන්නකැයි වදාළහ.
මෙසේ තථාගතයන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයෙහි නවම් පෝදින ආයු සංස්කාරය අත්හැර අනඳ තෙරුන් අමතා ආනන්‍දය, මහාවන කූටාගාර ශාලාවට යමුයි වදාළහ. ඉක්බිති එසේය ස්වාමීනියි කියා පිළිතුරු දුන් කල්හි අනඳ තෙරුන් සමඟ කූටාගාර ශාලාවට වැඩ වේශාලියෙහි විසූ තාක් භික්‍ෂූන් උපස්ථාන ශාලාවට කැඳවා පැනවූ අසුන්හි වැඩ හිඳ භික්‍ෂූන් ඇමතූහ. “මහණෙනි, දැන් ඔබලා අමතමි. මහණෙනි, සියලු ම සංස්කාර ධර්‍මයෝ නැසෙන සුලුයි. නොපමාව සම්පාදනය කරව්. නොබෝ දිනකින් තථාගත පරිනිර්වාණය වෙයි. මෙයින් තුන් මසකින් තථාගතයන් වහන්සේ පිරිනිවෙතියි කියා වදාළහ. එවිට පුහුදුන් භික්‍ෂුන් වහන්සේලා කඳුළු දරා ගත නොහැකි වූහ. රහතන් වහන්සේලාට ධර්‍ම සංවේගය ඇති විය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේශාලියෙහි පිණ්ඩපාත කොට පස්වරු නගරද්වාරය ඉදිරිපිට සිට වේශාලිය බලමියි සිත් ඉපද වූහ. සිත උපන් කෙණෙහිම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කල්පලක්‍ෂ කෝටි ගණන් පාරමිතා පුරන්නාහු. ගෙල හරවා බැලීමේ ධර්මයක් කරන ලදදැයි කියන්නාක් මෙන් මහපොළොව කැරකී වේශාලි නගරාභිමුඛ කළේය. භාග්‍යවතුන් වහන්සේ නාගාවලෝකනයෙන් බලා ආනන්‍ද, මේ තථාගතයන් වහන්සේගේ අවසන් වේශාලි දර්ශනයයි වදාළහ. කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ විශාලාව බැලූ සේක් ද? එහි ලිච්ඡවීන්ට අනුකම්පාවෙනි. ඔවුහු විනාශකාරී දහම්හි යෙදීමෙන් තුන් වසකින් මත්තෙහි වැනසෙති. ඔවුහු නගරද්වාරයෙහි නාගාවලෝකිත නම් චෛත්‍යයක් කොට ගඳ මල් ආදියෙන් පුදති. එය ඔවුන්ට බොහෝ කල්හි අර්ථහිත පිණිස පවතී. මෙසේ ඔවුන්ට අනුකම්පාවෙන් බලා භික්‍ෂු සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ ගන්‍ධ ගාමයට වැඩි සේක.
එහි වසමින් බොහෝ භික්‍ෂූන්ට සීලය මෙසේය. සමාධිය මෙසේය. ප්‍රඥාව මෙසේයයි ධර්‍ම දේශනා කරති. සීලයෙන් දියුණු වූ සමාධිය මහත් ඵල මහානිසංස වෙයි. සමාධියෙන් දියුණු කළ ප්‍රඥාව මහත් ඵල මහානිසංස වෙයි. ප්‍රඥාවෙන් දියුණු කළ සිත මනාව ආස්‍රවයන්ගෙන් මිදෙයි කියායි. ගන්‍ධගාමයෙහි කැමතිතාක් විසූ බුදුහු භික්‍ෂුසංඝයා සමඟ හත්‍ථිගාම අම්බගාම ජම්බුගාමවලට ද භෝග නගරයට ද වැඩි සේක. භෝග නුවර ආනන්‍ද චේතියෙහි රුචි තාක්
වැඩ හිඳ ආනන්ද පාවා නුවරට යමුයි බික්සඟන සමගින් පාවානුවරට වැඩියහ.
උන්වහන්සේ පවා නුවර චුන්දකර්මාර පුත්‍රගේ අඹ වනයෙහි වාසය කරති. චුන්ද පාවානුවරට වැඩි භාග්‍යවතුන් වහන්සේ සිය අඹ උයනෙහි වසතියි දැන ගත්තේය. ඔහු ගොස් වැඳ පසෙක හුන්නේය. එහිදී දැහැම් කතාවෙන් සතුටු වූ චුන්ද සෝවාන් බවට පත්ව සෙට දිනට භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂු සංඝයාටත් ආරාධනා කොට වැඳ පැදකුණු කොට ගියේය. චුන්ද කර්මාර පුත්‍ර තෙම රැය පහන් වූ පසු සිය නිවසෙහි ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කොට ප්‍රණීත මෘදු ඕදන සහිත පස්ගෝරසයෙන් පිසන ලද සූකරමද්දව සම්පාදනය කරවීය. දොළොස් දහස් කොදෙව් පිරිවර ඇති සතර මහාදිවයින්හි දේවතාවෝ පෘථුවි ඕජස් සහ දිව්‍යඕජස් ගෙන එහි බහාලූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන භික්‍ෂු සංඝයා සමඟ චුන්ද කර්මාර පුත්‍රයන්ගේ ගෙට ගොස් පැනවූ අස්නෙහි හිඳ චුන්ද කර්මාර පුත්‍ර අමතා චුන්ද, ඔබ පිළියෙළ කළ සූකරමද්දවයෙන් මා වළඳවන්න. සෙසු ඛාද්‍ය භෝජ්‍යයෙන් භික්‍ෂු සංඝයා වළඳවන්නැයි වදාළහ. ඔහු එසේය ස්වාමීනියි කියා සූකරමද්දවයෙන් බුදුන් වැළඳ වීය. සෙසු අහරින් සඟුන් වැළඳ වීය.
භාග්‍යවතුන් වහන්සේ සූකරමද්දව වළදා චුන්ද අමතා චුන්ද, ඉතිරි වූ සුකරමද්දව වළලන්න. චුද, දෙවියන් සහිත ලෝකයේ දෙව් මිනිසුන් අතර තථාගතයන් වහන්සේ හැර එය වළදා දිරවිය හැකි අනිකෙකු මම නොදකිමි කියා වදාළහ. එසේය ස්වාමීනි, කියා ඉතිරි සූකරමද්දව වළලා බුදුන් වෙත පැමිණ පසෙක හිඳගත්තේය. උන්වහන්සේ චුන්දකර්මාර පුත්‍රයන්ට ධර්ම දේශනා කොට වැඩි සේක. චුන්දකර්මාරපුත්‍රගේ දන් වැළඳූ බුදුරජාණන් වහන්සේට දරුණු ආබාධයක් ඇතිවිය. ලෝහිතපක්ඛන්‍දිකා රෝගයෙන් මාරාන්තික දැඩි වේදනා හට ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ පීඩා නොගනිමින් සිහියෙන් මනා නුවණින් ඉවසූ සේක. උන්වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්‍ද, කුසිනාරාවට යමුයි වදාළහ. එසේය ස්වාමීනි යි කීය. භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ චම්පාවටත් කුසිනාරාවටත් අතර දික් මගට බැස අතර මඟ මගින් බැහැරව ගස් මුලක් වෙත පැමිණ අනඳ තෙරුන් අමතා ආනන්‍ද, සඟළ සතර පට කොට පනවන්න. ක්ලාන්ත වෙමි. ආනන්ද වාඩි වෙමියි කීහ.
එසේය ස්වාමීනි, කියා සතර පට කොට සඟළ පැනවීය. භාග්‍යවතුන් වහන්සේ අසුනෙහි වාඩි වූහ. හිඳ අනඳ තෙරුන් අමතා ආනන්‍ද, පැන් ගෙන එන්න. පිපාසිත වෙමි. බොමියි කීහ. එවිට අනඳ තෙර ස්වාමීනි, කරත්ත පන්සියයක් දැන් ගඟින් ගියේය. රෝදවලින් කැළඹුණු වතුර ටික බොරවී ගලාබසී. ස්වාමීනි, පිරිසිදු පැහැදිලි දිය ඇති සිසිල් දිය ඇති මනා තොට ඇති රමණීය කුකුත්‍ථානදිය මේ නුදුරෙහිය. එහි භාග්‍යවතුන් වහන්සේට පැන් පානය කළ හැකි ය. ඇඟපත සැනසිය හැකිය. කුමක් කරන්නෙම්දැයි ඇසීය. දෙවනුව තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද, දැන් පැන් ටිකක් ගෙන එන්න. පිපාසයි. පැන් වළඳම්යි වදාළහ. අණ නොඉක්මවිය හැකි අනඳ තෙර එසේය ස්වාමීනියි කියා පාත්‍රය ගෙන ගඟට ගියේ ය. රෝදවලින් කැළඹි බොර වූ යම්තම් වතුර ගලා බහින ඒ කුඩා නදිය උන්වහන්සේ එහි යද්දී භාග්‍යවතුන් වහන්සේගේ පින් බෙලෙන් පිරිසිදුව පැහැදිලිව නොබොරව ගලාබසී. එවිට අනඳ තෙරුන්ට මෙසේ සිතිණ. භවත්නි, ඇත්තෙන්ම ආශ්චර්‍ය්‍යයකි. භාග්‍යවතුන් වහන්සේගේ මහර්ධිමත්බව මහානුභාවතාව ඇත්තෙන්ම පුදුමයි. රෝදවලින් කැළඹී බොරවී ගලාබැසි මේ ගඟ මා එද්දීම පිරිසිදුව පැහැදිලිව නොබොරොව ගලා බසීයයි විස්මය පත්ව පැන් ගෙන බුදුන් කරා ගොස් මෙසේ කීය. ස්වාමීනි, තථාගතයන්ගේ මහර්ධිමත්බව මහානුභාවතාව ආශ්චර්‍ය්‍යයයි. පුදුමයි. රෝදවලින් කැළඹි බොරවී ගලා බැසි ගඟ මා යද්දී පැහැදිලිව පිරිසිදුව නොබොරොව ගලා බැස්සාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පැන් බොන සේක්වා. සුගතයන් වහන්සේ පැන් බොන සේක්වායි කීය.
භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක. එවේලෙහි ආළාර කාලාමයන්ගේ ශ්‍රාවක පුක්කුස නම් මල්ලපුත්‍ර කුසිනාරා මහමඟට පිවිසියේ වෙයි. හෙතෙම ගසක් මුල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ළඟට පැමිණ වැඳ උන්වහන්සේ සමඟ සතුටු සාමිචි පවත්වා, පසෙක හිඳ ගත්තේ ය. උන්වහන්සේ ඔහුට බණ දෙසූහ. බණින් පැහැදී හෙතෙම මෙසේ කීය. ස්වාමීනි, ආළාර කාලාම කෙරෙහි මාගේ යම් ප්‍රසාදයක් වී ද එය මහසුළගේ පා කරමි. නදී සැඩපහරෙහි පාකොට හරිමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණගත උපාසකයෙකු කොට මා දරනසේක්වා. අනතුරුව පුක්කුස රන්වන් සළු සඟළක් ගෙන බුදුන් වැඳ මාගේ මේ සළු යුගලය අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වායි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේය. එසේ නම් පුක්කුස, එකකින් මා හඳවයි වදාළහ. එසේය ස්වාමීනියි කියා හෙතෙම එකකින් බුදුන් හැන්දවීය. එකකින් අනඳ තෙර ඇන්දවීය. අනතුරුව පුක්කුස මල්ලපුත්‍ර බුදුන් වැඳ පැදකුණු කොට ගියේ ය.
පුක්කුස මල්ලපුත්‍ර ගිය නොබෝ වේලාවකින් අනඳ තෙර ඒ රන්වන් සළුවත් බුදු සිරුරට යොමුකළේය. භාග්‍යවතුන් වහන්සේ ද නැගිට එකක් හැද ගත්හ. එකක් පෙරවා ගත්හ. එවිට භග්‍යවතුන් වහන්ස්ගේ ශරීරය රන්වන් චීවරය එළවන ලදුව නොසුන් ආලෝකයෙන් බබළන්නට විය. එවිට අනඳ තෙරුන් වහන්සේ සිළු රහිත අඟුරු මෙන් අතිපරිශුද්ධ පුණ්‍යප්‍රභා යුක්ත උතුම් දේහයෙන් බබළන භාග්‍යවතුන් වහන්සේ දැක ආශ්චර්‍ය්‍ය අද්භූතයට පත්ව ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ශරීරය කෙතරම් පිරිසිදු ද යත් ඡවිවර්ණය කෙතරම් පැහැපත් ද යත් මේ වස්ත්‍ර යුග්මය යොමු කිරීමෙන් පසු සිරුර ගිනිදැල් රහිත වහ්නිස්කන්ධයක් සේ හැගේයයි සැලකළහ. ආනන්‍ද, මෙසේ අවස්ථා දෙකක තථාගත ශරීරය පිරිසිදු වෙයි. ඡවිවර්ණය සුපිරිසිදු වෙයි. කවර අවස්ථා දෙකක ද? ආනන්‍ද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධියට පත් වන්නාහු ද ආනන්‍ද, යම් රාත්‍රියක අනුපාදිශේෂව පිරිනිවෙන්නාහු ද මේ අවස්ථා දෙක්හි තථාගත ශරීරය පිරිසිදු වේ. ඡවි වර්ණය පැහැපත් වේ. ආනන්ද අද රාත්‍රි පශ්චිම යාමයෙහි කුසිනාරාවෙහි උපවර්තන නම් මල්ලයන්ගේ සල්වනයේ සල්ගස් යුගලය අතර තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය කියා වදාළහ. කුමක් නිසා උන්වහන්සේ මේ අවස්ථා දෙක්හි මෙසේ වන සේක් ද? ආහාර විශේෂයෙන් සහ බලවත් සොම්නසින් ද වේ. මේ අවස්ථා දෙක්හි සියලු සක්වළ දෙවියෝ ආහාරයෙහි ඕජස් බහාලති. ඒ භෝජනය කුසට පිවිස ප්‍රසන්න රූප උපදවයි.
