අනාගතයෙහි මෙත්තෙය්‍ය නම් නායකයාණෝ සම්‍යක් සම්බුද්ධ වන සේක. උන්වහන්සේගේ අභිනීහාරය පවසමි. එය අසව්.
මෙයින් සොළසැකි කප්ලක්‍ෂයකින් මත්තෙහි පෙර බුදුවරුන් වෙත විවරණ ලත් මෙතේ බෝසතාණෝ සියලු බෝසතුන් විසින් පුරන ලද දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්‍ථපාරමිතා යන සමතිස් පැරුම් පුරා සම්බුදු බව අවබෝධ කරනු පිණිස සසර සරමින් ලොකාර්ථචර්යා ඥාත්‍යර්ථචර්යා බුද්ධිචර්යායෙහි යෙදෙමින් ධන-දාර-පුත්‍ර-අංග-ජීවිත යන පංච මහාපරිත්‍යාග කොට බෝධිසම්භාරයන් කැටි කරමින් නුවණ මුහුකරවීම් මුහුකුරුවා පිළිවෙළින් සොළසැකි කප් සුවහසක් පසුකොට මේ හද්‍ර කල්පයෙහි අප බුදුන් කලම දෙව්ලොවින් සැව සැවතින් තුන් යොදුන් වූ සමෘද්ධිමත් භවභෝග සම්පන්න සංකස්ස නුවර සිරිවඩ්ඪ මහාසාර ගෘහපතියාගේ මහමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් මවුකුසින් බිහිව මහත් වූ යස ඉසුරු සැපයෙන් වැඩී දිසාපාමොක් ආචාරීන් වෙත සියලු සිප් හැදෑරූහ. මවුපිය ඇවෑමෙන් සියලු ධනදායාද පිළිගෙන මහපිරිවර සහිත වූහ.
එකල අප බුදුහු පරමාභිසම්බෝධිය අවබෝධ කොට අභිසම්බෝධියෙන් සත්වන අවුරුද්දෙහි සැවැත්නුවර ගණ්ඩ අඹරුක්මුල තීර්ථකමාන දමනය පිණිස දස දහසක් සක්වළ දෙව්ගණ සහිත සතිස් යොදුන් පිරිමඬලෙහි රැස් පිරිස් මැද සියලු බුදුවරයන් විසින් ආචීර්ණ අනන්‍යසාධාරණ ජලගිනි මුදාලන යමාමහ පෙළහර පාමින් යමක පාටිහාරිය ඤාණයෙහි සිට -
බුද්ධවිෂය වූ අනෙක ප්‍රකාර සෘද්ධිප්‍රාතිහාර්ය කළ සේක. ශාස්තෘෘ ශරීරයෙන් පැන නැගි නිල් කහ රතු සුදු මදටිය පබසර රස් දුවයි. පැතිරෙයි. එකිනෙක බබළයි. විපුල සවනක් රස් සියල් දිගුන් බබුළුවයි. ශාස්තෲන් වහන්සේ එහි අහස සිටිමින් හිඳිමින් සක්මන් කරමින් සයනය කරමින් ඉර හඳ දෙක අතින් ස්පර්ශ කරන සේක. සිරුරින් ජලය නික්මවති. ඉක්බිති ගිනි නික්මවති. ශාස්තෲන් වහන්සේ උඩුකය යටිකය පෙරළා ජල ගිනි මුදාලති. ජල මිදූ කයින් ගිනි ද ගිනි මිදූ කයින් ජලය ද නික්මවති. බොහෝ වූ ජල ගිනි යමක යමකව දක්වමින් යමකප්‍රාතිහාර්ය කළ සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ රන්වන් සිරුරින් රන්රස විහිදියේය. දසදහසක් සක්වළ පැතිර භවාග්‍රය දක්වා උඩ නැගෙයි. සියලු සක්වළ සරසන කලක් මෙන් විය. පළමු පළමුවැන්න හා දෙවැනි දෙවැන්න එක් ඇසිල්ලෙහි මෙන් පවතී. නමුත් දෙක එකම ඇසිල්ලෙහි පැවතීමක් නොමැත. බුදුවරයන් වහන්සේලාගේ භවඞ්ග පරිවාසයෙහි ලහු කතාවෙන් ද පස්වැදෑරුම් චිණ්ණවසිතාවෙන් ද එක් ඇසිල්ලෙහි පවත්නාක් මෙන් දැනේ. ඒ ඒ රශ්මියෙහි ආවර්ජන පරිකර්ම අධිෂ්ඨාන වෙන වෙනම කළයුතු වෙයි. නිල්රස් පිණිස නීලකසිණයට පැමිණෙයි. කහරස් පිණිස පීතකසිණයට පැමිණෙයි. රතු සුදු රස් පිණිස ලෝහිත ඕදාත කසිණයි. ගිනිකඳ සඳහා තේජෝකසිණයට සමවදී. දියදහර සදහා ආපෝ කසිණයයි. මෙසේ වෙන් වෙන් පරිකර්ම අධිෂ්ඨාන ඇත්තේමය. කුමක් නිසා මෙසේ වන්නේ ද? භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි අදණ්ඩතාවෙනි. එහෙයින් එක ඇසිල්ලෙහි බබළන ගිනි ජල රැස නික්මෙයි.
එසේම මාන අහංකාර රහිත මාන නසා දමන ඒ භාග්‍යවතුන් වහන්සේ ගණ්ඩ අඹරුක් මුල්හි පවත්වන ලද යමාමහ පෙළහර අවසන්හි අසූකෙළ දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. බුද්ධසිංහ තේජසින් මඩනා ලද තීර්ථකයන්ගේ අභිමාන නසා විස්මයෙන් විසල් දෙනුවන් ඇති දෙවිමිනිසුන් විසින් පවත්වන ලද ක්‍රීඩා හා සාධුකාර මුසු තුරුගොස් මැද දෙව්මිනිස් ලෝහි දහසක් නන් අසිරි අද්භූත පහළ වෙද්දී මහමෙරට මහ පොළොවට වඩා වැඩි ගුණ යුත් මවුගුණයට ප්‍රත්‍යුපකාර කරනු කැමතිව අතීත බුදුවරු මේ පෙළහර දක්වා තව්තිසාවෙහි වස් එළඹ මෑණියන්ගේ කිරිමිල පිණිස අභිධර්ම පිටකය දේශනා කරන සේකැයි දැන දොළොස් යොදුන් දිගුපුළුල් දෙව් මිනිස් මහණ බමුණු පිරිස් ඉදිරියෙහිම චක්‍රලක්‍ෂණාදි නන් වරලකුණු හෙබි සිරිපා ඔසවා යුගඳුරු මුදුනෙහි තැබූහ. අනතුරුව වම්පය ඔසවා සිනෙරු මුදුනෙහි තැබූහ. මෙසේ අටදහස් සැටදහස් යොදුන් තැන වූ තුන් පියවර දෙපා තැබීමෙන් විය. ශාස්තෘෘන් වහන්සේ පා දිගුකොට ඉක්මවූහ කියා නොසැලකිය යුතුය. බුද්ධවිෂය අචින්ත්‍යය. අචින්තනීය බෝධිසම්භාර පිරීමේ විපාකයයි. භාග්‍යවතුන් වහන්සේ පා තබන කල ඒ පර්වත සක්ලකුණු අනුහසින් පාමුලට පැමිණ පා පිළිගත්තේය. ශාස්තෲන් වහන්සේ ඇක්මි කල නිසිතැන පිහිටියේය.
මෙසේ පොළෝතලයෙන් පදව්‍යතික්‍රම දක්වා තව්තිසාවට වැඩිසේක. එවිට ශක්‍රයා දෙව්ගණ සමග භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට පරසතුරුක් මුල පඬුඇඹුල් සලසුන පැවරීය. එවිට විසුද්ධ දේව දේවාතිදේව භාග්‍යවතුන් වහන්සේ පණ්ඩුකම්බල සමාන පබළුවන් රැස් සමූහයෙන් බබළන පඬුපත් පැහැයෙන් බබළන පඩුඇඹුල් සලසුන මැද වැඩහිඳ ස්වකීය ශරීර ශෝභායෙන් දෙවියන්ගේ ශෝභා මැඩ යුගඳුරු මත දහසක් රසින් හෙබි හිරු මෙන් බබළමින් අනුපම වර්ණ කාන්ති සිරිශෝභායෙන් බබළන රුචිර සකල සුරවිමානයන් සහ අමරපති සහිත සුරගණ විලාසයන් අභිභවනය කරමින් භාග්‍යවතුන් වහන්සේම බබළන සේක.
පුරුෂෝත්තම භාග්‍යවතුන් වහන්සේ යම්දාක තව්තිසාවෙහි පරසතු රුක්මුල පඬු ඇඹුල් සලසුනෙහි වැඩසිටිසේක් ද එහි උන්වහන්සේ යුගඳුරු මුදුනෙහි හිරුමෙන් වැඩ සිටි සේක. ඒ මුනිවරයාණෝ පහකළ කෙලෙස්මලින් බබළන සේක. දසලෝකධාතුවෙහි දේවතාවෝ රැස්ව පර්වත මස්තකයෙහි හුන් තථාගතයන් වහන්සේ ඇසුරු කරති. වර්ණයෙන් කිසිදු දෙවියෙක් සම්බුද්ධයන් වහන්සේට වඩා නොබබළයි. සියලු දෙවියන් අභිභවා එකම බුදුහුම බබළති.
කුමකින් බබළයි ද? සම්මා සම්බුදුහු ආභරණ රහිතයහ. නන් පැහැයෙන් අගනා සත් රුවනින් විසිතුරු ඔටුනු අලංකාර නැත්තාහ. දෙවියෝ නම් සැකසූ මකුට කුණ්ඩල මුක්තාහාරාදි නන් පැහැ වස්ත්‍රාදි අලංකාර ඇත්තෝය. සුරපති ශක්‍රයාගේ රතුඅගරු පැහැ කම්බල, පියුම්පැහැ පණ්ඩුකම්බලශිලාලෝකයෙන් බබළන පරසතුරුක් ආලෝකය හාත්පස සිය යොදුනක් පැතිරෙයි. සැට ගැලක් පුරා ලන අබරණින් සැරසි සක්දෙව්පති බබළ බබළා ඉදිරියෙන් සිටී. සියලු රමණීය දෙව්උයන් නන් අයුරු වර්ණ ගන්‍ධයෙන් සොඳුරු කුසුම පලු පල්ලවයෙන් සුසොභිතව හාත්පස හොබවයි. මහාපුරුෂලක්ෂණ සම්පත්තියෙන්, කේතුමාලාවෙන්, බ්‍යාමප්‍රභායෙන්, අසූඅනුව්‍යංජනයෙන්, සුන්දර සවනක් රසින් යන අතිරේකතර සොභායෙන් යුතුව මකුටාදි අලංකාරයෙන් තොරවම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදර්ශනාලංකාරයෙන් අලංකෘතව අතිශය ශෝභාසම්පන්න සේක. ලොව සියලු ශිල්පීහු ද සියලු සෘද්ධිමත් පිරිස ද භාග්‍යවතුන් වහන්සේගේ රූපයට සම ප්‍රතිරූපයක් කිරීමට නොහැකි වෙති. එයින් කීහ.
