සන්තිකේ නිදානය කෙසේ ද? අභිසම්බෝධියෙහි පටන් පරිනිර්වාණය තෙක් යම් යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිසේක් ද මෙය සන්තිකේ නිදාන නම් වෙයි. මුල පටන් පිළිවෙළ කතාව මෙසේය. සර්වඥයන් වහන්සේ උදන් අනා මෙසේ සිතූ සේක. මා විසින් දිගු කල් මස් ලේ ජීවිත ධන අඹුදරු පරිත්‍යාගයෙන් උතුම් පර්යංකය සඳහා අධිකතර විර්‍ය්‍යය යොදමින් වෙහෙස වීමි. මෙහි හුන් මාගේ අදහස් සම්පූර්ණ විය. මෙතැනින් නැගිටිමියි සිතා නොයෙක් කෙළලක්‍ෂ ගණන් සමවත් සමවදිමින් සතියක් විමුක්ති සැපයෙන් එම බෝධි පර්යංකයෙහිම හුන්සේක. එවිට ඇතැම් දෙවිවරුන්ට “ඒකාන්තයෙන් අදත් සිද්ධාර්ථයන්ට කළ යුතු කිස ඇත්තේය. එහෙයින් පර්යංකයෙහි ආලය අත් නොහරිතැයි යන මේ හැඟීම ඇතිවිය. ශාස්තෘෘන් වහන්සේ දෙවියන්ගේ විතර්කය දැන එය දුරු කිරීම පිණිස බෝපළඟින් නැගී ඊසාන දිග්හි සතියක් අනිමිස ලෝචනයෙන් මහාබෝධිය පුදමින් සිටියහ.
නැවත දෙවියන්ගේ ඒ සැකය දුරු කිරීමට මහා බෝධියෙන් උතුරු පස දසදහසක් සක්වළ දිගු පුළුල් සක්මනක් මවා යමාමහ පෙළහර ආදි අනේකවිධ පෙළහර දක්වමින් සතියක් සක්මන් කළහ. ඉන් බැස බෝමැඩින් නික්ම බෝධියෙන් වයඹ දිග දෙවියන් විසින් මවන ලද රුවන් ගෙයි ඉඳ තුන්පිටකය නවාංග ශාසනය සුවාසු දහසක් දහම්කඳ සම්මර්ශනය කළහ. බෝධිපර්යංකය ආදි කොට ඛන්‍ධ පරිවාර සහිත උභතො විනය පිටකය මෙනෙහි කළහ. උරුවේලාව ආදි කොට පරිනිර්වාණය තෙක් මෙදෑතුර තථාගතයන් වහන්සේ විසින් දෙසූ අටළොස් දහස් පන්සිය විසිහතරක් සූත්‍ර ද දෙසිය හැට පහක් වූ විමානවස්තු ද සැටපහක් ප්‍රේත වස්තු ද අසූවක් තෙරවරුන්ගේ සිංහනාද ද සූවිසි බුදුන්ගේ වංශය ද පන්සිය හතලිස් හතක් වූ ජාතක ද මහානිද්දේස පටිසම්භිදා අවසන් කොට ඇති සූත්‍රපිටකය මෙනෙහි කළහ.
ඉක්බිති ධම්මසංගණී, විභංග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්‍ථු, යමක, පට්ඨාන යන සප්ත ප්‍රකරණ යුත් අභිධර්මය මෙනෙහි කළහ. එහි ධම්මසංගණී ප්‍රකරණය චිත්ත, රූප, නික්ඛෙපරාසි, අත්‍ථද්වාර යයි විභක්ති සතරකි. චිත්ත විභක්තිය නම් එක්විසි කුසල් සිත්ය. දොළොස් අකුසල් සිත්ය. සතිස් විපාක සිත්ය. විසි ක්‍රියා සිත්ය. මෙසේ සංක්ෂේප වශයෙන් එකුන් අනූවක් සිත් වේ. චිත්ත විභක්තිය චිත්තුප්පාදඛණ්ඩ යනු ඊටම නමයි. එය වාචනා මාර්ගයෙන් අතිරේකයක් සහිත බණවර සයකි. විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ වේ. අනතුරුව එක් ආකාරයෙන් දෙයාකාරයෙන් ආදි වශයෙන් මාතෘකා කියා විස්තර වශයෙන් බෙදා රූප විභක්තිය දක්වන ලදි. රූපඛණ්ඩ යනු ඊටම නම් වේ. වාචානා මාර්ගයෙන් එය දෙබණවරකි. විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ වේ. අනතුරුව මූල වශයෙන්, ඛණ්ඩ වශයෙන්, ද්වාර, භූමි, ධම්ම, නාම ලිංග වශයෙනි, මෙසේ මූලාදිය නික්‍ෂෙප කොට නික්‍ෂෙපරාශිය දක්වන ලදි. නික්ඛෙප ඛණ්ඩයනු එයටම නම් වේ. එය වාචානා මාර්ගයෙන් මග්ග භාණවාරයයි, විස්තර වශයෙන් වනාහි අනන්ත අපරිමාණ වෙයි. අනතුරුව ත්‍රිපිටක බුද්ධ වචනයට අත්‍ථද්වාර වූ අට්ඨකථා ඛණ්ඩයයි එය වාචානා මාර්ගයෙන් අතිරේකයක් සහිත දෙබණවරකි. විස්තර වශයෙන් වනාහි අනන්ත අප්‍රමාණ වෙයි. මෙසේ සියලු ධම්මසංගණී ප්‍රකරණය වාචනා මාර්ගයෙන් අතිරේකයක් සහිත තෙලෙස් බණවරකි. විස්තර විසින් අනන්ත අප්‍රමාණ වේ.
අනතුරුව විභංගප්‍රකරණය අටළොස් අයුරින් බෙදා මෙනෙහි කළහ. බන්‍ධ විභංග, ධාතු, ආයතන, සච්ච, ඉන්‍ද්‍රිය, පච්චයාකාර, සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, ඉද්ධිපාද, බොජ්ඣංග, මග්ග, යෝන, අප්පමඤ්ඤා, සික්ඛාපද, පටිසම්භිදා, ඤාණ, ඛන්‍ධක, ධම්මහදයවිභංග වශයෙනි. එය වාචනා මාර්ගයෙන් සමන්නහාර වාර පන්තිසකි. විස්තර වශයෙන් අනන්ත අපරිමාණයි. අනතුරුව තුදුස් අයුරින් බෙදන ලද ධාතු කථා ප්‍රකරණය මෙනෙහි කළහ. එය සංගහ අසංගහ, සංගහිතෙන අසංගහිත, සංගහිතෙනසංගහිත, අසංගතිතේන අසංගහිත, සම්පයෝග, විප්පයෝග සම්පයුත්තේ නවිපපයුක්ත, විප්පයුත්තෙන සම්පයුත්ත, සම්පයුත්තෙන සම්පයුත්ත, විප්පයුත්තේන විප්පයුත්ත සංගහිත අසංගහිතෙන සම්පයුත්ත විප්පයුත්ත විප්පයුත්තෙන සංගහිත අසංගහිත කියායි. එය වාචානා මාර්ගයෙන් අතිරේකයක් සහිත බණවර සයකි. විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ වේ.
අනතුරුව සය ආකාරයකින් බෙදන ලද පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය මෙනෙහි කළහ. එය ඛන්ධ පඤ්ඤත්ති, ධාතු, ආයතන, සච්ච, ඉන්‍ද්‍රිය, පුග්ගල පඤ්ඤත්ති, යනුයි. වාචානා මාර්ගයෙන් එය බණවර පසකි. විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ වේ. අනතුරුව කථාවත්‍ථු ප්‍රකරණය මෙනෙහි කළහ. සච්ඡිකාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ලැබෙන්නේ ද ආදි ක්‍රමයෙන් සකවාදයෙහි සූත්‍ර පන්සියයක් ද පරවාදයෙහි සූත්‍ර පන්සියක් දැයි සූත්‍ර දහසක් ගළපා සංගීතියට නැගූ අයුරින් දීඝනිකාය තරම් වේ. අනතුරුව මුලයමක ඛන්‍ධ, ආයතන, ධාතු, සච්ච. සංඛාර, අනුසය, චිත්ත, ධම්ම, ඉන්‍ද්‍රිය යමක වශයෙන් දස වැදෑරුම් වූ යමක ප්‍රකරණය මෙනෙහි කළහ. එය වාචාන මාර්ගයෙන් බණවර දෙසීයකි. විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ වේ.
අනතුරුව සූවිසි ආකාරයකින් බෙදන ලද පට්ඨාන නම් මහා ප්‍රකරණය මෙනෙහි කළහ. එය හේතු පච්චය, ආරම්මණ, අධිපති, අනත්තර, සමනන්තර, සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, පුරේජාත, පච්ඡාජාත, ආසේවන, කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, නත්‍ථි, විගත, අවිගත පච්චය වශයෙනි. මෙසේ පච්චය වශයෙන් සූවිසි ආකාර වේ. මෙය අනුලෝම පට්ඨානයෙහි සයක් ද පච්චණික පට්ඨානයෙහි සයක් ද අනනුලෝම පට්ඨානයෙහි සය ද අනුලෝම පච්චණිකයෙහි සයකැයි මෙසේ සූවිස්සකැයි සමන්තපට්ඨාන අනන්තනය ඇති මහාප්‍රකරණය පච්චය, හේතු, පච්චණිකානුලෝම, පට්ඨාන, සමුට්ඨාන, සමෝදාන, සංසට්ඨ, සම්පයුත්ත, ගණන, පච්චුද්ධාර, විපාක භාග, රාශි වශයෙන්, සම්පිණ්ඩනය කොට මෙනෙහි කරන භාග්‍යවතුන් වහන්සේට ඒකාන්ත වශයෙන්ම මහාප්‍රකරණයෙහි ම ලා ඉඩ ලැබේ. ඤාණ පාරිසුද්ධිය වෙයි.
යම් සේ තිමිර තිමිංගල මහාමත්ස්‍ය සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මහාසමුද්‍රයෙහිම අවකාශ ලබන්නේ ද සර්වඥතාඥානය ඒකාන්තයෙන්ම මහාප්‍රකරණයෙහි ඉඩ ලබයි. සකල ශරීරයෙන් රස් විහිදුණේය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පර්යංක ඒ අනිමිස ලෝචන රුවන් සක්මන්හි ගත කළ සතිවල ශරීර රශ්මි නොවීය. භාග්‍යවතුන් වහන්සේ ජලතලගත ඉරු මඬල හා සමාන වූහ. රුවන් ගෙයි විනය පිටක, සූත්‍ර පිටක, අභිධර්මයේ ෂට් ප්‍රකරණය මෙනෙහි කරද්දී රස් නූපන්නේය. සූවිසි සමන්ත පට්ඨාන සමන්තනය මහාප්‍රකරණය මෙනෙහි කළ උන්වහන්සේගේ ධම්මානුනපස්සනා ඤාණය සමඟ පැවති සිත සියුම් විය. හෘදය වස්තුව විහිදී ලේ පිරිසිදු විය. හම පැහැදිලි විය. එකල්හි එකග සිත් ඇති භාග්‍යවතුන් වහන්සේගේ සකල ශරීරයෙහි ආලෝකය බැබළුණේය. දෙයාකාරයෙන් රැස් උපන්නේය. ප්‍රභාස්වරාලෝකය හාත්පස දොළොස් රියන් පමණ රන්දියරක ප්‍රභාව මෙන් ආලෝකය නොසිඳී නොකැඩී සකල ශරීරය පිරිවරා සිටියේය. එය පැතිරුණ ප්‍රදේශය ඉර හඳ තාරකා, මිණි ආලෝකය පිවිසීමට අසමත් විය. නීල, පීත, ලෝහිත, ඕදාත මාංජෙට්ඨ, පභස්සර බවට පත්වී නිකුත් විය.
ඉක්බිති නීල රශ්මිය ඉඳුනිල් දිය මෙන් දිය බෙරලිය මල් මෙන් තෙලින් දෙවූ නිලුපුල් පෙති කාන්තිය මෙන් වී නික්මුණේය. පීත රශ්මිය හුණු කළ රන් කිණිහිරි මල් සිරියල් විදුලිය ආකාර පැහැයෙන් විහිදුණේය. රක්ත රශ්මිය ජයකුසුම බන්‍දුජිව ඝන ලාරස මෙන් වී නික්මුණේය. සුදු රස් සක් කොඳ මුතුහර කිරි ඕසධී තාරකා පැහැයෙන් යුක්තව විහිදුණේය. මදට රස් කනේරු ආනෝජා මල් දම් මෙන් වී විහිදුණේය. පබසර රස් පැසුණු වෛදුර්යාදී බොහෝ මැණික් ආලෝක මෙන් වී විහිදුණේය. මේ සවනක් රැස් නන් අයුරින් සාර නහුත දෙදහස් යොදුන් ගණ මහ පොළොවට විහිදුණේය. පොළොව විනිවිද යට අට නහුත සාර ලක්‍ෂ යොදුන් ඝන පොළොව ධරා සිටි ජල කඳට වැදුණේය. ජල කඳ විනිවිද නව ලක්‍ෂයක් යොදුන් ඝන ජලසන්‍ධාරක වායු ස්කන්‍ධයට පිවිසියේය. වායු ස්කන්‍ධය ද විනිවිද යට අජටාකාශයට පැන යළි පරාවර්ත විය. එය උඩට නැග භවාග්‍රය තෙක් විහිදුණේය.
එකල්හි ඉරහඳ සිතුවම් රූමෙන් ආලෝක රහිත විය. චන්‍ද්‍ර ප්‍රභාව නැත. තාරකාවන්හි තාරකා ප්‍රභා නැත්තේය. දේවතා උයන් විමන් කප්රුක් ආභරණ මිණි රුවන් සමූහ නිෂ්ප්‍රභා විය. සරසට විහිදුණ ආලෝකය දසලක්‍ෂයක් සක්වළ පැතිර යළි පරාවර්තව දස බලයන් වහන්සේ කරාම පැමිණියේය.
අඳුර නැසූ විසිතුරු රශ්මිය විය. මුනීන්‍ද්‍රයන් වහන්සේ එබඳු රසින් යුතුව අප්‍රතිමව තුන් පිටකය මෙනෙහි කරමින් රුවන්ගෙය අලංකාර කළ සේක.
රතනඝරය නම් රතනමය නිසා රතනඝර නම් වෙයි. ඉක්බිති උන්වහන්සේ සතිපට්ඨාන භූමි තලයේ ඉද්ධි පාද ටැම් ඔසවා ඣාන සංඝාට යොදා විනය බිත්ති ඔසවා සූත්‍රාන්ත ගොනැස් නංවා අභිධම්ම වහලින් සෙවිලි කොට පිටකත්‍රය රුවනින් විසිතුරු කරන ලද්දේ රතනඝර නමැයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ එහි සතියක් ධර්මප්‍රීති සුවයෙන් කල් යවා එයින් නික්ම අජපාල නුග රුක්මුලට ගොස් එම නුග රුක් මුල්හිම උතුම් පර්යංකයෙන් වැඩ හුන් සේක.
එවිට තනිව විවේකව ඵලසමවතින් සිටි භාග්‍යවතුන් වහන්සේට මෙවැනි අදහසක් ඇතිවිය. ගුරුවරයෙකු නැතිව වාසය කිරීම දුකකි. නොමැනවි. මම කවර නම් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නෙම් ද කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. නොපිරිපුන් ශීලස්කන්‍ධයක් පරිපූරණයට සමාධි ස්කන්‍ධයක් පරිපූරණයට ප්‍රඥාස්කන්ධයක් පරිපූරණයට විමුත්ති ස්කන්ධයක් පරිපූරණයට විමුක්තිඥාන දර්ශන ස්කන්‍ධයක් පරිපූරණයට වෙනත් ශ්‍රමණයෙකු බ්‍රාහ්මණයෙකු සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කළ යුතු නම් තමන් වහන්සේට වඩා සීල සමාධි පඤ්ඤා විමුක්ති විමුක්තිඥානදර්ශනයෙන් වැඩි වෙනත් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයකු දෙවියන් සහිත ලෝකයේ මාරයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණ දෙව් මිනිසුන් අතර මම නොදකිමි. එබැවින් යම් මේ ධර්මයක් මා විසින් සාක්‍ෂාත් කරන ලදද එම ධර්මයම සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරමි කියායි.
එවිට සහම්පතී මහබඹ තෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත් හසර දැන බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික් කරන්නේ ද දික්කළ අතක් හකුළන්නේ ද එමෙන් බඹ ලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් ද වහන්සේ ඉදිරියේ පහළ විය. ඉක්බිති සහම්පතී මහබඹු උතුරු සළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි තබා බුදුන් දිශාවට ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. යම් පෙර බුදුවරු වුවාහු නම් උන්වහන්සේලා ද ධර්මයට සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වාසය කළ සේක. ස්වාමීනි, මෙකල අර්හත් සම්‍යග් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයට සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වාසය කරන සේකැයි ප්‍රකාශ කළේය. සහම්පතී මහාබ්‍රහ්ම තෙම මෙසේත් කීය.
යම් අතීත බුදුවරයන් වහන්සේලා විසූ සේක් ද යම් අනාගත බුදුවරයන් වහන්සේලා වෙත් ද ලෝක නායක වූ යම් සම්බුදු කෙනෙක් මෙකල වෙත් ද සියල්ලෝම ධර්මය ගුරු කොට වාසය කරන සේක. මතු වාසය කරන්නාහ. මේ බුදුවරුන් වහන්සේලාගේ ධර්මතාවයි. එබැවින් අර්ථකාමී මහත්වය කැමති බුදුරජාණන් වහන්සේ ද ප්‍රවර බුද්ධානුශාසනය වූ සද්ධර්මයම ගරුකළ යුතු වන සේක.
මෙසේ කියා සහම්පතී බ්‍රහ්ම බුදුන් වැඳ බඹ ලොවට ගියේය. භාග්‍යවතුන් වහන්සේ එහිම සතියක් ධර්මය සිතමින් විමුක්ති සුව විඳිමින් හුන්හ. එසමයෙහි මාර දිව්‍ය පුත්‍ර පස්වන සතියෙහි අජපාල නුගරුක මුල හුන් බුදුන් දැක මෙසේ සිතීය. මම මෙතෙක් කල් මොහු ලුහුබඳිමින් සිදුරක් අපේක්‍ෂා කළෙමි. මොහුගේ කිසි දොසක් නොදිටිමි. මොහු දැන් මාගේ විෂය ඉක්මවන ලදි කියා දොම්නස්ව මහමඟ හිඳ සොළොස් කරුණක් සිතීය. සොළොස් ඉරක් ඇන්දේය. මම මොහු මෙන් දාන පාරමිතාව නොපිරුවෙමි. එහෙයින් මොහු මෙන් නොවෙමි කියා එක් ඉරක් ඇන්දේය. එසේම මොහු මෙන් සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා, පාරමී නොපිරුවෙමි. එහෙයින් මොහුට සම නොවීමි. කියා දස වෙනි ඉර ඇන්දේය. එසේම මොහු මෙන් ඉන්‍ද්‍රිය පරොපරියත්ති, ආසයානුසය, මහාකරුණා සමාපත්ති, යමක පාටිහාර, අනාවරණ, සබ්බඤ්ඤුත ඤාණ යන අසාධාරණ ඤාණ ලැබීමට හේතුවන දසපාරමී නොපිරුවෙමි. එබැවින් මොහුට සමවිය නොහැකි වීමි කියා සොළොස්වන ඉර ඇන්දේය. මෙසේ මහමඟ ඉරි අඳිමින් සිටිද්දී තණ්හා, අරති, රගා තුන් මර දූවරු අපගේ පියා පෙනෙන්නට නැත. ඔහු කොහේදැයි බලන්නාහු දොම්නස්ව බිම ඉරි අඳින ඔහු දැක පියා වෙත ගොස් කුමකට දුක් දොම්නස් වූයෙහි දැයි විමසූහ. දුවරුනි, මේ මහාශ්‍රමණ තෙම මාගේ විෂය ඉක්මවීය. මෙතෙක් කල් බලා සිටත් ඔහුගේ අඩුවක් දැකීමටත් නොහැකිවීමි. එයින් දුකට පැමිණියෙමියි කීය.
එසේ නම් පියාණෙනි, නොසිතනු මැනවි. අපි අපගේ බල යොදා රැගෙන එන්නෙමුයි කීහ. දරුවනි, කිසිවෙකු විසිනුත් මොහු වසඟ කළ නොහැකිය. අචල ශ්‍රද්ධාවෙහි පිහිටියේය. මොහු මහාපුරුෂයෙකැයි කීය. “පියාණෙනි, අපි ගැහැනු වෙමු. දැන්ම ඔහු රාග පාස, තණ්හා පාස ආදියෙන් බැඳ ගෙන එන්නෙමු. ඔබ නොසිතනු මැනවැයි කියා සියලු දෙනම බුදුන් වෙත ගොස් “මහාශ්‍රමණය, ඔබට උවටැන් කරන්නෙමු.” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ වදන් සිතට නො ගත්හ. ඇස් හැර නොබැලූහ. සියලු උපධීන්ගෙන් විමුක්ත අනුත්තර මනසින් විවේක සුව විඳිමින්ම වැඩහුන් සේක. නැවත මර දූවරු “මහා පුරුෂයන්ගේ අදහස් නම් උස්පහත්ය. සමහරුන්ට කුමාරිකාවෝය. සමහරුන්ට පළමු වයස්හි සිටින්නෝය. අපි නන් වැදෑරුම් රූපයෙන් පොළඹවන්නෙමු”යි සිතූහ. ඔවුහු වෙන් වෙන්ව කුමාරිකා වෙස් මවාගෙන තම තමන්ගේ නොවැදූ කුමරි වෙසින්, වරක් දෙවරක් වැදූ මැදිවියෙහි සිටියවුන් මෙන් සවරක්ම බුදුන් වෙත පැමිණ මහාශ්‍රමණය, ඔබ වෙත උවටැන් කරන්නෙමුයි කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ද ගණන් නොගත්හ. ඒ දැක එකියක් කුමක් සඳහා තෙපි මෙසේ උත්සාහ කරන්නහු ද? මෙවැනි දේ අවීතරාගීන් ඉදිරියෙහි කළයුතු වෙයි. තථාගතයන්ට වනාහී රාග, දෝස, මෝහ, මාන ප්‍රහීණ යයි කීය. තමන් වහන්සේගේ ක්ලේශප්‍රහාණය අරභයා බුදුහු මේ ගාථාව දේශනා කළ සේක.
යමෙකුගේ ජයග්‍රහණය නොපැරද විය හැකි ද ඔහුගේ ජයග්‍රහණය ලොව කිසිසේත් නොපැරදේ. එබඳු අනන්ත ගෝචර ඇති අපද වූ බුදුරජාණන් වහන්සේ කවර පියවරකින් ගෙනයන්නහු ද යමකුට ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණාව ලොව කොතැනක වත් නැද්ද ඒ අනන්ත ගෝචර ඇති අපද වූ බුදුරජාණන් වහන්සේ කවර ලෙසින් ගෙනයන්නහු ද?
එයසා අපගේ පියා ඇත්තක්ම කීය. වීතරාගී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෙන යා නොහැකි යයි මේ ආදිය කියමින් පියා වෙතම ගියහ. භාග්‍යවතුන් වහන්සේ ද සතියක් ගෙවා එතැනින් මුචලින්ද මූලයට වැඩිසේක. එහිදී සත්තාහවද්දලිකා නම් වැසි උපන් හෙයින් සීතල වැළකීම පිණිස මුචලින්ද නාගරාජයා විසින් සත් දරණ පොටකින් හා පෙණයෙන් වට කරනු ලැබූ උන්වහන්සේ සම්බාධ රහිත ගඳකිළියක මෙන් විමුක්ති සුව විඳිමින් සතියක් ගෙවා එතැනින් රාජායතන මූලයට වැඩ විමුක්ති සුවයෙන්ම සතිය ගෙවූ සේක. මෙ පමණකින් සත්සතිය පරිපූර්ණ විය.