ආහාරයෙන් හටගත් රූපය ප්‍රසන්න බැවින් මනොඥ ස්ථාන ඉන්ද්‍රිය අතිශයින් බබළයි. සම්බෝධි දිනයෙහි ද උන්වහන්සේට නොයෙක් කෙළ දහසක් සක්වළ දෙවියන් විසින් ඕජස් බහාලූ අහර වළදා අදම ඒකාන්තයෙන් මාගේ කෙලෙස් රාශිය ප්‍රහීණ වෙයි කියා මෙනෙහි කිරීමෙන් බලවත් සතුටු සොම්නස් උපදී. සිත පැහැදෙයි. සිත පහන් කල ලේ පිරිසිදු වෙයි. ලේ පිරිසිදු වූ කල මනොඥස්ථාන ඉන්‍ද්‍රිය අතිශයින් බබළයි. පිරිනිවන් දිනයෙහි උන්වහන්සේට අද මම නොයෙක් දහසක් බුදුවරුන් පිවිසි අමාමහ නගරයට පිවිසෙමියි ආවර්ජනා කරමින් බලවත් සතුටු සොම්නස් ඉපිද සිත පහදවති. සිත පහන් කල්හි ලේ පිරිසිදු වේ. ලේ පිරිසිදු වූ කල්හි මනොඥ ස්ථාන ඉන්‍ද්‍රිය එවේලෙහි අතිශයින් බබළයි. මෙසේ ආහාර විශේෂයෙන් සහ බලවත් සොම්නසින් මේ අවස්ථා දෙක්හි මෙසේ වේයයි දත යුතු. එයින් කියන ලදි.
පුක්කුස රන්වන් සළු සඟළක් පුදකළේය. එයින් හඳින ලද ශාස්තෘන් වහන්සේ ස්වර්ණ වර්ණව බැබළි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්‍ද, කුක්කුට නදිය වෙත යමුයි වදාළහ. එසේය ස්වාමීනියි කී කල මහත් භික්ෂු සංඝයා සහිතව කුක්කුට නදිය වෙත ගොස් නහන කඩ හැඳ ගඟට බැස ස්නානය කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නහන කල ගඟෙහි මස් කැසුබුවෝ ගං දෙතෙරට කැටිව රන්වන්ව අහස පොළොව අවුනන්නාක් මෙන් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ පැන් සනහා ගොඩ නැග මනාව හැඳ පෙරව ගංතෙර වු අඹ වනයට වැඩි සේක. එවේලෙහි අනඳ තෙර නහනකඩ සෝදමින් සිටියේය. අඹ වනයට වැඩි තථාගතයන් වහන්සේ අනඳ තෙරුන් නොදැක ළඟ සිටි චුන්දතෙරුන් අමතා චුන්ද සඟළ සතරපට කොට පනවන්න. ක්ලාන්ත වූයෙමි. සයනය කරමියි වදාළහ. චුන්ද තෙර එසේයයි සඟළ සතරපට කොට පැනවීය. භාග්‍යවතුන් වහන්සේ දකුණැලයෙන් පයින් පය ඉක්මවා සිහි ඇතිව මහානුවණින් නැගිටිමි යන සංඥා මෙනෙහි කොට සිංහශය්‍යා කළහ. චුන්‍ද තෙර එතනම බුදුන් ඉදිරියෙහි හුන්නේය. බුදුන් පෙරටු කොට ගත් භික්‍ෂුහු ද හුන්හ.
ඉක්බිති අනඳ තෙර බුදුන් කරා අවුත් වැඳ පා අසල ඉඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්ද, චුන්ද කර්‍මාරපුත්‍ර හට කිසියම් විපිළිසරක් උපනහොත් එය චුන්දට අලාභයකි. ඔහුට අයහපත් ලැබීමකි. යමෙකුගේ ඒ අවසන් පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවි සේක කියායි. ආනන්ද, චුන්‍ද කර්මාර පුත්‍රයන්ගේ මේ විපිළිසර දුරු කළ යුතුය. යමෙකුගේ පිණ්ඩපාතය වළදා තථාගතයන් වහන්සේ පිරිනිවි සේක් ද චුන්‍ද එය ඔබට මහත් ලාභයකි. එය ඔබට දුර්ලභ ලැබීමකි. චුන්‍ද මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලද්දකි. උන් වහන්සේ වෙතින් ම පිළිගන්නා ලද්දකි කියායි. අනික් පිණ්ඩපාතවලට වඩා අතිශයින් මහත්ඵල අතිශයින් ආනිසංස ඇති සමසම ඵල ඇති සමසම විපාක ඇති දන් දෙකකි. දෙක කුමක් ද? යම් පිණ්ඩපාතයක් වළදා තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන සේක් ද. යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන සේක් ද සමසම ඵල ඇති සමසම විපාක ඇති මේ පිණ්ඩපාත දෙක අතිශයින් අනික් පිණ්ඩපාතවලට වඩා මහත්ඵලතරත් මහානිසංසතරත් වෙයි. ආයු ඇතිතාක් චුන්‍ද කර්මාර පුත්‍ර විසින් රැස්කරන ලද ස්වර්‍ගයට හේතුවන -පෙ- අධිපතිත්‍වය සඳහා හේතුවන කර්‍මයක් කරන ලදැයි මෙසේ චුන්‍දගේ විපිළිසර දුරු කළ යුතුය.
කුමක් හෙයින් පිණ්ඩපාත දෙක සමසමඵල සමසම විපාක ඇත්තේයයි කියන ලද ද? සුජාතව දෙන ලද පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ බුදුවූහ. උන්වහන්සේ රාග සහිත දෝෂ සහිත මෝහ සහිත කාලයෙහිම ඒ දානය වළදන ලදි. මේ චුන්‍ද කර්මාර පුත්‍රයා විසින් දෙන ලද දානය වීතරාගව වීතදෝසව වීත මෝහව වළඳන ලදි. කෙසේ නම් ඒ දෙක සමසම ඵල සමසම විපාක ඇත්තේ ද? පරිනිබ්බාන සමතාවෙන් සහ සමාපත්ති සමතාවෙනි. භාග්‍යවතුන් වහන්සේ සුජාතාව විසින් දෙන ලද පිණ්ඩපාත දානය වළදා සඋපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. චුන්‍ද දුන් දානය වළදා අනුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. මෙසේ පිරිනිවන් සමතාවෙන් සම ඵල සම විපාක ඇත්තේයි. බුදු වන දවස්හි සූවිසි දහසක් පමණ සමවත්වලට සමවැදුණහ. පිරිනිවන් පානා දිනයෙහි ද ඒ සියලු සමවත්වලට සමවැදුණහ. මෙසේ සමවත් සමතාවෙන් ද සමඵල සමවිපාක ඇත්තේය. සුජාතා ද පසු කාලයෙහි ඒ රුක්දෙවියෙක් නොවේ. බෝසතාණෝය. උන්වහන්සේ ඒ පිණ්ඩපාතය වළඳා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ සේක. සත් සතියක්ම එයින් යැපීම වීයයි අසන ලදි. මෙයසා සුජාතව මට මහත් ලාභයකැයි සිහිකරමින් බලවත් සතුටු සොම්නසට පත් වූවාය. චුන්දට ද පසු කාලයෙහි මා විසින් අවසන් දානය දෙන ලදි. මා විසින් ධර්මශීර්ෂය ගන්නා ලදි. මාගේ දානය වළඳා ශාස්තෘන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේකැයි අසා මට මහත් ලාභයැකැයි සිතන්නේ බලවත් සතුටු සොම්නස් ඇතිවිය. මෙසේ මෙනෙහි කිරීම් සමතාවෙන් ද සමඵල සමවිපාක ඇත්තේයයි දත යුතුය.
භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්‍ද, හිරඤ්ඤවතී නදියෙන් එගොඩ කුසිනාරාවෙහි මල්ලයන්ගේ උපවත්තන සාලවනයට යමුයි වදාළහ. එසේය ස්වාමීනියි කී පසු සිංහශය්‍යාවෙන් නැගිට භික්‍ෂු සංඝයා සමඟ හිරඤ්ඤවතී නදියෙන් එතෙරව උපවත්තන සල්වනයට වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යන්ත නගරයෙන් පිටත්ව තුන් ගව්වක් කුසිනාරාවට වඩින සේක් මෙදෑතුර විසිපස් තැනෙක්හි හිඳ මහත් ආයාසයෙන් වඩින සේක් හිර අවරට යන සවස් වේලේ සල්වනයට පිවිසි සේක. තථාගත කායබලය නම් මහඇත්කුලවල අනුසාරයෙන් දත යුතුය.
කාලාවක, ගංගෙය්‍ය, පණ්ඩර, තම්බ, පිංගල, ගන්‍ධ, මංගල, හේම, උපෝසථ, ඡද්දන්ත ද යන මේ දස ඇත් කුලයයි.
මෙහි කාලාවක නම් ප්‍රකෘති ඇත් කුලය දත යුතු. පුරුෂයන් දස දෙනෙකුගේ බලය එක ඇතෙකුගේ බලයයි. ඒ ඇතුන් දස දෙනෙකුගේ බලය කාලාවකයෙකුගේ බලයයි. කාලාවක දස ඇතෙකුගේ බලය ගංගෙය්‍යයකුගේ ද ඔවුන් දස දෙනෙකුගේ බලය පණ්ඩරයෙකු ගේ ද පණ්ඩර ඇතුන් දස දෙනෙකුගේ බලය තම්බයෙකුගේ ද තම්බයන් දස දෙනෙකුගේ බලය පිංගලයෙකුගේ ද පිංගලයන් දස දෙනෙකුගේ බලය ගන්‍ධයකුගේ ද ගන්‍ධයන් දස දෙනෙකුගේ බලය මංගලයෙකුගේ ද මංගලයන් දස දෙනෙකුගේ බලය හේමයෙකුගේ ද හේමයන් දස දෙනෙකුගේ බලය උපෝසථයෙකුගේ ද උපෝසථයන් දස දෙනෙකුගේ බලය ඡද්දන්තයෙකුගේ ද ඡද්දන්ත ඇතුන් දස දෙනෙකුගේ බලය එක තථාගතයන් වහන්සේ නමකගේ නාරායන සංඝාට බලයයි. එය ප්‍රකෘති හස්ති ගණනින් ඇතුන් කෝටි දහසක බලයයි. පුරුෂ ගණනායෙන් පුරුෂ කෝටි දස දහසක බලය වේ. සියලු දසබල කායබලය චුන්‍ද කර්‍මාරයන්ගේ දානය වැළඳූ තැන් පටන් අළුපද්දක කැරකෙන ජලය මෙන් පිරිහී ගියේය. මෙසේ රෝගය සියලු නිරෝගිකම් මඩිමින් පැමිණේ.
මේ කරුණ දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මුළු ලෝකයටම සංවේගකර වදන් දක්වමින් අනඳ තෙරුන් අමතා ආනන්ද, සල් ගස් යුගලය අතර උතුරට හිස කොට ඇඳ පනවන්න. ආනන්ද, ක්ලාන්ත යෙමි. වැද හොවිමියි වදාළ සේක. එසේය ස්වාමීනියි පිළිතුරු දුන් අනඳ තෙර ඒ උයනෙහි රජ කුලයට සයන මඤ්චයක් ඇත. එය ගෙන යමක සල්ගස් අතර උතුරට හිස කොට පැනවීය. භාග්‍යවතුන් වහන්සේ සල්ගස් යුගලය අතර උතුරට හිසලා ඇඳෙහි නොනැගිටිමි යන සංඥාව මෙනෙහි කොට පයින් පය බාධා නොවන සේ තබා සිහියෙන් නුවණින් දකුණැලයෙන් සිංහ ශය්‍යා කළ සේක. එකල යමක සල්ගස් නොකල් මලින් මුළුමණින් පිරී ගියේය. ඒවා තථාගත ශරීරයෙහි වැගිරේ. වැතිරේ. හාත්පසින් විසිරේ. සල්ගස් පමණක් මුළුමනින් පිපුණේ නොවේ. සියලු රුක් මලින් පිරී ගියේය. ඒ උයනෙහිම පමණක් නොවේ. සියලු දස දහසක් සක්වළ මල් පිපෙන ගස් මලින් පිරි ගියේය. ගෙඩි ගන්නා ගස් ගෙඩිවලින් පිරි ගියේය. සියලු ගස් කඳවල කඳ පියුම් ද ශාඛාවල ශාඛාපියුම් ද වැල්වල වැල් පියුම් ද පිපුණේය. අහස අහස් පියුම් එල්ලුණේය. පොළෝ තලය බිඳගෙන එක් දණ්ඩක් ඇති සත්බුමු පියුම් පිපුණේය. මුළු මහසයුර පස්වනක් පියුමින් ගැවසී ගත්තේය. තිස් දහසක් යොදුන් දිග පුළුලැති හිමවත නිරන්තර ඝන බන්‍ධිත මොනරපිල් කළප් මෙන් ද මලින් පිරූ සුමුගක් මෙන් ද මලින් කළ පර්යංකයක් මෙන් ද රමණීය විය. දිව්‍ය ලෝකයෙහි නන්දන වන පොකුණින් රන්වන් රේණු යුත් මදාරා මල් අහසින් වැටෙයි. හුදෙක් මදාරා මල් පමණක් ද නොවෙයි. අනෙකුත් පරසතු කෝවිලාරාදි මල් ද රුවන් කරඬුවල පුරවා සක්වළ මුව විටින් ද තිදසපුරයෙන් ද බඹලොවින් ද වැගිරෙයි. අහසින් නාගයෝ ද අවුත් පත් කැකුළු රේණු ආදිය පිරි කරඬු වලින් තථාගත ශරීරයෙහි වගුරවති.