බුද්ධ ශරීරයෙහි යම් ලක්‍ෂණ වෙයි ද ඒ එකිනෙක සියක් පිනෙන් හටගත්තේය. එබඳු ගුණ යුත් ඒ බුදුරුව අසමයයි කීහ. උන්වහන්සේ රජුන්ගේ රජ වෙති. තිදසපුරවැසි දෙවියන්ට දෙවි වෙති. බ්‍රහ්මාධිපතීන්ට අතිබ්‍රහ්ම වූ බුදුරජාණන් වහන්සේ සිරිනිකෙතයක් වෙති.
මහත් තේජස් ශ්‍රීවර්ණයෙන් ද පුණ්‍යසම්භාර ඵලානුභාවයෙන් ද නිපන් වර්ණවත් ආලෝකයෙන් ද දෙව්නුවර උයන් විමන් කප්තුරු පරසතුරුක්, පඬුඇඹුල් සලසුන ශ්‍රියාව ද දසදහසක් සක්වළ අමරමධුකර සමූහ ශෝභාව ද සිය සිරියෙන් අභිභවමින් වැඩහුන් සේක. ද එහෙයින් කියන ලදි.
සියලු දෙවියන් අභිභවා එකම බුදුරජාණෝ බබළන සේක. ඒ දේවදේවයාණෝ දේවගණයා මැද සිනෙරු මස්තකයෙහි වැඩහුන් සේක. සුරසිසෝභා මැඩ තරුවලට සඳමෙන් අත්‍යන්ත ලාවණ්‍යයට නිකෙත වූ නයනාහිරාම රන්පර්වතයක් මෙන් කාන්තිමත් ශ්‍රීධර සම්බුද්ධරූපය ශක්‍රාදි දෙවියෝ සතුටින් දුටහ.
එවිට සනරාමරගුරුවූ සම්මා සම්බුදු මාතාව වූ මහෝපකාරවත් මහාමායා දේවිය දෙවියෙක්ව දෙව්පුතුන් පෙරටු කොට තුසිතපුරයෙන් පැමිණියේය. ඉක්බිති සියලු දෙවියෝ එන්නාවූ ජින වර මෑණියන් දැක තුටු පහටුව උදම් සිතින් “නිදුකාණෙනි, සැබැවින් අපට සොඳුරු ලාභයකි. අපට කදිම ලැබීමකි. මහෝපකාරවත් ජිනවරමාතාව මෙහි පැමිණියාය. එතුමිය නිසා අපි ගගනූපම සියුම් ගැඹුරු උත්තුංග සද්ධර්ම දේශනයක් අසන්නට ලබමු. බුද්ධොත්පාදය දුර්ලභය. ක්‍ෂණ සම්පත් දුර්ලභය. සත්පුරුෂ සමාගමය දුර්ලභය” යි අත්පා කුකුසක් වටපිට බැල්මක් හෝ නැතිව පවන් රහිත වේලෙහි නිසල මහසාගර ජලය මෙන් නිසලව වාඩිවී සිටියහ. බුද්ධමාතාවෝ දිව්‍යසහා මධ්‍යාසනයෙහි වැඩහුන් බුද්ධ ශරීරයෙන් නිකුත් රැස් දහරට වැද භාග්‍යවතුන් වහන්සේ වැඳ දකුණු පසින් වාඩිවූහ. මෙසේ වාඩිවූ මෑණියන්ට කෘතඥ කෘතවේදී දිපදුත්තම භාග්‍යවතුන් වහන්සේ සිය අසුනෙහි මුදුන්පත් සුලලිත අපරිමිත කිරණින් සුන්දර රූපයෙන් බබළමින් නොඑක් කල්පවල නොඑක් ජාතිවල මවුකිරි මිල ද පෝෂණික මිල ද දෙනු කැමතිව සිය මෑණියන් කායශාක්ෂ්‍ය කොට ගැඹුරින් ගැඹුරක් පොවන්නාක් මෙන් අටඟිත් යුත් අත්‍යන්ත කර්ණරසායන ශ්‍රවණීය අතිමධුර ඝෝෂයෙන් ඝෝෂා කොට මෑණියන් අමතා මෑණියනි, කිරිමිල පුදමි. පෝෂණික මිල පුදමි”යි සම්බුදුවරුන්ට ආවේණික සප්තප්‍රකරණ අභිධර්ම දේශනාව දේශනා කළ සේක.
කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා ආදි නයින් අභිධර්මය දේශනා කළහ. මෙහි අභිධම්ම නම් කවර අර්ථයෙන් අභිධම්ම නම් වෙයි ද? විශේෂ ධර්මාතිරේකය යන අර්ථයෙනි. අභිධම්ම අතිරේක ශ්‍රේෂ්ඨ බව ප්‍රකට කරයි. එහි අභිශබ්දය අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා ආදියෙහි මෙනි. යම් සේ නගන ලද ඡත්‍ර කොඩි අතරින් අතිරේකතර වර්ණ සලකුණින් යුත් යම් ඡත්‍රයක් තිබේ නම් එය අතිච්ඡත්තයයි කියනු ලැබේ. ඒ අතිරේක ප්‍රමාණයේ නත් පැහැති ධජය අතිධජයයි කියනු ලැබේ. යම් සේ එකට රැස්වූ රජකුමරුන්ගෙන්, දෙවියන්ගෙන් යමෙක් ජාති, ගෝත්‍ර, භෝග, යස, ඉසුරු ආදියෙන් සම්පන්න සම්පන්නතර කුමාරයෙක් වෙයි ද ඔහු අභිරාජකුමාරයයි කියනු ලැබේ. යමෙක් යස, වර්ණ, ඉසුරු සම්පතින් අතිරේකතර නම් විශේෂතර නම් ඒ දෙවියා අතිදේව යයි කියනු ලැබේ. එවැනි බ්‍රහ්මයා අතිබ්‍රහ්මයයි කියනු ලැබේ. එමෙන් මේ අභිධර්මය ධර්මාතිරේක ධර්ම යන විශේෂාර්ථයෙන් අභිධර්ම යයි කියනු ලැබේ. මෙකී ධර්මාතිරේක ධර්ම විශේෂයෙන් විශේෂ අතිරේකතර ගුණයෙන් හෙබි මෑණියන් ට ගුණ ප්‍රත්‍යුපකාර කිරීම සුදුසු හෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසලාධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා යි දේශනා කළ සේක.
කුමක් හෙයින් කුසලා පාඨය පළමුවත් අකුසලා පාඨය පසුවත් කියන ලද ද? ලොකොත්තම බවත් පරම අභිවෘද්ධිදායක බවත් නිසා කුසල පළමුව කියන ලදි. එම කුසලයට ප්‍රතිපක්ෂ බව දැක්වීම පිණිස අකුසල පසුව දක්වන ලදි. අව්‍යාකත ධර්මයෝ නම් න ව්‍යාකතා අව්‍යාකතා යනු විසින් කුසල් අකුසල් වශයෙන් නොකියන ලද්දාහුය. කියන ලද දේවල නිරවද්‍ය සැප විපාක ලක්‍ෂණ කොට ඇත්තේ කුසලයි. සාවද්‍ය දුක් විපාක ලක්‍ෂණ කොට ඇත්තේ අකුසලයි. අවිපාක බව ලක්ෂණ කොට ඇත්තේ අව්‍යාකත යි. අටුවාවෙහි වනාහි “කවරධර්මයෝ කුසල් ද? චාතුර්භූමික කුසලයෝය. මේ කුසලධර්මයෝය. අකුසල ධර්මයෝ කවරහු ද? දොළොස් අකුසල චිත්තෝත්පාදයෝය. මේ අකුසල ධර්මයෝය. අව්‍යාකත ධර්මයෝ කවරහු ද? චාතුර්භූමික විපාකයෝය. භූමිවල කිරියා හෝ වෙති. කෙසේ ද? රූප නිබ්බාන යන මේ ධර්මයෝ අව්‍යාකත වෙති. මේ ආදි නයින් ධම්මසංගණී විභංග ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති කථාවත්‍ථු යමක පට්ඨාන යන සප්තප්‍රකරණ අභිධර්ම පිටකය දේශනා කළ සේක.
සිවුසස් දක්නා සම්බුද්ධ ලෝකනාථයාණෝ සතරාකාර ධම්මසංගිණිය ප්‍රකාශ කොට අනතුරුව අටළොස් භේදයකින් යුත් විභංගය ආරම්භ කළහ. ඉක්බිති ජිනයන් වහන්සේ ධාතු භේදප්‍රකාශක ධාතුකථාව ද ඉක්බිති පුග්ගල පඤ්ඤත්තිය ද සියලු කෙලෙස් යුද නැසූ අසම ලෝකනායකයාණෝ කථාවත්‍ථුප්පකරණය ද යමකවිසයාතීත නීල ලොමධාරී නායකයාණෝ යමකය ද අනතුරුව මහාවීරයාණෝ නානා නය ප්‍රතිමණ්ඩිත අතිගම්භීර පට්ඨාන නම් ප්‍රකරණය ද දේශනා කළ සේක.
මෙසේ අනන්ත නය ප්‍රතිමණ්ඩිත සූවිසි සමන්තපට්ඨාන නම් මහාප්‍රකරණය දේශනා කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තෙමසක් පුරා නිතොරව ගලන ගගනගංගාව සේ අබිදම් දෙසා නිමවූ සේක. දේශනා කෙළවර බුද්ධ මාතා මහාමායා දේවිය බුදුන් හමුවෙහිම ක්ලේශානුසය තුන නසා දහසක් නයින් සැදි සෝවාන්පෙලෙහි පිහිටියාය. එහිදී බුද්ධමාතාව ප්‍රමුඛ අසූකෙළක් දෙවියන්ට ධර්මාභිසමය විය.