මේ අතර මූණ සේදීම් ආදි සිරුරු කිසක් නොවීය. ධ්‍යාන මාර්‍ගඵල සුවයෙන් සත්සති ගෙවා එකුන් පනස් වන දින එහි වැඩහුන් උන්වහන්සේට මුව දොවන්නෙමියි සිත් විය. එවිට සක්දෙව් රජ අනෝතත් විලින් අරළු ගෙනවුත් පිදීය. එය වැළඳීමෙන් උන්වහන්සේට සිරුරු කිස සිදුවිය. අනතුරුව සක් දෙවිඳුම හිමවතින් නාගලතා දැහැටි ද අනෝතත් විලින් මුව සේනා පැන් ද පිළිගැන්විය. බුදුහු දැහැටි වළඳා අනෝතත් දියෙන් මුහුණ සෝදා රාජායතන මුල්හිම වැඩ සිටියහ.
එසමයෙහි තපස්සු භල්ලුක නම් වෙළෙඳුන් දෙදෙන පන්සියයක් ගැලින් උක්කට්ඨා ජනපදයේ මධ්‍යම දේශයට යන්නාහු සිය නෑ සහලේ දෙවියන් විසින් ගැල් නැවැත්වීමෙන් එතැනට පැමිණියහ. ඔවුහු බුදුන් දැක පහන් සිතින් ආදර බුහුමන් ඇතිව දෙවියන් විසින් ශාස්තෲන් වහන්සේට අහර සම්පාදනය කිරීම සඳහා උත්සාහවත් කරන ලදුව මී සහ මී පිඬු ගෙන භාග්‍යවතුන් වහන්සේ මේ අහර අපට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වායි පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ කිරිපිඬු පිළිගත් දිනයෙහිම පාත්‍රය අතුරුදන් වූ බැවින් තථාගතයන් වහන්සේලා පාත්‍රයක් නොමැතිව නොපිළිගනිති. කුමකින් පිළිගන්නෙම් දැයි සිතූ සිත දැන ලෝක පාල රජවරු සතරදෙන සිවු දෙසින් ඉඳුනිල් මිණිමුවා පාත්‍ර සතරක් ගෙනවුත් පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළහ. ඒ සිවුවරම් රජවරු ඔවුන්ගේ පාත්‍ර බුදුන්ට අකැප බව දැන නැවත මුං වන් සෙල්මුවා පාත්‍ර සතරක් පිළිගැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට අනුකම්පාවෙන් පිළිගෙන මතු මත්තෙහි තබා එකක් වේවායි ඉටූ සේක. උන්වහන්සේගේ අදිටන් බෙලෙන් සතර මුවවිට පෙනෙමින් රේඛා බවට පත්ව මධ්‍යම ප්‍රමාණ එක් පාත්‍රයක් බවට පත්විය. භාග්‍යවතුන් වහන්සේ ඒ වටිනා ශෛලමය පාත්‍රයෙන් අහර පිළිගෙන වළඳා අනුමෝදනා කළහ.
සහෝදර වෙළෙඳුන් දෙදෙනා බුදුන් ද ධර්‍මය ද සරණ ගොස් උපාසක බවට පැමිණ “ස්වාමීනි, ලෝක නායකයන් වහන්ස, අපට පුද කළ යුතු යමක් දුන මැනව”යි කීහ. එවිට උන් වහන්සේ දකුණතින් හිස පිරිමැද ජීවමාන කේශ ධාතු ඔවුන්ට දුන්හ. ඔවුහු සිය නුවර ධාතු ඇතුළත් චෛත්‍යයක් කළහ. සම්මා සම්බුදුහු රාජායතන මුලින් අටවන සතියෙහි නැවතත් අජපල් මුලට වැඩ එහි තනිව ඵල සමවතින් හුන්හ. තනිව විවේක වාසයෙහි සිටි උන්වහන්සේට තමන් අවබෝධ කළ ධර්මයෙහි ගැඹුරු සියුම් බව මෙනෙහි කරත්ම සියලු
බුදුවරුන්ට ආචීර්ණ වු මේ අදහස ඇති විය. මා විසින් අවබෝධ කළ ධර්‍මය ගැඹුරුය. දුර්දසය. දුරනුබෝධය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් නොගත හැකිය. නිපුණය. පණ්ඩිත වේදනීය ද වේ. මේ ප්‍රජාව ආලයෙහි ඇලුණෝය. ආලයෙන් නැගී සිටින්නෝය. මේ ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදය දැකීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සමනය සියලු උපධි නැසීම නම් වූ තණ්හාක්‍ෂය කිරීම විරාගය නිරෝධය නිබ්බානය යන යමක් ඇත් ද එය ද දක්නට අපහසුය. මම ධර්‍මය දේශනා කරන්නෙම් නම් මගේ දහම අනුන් නොදන්නාහු නම් එය මට වෙහෙසකි. එය මට අපහසුවකි. භාග්‍යවතුන් වහන්සේට පෙර අසා නැති මේ අසිරිමත් ගාථා වැටහී ගියේය.
මා විසින් දුකසේ අවබෝධ කළ ධර්‍මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසුය. රාග දෝෂයන්ගෙන් පිරුණවුන් විසින් මේ ධර්‍මය අවබෝධ කිරීම අපහසුය. පටිසෝතයට ගමන් කරන නිපුණ ගැඹුරු දැකීමට අපහසු සියුම් ඒ ධර්‍මය අඳුරින් වටවූ රාගයෙන් රත්වූවාහු නොදකිත්.
මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහි බවට නැමේ. ධර්මදේශනයට නොනැමේ. කුමක් හෙයින් උන්වහන්සේගේ සිත මෙසේ නැමේ ද? උන්වහන්සේ පෙර දීපංකර බුදු පාමුල්හි මිදී මුදවන්නෙමි. තරණය වී තරණය කරවන්නෙමි යි කියා ප්‍රාර්ථනා කළ සේක් නොවේ ද?
අප්‍රකට වේශයෙන් ධර්‍මය සාක්ෂාත් කිරීමෙන් මෙහි මට කවර ප්‍රයෝජනයක් ද? සර්‍වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා එගොඩ කරවන්නෙමි.
කියා පතා පැරුම් පුරා සර්‍වඥ බවට පත්වූ සේක. ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් වනාහි උන්වහන්සේගේ සිත මෙසේ නැමේ. බුදධත්‍වයට පත්ව සත්ත්වයන්ගේ කෙලෙස් ගහණ බවත් ධර්‍මයෙහි ගැඹුරත් ප්‍රත්‍යවේක්‍ෂා කළ උන්වහන්සේට මෙසේ සිත් විය. මේ සත්ත්වයෝ
කැඳ පිරවූ ලබු මෙන් ගිතෙල් පිරවූ සැළි මෙන් වසා තෙල් තැවරූ රෙදි කැබලි මෙන් අඳුන් තැවරුණු අත් මෙන් කෙලෙස් භරිතව අතිශයින් කිලිටිව රාගයෙන් රත්ව ද්වේෂයෙන් දුෂ්ටව මෝහයෙන් මුළාව සිටිති. ඔවුහු කුමක් නම් අවබෝධ කරත්දැයි සිතද්දී කෙලෙස් ගහණ බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ බලයෙන් සිත මෙසේ නැමී ගියේය. මේ ධර්‍මය පොළොව දරා සිටින දිය කඳ මෙන් ගැඹුරුය. කන්දක සඟවා තැබූ අබැටක් මෙන් දැකීමට අපහසුය. සතට පැළූ අස්ලොමක් මෙන් දුරනුබෝධය. දුකසේ අවබෝධ කළ යුතුය. සුවසේ අවබෝධ කළ නොහැකිය. මා විසින් මේ ධර්‍මය අවබෝධ කිරීමට වෑයම් කරමින් නොදෙන ලද දනක් නම් නැත. නොරැකි සීලයක් නම් නැත. නොවැඩූ භාවනාවක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නම් නැත. ඒ මට සවස නිරුත්සාහයෙන් මෙන් මාර පරාජය කරද්දී මහ පොළොව කම්පා නොවීය. පළමුයම පෙර විසීම් සිහි කරත්දීත් කම්පා නොවීය. මැදියම දිවැස පිරිසිදු කරද්දීත් කම්පා නොවීය. අලුයම දොළොස් අංග ඇති, අර්ධ තුනක් ඇති, සන්‍ධි තුනක් ඇති සංඛේප සතරක් ඇති, ආකාර විස්සක් ඇති, පටිච්ච සමුප්පාදය අවබෝධ කරද්දීම මේ දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. මෙසේ මා වැන්නකු විසිනුත් තියුණු නුවණින් දුකසේ මේ ධර්‍මය අවබෝධ කරන ලදි. එය කෙසේ ලෞකික මහජනයා අවබෝධ කරත් ද?
මෙසේ ධර්‍ම ගම්භීරතාව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ ආනුභාවයෙන් ද සිත නැමී ගියේය. තවත් කාරණයෙකි. මේ ධර්‍ම ගෞරවය කරනු කැමති මහබඹු විසින් ආයාචනා කළ කල දේශනා කරනු කැමතිවීම නිසා ද මෙසේ සිත නැමී ගියේය. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධඥානයෙන් මාගේ සිත මන්දෝත්සාහි බවට පත් වූ පසු ධර්‍ම දේශනා කිරීම පිණිස මහාබ්‍රහ්මතෙම මට ආයාචනා කරන්නේය. මේ සත්ත්වයෝ බ්‍රහ්මයා ගුරු කොට ඇත්තෝය. ශාස්තෘන් වහන්සේ දම් දෙසනු කැමති වෙති. එවිට උන් වහන්සේට මහාබ්‍රහ්ම අයැද දේශනා කරවයි. භවත්නි, ධර්‍මය ඒකාන්තයෙන් ශාන්තය. ධර්‍මය ඒකාන්තයෙන් ප්‍රණීතය කියා සිතමින් අසනු කැමති වෙති. මේ කාරණය නිසාත් මන්දෝත්සාහයට සිත නැමී ගියේය. දහම් නොදෙසීමට සිත නැමී ගියේයයි දත යුතුය.
එකල්හි සහම්පතී මහාබ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත් හසර සිතින් දැන මෙසේ අදහස් කළේ ය. “භවත්නි, ලෝකය නැසෙයි. භවත්නි, ඒකාන්තයෙන් ලෝකය වැනසෙයි. යම් හෙයකින් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට නැමෙයි. ධර්ම දේශනාවට නොනැමෙයි. මහහඬින් කීය. එකෙණෙහිම දසසහස්‍රී ලෝක ධාතුවෙහි බ්‍රහ්මයෝ ද ශක්‍රාදි දෙවියෝ ද සහම්පතී බ්‍රහ්මයාගේ ශබ්දය අසා රැස් වූහ. ඉක්බිති මහාබ්‍රහ්මතෙම යම් සේ බලවත් පුරුෂයෙක් වත්කළ අතක් දිග හරින්නේ ද දික් කළ අතක් හකුළන්නේ ද එමෙන් බඹලොවින් අතුරුදන්ව දසසහස්‍රී ලෝකධාතුවෙහි බ්‍රහ්ම සමූහයා ද ශක්‍ර සුයාම, සන්තුසිත, පරනිම්මිත වසවත්ති දේව සමූහයා ද සමඟ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේය.
එවිට සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව සකස් කොට දකුණු දණ මඬල බිම තබා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා. ස්වාමීනි, අල්ප රජස්ක සත්ත්වයෝ සිටිති. ධර්‍මය නො ඇසීමෙන් පිරිහෙති. ධර්‍මය දැනගන්නෝ සිටිති. ස්වාමීනි, ලෝකානුකම්පාවෙන් පෙර බුදුවරුන් වෙත දසපුණ්‍යක්‍රියා වස්තු වශයෙන් කළ පැතුම් ඇති, මේරූ නෙළුම් හිරු එළියේ ස්පර්ශය බලාපොරොත්තු වන්නාක් මෙන් ධර්‍ම දේශනාව බලාපොරොත්තු වෙමින් සතර පද ගාථාවක් හෝ ඇසීමෙන් ආර්‍ය්‍ය භූමියට බැස ගැනීමට සුදුස්සෝ සිටිති. එකෙක් නොවේ. දෙදෙනෙක් නොවෙති. නොයෙක් සිය දහස් ගණන් ධර්‍මය දැන ගන්නෝ සිටිති. ඔබ වහන්සේ බොහෝ කල්පවල අනන්ත දුක් විඳ මුළු ලෝකයා ගොඩලීම සඳහා පැරුම්පුරා බුදුබවට පැමිණි සේක. ලෝකය අනාථය. ධර්‍ම දේශනා කරනු මැනවි. සහම්පතී මහාබ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ ද කීය.
කෙලෙස් මලින් යුතුව සිතන ලද අසුද්ධ ධර්‍මය පෙර මගධයෙහි පහළ විය. අමාදොර විවෘත කරනු මැනව. නිර්‍මලයන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්‍මය අසති. කඳු මුදුනක සිටි සිංහයෙක් සුවසේ අවට සිටි ජනතාව දකී ද සුමේධයන් වහන්සේ එබඳු උපමා ඇති ධර්‍මප්‍රාසාදයට නැග ජාති ජරාවෙන් මැඩුණවුන් බලන සේක්වා. සමතැස් ඇත්තවුන් වහන්සේ ශෝකාවතීර්‍ණ ජනතාවගේ සෝ දුක් දුරු කරන සේක්වා.
එවිට භාග්‍යවතුන් වහන්සේ බඹහුගේ අදහස් දැන සතුන්ට කරුණාවෙන් බුදුඇසින් ලොව බැලූ සේක. භාග්‍යවත් බුදුරදුන්ට පස් ඇසක් ඇත්තේය. කුමක් ද? බුද්ධචක්ඛු, සමන්තචක්ඛු, ධම්මචක්ඛු, පඤ්ඤාචක්ඛු, දිබ්බචක්ඛු යනුයි. බුදු ඇස කුමක් ද? ඉන්‍ද්‍රියපරොපරියත්ති ඤාණය සහ ආසයානුසය ඤාණය යි.
මේ දෙනුවණ බුද්ධචක්ඛු නම් වේ. සබ්බඤ්ඤුත ඤාණයම වනාහි සමන්තචක්ඛු නම් වේ. එම ඤාණ තුන ධම්මචක්ඛු නමි. පඤ්ඤා පජානනා ආදියෙහි කී යම් නුවණක් ඇත් ද එය පඤ්ඤා චක්ඛු නමි. මානුෂික ශක්තිය ඉක්මවූ අත්‍යන්ත විශුද්ධ මුළු ලොව දැකීමට සමත් යම් ඥානයක් වෙයි ද එය දිබ්බචක්ඛු නමි.
මෙහි වනාහි මෙයින් කවර ඇසකින් භාග්‍යවතුන් වහන්සේ බලන සේක් ද? ඉන්‍ද්‍රියපරොපරියත්ති ඤාණයෙන් සහ ආසයානුසය ඤාණයෙනි. බුදු ඇසින් ලොව බලද්දී භාග්‍යවතුන් වහන්සේ අල්ප රජස්ක මහාරජස්ක තික්ඛ ඉන්‍ද්‍රිය, මුදුඉන්‍ද්‍රිය සුවාකාර, දුවාකාර, පහසුවෙන් වටහා දිය හැකි පහසුවෙන් වටහා දිය නොහැකි භව්‍ය අභව්‍ය පරලොව වරද බිය දකිමින් වාසය කරන සමහර සතුන් ද පරලොව වරද බිය නොදකිමින් වාසය කරන සමහර සත්ත්වයන් ද දුටු සේක. යම් සේ වනාහි උපුල් විලක හෝ පියුම් විලක හෝ රතු පියුම් විලක උපුල් හෝ පියුම් හෝ රතු පියුම් දියෙහි හටගත් දියෙහි වැඩුණු දියෙන් උඩට නොපැමිණි ඇතුළෙහි ගිලී පෝෂණය වන සමහර උපුල් ද පියුම් ද රතු පියුම් ද, දියෙහි හටගෙන දියෙහි වැඩී දිය හා සමව පවත්නා සමහර උපුල් පියුම් රතු පියුම් ද, දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් උඩට නැගී දියෙහි නොතැවරී තිබෙන සමහර උපුල් පියුම් රතු පියුම් ද මෙනි.
එහිදී යම් මල් දිය ඉක්මවා සූර්‍ය්‍යරශ්මි ස්පර්ශය බලාරොත්තුවන අද පිපෙන මල් තිබේ ද යමක් හෙට පිපෙන මල් ද යමක් දියෙන් නොනැගී කිමිදී වැඩෙන තුන් වන දින පිපෙන මල් ද වේ. යමක් නොපිපීම මස් කැසුබන්ගේ ආහාරම බවට පත්වෙයි ද ඒ සතර වැදෑරුම් මල් මෙන් පුද්ගලයෝ සතර දෙනෙක් උද්ඝටිතඥ, විපචිතඥ, ඤෙය්‍ය, පදපරම යයි වෙති. යම් පුද්ගලයෙකුට උදාහරණ දක්වන වේලෙහිම ධර්මාවබෝධය වෙයි ද හෙතෙම උද්ඝටිතඥ නම් වෙයි. යම් පුද්ගලයෙකුට කෙටියෙන් කී දෙයෙහි අර්ථය විස්තර දැක්වීමෙහි දී ධර්මාවබෝධ වෙයි නම් හෙතෙම විපචිතඥ නම් වෙයි. යම් පුද්ගලයෙකුට උද්දේශ, පරිපුච්ඡනා, යොනිසෝමනසිකාර, කල්‍යාණමිත්‍ර සේවන භජන පර්‍ය්‍යුපාසනයෙන් ධර්මාවබෝධ වෙයි නම් ඒ පුද්ගලයා ඤෙය්‍ය නමි. යම් පුද්ගලයෙකුට බොහෝ අසා බොහෝ ධරාත් ධර්මාවබෝධ නොවෙයි නම් ඒ පුද්ගලයා පදපරම නමි.
එහිදී භාග්‍යවතුන් වහන්සේ උපුල් වනයක් සමාන දසසහස්‍රී ලෝක ධාතුව බලා උද්ඝටිතඥයෝ අද පිපෙන මල් මෙන්ද විපචිතඥයෝ හෙට පිපෙන මල් මෙන් ද ඤෙය්‍යයෝ තෙවන දින පිපෙන මල් මෙන් ද පදපරමයා මස් කැසුබන්ට අහරව නොපිපෙන මල් මෙනැයි ද මෙසේ සියලු අයුරින් ලොව දුටහ. එහි පුද්ගලයන් තිදෙනෙකුට මේ ජීවිතයෙහිම භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍ම දේශනය අර්‍ථ සාදයි. පදපරමයන්ට අනාගත වාසනාව සඳහා හේතු වෙයි. උන්වහන්සේ මේ සිවු පුද්ගලයන්ට ධර්‍ම දේශනය වැඩ සිදු කරන්නේයයි දැන දෙසනු කැමති බව උපදවා නැවත තුන් භවයෙහි සත්ත්වයන් භව්‍ය, අභව්‍ය වශයෙන් දෙකොටසක් කළහ. එහි අභව්‍ය සත්ත්වයෝ කවරහු ද? කම්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණවලින් යුත් ශ්‍රද්ධාව නැති කත්තුකම්‍යතාඡන්‍දය නැති දුෂ්ප්‍රාඥ සත්ත්වයෝ අභව්‍යයෝ වෙති. කුසල් දහම් මාර්‍ගයෙහි බැස ගැනීමට නොහැකි වූවෝ වෙති. කර්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණ රහිත වූ ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥා සම්පන්න යම් සත්ත්වයෝ වෙත් ද ඔව්හු අරි අටඟිමග සහ කුසල් දහම්හි බැස ගැනීමට භව්‍ය වෙති. මේ සත්ත්වයෝ භව්‍යයෝය.
ඉක්බිති සර්‍වඥයන් වහන්සේ සියලු අභව්‍ය පුද්ගලයන් හැර භව්‍ය පුද්ගලයන් නුවණින් ගෙන ලෝකයෙහි අවබෝධ කරවිය හැකි බුදුන් විසින් හික්මවිය හැකි පෙර බුදු වරුන් විෂයෙහි ප්‍රාර්ථනා තැබුවන් බලමින් පස් අයුරකින් සලකා බැලූහ. මාගේ ප්‍රථම බෝධියෙහි මධ්‍යම බෝධියෙහි පශ්චිම බෝධියෙහි හා පිරිනිවන් නො පෑ කල බුද්ධ වෙනෙය්‍ය වූ ද මා පිරිනිවි කල ශ්‍රාවක වෙනෙය්‍ය වූ මෙපමණ සත්ත්වයෝ ද සසර සයුරෙන් මිදෙත්. ඔවුහු වනාහි අභිසම්බෝධියෙහි පටන් පිරිනිවීම දක්වා බුද්ධ වෙනෙය්‍යයෝ විසිඅසංඛ්‍ය සතිස්කෝටි ලක්‍ෂ, හැත්තෑහත්කෝටි දහසක් ද අසූ කෝටියක් ද වෙති. ශ්‍රාවක වේනෙය්‍යයෝ වනාහි සාරාසංඛ්‍ය දෙසාලිස් කෝටි ලක්‍ෂ, කෝටි පනස් දහස් සිය කෝටියකි. සියල්ලන් එක්ව සංග්‍රහ කිරීමෙන් සූවිසි අසංඛ්‍ය කෝටි ලක්‍ෂ හැත්තෑ හතක් ද, කෝටි විසි හත් දහසක් ද සියක් කෝටි හතලිස් හතක් ද කෝටි සියයක් ද වෙයි.
මොහු සියල්ලෝම පෙර බුදුවරුන් වෙත කරන ලද පැතුම් ඇත්තාහු නිපුණ වෙදෙකුගේ ශල්‍ය කර්මය සඳහා යෙදිය යුතු සැතක එක්වීම බලාපොරොත්තුවන මේරූ පැරණි ගඬුවක් මෙන් මවිසින් යොදනු ලබන ධර්‍මදේශනා නැමති සැතෙහි එක්වීම බලාපොරොත්තු වෙති. මේරූ නෙළුමක් හිරුරැස් එක්වීම බලාපොරොත්තු වන්නාක් මෙනි. මාගේ දේශනා රශ්මියෙහි එක්වීම බලාපොරොත්තුවෙති. මහ බඹු විසින් අයදනා ලද කරුණු මාගේ බුදු අසැට ද ප්‍රකටමය. මම ඔහුගේ අදහස් බලා සත්ත්වයන්ගේ ක්ලේශ දරථ සන්සිඳුවීම සඳහා උතුම් දහම් වැසි වස්වන්නෙමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බඹු හට ප්‍රතිඥා කරමින් ගාථාවකින් වදාළ සේක.
ඔවුන්ට අමාදොර විවර කළෙමි. අසනු කැමැත්තෝ ශ්‍රද්ධාව පෙරදැරි කර ගනිත්වා. බ්‍රහ්මය, හිංසාවකැයි යන හැඟීමෙන් අවබෝධ කළ ප්‍රණීත ධර්මය මිනිසුන් අතර ප්‍රකාශ නොකෙළෙමි.
එවිට සහම්පතී බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම දේශනාව සඳහා ඉඩ සැලසූ සේකැයි දැන අතිශයින් සතුටු සිත් ඇතිව බුදුන් පසසමින් මෙසේ කීය. ක්ලේශ භග්න කළ සවාමීනි, සත්ත්වයන් හික්මවන ස්වාමීනි, ඤාණ ඇති ස්වාමීනි, මහා කාරුණික ස්වාමීනි, මහජනායට සංග්‍රහ පිණිස ආර්‍ය්‍ය අෂ්ටාංශික මාර්‍ග නැමති යතුරෙන් නිවන් පුර දොර විවර කරමින් අදාන්තයන් දමනය කොට අමුක්තයන් මුදා තරණය නොකළවුන් තරණය කරවා නොසැනසුණවුන් සනසා නොනිවුණවුන්. නිවා තුන් භවයෙහි අවබෝධ කටයුතු බන්‍ධූන් සතිපට්ඨාන පොළෝතලයෙහි හොවා සතර සෘද්ධිපාදයෙන් මැඩ ශ්‍රද්ධා හස්තයෙන් ධර්‍මදේශනා සැත ගෙන අවිද්‍යා ගඩුව පළා සව් කෙලෙස් සැරව ඇද විදර්ශනා ක්‍ෂාරයෙන් දොවා මෙත් දියෙන් සෝදා සිවුසස් ආලේපය දී සිල් සුළඟින් සිඳුවා විමුක්ති රස පොවා දිට්ඨධම්මසුඛවිහාර බෙහෙත් කවා සියලු උපධික්‍ෂය නම් සිහිල් බව උපදවා සතුටු කරනු මැනවැයි ආරාධනා කළේය. මෙසේ සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට පහන් දුම් ගඳමල් ආදියෙන් පුදා පසඟ පිහිටුවීමෙන් වැඳ හුනස්නෙන් නැගී තෙවරක් පැදකුණු කොට පිරිවර සහිතව අතුරුදන්ව බඹලොවටම ගියේය. එවිට සක් දෙව් රජ බුදුන් වැඳ “භාග්‍යවතුන් වහන්සේ ධර්‍මදේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා. ඔබ වහන්සේගේ අණෙහි නොපවත්නා කල්හි මම පවත්වන්නෙමි. ඔබ වහන්සේගේ ධර්‍ම චක්‍රය වේවා. අපගේ ආඥා චක්‍රයයි” කියා ප්‍රතිඥා දී පිරිවර සහිතව දෙව්ලොවට ගියේය.