දිව්‍යමය සඳුන් සුණු අහසින් වැටෙයි. එපමණක් ද නොවෙයි. සියලු කළුඅගිල් ආදි සුගන්‍ධ ජාති ද වැගිරෙයි. දෙවියෝ එකම සක්වළට රැස්ව අහස්හි දෙව්තුරු වයති. දිව සංගීත ද අහසෙහි පවත්වති. දීර්ඝායුෂ්ක දෙවියෝ මහා පුරුෂයන් වහන්සේ මිනිස් පියසෙහි ඉපිද බුදුවන්නේ යයි අසා පිළිසිඳගන්නා දවසෙහි යමුයි මාලා ගොතන්නට පටන් ගත්හ. ගොතන ඔවුහු මවුකුස පිළිසිඳ ගත්හ. තෙපි කාට ගොතන්නහුදැයි අසන ලදුව තව අවසන් නැත. මවු කුසින් නික්මෙන දවසෙහි ගොතාගෙන යමුයි කීහ. බිහිවී යයි අසා මහබිනික්මන් දවසෙහි යමුයි එකුන්තිස් වසක් ගිහිගෙයි වැස අද මහබිනික්මන් කළහයි අසා බුදුවන දවසෙහි යමුයි සාවුරුද්දක් ප්‍රධන්වීර්‍ය්‍යය වඩා අද බුදු වූහයි අසා දම්සක් පැවැතුම් දිනයෙහි යමුයි අට සතියක් බෝමැඩ ගෙවා ඉසිපතනයෙහි දම්සක් පැවැත්වූහයි අසා යමාමහ පෙළහර දවසෙහි යමුයි කියා බුදුවීමෙන් සත්වන අවුරුද්දෙහි ගණ්ඩ අඹරුක් මුල්හි තීර්ථක දමනය සඳහා යමක ප්‍රාතිහාර්‍ය්‍යය පැවැත්වූහයි අසා දේවෝරෝහණයෙහි යමුයි කියා තව්තිසාවෙහි තුන් මසක් වස් වැස අද දේවෝරෝහණය කළ සේකැයි අසා ආයුසංස්කාර අත් හැරීමෙහි යමුයි කියා අසූවිය ඇති භාග්‍යවතුන් වහන්සේ අද චාපාල චේතියෙහි ආයුසංස්කාර හළ සේකැයි අසා පිරිනිවන් දිනයෙහි යමුයි කියා අද භාග්‍යවතුන් වහන්සේ යමක සල්ගස් අතර දකුණැලයෙන් සිහියෙන් මනා නුවණින් සිංහශය්‍යාවට පැමිණ උදෑසනම පිරිනිවෙති. තෙපි කාට ගොතන්නහු දැයි අසා නොනිමිය දීම ගෙනවුත් ඇතුළු සක්වළ ඉඩක් නොලැබ සක්වළ මුවවිටෙහි එල්වා වටේ සිට අතින් අත ගෙලෙන් ගෙල ගෙන රත්නත්‍රය අරභයා දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ ද සවනක් රස් ද දස පාරමිතා ද පන්සිය පනහක් බුද්ධ සම්බුද්ධ ඤාණ ගුණ ද ගායනා කළහ. සංගීතගත ඒවා ගුවන්කුස පවතී.
භාග්‍යවතුන් වහන්සේ යමක සල්ගස් අතර දකුණැලයෙන් හෙව පොළෝ තලයෙහි පටන් සක්වළ පර්යන්තය දක්වා සක්වළ මුවවිට පටන් බඹලොව දක්වා රැස් වූ පිරිසේ මහත් උත්සාහ දැක අනඳ තෙරුන් ඇමැතූහ. ආනන්ද, යමක සාලයෝ මුලපටන් අගට පිපුණාහ. ඔවුහු නොකල් මලින් තථාගත ශරීරයට වගුරුවති. විසුරුවති. හාත්පසින් විසුරුවති. තථාගත ශරීර පූජා පිණිස දෙව් මදාරා මල් අහසෙහි පවතී. දෙව්සඳුන්සුණු පවතී. දිවතුරු පවතී. දෙව් සංගීත පවතී. ආනන්ද, මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කරන ලද්දේ නොවෙයි. ගරු කරන ලද්දේ හෝ මානනය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ නොවේ. ආනන්ද, ලෝකයෙහි යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ධර්මානුධර්‍මප්‍රතිපත්ති ඇතිව අනුධම්මචාරීව වාසය කරයි ද ඔහු තථාගතයන් වහන්සේට සත්කාර කරති. ගරුකාර කරති. මානනය කරති. පරම පූජාවෙන් පූජා කරති. එබැවින් ආනන්‍ද මෙහිලා ධර්මානුධර්මප්‍රතිපන්නයෝ වෙමු. අනුධර්‍මචාරී වෙමු කියා මෙසේ හික්මිය යුතුය. ආනන්‍ද මෙසේම ඔබ හික්මිය යුතුයයි වදාළ සේක.
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ එක් කුඩාමලක් පමණ හෝ ගෙන කළ බුද්ධ පූජාවෙහි විපාකය බුදුනුවණින් මුත් පිරිසිඳ නොදැක්විය හැකියයි වෙන තන්හි ප්‍රකාශ කොට මෙහි මේසා මහත් පූජා ප්‍රතික්‍ෂේප කරන සේක් ද? පිරිසට අනුකම්පාවෙන් සහ සසුනෙහි චිරස්ථිතිය කැමැත්තෙනි. ඉඳින් භාග්‍යවතුන් වහන්සේත් මෙසේ ප්‍රතික්‍ෂේප නොකළ හොත් අනාගතයෙහි භික්‍ෂූහු සීලය ආ තැන සීල ප්‍රතිපත්තිය නොපුරති. සමාධිය ආ තැන සමාධිය නොපුරති. විදර්ශනාව ආ තැන විදර්ශනාව නොපුරති. උපස්ථායකයන් සමාදන් කොට ආමිස පූජාව කරමින් වාසය කරති. මේ ආමිස පූජාවත් මහත් ඵලම වෙයි. ස්වාමීනි, අපි කෙසේ නම් තථාගත ශරීරයෙහි පිළිපදිනෙමු ද? ආනන්ද, ඔබලා එහි ව්‍යාවෘත නොවව්. දැන් ඔබලා සදර්ථයෙහි යෙදෙව්. සදර්ථයෙහි අප්‍රමාදව කෙලෙස් තවන වෙර ඇතිව විර්‍ය්‍යවත් වච්. ආනන්ද, ක්‍ෂත්‍රිය පණඩිතයෝත් බ්‍රාහ්මණ පණ්ඩිතයෝත් ගෘහපති පණ්ඩිතයෝත් සිටිති. ඔවුහු ද තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුණාහුය. ඔවුහු තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පූජා පවත්වති.
ස්වාමීනි, කෙසේ නම් තථාගත දේහයෙහි පිළිපැදිය යුතු ද? ආනන්ද, සක්විති රජකුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද තථාගත දේහයෙහි ද එසේ පිළිපැදිය යුතුය. ස්වාමීනි, සක්විති රජකුගේ ශරීරයෙහි කෙසේ පිළිපැදිය යුතු ද? ආනන්ද, සක්විති රජුගේ ශරීරය නොඉඳුල් පිළියෙන් වෙළති. නොඉදුල් පිළියෙන් වෙළා පිරිසිදු කළ කපු පුළුනින් වෙළති. සුපිරිසිදු කපු පුළුනින් වෙළා නොඉඳුල් පිළියෙන් වෙළති. මේ ක්‍රමයෙන් පන්සියයක් යුගල සළුවෙන් සක්විති සිරුර වෙළා ලොහ තෙල් දෙණක බහා වෙනත් දෙණකින් වසා සියලු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර දවන්නේය. මෙසේ ආනන්ද සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිති.
තථාගත දේහයෙහි ද මෙසේ පිළිපැදිය යුතුය. සතර මං සන්ධියක තථාගතයන් වහන්සේගේ ස්තූපය කළ යුතුය. යමෙක් එහි මල් හෝ සුවඳ හෝ විලවුන් හෝ පුදත් ද ඡත්‍රයක් හෝ කොඩියක් හෝ පතාකයක් හෝ නගත් ද වඳිත් ද සිත හෝ පහදවත් ද ඔවුන්ට හිතසුව පිණිස බොහෝ කල් පවත්නේය. ආනන්‍ද, මේ ථුපාර්හයෝ සිව්දෙනෙකි. කවරහු ද? අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ ථූපාර්හ වෙති. පසේ බුදුරජාණන් වහන්සේ ථූපාර්හ වෙති. තථාගත ශ්‍රාවක තෙම ථූපාර්හ වෙයි, සක්විති රජ ථූපාර්හ වෙයි. කවර අර්ථයක් නිසා ආනන්ද තථාගතයන් වහන්සේ ථූපාර්හ වෙත් ද? මේ ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ ථූපයයි කියා බොහෝ දෙන සිත් පහදවති. ඔවුහු එහි සිත් පහදවා කය බිඳී මරණයෙන් පසු සුගති ස්වර්‍ග ලෝකයෙහි උපදිති. ආනන්‍ද, මේ කරුණින් තථාගතයන් වහන්සේ ථුපාර්හ වෙති. කවර කරුණින් ආනන්‍ද පසේ බුදුහු ථූපාර්හ වෙත් ද? මේ ඒ පසේබුදුන්ගේ ථූපයයි කියා බොහෝ දෙනා සිත් පහදවති. ඔවුහු එහි සිත් පහදවා මරණින් මතු දෙව් ලොව උපදිති. මේ නිසා පසේ බුදුහු ථූපාර්හ වෙති. කවර කරුණක් නිසා ආනන්ද තථාගත ශ්‍රාවක ථූපාර්හ වෙයි ද? මේ ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගත ශ්‍රාවකයන්ගේ ථූපයයි කියා සිත් පහදවති. ඔවුහු එහි සිත් පහදවා මරණින් මතු දෙව්ලොව උපදිති. මේ කරුණින් තථාගත ශ්‍රාවක ථූපාර්හ වෙයි. ආනන්‍ද කවර කරුණක් නිසා සක්විති රජ ථූපාර්හ වෙයි ද? මේ ඒ ධාර්මික ධර්මරාජයන්ගේ ස්තූපයයි කියා බොහෝ දෙනා සිත් පහදවති. ඔවුහු එහි සිත් පහදවා මරණින් මතු දෙව් ලොව උපදිති. මෙ කරුණින් සක්විති රජ ථූපාර්හ වෙයි, ආනන්ද මේ සතර දෙන ථූපාර්හයෝයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් වහන්සේට වසන තැන් දෙසූහ. චෛත්‍ය චාරිකාව, ශාස්තෘ භාවය දෙසූහ. මාගමුන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව විසඳූහ. තමන් වහන්සේගේ දේහයෙහි පිළිපැදිය යුතු ආකාරය දෙසූහ. සතර ථූපාර්හයින් දෙසූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අහෝ ඒකාන්තයෙන් අද භාග්‍යවතුන් වහන්සේ පිරිතිවෙන සේකැයි එයම සිතන්නාහු බලවත් දොම්නසට පත් වූහ. උන්වහන්සේට මෙසේ සිත්විය. බුදුන් ඉදිරියෙහි ඇඬීම අපහසුය. පැත්තකට ගොස් ශෝකය තුනීකර ගනිමි. උන්වහන්සේ එතනින් පිටත්ව විහාරයට වැදී අඟුළු දණ්ඩයෙහි එල්ලී අඬ අඬා සිටියහ. මම සේඛ වෙමි. කළයුතු දේ ඇත්තෙමි. මට අනුකම්පා දක්වන ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීම ද වෙයි. දැන් හෙට පටන් කාහට මුවදෝනා පැන් දෙන්නෙම් ද? කාහට සෙනසුන් පිළියෙළ කරන්නෙම් ද? කාගේ පා දොවන්නෙම් ද? කාගේ පාසිවුරු ගෙන පසුපස යන්නෙම්දැයි මේ ආදිය කිය කියා බොහෝ සෙයින් වැලපුණේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අතර අනඳ තෙරුන් නොදැක මහණෙනි, ආනන්‍ද කොහිදැයි භික්‍ෂූන්ගෙන් විමසූහ. ස්වාමීනි, ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේ වෙහෙරට වැද අගුළු දණ්ඩෙහි එල්ලී අඬ අඬා සිටිතියි සැලකළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනමකට අමතා මාගේ වචනයෙන් ආනන්‍ද කැඳවන්නැයි වදාළහ. එසේය ස්වාමීනියි ඒ භික්‍ෂුනම අනඳ තෙරුන් වෙත ගොස් ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ කැඳවන සේකැයි කීහ. එසේය ඇවැත්නි කියා අනඳ තෙර බුදුන් කරා ගොස් වැඳ පසෙක හිඳ ගත්තේය. පසෙක හුන් අනඳ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද ශෝක නොකරව. නොවැලපෙව. ආනන්ද සියලුම ප්‍රිය දෙයින් මනාප දෙයින් ඈත් වීම වෙන්වීම වෙනසට පත්වීම පළමුවෙන් ම මා විසින් කියන ලද්දේ නොවේ ද? හටගත් උපන් රැස්කළ වෙනස්වනසුලු ලෝදහම් ඇති කල එය එසේ නොවේවායි යන්නක් කොයින් ලබන්න ද? එය නොවන්නේමය.
ආනන්‍දය, ඔබ විසින් මෛත්‍රී සහගත කායකර්‍මයෙන් මෛත්‍රී සහගත වාක්කර්මයෙන් මෛත්‍රී සහගත මනඃකර්‍මයෙන් හිතවත්ව සුවයෙන් අර්ථයෙන් අප්‍රමාදයෙන් තථාගතයන් වහන්සේට දිගු කලක් උපස්ථාන කරන ලද්දේය. ආනන්‍ද, ඔබ කළ පින් ඇති කෙනෙකි. ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යෙදෙන්න. වහා රහත් වන්නේය. ධර්‍ම සංගීති කාලයෙහි රහත් වන්නේය. මා වැන්නකුට කරන ලද වතාවත් නිෂ්ඵල නොවන්නේයයි භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාරා පොළොව පතුරු වන්නාක් මෙන් අහස දිග හරින්නාක් මෙන් නන් අයුරින් තෙරගුණ වදාළ සේක. මෙසේ වදාළ කල්හි අනඳ තෙරණුවෝ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා නගරයෙහි මේ අප්‍රකට නගරයෙහි මේ ශාඛා නගරයෙහි පිරිනිවන් නොපාන සේක්වා. මේ වෙනත් චම්පා, රාජගහ, සාකේත, කෝසම්බි, බාරාණසී වැනි මහා නගර ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ එවැනි මහනුවරක පිරිනිවෙන සේක්වා. එහි බොහෝ මහාසාර ක්ෂත්‍රියයෝත් මහාසාර බ්‍රාහ්මණයෝත් මහාසාර ගෘහපතියෝත් සිටිති. තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු ඔවුහු තථාගත ශරීර පූජා කරතියි සැලකළහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද කුඩා නගරය අප්‍රකට නගරය ශාඛා නගරයයි මෙසේ නොකියන්න. ආනන්ද, පෙර මහා සුදස්සන නම් සතර දිවයින් දිනූ සත්රුවණින් සමන්නාගත ධර්‍මරාජ වූ සක්විති රජෙක් විය. ඒ මහාසුදස්සන රජුට මේ කුසිනාරාවම කුසාවතී නම් රාජධානිය විය. පෙරදිගින් හා බටහිරින් දොළොස් යොදුන් පමණ දික් විය. උතුරින් දකුණින් සත් යොදුන් පුළුල් විය. ආනන්ද, සමෘද්ධිමත් සපිරුණු කුසාවතිය මිනිසුන්ගෙන් ආකීර්ණ විය. සුභික්ෂ ද විය ආදි වශයෙන් මුළු මහත් සුදස්සන සූත්‍රය දේශනා කළහ. දේශනා කොට අනඳ තෙරුන් වහන්සේට “ආනන්ද, යන්න, ඔබ කුසිනාරාවට ගොස් කුසිනාරාවේ මල්ලයන්ට වාසෙට්ඨයිනි, ඉදිරියට යන්න. අද රෑ පාන්දර තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවෙයි. වාසෙට්ඨයිනි, අපගේ ගම්කෙතෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවන සිදුවිය. අපි තථාගතයන් වහන්සේ ගේ පශ්චිම දර්ශනය ලැබීමට නොහැකිවීමු කියා පසුව පසුතැවිලි නොවව් කියා දන්වන්නැයි වදාළහ.