සම්බුද්ධයන් වහන්සේ කුමකට සුරලොව වඩින සේක් ද? සගසැප ශෝභාව කුමක් ද? භාග්‍යවතුන් වහන්සේගේ අනුරාගය කුමක් ද? බුදුවරයන් වහන්සේලා රාගයෙහි ඇලුණෝ නොවෙති. ස්වර්ගය පැතීමක් නැත්තේමය. එසේ ද වුවත්,
මෙය සියලු බුදුවරයන් වහන්සේලාගේ ධර්මතාවයි. එහෙයින් මාන දෘෂ්ටි දුරුකරන යමක ප්‍රාතිහාර්යය කොට මෙලොව හැර තාවතිංසයට පැමිණෙති. තුන් පිටකයෙන් අභිධර්මය දෙසූහ. පුරුෂෝත්තමයාණෝ බුද්ධ සම්බුද්ධ ප්‍රවේණි ධර්මය සිදු කළහ. දිවකුරු බුදුහු සපුගස් මුල්හි පෙළහර කොට තවුතිසාවට වැඩියහ. සකල බුද්ධ ප්‍රවේණිගත විජම් දෙසා කිරිමිල වූ සෝවාන්ඵලය සුමේධා බිසොවට දුන්හ. කොණ්ඩඤ්ඤ බුදුහු කොළොම්රුක්හි පෙළහර කොට සුජාතාවට සෝවාන්පල දුන්හ. සුමංගල බුදුහු අඹරුක්හි පෙළහර කළහ. උත්තරා මාතාවට සෝවාන්ඵල දුන්හ. සුමන බුදුහු සෝණ රුක්හි පෙළහර පා සිරිමා දෙවියට අගපල දුන්හ. රේවත බුදුහු කුඹුක් රුක්හි පෙළහරින් පසු සෝවාන් පල ලබා දුන්හ. සෝභිත බුදුහු පෙළහරින් පසු සුධම්මා බිසොවට අගපල ලබා දුන්හ. අනෝමදස්සි බුදුහු අඹරුක් මුල පෙළහර කොට යසෝධරා මෑණියන්ට අගපල දුන්හ. පදුම බුදුහු අසණ රුක්මුල පෙළහර කොට අසමා දේවියට සෝවාන් පල ලබා දුන්හ. නාරද බුදුහු අනෝමා බිසවට අගපල දුන්හ. පදුමුත්තර බුදුහු කොළාම් රුක් මුල්හි පෙළහර කොට සුජාතා දේවියට අගපල දුන්හ. සුමේධ බුදුහු රත්කරව් රුක්මුල පෙළහර පා සුදත්තා දේවියට අගපල දුන්හ. සුජාත බුදුහු අසණ රුක්මුල පෙළහර කොට පභාවතී දේවියට ද පියදස්සි බුදුහු අඹරුක් මුල පෙළහර කොට චන්දා දේවියට ද අත්‍ථදස්සි බුදුහු කොසඹ රුක්මුල පෙළහර කොට සුදස්සනා දේවියට ද ධම්මදස්සි බුදුහු කොළොම් රුක්මුල ‘පෙළහර පා සුනන්‍දා දේවියට ද සිදුහත් බුදුහු අඹරුක් මුල පෙළහර පා සුපස්සියා දේවියට ද තිස්ස බුදුහු පෙළහර දක්වා පදුමා දේවියට ද ඵුස්ස බුදුහු නුග රුක්මුල පෙළහර කොට සිරිමා බිසොවට ද විපස්සි බුදුහු නෙල්ලිගස මුල පෙළහර පා බන්ධුමතී දේවියට ද සිඛී බුදුහු කොළාම් ගස මුල පෙළහර පා පභාවතී දෙවියට ද වෙස්සභූ බුදුහු ධනපති දේවියට ද කකුසඳ බුදුහු කොසඹගස් මුල්හි පෙළහර පා විසාඛා දේවියට ද කෝනාගමන බුදුහු අඹරුක් මුල පෙළහර පා සිරිමා දේවියට ද කාශ්‍යප බුදුහු මිදෙල්ල රුක් මුල පෙළහර දක්වා ඔජාපතී බිසොවට ද අබිදම් දෙසා කිරිමිල වූ සෝවාන් අගපල ලබා දුන්හ.
ශාක්‍යසිංහ ගෞතමයාණන් වහන්සේ ගණ්ඩ අඹරුක් මුල්හි අසිරිමත් යමාමහ පෙළහර දක්වා තුන් පියවරින් තව්තිසාවට වැඩි සේක. මෑණියන් ප්‍රමුඛ කොට අභිධර්මය දෙසූ සේක. මහාමායා දේවියට විජම් දෙසා කිරිමිලත් උතුම් සෝවාන් පලයත් දුන් සේක.
ඉක්බිති ජනහද පුබුදු කළ උතුමන්ටත් උතුම් වරදායක භාග්‍යවතුන් වහන්සේ වප් පුන් පොහෝ දින වස් පවාරණයෙන් ශක්‍රයාහට “දිව්‍යරාජය, මිනිස් ලොවට යන්නෙමි” යි වදාළහ. “මැනවි ස්වාමීනි” යි දේවාතිදේවයාණන්ගේ වචනය අසා සක්දෙවිඳු හිණිමං තුනක් මැවීය. එකක් රන්මුවාය. එකක් මිණිමුවාය. එකක් රිදීමුවාය. එහි පාදයෝ සංකස්සපුර දොරටුවෙහි පිහිටියෝ ය. ඉන් දකුණු පස රන්මුවා හිණ දෙවියන්ට වෙයි. වම්පස රිදීමුවා හිණ බ්‍රහ්මයන්ට වෙයි. මැද මිණිමුවා හිණ තථාගතයන් වහන්සේට ය.
එසමයෙහි මිනිස්ලොව මිනිස්සු වප් පුන් පොහෝ දින භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවින් සකස් පුර දොරට වඩිනසේකැයි දිවැස්ඩාරීන්ගෙන් අගතැන් පත් අනුරුත් තෙරුන්ගෙන් අසා තුටුපහටුව නන් අයුරු පුදසත්කාර ගෙන ඔබිනොබින් අවුත් සකස්පුර දොර රැස්වූහ. එවිට මුළු ලෝමුදුන් තථාගතයන් වහන්සේ සිනෙරු මුදුනෙහි මිණිහිණිහිස සිටම උදාගිරි මුදුන්හි පෙරදිගින් නැගි ළහිරු මෙන් සවනක් සත් දද පතාකායෙන් සරසන ලද්දාක් මෙන් දිලියෙන ගිනිකඳක් මෙන් දිලිසෙමින් දස දහසක් සක්වළ අතරක් නැතිව ජන සමූහයා විසින් කරන ලද උතුම් පුද සත්කාර සම්මාන දැක අසාධාරණ බුද්ධානුභාවය දක්වමින් නන් අයුරින් යමාමහ පෙළහර පාමින් ලෝකවිවරණ නම් පෙළහර කළ සේක. දස දහසක් සක්වළ දෙවියෝ ශාස්තෲන් වහන්සේ දැකීම පිණිස පැමිණ රැස්වූහ.
සැණකෙළිවෙස් දැරූ දේව, යක්‍ෂ, ගාන්‍ධර්ව, කින්නර, නාග, සුපර්ණ, සිද්ධ, විද්‍යාධර සියල්ලෝ එකට රැස්ව තථාගතයන් වහන්සේ අනුව යති. වන්දනා කරති. ස්තුති කරති. නිරන්තර පූජා කරති. යශස්වී තථාගතයන් වහන්සේ සිනෙරු මුදුනෙහි සිට ලෝකවිවරණ නම් පෙළහර දැක්වූහ. දෙවියෝ මිනිසුන් දුටහ. මනුෂ්‍යයෝ දෙවියන් දුටහ. උනුන් දැක ඔවුහු මහනදින් නාද කළහ. අහෝ ලොව මහාපුදුමයකි. ලොමු ඩැහැගන්නා අසිරියකි. දෙවියෝත් මනුෂ්‍යයෝත් අන්‍යොන්‍යයන් දකිති. මහාද්භූත බුද්ධොත්පාදය ලොව අතිශයින් දුර්ලභය. ලාභයෙන් උතුම් ලාභය වූ දැන් ඒ බුදුන් ලැබ උන්වහන්සේ අද්භූත දේවෝරෝහණ පෙළහර දක්වා ලෝකනායකයාණෝ රමණීය සංකස්ස නගරයට බට සේක.
භාග්‍යවතුන් වහන්සේ රන්හිණෙන් බසිද්දී දස දහසක් සක්වළ දෙවියෝ බටහ. රිදී හිණෙන් දසදහසක් සක්වළ මහබඹහු බටහ. මිණිහිණෙන් සම්මා සම්බුදුහු පමණක්ම බට සේක. එවිට පංචසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා බෙළුවපණ්ඩු වීණාව ගෙන බුදුන් ඉදිරියෙහි වයමින් මියුරු රසගී කිය කියා බැස්සේය. සුයාම දෙව්රජ හා සන්තුසිත දෙව්රජ සඳරැස් දහරවන් ලෝහිතඞ්කමණි වජ්‍රමණි එබූ සෙමෙර ගෙන දෙපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සල සලා බැස්සහ. සහම්පති මහාබ්‍රහ්මයා යොදුනක් පමණ සේසත බුදුන් මුදුනට ඔසවමින් බැස්සේය. සක්දෙව් රජ බුදුන් කැටිව දෙදෙව්ලොව දෙව්පිරිස් සමග බැස්සේය. මාතලි දෙව්පුත් දිවකුසුම් පිරි රන්සුමුගක් ගෙන බුදුන් ඉදිරියෙහි ඉස ඉස බැස්සේය. එවිට ඒ භාග්‍යවතුන් වහන්සේට පූජාසත්කාර සම්මාන තව්තිසා භවනයෙන් පොළෝතලය තෙක් හැපී ඒකාබද්ධව පැවැත්තේය.
ඉක්බිති සර්වලක්‍ෂණ විභූෂිත දේහ ඇති සකල ශ්‍රීධර සර්වසත්ත්ව නයනකාන්ත සර්වාකාරපරිපූර්ණ උත්තම ශාස්තෘෘ වූ භාග්‍යවතුන් වහන්සේ සකලසුන්දර කිරණින් උපසෝභිත අනූපම බුද්ධලීලාවෙන් අචින්ත්‍ය කුශලඵල නිෂ්පන්න බුද්ධශ්‍රියෙන් අනූපම දසබල වර විලාසයෙන් අතිශයින් බබළන සේක. උන්වහන්සේ හිමිදිරි පාන්දර මිණිහිණින් බැස සංකස්ස නගර ද්වාරාභිමුඛ සිලාතලයෙහි දකුණු සිරිපා තැබූ සේක. එය අචල චේතිය නම් වූයේය. එදවස්හි අනූපම ප්‍රභා යුත් භාග්‍යවතුන් වහන්සේ පළමු ලක්‍ෂණ විලාස කාන්ති තේජොභාසයෙන් වැඩි රන් මඬුලුතලගත සියක් ගිතෙල්කළ ඉසින ලද දැල්වෙන ගිනිකඳක් සේ බැබළෙන්නට වූහ. එවිට සුගතශ්‍රාවක ශාරිපුත්‍ර තෙරණුවෝ මොග්ගල්ලාන අනුරුද්ධාදි තෙරවරුන් සමඟ පෙරගමන් කොට නුදුටුවිරූ රුවක් මෙන් අභිරූපතර බුදුරුව දැක දණමඬල බිම තබා දොහොත් මුදුන් දී නාථයන් වහන්සේගේ සෞම්‍යදර්ශන ඇති මුවමඬල බල බලා මෙසේ පැවසූහ.
ශාස්තෘන් වහන්සේ තුසිත පුරයෙන් මිහිබට සේක. මෙවන් මිහිරි සුන්දර රුවක් මා විසින් කිසිදා දැක නැත. අසාත් නැත.
මෙසේ අනුපම බුදුසිරි දැක දැක සතිස් යොදුන් පිරිමඬුල්ලෙහි පිරී සිටි දෙව්මිනිස් පිරිසෙහි බුදු බව නොපැතූ කෙනෙක් නම් නැත්තාහ. යටත් පිරිසෙයින් තිරිසන්ගත සත්ත්වයෝ ද බුදු බව පැතූහ.