ලෝක නායකයාණන් වහන්සේ අට වන සතියෙහි ඇසළ මස පෙර පස තුදුස්වක දින බ්‍රහ්මයාචනය පිළිගෙන මෙසේ සිතූහ. මම පළමුව කාහට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්‍මය අවබෝධ කරන්නේ ද? කියා යි. එවිට උන්වහන්සේට “මේ ආළාරකාලාම පණ්ඩිතය, ව්‍යක්තය, ප්‍රාඥය, බොහෝ කල් මඳ කෙලෙස් රජස් ඇත්තෙකි. මම පළමුව ආළාරකාලාමහට ධර්ම දේශනා කරන්නෙම් නම් මැනවි. ඔහු මේ දහම වහා අවබෝධ කර ගනී” කියා සිත්විය. එවිට නොපෙනී සිටි දෙවියෙකු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආළාරකාලාම මියගොස් සතියකැ”යි සැලකළේය. බුදුරජාණන් වහන්සේට ද ආළාරකාලාම මියගොස් සතියෙකැයි ඤාණය ඇති විය. ආළාරකාලාමයන්ට මහත් හානියකි. ඉඳින් ඔහු මේ ධර්‍මය ඇසුවේ නම් වහා අවබෝධ කරන්නේය කියා සිත් විය. කවරකු හට මම පළමුව දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේ ද? මේ උද්දකරාමපුත්ත පණ්ඩිතය, ව්‍යක්තය, ප්‍රාඥය, දිගු කල් මඳ කෙලෙස් ධූලි ඇත්තේය. මම උද්දකරාමපුත්තයන්ට පළමුව දහම් දෙසන්නෙම් නම් මැනවි. හෙතෙම වහා මේ දහම අවබෝධ කර ගනී. එවිට ද උන්වහන්සේට නොපෙනී සිටි දෙවියෙක් ස්වාමීනි, උද්දකරාමපුත්ත පාන්දර මිය ගියේයැයි සැල කළේය. උන්වහන්සේ ද බුද්ධඤාණයෙන් ඔහු පාන්දර මිය ගිය බව දැන උද්දකරාමපුත්තයන්ට මහඅලාභයකි. ඉඳින් හෙතෙම මේ දහම ඇසුවේ නම් වහා වටහා ගනී. කවරෙකුහට මම පළමුව දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ දහම වහා වටහා ගනීදැ”යි ආවර්ජනා කරන්නාහු කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ පස්වග තවුසන් සිහි කළහ. මේ පස්වග භික්‍ෂූහු මට බහූපකාරය. ප්‍රධන් වැඩීමේ දී මට උපස්ථාන කළහ. මම පස්වග භික්‍ෂූන්ට පළමුව දහම් දෙසන්නෙම් නම් මැනවි කියා සිතූහ.
මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ තෙමේ ඒ සඳහාම පියුමතුරා බුදුන් හමුයෙහි පටන් කප් ලක්‍ෂයක් පෙරුම් පිරීය. විපස්සී බුදුන් කල ද බුද්ධප්‍රමුඛ අටසැට ලක්‍ෂයක් භික්‍ෂූන්ට නව වරෙක අග සස් දන් පිරිනැමීය. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයන් හැර මේ අග්‍රධර්මය අවබෝධ කර ගැනීමට සමර්ථ අන් කිසිවෙක් නැත. පස්වග භික්‍ෂූහු දැන් කොහි වෙසෙත් දැයි විමසූහ. භාග්‍යවතුන් වහන්සේ අතිමානුෂික විශුද්ධ දිවැසින් බරණැස ඉසිපතන මිගදායෙහි පඤ්චවර්ගීය භික්‍ෂූන් දුටහ. දැක දෙවන දින ඇසළ පොහෝ දිනයෙහිම අජපල් නුගරුක් මුලින් නැගී පා සිවුරු ගෙන උරුවේලාවෙහි සේනානිගමයෙහි පිඬු පිණිස හැසිර දන් වළඳා බරණැසට යමියි නික්ම චක්‍රාදි නොයෙක් වර ලකුණින් හෙබි සුප්‍රතිෂ්ඨිත සම පාකමලින් පොළෝතලය ඇක්මවමින් අටළොස් යොදුන් මඟට වැඩියහ. උපක ආජීවක මහබෝධියටත් ගයා ගමටත් අතර දික් මඟට පිළිපන් අතිශය මනහර සකල සත්ව නයන රසායන හාත්පස විසිරෙන මනහර වර්ණ ඇති බුදු බවට පත් සුදාන්ත සුරත් රන්පිළිමයක් වැනි හාත්පස දොළොස්රියන්හි සුචිර පිඤ්ජරප්‍රභාවෙන් බබළන භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. උන්වහන්සේ දුටු උපක ආජීවක අසිරි අද්භූත විස්මයට පත්ව කවර නම් ආශ්චර්ය අද්භූත රූපයක් ද රූමතුන්ටත් රූමත්යයි බුදුන් කරා පැමිණ “ඇවැත්නි, ඉන්‍ද්‍රියයන් පැහැදිලිය, පිරිසිදුය, ඡවි වර්ණය පැහැපත්ය, කවරකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබගේ ශාස්තෘෘවරයා කවරෙක් ද? කවරක්හුගේ ධර්මය රුචිකරන්නහු දැයි ඇසූහ. මෙසේ කී කල පාදචාරී භාග්‍යවතුන් වහන්සේ තමන් සර්වඥ බැවින් අනාචාර්ය බව දන්වමින් උපක ආජීවකට ගාථාවෙන් මෙසේ වදාළ සේක.
සියල්ල මැඩලීමි. සියල්ල දනිමි. සියලු දහම්හි නොඇලුණෙමි. සියල්ල හැර තෘෂ්ණාක්‍ෂයෙන් මිදුණෙමි. තමන්ම දැන කවරෙකු උදෙසම් ද? මට ආචාර්යවරයෙක් නැත. මට සමවූවෙක් ද නැත්තේය. දෙවියන් සහිත ලෝකයෙහි මට සමවූවෙක් නැත. මම ලොව අර්හත් වෙමි. මම ලෝකයෙහි අනුන්තර සම්මා සම්බුද්ධ වෙමි. සිහිල් වූයෙමි. නිවුණෙමි. ධර්‍මචක්‍රය පැවැත්වීමට කසී පුරයට යමි. අන්‍ධභූත ලෝකයෙහි අමා බෙරය වයන්නෙමි.
ඇවැත්නි, ඔබ ප්‍රතිඥා කරන අන්දමට අනන්තජින යයි කීමට සුදුසු වන්නෙහිය.
මා වැනි ජිනවරු වෙත් ද ඔවුහු ආශ්‍රවක්‍ෂයට පත්වුවෝ වෙති. මා විසින් ලාමක දහම් පරාජය කරන ලදි. උපක, එබැවින් මම ජිනවෙමි.
මෙසේ වදාළ කල උපක ආජීවක භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ගෞරවය ඇතිව ඇවැත්නි, විය හැකිය කියා හිස සලා කුඩා මඟකින් ගියේය. එවිට උත්තම සුගතයන් වහන්සේ උපකාජීවකට තම නම කියා අටළොස් යොදුන් මඟින් බරණැසට ගොස් සවස ඉසිපතනයට වැඩි සේක. එවිට ඒ පස්වග තවුසෝ ඒකාචාරී කේසර සිංහයකු මෙන් වඩින බුදුරජාණන් වහන්සේ දුරදීම දැක උනුන්ට මෙසේ කතිකාකර ගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමයෝ බාහුලිකව ප්‍රධන් වීර්‍ය්‍යය අතහැර බාහුලික බවට පත්ව එති. ඔහුට නොවැඳිය යුතුය. පා සිවුරු නොපිළිගත යුතුය. නමුත් අසුනක් පමණක් පැනවිය යුතුය. කැමති නම් වාඩිවෙයි කියා යි. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ළඟට පැමිණෙත්ම ඒ පස්වග තවුසෝ ස්වකීය කතාවෙහි නොපිහිටා නැගිට පෙරගමන් කොට එක් නමක් උන්වහන්සේගේ පාසිවුරු පිළිගත්තේය. එක් නමක් අසුනක් පැනවීය. එක් නමක් පා දෝනා පැන් තැබීය. එක් නමක් පාපුටුව තැබීය. එක් නමක් පා සේදීය. පැනවූ අස්නෙහි උන්වහන්සේ වාඩි වූහ. නමුත් භාග්‍යවතුන් වහන්සේට නමින් ද ආවුසෝ වාදයෙන් ද කතා කරති. එවිට භාග්‍යවතුන් වහන්සේ බුදු බල දක්වමින් ඔවුන්ට මහණෙනි, තථාගතයන් වහන්සේට නමින් සහ ආවුසෝ වාදයෙන් කථා නොකරව්. මහණෙනි, මම තථාගත අරහත් සම්බුද්ධ වෙමි. මහණෙනි, ඇහුම් කන් දෙව්. අමෘතය අවබෝධ කළෙමි. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. දක්වන ලද පරිදි පිළිපදිනවුන්ට නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාව ගිහිගෙන් නික්ම අනගාරික සසුන්හි පැවිදි වෙත් ද, ඒ උතුම් බඹසර කෙළවර ඉහාත්මයෙහිම තමන්ම මනානුවණින් පසක් කොට ලබා වාසය කරන්නාහයි වදාළ සේක.
මෙසේ වදාළ කල්හි පස්වග භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ඇවැත්නි ගෞතමයෙනි, එවැනි ආර්‍ය්‍ය ප්‍රතිප්‍රදාවකිනුත් එවැනි දුෂ්කර ක්‍රියාවකිනුත් මිනිස් දහමින් වඩා වැඩි ආර්‍ය්‍ය ඤාණ දර්ශන විශේෂයක් සාක්ෂාත් නොකෙළෙහිය. කිමෙක් ද ඔබ දැන් බාහුලිකව ප්‍රධන් අතහැර බහුලත්‍වයට වැටී මිනිස් දහමට වඩා වැඩි ආර්‍ය්‍ය ඤාණ දර්ශන විශේෂයක් කෙසේ අවබෝධ කරන්නෙහි ද කියා බුදුරජාණන් වහන්සේට කීහ. මෙසේ කී කල භාග්‍යවතුන් වහන්සේ පඤ්චවර්ගීයයන්ට “මහණෙනි, තථාගතයෝ බාහුලික නොවෙති. ප්‍රධන් වීර්‍ය්‍යය අතහැර දැමුවෝ නොවෙති. බහුලත්‍වයට වැටුණාහු නොවෙති. මහණෙනි, මම තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මහණෙනි, කන් යොමු කරව්. නිවන අවබෝධ කළෙමි. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනා පරිදි පිළිපදනාහු නොබෝ කලෙකින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාව ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදි වෙත් නම් ඒ උතුම් බ්‍රහ්මචරියාවසානය ඉහාත්මයෙහිම තෙමේම විශිෂ්ටඥානයෙන් දැන පැමිණ වාසය කරති කියා වදාළ සේක. දෙවනුවත් ඒ පඤ්චවර්ගීය භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. –පෙ- තෙවනුව ද කීහ.
මෙසේ කීකල භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මාවිසින් ඔබලාට මින් පෙර මෙවැන්නක් ප්‍රකාශ කොට ඇද්දැයි විමසූහ. ස්වාමීනි, නැත. මහණෙනි, මම තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මහණෙනි, කන් යොමව්. මම අනුශාසනා කරමි. අනුශාසනා පරිදි පිළිපදිනාහු -පෙ- ලබා වාසය කරතියි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පස්වග තවුසන්ට ඒත්තු ගැන්වීමට පොහොසත් වූහ. අනතුරුව ඒ භික්‍ෂූහු ඇහුම්කන් දුන්හ. කන් යොමු කළහ. දැන ගැනීමේ සිත පෙරදැරි කර ගත්හ.
එවිට මහණෙනි, කන් යොමව්. නිවන් අවබෝධ කළෙමි. මම අනුශාසනා කරමි. මම ධර්‍ම දේශනා කරමි යන භාග්‍යවතුන් වහන්සේගේ ව්‍යවහාර ශබ්දය අසා පොළෝ වැසි දෙවියෝ ශබ්ද ඇස්වූහ. “නිදුකාණෙනි, යමු. අද භාග්‍යවතුන් වහන්සේ ඉසිපතන මිගදායෙහි ලොව ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලොව කිසි කලෙක නොපවත්වන ලද අනුත්තර ධර්‍ම චක්‍රය පවත්වන සේක. අපි දැන් ඒ බණ අසමු. බුදු උපත දුර්ලභය. දහම් ඇසීම දුර්ලභය. ක්‍ෂණ සම්පත් දුර්ලභය. සත්පුරුෂ සමාගමය දුර්ලභය කියා”යි. එවිට පොළෝවැසි දෙවියන්ගේ ශබ්දය අසා අහස්හි දෙවියෝ එසේම ශබ්ද ඇස්වූහ. අහස වැසි දෙවියන්ගේ ශබ්දය අසා චාතුම්මහාරාජික දෙවියෝ ශබ්ද ඇස්වූහ. චාතුම්මහරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දෙවියෝ ශබ්ද කළහ. තාවතිංස දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ ශබ්ද කළහ. යාම දෙවියන්ගේ ශබ්ද අසා තුසිත දෙවියෝ ශබ්ද කළහ. තුසිත දෙවියන්ගේ ශබ්ද අසා නිම්මාණරතී දෙවියෝ ශබ්ද කළහ. නිම්මාණරති දෙවියන්ගේ ශබ්ද අසා පරනිම්මිත වසවත්ති දෙවියෝ ශබ්ද කළහ.
මේ අයුරින් ඒ ඇසිල්ලෙන් ඒ මොහොතින් බඹලොව දක්වා ශබ්දය පැතිර ගියේය. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම, පරිත්තාභා, අප්පමාණාභා, ආභස්සර, සුභකිණ්හ, වේහප්ඵල, අසඤ්ඤී සත්ත්වයන් හැර අකනිටාව දක්වා උඩ නැගී පරම්පරා ඝෝෂාවෙන් දසසහස්‍රි ලෝක ධාතුවෙහි දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ඒ අසා ඔවුනොවුන් කැඳවමින් මේ සක්වළ ගැබට පිවිස, එකම නලයක බහාලූ රන්සුණු මෙන් ඉසිපතන මිගදායයෙහි රැස් වූහ. එසමයෙහි අස්තයට ගිය සැඳෑ පව්වමත දිලෙන හිරු ඇති කල්හි බුද්ධෝත්පාදයෙන් සැරසුණ කාලයෙහි ලෝක රමණීයත්වය බැලීමට මෙන් උදාගිරි මුදුන්හි සඳමඬල බබළන කල්හි හිර සඳ නැමැති කොඩාලින් බැබළෙන කිරණ අංගරාග ඇති නිර්මල අහස නැමැති දුහුල් සළුව ඇඳ දිදුලන දිසාංගනාව සිටි කල්හි චතුර් වෛශාරද්‍ය විශාරද ජිනවර සිංහයාණෝ අනේකජන සන්තාන සතුටු කරවමින් පවිත්‍රාසනයෙහි රහස්‍යාසනයෙහි දානාදි නොයෙක් කුසල ඵලානුභාවයෙන් උපන් වරසිංහාසනාරූඪව බබළන උතුම් වරලක්‍ෂණ සහිත දසබල දේහයෙන් නිකුත් සවනක් රසින් මුළු මහත් අහස පොළොව ආලෝකවත් කරමින් අචින්ත්‍ය වූ අනුපම වූ වර්‍ණ කාන්ති සම්පත්තියෙන් සියලු දෙව්සිරි පරදවා බැබළිසේක.
මෙසේ බබළමින් අනුපම වර්ණවත් තථාගතයන් වහන්සේ අන්තද්වය, ත්‍රිපරිවෘත, ද්වාදසාකාර, ෂඩ් අසාධාරණ ඤාණ විජෘම්භනයට යෝග්‍ය ආර්යාකරයෙහි හටගත් අනුත්තර ධර්‍ම චක්‍ර ප්‍රවර්තනය කරමින් සමසතලිස් දන්ත කිරණයෙන් බබළන සිහිල් සුවඳ යුත් තඹවන් මුවකමල විවර කරමින් කරවීක නාදයෙන් යුතු අෂ්ටාංග සමන්නාගත ශ්‍රවණීය මධුරතර ඝෝෂය විහිදුවා පස්වග භික්‍ෂූන් ඇමැතු සේක. “මහණෙනි, මේ අන්ත දෙක පැවිද්දෙකු විසින් සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ඇසුරු නොකළ යුතුය. කවර අන්ත දෙක ද? හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන්ට අයත් අනාර්ය වූ අනර්ථවත් වූ යම් මේ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙක් ඇද්ද මෙය කලකිරිම පිණිස විරගය පිණිස නිරෝධය පිණිස උපසමය පිණිස, අභිඤ්ඤාව පිණිස සම්බෝධය පිණිස නිවන් පිණිස නොපවත්තේය. දුක් සහිතවූ අනාර්ය වූ අනර්ථවත් වූ යම් මේ අත්තකිලමථානුයෝගයක් වෙයිද මෙය කලකිරිම පිණිස -පෙ- නිවන් පිණිස නොපවත්නේය.
මේ අන්ත දෙකට නොපැමිණ ඇස පාදන නැණ පාදන උපසමයට හේතු වන අභිඤ්ඤාවට සම්බෝධයට නිවනට හේතුවන, මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ඒ මධ්‍යම ප්‍රතිපදාව කුමක් ද? මේ අරිඅටඟි මඟමය. එය මෙසේය. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධියයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඇස ඇති කරන නැණ ඇති කරන මේ මධ්‍යම ප්‍රතිපදාව උපසමය පිණිස -පෙ- නිවන පිණිස පවතී.”
මේ අන්තද්වය බැහැර කරන මධ්‍යම ප්‍රතිපදාව දේශනා කොට සත්‍ය කෘත්‍ය කෘත ඤාණ වශයෙන් තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති චතුස්සත්‍යය දේශනා කරමින් මේ දුක්ඛ ආර්ය සත්‍යය කියා මහණෙනි, මට පෙර කිසිදා අසා නැති ධර්මයන්හි ඇස පහළ විය. නැණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ මේ දුක්ඛ ආර්ය සත්‍යය, පිරිසිඳ දත යුතුය කියා පෙර නොඇසු ධර්මයන්හි ඇස පහළ විය. -පෙ- ආලෝකය පහළ විය.
ඒ මේ දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දතිමි කියා මට පෙර නො ඇසූ ධර්‍මයන්හි ඇස පහළවිය -පෙ- ආලෝකය පහළ විය. මහණෙනි, මට මෙය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියා පෙර නොඇසූ ධර්‍මයන්හි -පෙ- ඒ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, ප්‍රහාණය කළ යුතුය කියා පෙර නො ඇසූ ධර්‍මයන්හි -පෙ- ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහීණ යයි කියා පෙර නොඇසූ ධර්මයන්හි ඇස පහළ විය. -පෙ- අලෝකය පහළ විය. මහණෙනි, මෙය දුක්ඛනිරෝධ ආර්ය සත්‍ය යයි කියා මට පෙර නොඇසූ දහම්හි -පෙ- ඒ දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කටයුතුයි කියා පෙර නොඇසූ දහමිහි -පෙ- ඒ දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කරන ලදි කියා පෙර නොඇසූ දහම්හි මට ඇස පහළ විය. -පෙ- ආලෝකය පහළ විය. මහණෙනි, මෙය දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා ආර්‍ය්‍ය සත්‍යය කියා මට පෙර නොඇසූ දහම්හි -පෙ- මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයි කියා පෙර නො ඇසූ දහම්හි -පෙ- මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩන ලදි කියා පෙර නොඇසූ දහම්හි මට ඇස පහළ විය -පෙ- ආලෝකය පහළ විය.
මෙසේ පරිවෘත්ත තුන සතරක් කොට පැවැත්වීම ද්වාදසාකාර නමි. ඉක්බිති සිව්සස් බෙදීමෙහි දක්‍ෂ වූ විදූන්ට විදූවූ භාග්‍යවතුන්වහන්සේ ආර්ය සත්‍ය දේශනා කරන කල්හි පෙර රශ්මියටත් පෙර තේජසටත් වඩා සොඳුරු නිමල ඡවිවර්ණයෙන් අතිශයින් බබළන්නාහු දහසක් කළයෙන් පරිෂේක කළ යඥ මයුරයෙකු මෙන් බැබළි සේක. ආර්‍ය්‍යසත්‍ය දේශනාව සකල මහසමුදුරට හෙයක් සේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ උතුම් සාමුක්කංසික දේශනා නම් වන්නේය. සෝර පිණ්ඩයක් මෙන් දධි පිණ්ඩයක් මෙන් ප්‍රාසාද කූටයක් මෙන් ආර්‍ය්‍යසත්‍ය දේශනාවම ලෝකනාථයන් වහන්සේලාගේ උතුම් දේශනයයි. සතර ආර්‍ය්‍ය සත්‍යයම සර්වඥතාඥාන විකුර්වණය කරන එම ඤාණයටම සමාන්තර වූ ඤාණයයි. එබැවින් බුදුරජාණන් වහන්සේ අනල්ප කල්ප කෝටිවල රැස් කරන ලද සුචරිතයන්හි වරකුසල ඵලයෙන් නිපන් උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ සමුදුරු ගොස, අසණි ගොස පරයමින් මධුරස්වරයෙන් පස්වග භික්‍ෂූන් ඇමැතූ සේක.
මහණෙනි, මෙ ත්‍රිපරිවෘත්ත ද්වාදසාකාර වූ චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි යථාභූත ඤාණ දර්ශනයෙන් යම්තාක් සුපිරිසිදු නොවී ද මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි කියා ප්‍රතිඥා නොකළෙමි. යම්දාක මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි මෙබඳු පරිවෘත්ත තුනක් ඇති ආකාර දොළොසක් ඇති යථාභූත ඤාණ දර්ශනය සුපිරිසිදු වී ද මහණෙනි එවිටම දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළෙමි කියා ප්‍රතිඥා කළෙමි. මට ඤාණ දර්ශනය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් පුනර්භවයක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ ආර්‍ය්‍ය සත්‍යයන් කුළුගන්වා නිමවූ සේක. කෙසේ නම් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව ධම්මචක්ක ෂඩ්ඥාන විජෘම්භන ඇත්තේ ද? ඇස ඇති කරයි. නැණ ඇති කරයි. උපසමය අභිඥාව සම්බෝධය නිර්වාණය සඳහා පවතී. මෙය ෂඩ්ඥාන විජෘම්භනයයි.
අරියාකර සම්භූත නම් වන්නේ කෙසේ ද? අතීත දීපංකර ආදි සම්බුදුවරුන්ට ආර්‍ය්‍යාකර වූ බැවිනි. එසේ නැත්නම් බුද්ධ ශ්‍රාවක වූ ආර්‍ය්‍ය වූ සැරියුත් මුගලන් ආදි සව්වන්ට ආර්‍ය්‍යාකර වූ බැවිනි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියෙකු මරෙකු බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසිනුත් නොපවත්වන ලද ධර්‍මචක්‍රය ධර්මරාජ භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලදි. මෙහි ධර්‍ම චක්‍රය දෙපරිදි වේ. පටිවේධඤාණ ධම්මචක්කය. දේශනා ධම්මචක්කය කියායි. එහි ප්‍රඥාවෙන් ප්‍රභාවිත වූ තමනට ආර්ය ඵල ගෙන දෙනු ලබන්නේ පටිවේධධම්මචක්ක නමි. ශ්‍රාවකයන්හට ආර්ය ඵල ගෙන දෙනු ලබන තරණය ප්‍රභාවිත කොට ඇත්තේ දේසනාඤාණ ධම්මචක්ක නමි. ධම්මචක්කය මෙසේ දෙවදැරුම්ය.