එසේය ස්වාමීනි, කියා අනඳ තෙරුණුවෝ හැඳ පෙරව පාසිවුරු ගෙන තනිවම කුසිනාරාවට පිවිසියහ. එවේලෙහි කුසිනාරාවෙහි මල්ලයෝ කිසියම් වැඩකට සන්‍ථාගාරයෙහි රැස්ව සිටියහ. අනඳ තෙරණුවෝ සන්‍ථාගාරයට ගොස් පිරිනිවන් පුවත දන්වා නික්ම ගියහ. එපවත් අසා සියලු මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද මල්ල භාර්යාවෝ ද දුකට පත්ව දොම්නස් සිතින් දුක් පෙරදැරිව සමහරු කෙස් විසුරුවාගෙන හඬති. හිස අත බදාගෙන අඬති. ප්‍රපාතයෙහි මෙන් පෙරළෙති. වැටෙති. හාත්පසින් වැටෙති. අහෝ ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙති. සුගතයන් වහන්සේ ඉක්මනින් ම පිරිනිවෙති. ලෝකයෙහි ඇස වහා අතුරුදහන් වෙයි කියා හඬා වැලප ඒ සියල්ලෝම දීප ධූප ගන්‍ධ මාලාදි පූජා සත්කාර ගෙන සල්වනයට ගොස් අනඳ තෙරුන් හමුවූහ.
අනඳ තෙරණුවෝ පෙරයමම අඹුදරුවන් සහිත මල්ලයන් ලවා බුදුන් වැන්දවූහ. භාග්‍යවතුන් වහන්සේ මල්ලයන්ට අනිත්‍යතා ප්‍රතිසංයුත්ත දහම් දෙසා පිටත් කළහ. එවේලෙහි සුප්‍රකට මහාසාර බමුණු කුලයකින් පැවිදිවූ සුභද්ද නම් පරිබ්‍රාජකයෙක් වාසය කරයි. හෙතෙම අද රාත්‍රි අලුයම යමක සාලයන් අතර භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙතැයි අසා නුවණ මුහුකුරා ගිය බැවින් බුද්ධෝත්පාදය දුර්ලභයයි සලකා බුදුන්ගේ පශ්චිම දර්ශනය සඳහා ද ප්‍රශ්නයක් දැන ගැනීම සඳහා ද තමහට ඉඩක් ලබා ගැනීම පිණිස අනඳ තෙරුන්ට මෙසේ කීය. “ආනන්දයෙනි, වැඩිමහල් මහලු පරිබ්‍රාජක ආචාර්‍ය්‍යවරුන්ගෙන් ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ උපදින සේකැයි අසා ඇත්තෙමි. අද රාත්‍රි පශ්චිම යාමයෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්‍වාණය සිදුවෙතැයි අසා ඇත්තෙමි. මට උපන් මේ සැකයෙක් ද ඇත්තේය. භවත් ආනන්දය, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාගේ සැකය දුරු කිරීමට සමත් වෙතැයි මාගේ පැහැදීමක් ද ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ සැකය දුරුකර ගැනීමට ධර්‍ම දේශනා කරන සේක. ආනන්දයෙනි, මට උන්වහන්සේ දැකීමට ඉඩක් ලැබෙන්නේ නම් මැනව කියායි. එසේ කී කල අනඳ තෙරණුවෝ සුභද්ද, කම් නැත. තථාගතයන් වහන්සේට වෙහෙස නොකරන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තයයි කීහ. දෙවනු තෙවනුවත් සුභද්ද, පරිබ්‍රාජක අනඳ තෙරුන්ගෙන් අවසර පැතීය. දෙවනු තෙවනුවත් අනඳ තෙරණුවෝ සුභද්ද පරිබ්‍රාජකගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.
එවිට විනේයජනයන් වෙත අනුකම්පා ඇති භාග්‍යවතුන් වහන්සේ සුභද්ද පරිබ්‍රාජක සහ අනඳ තෙරුන් අතර කතා සල්ලාපය අසා කරුණා හරිත මිහිරි වදනින් අනඳ තෙරුන් අමතා ආනන්දය, කමක් නැහැ. සුභද්ද නොවළකන්න. සුභද්දට තථාගතයන් වහන්සේ දැකීමට ඉඩ දෙන්න. සුභද්ද යමක් අසයි නම් එය දැන ගැනීම පිණිසම අසයි. වෙහෙස කිරීමේ අදහසක් නැත. ඔහු අසන දේ විසඳා දෙමි. වහා එය ඔහු දැනගනී යයි වදාළහ. එවිට අනඳ තෙරණුවෝ සුභද්දට “සුභද්දයෙනි, යන්න. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙතියි කීහ. අවසර ලත් සුභද්ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පිළිසඳර නිමවා “භවත් ගෞතමයන් වහන්ස, පූරණ කස්සප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨනාථපුත්ත යන සමූහ ඇති ගණ ඇති ගණාචාර්ය ප්‍රකට කීර්තිමත් තීථංකර බොහෝ ජනයාට සාධුසම්මත මහණ බමුණෝ වෙති. ඒ සියලු දෙන ස්වකීය ප්‍රතිඥා ප්‍රතිවේධ කළාහු ද නැත්නම් සමහරු ප්‍රතිවේධ කළාහුදැයි විචාළේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අනෛර්යානික බව කීමෙන් වැඩක් නැති නිසාත් ඉඩ නැති නිසාත් සුභද්ද කම් නැත, එය තිබේවා යි ප්‍රතික්‍ෂේප කොට ඔහුට අනුරූප ධර්මයක් දේශනා කරමින් සුභද්ද ඔබට ධර්‍ම දේශනා කරමි. එය අසන්න. මනාව සිහිකරන්න කියා වදාළහ. එසේ යයි සුභද්ද පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ අටඟින් යුත් බඹගොස විහිදුවා සුභද්ද, යම් ධර්‍ම විනයක අරි අටඟි මඟ නොලැබේ ද එහි සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයා ද නොලැබෙයි. දෙවෙනි ශ්‍රමණයාද නොලැබෙයි. තුන්වෙනි සතරවෙනි ශ්‍රමණයා ද නොලැබෙයි. යම් ධර්‍ම විනයක අරි අටඟ මඟ ලැබෙයි ද එහිම ප්‍රථම දෙවන තුන්වන සතරවන ශ්‍රමණයෝ ලැබෙති. පරප්‍රවාද ශූන්‍යය. සුභද්ද මෙහිම භික්‍ෂූහු මනාව වාසය කරන්නාහ. ලෝකය රහතන්ගෙන් අශූන්‍ය වන්නේය.
සුභද්ද, එකුන් විසිවන වියෙහි කිං කුසල ගවේසීව යම් පැවිද්දක් ලැබුයෙම් ද එතැන් පටන් පනස් වසකට වඩා ගෙවී ගියේය. න්‍යාය ධර්මයෙහි පිහිටීම් ඇත්තාවූ මේ සසුනින් බැහැර ව ශ්‍රමණයයි කිසිවෙක් නැත්තේය.
මෙසේ වදාළ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් දක්වන ලද සමාදන් කරවන ලද තෙදගන්වන ලද සතුටු කරවන ලද සුභද්ද ශ්‍රද්ධා ඇත්තෙක්ව බුදු සිරිපා සිරසින් වැඳ නැගිට බිම තබන ලද දණ මඬලින් යුතුව භවත් ගෞතමයන් වහන්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නාක් මෙන් -පෙ- නොයෙක් අයුරින් දහම් දෙසූ සේක. ඒ මම ධර්මයත් සංඝයාත් සහිතව භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ වෙත මහණ උපසම්පදා ලබමියි සැලකළේය. සුභද්ද, පළමුව තිර්ථක වූ යමෙක් මේ සස්නෙහි මහණ උපසම්පදා අපේක්‍ෂා කරත් නම් සිව්මසක් පරිවාස රැකිය යුතුය. සිව්මස ගෙවීමෙන් සතුටු සිත් ඇති භික්‍ෂූහු භික්‍ෂූත්වය සඳහා මහණ උපසම්පදා කරති කියා වදාළහ. ස්වාමීනි, එසේ නම් මම සිව්මසක් වෙනුවට සිව් වසක්ම පරිවාස පුරමි. සිව්වස් අග සතුටු සිත් ඇති භික්‍ෂූහු මා මහණ උපසම්පදා කරත්වායි සැලකළේය. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා සුභද්ද පැවිදි කරන්නැයි වදාළහ. එසේය ස්වාමීනියි කියා අනඳ තෙරණුවෝ සුභද්ද පසෙකුට කැඳවා ගෙන ගොස් පැවිදි කොට බුදුන් හමුවට ගෙන ආහ. භාග්‍යවතුන් වහන්සේ සුභද්ද උපසම්පදා කොට කමටහන් වදාළහ. සුභද්ද බුදුන්ගෙන් කමටහන් ගෙන තනිව විවේකව අප්‍රමාදීව කෙලෙස් තවන වෙර ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම පිළිසිඹියාපත් රහත් ඵලයට පැමිණියේය. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පශ්චිම ශ්‍රාවක බවට පත්ව බුදුන් කරා පැමිණ වැඳ හුන්හ.
මැදියම ඉක්මයත්ම පශ්චිම යාමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට අවවාද කරමින් අනඳ තෙරුන් අමතා ආනන්ද ඔබලාට පාවචනය අතීත ශාස්තෘකය, ඔබලාට ශාස්තෘවරයෙක් නැත කියා සිතිය හැකිය. ආනන්ද, එය එසේ නොසිතිය යුතුය. ආනන්ද, මා විසින් ඔබලාට යම් ධර්‍මයක් විනයක් දේශනා කරන ලද ද පනවන ලද ද එය මාගේ ඇවෑමෙන් ඔබලාගේ ශාස්තෘවරයායි. මේ අයුරින් අභිසම්බෝධියෙහි පටන් පිරිනිවන දක්වා මෙදෑතුර පන්සාලිස් වසක් යමක් දේසනා කරන ලද ද තෙපලන ලද ද ඒ සියල්ල ත්‍රිපිටකය, පඤ්චනිකාය, නවාංගය, සුවාසුදහසක් ධර්‍මස්කන්ධය, මහාපදේස වශයෙන් පවතී. මම තනිවම පිරිනිවෙමි. මම දැන් තනිව ඔබලාට අවවාද කරමි. අනුශාසනා කරමි. මා පිරිනිවි පසු මේ සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධය ඔබලාට අනුශාසනා කරන්නේය. අවවාද කරන්නේයයි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කරුණු දක්වා පුතුනට ධන දායාද දෙන පියෙකු මෙන් භික්‍ෂූන්ට ධර්‍ම දායාද බෙදමින් නැවතත් භික්ෂූන් ඇමතු සේක. මහණෙනි, දැන් මම ඔබලා අමතමි. සංස්කාරයෝ නැසෙන සුලුය. නොපමාව සම්පාදනය කරව්. මේ තථාගතයන් වහන්සේගේ පශ්චිම වචනයයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සම වන්හ. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දුතියධ්‍යානයට සමවන්හ. දුතියධ්‍යානයෙන් නැගී තතියධ්‍යානයට සමවන්හ. තතියධ්‍යානයෙන් නැගී චතුර්ථ ධ්‍යානයට සමවන්හ. චතුර්ථධ්‍යානයෙන් නැගී ආකාසානඤ්චායතනයට සමවන්හ. ආකාසානඤ්චායතනයෙන් නැගී විඤ්ඤානඤ්චායතනයට සමවන්හ. විඤ්ඤානඤ්චායතනයෙන් නැගී ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හ. ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්හ. එයට සමවන් භාග්‍යවතුන් වහන්සේගේ ආස්වාස ප්‍රශ්වාස නොවීය.
ආස්වාස ප්‍රශ්වාස අභාවය දුටු අනඳ තෙරණුවෝ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක්දැයි අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් විමසූහ. ආනන්‍ද, තවම භාග්‍යවතුන් වහන්සේ
නොපිරිනිවි සේක. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්හයි කීහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමඟම නේවසඤ්ඤා නාසඤ්ඤායතයෙන් නැගීම තෙක් සමවත් සමවැද දැන් භාග්‍යවතුන් වහන්සේ නිරෝධයට සමවන්හ. නිරෝධය තුළ කාල ක්‍රියාවක් නැතැයි දනිති. භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී නේවසඤ්ඤානාසඤ්ඤායතනට සමවන්හ. ඉන් නැගී ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හ. ඉන් නැගී විඤ්ඤාණඤ්චායතනයට සමවන්හ. ඉන් නැගී ආකාසානඤ්චායතනයට සමවන්හ. ඉන් නැගී චතුර්ථධ්‍යානයට සමවන්හ. ඉන් නැගී තෘතීයධ්‍යානයට සමවන්හ. ඉන් නැගී දුතියධ්‍යානයට සමවන්හ. ඉන් නැගී ප්‍රථම ධ්‍යානයට සමවන්හ. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දුතියධ්‍යානයට සමවන්හ. දුතියධ්‍යානයෙන් නැගී තෘතීයධ්‍යානයට සමවන්හ. තෘතීයධ්‍යානයෙන් නැගී චතුර්ථධ්‍යානයට සමවන්හ. චතුර්ථධ්‍යානයෙන් නැගී සමනන්තරවම පිරිනිවී සේක.