මහර්ධිමත් අසිරිමත් අසම ලොකනායකයන් වහන්සේ මෙන් අපිදු බුදුවන්නෙමු කියා යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්ගල් තලාවක මුවගණ මැදට වන් අභීත කේසර සිංහරාජයකු මෙන් එහි සිට රැස්වූ පිරිසට ධර්ම දේශනා කරමින් සරස්වතී ශ්‍රීනිකෙත වන් බුදුමුව පොබයා මේ ගාථාව වදාළ සේක.
නෛෂ්ක්‍රම්‍යොපසමයෙහි ඇලුණු ධ්‍යානයෙහි යෙදුණු යම් ධිරයෝ වෙත් ද ඒ සිරිමත් සම්මා සම්බුදුවරයන් වහන්සේලාට දෙවියෝ ද කැමැති වෙති.
දේශනාවසානයෙහි තිස් ස්කෙළක් පමණ ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. ඉක්බිති ධර්මරාජ වූ භාග්‍යවතුන් වහන්සේ එහි සිටම සසුන් පිළිපන් කල්‍යාණ පෘථග්ජනාදීන්ගේ ගුණ පළකිරීම පිණිසත් අන්‍යතීර්ථකයන්ගේ හිස් බව දැක්වීම පිණිසත් පෘථග්ජන බහුශ්‍රැතයන් විෂයෙහි පැනයක් ඇසූහ. පුහුදුන් බහුශ්‍රැතයෝ තමන් විෂයෙහි ප්‍රශ්නය විසඳා සෝතාපන්නයන් විෂයෙහි ප්‍රශ්නය විසදීමට අසමත් වූහ. සෝතාපන්නයෝ සකදාගාමීන් විෂයෙහි ප්‍රශ්න විසදීමට අපොහොසත් වූහ. සකදාගාමීහු අනාගාමීන් විෂයෙහි ප්‍රශ්න විසඳීමට නොහැකි වූහ. අනාගාමීහු රහතන් විෂයෙහි පැන විසඳීමට අපොහොසත් වූහ. සෙසු මහාශ්‍රාවකයෝ මුගලන් තෙරුන් විෂයෙහි පැන විසදීමට අසමත් වූහ. මුගලන් තෙරණුවෝ සැරියුත් තෙරුන් විෂයෙහි පැන විසඳීමට අසමත් වූහ. සැරියුත් තෙරණුවෝ බුද්ධ විෂයෙහි පැන විසඳීමට අපොහොසත් වූහ. එවිට තෙරණුවෝ බුදුරදුන්ගේ අදහසෙහි සැක කරති. විචිකිච්ඡා කරති. බුද්ධ විෂයෙහි ප්‍රශ්නයම සිත සිතා නිශ්ශබ්ද වූහ.
එවිට නැණවතුන් මැද අති විශිෂ්ට වූ අනන්තඤ්ඤාණ වූ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ නයඤාණය පිණිස ශාරිපුත්‍රයෙනි, මෙය විය. නුවණින් අනුපස්සනා කරවයි වදාළහ. උන්වහන්සේට නයදානයෙන් පසු එම ප්‍රශ්නය සියක් නයින් දහසක් නයින් ලක්‍ෂයක් නයින් අවබෝධ විය. තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් දෙන ලද නයෙහි සිට බුද්ධ විෂයෙහි ප්‍රඥාවෙන් බුද්ධවිෂයෙහි ප්‍රශ්නය විසඳූහ. එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ හැර අන් කිසිවෙක් සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයක් විසඳීමට සමත් නොවෙති. එහෙයින් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි “ස්වාමීනි, මම සකල ප්‍රදේශ වැස්සක නමුත් මෙතෙක් බින්දු මුහුදෙහි වැටුණේය, පොළවෙහි මෙපමණය. පර්වතයෙහි මෙපමණය කියා සියල්ල ගෙන කීමට සමත් වෙමි” යි සිංහනාද කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ශරිපුත්‍රයෙනි, ඔබගේ සමත් බව දනිමි යි වදාළහ. උන්වහන්සේගේ ප්‍රඥාවට උපමාවක් නැත්තේය. එහෙයින් කියන ලදි.
මාගේ බුද්ධියට ලක් තැබිය හැකි කිසිවක් නැත්තේය. ගඞ්ගාවෙහි වැලි ක්‍ෂය වෙයි. සාගර ජලය ක්‍ෂය වෙයි. පොළොවෙහි පස් ක්‍ෂය වෙයි. ලෝකනාථයන් වහන්සේ හැර යම් සෙසු ප්‍රාණීහු ඇත් ද සැරියුත් තෙරණුවන්ගේ ප්‍රඥාවෙන් දහසයෙන් කොටසකුත් නොඅගී.
එදා මෙතේ බෝසත්හු දේවෝරෝහණ සමාගමයෙහි බුද්ධ ප්‍රශ්න සැරියුත් තෙරුන් විසඳනු අසා “කිසිවෙකුටත් දන් නොදී සිල් නොරැක පින් නොකොට සත්කාර නොකොට බෝමැඩ මාර බල පරදා සර්වඥතාඥානය නොලැබිය හැකිය. දැන් මම ගිහි බැමි කඩා පැවිදි වෙමි”යි සිතා එදිනම මහාසැපසම්පත් පරිත්‍යාග කොට නෑපිරිස් හැරදමා සිය පිරිවර දහසක් සමග ශාස්තෘෘන් වහන්සේ වෙත පැවිදිවූහ. උන්වහන්සේ පැවිදි උපසම්පදා ලැබ ත්‍රිපිටක බුද්ධවචනය ඉගෙන සිය ගණන් පුද්ගලයන්ට ඉගැන්වූහ. උන්වහන්සේ දක්‍ෂිණාවිභඞ්ග සමාගමයෙහි මහාප්‍රජාපති දේවිය පිදූ සළුසගළ සිය වස්සාග්‍රයෙන් ලැබ එක් සළුවක් බුද්ධ ගන්‍ධකුටියෙහි වියනක් කොට දෙවැන්න ඉරා පේළි කොට වියන් කෙළවර එල්ලුහ. එකල දානානිශංස පාරගත භාග්‍යවතුන් වහන්සේ ආර්ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේන්ගේ මහඅදහස් දැන භික්ෂුසඞ්ඝයා මධ්‍යයෙහි විවරණ ප්‍රකාශ කළහ.
“මහණෙනි, ඔබලා සළුසගළකින් බුද්ධපූජා කළ මේ භික්‍ෂුනම දක්නහු ද? අනාගතයෙහි මේ භද්‍රකල්පයෙහිම මෙත්තෙය්‍ය නම් බුදු වන්නාහ. මේ බරණැස කේතුමතී නම් රාජධානිය වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වන්නේය. ඔහුගේ සුබ්‍රහ්ම නම් පුරෝහිත මෙතේ බෝසතුන්ගේ පිය වෙයි. පුරෝහිතයන්ගේ බ්‍රහ්මවතී නම් අගබිරිඳ මෙතේ බෝසතුන්ගේ මෑණියෝ වෙති. නාරුක් බෝධියයි කියායි. උන්වහන්සේ ඒ විවරණ අසා සතුටු සොම්නසින් බුදු බව සෙට ලැබෙන්නක් සේ සිතා වඩාත් සොම්නස්ව මහණදම් පුරා බෝධිකාරක දහම් පුරා ජීවිතාවසානයෙහි තුසීපුර උපන්හ.
උන්වහන්සේ දසකරුණකින් සෙසු දෙවියන් අභිභවා සිටිති. දිව්‍ය ආයු, වර්ණ, සැප, ආධිපත්‍යය, ඓශ්වර්ය, රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශයෙන් යුතුව මහත් දෙව්සැප අද දක්වාත් අනුභව කරති. මෙකල උන්වහන්සේ සිටින බව කෙසේ දතයුතු ද? මේ කථාවයි. තම්බපණ්ණි දීපයෙහි රෝහණ ජනපදයෙහි කම්බෝජ ගම මලය දේව නම් රහතන් වහන්සේ නමක් වසති. උන් වහන්සේ දිනක් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන කම්බෝජගමට පිවිසියහ. පිවිසෙන විටම කිසියම් මිනිසෙක් උපුල්මල් අටක් ගෙන ඒ ගමට
යන්නේ ශාන්තදාන්ත වේශධාරි ඉරියාපථ සම්පන්න තෙරුන් දැක පහන් සිතින් තෙරුන් ළඟට ගොස් ඒ මල් දී වැඳ යන්නට ගියේ ය.
තෙරණුවෝ ඒ මල් ගෙන මෙසේ සිතූහ. “මේ මල් වර්ණ ගන්‍ධ සම්පන්නය. මහාචෛත්‍යයට, මිහින්තලාවට නැත්නම් මහාබෝධියට පුදන්නෙම් ද?” කියායි. එවිට උන්වහන්සේට මේ මල් භාග්‍යවතුන් වහන්සේගේ දළදා නිදන් කළ සිළුමිණි සෑයට පුද කරන්නෙමියි මේ අදහස ඇති විය. පිණ්ඩපාතයට තව වේලා ඇතැයි සිතා එකෙණෙහිම තෙරණුවෝ සෘද්ධියෙන් අහසට නැග අතදිග හරින තරම් කලකින් විජයොත් පහය ඉදිරියෙහි සිටගත්හ. විජයොත්පාය ඉදිරියෙන් දකුණුපස සක්දෙව් රජහු විසින් බුදුරදුන්ගේ දළදාව සහ කේශධාතු සිළුමිණි සෑතුළ බහා යොදුනක් වට මිණිසෑයක් පිහිටුවන ලද්දේය. තෙරහු අටඋපුල්මලින් එය පුදා පැදකුණු කොට වැඳ පසෙක සිටියහ. සක්දෙව්රජ තෙරුන් දැක සපිරිවරින් තෙරුන් වෙත පැමිණ වැඳ පසෙක සිටියේය.