එයද සතිපට්ඨාන මහානේමිය ඇත්තේය. සත් සම්බෝධි අංග අරයන්ගෙන් ද ධර්‍ම මහානාභියෙන් ද ආසවක්ඛයඤාණ අක්‍ෂයෙන් ද ස්ථිර වූ ඉද්ධිපාදඤාණ නැමැති අඹරාවෙන් ද සමථ විපස්සනාඤාණ වියගසින් ද මනෝමයඤාණ යොතින් ස්ථිරව බැඳ සම්‍යක්ප්‍රධාන තුරඟුන් යොදා සසර සාගර ඕඝයෙහි ගිලි සතුන් ගොඩ ගෙන ධර්‍මචක්‍ර ඇති මහාරථයෙහි තබා මහාසාරථී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා හස්තයෙන් ප්‍රඥා කෙවිට ගෙන කාමසුඛල්ලිකානුයෝග නැමැති බහල මඩ වගුර ද ඝන අත්තකිලමථානුයෝග නැමැති උග්‍ර විසම භූමිය ද යන අන්තයන් මැඩ නැණ ඇති කරන මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට පැමිණ එම ඒකායන අරි අටඟ මඟින් ධර්‍මචක්‍ර යොදන ලද පවර මහරිය පදවන සේක.
ඒ මාර්ගය උජුක නම් වේ. දිසාව අභය නම් වේ. ධර්‍ම චක්‍ර යුතු රථය අකූජන නම් වන්නේය.
ඒ ශාස්තෘන් වහන්සේ මේ ධර්‍මචක්‍රය ගෙන ඊම පිණිස දීපංකර නායකයන් වහන්සේ ඉදිරියෙහි ඔද්ධ මත වැතිර කාය පරිත්‍යාගය කළහ. එතැන් පටන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පුරා සූවිසි බුදුවරුන් හමුවෙහි ප්‍රාර්ථනා කළහ. ඉක්බිති බුදු බවට පත්ව උරුවේලාවෙහි හැසිරීමෙන් පසු අනුපිළිවෙළින් උරුවේලාචරණයට ප්‍රථම සර්‍වඥ බුදුවරයන් වහන්සේලාට ආචීර්ණ ධර්ම චක්‍රය ඉසිපතනයෙහි පැවැත් වූ සේක. දහම්සක් පැවැත්වූ කල්හි දසසහස්‍රී ලෝක ධාතුව ධරා සිටි මහ පොළොව සද්ධර්‍මවේගය උසුලනු නොහැකිව උස් පහත් වෙමින් කම්පාවෙමින් සෙලවෙයි. වෙව්ලයි. අපමණ මහාආලෝකය පහළ විය. පොළෝතලයෙහි පටන් භවාග්‍රය දක්වා ඒක කෝලාහල විය. දහම්සක පැවැත්වූ කල්හි ශාස්තෘන් වහන්සේගේ ධර්ම තේජසින් පොළොව පටන් බඹලොව දක්වා දසසහස්‍රී ලෝක ධාතුව කම්පා විය. ඤාණාලෝකය දැල්විණ. ආලෝකය මහත් විය. එදා විපුල ආලෝකය ලෝකාන්තරිකයන්හි ද විය. අවීචි ගිනිදැල් හාත්පසින් නිවී ගියේ ය. මහාලෝකුඹුනිරය සිසිල් දියෙන් යුක්ත විය. බන්ධන කැඩී ගියේය. කාල සූත්‍රය සිදී ගියේය. කූට මුවහත් යහුල් ඇද වැටුණේය. වෑ පොරෝ ආදි සියලු ආයුධ දඬු රහිත විය. අඟුරු පර්වතය නිවුණේය. අසිපත්‍ර සර්ව ප්‍රකාරයෙන් සුන්මුල්ව වැටුණේය. කටුඉඹුල් කටු එදා පහ විය. වේතරණි කටු අධෝමුඛ විය. ඒ ඇසිල්ලෙහි නදී දිය දහර සුන් විය. කුක්කුල නිරය ගල්විය. නිරායුධ නිරයපාලයෝ අවෛරීව හුන්හ. නිරය සත්ත්වයෝ සුව ඇත්තෝ වූහ. කාලකඤ්ජික සත්ත්වයෝ සැනසිලි ලබා සතුටු වූහ. එකෙණෙහි සියලු රියසක් නොපෙරළුණේය. එකල සියලු පක්‍ෂීහු නිසලව නිදි ගත්තවුන් මෙන් වුහ. හාත්පස සියලු සත්ත්වයෝ උනුන් හැඳින්නාහ. අවෛරී සියලු තිරිසන්හු මෙත් කළහ. එහි නාගයෝ ගුරුළන් සමඟ එක් වූහ. ව්‍යාඝ්‍රයෝ මුවන් සමග ද මහිෂයෝ අසුන් සමග ද මුසු වූහ. කවුඩු බකමුණෝ ද සර්ප මුගටීහු ද එක්වූහ. සදා වෛරී සියලු සත්ත්වයෝ පහන් සිතැත්තෝ වූහ. ගර්භමූඪ ස්ත්‍රීහු සුවසේ ප්‍රසව කළහ. ජාත්‍යන්‍ධයෝ බැලූහ. බිහිරෝ ඇසූහ. ගොළුවෝ එකෙණෙහි මිහිරි වදන් කථා කළහ. පිල්ලු කැමැති සේ මනාව ගමන් කළහ. විදෙස්ගත නැව්, පටුන්වලට පැමිණියේය. එකෙණෙහි මහජනයා මිහිරි අස්වස් ලැබූහ. සියලු පක්‍ෂීහු පියැඹීම් හැර පොළෝතලයෙහි සිටියහ. තිරිසන්හු එකෙණෙහි මිනිස්බස් තෙපෙලූහ. මහසුළං නොහැමීය. ගංගා නොගැලීය. මහසමුදුර ද රළ රහිත විය. පස් මහාගංගාවල මුහුදුවල ද යන සෑම තැනම එකෙණෙහි පස් වනක් පියුම් පිපුණේය. පොළෝ තෙලෙහි ගස්වල වැල්වල ගල්තලාවල පියුම් සත්බුමු පියුම් පැන නැංගේය. මල්ඵල ගන්නා රුක් සුපිපි මල් පල ඇති විය. දම්සක් පැවැත්වූ කල හැමතැන අසිරි පහළවිය.
මෙසේ නොයෙක් අසිරි අද්භූත පහළ වෙද්දී අනුත්තර ධර්‍මරාජ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර ධම්මචක්කප්පවත්තනය පැවැත්වූහ. දම්සක් පැවැතුම් අවසන කොණ්ඩඤ්ඤයෝ මුහුකළ ඤාණ සම්පත් ඇති බැවින් ශාස්තෘ ධර්‍මදේශනානුසාරයෙන් නුවණ යොමුකොට එම ආසනයෙහිම අටළොස්කෙළක් බඹුන් සමඟ සොවාන් පෙලෙහි පිහිටියහ. ඒ සමගම ශාස්තෲන් වහන්සේ මේ මහා දුෂ්කර ධර්‍මය පළමු කොටම දැන ගත්තේය. මොහු අඤ්ඤාත කොණ්ඩඤ්ඤ යයි දෙවිගණ මැදම උන් වහන්සේ අමතා භවත්නි, ඒකාන්තයෙන්ම කොණ්ඩඤ්ඤ දැන ගත්තේය. භවත්නි, ඒකාන්තයෙන් කොණ්ඩඤ්ඤ දැන ගත්තේ යයි වදාළ සේක. මෙසේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට අඤ්ඤාත කොණ්ඩඤ්ඤ යයි කියාම නම් විය. මෙසේ මෙතැන් පටන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාත කොණ්ඩඤ්ඤ කියාම නම් විය.
ඉක්බිති දුටු දහම් ඇති පත් දහම් ඇති දත් දහම් ඇති බැසගත් දහම් ඇති විචිකිච්ඡා තරණය කළ කෙසේද? කෙසේද? යන කල්පනා පහ කළ මාන රහිත ශාස්තෘ ශාසනය හැර අන් පිහිටක් නොපැතූ නොසෙල්වෙන සැදැහැ ඇති අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදු සිරිපාමුල හිස තබා දොහොත් මුදුන් දී ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේගෙන් සුගතයන් වහන්සේ මා පැවිදි කරන සේක්වා. ලෝකවිදු ස්වාමීනි, මා පැවිදිකරන සේක්වා යි පැවිද්ද අයැදියහ. ඉක්බිති ලෝකනායකයාණෝ රුසිරු සිවුරු ගැබින් දකුණත දිගු කෙට “මහණ එව. මැනවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව”යි වදාළ සේක. එවිට උන් වහන්සේගේ තවුස් ලකුණු අතුරුදන්ව සෘද්ධිමය පා සිවුරු ආදි මහණ අටපිරිකරධාරීව ඉරියව් සම්පන්න භික්‍ෂු භාවය පහළ විය. කවර අනුහසකින් මේ එහි භික්‍ෂු පැවිදි උපසම්පදා ලබන්නේ ද? පෙර ශ්‍රමණ අටපිරිකර පිදීම් අනුහසිනි. ඒ අටපිරිකර කුමක් ද? සඟළ සිවුර උත්තරාසංඝය, අඳනය, පටිය, පාත්‍රය, දැලිපිහිය, ඉදිකටුව සහ පෙරහනයි.
තුන් සිවුරු, පාත්‍රය ද, දැලිපිහිය, ඉදිකටුව, කායබන්‍ධනය, පෙරහන ද යන මේ අට යුක්තයෝග භික්‍ෂුවට යෝග්‍ය වේ.
මේ අටපිරිකර නම් අටපිරිකර පිදූ පුද්ගලයා සිවුරු ආදි පිරිකර සුලභ, එහිභික්‍ෂු පැවිද්දෙන් පැවිදි උපසම්පදා සුලභ වුවෙක් වෙයි. අටපිරිකර පිදීමේ අනුහසින් උන් වහන්සේ ඒහිභික්ඛු පැවිදි උපසම්පදාවෙන් පැවිදි උපසම්පදා ලබන්නේ වෙයි. බුදුහු එහිම වස් එළඹ දෙවන දින වප්ප තෙරුන්ට ඔවදන් දෙමින් විහාරයෙහිම හුන්හ. සෙසු සිවුනම පිඬු පිණිස ගියහ. ශාස්තෘන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් අවවාද කරන ලද වප්ප තෙර පූර්‍වභාගයෙහි සෝවාන් ඵලයට පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ උන් වහන්සේත් ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි කරවූහ. මේ ක්‍රමයෙන් දෙවෙනි දින භද්දිය තෙරුන් ඊළඟ දින මහානාම තෙරුන් ඊළඟ දින අස්සජි තෙරුන් දැයි සියලු දෙන එක් එක් දිනයෙහි සෝවාන් පෙලෙහි පිහිටුවා ඒහි භික්ඛු පබ්බජ්ජාවෙන් පැවිදි කොට, පස්වන දින භික්‍ෂු පස්නම රැස් කොට අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක.
“මහණෙනි, රුපය ආනාත්මය. මහණෙනි. රූපය ආත්ම නම් මේ රූපය ආබාධ පිණිස නොපවතී. රූපයෙහි මාගේ මේ රූපය මෙසේ වේවා, මාගේ මේ රූපය මෙසේ වේවායි ලබාගත හැකිය. මහණෙනි, රූපය අනාත්ම වන හෙයින් රූපය ආබාධ පිණිස පවතී. රූපයෙහි මාගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවායි නොලබයි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ අනාත්මයි. වේදනා සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ ආත්ම නම් ඒවා ආබාධ පිණිස නොපවත්නේය. මාගේ වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ මෙසේ වේවායි මෙසේ නොවේවායි ලබන්නේය. අනාත්ම හෙයින් එසේ නොලබන්නේය, කියායි.
මෙසේ වදාරා නැවත භාග්‍යවතුන් වහන්සේ ධම්ම අනුධම්ම ප්‍රාප්තිය පිණිස ප්‍රශ්න කිරීම් වශයෙන් පස් නමගෙන් ප්‍රශ්න කරමින් මෙසේ වදාළ සේක. “මහණෙනි කුමක් සිතන්නහු ද රූපය, නිත්‍ය ද, අනිත්‍ය ද, ස්වාමීනි අනිත්‍යයයි. යමක් අනිත්‍ය නම් දුක් ද සැප ද ස්වාමීනි දුකයි. මහණෙනි, යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාමය ස්වභාව කොට ඇත්නම් මෙය මාගේය මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු ද? ස්වාමීනි, එසේ දැකීමට සුදුසු නොවන්නේමය. මහණෙනි, කුමක් සිතන්නහු ද? වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මේ මාගේය යි මේ මාගේ ආත්මයයි කියා සැලකීමට සුදුසු ද? ස්වාමීනි, සුදුසු නොවන්නේ මය. මහණෙනි, එබැවින් මෙහිලා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕළාරික සුඛුම හීන ප්‍රණීත. දුර ළඟ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවෙයි කියා මේ කරුණු තන්වූ පරිද්දෙන් සම්‍යග් ප්‍රඥාවෙන් දැකිය යුතුය. මහණෙනි, මෙය අසා ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණවල කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලී මිදෙයි. මිදුණු කල මිදුණෙමියි කියා, ඤාණය වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවිය. කළ යුතු දෙය කරන ලදි. මේ සඳහා අනිකක් නැතැයි දැනගනී. මේ දේශනය දේශනා කරද්දී පඤ්චවර්ගීය භික්‍ෂූන්ගේ සිත් උපාදාන රහිතව ආස්‍රවයන්ගෙන් මිදුණේය. එකල ලොව රහතන් වහන්සේලා සයනමක් වෙති.
එසමයෙහි බරණැස යස නම් මහසිටු පුතෙක් විය. ඔහුට තුන් පහයක් වෙයි. එකක් හේමන්තයටය. එකක් ගිම්හානයටය, එකක් වස්සානය සඳහා ය. හෙතෙම වැසි පහයෙහි පිරිමින් රහිතව තූර්යයෙන් උවැටැන් ලබමින් සිව් මසක් යටපහයට නොබසී. යස කුලපුත්‍ර පස්කම් ගුණයෙන් යුතුව දෙවියෙකු මෙන් රූ සපුයෙත් යුත් නළගනන් විසින් උවටැන් කරන ලදුව නිදා පාන්දරම පිබිද මුළු රැයෙහි දඬුවැට පහන් දැල්වෙන එළියෙන් නිදිගත් ඒ තරුණියන්ගේ විප්‍රකාර දැක ආදීනව දැක අසුභසංඥා ද ඇතිවිය. සිත කලකිරුණේය. අහෝ සැබැවින් උවදුරකි. අහෝ සැබැවින් අනතුරකැයි උදම් අනා යහනින් නැගී රන් මිරිවැඩි හැඳ නිවෙස් දොරටුවට පැමිණියේය. දෙවියෝ දොර විවර කළහ. යසකුල පුතුගේ ගිහිගෙන් නික්ම අනගාරික පැවිද්දට අනතුරු නොකළහ. යසකුලපුත් පහයෙන් බැස දැඩි බැම්මෙන් මිදූ මතැතකු මෙන් පස්කම් ගුණෙහි පහවූ ආශාවෙන් පැවිද්දට නැමුණු බැඳුණු සිතින් නුවර දොරටුවට පැමිණියේය. අමනුෂ්‍යයෝ දොර ඇරියහ. යස නුවරින් නික්ම ඉසිපතන මිගදායට ගියේය.
එකල තුන්කල් දත් භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට මිනිස් ශක්තිය ඉක්ම වූ සුපිරිසිදු දිවැසින් මුළු ලොව බලන්නාහු පැවිද්දට නික්මි ඒ කුලපුතු දැක අසුනින් නැගී ඔහුගේ ඊම බලාපොරොත්තුවෙන් එලිමහනෙහි සක්මන් කරන සේක. දුරින් එන ඔහු දැක උන් වහන්සේ සක්මනින් බැස පැනවූ අස්නෙහි වැඩ සිටියහ. යස කුලපුත් ඉසිපතනයට වැද දුර සිට උදාගිරි මුදුන්හි ළහිරු මෙන් බබළන බුදුන් දැක සතුටු සොම්නසින් ඉක්මන් ගමනින් පැමිණ බුදුන් ඉදිරියෙහි භවත්නි, ඇත්තෙන්ම උපද්‍රවයෙකි. භවත්නි, ඇත්තෙන්ම අනතුරකියි උදන් ඇනීය. එවිට බුදුහු යස කුල පුතු අමතා “යස කුලපුත්‍රය, මෙය නම් අනුපද්‍රිතය, අනතුරු රහිතය. යස, එව වාඩිවෙව. දහම් දෙසමියි කීහ. යස කුලපුත් බුදුවදන් අසා මෙය අනුපද්‍රිතය. මෙය අනතුරු රහිතයයි තුටු පහටුව උදම් උදම්ව රන්මිරිවැඩි ගළවා බුදුන් වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ ඉදිරියෙහි පසෙක වාඩි විය. පසෙක හුන් යස කුලපුතුට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළහ.
එය මෙසේය. දානකථාව, සීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගේ ආදීනව පහත් බව කෙලෙසෙන බව, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස දේශනා කළහ. යම් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ යසකුල පුත් යෝග්‍ය සිත් ඇතිබව දැනගත් සේක් ද එවිට යෝග්‍ය සිත් මෘදු සිත් නීවරණ රහිත සිත් ඔදවැඩි සිත් පිහිටි සිත් ඇති බව දැන බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්‍මදේශනා නම් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන සිව්සස් දහම් දෙසූ සේක. යම් සේ කිලුටු රහිත, සුදුවතක් රැඳීම් පිළිගන්නේ ද එමෙන් යස කුලපුතුට හුනස්නෙහිම රජස් රහිත මල රහිත ධර්‍මචක්‍ෂුස පහළ විය. යම් කිසි සමුදය ධර්‍මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධ ධර්‍ම වෙයි කියායි. එකල යස කුලපුතුගේ මෑණියෝ පහයට නැග යස නොදැක යස කොහිදැයි පිරිවර ගැහැනුන්ගෙන් විමසූහ. ආර්‍ය්‍යාවෙනි, නොදනිමුයි කීහ. එවිට මෑණියෝ සමණන් වෙත ගොස් ගෘහපතියනි, අපගේ පුත්‍ර යස නැතැයි කීහ. හෙතෙම සතර දිගට අසුන් පිටත් කොට තෙමේ ඉසිපතනයට ගොස් යසගේ ගැළවූ රන් මිරිවැඩි දැක ඔහු වෙත නොයා දීම කාරුණික භාග්‍යවතුන් වහන්සේ දුරින් එන ඔහු දැක, සිටු ගෘහපතිට එහි හුන් යස කුලපුතු නොපෙනෙන පරිද්දෙන් සෘද්ධියක් කළ හොත් මැනවැයි සිතූ සේක. සිතා එවන් සෘද්ධියක් කළහ.
සිටු තෙම දුරදීම බුදු සිරින් බබළන බුදුන් දැක පුදුමව උන් වහන්සේ වෙත ගොස් වැඳ ස්වාමීනි, යස කුලපුතු දුටු සේක් දැයි ඇසීය. ගෘහපතිය, මෙහි වාඩි වෙන්න. මෙහි හිඳ මෙහිම සිටින යස කුල පුතු දකින්නැයි වදාළහ. එවිට ගෘහපති මෙහිම හිඳ මෙහිම හිඳින යස දකිමියි සිතා තුටු පහටුව පසෙක හිඳ ගත්තේය. පසෙක හුන් සිටුවරයාට උන්වහන්සේ පිළිවෙළ කථාව වදළහ. කථාව අවසානයෙහි ගෘහපති තෙම එම අසුන්හිම තුන් කෙලෙස් අනුසය පළා දහසක් නයින් යුත් සෝවාන් පෙලෙහි පිහිටියේය. දුටු දහම් ඇති, පත් දහම් ඇති, දත් දහම් ඇති බැසගත් දහම් ඇති විචිකිච්ඡා තරණය කළ කෙසේ ද? කෙසේද? යන සැක නැසූ පහවූ මුළා ඇති අන් පිහිටක් නොතැකු බුදුසසුනෙහි අචල ප්‍රසාදයට පත් හෙතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, ඉතා මැනවි. ස්වාමීනි, ඉතා මැනවි. ස්වාමීනි, යටිකුරු කළ දෙයක් උඩුකුරු කළාක් මෙන් සැඟ වූ දෙයක් විවර කළාක් මෙන් මංමුළා වූවකුට මඟ කියන්නාක් මෙන් ඇස් ඇත්තෝ රූප බලත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ නත් අයුරින් ධර්‍මදේශනා කළ සේක. ඒ මම ධර්‍මයත් භික්‍ෂුසංඝයාත් සහිත භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණගත උපාසකයෙකු මෙන් මා දරන සේක්වායි” කීය. ඔහු ලොව ප්‍රථම උපාසක විය.
පියාට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසද්දී දුටු පරිදි දත් පරිදි භූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන යස කුල පුතුගේ සිත උපාදා රහිතව ආස්‍රවයන්ගෙන් මිදුණේය. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. පියාට දහම් දෙසීමෙන් දත් භූමිය ප්‍රත්‍යවේක්‍ෂා කළ යසගේ සිත ආස්‍රවයන්ගෙන් මිදුණේය. පෙර ගිහි කල මෙන් නැවත හීන බවට කැරකී කාම පරිභෝගයට නොසුදුසු වෙතියි කියායි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිය වැළැක්වූ සේක. එවිට ගෘහපති තෙම වාඩි වී හුන් යස දැක විස්මය පත්ව පුත්‍රස්නේහයෙන් කම්පා වූ සිතින් මෑණියන්ගේ හද සෝදුක් දන්වමින් මෙසේ කීය. දරුව යස, ඔබගේ මව සෝක විලාප දුකට පැමිණියාය. ඔබ නැතිව ඇගේ මරණය සිදුවේ. දරුව, ආපසු යන්න. මවගේ ජීවිතය දෙන්නැයි කියායි. යස කුලපුත් බුදුන් දෙස බැලීය. එවිට භාග්‍යවතුන් වහන්සේ සිටාණන්ට “ගෘහපතිය, කුමක් සිතන්නෙහි ද? අසේඛ ඤාණයෙන් අසේඛ ඤාණදර්ශනයෙන් දහම් දුටු, ඔබ අවබෝධ කළ භූමිය ප්‍රත්‍යවේක්‍ෂා කළ යස කුලපුතුගේ සිත ආස්‍රවයන්ගෙන් මිදුණේය. පෙර ගිහිගෙයි වසද්දී මෙන් ගිහිව කම් සැප විඳීමට ඔහු සමත් වෙයි ද කියා කීහ. ස්වාමීනි, මෙය නොවන්නේමය.
“ගෘහපතිය, අසේඛ ඤාණයෙන් අසේඛ ඤාණදර්ශනයෙන් දහම් දුටු යසකුල පුත්‍රයාගේ සිත ආස්‍රවයන්ගෙන් මිදුණ බැවින් පෙර ගිහියෙකු මෙන් ගිහිබවට පත්ව කම්සැප විඳීමට සුදුසු නොවේ. ස්වාමීනි, යස කුලපුතුගේ සිත ආස්‍රවයන්ගෙන් මිදුණේය. ස්වාමීනි, යස කුලපුතු සමඟ අද දන් පිළිගන්නා සේක්වයි ආරාධනා කළේය. නිහඬව භාග්‍යවතුන් වහන්සේ ආරාධනය පිළිගත් සේක. සිටු ගෘහපති භාග්‍යවතුන් වහන්සේගේ ආරාධනය පිළිගැනීම දැන නැගී වැඳ පැදකුණු කොට ගියේය. සිටුපුත් ගොස් නොබෝ වේලාවකින් යස භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙත මහණ උපසම්පදා ලබමියි සැලකළේය. එවිට උන් වහන්සේ භික්‍ෂුව එන්න. ධර්‍මය ස්වාක්ඛාතය. මැනවින් දුක් කෙළවර කිරීමට බඹසර හැසිරෙවයි වදාළහ. එයම ඒ ආයුෂ්මතුන්ගේ මහණ උපසම්පදාව විය. එකල ලොව සත් රහත් නමක් වෙති.
භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන යස පසු ශ්‍රමණ කොට සිටුගෙට වැඩ පැනවූ අසුන්හි හුන්හ. යස තෙරුන්ගේ මව ද පැරණි දෙවැන්නියෝ ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පසෙක හුන්හ. උන්වහන්සේ පිළිවෙළ කථාව වදාළහ. දේශනා කෙළවර ඔවුහු සෝවාන් වූහ. දහම් දත් ඔවුහු ස්වාමීනි, ඉතා මැනවි, නොයෙක් ආකාරයෙන් ධර්‍ම දේශනා කළ සේක. අද පටන් දිවි හිම්කොට තෙසරණ ගත උපාසිකාවන් ලෙස දරන සේක්වායි සැලකළහ. ඔවුහු ලොවෙහි ප්‍රථම උපාසිකාවෝ වූහ. යස තෙරුන්ගේ මවුපියෝ ද පැරණි දෙවැන්නියෝ ද බුදුරජාණන් වහන්සේ යස තෙරුන් සමඟ ප්‍රණීත අහර පැනින් සියතින් සතප්වා වැළඳූ පසු වැඳ පසෙක හුන්හ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසා සතුටු කොට වැඩි සේක.
එකල යස තෙරුන්ගේ බරණැස විමල සුබාහු පුණ්ණජි ගවම්පති යයි ගිහි යහළුවෝ සිවු දෙනෙක් යස පැවිදි වූ බව අසා මෙසේ සිතූහ. යස කුලපුත් මහණ වූයේ නම් ඇත්තෙන්ම ඉන් එහා ධර්‍ම විනයක් හෝ පැවිද්දක් නැත. එබැවින් යස කුලපුතු වෙත ගියහ. වැඳ එකත් පස්ව සිටියහ. උන් වහන්සේ සිව් යහළුවන් ගෙන බුදුන් කරා ගොස් ස්වාමීනි, මේ මාගේ ගිහි යහළුවෝ සතර දෙනාය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අවවාද අනුශාසනා කරන සේක්වායි කීහ. උන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව දේශනා කළහ. මෘදු සිත් ඇතිවූ බැව් දැන සාමුක්කංසික දේශනාව පැවැත්වූහ. දේශනාව අවසානයෙහි ඒ අසුන්වලම දහස්ඇස පහළ විය. ශාස්තෘ ශාසනයෙහි අචල ශ්‍රද්ධාව ඇති කොට ගත් ඔවුහු බුදුන් වෙත මහණ උපසම්පදා ලබන්නෙමුයි ආරාධනා කළහ. උන්වහන්සේ චක්‍ර ලක්‍ෂණ යුත් දකුණත දිගු කොට මහණෙනි, එව්. ධර්‍මය ස්වාක්ඛාතය. මනාව දුක් කෙළවර කිරීමට බඹසර හැසිරෙව් කියා වදාළහ. වචනයට අනතුරුවම සෘද්ධිමය පාසිවුරු දරා සියවස්ගත තෙරවරුන් මෙන් පිරිසිදු ඉරියව් ඇත්තෝ වූහ. එයම උන්වහන්සේලාට උපසම්පදාව විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් අවවාද අනුශාසනා කළ සේක. අනුශාසනා කරද්දි උන් වහන්සේලාගේ සිත් උපාදා රහිතව ආස්‍රවයන්ගෙන් මිදුණේය. ඒ වන විට ලොව රහත්හු එකොළසක් වෙති. තවත් යස තෙරුන් වහන්සේගේ පනසක් පමණ ජානපදික පෙරටු පෙරටු කුලවල ගිහි යහළුවෝ යස කුල පුත් පැවිදි වූයේ යයි අසා උන්වහන්සේ වෙත ගියහ. යස තෙරුන් වහන්සේ ඔවුන් කැඳවා ගෙන බුදුන් කරා ගොස් වැඳ ස්වාමීනි, මේ මාගේ පනහක් පමණ වූ ගිහි යහළුවෝය. ඔවුන්ට අවවාද අනුශාසනා කළ මැනවැයි ඉල්ලූහ. වැඳ හුන් ඔවුන්ට පිළිවෙළ කතාව දේශනා කළහ. ධර්ම කථාව අවසානයෙහි හුනස්නෙහිම ඔවුන්ට රජස් රහිත මල රහිත ධර්‍මචක්‍ෂුස පහළ විය. පැවිද්ද ඉල්වා සිටි ඔවුන් ඒහි භික්ඛු පැවිද්දෙන් පැවිදි කරවා රහත් බැව්හි පිහිටවූහ. එ සමයෙහි ඇතුළු වස එක් සැටනමක් රහත්හු වෙති.
ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ භික්‍ෂූන්ට “මහණෙනි, මම දිව්‍යමය වූත් මානසික වූත්, පාසයන් ගෙන් මිදුණෙමි. ඔබලා ද දිව්‍ය මානුසික සියලු කෙලෙස් පාසයන්ගෙන් මිදුණහුයයි වදාළහ. උන් වහන්සේ වස් පවරා රැස්වූ භික්‍ෂූන්ට “මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත සැප පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. මුල කලණ මැද කලණ අග කලණ -පෙ- බඹසර ප්‍රකාශ කරව්. මහණෙනි, අල්ප වූ කෙලෙස් රජස් ඇති මනුෂ්‍යයෝ සිටිති. ධර්‍මය නො ඇසිමෙන් පිරිහෙති. ධර්මාවබෝධ කරන්නාහු සිටිති. මහණෙනි, මම දම් දෙසීම පිණිස උරුවේලාවෙහි සේනානිගමයට යන්නෙමි”යි වදාරා ඒ භික්‍ෂූන් පිටත් කොට තිසරණයෙන් උපසම්පදාව අනුදැන පිටත් කළහ. බුදුහු බරණැස කැමැති තාක් වැස තමන් වහන්සේම පාසිවුරු ගෙන උරුවේලාවට යනු කැමැතිව චාරිකාවෙහි වැඩියහ. අතර මඟ තිසක් පමණ භද්දිය රජ කුමරුන්ගේ හේතු සම්පත් දැක ඔවුන්ට අනුකම්පාවෙන් මගින් ඉවත්ව කපුවනයෙහි එක්තරා රුක් මුලක වැඩ හුන්හ. එකල මහ කොසොල් රජුගේ තිහක් පමණ රජකුමරවරු පසේනදී කොසොල් රජුගේ සුළු මෑණිවරුන්ගේ පුත්වරුන් හා රූපයෙන් මිත්‍රත්‍වයෙන් යහපත් වූවාහු සමාන වූවාහු බෙහෙවින් එක්වම හැසිරෙති. සිටිති. හිඳිති. කති. බොති. එහෙයින් තිසක් භද්‍රවර්ගීයෝයි ප්‍රකට වූවාහු වෙති.
ඔවුහු එක් ජන දිනයක බොහෝ කෑම් බීම් මල් ගඳ විලවුන් වස්ත්‍රාභරණ හා පිරිවර ජනයා ද ගෙන උයනෙහි බිරින්ඳන් සමඟ ක්‍රීඩා කරති. ඉන් බිරිඳ නැති එකෙකු සඳහා එක් වේසියක ධනයෙන් පොළඹවා ඔහුට දුන්හ. ඔහු ද ඇය සමඟ උයන් කෙළියෙහි යෙදුණේය. වේසිය ඔහුගේ පමා බව දැක අබරණ බඩු ගෙන පලාගියාය. රජ කුමරවරු ඔහුගේ වතාවත් කරන ස්ත්‍රිය සොයන්නාහු, කප්පාසිය වන ළැහැබෙහි ඔබ මොබ සොයන්නාහු ගස් මුලක වැඩහුන් අභිරූපවත් දැකුම්කළු ප්‍රසාද දනවන පරම වර්ණ සෞන්දර්යයෙන් යුත් පුන්සඳ සේ සශ්‍රික මුව ඇති හිර බඳු තෙද ඇති මහසල්ගසක් යට සිටි ඇතෙකු වන් මුළු වන ළැහැබ බබුළුවන ඒ භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක ඔවුහු පුදුමයට පත්ව දුරසිට වඳිමින් නැමූ හිසින් උන් වහන්සේගේ රංසි ජාලයෙහි ගැලෙමින් වෙත පැමිණ වැඳ පසෙක සිට ස්වාමීනි, එක් ස්ත්‍රියක දුටු සේක්දැයි ඇසූහ.
කුමාරවරුනි, ඔබලාට ස්ත්‍රියක කුමට ද? ස්වාමීනි, අපි මෙහි යහළු ස්ත්‍රීන් සමඟ වන ළැහැබෙහි හැසිරෙම්හ. මොහුට බිරිඳක් නැත. ඒ සඳහා වේසියක ගෙන ආවෙමු. විනෝදයෙන් පසු වෙද්දී ආභරණ බඩු ද රැගෙන පලාගියාය. අපි යහළුවාට වතාවත් කරමින් ඒ ස්ත්‍රිය සොයමින් මේ වන ළැහැබෙහි හැසිරෙමු කියා සැලකළහ. කුමාරයෙනි, කුමක් සිතන්නහු ද? ඔබලා කුමට ස්ත්‍රියක සොයන්නහු ද? ඔබලා තමන්ම සොයව් ද?. එසේය ස්වාමීනි, තමන් සෙවීම අපගේ පර්යේෂණය විය යුතුය. එසේ නම් කුමාරවරුනි, හිඳ ගනිව්. දහම් දෙසන්නෙමියි වදාළහ. එසේය ස්වාමීනියි පිළිතුරු දී වැඳ පසෙක වාඩි වූහ. ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ අනුපූර්ව ධර්‍ම කථාව දේශනා කළහ. අවසන සමහරු සෝවාන් ඵලයට පැමිණියහ. සමහරු සකදාගාමි ඵලයට ද සමහරු අනාගාමි ඵලයට ද පැමිණියහ. ඔවුන් අතර කිසි පුහුදුන් කෙනෙක් හෝ රහත් කෙනෙක් නොවූහ. දහම් දුටු දහම් දත් රාජ කුමාරවරු අපි භාග්‍යවතුන් වහන්සේ වෙත මහණ උපසම්පදා ලබන්නෙමුයි සැලකළහ. උන්වහන්සේ සුන්දර සිවුරු ගැබින් ඓරාවණ ඇත්සොඬ බඳු දකුණත දිගු කොට මහණෙනි, එව්. ධර්‍මය ස්වාක්ඛාතය. මැනවින් දුක් නැසීමට බඹසර හැසිරෙව් කියා ඇමතූහ. එකෙණෙහි පා සිවුරු ආදි අටපිරිකර ධරව සියවස් ගත තෙරවරුන් මෙන් ඉරියව් සම්පන්න වූහ. ඉක්බිති මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස චාරිකාවෙහි හැසිරෙව් කියා වදාළහ. ඒ සියල්ලෝ බුදුන් හමුයෙහි තෙලෙස් දුහඟ සමාදන්ව වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
භාග්‍යවතුන් වහන්සේ භද්‍ර වර්ගීයයන් පශ්චිම දිසාවට පිටත්කොට උරුවේල කස්සප ජටිලයාගේ අසපුවට පැමිණි සේක. එදින ඉර බැස තිබුණේය. භාග්‍යවතුන් වහන්සේ උරුවේල කාශ්‍යපයන් වෙත ගොස් නොවේලෙහි පැමිණි අප වැනි පැවිද්දන්ට වසන තැන් කියවයි වදාළහ. එවිට උරුවේල කස්සප “පන්සියයක් ජටිලයන්ට එකිනෙකාට එක පන්සල බැගින්ම වේ. දෙවෙනි කිසිවකුට කිව නොහැකිය. දැන් කුමක් කළ හැකිදැයි කිවුය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ වදාළහ. කස්සප, මේ පන්සල හිස් නේ ද? මහාශ්‍රමණය, මේ අපගේ ගිනිහලයි. දෙවියන් පුදන තැනයි. ඊටත් වඩා මෙහි ඝෝර විසැති නාගයෙක් සිටී. මෙය බලන්නටත් බැරිය. ඔහු ඔබට හිංසාවක් නොකෙරේවා යි කීය. කස්සප, ඔහුට අපකාරවත් ප්‍රතික්‍රියා මට භාරය, ඔබ අනුදැනීම් පමණක් කරන්න. ඔබට බරක් නොවේ නම් වාසය කරමියි කීහ. මම නොවළ කමි. ඔබට අනුමතත් නොකරමියි කියා බයත් ත්‍රාසයත් අඟවමින් සිය පන්සලටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ ද ගිනිහල් ගෙට වැද නා රජුගේ සයනය මත තණ අතුරා පර්යංකයෙන් හුන්හ. එවිට නා රජ තමාගේ සයනය මත හුන් බුදුන් දැක කිපී, මේ මුඩු මහණ තෙම මට නිගාකොට තමාගේ මෙන් මාගේ ශ්‍රීසයනයෙහි හුන්නේය. මම ඔහුට ප්‍රතිකාර දනිමියි ගිනි තැබු තෙත පිදුරු මෙන් දුම් දමමින් මුළු පන්සල දුමින් පිරවීය.
භාග්‍යවතුන් වහන්සේ එවිට “මේ නාරජ තමාගේ බලය බලයයි සිතයි. දසබලයන් වහන්සේ නොහඳුනයි. දැන් ඔහු තෙදින් තෙද වැළඳ ගන්වමි”යි තේජෝකසිණයට සමවැද වඩා බලවත් දුමක් මැවූහ. නාරජ දුන් රොටුවෙන් වටව පැසෙන තෙලක් මෙන් පැසෙමින් දුකින් පිරීගෙනම මකු බව ඉවසිය නොහී දිලිසුණේය. භාග්‍යවතුන් වහන්සේ ද යුගාන්ත සූර්‍ය්‍යයාමෙන් පන්සලත් සමඟම ඇවිල ගත්හ. දඬු වැට පහන් පෙළක් මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ අදිටන් බෙලෙන් තණ කටුවලට හෝ මැසි මදුරු මී සතුන්ට හෝ සන්තාප මාත්‍රයකුත් නොවීය. නාරජුගේ ශරීරය උදුනක දැමූ ලෝ පිඬක් මෙන් හාත්පසින් රතු විය. එවිට නා රජු සිතීය. අහෝ මම බලවත් දසබල අනුහස නොදනිමි. තියුණු මුවහත් කඩුවකින් කෙසෙල් බඩක් කපන්නා සේ කියත්දතින් පුප්ඵාවලික ක්‍රීඩාව කරන්නාසේ. තමාගේ බාල බව දැක්වීමි. දැන් මට වෙනත් පිළිසරණක් නැත. බුදුන් සරණයාම මට ශ්‍රේෂ්ඨය යි සිතා පහත දැමූ මානධජ ඇතිව සිය මානය ප්‍රතික්‍ෂේප කොට භාග්‍යවතුන් වහන්සේගේ පා මුල වැටී ස්වාමීනි, ඔබගේ තෙජෝබල නොදන්නා මා විසින් මහා අපරාධයක් කරන ලදි. මාගේ ඒ වරද සමාකරනු මැනවයි අයැදියේය.
එවිට සකල සත්ත්‍වහිත තථාගතයාණෝ නාග රාජය, ඔබට සමා කරමි. පුහුදුන් බව නිසා ඔබ විසින් එය කරන ලදැයි කීහ. පහන් නා රජ “මම අද පටන් ජීවිත පරිත්‍යාගයෙන් හෝ රත්නත්‍රය අත නොහරිමි කියා තෙසරණ ගියේය. භාග්‍යවතුන් වහන්සේ ලෙළෙන කුණ්ඩලයක් මෙන් දරණගන්වා මුළු රැය සමවත් සුවයෙන් ගත කළහ. උරුවෙල් කසුප් තවුස් තෙම බුදුන් පන්සලට පිවිසි තැන් පටන් නාරජ මහාශ්‍රමණයන්ට කුමක් කරයි දැයි සිත සිතා නිදි නොලැබීය. පන්සල දැල්වුණු කල්හි උද්වේග සිතින් මෙසේ සිතීය. “අපොයි ඇත්තෙන්ම මහාශ්‍රමණයෝ අභිරූප වත්හ. නාගයා විසින් අලු කරන්නට ඇතැයි තමාගේ පන්සලින් නික්ම ගිනිහල්ගෙය වටා සිට හිරු උදාවන තුරු සිත සිතා සිටියේය. දසබලයන් වහන්සේ ඉර උදා වූ පසු නාරද සෙල්මුවා පාත්‍රයෙහි බහා බබළමින් පන්සලින් නික්මි සේක. රන්ගිරි ගුහාවකින් නික්මෙන කේසර සිංහයෙකු සේ නික්මෙන බුදුන් දැක ජටිලයෝ පරම විස්මය පත්ව බුදුන් පිරිවරා ගත්හ.
එවේලෙහි සමාධි සුවයෙන් සැනසූ සිරුරු ඇති භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින්, අසූ අනුව්‍යඤ්ජනයෙන්, බ්‍යාමප්‍රභාවෙන්, සවනක් රසින් සරාහිරු සේ බැබළි සේක. උරුවෙල් කසුප් ජටිල තෙම හිරු රැස් කළඹක් සේ බබළන බුදුන් දැක පහන් සිතින් “භවත්නි ආශ්චර්‍ය්‍යයයි, භවත්නි අද්භූතයි. මහාශ්‍රමණයන්ගේ මහාසෘද්ධිමත් බව මහානුභාවතාව පුදුමයි. එතුමන් විසින් උග්‍ර තේජස් ඇති ඝෝර විෂ ඇති ඒ නාගයා දියබරියකු මෙන් නිර්මද කරන ලදි. දැන් මම මෙතුමන් සරණ යමියි සිතීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට “කාශ්‍යපය, නාරජ ඉතා චණ්ඩය. ඉවසිය නොහැකි යයි ඔබ වර්ණනා කළෙහිය. මා විසින් ඔහු පණුවකු මෙන් නිර්විෂ බවට පත් කරන ලදැයි කීහ. එවිට නාරජ පෙණ හකුළුවා භාග්‍යවතුන් වහන්සේගේ පා මුල හිස තබා දිවෙන් සිරිපා ලෙවමින් සිටියේය. ඒ දැක පන්සියයක් ජටිලයෝ පැහැදුණහ. මහණ වීමට සිතූහ.
ඔවුන් පහන්බව දැන උරුවෙල කස්සප මෙසේ සිතීය. මා බුදුන් සරණ ගියහොත් මේ සියලු ජටිලයෝ මහණ වෙති. එයින් මාගේ යසස් පිරිහේ. දැන් මොවුන් රවටමියි නොපහන් අයෙකු මෙන් මෙසේ කීය. මහාශ්‍රමණයෝ මහත් සෘද්ධි මහානුභාව ඇත්තාහ. මා වැනි රහතෙක් නොවෙතැයි කියායි. එදවස පිණ්ඩපාත දී බුදුන්ට මෙසේ ආරාධනා කළේය. මහාශ්‍රමණය, මෙහිම වසනු මැනව. මම ඔබට සදා දන් දෙමි. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඔහුගේ ඇරයුම පිළිගෙන ඒ ආශ්‍රමයට නොදුරු වන ළැහැබෙක විසූහ. එකල්හි සිවුවරම් රජවරු රැය ඉක්ම ගිය පසු සොඳුරු වර්ණයෙන් මුළු මහත් වන ළැහැබ බබුළුවා බුදුන් කරා පැමිණ වැඳ මහ ගිනිකඳන් මෙන් දිලෙමින් සිටගත්හ. උරුවේල කස්සප ජටිලයා ඒ දැක පෙර නොදුටු බැවින් ආශ්චර්‍ය්‍ය අද්භූතව රැය පහන් වූ කල භාග්‍යවතුන් වහන්සේට දන් පිළිවෙළ කොට බුදුන් කරා ගොස් මහාශ්‍රමණය, කාලයයි, දන් නිම වී යයි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය. මහාශ්‍රමණය, රැයෙහි සුන්දර වර්ණයෙන් මුළු වන ළැහැබ බබුළුවා ඔබ වහන්සේ වෙත පැමිණ ඔබ වහන්සේට වැඳ සිව් දිගින් මහගිනිකඳන් මෙන් සිටියාහු කවරහුදැයි විමසීය.
කාශ්‍යපය, ඒ වනාහි වරම් රජවරු බණ ඇසීමට මා වෙත පැමිණියාහුයි වදාළහ. එවිට උරුවේල කස්සපට භවත්නි, මහාශ්‍රමණ මහර්ධිමත් ය. මහානුභාව ඇත්තාහ. වරම් රජහු ද බණ ඇසීමට පැමිණෙති. මා මෙන් රහතෙක් නොවෙතියි අදහස් විය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා ඒ වන ළැහැබෙහිම වාසය කළහ. සක් දෙවිඳු ද එසේම රාත්‍රියෙහි භාග්‍යවතුන් වහන්සේගේ බණ ඇසීමට පැමිණ සොඳුරු පැහැති වස්ත්‍රාභරණාලෝකයෙන් මුළු වන ළැහැබ බබුළුවා බුදුන් වෙත පැමිණ මහගිනිකඳක් මෙන් පසෙක සිටියේය. කස්සප ජටිල ඔහු දැක රැය ගෙවීමෙන් පසු බුදුන් වෙත පැමිණ දන් වේලාව සැලකොට මහාශ්‍රමණයෙනි, සුන්දර වර්ණයෙන් වන ළැහැබ බබුළුවමින් ඔබ වෙත පැමිණ පෙර වර්‍ණ කාන්තියට වඩා කාන්තිතරව ප්‍රණීතතරව මහ ගිනිකඳක් මෙන් එකත් පසෙක සිටියේ කවුරු දැයි ඇසීය. කාශ්‍යප, ඒ බණ ඇසීමට මා වෙත පැමිණි සක් දෙවිඳු යයි වදාළහ.
ඔහුට මෙසේ සිතිණ. මහා ශ්‍රමණයෝ මහාර්ද්ධික මහානුභාව වෙති. බණ ඇසීමට සක්දෙවිඳු ද එයි. මා මෙන් රහතෙක් නම් නොවෙයි කියායි. නැවත ද රෑ කල සහම්පති මහාබ්‍රහ්ම බණ ඇසීමට බුදුන් වෙත පැමිණ තමන්ගේ මනහර වර්ණ ප්‍රභාවෙන් වන ළැහැබ බබුළුවා මහගිනිකඳක් මෙන් සිටියේය. එය දුටු කස්සප ජටිල පරම විස්මයට පත්ව භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් දන් වේලාව සැලකොට පෙර පරිදිම ඇසීය. භාග්‍යවතුන් වහන්සේ ද කාශ්‍යපය, බණ ඇසීමට මා වෙත පැමිණි සහම්පති බ්‍රහ්මයායි වදාළහ. ඔහුට මෙසේ සිත්විය. මහාශ්‍රමණයෝ මහද්ධිමත් මහානුභාව ද වෙති. බණ ඇසීමට මහබඹු ද පැමිණෙයි. මා මෙන් රහතෙක් නම් නොවෙයි කියාය.