පිරිනිවනත් සමඟම බිහිසුණු ලොමු ඩැහැ ගන්වන මහාභූමිකම්පාවක් විය. දෙව් බෙර පැළී ගියේය. අහස ශූෂ්ක ගර්ජනා කළේය. අකල් විදුලිය නික්මුණේය. ක්‍ෂණික වර්ෂා ඇතිවිය. එවිට සියලු දස සහස්‍රි ලෝක ධාතුවෙහි දෙවියෝ රැස්ව පුහුදුන් දෙවියෝ තමන් දරාගත නොහැකිව කෙස් විසුරුවා ගෙන අඩක් හිස අත් බැඳ අඬති. කඳු පෙරළෙන්නාක් මෙන් පෙරළෙති. කැරකෙති. හාත්පසින් කැරකෙති. අහෝ සුගතයන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවෙති. ලොව ඇස් ඇත්තවුන් වහන්සේ ලොවට ඇසක්වූ සුගතයන් වහන්සේ අතුරුදහන් වෙතියි කියායි. වීතරාගී දෙවියෝ සිහියෙන් නුවණින් ඉවසති. අහෝ සංස්කාර ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඒකාන්ත නොවෙති. පෙරළෙන සුලුය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අවීතරාගී භික්‍ෂූහු සමහරු දෙයත් බැඳ හඬති. භාග්‍යවතුන් වහන්සේ ඉක්මනින් පිරිනිවිසේක. කවුරු නම් අපට අවවාද අනුශාසනා දෙන සේක් ද? කවුරු නම් බණ දෙසන සේක් ද? අහෝ අපි අනාථ වූයෙමු. මෙතැන් පටන් සදා සුපිරිසිදු රන් කැටපතක් බඳු බුදුමුවමඬල දක්නට නොලබන්නෙමු. දෙතිස් මහපුරිස් ලකුණින් හා අසීති අනුව්‍යඤ්ජනයෙන් සුසැදි සිරිසුගතරුව නොදකිමු. මිහිරි ධර්ම දේශනා නො අසමු යනාදිය කිය කියා හඬති, වැලපෙති.
වීතරාගී භික්ෂූහු සිහියෙන් නුවණින් ඉවසා සිටිති. සංස්කාර අනිත්‍යයහ -පෙ- එසේ නොවේ වායි කොයින් ලැබේදැයි කියායි. අනුරුද්ධ තෙරණුවෝත් අනඳ තෙරණුවෝත් භික්‍ෂූන්ට දැහැමි කතා කරමින් රාත්‍රි ඉතිරි කොටස ගත කළහ. අහෝ මරණ ස්වභාවයෙහි බලවත්කමක මහත. දසබල ඇති වජ්‍ර වැනි කය ඇති දසබලධාරී බුදුවරුන්ටත් බිය නොවෙයි. ලජ්ජා නොවෙයි. අත නොහාරියි. සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පැරුම් පිරූ, බුද්ධෝත්පාදය බලාපොරොත්තු වූ දස දහසක් සක්වළ දෙවියන් විසින් ආරාධනා කරන ලද, ජම්බුදීපාවතරණයෙහි දස දහසක් සක්වළ කම්පා කිරීම් ආදි අනේක ප්‍රකාර පෙළහර දැක්වූ, මවුකුසින් බිහිවීමෙහිදී මහා බ්‍රහ්මාදි දෙවියන් විසින් පිළිගත්, උපන් කෙණෙහි ලෝකපාලයන් විසින් සුමට සුසිරු රන්දැලින් පිළිගත්, උපන් කෙණෙහිම සත්බුමු පියුම් පිට සිට සිංහනාද කළ, සතර පෙරනිමිති දැකීමෙන් රජසැප ඉවත ලූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සෙට අදාහනය කරමුයි අතිරේකතර නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් ද ගඳමල් ආදියෙන් ද සත්කාර කරමින් සත්වන දිනය ගත කළහ.
සත්වන දවස්හි සියලු රටවැසි මිනිස්සු නන් වැදෑරුම් ධජ පතාකාදියෙන් සියලු සල්වනය සැරසූහ. රටවැසි සියලු බ්‍රාහ්මණ ගෘහපති මහාසාරයන් විසින් කළ සත්කාරවල නිමක් නැත. දෙවියන් කළ සත්කාර පොළොවෙහි පටන් බඹලොව තෙක් පමණ නැත. කුසිනාරාවේ මල්ලයන්ට මෙසේ සිත්විය. අපි භාග්‍යවතුන් වහන්සේගේ දේහය නැටුමින් ගැයුමින් මලින් ගඳින් සත්කාර කරමින් ගරුකාර කරමින් සම්මාන කරමින් නුවර දකුණින් දකුණට ගෙන ගොස් දකුණට උතුරින් බැහැර ආදාහනය කරමු කියායි. එකල මැදිවියෙහි සිටි ශක්ති සම්පන්න ප්‍රමුඛ මල්ලයෝ අට දෙනෙක් හිසෙහි නහා නොයිඳුල් පිළී හැඳ අපි බුද්ධ ශරීරය ඔසවමුයි රත් පලගෙයි තුබූ බබළන සත්රුවනින් විසිතුරු රන්වන් සිරුර එසවීමට අසමත් වෙති. එවිට මල්ලරජවරුන් දිවැස් ඇත්තවුන්ගෙන් අග්‍රප්‍රාප්ත අනුරුද්ධ තෙරුන්ගෙන් එයට කාරණ කිම්දැයි විමසූහ.
තෙරුන් වහන්සේ දිවැසින් ඒ කරුණ බලා වාසෙට්ඨයිනි, ඔබලාගේ බලාපොරොත්තුව එකකි. දෙවියන්ගේ අභිප්‍රාය එකකි. ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය කුමක්ද? අපි තථාගත දේහය නැටුම් ගැයුම් වැයුම් වලින් සත්කාර කරමින් නගරයේ උතුරින් උතුරට ගෙන ගොස් උතුරු දොරටුවෙන් නුවරට ඇතුළුව නගරය මැදට පැමිණ නැගෙනහිර දොරටුවෙන් නික්ම නගරයට නැගෙනහිර මල්ලයන්ගේ මකුටබන්‍ධන නම් චෛත්‍යයක් ඇත. එහි භාග්‍යවතුන් වහන්සේගේ දේහය ආදාහනය කරමු යනු දෙවියන්ගේ අභිප්‍රායයි. එසේ නම් ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය පරිදි එය වේවා. එකල්හි කුසිනාරාව දණක් පමණ අහසින් වැගුරුණු මදාරා මල්වලින් ගැවසී ගත්තේ විය. සියලු නුවර වැස්සෝ ද රට වැස්සෝ ද මේ බුද්ධ දේහයෙහි අවසන් දැක්මයයි සාකච්ඡා කොට බුද්ධ දේහයට පූජා සත්කාර මල් ධජ පතාකාදිය ද ගෙන රැස් වූහ. එවිට ඒ මල්ලයෝ අටදෙන බුද්ධ දේහය ඔසවා ගත්හ. ගෙන යන බුද්ධ දේහයට දේවතාවෝ ද කුසිනාරාවෙහි මල්ලයෝ ද දිව්‍යමය වූ ද මානුෂික වූ ද මලින් ගඳින් සත්කාර කරමින් නුවරින් උතුරට ගෙන උතුරු දොරටුවෙන් නුවරට පිවිස මධ්‍ය නගරයට ගෙන ආහ.
එකල්හි පුහුදුන් දිව්‍ය මනුෂ්‍යයෝ රන් ඇඳෙහි හොවා ගෙන යන බුද්ධ දේහය දැක ඉවසා ගත නොහැකිව හැඬුහ. විලාප කීහ. මිනිසුන් දේහය ඔසවා ගෙන යද්දී බන්ධුලමල්ල සේනාපතිහුගේ බිරිඳ වූ මල්ලිකා දේවිය සිය සැමියාගේ මරණයෙහි පටන් නොපැළඳ තිබූ මහාලතා පසාධනය ගෙන මෙයින් බුදුන් පුදමියි මැඳ සුවඳ දියෙන් සෝදා දොරටුවෙහි සිටියාය. ඕ තොමෝ බුද්ධ ශරීරය දොරටුවට පැමිණි කල මොහොතක් බුද්ධ ශරීරය බහාලවයි බහාලවා ඒ ආභරණය බුදුසිරුරෙහි හිස පටන් සිරිපා දක්වා සිටින සේ පැළඳවූවාය. රුවන්මුවා ආභරණය පැළඳ වූ භාග්‍යවතුන් වහන්සේගේ රන්වන් සිරුර අතිශයින් බැබළිණ.
ඕතොමෝ ඒ දැක පහන් සිතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සසර සැරිසරන තුරු මා මේ ආභරණයෙන් බැබළේවා. බබළන ආභරණය මෙන් මාගේ ශරිරය ද බැබළේවායි ප්‍රාර්ථනා කළාය. ඉක්බිති මල්ලයෝ බුද්ධ ශරීරය ඔසවා නුවර මැදින් ගෙන ගොස් නැගෙනහිර දොරටුවෙන් නික්ම නුවරට නැගෙනහිරින් පිහිටි මල්ලයන්ගේ මකුටබන්‍ධන නම් චෛත්‍යස්ථානයට ගෙන ගොස් තථාගත ශරීරයෙහි කෙසේ පිළිපදින්නෙමු දැයි අනඳ තෙරුන් ගෙන් විමසූහ. එවිට අනඳ තෙරුණුවෝ “වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර නොයිඳුල් සළුවෙන් වෙළති. නොයිඳුල් සළුවෙන් වෙළා පෙළූ කපුයෙන් වෙළති. පෙළූ කපුයෙන් වෙළා නොපෙළූ පිළියෙන් වෙළති. මේ ක්‍රමයෙන් පන්සියයක් සළු යුගලයෙන් ද පන්සියයක් කපු පටලයෙන් ද වෙළා සක්විති රජුගේ ශරීරය ලෝහ තෙල් දෙණක බහා වෙනත් තෙල් දෙණකින් වසා සියලු ගඳදරින් චිතකය කොට සක්විති රජසිරුර ආදහනය කරති. සතරමං සන්‍ධියෙහි සක්විති රජුගේ ස්තූපය කරති. මෙසේ සක්විති රජුගේ ශරීරයෙහි පිළිපැදිය යුතුය. බුද්ධ ශරීරයෙහි ද එසේ පිළිපැදිය යුතුය. එය බොහෝ කල් හිත සුව පිණිස පවතී.
ඉක්බිති කුසිනාරාවේ මල්ලයෝ කියන ලද පරිදි පන්සියයක් පිළී සඟළින් ද කපුපටල පන්සියයකින් ද තථාගත දේහය වෙළා සුවඳ තෙල් පිරවූ රන් දෙණක සිරුර බහා රන්දෙණකින් වසා සත්විසිරියන් උස චිතකය සඳුන් අරටුවෙන් හා සියලු සුගන්ධයෙන් කරවා මහත් සත්කාර කරමින් බුද්ධ දේහය එහි තැබූහ. එසමයෙහි මහාකාශ්‍යප තෙරුන් වහන්සේ පාවානුවරින් කුසිනාරාවට වූ දික් මඟට පිළිපන්හ. පන්සියයක් පමණ මහාභික්‍ෂු සංඝයා සමඟිනි. එකල්හි තෙරුන් වහන්සේගේ සියලු භික්‍ෂු පිරිවර මනාව වැඩුණු බමුණු ගහපති සියුමැලි බැවින් යුක්තවූවාහු මද්දහනෙහි ගල් පොළොව වැනි භූමියෙහි පයින් යාමෙන් ක්ලාන්ත වූහ. තෙරුන් වහන්සේ ඒ දැක මේ භික්‍ෂූහු ක්ලාන්තයහ. යායුතු තැන ද දුරය. ටිකක් විවේක ගෙන වෙහෙස නිවා සවස කුසිනාරාවට ගොස් බුදුන් වඳිමියි සිතා මගින් ඉවත්ව ගසක් මුල හිඳිනා සම්කඩ අතුරා වාඩිවූහ. පිරිවර භික්‍ෂූහු ද එහි ගස මුල හුන්හ.
එවේලෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරාවෙන් මහහැළියක් පමණ මදාරා මලක් ගෙන කුඩයක් මෙන් දරමින් මහමඟ ඉදිරියෙන් එමින් සිටියේය. කසුප් තෙරණුවෝ දුරින්ම එන ආජීවකයා දැක “ආජීවකයාගේ අතෙහි මදාරා මලක් ඇත. මෙය හැමදා මිනිස් ලොව නොපෙනෙයි. යම් විටක සෘද්ධි විකුර්වණයක් හෝ බෝසතුන්ගේ මවුකුස පිළිසිඳ ගැනීමක් හෝ මවුකුසින් නික්මෙන කලක හෝ බුදුවන කල හෝ දම්සක් පවත්වන කල හෝ දක්නට ලැබේ. අද කිසිවෙකු විසිනුත් කළ සෘද්ධි විකුර්වණයක් නැත. බෝසතුන්ගේ මවුකුස පිළිසිඳ ගැනීමක් ද මවුකුසින් නික්මීමක් ද නැත. උන්වහන්සේගේ අභිසම්බෝධිය ද නොවේ. දම්සක් පැවැත්ම ද නොවේ. යමක ප්‍රාතිහාර්‍ය්‍යයක් ද නැත. දේවෝරෝහණය ද නොවේ. ආයුසංස්කාර හැරීමක් ද නොවේ. මාගේ ශාස්තෲන් වහන්සේ මහලුය. පිරිනිවි සේක් විය හැකිය. දැන් ඔහුගෙන් අසමි” යි සිතා වාඩි වී ඇසුවොත් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරවයක් විය හැකියයි එකෙණෙහිම සිටි තැනින් නැගිට ඉවත්ව සන්නාහ රහිත ඡද්දන්ත ඇත්රජකු මෙන් තථාගතයන් වහන්සේ විසින් දෙන ලද රතු වලා පැහැති, පාංශුකූල චීවරය පෙරවා දසැඟිලි එකතු කළ ඇදිලි හිසෙහි තබා බුද්ධ ගෞරවයෙන් යුතුව ආජීවක ඉදිරියට පැමිණ “ඇවැත්නි, අපගේ ශාස්තෘෘන් වහන්සේ දන්නෙහිදැයි” ඇසීය. එසේය ඇවැත්නි. දනිමි. ශ්‍රමණ ගෞතමයන් පිරිනිවි සත්වන දිනය අදයි. මා මේ මදාරා මල ගත්තේ එතැනිනියි කීය.