තෙරණුවෝ සක්දෙව් රජුගෙන් “දෙව්රජ, මෙතේ බෝසත්හු මෙහි පැමිණෙත් දැ” යි විමසූහ. “එසේය ස්වාමීනි, අද අටවකට පැමිණෙති. දැන් එති"යි කීය. ඔවුන් කථාකරද්දීම නැගෙනහිර දෙසින් මහපිරිවරින් එක් දිව්‍ය පුත්‍රයෙක් එයි. ඔහු දුටු තෙරණුවෝ “දෙව්රජ, මේ මෙතේ බෝසත්හු දැ”යි ශක්‍රයාගෙන් විමසූහ. “ස්වාමීනි, මෙතේ බෝසත්හු නොවෙති. වෙනත් දිව්‍ය පුත්‍රයෙකි” යි ශක්‍රයා කීය. “ඒ කවරෙක් ද?” පෙර අනුරාධපුරයෙහි සන්නාලිකමින් මෙතෙම ජීවත් විය. බොහෝ පින්කම් කළේය. මොහුට තන්තවායයි කියනු ලැබේ. එවිට ඔහු පැමිණ සෑය වැඳ බබළමින් දකුණුපස සිටියේය. ඔහු සිටි කල්හි එක් දෙවියෙක් මහ පිරිවරින් එයි. තෙරහු ඔහු දැක “දිව්‍යරාජය, මේ මෙතේ බෝසත්හු දැ”යි ශක්‍රයාගෙන් විමසූහ. “ස්වාමීනි, මෙතේ බෝසත්හු නොවෙති” “මේ තෙම කවරෙක් ද ?" “දුටුගැමුණු අබාරජුගේ මලණුවෝ ය. මහයසස් ඇත්තෝය. සද්ධාතිස්ස නම් වෙතී ශක්‍රයා කීය. ඔහු ද පැමිණ සෑය වැඳ උතුරු දෙසින් සිටියේ ය. තවද පසුපසින් දිව්‍ය පුත්‍රයෙක් සපිරිවරින් පැමිණෙයි. තෙරහු ඔහු දැකත් එසේම ශක්‍රයාගෙන් විමසූහ. බෝසත්හු නොවෙතී ශක්‍රයා කීය. මෙතෙම කවරෙක් ද? තථාගතයන් වහන්සේට ථූපයක් කරවූ දුට්ඨගාමිණි අභයයි. ඔහු ද මෙහි එතී කීය. ඔහු ද අවුත් සෑය වැඳ නැගෙනහිරින් බබළ බබළා සිටියේය.
එවිට ඔවුන්ගේ පිටුපසින් මෙතේ බෝසත්හු ශ්‍රියාවෙන් ශෝභමානව එති. උන්වහන්සේගේ සතර පසින් සමලංකෘත දෙවඟනෝ සතර දෙනෙක් සපිරිවරින් එති. තෙරුන් වහන්සේ ඒ දැක “දිව්‍යරාජය, මේ දෙවඟනෝ මිනිස්ලොව කවර පින් කළා හු ද? ඔවුන්ගෙන් එකියක් විචිත්‍රවර්ණ විචිත්‍රරශ්මි විචිත්‍රාභරණ විචිත්‍රවස්ත්‍ර ඇත්තීය. එකියක් රක්තවර්ණ රශ්මි ආහරණ වස්ත්‍ර ඇත්තීය. එකියක් තඹකහවර්ණ රශ්මි ආභරණ වස්ත්‍ර ඇත්තීය. එකියක් පීතවර්ණ රශ්මි ආභරණ වස්ත්‍ර ඇත්තීය.” යි විමසූහ. සක්දෙව්රජ එකරුණ දක්වමින් මෙසේ කීය.
ආඪ්‍යවූ කොසඹෑ නුවර කුම්බ නම් නගරයක විසිතුරු මල් පුදා ඒ දේවිය දකුණුපස සිටී. නාගදීපයෙහි තෙරණියක් වී තමාම උපුල් නෙලා මහසෑයට පුදා වම්පසින් ඒ දේවිය සිටී. ලක්දනව්වෙහි කිනිහිරිගම ඉපිද කිනිහිරිමල් පුදා ඒ දේවිය පිටුපසින් සිටී. පෙර ගඞ්ගාපාර්ශවයෙහි පුණ්ණ නම් ගම ඉපිද පැන් පලතුරු පුදා ඒ දේවිය නැගෙනහිර දෙසින් සිටී. එකල්හි එබඳු වූම දෙව්පුත්හු ද දෙවඟනෝ ද අප්‍රමාණව මෙතේ බෝසතුන් පිරිවරා අහසෙහි යති. සරාකල්හි බබළන පුන්සඳ මෙන් ඒ වර්ණ රූපයෙන් දෙවියන් මැද බබළති. මෙසේ අලාමක වර්ණයෙන් මෙතේ බෝසතාණෝ දෙවියන් මැදට බබළ බබළා පැමිණියහ.
උන්වහන්සේ පැමිණ සිළුමිණිසෑය වැඳ පැදකුණු කොට මලියදේව තෙරණුවන් වෙත අවුත් පසෙක සිට “ස්වාමීනි, කොහි සිට ආසේක්දැ”යි ඇසූහ. “දිව්‍යරාජය ජම්බුද්වීපයෙනි.” කිම ස්වාමීනි, දඹදිව මිනිස්හු මා සම්භාවනා කරත් ද? දිව්‍යරාජය, සම්භාවනා කරන්නාහ. කුසල් කොට හැමදා මෙතේ බුදුන් දක්නට ලැබේවා කියා ඔබ ප්‍රාර්ථනා කරන්නාහ”යි කීහ. මෙතේ බෝසත්හු මෙසේ ප්‍රකාශ කළහ.
යම් කිසි කුසලයක් කොට මිනිස්සු එසේ ප්‍රාර්ථනා කරති. මම සසර බියෙන් බිය පත්වූවන්හට භවයෙන් මුදන්නෙක් වෙමි. අවිද්‍යා ප්‍රභව කොට මෝහජාලයෙහි වෙළී චතුරෝඝයෙන් මුසපත්වූ ලෝකයට මම කෙළවර දක්වන්නෙමි. කෙලෙස් මඬ තැවරුණු තෘෂ්ණා සොරු ඇසුරු කරන දික් සසරමඟ මුළා වූවන්ට මම සදහම් දෙසමි. සඤ්ජීව, කාලසූත්‍ර නිරයන්හි පුන පුනා තැවෙන අවීචියෙහි ගැලී වසන සත්ත්වයන් මම නිවා ලන්නෙමි. අඥාන බැම්මෙන් බැඳුණ තණ්හා දාස වසඟයට පත් සත්ත්වයන් බැමි සිඳ නිවනට පමුණුවන්නෙමි. දෙසැට මිසදිටු කවාට අටඟිමඟ යතුරින් ප්‍රාණීන්ට විවර කරන්නෙමි. රාග දොස අඳුරින් වැසුණු අනන්ත සතුන් මුදා ඥානසලාක දී නුවන් පිරිසිදු කරන්නෙමි. ශෝකාතුරයන් දුක්ඛිතයන් ජරාමරණින් පීඩිතයන් උතුම් ඥාන ඖෂධය දී පිළියම් කරන්නෙමි. මොහඳුරෙන් මුළා වූ දෙවිමිනිසුන්ට නැණ එලිය දී එම අඳුර බිඳින්නෙමි. අපාය බැමි ඇති අසරණව එයම පරායණ කොට ඇති ලෝකය අපායෙන් නගා පිහිට පෙන්වා ලන්නෙමි.
මෙසේ ප්‍රකාශ කොට මෙතේ බෝසත්හු තෙරුන් වැඳ සපිරිවරින් තුසිත භවනයටම ගියහ. තෙරුන් වහන්සේ ද මිනිස් ලොවට ආපසු පැමිණ කම්බෝජගම පිඬු පිණිස පිවිසියහ. එතැන් පටන් මෙතේ බෝසතුන් තුසිත භවනයෙහි දිවසැපත් විඳින බව මිනිස් ලොව ප්‍රසිද්ධ විය. ඔබලා මෙතේ බුදුන් අනාගතයෙහි බුදුවන බව තත් වූ පරිද්දෙන් දැන දැන් කුසල් කරව්. මෙතේ බුදුන් වෙත පැමිණෙව්.
ඉන් අනතුරුව ආර්ය මෛත්‍රෙය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උපත වර්ණනා කරන්නෙමු. මේ බුදු සසුන අතුරුදහන් වූ පසු මිනිසුන්ගේ සියවස් ආයු අනුක්‍රමයෙන් අඩු වී දසවස් ආයු ඇතිවූ කල සත්‍ථන්තර කල්පය ඇති වෙයි. එය වැඩී අසංඛ්‍යායුෂ්ක වෙයි. එය නැවත පිරිහී දහස් වූ කල මේ බරණැස ආලකමන්දා රාජධානිය මෙන් කේතුමතී නම් රාජධානිය වෙයි. දිගින් දොළොස් යොදුනි. පළලින් සත් යොදුන් වන්නේය. එහි මැද පෙර මහාපනාද විසින් පරිභෝග කළ යොදුනක් දිග අඩයොදුන් පළල පස්විසි යොදුන් උස සත්රුවන්මුවා ප්‍රාසාදය තෙමේම ගඟින් උඩනැගී සිටින්නේය. ඒ සංඛරජ කවරෙක් ද? පෙර මහාපනාද රජු පින් කරන කල පියා දෙටු නලකාරයෙක් විය. මෙහි ලා පිළිවෙළ කතාව කිව යුතුය.
මේ කල්පයෙහි කසීරට එක් දෙටු නලකාරයෙක් පුතෙකු සමග නලකම් පිණිස වනයට ගියේය. වනමැද ගඟින් එපිට බට ගසින්ම ගැවසි ඉවුරු ඇති මහවිලක් විය. නලකාරයා විලට ගොස් බට කපා මිටි බැඳ ගෙට ගෙනවුත් ද්‍රෝණි පෙට්ටි කූඩාදිය තනා ඒ මුදලින් ජිවත් වෙයි. එකල උතුරු හිමවත ගන්ධමාදන පර්වතයෙහි නන්දමූල බෑවුම්හි පළිඟුමිණි ගුහාවෙක බොහෝ පසේබුදුවරු වසති. උන්වහන්සේලාගෙන් එක් නමක් මිනිස් වාසයෙහි වස් වසනු කැමතිව පාන්දරින්ම නැගිට පාසිවුරු ගෙන රනහංසයකු මෙන් පස්වනක් පෑ ඇති වලා මැඩ අහසින් අවුත් නලකාරගමට නුදුරු ජලසෙවණ ඇති වනයකට බැස කඳ අතුපතර කොළ පැළ සහිත රුක්මුලෙක හුන්හ.
දෙටු නලකාර ද උදෑසනින්ම පුතු සමඟ නලකම් පිණිස වනයට යන්නේ අතරමඟ ගසක් මුල හුන් පසේබුදුන් දැක සතුටු සොම්නස්ව පිටුපස එන පුතු අමතා “පුත, ආර්යයන් වහන්සේගේ පා වදිමුයි පාරෙන් ඉවත්ව වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ පසෙකට වී “ස්වාමීනි, කොහි වඩින සේක්දැ"යි ඇසීය. පසේබුදුහු “පින්වත, වස්විසීම ආසන්නය. කොහි කොහි නමුත් ගොස් ආවාසයක් සොයමී” කීහ. “ස්වාමීනි, මෙහි වස් විසීම සුදුසු ද?” “උපාසකය, වසමී” කීහ. එයසා සතුටට පත් පියපුත්හු “ස්වාමීනි, ටිකක් සිටිනු මැනව. දැන් දානය වෙලාවයි. පසුව බලමු”යි කියා එවිටම පසේ බුදුන් විලට කැටිව ගොස් වළඳවා පුතු සමග තෙමේ ද අනුභව කොට ගොස් මහවිල්තෙරින් බට කපා කණු ආදිය සඳහා අත්තික්කා ගසක් ද පරාළ උපකරණාදියට හුණගස් ද සෙවිලි පිණිස කුසතණ ද කපා කුටිද්‍රව්‍ය රැස් කොට අත්තික්කා ටැම් සිටුවා බටගසින් බිත්ති සකසා තණ සෙවිලි කොට කුටිය නිමවා දොර යොදා පවුරින් වටකොට ඉදිරිපස සක්මනක් ද තනා දියගොඩමලින් සරසා පසේ බුදුන්ට පූජා කළහ.