එසමයෙහි ඝටීකාර බ්‍රහ්මයා විසින් පුදන ලද අඳනය හා සිවුර ප්‍රධන් විර්‍ය්‍යයෙහි නියුතු සය වස්හි පරිභෝගයෙන් දිරා ගියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. පරමාභිසම්බෝධියට පත් සියලු බුදුවරයන්ට පාංසුකූල ගැනීම ආචීර්ණය. මම ද පාංසු කූල චීවරයක් සොයන්නෙමියි සිතූහ. විතර්කයට අනතුරුව සතර නහුතයක් අධික දෙලක්‍ෂයක් යොදුන් ඝන මහ පොළොව කම්පා විය. එකල ගයාගම බොහෝ හිරි ඔතප් ඇති රාධ නම් බමුණාගේ පුණ්ණා නම් දාසියක් වූවාය. ඇය ද සොහොනට නුදුරෙහි කුඹුරක් රක්නීය. ගමින් කෙතට යද්දීත් කෙතින් ආපසු එද්දීත් සොහොනෙහි නිර්වස්ත්‍ර කුණපයක් දැක පිළිකුල් කරමින් මෙසේ සිතුවාය. අනාථ වූ මා ද මෙසේ හැර දමනු ඇත. මාගම් ශරීරය ද අතිශය පිළිකුල්ය. දිගු පුළුල් ඝන වස්ත්‍රයක් වියවන්නේ නම් මැනවි. මා මළ පසු ශරීර වස්ත්‍රයක් වෙයි කියා සොහොනෙහි නූල් කැට එහි වේතනය ස්වාමියාගෙන් ඉල්වා දිගින් දෙතිස් රියන් පුළුලින් සය රියන් ඝන වාටි ඇති වස්ත්‍රයක් වියවා ස්වාමීනි, මා මළ පසු නොදවනු මැනවි. මේ වස්ත්‍රයෙන් ඔතා සොහොනට දමන්නැයි ස්වාමියාගේ අතට දුන්නාය. රාධ බ්‍රාහ්මණ තෙම සිය දාසිය කෙරෙහි ගෞරවයෙන් ජීවත්වන තුරු සියලු ප්‍රත්‍යයෙන් උවැටැන් කොට මළ පසු මහසත්කාර කොට කී පරිදි ඒ වස්ත්‍රයෙන් වෙළා අමුසොහොනෙහි දැම්මවීය.
ඒ දැස්සගේ සිරුර තුන්වෙනි දවස ඉදිමී සැරව ගලන වනතුඹසක් මෙන් විය. නව වණ මුඛයෙන් සැරව ගලයි. මුළු සිරුර සිදුරු සිදුරුව මී වදයක් මෙන් විය. කිලිටි සිරුරෙහි අට නැලියක් පමණ පණුවෝ හටගත්හ. වස්ත්‍රය ශරීරයෙහි ඕජාවෙන් පිරුණු පැසක් බඳු විය. එකල භාග්‍යවතුන් වහන්සේ පාංශුකූලය ගැනීමට සොහොනට වැඩියහ. එවිට ද පොළොව කම්පා විය. භාග්‍යවතුන් වහන්සේ කුණපයෙහි පාපස සිට පාංශුකූලයෙහි කොණ අල්ලා එසවූහ. සියලු කෘමීහු ශරීරයෙහිම වැටුණහ. එසේම පහත් නොකොට මොහොලක් මෙන් ගෙන තමන් වසන තැනට අවුත් මෙසේ සිතූහ. මේ ගඟෙහි දිය මඩ සහිතය. මේ පාංශුකූලය කොතනක සොදන්නෙම් ද කියායි. එවිට සක් දෙව්රජ මහාකුබුක්ගස් සෙවණක ගල්තලාවක රළ ගැවසෙන පහන්දිය පිරි පොකුණක් මවා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පාංශුකූලය ධෝවනය කරන සේක්වායි කීය. නැවත භාග්‍යවතුන් වහන්සේ මේ බිම ධූලි පිරී ඇත. මෙහි පාංශුකූලය ඇතිල්ලිය නොහැකිය. පාංශුකූලය කොහි අපුල්ලන්නෙම්දැයි කියායි. එවිට ශක්‍රයා පාංශුකූලය මැඩීමට සිව් කොන් මනහර මකර මුඛයෙන් සැරසු කළුගල් දෙවුම් දෙණක් මැවීය. භාග්‍යවතුන් වහන්සේ එය දෙණෙහි බහා සක් ලකුණෙන් සුසැදි සුරත් මොළොක් අත්ලෙන් අනුපූර්ව දික් ඇඟිලිවලින් යුත් අත්වලින් පිරිමැදි සේක. එහිදී ද පොළොව කම්පා විය.
භාග්‍යවතුන් වහන්සේ පාංසුකූලය මඩිද්දීම කුණුගඳ සංසිඳිණ. එතෙක් පොකුණින් දිය දහරා මතු වී තෙමේම දොණියෙහි වැටිණ. සිවුර මඩින භාග්‍යවතුන් වහන්සේගේ ශරීර බලය සාවුරුදු දුෂ්කරක්‍රියාවෙන් පිරිහි සිනිඳු බොජුන් වැළදීමෙන් පසුත් ප්‍රමාණවත් තරම් නොපිරුණ හෙයින් පිට රිදෙන්නට විය. එවිට භාග්‍යවතුන් වහන්සේගේ අදහස දත් කුබුක් ගසෙහි අධිපති දේවතාවා භාග්‍යවතුන් වහන්සේ මේ අත්ත අල්වාගෙන ගොඩ එන සේක්වායි අත්තක් නමාලීය. උන්වහන්සේ එය අල්වා ගෙන ගොඩ නැගී මෙසේ සිතූහ. “සියුම් දූවිල්ලෙන් පාංශුකූලය කිලිටි වෙයි. එය කොහි දිග හරින්නෙම් ද කියා”යි. එය දත් සක්දෙව්රජ මොහොතකින් හිමවතින් කළුගලක් ගෙනැවිත් ස්වාමීනි, පාංශුකූලය මෙහි වනන සේක්වායි ඉදිරියෙහි තැබීය. උන්වහන්සේ පාංශුකූලය එහි වැනූහ. එවිට සක් දෙව්රජ නොයෙක් රුක් කසට ගෙන දෙණෙහි පිරවීය. භාග්‍යවතුන් වහන්සේ පාංශුකූලයෙහි වාටි කැපූහ. එවිට ද පොළොව කම්පා විය. උන් වහන්සේ එය පාට ගන්වා සවස් යාමයෙහි සන්ධ්‍යා වලා සමාන සොඳුරු පවුල් සිවුරින් රන් වන් බුදුබඳ වසා පෙර වූහ. පෙරවූ එම පවුල්සිවුර පාංශුකූල සංඝාටිය විය. පැරණි සංඝාටිය උත්තරා සංගය විය. පැරණි උත්තරා සංගය අඳනය විය. පැරණි අඳනය නැතිව ගියේය. එසේම මිහිකත සම්මර්ශනයෙහි, ගමනෙහි, ප්‍රවේශයෙහි, ගැනීමෙහි, දෙවීමෙහි, සිඳීමෙහි, මැඩීමෙහි, රැඳීමෙහි, ධාරණයෙහි යන නව වාරයෙක කම්පා විය.
ඔක්කාක කුලයෙහි උපත ලබා සතර මහා දිවයින හැරදමා පාංශුකූලයෙන් සතුටු වූහ. බුදුරජාණන් වහන්සේගේ උදාරතාව ආශ්චර්යයි. කසීසළු කොමුපිළි කොටුම්බදේශ පිළී දරා සියලු බුදුවරුන්ගේ සිරිතට අනුව හන රෙදි හැඳගත් සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙවන දින තමන් වහන්සේ වෙසෙන තැනට පැමිණ උරුවෙල් කසුප්හට පාංශුකූලයක් සෙවීමේ විතර්කය, යාම, ඒ සඳහා සොහොනට පිවිසීම, ගැනීම, දෙවීම, වාටි සිඳීම, මැසීම, රැඳවීම, පෙරවීම යන නවතැන පොළොව කම්පාවීමත් සක්දෙව්රජුගේ වත්පිළිවෙත් කිරීමත් වදාළහ. කාශ්‍යප ජටිල මහා ශ්‍රමණයෝ මහර්ධිමත් මහානුභාව ඇත්තෝය. මා මෙන් රහත් නොවෙතැයි සිතීය.
දිනක් අඟු මගද වැස්සෝ දුරුතු පසළොස්වක් දින නාගරාජයාට බිලියම් පිණිස ද ශස්‍ය විනාශ බියෙන් ද දෙලක්‍ෂයක් වටිනා උපහාර රැගෙන ආහ. එවිට කාශ්‍යපට මෙසේ සිතිණ. දැන් මාගේ මේ මහායාගය ද සූදානම්ය. මුළු මහත් අගු මගධ වැස්සෝ බොහෝ කෑම් පීම් ගෙන පැමිණෙති. මේ මහ සෙනඟ මෙහි ශ්‍රමණ ගෞතමයන් දුට හොත් කිසිදා මා දෙස නොබලති. මාගේ ලාභ සත්කාර පිරිහේ. ශ්‍රමණ ගෞතමයන්ගේ ලාභ සත්කාර වැඩිවේ. ඇත්තෙන්ම මහාශ්‍රමණයන් මෙහි නාවොත් යෙහකි කියායි.
පරසිත් දන්නා භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන පාසිවුරු ගෙන උතුරුකුරු දිවයිනට වැඩ එහි පිණ්ඩපාත කොට ගෙන හිමවත මනෝසිලා තලාවක හිඳ වළඳා අනෝතත් විලෙන් පැන් කිස නිම කොට එහි දාවල් දවස ගෙවා සවස රන හංසයෙකු මෙන් අහසට නැග ලක්දිව නාගවන උයන්හි යක්‍ෂ සමාගමයෙහි මධුකඞ්ගණ චෛත්‍යස්ථානයෙහි චෛත්‍යයෙහි ප්‍රථම ඡත්‍රය පිහිටන තැන කළයක පහනක් සෙයින් රූසිරින් බබළමින්, බොහෝ සිය ගණන් පෙළහර දක්වා ප්‍රථම චෛත්‍යස්ථානයෙහි හිඳින සම්කඩ පනවා වැඩ හුන්හ. ඉක්බිති අනුක්‍රමයෙන් ධර්ම පර්‍ය්‍යංකය වඩා මුළු දිවයින එකම පර්‍ය්‍යංකයක් මෙන් උපුටා යකුන් නෙරපා වඩිද්දී සුමන කූටයෙහි සුමන දෙවියන්ට කේශ ධාතු දී මහියංගණයෙහි රුවන් වැලිමුවා ථූපයක් කරවා උරුවේලාවට වැඩි සේක.
දෙවන දින උරුවේල කස්සප බුදුන් වෙත පැමිණ මහා ශ්‍රමණය, ඊයේ කුමක් නිසා නො ආයෙහි ද? නමුත් අපි කෑම් බීම් ද තබා සිහි කළෙමුයි කීය. එවිට සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ තොරතුරු කීහ. උරුවේල කාශ්‍යප ඒ බව අසාත් සෘද්ධිමත් බව පිළිගනී. රහත් බව නම් ප්‍රතික්‍ෂේප කරයි. දෙවෙනි දින දන් වේලාව දැන්වීමට පැමිණි කාශ්‍යප මහාශ්‍රමණය, දන් වේලාවයි කියා සැල කළේය. උන්වහන්සේ කාශ්‍යප, ඔබ යන්න. මම එමියි පළමුව පිටත් කොට මොහොතකින් සෘද්ධි බලයෙන් මහදඹරුකින් මිහිරි ඕජා ඇති දඹ ඵල ගෙනවුත් ගිනිහල් ගෙයි වැඩහුන්හ. උරුවේල කාශ්‍යප ගිනිහල් ගෙයි වැඩහුන් බුදුන් දැක “මහාශ්‍රමණය, ඔබ කුමන මඟකින් පැමිණියහු ද? මම ඔබට පළමුවෙන් පිටත් වීමි. ඔබ මටත් පළමුවෙන් පැමිණ ගිනිහල් ගෙයි සිටින්නාහයි” කීය. කාශ්‍යපය, ඔබ පිටත් කොට මම යම් දඹ ගසකින් දඹදිව ප්‍රසිද්ධ ද, ඒ දඹගසින් ගෙඩි ගෙන ඔබටත් කලින් පැමිණ ගිනිහල් ගෙට ආයෙමි. කාශ්‍යපය, මේ දඹ වර්ණ ගන්‍ධ රස සම්පන්නය, කැමැති නම් වළදවයි වදාළහ. මහාශ්‍රමණය, කමක් නැත. ඒ සුදුසු ඔබටමය. ඔබම වළදන්නැයි කාශ්‍යප කීය. එහිදී ද මහාශ්‍රමණයෝ මහානුභාව වෙති. මා මෙන් රහත් නම් නොවෙති කියා ඔහුට සිතිණ.
නැවත ද දඹදිව ඔජොභූත වූ මහදඹ රුක ළඟ අඹ ද බෙහෙත් නෙල්ලි ද බෙහෙත් අරළු ද ගෙන එමින් තව්තිසාවෙහි පරසතු මල් ගෙන එමින් කල් දැන්වීමට පැමිණි කාශ්‍යපයන් පළමුව පිටත් කොට ඔහු ගිනිහල් ගෙට පැමිණීමටත් පෙර වැඩම කොට ගිනිහල් ගෙයි වැඩහුන් සේක. මකු කම නිසා හැම තන්හිම උරුවේල කස්සප මහානුභාව බව පිළිගනියි. රහත් බව නොපිළිගනී.
එසමයෙහි ඒ ජටිලයෝ ගිනි දෙවියන් පිදීමට දර පළන්නට පටන් ගත්හ. පන්සියයක් ජටිලයන් දර පළද්දී බුදුහු දර නොපැළෙන සේ අධිෂ්ඨාන කළහ. දරුපැළිය නොහැකිව “නිසැකවම මහා ශ්‍රමණයන්ගේ සෘද්ධ්‍යනුභාවයෙකි, අපට දර පැළිය නොහැකි යයි සිතූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපට කාශ්‍යපය, දර පළ වන්නෙම්දැයි වදාළහ. මහාශ්‍රමණය, පළවනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ එක් වරම සියල්ල පැළෙන සේ අධිෂ්ඨාන කළහ. පන්සියයක් දර කොට එකෙණෙහිම පැළී ගියේ ය. මෙහි නොපැළීම් පැළීම් භේදයෙන් ප්‍රාතිහාර්‍ය්‍ය දහසක් දත යුතුය. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදනු කැමැත්තාහු ගිනි නො ඇවිලෙන සේ භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කළහ. ඔවුහු ගිනි දැල්වීමට නොහැකි වූහ. භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපය, ගිනි අවුලුවන්නෙම්දැයි වදාළ සේක. මහා ශ්‍රමණය, ගිනි අවුලවනු මැනවි. එක්වරම ගිනි පන්සියයම ඇවිලීයේය. නො දැල්වීම් දැල්වීම් භේදයෙන් ප්‍රාතිහාර්‍ය්‍ය දහසකි. ගිනි නිවනු කැමැති කල්හි බුදුහු ගිනි නොනිවෙන සේ අධිෂ්ඨාන කළහ. ඔවුහු ගිනි නිවීමට අපොහොසත් වූහ. බුදුහු කාශ්‍යපය, ගිනි නිවන්නෙම් ද? මහාශ්‍රමණය, නිවනු මැනව. සැණෙකින් පන්සියක් ගිනි නිවී ගියේය. මෙහි නොනිවීම් නිවීම් වශයෙන් ද දහසකි.
එක් කලෙක නවම් මැදින් දෙමස අතර අන්තරට්ඨික හිමපාත සමයෙහි සියලු ජටිලයන් නේරඤ්ජරා නදී දියට බැස සීත වේගයෙන් වෙව්ලන්නවුන් දැක එක් එක් පංසලෙහි එක් එක් ගිනි කබල මැවූ කල්හි නිසැකයෙන් මේ ගිනි කබල් මැවීම මහාශ්‍රමණයන්ගේ සෘද්ධ්‍යානුභාවයකැයි සිතූහ. මෙහි ප්‍රාතිහාර්‍ය්‍ය පන්සියයකැයි දත යුතුයි. ඒ සියලුම තුන් දහස් පන්සියයක් ප්‍රාතිහාර්‍ය්‍යයෝය. මෙතෙක් පෙළහරවලදී ද උරුවේල කස්සප මහානුභාව බව පිළිගත්තේය. නමුත් මකු බව නිසා අර්හත්වය නොපිළිගත්තේ ය.
එකල අකල් මහවැස්සක් වැස්සේය. මහා සැඩපහර ඇති විය. බියට පත් ජටිලයෝ උස් තැන්වලට නැගුණහ. බුදුහු තල් කඳක් පමණ උස සැඩ පහර මැද ධූලි රහිත පොළොවෙහි සක්මන් කළහ. එවිට උරුවේල කස්සප අහෝ සොඳුරු මහාශ්‍රමණයන් සැඩ පහරින් ගසාගෙන යන්නට ඇතැයි කරුණාවෙන් බොහෝ ජටිලයන් සමඟ ඔරුවක නැගී බුදුන් වසන තැනට ගියේ ය. උරුවේල කාශ්‍යප සැඩ පහරින් ගොඩ නොවන නොතෙත් ගත් හා පාසිවුරු ඇති සීතලක් කම්පාවක් නැති ධූලි රහිත පොළොවෙහි සක්මන් කරන බුදුන් දුටුවේය. දැක අර්හත්වය නොපිළිගනිමින් ම “මහාශ්‍රමණය, ඔබ මෙහි දැයි ඇසීය. කාශ්‍යපය, මම මෙහි වෙමියි වදාළහ. මහාශ්‍රමණය, එන්න. ඔරුවට නගින්නැයි කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වචනය ගණන් නොගෙනම රන්හසකු මෙන් අහසට නැඟ ඔරු තැල්ලෙහි සිට ගත්හ. එදාත් කාශ්‍යප අර්හත්වය නොපිළිගත්තේ මය.
ඔහුගේ නුවණ මුහුකුරා යාම දත් භාග්‍යවතුන් වහන්සේ ඔහු සංවේගයට පත් කරනු කැමැතිව රහත්මදය පහ කරනු කැමැතිව අනුකම්පාවෙන් මෙසේ වදාළහ. “කාශ්‍යප, ඔබ මා විසින් නොයෙක් දහස්ගණන් ප්‍රාතිහාර්‍ය්‍ය කරද්දීත් ඔබගේ රහත් බවම ප්‍රකාශ කරන්නෙහිය. ඉදින් ඔබට රහත් බවක් තිබේ නම් දැන් සෘද්ධි බලයක් හෝ ඤාණ බලයක් දක්වන්නැයි කියා ඔරුව යටිකුරු කළහ. එවිට කාශ්‍යප දිය හැළියක තෙත බරිත මීයෙකු මෙන් පිහිටක් නොලබා පිහිට පැතීය. බුදුසරණම ගියේය. එවිට බුදුහු ඔරුව ගොඩබිම්හි වන සේ සෘද්ධියක් කළහ. හෙතෙම බුදුසිරිපා සිරසින් වැඳ පැවිද්ද යදිමින් ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිද්ද ලබමි. උපසම්පදාව ලබමියි කීය.
භාග්‍යවතුන් වහන්සේ ඔහුට කාශ්‍යපය, ඔබ පන්සියයක් ජටිලයන්ට නායක ද ප්‍රමුඛ ද වන්නෙහිය. ඔවුන් ගැන බලා ඔබ සිතන සැටියෙක් කරන්නැයි වදාළහ. උරුවේල කස්සප පන්සියයක් ජටිලයන් කැඳවා “මම මහාශ්‍රමණයන් වෙත පැවිදිවෙමි. ඔබලා තමන්ගේ නිශ්චය කියව්. ඔබලා සිතන පරිදි ක්‍රියා කරව් යි” කීය. ගුරුතුමනි, බොහෝ කලක සිට සැක කළෙමු. මහාශ්‍රමණයන්ට පැහැදුණෙමු. පළමු පෙළහර දැකීමෙන්ම මහාශ්‍රමණයන් වෙත මහණ වීමට අදහස් කළෙමු. ඔබතුමා මහාශ්‍රමණයන් වෙත පැවිදි වන්නෙහි නම් අපි හැම දෙනම බලවත් කැමැත්තෙන් මහණ වන්නෙමු. එවිට උරුවේල කස්සප ශිෂ්‍යයන් සමඟ කෙස් ජටා මුසු පිරිකර බර ද ගිනිකබල් ද ගඟෙහි පා කොට බුදුන් වෙත පැමිණ පා වැඳ පැවිද්ද ඉල්ලූහ.
එවිට ලෝක නාථයන් වහන්සේ සරත් සැදෑවලා වන් රත් පවුල් සිවුරින් සක් ලකුණු හෙබි ගැඹුරු රේඛා සහිත අත්තල ඇති රන්වන් දිගැඟිලිවලින් බබළන දකුණත දික් කොට පුන්සඳ වන් සුනිල් නුවනින් බබළන සුපිහිටි උන්නත නාසා ඇති අවිරල දසනින් යුත් බිඹුපල වන් රතු තොල් යුත් පුළුල් දිවු සහිත මුව පියුම විවර කොට බඹගොස් විහිදුවා ජටිලයන් අමතා මහණෙනි, එව්. ධර්‍මය ස්වාක්ඛාතය. මනාව දුක් කෙළවර පිණිස බඹසර හැසිරෙව් කියා වදාළහ. බුදුන් වදාළ වචනයට අනතුරුවම ඔවුහු සෘද්ධිමත් පා සිවුරු ධරව සියවස් ගත තෙරවරුන් මෙන් ඉරියව් සපිරි පැවිදිවෙස් ඇතිව භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් හුන්හ.
එකල උරුවේල කාශ්‍යපයන්ගේ සොහොයුරු නදීකාශ්‍යප ජටිලයන් තුන්සියයකට නායක වුයේ වෙයි. හෙතෙම තුන්සියයක් ජටිලයන් සමඟ නේරඤ්ජරා ගඟ වක්කලමක වසයි. ගඟ දියෙහි පාවෙන ජටා පිරිකර දුටු නදී කාශ්‍යප “මාගේ සහෝදරයාට මෙබඳු උවදුරක් නොවේවා”යි සිතා ජටිලයන් පිටත් කොට හැරියේය. යව් මාගේ සොහොයුරා ගැන තොරතුරු දනිව් කියායි. ඔවුහු ගොස් බලා එපවත් දැනුම් දුන්හ. තෙමේ ද තුන්සියයක් ජටිලයන් සමඟ උරුවේල කාශ්‍යපයන් වෙත ගොස් ශාන්ත දාන්ත වේසධාරී ඉරියාපථ සම්පන්න කාශ්‍යපයන් දැක කාශ්‍යපය, මෙය ශ්‍රේෂ්ඨදැයි ඇසීය. ඇවැත්නි එසේය. මෙයම ශ්‍රේෂ්ඨය. එවිට නදී කාශ්‍යප ප්‍රමුඛ ඒ ජටිලයෝ ජටා පිරිකර දියෙහි පාකොට බුදුන් කරා ගොස් පා වැඳ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ “ඒහි භික්ඛු” කියා පැවිදි කළ සේක. එවිට උන් හැමට බාල සොහොයුරු ගයා කස්සප දෙසියයක් තරුණයන්ට ප්‍රමුඛව ගයා හිස විසීය. ඔහු ද ගඟේ පාවෙන ජටා පිරිකර දැක මාගේ සහෝදරයන්ට අනතුරක් නො වේවා. මාගේ සහෝදරයන් ගැන සොයමියි කියා ජටිලයන් පිටත් කොට එපවත් අසා දෙසීයක් ජටිලයන් සමඟ සොහොවුරන් වෙත ගොස් කී පරිද්දෙන් විමසා සියල්ලෝම බුදුන් වෙත පැවිද්ද පැතූහ. උන්වහන්සේ ඔවුන් ද “ඒහි භික්ඛු” කියාම පැවිදි කළ සේක.