එහිදී අවීතරාගී භික්‍ෂූහු එපවත් අසා තමන් වාවා ගත නොහැකිව සමහරු හිස අත් බදාගෙන හඬති. කඳු කඩා වැටෙන්නාක් මෙන් පෙරළෙති. හාත්පසත් පෙරළෙති. වීතරාගී භික්ෂූහු සිහියෙන් නුවණින් ඉවසා සිටියහ. එවේලෙහි සුභද්ද නම් මහලු පැවිදිතෙම ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, කමක් නැහැ. ශෝක නොවව්. නොවැලපෙව්. ඇත්තෙන්ම අපි ඒ මහාශ්‍රමණයාගෙන් මිදුණෙමු. අපි මෙය තොපට කැපය මෙය තොපට නොකැපයයි බෙහෙවින් පීඩාවට පැමිණියෙමු. දැන් ඉතින් අපි යමක් කැමති නම් එය කරමු. යමක් අකමැති නම් එය නොකරමුයි” භික්‍ෂූන්ට කීය. මහකසුප් තෙරණුවෝ එයසා හෘදයප්‍රහාරයක් මෙන්, හිස මත වැටුණු ආයුධයක් මෙන් සිතමින් උන්වහන්සේට ධර්මසංවේගය උපන. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සතියක් පමණි. අදත් උන්වහන්සේගේ රන්වන් සිරුර තිබෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය බොහෝ දුක් විඳීමෙන් ඇති වූවකි. මෙබඳු පාපයක් උපන්නේය. කටුවක් උපන්නේය. මෙවැනි කථා වැඩීයාමෙන් අන්‍යයෝ ද මෙවැනි සහායකයින් ලැබ සසුන දුබල කෙරෙති. මේ මහල්ලා මෙතැන්හිදීම රෙදි කඩක් හඳවා අළු ඉස්වා එලවා දමන්නෙම් නම් මනුෂ්‍යයෝ ද ශ්‍රමණ ගෞතමයන්ගේ ශරීරය තිබියදීම ශ්‍රාවකයෝ අවවාද දෙති කියා අපට දොස් දක්වතියි සිතූහ.
ටිකක් ඉවසමි. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය සකස් නොකළ මල් ගොඩක් මෙනි. සුළඟට හසු වූ මල් මෙන් පාවී යයි. එසේම මෙවැනි පුද්ගලයන් නිසා නොබෝ කලකින්ම සද්ධර්මය ඇතුරුදහන් වෙයි. එබැවින් මම ධර්‍ම විනය සංග්‍රහ කරන්නෙමි. එසේ කල දැඩි හුයකින් එක් රැස් කළ ඇමුණූ මල් මෙන් මේ ධර්ම විනය නිශ්චලව පවතී. මේ නිසාම භාග්‍යවතුන් වහන්සේ මට තුන් ගව්වක් පෙරගමන් කළසේක. අවවාද කළ සේක. උපසම්පදාව දුන් සේක. කයින් කය සාධාරණ පාංශුකූල චිවරය පරිවර්තනය කොට දුන්සේක. චක්‍ර ලක්‍ෂණයෙන් සමලංකෘත වූ අත්තල අහසෙහි සොලවා චන්දෝපමපටිපදාව දේශනා කරන සේක් මා කාය සාක්ෂ්‍ය කොට දේශනා කළ සේක. තමන් වහන්සේ හා සම කොට තැබීමෙන් මට අනුකම්පා කළ සේක. තෙවරක්ම සකල සාසන රත්නය මට පැවරූ සේක. මා වැනි භික්‍ෂූන් සිටිද්දී මෙවැනි පාපීහු ශාසනයෙහි සහාය නොලබත්වා. යම්තාක් අධර්මය නොදිලේ ද විනය බැහැර නොවේ ද අවිනය ප්‍රකට නොවේ ද විනය බැහැර නොවේ ද අධර්මවාදීහු බලවත් වෙත් ද ධර්‍මවාදීහු දුබල වෙත් ද අවිනයවාදීහු බලවත් නොවෙත් ද විනය වාදීහු දුර්වල නොවෙත් ද ඒතාක් මම ධර්‍මයත් විනයත් සංගායනා කරමි. භික්‍ෂූහු තමන්ට පොහෝනා තරම් ගෙන කැප නොකැප කථා කරති. එවිට මේ පාපියා තෙමේම නිග්‍රහයට පැමිණේ. නැවත හිස ඔසවන්නට නොහැකිවෙයි කියා සිතා කිසිවෙකුටත් නොදන්වා දැහැමි කතාවෙන් භික්‍ෂූන් අස්වසමින් “ඇවැත්නි, කම් නැත. නොවැලපෙවු. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප දෙයින් වෙන්වීම ඉවත් වීම වෙනස් බවට පත් වීම මුලදීම දේශනා කරන ලද්දේ නොවේ ද? උපන් හටගත් රැස්කරන ලද නැසෙන වෙනස්වනසුලු දෙය එසේ නොවේවායි යන මෙය කොයින් නම් ලබන්නහු ද මෙය නොවන්නේන්මය.
තෙරණුවෝ මෙසේ භික්‍ෂූන් සනසා උන්වහන්සේලා සමඟ කුසිනාරාවටම වැඩියහ. එකල ප්‍රමුඛ මල්ලයෝ සිව් දෙනෙක් හිසෙහි නහා නොපෙළූ රෙදි හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය ආදාහනය කරන්නෙමුයි තල්පතින් සලන්නාහු ගිනි පිඹින්නාහු දල්වන්නට අසමත් වෙති. එවිට ඒ කුසිනාරා වැසි මල්ලයෝ වටහා ගත නොහැකිව මෙය අනුරුද්ධ තෙරුන්ට සැලකළහ. උන්වහන්සේ ඒ බව දැන “වාසෙට්ඨයිනි, ඔබලාගේ අභිප්‍රාය එක් විධියකි. දෙවියන්ගේ අභිප්‍රාය එක් විධියකියි” කීහ. ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය කෙබඳු ද? වාසෙට්ඨයිනි, කසුප් තෙරුන් වහන්සේ පාවා නුවරින් කුසිනාරාවට පන්සියයක් පමණ භික්‍ෂූන් පිරිවරා දික්මඟට පිළිපන්හ. යම්තාක් කස්සප තෙරුන් වහන්සේ බුදුසිරිපා සියතින් වඳින සේක් ද එතෙක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නොදැල්වේවා යනු දෙවියන්ගේ අභිප්‍රායයි කීහ. ස්වාමීනි, දෙවියන්ගේ අභිප්‍රාය පරිදිම වේවායි තෙරුන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් සිටියහ.
ඉක්බිති මහා කාශ්‍යප තෙරණුවෝ කුසිනාරාවෙහි මල්ලයන්ගේ මකුටබන්‍ධන චෛත්‍යස්ථානයෙහි බුද්ධ චිතකය වෙත පැමිණ උත්තරාසංගය එකාංස කොට ඇදිලි බැඳ තෙවරක් පැදකුණු කොට අභිඤ්ඤාසිතින් ආවර්ජනය කරමින් බුදු සිරස මෙතැන්හි විය. බුදු සිරිපා මෙතැන්හි යයි සලකා සිරිපා සමීපයෙහි සිට අභිඤ්ඤාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී “අර සහස්‍ර චක්‍රලක්‍ෂණ යුත් දසබලයන් වහන්සේගේ සිරිපා කපු පටල පන්සියයත් සළු සඟළ පන්සියයත් සහිත රන්දෙණ ද සඳුන් චිතකය ද දෙබේ කොට මාගේ උත්තමාංගයෙහි පිහිටන සේක්වායි අධිෂ්ඨාන කළහ. අදිටනත් සමඟම ඒ සියල්ල දෙබෑ කොට වලාකුළින් දෙසඳක් මෙන් දෙහිරක් මෙන් බුදුසිරිපා නික්මියේය. කසුප් තෙරණුවෝ ලීලෝපේත වූ සුරත් තල ඇති රන්වන් බුදු සිරිපා ගොප්මස තෙක් දැඩිව අල්වා ගෙන සිය හිසෙහි තබා වැන්දාහ. ස්වාමීනි ලෝක නායකයන් වහන්ස, මේ සිරිපාවලින් පෙර තුන්ගව්වක් මට පෙරගමන් කළ සේක. අහෝ මට අනුකම්පා කළ භාග්‍යවතුන් වහන්ස, මාගේ මේ අවසන් සිරිපා දර්ශනයයි. මේ අවසන් වන්දනාව යයි. නැවත නැවත හිස තබා පන්සියයක් භික්‍ෂූන් සමඟ බුදු සිරිපා වන්දනා කළහ. එතන රැස් වූ සියලු භික්‍ෂූහු ද වන්දනා කළහ.
ඉක්බිති සියලු මහජනයා ඒ අසිරිය දැක එක් විටම මහානාද පැවැත්වූහ. ගඳ මල් ආදිය පුදා කැමැති පරිදි වන්දනා කළහ. තෙරුන් වහන්සේ වන්‍දනා කළ පසු අලංකෘත පැහැති දහසක් අරයෙන් සැදි චක්‍රලක්ෂණ පිහිටි බුදු සිරිපා නැවත තෙරුන්ගේ අතින් මිදී අගරු සඳුන් ආදිය නොසොල්වා යථාස්ථානයෙහිම පිහිටියේය. බුදු සිරිපා වෙළූ අයුරින්ම පැවැත්තේය. සිරිපා නික්මෙද්දි හෝ පිවිසෙද්දී කපු පුළුන්රොදක් හෝ පිළීවාටියක් හෝ තෙල් බින්දුවක් හෝ සඳුන් අගරු කැබැල්ලක් හෝ තිබූ තැනින් සෙලවීමක් නම් නොවීය. සියල්ල නිසි තැනම සිටි ලෙසම පැවැත්තේය. බුදු සිරිපා නොපැනී ගිය කල නැගී බැස ගිය සඳ හිරු මෙන් විය. මහජනයා හැඬුහ. පිරිනිවි වේලාවටත් වඩා අධිකතර හැඬීම් විය. බුදු සිරිපා පිවිසි කෙණෙහිම චිතකය දැල්විණි.
ඇවිල ගැනීමත් සමඟම උපුල් පියුම් පුණ්ඩරික කුමුදු සෙව්වන්දි ආදි මල් අහසින් වැටී චිතකයෙහි වැගිරෙයි. නන් අසිරි පහළ විය. බුද්ධ දේහය දැවෙද්දී සිවි සම් මස් නහර සෙම කියා යමක් හෝ එහි හළු ටිකක් හෝ නැත්තේමය. ඇට පමණක් ශේෂ විය. පෙර එකට සමූහව පැවැත්ම නිසා ශරීර නම් විය. දැන් භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන වශයෙන් විසුරුණු සමන් කැකුළු බඳු වූ සේදූ මුතු බඳු ධාතු අවශේෂ විය. දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ශරීරය රන්කඳක් මෙන් එකඝනම වෙයි. අල්පායුෂ්ක වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මෙසේ සිතූහ. මම බොහෝ කල් නොසිට පිරිනිවෙමි. මාගේ ශාසනය ද හැම තැන්හිම නොපැතිරිණ. එබැවින් පිරිනිවි මාගේ ධාතු විසිරේවා. අබැටක් පමණ මාගේ ධාතු ගෙන තමන් වසන තන්හි චෛත්‍යයක් කොට පුදනු ලබන්නාහු ස්වර්ග පරායණ වෙත්වායි සිතා ධාතු විසිරීම අධිෂ්ඨාන කළහ.
කෙතෙක් ධාතු නොවිසිරිණ ද? කෙතෙක් විසිරිණ ද? සතර දළදා, දෙඅකු, උණ්හීසය යන මේ සන්ධාතුහු නොවිසිරුණහ. සෙස්ස විසිරුණේය. එයින් හැමට කුඩා ධාතුව අබැටක් පමණ විය. මහා ධාතු කඩසහල් පමණ විය. මහත් මැදින් කැඩුණු ධාතු මුංඇට පමණ විය. ඉතිරි පන්සියයක් වස්ත්‍ර යුගලයෙන් දෙකක් දැවී ගියේය. අභ්‍යන්තර බාහිර සියල්ල දැවී ගිය පසු අහසින් දෙදිය දහරක් පහළ වී චිතකය නිවීමට චිතකය පිරිවරා සිටි සල්ගස්හි වෙළෙප් අතරින් නික්ම චිතකය නිවීය. හාත්පසින් පොළොව පැළී නගුලිස් පමණ දියදහරා පළිගු මෙන් උඩ නැග චිතකය නිවීය. කුසිනාරා නුවර මල්ලයෝ ද රන්රිදී කළ පුරවාගෙන ආ සුවඳ දියෙන් චිතකය නිවූහ. රන්රිදීමුවා අට කළයකින් දිය ඉස සඳුන් චිතකය නිවා මල්ලරජවරු සන්‍ථාගාරයෙහි සිව්දෑගඳ පිරිබඩ ගන්වා ලදපස්මල් ඉස මත්තෙහි රෙදි වියන් බඳවා රන්තරු ආදියෙන් සරසා සුවඳදම් මල්දම් රුවන්දම් එල්වා මිණි දඬුවල රෙදිවලින් පස්වනක් කොඩි ඔසවා හාත්පස ධජ පතාකාදියෙන් වටකොට සුපිරිසිදු උක් කෙසෙල් ද පුන් කලස් ද තබා දඬුවැට පහන් දල්වා සැරසූ ඇත් කඳ මත සධාතුක රන් දෙණ තබා මලින් ගඳින් පුද කොට සාධුක්‍රීඩා කරමින් දෙවිනුවරක් බඳු අලංකාර නගරයට වැඩමවා සන්‍ථාගාරයෙහි සත්රුවන්මුවා පලඟක තබා සේසත් දැරූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයෝ ශාරීරික ධාතු සත් දිනක් සන්‍ථාගාරයෙහි සත්තිපඤ්ජරයක් කොට ප්‍රාකාරයක් මෙන් වට කොට නැටුම් ගැයුම් වැයුමින් මලින් ගඳින් සත්කාර කළහ. ගරුකාර කළහ. සම්මාන කළහ. පූජා කළහ.