“ස්වාමීනි, අපට වැඩ පිණිස හිත සුව පිණිස තෙමස මෙහි වැඩ සිටිය මැනැවැ”යි ආරාධනාත් කළහ. පසේබුදුහු ඒ දෙදෙනාට අනුකම්පාවෙන් එහි වස් විසූහ. පියපුත්හු තෙමස සිවුපසයෙන් උවටැන් කොට වස් අන්තයෙහි තුන් සිවුරින් පිදුහ. උන්වහන්සේ කැමති තාක් එහි වැස ඔවුන්ට දන්වා හිමවතටම වැඩියහ. නලකාර දෙපළ මේ අයුරින් වස්සාන සතක් සත් පසේබුදු කෙනෙකුන් පන්සලෙහි වැස්වූහ. පළමු ලෙසින් උවටැන් කොට තුන් සිවුරු පිදූහ. ඒ පින් බෙලෙන් ඔවුහු මිය තව්තිසාවෙහි උපන්හ. එකිනෙකාහට විවිධ වර්ණ රුචිර වස්ත්‍රාභරණයෙන් සැරසි ලක්ෂ ගණන් දෙවඟනන් සහිත දිව්‍යමය නැටුම් ගැයුම් වැයුම් නදින් පිරි රුවනින් සැරසූ නලකාර දේවපුත්‍ර විමාන නම් රන්විමන් පහළ විය. ඔවුහු නලකාර දේවපුත්‍ර නමින් එහි ඉපිද මහදෙව්සැප වින්දාහ. මහසම්පත් දුටු දෙව්ගණ ආශ්චර්ය අද්භූතව ඔවුන් වෙත පැමිණ මෙසේ කීහ.
කවර නම් පින්කමකින් දෙවියන් විස්මය කරවන අතිශෝභන විමානය ලැබුවාහු ද?
දෙටුනලකාර දෙව්පුත් මෙසේ කීය.
අපි පෙර මිනිසුන් අතර නලකාරයෝ වීමු. පියපුත් දෙදෙන සමඟියෙන්ම එයින් ජීවත් වූයෙමු. එකල හිමවතින් එක් පසේ බුදු කෙනෙක් වැඩියහ. උන්වහන්සේට සක්මනක් සහිත කුටියක් කළෙමු. ටැම් උදුම්බරම විය. බටදඬු ආවරණය විය. තණපතින් සෙවිලි කළෙමු. එවන් කුටියක් පුද කළෙමු. එයම පුදා එයින් චුත වීමු. දෙදෙනාහට එක් එක් අද්භූත විමාන ලැබුවෙමු. මෙසේ පසේ බුදුවරයන් වහන්සේලා කෙරෙහි ඇලී පින් කළෙමු. එහි අපමණ විපාක දෙව්ලොව විඳිමු.
එයසා විස්මය පත් සියලු දෙව සමුහයා “අහෝ පින්පල විශිෂ්ටය. බොහෝ පුරුදු කිරීමෙන් මහාවිපුල පල වෙයි කියා උදන් ඇනූහ.
එකල විදේහ රට මිථිලා නුවර සුරුචි නම් රජෙක් විය. මහමෙහෙසිය සුමේධා නම් වූවාය. දේවිය පුතකු පතා උදෑසනින් නැගිට හිසෙහි නහා සුදුවත් හැඳ උපොසථාඞ්ග ඉටා ඇතුළු සිරියහන් ගැබ සිල් මෙනෙහි කරමින් හුන්නාය. ඇගේ සිල් තෙදින් සිනෙරු මුදුනෙහි වූ දහස් යොදුන් උස වෛජයන්ත ප්‍රාසාදය කම්පා විය. සක්දෙව්රජ මෙනෙහි කරන්නේ සුරුචිරජ මහමෙහෙසි සුමේධා දෙවිය පුතකු පතා සිල් රක්නා බව දුටුවේය. මම ඇයට පුතකු ලබා දෙමි. කවරකු දෙම්දැයි පරීක්ෂා කරන වේලෙහි නලකාර දෙදෙන දුටුවේය. ඔවුහු එකල චුතව තව්තිසාවෙන් උඩ දෙව්ලොව උපදිනු කැමැත්තෝ වූහ.
ශක්‍රයා එකරුණ දැක තරුණ නලකාර දෙව්පුතු වෙත ගොස් “නිදුකාණනි, ඔබ මිනිස් ලොවට යායුතුය” යි කීය. දිව්‍යරාජය, මනුෂ්‍යලොකය පිළිකුල්ය. එහි මිනිස්සු දානාදි පින් කොට දෙව් ලොව පතති. දැන් දෙව්ලොව සිටින මම කුමට මනුලොව යන්නෙම් ද? නිදුකාණනි, එසේ නොසිතන්න. දෙව්ලොව විඳින සැප ඔබට මනුලොව විඳිය හැකිය. පිළිගන්නැ”යි කීය. හෙතෙම පිළිගත්තේය. ශක්‍රයා ඉසිවෙස් මවාගෙන සුමේධා මෙහෙසිය වෙත ගොස් සිල් ආවර්ජනා කරමින් යහන්ගැබ හුන් දේවියට දෙවිය, නොසිතනු මැනව. පිනැති උතුම් පුතෙක් ඔබට උපදී. නොපමා වන්නැයි” කියා දෙව්ලොව ගියේය. දේවිය සතුටු වූවාය. තරුණ නලකාර දෙව්පුත් ඒ රෑ පාන්දර දෙව්ලොවින් චුතව සුමේධා බිසොව කුස පිළිසිඳ ගත්තේ ය. දසමස් ගෙවා පිනැති පුතකු වැදුවාය. එවේලෙහි මහජනයා ස්වාමියකු ලදුම්හයි සතුටු සිතින් මහාඝෝෂා කළහ. එහෙයින් මහරජ ඔහුට මහාපනාද කියා නම් තැබීය.
මහාපනාද මහකුමර පෙරහරින් වැඩී සොළොස් වියෙහි සියලු ශිල්පවල නිමාවට පත්විය. රජ පුතු දැක සතුට පිරි හදින් ඔහු අභිෂේක කරනු පිණිස වඩුවකු කැඳවා “දරුව, අපගේ නිවේසනයට ළඟ ප්‍රාසාදයක් තනව. අද ම පුතු අභිෂේක කරමී” කීය. ඔහු මැනව දේවයිනි, කියා බිම් පරික්‍ෂා කළේය. එවිටම මහාපනාදයන්ගේ පින් තෙදින් සක්දෙව්රජුගේ පඬුඇඹුල් සලසුන උණුවිය. ශක්‍රයා එකරුණ දැන විස්කම් දෙව්පුතු අමතා දරුව යන්න. මහාපනාද කුමරුට යොදුනක් දිග පස්විසි යොදුන් උස සත්මහල් රුවන් පහයක් මවන්නැ”යි පිටත් කළේය. විස්කම් දෙව්පුත් වඩුවෙස් ගෙන මොහොතකින් ඒ වඩුවන් වෙත අවුත් “ඔබලා උදේ ආහාර ගෙන එව්” කියා යවා බිම බැලී ය. “ඉඳින් මොහු පෙර පොළෝතලයෙහි ප්‍රසාද සහිත සිතින් බටගසින්ම කුටියක් කළේ ද, පැන් වැඩී ද, එයින් යොදුනක් දිග අඩයොදුන් පළල පස්විසි යොදුන් උස සත්මහල් රුවන් පහයක් පහළවේවා” යි කියන්නාක් මෙන් අත්ලෙන් පොළවට ගැසීය. තැළීමත් සමඟම කී ආකාරයේ රුවන් පහයක් අහස එල්ලෙන්නාක් මෙන් සොඳුරු සිරින් මතු විය.
එය දුටු රටවැසි මිනිස්සු අසිරි අද්භූත සිතින් උදම්ව ඇඟිලි විසිරවීම් පිළීසිසෑරීම් ලක්‍ෂගණන් අත්පොළසන් දීම් ආදිය පවත්වමින් “අපොයි ආශ්චර්යයි. අද්භූතයි. පින් පල බොහොම විශාලයි. අපට ලාභයකි. අපට මෙවන් පිනැති රජකුගේ ලැබීම ලාභයකැ”යි මුව නොසෑහෙන්නා සේ කිය කියා උදන් ඇනූහ. ලක්‍ෂ ගණන් පුද පඬුරු රජුට පිරිනැමූහ. එකල සුරුචිරජ කාසි විදේහ දෙරට වැස්සන් සමඟ මහාපනාදයන්ගේ ප්‍රාසාදාරෝහණ මංගලය ද අභිෂේකමංගලය ද ආවාහමංගලය ද යන තෙමඟුල එක් කොට සත් අවුරුද්දක් සැණකෙළි කළේය. මහාපනාද රජ සිය පින් බල බලා ගම් නියම්ගම් රට වැසියන් ගෙන ආ පුද පඬුරු දන් දුන්නේ ය. දිවිහිමියෙන් දන් පින් කොට ආයු කෙළවර සිහියෙන් නිදා පිබිදියකු සේ දෙව්ලොව උපන්නේය.
මහාපනාද රජුගේ අභාවයෙන් පසු ප්‍රාසාදය සතියක් තිබී එයම ඉදිරි යටිගංදියෙහි වැටී ගිලී ගියේය. එහිම විසීමට කැමති වූ බොහෝ ක්ෂත්‍රිය නෑයෝ මැරී එහිම මස් කැසුබු මැඬි බවට පත්වූහ. එය මතු අනාගතයෙහි දෙටුනලකාර දෙව්පුත් සඳහා විනාශ නොවන්නේය. මහාපනාද රජ බුද්ධාන්තරයක් දෙව්ලොව මහසැප විඳ මේ අපගේ බුද්ධොත්පාදයෙහි දෙව්ලොවින් චුතව භද්දිය නුවර අසූකෙළක් භවභෝග මහසැපතින් පිරි භද්දිය මහසිටුහුගේ පුත් භද්දජි නම් කුමාර විය. ඔහුට තුන් සෘතුවට තුන් පහයක් විය. එක් එක් පහයෙහි සාර සාර මස වසයි. එක් පහයක සිට නානා නළඟනන්ගේ නැටුම් මැද දෙවියකු මෙන් බබළමින් මහ පිරිවරින් අනික් පහයට යයි. එහිදී භද්දජි සිටුපුත්හුගේ යසස් බලමුයි සියලු නගරය කැළඹෙයි.