දෙවන දිනයෙහි බික්සඟුන් පිරිවරා ගමෙහි පිණ්ඩපාත කොට දන් වළදා භාග්‍යවතුන් වහන්සේ ගයා හිස වසන සේක. එහි මහ ගල්තලාවක වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දහසක් පමණ භික්‍ෂූන්ට ආදිත්තපරියාය සූත්‍රය දේශනා කරමින් අටඟ බඹසරින් මුළු වනපියස ඝෝෂා කරමින් භික්‍ෂූන් ඇමැතූ සේක. මහණෙනි, සියල්ල ඇවිල ගත්තේය. මහණෙනි සියල්ල කෙසේ ඇවිල ගත්තේ ද? මහණෙනි, ඇස ඇවිල ගත්තේ ය. රූපය ඇවිල ගත්තේ ය. චක්ඛු විඤ්ඤාණය ඇවිල ගත්තේය. චක්ඛු සම්ඵස්සය ඇවිල ගත්තේය. චක්ඛු සම්ඵස්සය හේතුවෙන් සැප හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් වේදයිතයක් ඇද්ද එය ද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේ ද? රාග ගින්නෙන් ඇවිල ගත්තේ ය. දෝස ගින්නෙන් ඇවිල ගත්තේය. මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය. ජාතියෙන් ජරා මරණයෙන් සෝක පරිදේවයෙන් දුකින් දොම්නසින් ඇවිල ගත්තේය කියමි. කන ඇවිලගත්තේය. ශබ්දය ඇවිල ගත්තේය. සෝත විඤ්ඤාණය ඇවිල ගත්තේය. සෝත සම්ඵස්සය ඇවිල ගත්තේය. -පෙ- නාසය ඇවිල ගත්තේය. ගන්‍ධය ඇවිල ගත්තේය. -පෙ- දිව ඇවිල ගත්තේය. රස ඇවිල ගත්තේය -පෙ- කය ඇවිල ගත්තේය. ඵොට්ඨබ්බය ඇවිල ගත්තේය. -පෙ- සිත ඇවිල ගත්තේය. ධර්‍ම ඇවිල ගත්තේය -පෙ- මනෝ සම්ඵස්ස හේතුවෙන් සුවදුක් නොදුක් නොසුව යන යම් වේදයිතයක් වෙයි ද එය ද ඇවිල ගත්තේ ය. කුමකින් ඇවිල ගත්තේ ද? රාග දෝස මෝහ ගින්නෙන්, ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෙන් ඇවිල ගත්තේ යයි කියමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇසෙහි ද කලකිරෙයි. රූපයන්හි ද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණයන්හි ද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සයන්හි ද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය හේතුවෙන් යම් සැප හෝ දුක් හෝ නොදුක් නොසැප හෝ වේදයිතයක් ඇද්ද එහි ද කලකිරෙයි. කනෙහි ද ශබ්දයෙහි ද -පෙ- නාසයෙහි ද ගන්‍ධයෙහිද -පෙ- දිවෙහි ද රසෙහිද -පෙ- කයෙහි ද ඵොට්ඨබ්බයෙහි ද -පෙ- මනසෙහි ද ධර්මයන්හි ද කලකිරෙයි. කලකිරී නො ඇලෙයි. නො ඇලී මිදෙයි. මිඳුණු කල්හි මිඳුණෙමි යන ඤාණය ඇති වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමාවිය. කළ යුතු තාක් දේ කරන ලදි. මේ සඳහා අනෙකක් නැත කියා දැන ගනී. මේ ප්‍රකාශය කරත්ම ඒ දහසක් භික්‍ෂූන්ගේ සිත් උපාදා රහිතව ආස්‍රවයන්ගෙන් මිදුණේය.
යම් පමා බවක් නිසා රාගය ජාති මද ගෝත්‍ර මද ආරෝග්‍ය මද යෞවන මද ජිවිත මද ලාභ මද සත්කාර මද ගරුකාර මද පුරස්කාර මද පිරිවර මද භෝග මද වර්ණ මද ශ්‍රැත මද ප්‍රතිභාණ මද රාත්‍රඥ මද පිණ්ඩපාත මද අනාවඤ්ඤත්ති මද ඉරියව් මද සෘද්ධි මද යස මද සීල මද ධ්‍යාන මද ශිල්ප මද ආරෝහ මද පරිණාහ මද ඝණ්ඨාන මද පරිපූර මද ප්‍රමාද ථම්භ සාරම්භ අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, අසභාගවුත්ති අරති තන්දි විජම්භිකා හත්තමද චිත්තලීනතා කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාබයෙන් ලාබය දිනන බව, ගුණ ගායනා හා බැඳුණු විතර්ක අනුප්‍රඥප්ති ප්‍රතිසංයුත්ත විතර්ක ක්‍රෝධ උපනාහ මක්ඛ පලාස ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය මායා සඨබව අවිද්‍යාව භවතෘෂ්ණා විභව තෘෂ්ණා භවදෘෂ්ටි විභවදෘෂ්ටි ශාස්වතදෘෂ්ටි උච්ඡේදදෘෂ්ටි අන්තවදෘෂ්ටි පූර්වාන්ත අනුදෘෂ්ටි අපරාන්තානුදෘෂ්ටි ද අහිරිකය අනොත්තප්පය දුර්වච බව පාපමිත්‍රතාව අජ්ජවය අක්‍ෂාන්තිය අසුරත බව අසාකල්‍යතාව අප්පටිසන්ථාරය ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව බොජුනෙහි පමණ නොදන්නා බව මුළා සිහිය සම්‍යග් ප්‍රඥා නැති බව සීල විපත්තිය දෘෂ්ටි විපත්තිය ආධ්‍යාත්මික සංයෝජන බාහිර සංයෝජනද.
ත්‍රිවිධ අකුසල් මුල් තුන් දුසිරිත් තුන් සංයෝජන තුන් බිය තුන් කර්‍ම තුන් තීර්ථායතන තුන් අංග ත්‍රිවිධ විසම ත්‍රිවිධ අකුසල විතර්ක ත්‍රිවිධ ආසව ත්‍රිවිධ කිඤ්චන ත්‍රිවිධ ගිනි ත්‍රිවිධ කසට ත්‍රිවිධ අකුසල සංඥා ත්‍රිවිධ අකුසල ධාතු ත්‍රිවිධ තෘෂ්ණා ත්‍රිවිධ ඒසනා ත්‍රිවිධ අවිද්‍යා ත්‍රිවිධ දුක් චතුර්විධ ආසව චතුර්විධ ග්‍රන්ථි ඕඝ, යෝග, තණ්හුප්පාද, අනරියවොහාර, විපරියාස, අගතිගමන, දුශ්චරිත, භය දෘෂ්ටි ද පස් ඔරම්භාගිය සංයෝජන, උද්ධම්භාගිය සංයෝජන, මසුරුකම්, සංග, සල්ල, චේතොඛීල, චේතවිනිබද්ධ, නීවරණ, ආනන්තරිය කර්ම, දෘෂ්ටි, වෛර, වාසන, අක්‍ෂාන්ති ආදීනව, පඤ්චභය, පඤ්චදිට්ඨධම්මනිබ්බාන වාදයෝ ද,
සවැදැරුම් විවාදමූල, ඡන්‍දරාග, දොසිත ධර්‍ම, විරොධ වස්තු, තණ්හා කාය, අගාරව, පරිහානීය ධර්‍ම, සෝමනස්ස විචාර, දෝමනස්ස, උපෙක්ඛුපවිචාර, ගෘහ නිශ්‍රිත සොම්නස්, ගෘහ නිඃශ්‍රිත දොම්නස්, ගෘහ නිඃශ්‍රිත උපේක්‍ෂා සහ සවැදැරම් දෘෂ්ටි ද සත් අනුසය, සත් පරියුට්ඨාන, සංයෝජන, දුච්චරිත, අසද්ධර්‍ම, සම, සත් දෘෂ්ටී ද අට්ඨ කිලෙස වස්තු, ලෝක ධම්ම, අනරිය වොහාර, මිච්ඡත්ත, පුරිෂ දෝෂ, සඤ්ඤුප්පාද, නෙවසඤ්ඤී නාසඤ්ඤීවාද ද නව අඝාත වස්තු නව පුරුෂමූල, මාන, තෘෂ්ණා මූලික ධර්‍ම, ඉඤ්ජිත, මඤ්ඤිත, ඵණ්හිත, පපඤ්චිත නව සංඛත ද දස ක්ලේශවස්තු, සංයෝජන, අකුසල කම්මපථ, මිච්ඡත්ත, මිථ්‍යා දෘෂ්ටි, අත්තගාහිකදිට්ඨි ද අටළොස් තෘෂ්ණාව ද, එක් දහස් පන්සියයක් කෙලෙස් දැයි මෙසේ කෙලෙසුන් අතර කෙලෙස් විෂ පත් විවිධ අපමණ සතුරන්ගෙන් ගහණ චතුරෝඝ යුත් මුහුදෙහි අර්හත් ඵල ඤාණය ලබා රහත් බවට පත් වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගයාහිස අභිමත පරිදි වැඩ සිට බිම්බිසාර රජුගේ ප්‍රතිඥාව සිහිකරමින් ඒ රහතන් දහස පිරිවරා රජගහ නුවරට වැඩි සේක. පිළිවෙළින් රජගහ නුවරට වැඩ නගරාසන්නයෙහි ලට්ඨීවන උයන්හි සුපිහිටි නුගරුකක් මුල සොඳුරු රස් විහිදුවමින් වැඩ හුන්හ. භික්‍ෂූහු ද උන්වහන්සේ පෙරටු කොට හුන්හ. එවිට උයන්පල් තෙම වහා ගොස් දේවයිනි, භික්‍ෂු සංඝයා සහිත ශාස්තෘන් වහන්සේ උයනට වැඩි සේකැයි රජුට දැන්වීය. රජ අසා සතුටු සෙම්නසින් මහජනයා රැස් කරවා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් පිරිවරා බුදුන් කරා එළඹ විහිදවූ රන් වියනක් තුළට පිවිසෙන්නාක් මෙන් බුද්ධ රශ්මි ජාලාවට පිවිස පා සිරසින් වැඳ පිරිස් සමඟ පසෙක වාඩිවිය.
එවිට දොළොස් නහුතයක් පමණ වූ ඒ බමුණු ගැහැවියන්ට “කිමෙක් ද මහාශ්‍රමණයන් වෙත උරුවේල කාශ්‍යප බඹසර හැසිරෙයි ද? නැත්නම්, මහාශ්‍රමණයෝ උරුවේල කාශ්‍යපයන් වෙත බඹසර හැසිරෙත් ද? කියා සිත් විය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චිත්ත පරිවිතර්කය දැන උරුවේල කාශ්‍යපයන්ට මෙසේ ගාථාවකින් වදාළහ.
කුමක් දැක උරුවෙල් වැසි කාශ්‍යප ගිනි දෙවියන් පිදීම ගිනි පිදීම අත් හැරියෙහි ද? කාශ්‍යපය. ඔබගේ ගිනි දෙවියන් පිදීම කෙසේ ප්‍රහීණ වී දැයි අසමි.
එවිට තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අදහස් දැන
රූප ශබ්ද එසේම රසයන් කාමී ස්ත්‍රීන් ද යඥයෙන් වර්ණනා කරනු ලැබේ. උපධිවල මෙය කිළුටකැයි දැන යඥයෙහි ගිනි දෙවියන් පිදීමෙහි නොයෙදුණෙමියි කීහ.
කාශ්‍යපය, මෙහි ඔබගේ සිත නො ඇලුණේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
රූප ශබ්දයන්හි හා රසයන්හි දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි කවරෙකුගේ නම් සිත ඇලෙන්නේ ද යන මෙය කාශ්‍යපය ප්‍රකාශ කරන්න. උපධි රහිත ශාන්ත පදය දැක කිඤ්චන රහිතව කාමභවයෙහි නො ඇලි හෙයින් යඥ නොකෙළෙමි. ගිනි දෙවියන් නොපිදුවෙමි.
මේ ගාථාව කියා උරුවේල කාශ්‍යප තමන් විසින් ලබන ලද ශ්‍රාවක බව පළකිරීමට සිවුර එකාංශ කොට බුදුසිරිපා සිරසින් වැඳ මෙසේ සැලකළේය. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය. මම ශ්‍රාවක වෙමියි තුන් වරක් කියා නැගී තල්ගසක් පමණ අහසට නැග බැස බුදුන් වැඳ මේ ක්‍රමයෙන් සත් තල් ගසක් පමණ අහසට නගිමින් බසිමින් බුදුන් වැඳ පසෙක හුන්හ. ඒ පෙළහර දැක විස්මය පත් මහජනතාව අහෝ මහත් සෘද්ධියක තරම, මහානු භාවයෙක තරම. මෙසේ තහවුරු වූ දෘෂ්ටි ඇතිව තමා අර්හත්යයි හඟිමින් සිටි උරුවෙල කාශ්‍යපයන්ගේ දෘෂ්ටි ජාලය බිඳ දමා දමනය කළ සේකැයි බුදු ගුණ කථාම කීවාහුය.
එවිට භාග්‍යවතුන් වහන්සේ රජු ප්‍රමුඛ දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන්ට ධර්‍ම දේශනා කරමින් මෙසේ වදාළ සේක. බුදු බවට පැමිණ මා විසින් මොහු දමනය කිරීම අසිරියක් නොවේ. පෙරත් මොහුගේ දිටුදැල් බිඳ දමනය කරන ලද්දේ යයි වදාරා පිරිස විසින් ආයාචනා කරන ලදුව මහානාරද කස්සප ජාතකය දේශනා කළ සේක. අවසානයෙහි සිව්සස් දහම් ප්‍රකාශ කළ සේක. බිම්සර රජ එකොළොස් නහුතයක් බමුණු ගෘහපතියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසක බව ප්‍රකාශ කළහ. දුටු දහම් ඇති පත් දහම් ඇති දත් දහම් ඇති පිවිසි දහම් ඇති සැක මද පහකළ ශාස්තෘ ශාසනය හැර අන් පිහිටක් නොපැතූ රජ බුදුන් හමුවෙහි හිඳම බලාපොරොත්තු පහක් සැලකරමින් ස්වාමීනි, පෙර කුමාරයෙකු වූ මට පස් අදහසක් විය. දැන් එය සමෘද්ධ වූයේ යයි කීය.
ස්වාමීනි, පෙර මට අහෝ මට රජවීමට ඇත්නම් කියා අදහස් විය. ස්වාමීනි, මෙය මගේ ප්‍රථම ආශාවයි. දැන් එය සම්පූර්ණය. මට බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීමට ලැබේවා යනු මාගේ මේ දෙවෙනි ආශාවයි. දැන් එය සපිරුණේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමි යනු මාගේ තුන් වෙනි ආශාව විය. දැන් එය සම්පූර්ණය. ඒ භාග්‍යවතුන් වහන්සේ මට දේශනා කරන සේක්වා යන මෙය සිව් වන ආශාව විය. දැන් එය සම්පූර්ණය. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කරමි යන මෙය මාගේ පස්වන ආශාව විය. එය දැන් සම්පූර්ණය. ස්වාමීනි, පෙර කුමාර වූ මට මේ පස් ආශාව විය. දැන් ඒවා සමෘද්ධය. ස්වාමීනි, ඉතා සොඳුරුය. යටිකුරු වූවක් උඩුකුරු කරන්නාක් මෙන් ද සැඟවූවක් විවර කරන්නාක් මෙන් ද මුළාවූවකුට මඟ කියන්නාක් මෙන් ද ඇස් ඇත්තෝ රූප දකිත්වා කියා අඳුරෙහි තෙල් පහනක් අල්වන්නාක් මෙන් ද නන් අයුරින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූහ. ඒ මම භාග්‍යවතුන් වහන්සේ ධර්‍මය සහ සංඝයා සරණ යමි. ස්වාමීනි, අද පටන් දිවි හිමි කොට මා සරණගත උපාසකයෙකු කොට දරන සේක්වා. ස්වාමීනි, භික්‍ෂු සංඝයා සමඟ සෙට දවසට දන් පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ නිහඬව පිළිගත් සේක. භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන අසුනින් නැගී සිටි රජ බුදුන් වැඳ පැදකුණු කොට ගියේ ය.
දෙවෙනි දින රජ උදෑසනින්ම ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය. උන්වහන්සේ පෙරවරු හැඳ විදුලිය වන පටිය බැඳ සුරත් සොදුරු සැඳෑ අරුණ වන් මහ පවුල් සිවුර පොරවා රන්කොඩොල් වැනි අනුපූර්ව ඇඟිල්ලෙන් බබළන සුරත් කොමල අත් තලයෙන් මුං වන් සෙල්මුවා පය ගෙන උරුවෙල කස්සප නදීකස්සප ගයාකස්සප ආදි දහසක් රහතුන් සමඟ රජගහ නුවරට පිවිසෙනු කැමැතිව නික්මුණු සේක. එකල රජගහ නුවර වැසි ඒ සියලු අටළොස් කෙළක් පමණ මිනිස්සු අභිනව රූප වූ බුද්ධ රූපය දකිනු කැමැතිව පාන්දරින්ම ලට්ඨීවන උයනට ගියහ. තුන්ගව් පමණ ඉඩ නොසෑහෙයි. මුළු වේළුවනය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. මහජනයා පරම රූප ශෝභාවෙන් අග්‍රප්‍රාප්ත බුදුසිරුර දැක දැක මහජනයාට ඇතිවීමක් නොවීය. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය දෙතිස්මහපුරිස් ලකුණින් අසූවක් අනුව්‍යඤ්ජනයෙන් යුක්තය. කේතුමාලාවෙන් බබළන උණ්හීසප්‍රදේශ ඇත්තේය. බ්‍යාමප්‍රභායෙන් බබළන්නේය. සියොලඟ සවනක් රසින් යුත්තය. කාන්ති හැම දිසාවන්හි බබළයි. අභිරූපවත් ප්‍රසාදජනක දර්ශනීය උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් යුත් උන් වහන්සේ දැකීම පිණිස අතෘප්තිකර වූහ. සියක් පින්ලකුණින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සකල ශරීරය දානාදි දස පාරමිතා සත්‍යයෙන් ශතාකාරයෙන් නිපන්නේයයි දත යුතු. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේම ලෝකයෙහි සතපුඤ්ඤ ලක්ඛණධර වූහ. අත්‍යන්ත පරම වර්‍ණ කාන්ති ශ්‍රීතේජසින් සියලු සුර නරන්ගේ රූ සිරි ඉක්මවා බැබළි සේක.
මෙබඳු පරම රූප සොභාවෙන් අග්‍රප්‍රාප්ත භාග්‍යවතුන් වහන්සේගේ සිරුර බලමින් අතරක් නැතිව පිරී ගිය මාර්ගයෙහි ද උයනෙහි ද එක භික්‍ෂු නමකටවත් නික්මෙන ඉඩක් නැති විය. යාමක් ඊමක් නොවීය. ලෝක නායකයන් වහන්සේ මහාජනයා මැදම සිටි සේක. එදා උන් වහන්සේට සුන්බත් වීම වන්නේ ය. එහෙත් උන්වහන්සේගේ පින් තෙදින් සක්දෙව් රජුගේ පඬු ඇඹුල් සලසුන හුණුවිය. සක් දෙව්රජ ආවර්ජනයෙන් එකරුණ දැක තරුණ වෙසක් මවාගෙන බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ඉඩ ලබා දීම සඳහා ඉදිරියෙන් බැස බුද්ධ ධම්ම සංඝ ගුණ ප්‍රතිසංයුක්ත තුති ගී කියමින් ගමන් කළේය.
රන්නිකක් සේ රන්වන් දාන්ත වූ භාග්‍යවතුන් වහන්සේ දාන්ත වූ විප්‍රමුක්ත වූ පුරාණ ජටිලයන් සමඟ රජගහ නුවරට පිවිසි සේක. රන් නිකක් සේ රන් වන් මිදුණා වූ භාග්‍යවතුන් වහන්සේ මිදුණාවූ විප්‍රමුක්ත වූ පුරාණ ජටිලයන් සමඟ රජගහ නුවරට පිවිසි සේක. රන් නිකක් සේ රන්වන් තරණය කළ භාග්‍යවතුන් වහන්සේ තරණය කළ විප්‍රමුක්ත වූ පුරාණ ජටිලයන් සමඟ රජගහ නුවරට පිවිසි සේක. දස වාසයක් ඇති දසබල ඇති දසදහම් දත් දසදහමින් යුත් සියදහසක් පිරිවැරූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට පිවිසි සේක.
මේ ශාස්තෘ වර්ණනා කියමින් ම ඉදිරියෙන්ම ගමන් කළේය. එවිට මහජනයා ශක්‍රානුභාවයෙන් දෙකඩ වී මග දෙපස සිට සක්දෙවිඳුහුගේ රූපවත් රන්වන් සිරුර දැක අපොයි මේ තරුණයා අතිශයින්ම දර්ශනීයයි. අපි කිසිදා නොදුටුවෙමු. මේ තරුණයා කොයින්දැයි කීහ. මහජන කතා අසා සක් දෙව්රජ ඒ මිනිසුන්ට ගාථාවකින් මෙසේ කීය.
සර්ව ප්‍රකාරයෙන් දාන්ත වූ සැදැහැ දනවන අසම පුද්ගල වූ අර්හත් වූ සුගත වූ යම් ධීර කෙනෙක් ලොව වෙසෙත් ද මම උන්වහන්සේගේ සේවකයෙක් වෙමි.
භාග්‍යවතුන් වහන්සේ ශක්‍රයා විසින් ඉඩ සැලසූ මාර්‍ගයට බැස දහසක් භික්ෂූන් සමඟ රජගහ නුවරට පිවිස බික්සඟන සමඟින් රජ මැදුරෙහි පනවන ලද අසුන්හි වැඩ සිටි සේක. ප්‍රණීත බාද්‍ය භෝජ්‍යයෙන් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂූන් සියතින් වළදවා නිමවීමෙන් පසු රජ නමස්කාර කොට පසෙක හුන්නේය. ඔහුට මෙසේ සිත් විය. රත්නත්‍රය නැතිව මට විසිය නො හැකිය. වේලාවෙහි හෝ අවේලාවෙහි හෝ බුදුන් වෙත යමි. මේ ලට්ඨිවන උයන ඉතා දුරය. කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ එහි වසන සේක් ද? ගමට ඉතා දුර නැතිව ආසන්න ද නොවී ගමනාගමන පහසුව යුත් යම් තැනක් ඇත්නම් මැනවැයි සිතූ ඔහුට මේ අදහස ඇති විය. අපගේ මේ වේළුවන උයන ගමට ඉතා දුරත් නැත. ළඟත් නැත. ගමනාගමනය පහසුය. විවේක වාසයට සුදුසුය. වේළුවන උයන බුදුන්ට පුදමියි කියා බුදුන්ගේ ශ්‍රී හස්තයෙහි පැන් වැඩීය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත්සේක.
ආරාමය පිළිගනිත්ම බුද්ධ ශාසනය මුල් බැස ගත්තේ යයි තුටුපහටු වූවාක් මෙන් මහපොළොව කම්පා විය. වේළුවනාරාමය හැර පොළොව කම්පා කරවා බුදුන් පිළිගත් වෙනත් සෙනසුනක් දඹදිව නැත. උන් වහන්සේ භික්‍ෂු සංඝයාට සෙනසුන් සඳහා වේළුවනාරාමය පිළිගෙන රජුට අනුමෝදනා කොට බික්සඟන පිරිවරා වේළුවනාරාමයට වැඩ එහි විසූහ. එකල ඒ රජගහ නුවර සාරිපුත්ත මොග්ගල්ලාන නම් පරිබ්‍රාජකයෝ දෙදෙනෙක් ගිහි කල පටන් උනුන් යහළුව මොක්‍ෂධර්‍ම ගවේෂණය සඳහා තරුණයන් පන්සියයක් සමඟ සංජය ළඟ පැවිදිව ක්‍රියා කළහ. එතැන් පටන් සංජය, ලාභ සත්කාරයෙන් අගතැන් පැමිණියේය. ඔවුහු කීප දිනකින් සංජය දහම ඉගෙන “ගුරුතුමනි, ඔබ දන්නා විශේෂ මෙතෙක්ම ද නැත්නම් තවත් ඇද්දැ”යි ඇසූහ. සංජය, මෙපමණකි. සියල්ල තොප විසින් දන්නා ලදැයි යි කීය. එයසා ඔවුහු එහෙම නම් මොහු වෙත බඹසර වාසය නිරර්ථකය. අපි මොක්‍ෂධර්‍මය සෙවීමට නික්මුණෙමු. මොහු වෙත මොක් දහම් ඉපදවිය නොහැකිය. මේ දඹදිව අති විශාලය. ගම් නියම්ගම් ජනපද රාජධානිවල ඇවිද මොක් දහම් දෙසන ගුරුවරයෙකු සොයමුයි සිතූහ. එවක් පටන් ඔවුහු යම් තැනක පණ්ඩිත මහණ බමුණෝ වසතියි අසත්ද එහි ගොස් ප්‍රශ්න සාකච්ඡා කරති. ඔවුන් ඇසූ ප්‍රශ්න විසඳා කීමට දක්‍ෂ අන් කිසිවෙක් නොවෙති. ඔවුහු ඔවුන්ගේ පැන විසඳති. ඔවුහු මුළු දඹදිව ඇවිද ආපසු පැමිණ තමන් වසන තැනටම ගොස් උන්ගෙන් යමෙක් පළමුව නිවන අවබෝධ කරත් ද ඔහු අනිකාට දැන්විය යුතු යයි කතිකා කර ගත්හ.