වෙදේහි පුත්‍ර අජාතසත්තු මගධ රජ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේකැයි ඇසීය. කෙසේ ඇසී ද? පළමුවෙන්ම ඔහුගේ ඇමැතියෝ අසා මෙසේ සිතූහ. ශාස්තෘෘන් වහන්සේ නම් පිරිනිවි සේක. නැවත උන්වහන්සේ ගෙන ආ නොහැකිය. පුහුදුන් ශ්‍රද්ධාවෙන් අපගේ රජුට සමාන වූවෙක් නැත. ඉදින් එතුමා මේ විධියෙන්ම ඇසුවොත් හදවත පැළී යනු ඇත. අප විසින් රජ රැකිය යුතුය කියායි. ඔවුහු රන්දෙණ තුනක් ගෙන්වා චතුමධුරයෙන් පුරවා රජු වෙත ගොස් මෙසේ කීහ. දේවයන් වහන්ස, අපි නරක සිහිනයක් දුටුවෙමු. එය සන්සිඳවීම පිණිස ඔබ වහන්සේ දුහුල් සළුවක් ඇඳ නාසය පමණක් පෙනෙන සේ චතුමධුර දෙණක සයනය කළ යුතුයි කියායි. රජ අර්ථකාමීන්ගේ බස් අසා දරුවෙනි, එසේ වේවායි පිළිගෙන එසේ කළේය.
එක් පණ්ඩිත ඇමැතියෙක් ආභරණ මුදා කෙස් විසුරුවාගෙන තථාගතයන් වහන්සේ පිරිනිවි දිසාවට මුහුණලා ඇදිලි බැඳ රජුට මෙසේ කීය. “දේවයන් වහන්ස, මරණයෙන් මිදෙන කෙනෙක් නම් නැත. අපගේ ආයු වඩන චෛත්‍යස්ථාන වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ අභිෂේක දක්වන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි දී පිරිනිවි සේකැයි කියායි. රජ අසමින් ම කදුළු වගුරුවමින් විසංඥව බලවත් ශෝක වේගයෙන් චතුමධුර දෙණෙහි මුර්ච්ඡා විය. ඉක්බිති ඇමැතියෝ රජු ඔසවා දෙවෙනි දෙණෙහි හොවාලූහ. රජ චතුමධුර සිහිල් රස පහසින් සිහි ලැබ දරුවනි, කුමක් කියන්නාහුදැයි විමසීය. මහරජ, ශාස්තෘෘන් වහන්සේ පිරිනිවි සේකැයි කීහ. ඇසීමෙන් නැවතත් රජ සිහි නැතිව චතුමධුර දෙණෙහි මුර්ච්ඡාවිය. එවිට ඇමැතියෝ ඔහු ඔසවා තුන්වෙනි දෙණෙහි හොවාලූහ. අභිනව සිහිල් රස පහසින් ලැබූ සිහි ඇති රජ දරුවෙනි. කුමක් කියන්නාහුදැයි ඇසීය. මහරජ, ශාස්තෘන් වහන්සේ පිරිනිවියහයි කීහ. රජ නැවත සිහි නැති විය. එවිට ඔහු ඔසවා නහවා කළවලින් හිසෙහි දිය නෑවූහ. රජ සිහි ලැබ අසුනින් නැගිට සුවඳ කැවූ නිල් මිණිවන් කෙස් රන් පුවරුවක් වැනි පිටෙහි විසුරුවාගෙන පබළු පැහැති සුමට ඇඟිලි යුත් අත්වලින් පපුවට ගසමින් රන් බිස්සක් වැනි උර තලයෙහි කදුළු වගුරවමින් හඬ හඬා උන්මත්තක වේශයෙන් ඇතුළු වීදියට දිවීය. නළඟනෝ ද තථාගත වියෝග ශෝකයෙන් වූ රජුගේ විප්‍රකාර මුදනු කැමැත්තාහු කම්පිත හදින් කදුළු වැකි මුහුණින් හඬ හඬා රජුපසුපසින් වීදියට බැස්සා හ.
ඉක්බිති රජ සැරසුණ නළඟනන් පිරිවරා නුවරින් නික්ම වහ වහා ජීවක අඹඋයනට පිවිස යමක වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ සේක් ඒ බලා තමන්ට සම දුක්ඛිතයකු වැනි ශූන්‍ය ධර්මාසනය වැළඳගෙන හැඬීය. ස්වාමීනි, සර්වඥයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි හිඳ දහම් දෙසූ සේක් ද දේශනා නැමැති සිහිල් නිමල දියෙන් මාගේ ශෝකදාහ දුරුකළ සේක් නොවේ ද? ඔබ වහන්සේ දේශනා හඬු තුඩින් මාගේ සෝතැවුල් බැහැර කළ සේක් නොවේ ද? පෙර නිහඬව සිටි සාපරාධී මටම නොපොහොනා මුවින් අමතන ලද සේක් නොවේ ද? දැන් ඔබ වහන්සේගේ සරණ පතා ආ වැලපෙන මට පිළිතුරක් නොදෙන සේක් ද? ඇයි භාග්‍යවතුන් වහන්සේ වෙනදා මෙවැනි වේලාවන්හි ඔබ වහන්සේ මහබික්සඟන පිරිවරා දඹදිව චාරිකාවෙහි වැඩි සේකැයි අසමි. දැන් වනාහි නොගැළපෙන නුසුදුසු පුවතක්ම අසමි. මේ ආදිය කියා සැටක් පමණ ගාථාවෙන් බුදුගුණ මෙනෙහි කොට බුද්ධානුස්මරණයෙන් හටගත් සිහියෙන් තමන් සනසවා මාගේ හැඬීමෙන් වැලපීමෙන් කිසි වැඩක් නොවන්නේය. දසබල ධාතූන් ගෙන්වා ගනිමියි සිතීය.
ඉක්බිති නුවරට ගොස් කුසිනාරාවරුන්ට පනිවිඩයක් යැවීය. යවා මෙසේත් සිතීය. ඉඳින් දුන හොත් මැනවි, නොදුන හොත් ගන්නා උපායකින් ගනිමියි සිවුරඟ සෙන් සන්නාහ කොට තෙමේම නික්ම දූතයකු යැවීය. මෙසේ විශාලාවෙහි ලිච්ඡවියෝ ද කිඹුල්වත ශාක්‍යයෝ ද අල්ලකප්පයේ මල්ලයෝධයෝ ද රාමගාමයෙහි කෝලියයෝ ද වේඨදීපක බමුණෝ ද පාවෙය්‍යක මල්ලයෝ ද සියලු සත් නුවර වැසි රජවරු කුසිනාරා වැසි මල්ලයන්ට පනිවිඩත් යවා තුමූ ද පිටත් වූහ. ඔවුහු අවුත් කුසිනාරාව වටකොට පනිවිඩ යැවූහ. භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රියයෙකි. බුද්ධධාතු කොටසක් දිය යුතුය. ථූපයක් කරමු. එබැවින් අපට ධාතු හෝ දෙව් යුද්ධ හෝ කරව් කියායි.
එයැසූ කුසිනාරා රජවරු ක්‍ෂත්‍රිය මානයෙන් තම බලය පෙන්වමින් මෙසේ කීහ. “අපි ශාස්තෘන් වහන්සේට පනිවිඩ නොයැවීමු. ගොස් කැඳවාගෙන නොආයෙමු. ඔබලා ඔබලාගේ ගම්කෙත්හි උපන් රුවන් අපට නොදෙන්නහුය. දෙවියන් සහිත ලෝකයෙහි බුද්ධරත්නය සම වෙන රත්නයක් නැත. මෙබඳු උත්තම රත්නයක් ලබා අපි නොදෙමු. තොපි පමණක් මවුකිරි පානය කළාහු නොවන්නාහුය. අපිත් තන කිරි බීවෙමු. තොපි පමණක් පිරිමි නොවන්නාහුය. අපිත් පිරිමි වෙමු. හොඳයි, යුද වදිමුයි උනුන් කලහාකාර දක්වා හසුන් පිළිහසුන් යවා මානගර්ජනා කරති. බොහෝ කල් පැරණි කළ සුරාමණ්ඩ රැස්කර ශූර යෝධයන් රැස් කොට යුද්ධ සන්නාහ ගැන්වූ ඇත්සේනා රැස් කොට පවනට බඳු වේගයෙන් දුවන අස්සේනා රැස් කොට කොඩි නගන ලද තුරඟුන් යෙදූ රථසේනා රැස්කොට යුදට සැරසුණ කල්හි ඒ මල්ල රජවරු සන්‍ථාගාරයට පිවිස ජීවමාන බුදුන් බඳු බුද්ධ ධාතු රත්නයට වැඳ, ස්වාමීනි ලෝක නාථයන් වහන්ස, මේ සත් රජවරු ඔබ වහන්සේගේ ධාතු ගැනීම පිණිස අප සමඟ යුද්ධයට ආහ. අපි ඔබ වහන්ස්ගේ ධාතු මමත්වයෙන් ඔවුන් සමඟ යුද වදිමුයි කියා නැවත නැවත වැඳ වැඳ පැදකුණු කොට දිව්‍ය යෝධයන් මෙන් නන්පැහැ දිලිසෙන විවිධායුධ ගත් අත් ඇතිව නුවර දොර හරවා නික්මෙන්නට පටන් ගත්හ. යුද්ධයෙහි කාහට ජය අත්වේ ද? කුසිනාරාවරුන්ට ජය අත්වෙයි. කුමක් හෙයින් ද? ධාතු පූජා සඳහා පැමිණි දෙවියෝ ඔවුන්ගේ පක්‍ෂයෙහි වූහ. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුමමායනය නිසා ඔවුන්ටම ජය වන්නේය.
එසමයෙහි කුසිනාරාවෙහි පණ්ඩිත ව්‍යක්ත ප්‍රමුඛ, බිඳුණුවුන් සමගි කරන සමගි වූවන් තහවුරු කරන සමගිය කැමැති සමගියෙහි ඇලුණු සමගියෙන් සතුටු වන සමගි කරන වදන් තෙපලන දෝණ නම් බමුණෙක් විය. ඔහු ඒ විවාදය අසා මේ රජවරු බුදුන් පිරිනිවි තැන විවාද කරති. මෙය නොගැළපෙන්නකි. මේ කලහයෙන් පලක් නැත. එය සන්සිඳුවමියි නික්ම මේඝ ගමනයක මෙන් සංග්‍රාම කෝලාහලය පැන නැගි කල්හි එයින් ජනිත යුදබෙර හඬ පවත්නා කල්හි දෝණ බමුණු තෙම උස් තැනක සිට මහහඬ නගා දෙබණ වරකින් පමණ පරිමිත දෝණ ගර්ජනා නම් වූවක් කීවේය. එහි පළමු බණවර එක පදයකුත් නෑසුණේය. දෙවන බණවර කෙළවර පින්වත්නි, ගුරුතුමාගේ හඬ බඳු යයි සියල්ලෝ නිහඬ වූහ. දඹදිව් තලයෙහි කුලගෙයක උපන් කිසිවෙක් ඔහුගේ අතවැසි නොවූවෙක් නොවූහ. ඉක්බිති හෙතෙම තම වදන් අසා නිහඬව තුෂ්ණිම්භූතවූවන් බව දැන මෙසේ කීය.
භවත්නි, මාගේ මේ එකම වාක්‍යය අසව්. අප බුදුහු ක්‍ෂාන්තිවාදී වූ සේක. ඒ උත්තම පුද්ගලයන්ගේ අභාවයෙන් ප්‍රහාරයක් වුවහොත් කෙසේ ද? භවත්නි, සියලු දෙනම හිතවත් ව සමගිව සතුටින් අටකොටසක් කරමු. තථාගතයන් වහන්සේගේ ස්තූපයෝ පැතිර යෙත්වා. ඇස් ඇත්තවුන් වහන්සේ කෙරෙහි බොහෝ දෙන පැහැදුණාහුය.
ආචාර්‍ය්‍යයන්ගේ වචනය අසා රජවරු මොළොක් වූහ. එසේ නම් ගුරුතුමනි, ඔබම භාග්‍යවතුන් වහන්සේගේ ධාතු අටකොට සක්ව සමසේ බෙදනු මැනවැයි කීහ. එසේ කරමුයි ඒ දෝණ බමුණු තෙම ඒ සමූහ ඇති ගණ ඇති රජවරුන්ට කීය. මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය සපිරෙයි. කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ මහත් උත්සාහයෙන් මෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දකිති. මා වෙනත් තැනක පිරිනිවිය හොත් මහාසුදස්සන සූත්‍ර දේශනාවට හේතුවක් නොවේ. කුසිනාරාවේ පිරිනිවි කල්හි දෙව්ලොව පිදිය යුතු සැපත් මම මනුලොවදී විදියෙමියි, දෙබණවරකින් සරසා මහාසුදස්සන සූත්‍රය දේශනා කරමි. මාගේ ඒ දේශනාව අසා මහජනයා කුසල් කළ යුතු යයි හඟිත්. තවෙකක් දකිති. මා වෙන තැනක පිරිනිවිය හොත් සුභද්ද මා නොදක්නේය. හෙතෙම බුදුන් විසින් ම හික්මවිය යුත්තෙකි. ශ්‍රාවකයෝ ඔහු හික්මවීමට නොහැකිවෙති. කුසිනාරාවෙහි පිරිනිවෙන මා කරා පැමිණ හෙතෙම ප්‍රශ්න අසයි. ප්‍රශ්න විසඳීම් කෙළවර සරණයෙහි පිහිටා මා වෙත මහණ උපසම්පදා ලැබ කමටහන් ගෙන මා ජීවත් වෙද්දීම රහත්ව පශ්චිම ශ්‍රාවක වන්නේය. තවෙකක් දකිති. මා වෙන තැනක පිරිනිවි කල්හි ධාතු බෙදීමෙහි මහාකලහයක් වන්නේය. ලේ ගංගාවක් ගලයි. මා කුසිනාරාවෙහි පිරිනිවි කල්හි දෝණ නම් බ්‍රාහ්මණ තෙම ඒ විවාදය සංසිඳුවා ධාතු බෙදන්නේය. මේ තුන් කරුණින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ මහත් උත්සාහයෙන් මෙහි පැමිණිසේකැයි දත යුතුයි.