එක් කලෙක සකල ලෝකානුකම්පාවෙහි කෙළපැමිණි භාග්‍යවතුන් වහන්සේ මහපාන්දර දෙව්රම මහකුළුණු සමවතින් නැගී හිඳ ප්‍රාකාර කඳු ගල් අන්‍ධකාරයෙන් නොවැළකෙන උතුම් දිවැසින් මුළු ලෝමඬල බලන සේක් භද්දජි කුමරුන්ගේ රහත්බවට හේතුසම්පත් දැක බොහෝ බික්සඟුන් සමඟ භද්දිය නුවරට වැඩ ඔහුගේ නුවණ මේරීම බලාපොරොත්තු වෙමින් ජාතිවනයෙහි වසති. වස් පැවරූ භාග්‍යවතුන් වහන්සේ “උපාසකවරුනි, මම තුන් මසක් සිට අද පිටත් වන්නෙමි”යි දැන්වූහ. “ස්වාමීනි, අපට අනුකම්පාවෙන් සෙට වඩින සේක්වා”යි ආරාධනා කළ නුවරවැස්සෝ දෙවැනි දින නානාකාර ඛාද්‍ය භෝජ්‍ය සකසා ගඳදම් මල්දම් ආදියෙන් විසිතුරු මඩුවක් නුවර මැද තනා අසුන් පනවා භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ සුරත් දෙපට හඳනය හැඳ විදුලිය වන් කාබහන් බැඳ බඳුවද, විදුලියටත් අතිරේක මිහිරි රත් සඟළසිවුර පෙරවා මුං වන් සෙල්මුවා පාත්‍රය ගෙන මහ බික්සඟන පිරිවරා අපරිමිත කල්හි රැස් කළ මහපින්පලින් නිපන් නොසිතිය හැකි බුදු සිරින් යුතුව සොඳුරු පැහැයෙන් සිය සිරුරින් නිකුත් සවනක් රසින් සියලු දිසාවන් හොබවමින් නුවරට වැඩ මහාමණ්ඩපයෙහි පැනවූ උත්තම වර බුද්ධාසනයෙහි වැඩහුන්සේක. භික්‍ෂු සංඝයා ද පිළිවෙළින් පැනවූ අසුන්හි වැඩ සිටියහ.
මිනිස්සු බුදුපාමොක් බික්සඟනට මහදන් පිදූහ. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා මහජනයා මැද වැඩහිඳ කර්ණරසායන අෂ්ටාංග සමුපෙත බඹගොස් විහිදුවමින් භත්තානුමෝදනාව ඇරඹූහ. එවේලෙහි භද්දජි කුමරු පෙර පරිදි පහයෙන් පහයට ගිය නමුත් එදා කිසිවෙක් ඔහු බැලීමට නොආහ. හෙතෙම මහජනයා නොදැක පිරිවර මිනිසුන්ගෙන් “මා වෙනදා පහයෙන් පහයට යද්දී මුළු නුවර කැළඹී මඟ දෙපස ජනයා සිටිති. අද කිසිවෙක් නැත. මක් නිසාදැ”යි විමසීය. “ස්වාමීනි, නොදන්නෙහි ද?” “ඔව් නොදනිමි” “සම්මා සම්බුදු ස්වාමීහු ලොව උපන්හ. උන්වහන්සේ තෙමසක් ජාතිවනයෙහි වස් වැස අද වඩින සේක. උන්වහන්සේ නුවර මැද භික්‍ෂුසංඝයා සමඟ දන් වළදා දැන් බණ වදාරන සේකැ”යි මහජනයා කීහ.
කුලපුත් බුද්ධ යන වචනය අසා පස්වනක් ප්‍රීතීන් පිනා මහත් විස්මයට පත්ව “අපොයි මම බෙහෙවින් පමාවීමි. මට මහාහානියකි. අතිශයින් දුර්ලභ පහළවීමක් වූ හිතෛෂී භාග්‍යවතුන් වහන්සේ පහළව තෙමසක් මෙහි වසද්දීත් නොදත්තෙමි. නින්දාවේවා” යි සිතා වහා මාලිගයෙන් බැස සපිරිවරින් ගොස් බුද්ධ වීථියට පිවිසියේ දුරදීම යුගඳුරු මුදුනෙහි ළහිරු වන් ආදිච්චබන්ධු භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. බුදුන් දැකීමත් සමඟම පුදුමයට පත් සිතින් නොතැතිගත් හිසින් ලොමු දැහැගැනීම් සහිතව රන්රසෙහි ගිලෙන්නාක් මෙන් බුදුරැස් ජාලා තුළට වැද උන්වහන්සේ ළඟට ගොස් පසඟ පිහිටුවා වැඳ පසෙක හිඳ බණ ඇසීය. විනේදන අදහස් දන්නා ලෝකනාථයාණෝ අමාවැසි වස්නාක් මෙන් ත්‍රිවිධ කල්‍යාණ නොයෙක් නයදහසින් යුත් ආර්ය සද්ධර්මය කුළුගන්වා පිළිවෙළ කථාව දේශනාකළ හ. දේශනාවසානයෙහි කුලපුත් හුනස්නෙහිම සව් කෙලෙසුන් නසා සිවු පිළිසිඹියාපත් රහත් පලයට පැමිණියේය. වෙනත් බොහෝ දෙනා ද සෝවාන් ඵලාදියට පත් වූහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ භද්දජි කුමරුගේ පියවූ භද්දට “මහ සිටුවරය, ඔබගේ පුත්‍රයා සැරසිලි සහිතවම බණ අසා රහත් විය. එහෙයින් අදම ඔහුගේ පැවිද්ද හෝ පිරිනිවීම විය යුතුය යි වදාළහ. එයසා සිටුතෙම “එසේ නම් ස්වාමීනි, පැවිදි කළ මැනව. හෙට උන්වහන්සේ කැටිව බික්සඟන හා සමඟ ගෙට වැඩිය මැනවැයි” කීය. බුදුහු නිහඬතාවෙන් පිළිගෙන විහාරයට ගොස් ඔහු පැවිදි කළහ. උපසම්පදා කළහ. මව්පියෝ සතියක් බුදුපාමොක් මහසඟනට දන් පිදූහ. එහි සතියක් සිට භාග්‍යවතුන් වහන්සේ භද්දජි තෙරුන් ද කැටිව බික්සඟන සමඟ චාරිකා චරණයෙහි යෙදෙමින් කෝටිග්‍රාමයට වැඩි සේක. ගම්වැස්සෝ පෙරගමන් කොට මහදන් පිදූහ. භාග්‍යවතුන් වහන්සේ දම් දෙසා බික්සඟුන් පිරිවරා ගංතෙර සිටියහ. කෝටිගම්වැස්සෝ නැව් ඈඳා තථාගතයන් වහන්සේට හා භික්‍ෂුසංඝයාට සැලකළහ.
භාග්‍යවතුන් වහන්සේ නැව් ඈඳුත්තෙහි සිට භද්දජි තෙරුන් අමතා “භද්දජි, එන්න. අප සමග එකම නැවට නඟින්නැ”යි වදාළහ. භද්දජි තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ සමඟ එක් නැවෙහි හුන්හ. නැව ගඟ මැදට පැමිණි කල ශාස්තෘෘන් වහන්සේ “භද්දජි ඔබ මහාපනාද කාලයෙහි විසූ පහය දැන් කොහිදැ”යි විමසූහ. “ස්වාමීනි, මෙතැන ගිලී ඇත.” “භද්දජි පෙන්වන්න.” තෙරුන් වහන්සේ ශාස්තෘෘන් වහන්සේට වැඳ සෘද්ධි බලයෙන් ප්‍රාසාදයෙහි කොත ඇඟිල්ලෙන් ඔසවා අහසට එසවූහ. එවිට ප්‍රාසාදයෙහි නාග මස් කැසුබු මැඩියන්ව උපන් පෙර නෑයෝ හැලී දියට වැටුණාහ. ඔවුන් දුටු භාග්‍යවතුන් වහන්සේ “භද්දජි ඔබේ නෑයෝ වෙහෙසෙතී” වදාළහ. තෙරහු ප්‍රාසාදය අත් හළහ. එය නිසි තැනම පිහිටියේ ය.
මහජනයා එය දැක පුදුමවූහ. ගංතෙර සිටි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ විසින් පතුරුවන ලද සොඳුරු සවනක් රසින් තැවරී ගොස් හටගත් විස්මයෙන් කුහුල් සිතින් දුව පනිමින් උනුන් අමතා “බලව් මේ කිමෙක්ද? කුමන රශ්මියෙක්දැ?යි කීහ. සවනක් රසින් බබළන ඡත්‍ර ධජ පතාකාලංකාරයෙන් සරසන ලද රුවන් පිරි මහනැවක් බඳු සුන්දර භගවත්රුව දැක මේ මෙහි පැමිණි රුවන් නැවකැයි කීහ. ගිනිකඳක් සේ දිලෙන යතිගණ පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ දැක මේ රන්නැවක් නොවේ. අපට අනුකම්පාවෙන් මෙහි වැඩි හිතෛෂී භාග්‍යවතුන් වහන්සේ යයි උදම් සිතින් ගංතෙර රැස්ව උන්වහන්සේට පෙරගමන් කළහ.
ශාස්තෘන් වහන්සේ ළහිරුමඩල මෙන් රැස් විහිදුවමින් පැනවූ අසුනෙහි හුන්සේක. ඒ සියලු දෙන ගඳ දුම් මලින් බුදුන් පුදා වැඳ හුන්හ. භික්‍ෂූහු දහම්කතාවක් උපදවනු පිණිස ස්වාමීනි, කවර කලෙක භද්දජි තෙරහු මේ පහයෙහි විසූහුදැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ. එවිට සකලඥෙය පාරගත බුදුහු ලිලොපෙත රක්ත කම්බලයක සිට කේසර සිංහයකු මෙන් පිරිස් මැද මහාපනාද ජාතකයෙහි සියලු අතීත කථාව දක්වා මේ ගාථාව වදාළ සේක.
ඒ රජ පනාද නම් විය. මාලිගය රන්මුවා විය. සොළොස් යොදුන් උසය. දහස් ගණන් කොටස් ඇත්තේය. සියගණන් මුදුන් ඇත්තේය. හරිතමය ධ්වජ යුක්තය. හැමදා සදහසක් නළුවෝ නැටූහ. භද්දජි කියන්නාක් මෙන් එකල්හි මෙසේ විය. මම එකල සක්දෙව්රජ වීමි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහජනකාය මැද අප්‍රමාදීව කළ පින්පලසම්පත් ප්‍රකාශ කරමින් මහාපනාද ජාතකය වදාළ සේක.
එයසා මහජනයා එතැන් පටන් ආවාස පූජාවෙහි ඇලුම් කරන්නට වූහ. නැවත භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, එසේ නම් කුමක් හෙයින් මේ ප්‍රාසාදය අතුරුදන් වීදැ”යි විමසූහ. “මහණෙනි, අනික් නලකාර දෙව්පුත්හුගේ අනුහසිනි. හෙතෙම පෙර මොහු සමග එක්ව පින් කොට දෙව්ලොව උපන්නේය. අනාගතයෙහි කේතුමතියෙහි සංඛ නම් සක්විති රජ වන්නේය. ඔහුගේ පරිභෝගය සඳහා ද මෙය මතු වන්නේය. එබැවින් අතුරුදහන් වීය”යි බුදුහු වදාළහ. මෙකරුණ නිසාම භාග්‍යවතුන් වහන්සේ එහි ධාර්මික ධර්මරාජ සතරමහා දිවයින් දිනූ සත්රුවනින් සම්පන්න සංඛ නම් සක්විති රජෙක් වන්නේය”යි වදාළ සේක. සත්රුවන් නම් චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, පුත්‍ර රත්නය යි. සූරවීර පරසෙන් මැඩීමෙහි සමත් දහසකට වැඩි පුත්හු ඔහුට වෙති. ඔහු මේ සාගරය කෙළවර කොට ඇති පොළොව දණ්ඩෙන් සැතින් තොරව දැහැමින් දිනා වාසය කරන්නේය.
ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අභිවාදන ප්‍රත්‍යුපස්ථාන විභවදානයෙන් සත්කාර ලත් සුබ්‍රහ්ම නම් අග්‍ර පුරෝහිතයෙක් වන්නේය. ඔහුට බ්‍රහ්මවතී නම් අගබිරියක් වෙයි. එසමයෙහි මෙතේ බෝසත්හු සොළසාසංඛ්‍යකප්ලක්‍ෂයක් පෙරුම් පුරා පංචමහාපරිත්‍යාග කොට තුසිත භවනයෙහි උපන්හ. බුද්ධොත්පාදය බලාපොරොත්තු වූ දෙවියන් විසින් ආයාචනා කරන ලදුව පස්මහ බැලුම් බලා කුසීපුරෙන් සැව සුබ්‍රහ්මපුරෝහිත භාර්යා කුස පිළිසිඳ ගන්නාහ. කියන ලද පරිදි පෙළහර වන්නේය. දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහි පෙළහරින් මවුකුසින් බිහිවන්නාහ. අටවස් දහසක් ගිහිගෙයි වසන්නාහ. සිරි, වඩ්ඪමාන, සිද්ධත්‍ථ නම් තුන්පහයෙක් වෙයි. චන්දමුඛී ප්‍රමුඛ ලක්‍ෂයක් ස්ත්‍රීහු උවටැන් කරන්නාහ. සතර නිමිති දැක චන්ද්‍රමුඛී බැමිණිය බ්‍රහ්මවඩ්ඪන නම් පුතු වැදූ කල මහබිනික්මන් කරන්නාහ.
මහබිනික්මන් සිතූ සැණින් පහය කුඹල්සකක් මෙන් කැරකී හිරුවිමන මෙන් අහස බබුළුවමින් යන්නේය. මෙතේ බෝසතාණෝ ප්‍රාසාදයෙන්ම මහබිනික්මන් කොට එදිනම විසිරියන් උස විපුල රුචිර කඳ පත් ඇති තිස්රියන් ශාඛා සහිත රිය සකක් පමණ මලින් බර නාරුක වෙත පැමිණ සම්බෝධිය ලබන්නාහ. මෙතේ බුදුහු බෝධිය අසල සත්සති ගෙවා ධර්ම දේශනාවට බඹහු විසින් අයදනා ලදුව කේතුමතී නුවර අසල ඉසිපතන වන උයන්හි සංඛරජු ප්‍රමුඛ දොළොස් යොදුන් පිරිස මැද දම්සක් පවත්වති. අසංඛ්‍ය සත්ත්වයන්ට ධර්මාවබෝධය වන්නේය.
සංඛ රජ සක්රුවන සහිත සත්රුවන සමඟ සක්වළ කෙළවර කොටැති සතර මහදිවයින් සහිත සක්විති රජය මෙතේ බුදුන්ට පූජා කරන්නේ ය.
ගිහි ආර්යශ්‍රාවකයෝ සපිරිවර මෙතේ සම්මා සම්බුදුරදුන්ට සිවුපසයෙන් උපස්ථාන කරන්නාහ. සංඛ රජ තමාගේ අභිප්‍රායානුකූලව සත්රුවන් රාශිය දුගීමගීයාචකාදීන්ට දන් දී කෙළක් පිරිවර සමග මෙතේ බුදුන් වෙත එහි භික්ඛු පබ්බජ්ජාවෙන් පැවිදි වන්නේය. සප්තශ්‍රාවක පාරමී ඤාණයෙහි පරතෙර පත්ව අසෝක තෙර නමින් ප්‍රාඥ ශ්‍රාවකයන් අතර ප්‍රමුඛ ශ්‍රාවක වන්නේය. විජය නම් තෙර අග්‍රඋපස්ථායක වෙයි. ඒ සර්වඥයන් වහන්සේට ජිතමිත්ත නම් සෘද්ධිමතුන්ට අග්‍ර දෙවැනි අග්‍ර ශ්‍රාවකයෙක් ද වන්නේය.
එතැන් පටන් මෛත්‍රෙය තථාගතයන්ට දොළොස් යොදුන් නිබඳ පිරිස වන්නාහ. රහත් පිරිස යොදුනක් පමණ වෙති. සූසැටරියන් බෙර පනව සක් තාල ඝෝෂයෙන් හා ගීත වාදිතයෙන් සත්කාර කරනු ලබන පිරිස සමග චාරිකා කරති. ධම්සභාවෙහි තුන් යොදුන් සත් රුවන් මුවා යූපයක් වෙයි. ජනපද චාරිකාවෙහි යෙදෙන මෛත්‍රෙය තථාගතයන් වහන්සේගේ පිරිස සතිස් යොදනෙක වෙති. පිණ්ඩ චාරිකාවෙහි පියවරක් පියවරක් පාසා මහපියුම් නැගෙයි. එහි එක් එක් පෙති තිස් තිස් රියන් දික් වෙයි. කෙසුරු සොළොස් රියන් පමණ වෙයි. කෙමිය දොළොස් රියන්වෙයි. රොන් ලාස්සක් පමණය. මෙතේ බුදුහු අටඅසූරියන් උස් වෙති. දෙබාහු අතර අටළොස් රියන් වෙයි. පාදය එකෙලොස් රියන් වෙයි. දොළොස් රියන් දිග කෙමි ඇක්මෙන කල රොන් සකල ශරීරයෙහි විසුරුවමින් උඩ නැගෙයි. භත්තානුමෝදනා ඝෝෂය දොළොස් යොදුන්හි පවතී. විස්සටඨ විඤ්ඤෙය්‍ය, ගම්භීර, මංජු, විසාරි, සවනීය, නින්නාද, ගම්භීර මේඅටඟින් යුතු බඹගොස දොළොස් යොදනෙක පැතිර පවතී.
නාරුක් බෝධිය වර්ණ ගන්‍ධ සම්පන්නව සුපුෂ්පිතවම පවත්නේය. පිරිනිවි කල්හි පරවෙයි. මෙතේ බුදුන් ජීවමාන සමයෙහි සතුන්ගේ චුති උත්පත්ති නැත්තේය. මෙවැනි අසිරිමත් සමාගමයක් වන්නේ ය.
අනාගතයෙහි මේ දඹදිව පරම විපුල සමෘද්ධියට පවන්නේය. ක්‍ෂෙමය, නිරුපද්‍රැතය. නිල්වන් ළාතණ ගැවසි සමබිම් පෙදෙස් වන්නේය. එහි බොහෝ ජනයා වාසය කරති. මිනිසුන් ආකීර්ණ ගම් නියම්ගම් ජනපද ඝන සන්නිවෙස සහිතය. මිනිස්සු හැමදා නොකඩ හැල්සහල්බත් බොජුන් ඇත්තෝ වෙති. ගොවිතැන් වෙළඳාම් ආදි කර්මාන්ත ව්‍යාපාර රහිතව අව්වැසි විඩා රහිතව වස්ත්‍රාභරණාදි උපකරණ සහිත කප්රුක් පහළ වෙයි. මිනිස්සු ආරාම උයන් පොකුණුවල ක්‍රීඩා කොට සැනහී කප්රුකින් සොඳුරු සළු හැඳ නනබරණින් සැරසී කුලගොත්වලට ගැළපෙන වේස සම්පත් දරා සුවපහසු ඇත්තෝ වන්නාහ. සුවපහසු ඇති සත්ත්වයෝ උනුන්ට වෛර නොඋපදවන්නාහ. මෙත් සිත් ඇත්තෝ වන්නාහ. දීඝායු වන්නාහ. අටානූවක් රෝග කිසිදා නොවෙයි. තුන් ආබාධය පමණක්ම වෙයි. බුද්ධ ධම්ම සංඝ මාමක වන්නාහ. මහනිරයවල් හිස් වෙයි. දෙව්ලෝ සපිරෙයි. මහත් අමාමග ඇතිවෙයි. අමා දොරටු විවෘත වූයේ වෙයි.
එහෙයින් එම සම්පත් නොවරදවනු කැමත්තහු විසින් මේ බුදුසසුනෙහි දාන සීල භාවනාදියෙහි උත්සාහ කොට කල්‍යාණමිත්‍ර සේවනයෙන් පාපමිත්‍රයන් දුරු කිරීමෙන් කුසල් රැස් කිරීමෙහි යෙදෙන්නවුන් විය යුතුය.
යමෙක් අනාගත සම්පත් බලාපොරොත්තුවෙත් නම් පින්කම් කරන්නවුන්ට ඒකාන්තයෙන් පැමිණිය හැකි වෙති. ආරාම රෝපණ වන රෝපණ කරත් ද, යමෙක් පාලම් තැනීම කරත් ද, ළිං පොකුණු දුර්ගමයන්හි හේදඬු කරත් ද, විහාර අඩ්ඪයෝග ප්‍රාසාද මණ්ඩප ගිනිහල් සක්මන් සහිත පිරිවෙන් කරත් ද, බෝධිරෝපණ චෛත්‍යප්‍රතිෂ්ඨාපන කෙරෙත් ද, යමෙක් සිවුපසයෙන් සංඝයාට උපස්ථාන කරත් ද, මනාව සිල් රකිත් ද, බණ අසත් ද, මවුපිය උපස්ථානය මැනවින් කරත් ද, සර්වඥ ධාතු චෛත්‍යයට දීප ධූප විලේපනයෙන් සුණින් සත්කාර කොට වඳිත් ද, පහන් සිතින් ස්තූති කරත් ද, යමෙක් දීපවෘක්‍ෂයෙන් වෙදිකාවලින් ධජ ඡත්‍ර ඇගෑ, පතාකා, චාමර, පුන්කලසින් සත්කාර කරත් ද, ශ්‍රද්ධාවත් වෙත් ද, දන් දී සිල් රැක තෙරුවන්හි පහන් සිතින් දිවිහිම් කොට බොහෝ පින් රැස් කොට එයින් චුතව දෙව්ලොව උපදනාහ. ඔවුහු ඒ ස්වර්ගයෙහි බොහෝ කල් වැස එයින් සැව මිනිසුන් අතර ඉපිද පින් බෙලෙන් මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවන්නාහ. සකල ලෝකානුකම්පක මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ මෙහි යමෙකු කුඩා හෝ ලොකු යම් යම් පිනක් කරන ලද ද ඒ සියල්ල ප්‍රකාශ කරන්නාහ. උන්වහන්සේ මහමොහඳුර බිඳින සදහම් දෙසන සේක. කෙළගණන් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වෙයි. ස්ත්‍රී පුරුෂයෝ මෙහි යම් යම් පින් කොට එහි ඵල මෙතේ බුදුන් හමුවෙහි ලබන්නාහ.
අනාගතකථා නිමි