ඒ රජවරු ආයුධ බහා තබා සාමීචි කතා කරමින් සැරසූ දේව සභාව වැනි සන්ථාගාර ශාලාවට පිවිසියහ. සමගි වූ ඔවුන් මැද දෝණ බමුණු තෙම රන්දෙණ විවෘත කළේය. විවෘත කරනු සමඟම රන්වන් රැස් බබළ බබළා නික්මුණේය. රජවරු රන් දෙණෙහි රන් රැස් විහිදුවන සර්‍වඥධාතු දැක කම්පිත හදින් කදුළු වගුරුවමින් ගොත ගසන වදනින් බදැඳිලිව වඳිමින් “භාග්‍යවත් සර්‍වඥයන් වහන්ස, පෙර අපි ඔබ වහන්සේගේ දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි සවනක් රැසින් විසිතුරු රන් සිරුර දුටිමු. දැන් වනාහි රන්වන් ධාතු පමණක් ඉතිරිය. භාග්‍යවතුන් වහන්ස, මෙය ඔබ වහන්සේට නොගැළපෙන්නකැයි වැලපුණාහ. අහෝ මේ අනිත්‍යතා ධර්‍මය බලවත්ය. මාර බල දිනූ දසබලයන් වහන්සේත් අත නොහරි. මෙසේ ඇති කල අන් කවුරුන් විසින් ජීවිතයෙහි ආශා කළ යුතු ද කියා විලාප කීහ. එවිට දෝණ බ්‍රාහ්මණ තෙම එවේලෙහි ඔවුන්ගේ පමා බව දැක භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදාව ගෙන තලප්පාවෙහි සඟවා ගත්තේය. පසුව අටකොටසකට සම සේ බෙදීය. සියලු ධාතු ප්‍රකෘති නැලියෙන් සොළොස් නැලියක් විය. එක් එක් නගරවාසීහු දෙනැලිය දෙනැලිය ලබාගත්හ.
බමුණා ධාතු බෙදද්දීම සක් දෙවිඳු සදේවක ලෝකයාගේ සැක සිඳීමට සමත් සිව්සස් කථාවට හේතු වූ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදාව කවුරුන් විසින් ගන්නා ලදදැයි බලන්නේ බමුණා විසින් ගත් බව දැක මේ බමුණුතෙම දළදාවට සුදුසු සත්කාර කිරීමට අසමත් වෙයි. එය ගනිමියි තලප්පාවෙන් ගෙන රන් කරඬුවක තබා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැන් පත් කළේය. බ්‍රාහ්මණයාද ධාතු බෙදා දළදාව නොදැක හොරෙන් ගත් බැවින් කවුරුන් විසින් මාගේ දළදාව ගන්නා ලද දැයි ඇසිය නොහැකි විය. හෙතෙම තමාගේ දෝෂාරෝපණ බියෙන් මටත් කොටසක් දෙවයි කීමට ද අසමත් විය. එහෙයින් මම ධාතු බෙදන ලද කුම්භය ගෙන එයින් සෑයක් කරමියි සිතා භවත්නි, මේ කුම්භය මට දෙව්. මමත් කුම්භයෙන් ථූපයක් කොට පූජා කරන්නෙමියි කීය. ඔවුහු බ්‍රාහ්මණයාට කුම්භය දුන්හ. එවිට පිප්ඵලියෙහි මොරිය රජවරු භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවියහයි අසා අජාසත් රජු ආදීන් මෙන් කුසිනාරාවෙහි මල්ලයන්ට පනිවිඩ යවා යුද සූදානමින් පිටත් වුහ. මල්ලයෝ “සර්වඥ ධාතු කොටසක් නැත. ධාතු බෙදන ලදි. මෙතැනින් අඟුරු ගෙන යව්යි කීහ. ඔවුහු එතනින් අඟුරු ගෙන ගියහ.
එකල්හි වේදෙහි පුත්‍ර අජාතශත්‍රැ මගධ රජ කුසිනාරාවෙහි පටන් මගධ රට දක්වා මෙදැතුර පස්විසි යොදුන් මග අට ඉස්බක් පුළුල්ව සම කොට මල්ලයෝ මකුටබන්‍ධයත් සන්‍ථාගාරයත් අතර යම්බඳු පූජාවක් කළාහුද එසේ පස්විසි යොදුන් මඟ පූජා කරමින් රන් දෙණෙහි බහාලූ ධාතු සත්තිපඤ්ජරයක තබා කුසිනාරාවෙන් පිටත් විය. රජ කොතැනක හෝ වර්ණ ගන්‍ධ සම්පන්න මල් දකී ද එතැන සත්තිපඤ්ජරය නවතා සාධුක්‍රීඩා කොට මල් අවසන් වූ කලම යයි. එකල මිසදිටුවෝ ශ්‍රමණ ගෞතමයන් පිරිනිවි තැන් පටන් බලහත්කාර සාධුක්‍රීඩාවලින් වෙහෙසට පත් වූවෝ වෙමු. අපේ සියලු කටයුතු විනාශයයි උද්ඝෝෂණය කරමින් සිත් දූෂ්‍ය කොට දළ වශයෙන් අසූදහසක් පමණ අපායෙහි උපන්නාහ. ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේලා ඒ කරුණ දැක සක් දෙව්රජු වෙත ගොස් දිව්‍යරාජය, ධාතු ගෙන යන උපායක් කරවයි කීහ.
සක් දෙව්රජ ස්වාමීනි, පුථුජ්ජනයන් අතර අජාසත් රජුට සමවුවෙක් නම් නැත. ඔහු මගේ වචනයවත් නොකරයි. නමුත් මාර විහිංසාවක් වැනි මහාවිහිංසාවක් දක්වමි. ඔබ වහන්සේලා මහරජ, අමනුෂ්‍යයෝ කිපුණාහුයයි කිව මැනව. එවිට ඔහු ඉක්මනින් වැඩමවනු ඇත කියා ශක්‍රතෙම ඒ ශබ්දය කළේය. තෙරවරු රජු වෙත ගොස් මහරජ, අමනුෂ්‍යයෝ කිපුණාහ. වහා ධාතු වැඩමවනු මැනවැයි කීහ. ස්වාමීනි, තවමත් මාගේ සිත් පිරීමක් නැත. එ නමුත් වැඩමවමු කියා ධාතු ගෙන සත්වන දින රජගහ නුවර ථූපයක් කොට පූජාවක් ද කළේය. සෙසු රජවරු තමතමන්ගේ බලානුරූපව වැඩමවා තම තමන්ගේ ස්ථානවල ස්තූප තනා පූජා කළහ. කුසිනාරාවෙහි මල්ලයෝ කුසිනාරාවෙහිම ධාතු ථූපය තනා පූජා කළහ. දෝණ බමුණු තෙම කුම්භස්තූපය කොට පූජා කළේය. පිප්ඵලිමෞර්යයෝ පිප්ඵලි වනයෙහි අංගාර ථූපය තනා පූජා කළහ. මෙසේ ශාරීරික ස්තූප අටකි. නව වැන්න කුම්භස්තූපයයි. දස වැන්න අංගාර ස්තූපයයි. මෙය මෙසේ දත යුතුය.
ඇස් ඇත්තවුන් වහන්සේගේ ශාරීරික ධාතු අට ද්‍රෝණයෙකි. සත් ද්‍රෝණයක් දඹදිව පුජා කරති. පුරිෂෝත්තමයන් වහන්සේගේ එක් ධාතු ද්‍රෝණයක් රාම ග්‍රාමයෙහි නාරජවරු පුදති. එක් දළදාවක් දෙවියන් විසින් පුදන ලදි. එකක් කලිඟු පුරයෙහි පුදනු ලැබේ. තවෙකක් කාලිංග රාජ්‍යයෙහි ද එකක් නාරජවරු ද පුදති.
කුසිනාරා මල්ලයන් සර්‍වඥධාතුවලට සත්කාර දක්වා ස්තූප පිහිටවූ කල්හි පසුව බොහෝ මිනිස්සු පැමිණ මහකසුප් තෙරුන් ද අනඳ තෙරුන් ද හමුව මෙසේ කිහ. ස්වාමීනි, අපට ශාරීරික ධාතු නොලැබිණ. සත්කාර කිරිම පිණිස අපටත් භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ සිවුරු ආදි පිරිකරක් ලැබුණ හොත් සත්කාර කොට පිහිටක් ලැබුවෝ වෙමු කියායි. තෙරුන් වහන්සේලා ඔවුන්ට පිරිකර බෙදා දුන්නාහ. වජිර නුවර වැස්සෝ වජිර නුවර මුතු පැසෙහි පාත්‍රය බහා තැන්පත් කොට කොඩි ඔසවා සත්කාර කළහ. වේනකයෝ සෑගෙයක් කරවා කෙළක් අගනා පර්යංකයක සිවුර තබා සත්කාර කළහ. පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි ඩබරාවෙහි කායබන්‍ධනය බහා තඹමුවා පාපුටුවක තබා රිදී සෑයෙක රන් සතින් අලංකාර කොට සත්කාර කළහ. අපරාන්තයෙහි කුරරඝරයෙහි නිසීදනය තබා කළුගල් අතුරුවා රන් සෑයක් කොට ඉඳුනිල්මිණි සතින් සරසා සත්කාර කළහ. පච්චත්ථරණය දේවපුත්‍ර විෂයෙහි මකුට නගරයෙහි මිනිස්සු සෑගෙයක් තනා කෙළක් අගනා පලඟක තබා පුදකළහ. මිථිලා නුවර මනුෂ්‍යයෝ නිවාසනය පළිගුමුවා සෑය රිදියෙන් සරසා එහි තබා මිණිසත් ඔසවා සත්කාර කළහ. විදේහ රට උත්තර නියම්ගමෙහි රන් සෑයක් කොට පෙරහන තබා සත්කාර කළහ. කරය ඉදිකටුව සහ ඉදිකටුගුලාව කුරුරට ඉඳිපත් නුවර පළිඟු කරඬුවක බහා රන් සෑයක් කොට රන්මුවා මලින් පිදූහ. කුඤ්චික උපාහන පැස යන පිරිකර උසීර බමුණුගම මනුෂ්‍යයෝ සත්රුවන්මුවා කරඬුවක බහා සත් රුවන්මුවා සෑයක් කොට පිදූහ.
බුදුන් පිරිනිවි කල්හි සැරියුත් තෙරුන්ගේ සද්ධිවිහාරික සරභූ නම් රහත් තෙර තමන්ගේ ශ්‍රමණ උපාධ්‍යායන් සහිත භික්ෂූන් දසදහසක් පරිවරා බුද්ධ විතකය පැදකුණු කරමින් නොනිවුණු ගින්නෙහි අත දමා ග්‍රීවාස්ති ධාතුව ගෙන අහසින් අවුත් ලංකාවෙහි මිණි සෑයෙහි තැන්පත් කළහ. සීවල චූළසුමන යන බුද්ධශ්‍රාවක දෙනම නාගභවනයෙන් මේඝවර්ණ පාෂාණ ගෙනවුත් එයින් වසා ආරක්‍ෂා පිණිස සමන් දෙව්රජු තබා ගියහ. ධාතු බෙදීමට පෙර මහාකච්චායන තෙර ධාතු නමක් ගෙන සඳුන් කරඬුවක තබා පෝත නුවර අස්සක රජුගේ පුත් සුජාත කුමරුට දී සෑයක් කරවා එහි ධාතු තැන්පත් කළේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි බොහෝ ස්තූප පිහිටවූහ. බුදුන් පිරිනිවීමට පෙර ස්තූප අටක් පිහිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම බෝධියෙහි තපස්සු භල්ලුක නම් වෙළෙඳුන් දෙදෙනා සරණ දෙක්හි පිහිටා සනාථව භාග්‍යවතුන් වහන්සේගෙන් සත්කාර පිණිස පූජා වස්තුවක් යැද ඉඳුනිල් බමර උම්මාරපුෂ්පවල සොභා මැඬලීමට සමත් නිල්වන් කේශ ධාතු ලබා දඹරන් කරඬුවක තැන්පත් කොට අසිතඤ්ජන නුවරට ගෙන ගොස් නැගෙනහිර දොරටුවෙහි පළිඟු අතුරුවා මුංවන් ගලින් අසූ රියන් උස සෑයක් කරවා ඉදුනිල්මිණිමුවා කඤ්චකයක් කරවා අතරතුරෙහි පබළුවලින් සරසා සතර දිසාවෙහි රියසක් පමණ රන් පියුම් සාදවා ඒ පියුම් කෙමිවල තල් කඳක් පමණ සුදු රුසිරු මුතූ කලප් විසුරුවා සත්රුවන්මුවා වේදිකාව රිදියෙන් සරසා සත්රුවන්මුවා ඡත්‍ර නංවා තමන්ගේ සියලු විභව සම්පතින් පූජා කළහ.
පූර්‍ව බෝධියෙහි ලෝක නායකයන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගිය තැන දුරුතු පුත්පොහෝ දින අහසින් ලක්දිවට වැඩ නොමිනිසුන් දමනය කොට දෙවියන්ට අනුකම්පාවෙන් ධර්‍ම දේශනා කළ සේක. දේශනා කෙළවර නොයෙක් කෙළ ගණන් දෙවියන්ට ධර්මාවබෝධය විය. සමන්තකූට වාසී සුමන දේවරාජයා සෝවාන් ඵලයෙහි පිහිටා බුදු සිරිපා සිරසින් වැඳ ස්වාමීනි, ඔබ වහන්සේ දඹදිව වැඩි කල්හි අප කාට නම් සත්කාර කළ යුතු ද? අපහට සත්කාරානුරූප යමක් දුන මැනවයි අයැදියේය. භාග්‍යවතුන් වහන්සේ ඉඳුනිල්මිණි පැහැති කුණ්ඩලාකාර කෙස් මිටක් දුන් සේක. සමන් දෙව් රජ එය රන්කරඬුවක බහා මලය පර්වතවාසී දසකෙළක් නාගයන්ට කියා එක් එක් ඇටයක් බැගින් සත්රුවන් වැලි ගෙන්වා සත් රියන් උස එක්විසිරියන් පිරිමඩුලු ඇති ථූපයක් කළේය. සමන් දෙව්රජ එහි ධාතුකරඬුව තැන්පත් කොට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දම් දෙසා උරුවේලාවට ම වැඩි සේක. බුදුන් වැඩි පසු සමන් දෙව්රජ ස්තූපයට ඉදුනිල්මිණිමුවා කඤ්චුකයක් කළේය. ආනන්දය, මෙසේ බුදුන් නොපිරිනිවි කල්හි ද බොහෝ ස්තූප පිහිටියේය.
උන් වහන්සේගේ තේජසින් මේ මහපොළොව අලංකාර විය, පසැස් ඇත්තවුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා සත්කාරයෙන් සත්කාර ලැබූවන් ද සත්කාර කරනු ලැබූහ. දෙව් රජුන් ද නාරජුන් ද පුදන ලද එසේම මිනිස් ලොව රාජශ්‍රේෂ්ඨයන් විසින් ද පුදන ලද ඒ ධාතූන් වහන්සේලාට ඇදිලි බැඳ නමස්කාර කරමි. බුද්ධෝත්පාදය කප් සියයකිනුත් දුර්ලභය.
පරිනිර්‍වාණ කථා නිමියේය.