එකල පස්වග භික්‍ෂූන් අතර වූ අස්සජි නම් තෙරුන් වහන්සේ පාසිවුරුගෙන බිම් බැලූ ඇසින් පිරුණු ඉරියව්වෙන් රජගහ නුවර පිඩු පිණිස වැඩියහ. සාරිපුත්ත පරිබ්‍රාජක තෙම උදෑසනින් බත් කිස කොට පිරිවැජි අරමට යන්නේ පිරුණු ඉරියව්වෙන් බිම බැලූ ඇසින් රජගහ නුවර පිණ්ඩපාතයෙහි යෙදෙන ආයුෂ්මත් අස්සජි තෙරුන් දුටුවේය. දැක “මම පෙර මෙවන් පැවිද්දෙකු නොදුටිමි. ලොව රහත් හෝ රහත්මඟට පිළිපන් අය වෙත් නම් මේ භික්‍ෂුව ඉන් කෙනෙකි. මම උන්වහන්සේ වෙත ගොස් කවරකු උදෙසා පැවිදී වූවහු දැයි අසන්නෙම් නම් මැනවැයි” සිතීය. උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාව නොවේ. ගමෙහි පිඩු පිණිස හැසිරෙයි. මම පිටුපසින් යන්නෙම් නම් මැනවැයි තෙරුන් ලුහු බැන්දේය. තෙරණුවෝ පිණ්ඩපාතය ගෙන වැඩියහ.
කිසි තැනක හිඳගනු කැමැති තෙරුන් දැක හෙතම සිය පිරිවැජි පුටුව පනවා දුන්නේය. වළඳා අවසානයෙහි ද සිය කෙණ්ඩියෙන් පැන් පිරිනැමීය. මෙවෙනි ඇදුරු වත් කොට මිහිරි පිළිසඳරත් කොට අස්සජි තෙරුන්ට මෙසේ කීය. ඇවැත්නි, ඔබගේ ඉන්‍ද්‍රියයන් ප්‍රසන්නය. පිරිසිදුය. ඡවි වර්ණය පැහැපත් ය. කවරකු උදෙසා පැවිදි වූයෙහි ද? ඔබගේ ශාස්තෲන් වහන්සේ කවරෙක් ද? කවරකුගේ ධර්‍මය රුචි කරන්නෙහි ද? කියායි. තෙරුන් වහන්සේ “ඇවැත්නි, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍යපුත්‍ර වූ මහාශ්‍රමණයෝ සිටිති. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයාණෝය. මම උන්වහන්සේගේ ධර්‍මය රුචි කරමියි කීය. ආයුෂ්මතුන්ගේ ශාස්තෘවරයාණෝ කුමන වාදී ද? කුමක් කියත් ද? තෙරුන් වහන්සේ මම විස්තර විසින් දහම් දෙසීමට නොහැක්කෙමි. නමුත් කෙටියෙන් අර්ථය ප්‍රකාශ කරමියි කීහ. එවිට පරිබ්‍රාජක තෙම ඇවැත්නි, මම සාරිපුත්ත නම් වෙමි. දඹදිව ප්‍රසිද්ධය, ප්‍රකටය. ඔබට හැකි පමණින්
ස්වල්පයක් හෝ බොහොමයක් හෝ කියනු මැනවි. අර්ථයම මට කියනු මැනවි. අර්ථයෙන්ම පමණක් මට වැඩ ඇත්තේය. ව්‍යඤ්ජන බොහෝ වීමෙන් කවර පලයෙක්දැයි කීය.
එවිට ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ සාරිපුත්ත පරිබ්‍රාජක ධර්‍මපර්‍ය්‍යාය ප්‍රකාශ කළහ.
හේතුව ප්‍රභව කොට ඇති යම් ධර්මයක් ඇත්නම් ඔවුන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද එය ද වදාළහ. මහාශ්‍රමණයෝ මෙබදු වාද ඇත්තෝය.
එකල සාරිපුත්ත පරිබ්‍රාජක පිරිපුන් නැණ ඇති බැවින් ධර්‍ම පද දෙකක් අසමින් ම දහසක් නයින් සැදි සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉතිරි දෙපදය සෝවාන් වූ පසු නිමාවිය. සෝවාන් වූ සාරිපුත්ත දුටු දහම් ඇතිව පත් දහම් ඇති ව ශාස්තෘ ශාසනයෙහි අපරප්‍රත්‍යයව අස්සජි තෙරුන් නැමද “ස්වාමීනි, මත්තෙහි ධර්මදේශනය නොවඩනු මැනව. මෙපමණක්ම සෑහෙයි. අපගේ ශාස්තෘන් වහන්සේ කොහි වසන සේක්දැයි කීය. පරිබ්‍රාජකය, වේළුවනයෙහිය. ස්වාමීනි, එසේ නම් පෙරටුව වඩිනු මැනවි. මාගේ යහළුවෙක් සිටී. ඔහු කැඳවාගෙන ඔබ වැඩි මගින් ම ළඟට එමියි තෙරුන් වැඳ පැදකුණු කොට පිරිවැජි අරම බලා ගියේ ය. මොග්ගල්ලාන පරිබ්‍රාජක ප්‍රසන්නව දුරින්ම එන සාරිපුත්ත පරිබ්‍රාජකයන් දැක අද මාගේ යාළුවාගේ මුහුණ වෙනදා මෙන් නොවේ. බෙහෙවින් ප්‍රසන්නය. නිසැකයෙන් ඔහු නිවන් අවබෝධ කරන ලදැයි සිතමින් අවබෝධ කළ අමෘතය විමසීය. අසන ලද පරිදිම එසේම ගාථාව කීය. ගාථා කෙළවර මොග්ගල්ලාන සෝවාන් පෙලෙහි පිහිටා ශ්‍රමණ ශාස්තෘන් වහන්සේ කොහි වෙසෙත්දැයි ඇසීය. මිත්‍රය, වේළුවනයෙහිය කියා අපගේ ආචාර්‍ය්‍ය අස්සජි තෙරුන් විසින් කියන ලදැයි ඒ සියලු තොරතුරු කීය.
එසේ නම් යහළුව, යමු. ශාස්තෲන් වහන්සේ දකිමු. යහළු කෝලිතයෙනි, අප අවබෝධ කළ අමෘතය බොහෝ කල් මුවා වී සිටින අපගේ ආචාර්‍ය්‍ය පරිබ්‍රාජකයන්ට ද කියමු. හෙතෙම මේ ධර්‍මය අවබෝධ කරයි නම් අවබෝධ කරන්නේය. අවබෝධ නොකරන්නේ නම් නොකෙරේවා. ඔහු බුදුන් දෙසූ දහම් අසා මඟපල අවබෝධ කරනු ඇත. අප නොහදහයි නම් අපි ඔහු ගැන නොබලා ශාස්තෲන් වහන්සේ වෙත යමු. ඉක්බිති පරිබ්‍රාජකයෝ දෙදෙන සංජය වෙත ගොස් ගුරුතුමනි, බුදුහු ලොව උපන්හ. ධර්‍මය ස්වාක්ඛාතය. ආර්‍ය්‍යසංඝයා සුපටිපන්නය. මේ රත්නත්‍රය ලොව උපන්නේය. දැන් කුමක් කරන්නෙහි ද? යමු. පරම ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ දකිමුයි කීහ. එයසා සංජය දරුවෙනි, කම් නැත. ඔබලා යන්න. මම නොයමි. ඔබලාගේ ශාස්තෘන් වහන්සේ වෙත යෑමට මම එකඟ නොවෙමි. මහජනයාගේ ආචාර්‍ය්‍ය වෙමි. අතවැස්සකු වීමට නොහැක්කෙමියි කීය. ඔවුහු නන් අයුරින් කියාත් සංජය නම්වා ගැනීමට අසමත් වෙති. ඉක්බිති සිය ඔවදන් ඇසූ පරිබ්‍රාජකයන් කැඳවාගෙන වේළුවනයට ගියහ. ඔවුන් යද්දී සංජයගේ පිරිස් බිඳුණේය. පරිබ්‍රාජකාරාමය හිස් විය. ඔහු හිස් ආරාමය දැක දාහයෙන් උණු ලේ දැමීය. සැරියුත් මුගලන් දෙනම සමඟ යන පරිබ්‍රාජකයෝ පන් සියයක් වෙති. එයින් දෙසිය පනහක් නැවතියහ. දෙසිය පනහක් සමඟ ඔවුහු වේළුවනයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ.
එකල්හි සකල ලෝකානුකම්පක වූ කෝටි ප්‍රාප්ත වූ භාග්‍යවතුන් වහන්සේ පිරිස් මැද උතුම් ධර්‍මාසනය මත හිඳ දුරින් එන සැරියුත්මුගලනුන් දැක අටඟ බඹ ගොසින් භික්‍ෂූන් අමතා “මහණෙනි, මේ කෝලිත උපතිස්ස නම් යහළුවෝ දෙදෙන එති. මේ මාගේ අග්‍ර වූ භද්‍රයුග වූ අග්‍රශ්‍රාවක දෙනම වෙතියි වදාරා උන් වහන්සේලාට පෙර ගමන් පිණිස. රිවිකිරණ වැනි සවනක් රස් විහිදවූසේක. ඒ රැස් දැල් පහසින් ප්‍රීති භරිතව සතුටු සිතින් හිස් නම නමා ඉක්මන් ඉක්මන් පියවර තබා බුදුන් කරා පැමිණ සිරිපා සිරසින් වැඳ සනරාමර ලෝකගුරු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබමු. උපසම්පදාව ලබමුයි සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ දකුණු අත දිගු කොට මහණෙනි, එව්, ධර්‍මය ස්වාක්ඛාතය. මැනවින් දුක් කෙළවර කිරීමට බඹසර හැසිරෙව් කියා වදාළහ.
වචනයත් සමඟම සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛ දෙසිය පනහක් සියලු පරිබ්‍රාජකයෝ සෘද්ධිමය පාසිවුරු ධරව සියවස්ගත තෙරවරුන් මෙන් ඉරියව් පිරුණු භික්ෂුන්ව බුදුන් වැඳ හුන්හ. උන්වහන්සේ ධර්‍මදේශනා කළහ. අගසව්වන් හැර දෙසිය පනසක් සියලු භික්‍ෂූහු බණ අසා රහත් වූහ. දෑගසව්වන්ගේ ශ්‍රාවක පාරමී ඤාණ මහත්වය නිසා සෙසු තුන්මඟ කටයුතු නොසිදුවිය. ආයුෂ්මත් මුගලන් තෙරහු පැවිද්දෙන් සත් වන දවස මගධ රට කිසියම් ගමක් ඇසුරෙහි මහණදම් පුරමින් ථිනමිද්ධයට බැසගන්නා ලදුව ශාස්තෲන් වහන්සේ විසින් සංවේගයට පත් කරන ලද්දාහු ථිනමිද්ධය දුරු කොට භාග්‍යවතුන් වහන්සේ දුන් ධාතු කමටහන් අසමින් මතු තුන්මඟ කටයුතු නිමවා රහත් වූහ. සැරියුත් තෙරණුවෝ පැවිද්දෙන් අඩමසක් ගෙවා ශාස්තෘන් වහන්සේ සමඟ ඒ රජගහ නුවර ඇසුරෙහිම සූකරඛාදක ලෙනෙහි වසන්නාහු සිය බෑනණූ දීඝනඛ පරිබ්‍රාජකයන්ට වේදනාපරිළාහ සූත්‍රය දෙසද්දී සූත්‍රානුසාරයෙන් නැණ යොදා අනුන්ට බෙදූ බතක් වළඳන්නාක් මෙන් ශ්‍රාවකපාරමී ඤාණයෙහි පරතෙර පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙනමම අග්‍රශ්‍රාවක ස්ථානයෙහි තැබූහ.
අනුත්තර ධර්‍මරාජ භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගේ රහත් බවට පත් දිනය වූ මැදින් පුණු පොහෝදා ශ්‍රාවකයන් රැස් කොට එක් දහස් තුන්සිය පනසක් වූ චතුරංග සමන්නාගත ශ්‍රාවක සන්නිපාතයෙහි දස දහසක් සක්වළ දේව සමූහයා මැද වැඩ හිඳ බන්තී පරමං තපොතිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා යනුවෙන් පාමොක් උදෙසූහ. බුදුන් වේළුවනාරාමයෙහි වසද්දී බුදුපිය සුදොවුන් මහරජ මපුත් සිදුහත් කුමරා සාවුරුදු දුෂ්කර ක්‍රියා කොට පරමාභිසම්බෝධියට පත්ව දම්සක් පවත්වා රජගහ නුවර වේළුවනයෙහි වාසය කරයි. මෙපමණ කලක් මා වෙත නොපැමිණියේය. වෙනත් සංග්‍රහකාරක උපකාරකයෙක් ද මට සංග්‍රහ නොකරන්නේ යයි සිතා ඇමැතියෙකු කැඳවා “දරුව, එන්න. ඔබ පුරුෂයන් දහසක් පිරිවරා රජගහ නුවරට ගොස් බුදුන් වෙත පැමිණ මාගේ වචනයෙන් ඔබ වහන්සේගේ පිය සුදොවුන් මහරජ දකිනු කැමැත්තේ යයි මාගේ මහලු බවත් පුත්‍ර වියෝග සෝදුකත් දන්වා වහා මපුතු කැඳවා ගෙන එවයි කීය.
හෙතෙම මැනවයි රජුගේ කීම සිරසින් පිළිගෙන පුරුෂයන් දහසක් පිරිවර කොට ගෙන වහා සැටයොදුන් මඟ ගෙවා බුදුන් පිරිස මැද දහම් දෙසන වෙලෙහි වෙළුවනාරාමයට පිවිසියේය. පිවිසෙද්දීම සත්රුවන් පිරුණක් විසුරුවන්නාක් මෙන් බුදුන්ගේ රශ්මි කදම්බයෙන් බබළන වන ළැහැබ දැක විස්මය පත්ව තුටු පහටුව පෙරටුව ගොස් දෙව්දුනු කලප් පිරිවැරූ ළහිරු මඬලක් වන් බුදුන් දැක දම්සභාවට පිවිස රජුගේ පනිවුඩය තිබේවායි පිරිස් කෙළවර හිඳ බණ අසා සිටිවනම දහසක් පුරුෂයන් සමඟ රහත් විය. බණ නිමවීමෙන් පසු සියලු දෙන භාග්‍යවතුන් වහන්සේගෙන් වැඳ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ එව මහණෙනියි අත දිගු කොට පැවසූ කෙණෙහිම පා සිවුරු ධර සියවස් ගත තෙරවරුන් මෙන් භික්‍ෂුත්‍වයට පත් වූහ. රහත් වූ පසු ඔහු මධ්‍යස්ථ වූහ. රජුගේ පනිවුඩය දසබලයන් වහන්සේට නොකීය. රජ ද භාග්‍යවතුන් වහන්සේ නොඑන්නාහ. පනිවිඩයකුත් නැත. දරුව, එන්න. ඔබ යන්නැයි සපිරිවරින් තවත් ඇමැතියෙකු යැවීය. ඔහු ද ගොස් පෙර පරිදි පිරිස් සහිතව රහත්ව නිහඬ විය. රජ මේ ක්‍රමයෙන් නවදහසක් පුරුෂයන් පිරිවැරූ ඇමැතියන් නව දෙනෙකු යැවීය. ඒ හැම සිය කටයුතු නිමවා එසේම නිහඬව සිටියහ. රජ පනිවිඩ මාත්‍රයක් ගෙන එන තරම්වත් කෙනෙකු නොලැබ “මෙතෙක් දෙන මට සෙනෙහසක් නැති බැවින් පනිවිඩයක් වත් නොගෙනාහ. මාගේ වචනය කවරෙක් කෙරෙත්දැයි සියලු රාජබලය බලන්නේ බෝසතුන් සමඟ සහජාත සත් වස්තුවට ඇතුළත් කාළුදායි දුටුවේය. හෙතෙම රජුගේ සියලු අර්ථසිද්ධි කරන ආභ්‍යන්තරික අතිශයින් විශ්වසනීය ප්‍රිය මනාප ඇමැතියෙකි. රජ ඔහු අමතා දරුව කාළුදායි, මම මපුතු දකිනු කැමැතිව නව දහසක් පුරුෂයන් සමඟ ඇමතියන් නව දෙනෙකු යැවීමි. පනිවිඩයක් තරම් හෝ අවුත් දන්වන එක් පුරුෂයෙක්වත් නැත. මාගේ ජීවිත අන්තරාය ගැන නොදනිමි. මා ජිවත් වෙද්දී පුතු දකිනු කැමැත්තෙමි. ඔබ මපුතු සමග එකදා උන්නෙහිය. වැලි කෙළියෙහි පටන් යහළු ය. පුතු පෙන්විය හැකිදැයි ඇසීය. ස්වාමීනි, මට පැවිදි වීමට ලැබෙයි නම් පුළුවනැයි කීය. දරුව පැවිදි වී හෝ පැවිදි නොවී හෝ මට පුතු පෙන්වවයි කීහ.
හෙතෙම යහපතැයි රජුගේ පනිවිඩය ගෙන මිනිසුන් දහසක් සමඟ වහා රජගහ නුවරට ගොස් බුදුන් බණ දෙසන වේලෙහි පිරිස් කෙළවර සිට බණ අසා සපිරිවරින් රහත්ව භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්වීය. බුදුහු ඔවුන්ට මහණ උපසම්පදාව දුන්හ. කළුදායි තෙරුන් පැමිණ සත් අට දවසක් ගත විය. උන්වහන්සේ මැදින් පුන් පොහෝ දින මෙසේ සිතූහ. හේමන්තය ගෙවී ගියේ ය. වැසි සමය නොපැමිණියේ ය. මිනිස්සු අස්වනු නෙළා රැස් කළහ. පාරවල් අසබඩ නිල්වන් තණ වැඩුණ පොළොවය. වන ළැහැබ සුපිපී ඇත. මඟ ගමන් කළ හැකිය. දසබලයන් වහන්සේට ඤාතිසංග්‍රහ කිරීමට සුදුසු කාලයයි සිතා උන්වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ බුදුන් ඉදිරියෙහි බ්‍රහ්මයා මෙන් බිම දණින් සිට ඇදිලි බැඳ ගමන් වර්ණනා කරමින් මේ ගාථා ප්‍රකාශ කළහ.
ස්වාමීනි, ඵල කැමැති ගස්, අතු වල කොළ හැලී දැල්සහිත ගිනි ජාලා මෙන් බබළ බබළා මල් පිපී ඇත. මහාවීරයන් වහන්ස, ඤාතීන්ට සංග්‍රහ පිණිස වැඩම වීමට කාලයයි. බොහෝ සීතලත් නැත. බොහෝ උණුසුමත් නැත. සාදුක් දුබ්බික් දුකක් ද නැත්තේ ය. තෙත් වන් පොළොව නිල්වන්ය. මහාමුනීන්ද්‍රයන් වහන්ස, මේ සුදුසු කාලයයි.
මේ ආදි සැටක් ගාථාවලින් දසබලයන් වහන්සේට උපන් නුවරට වැඩමවීමට ගමන් වර්‍ණනා කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ කිමෙක් ද උදායි මිහිරි හඬින් මාගේ ගමන වර්ණනා කිරීමට මේ ගාථා කීයෙහිදැයි වදාළහ. එසේය ස්වාමීනි, කුමක් හෙයින් ද? ඔබ වහන්සේගේ පියාණෝ සුදොවුන් මහරජාණෝ වෘද්ධය, ජීර්ණය, මහලුය. ඔබ වහන්සේගේ වියෝග ශෝකයෙන් මැඩී දුබල ලිහිල් සිරුරු ඇත්තෝ ය. ඔබ වහන්සේ දකිනු කැමැත්තෝ වෙති. ඤාතීන්ට සංග්‍රහ කරනු මැනවයි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ උදායි, ඔබ කුමක් කියන්නෙහි ද? ඤාතිසංග්‍රහ කරමි. භික්‍ෂුසංඝයාට දන්වන්න. ගමිකවත් සපුරන්නාහයි වදාළහ. උන්වහන්සේ මැනවි ස්වාමීනි, කියා භික්‍ෂුසංඝයාට දැන්වූහ.
ඉක්බිති ඒ විසිදහසක් සියලු රහත් භික්‍ෂූහු පාසිවුරු ගෙන වුත් බුදුන් පිරිවැරූහ. එවිට මෝහය නැසූ රාගාදි සියලු කෙලෙසුන් නැසූ සුගතෝත්තම භාග්‍යවතුන් වහන්සේ අඟු මගද වැසි දසදහසක් කුල පුතුන් දසදහසක් කිඹුල්වත්පුර වාසීන් සඳහා රහතන්ම වූ විසිදහසක් භික්‍ෂූන් පිරිවරා රජගහ නුවරින් නික්ම කිඹුල්වත් පුර මඟට පිළිපන්හ. එකල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ වීතරාග වූවාහු වීතරාගී සැරියුත් මුගලන් ආදි භික්‍ෂූන් විසින් අනුගත වූ සේක් තමන් වීතදෝසව, වීතදෝසීන් විසින් අනුයාතව තමන් වීතමෝහව වීතමෝහීන් විසින් පෙරටු කරන ලදුව තමන් නිෂ්තෘෂ්ණාව, නිෂ්තෘෂ්ණිකයන් විසින් පිරිවරන ලදුව තමන් වහන්සේ නික්ලේශව නික්ලේශීන් විසින් පෙරටු කරන ලදුව තමන් වහන්සේ සම්බුද්ධව, අනුබුද්ධයන් විසින් පිරිවරන ලදුව සියපතින් පිරිවැරූ කේශර මෙන් ද කෙසුරු පිරිවැරූ කෙමියක් මෙන් ද අපරිමිත කාලයෙහි රැස් කරන ලද පින් බෙලෙන් නිපන් අචින්තනීය වූ අනුපම වූ බුද්ධ ලීලාවෙන් අනුපම බුද්ධ විලාසයෙන් මහත් වූ බුදුසිරින් අහස්හි තරු ගණ පිරිවැරූ පුන්සඳ මෙන් සැටයොදුන් මඟට පිළිපන්සේක් අනුචාරිකාවෙහි ද වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ යොදුනක් මඟ ගමන් කොට නතර වූහ. කාළුදායි තෙර කලින්ම නැගිට බුදුන් පිටත් වූ බව රජුට දන්වමියි ශාස්තෘන් වහන්සේට සැලකොට, අහසට නැගී මොහොතකින් රජ මාලිගයෙහි පෙනී ගියේ ය.
ඒ වේලෙහි සුදොවුන් මහරජ නැගෙනහිර සීමැඳුරු කවුළුව හැර හුන්නේ ශාන්ත දාන්ත ගෝපිත දිනූ ඉඳුරන් ඇති උතුම් දම සමථයෙන් පත් ගත් අත් ඇති සතුටු මුවමඬලින් හෙබි ඒ උදායි තෙරුන් වහන්සේ දුටුවේය. දැක හැඳින නියතයෙන්ම මපුතුන්ගේ පැමිණීම යයි සතුටු සිතින් උදායි තෙරුන්ට පෙරගමන් කොට තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන උතුම් අසුනක හිඳුවා මපුතුන් විසින් ඔබගේ ආරාධනය පිළිගන්නා ලදදැයි විචාළේය. මහරජ, එසේය. කිමෙක් ද මපුතුන්ගේ වේශයත් ඔබගේ මේ වේශය වැනි දැයි ඇසීය. එසේය මහරජ එහෙත් පැවිදි සලකුණු වශයෙන් පමණක් මාගේ වේශය ශාස්තෘන් වහන්සේගේ වේශය මෙනි. මහත් වූ බුද්ධ ලීලාවෙන් සිය ගුණයෙන් දහස් ගුණයෙන් විශිෂ්ටතරයයි කීහ. බුද්ධ ලීලාව කෙබඳු ද? මහරජ, අනුපම බුද්ධ ලීලායෙන් මානුෂික වූත් දිව්‍යමය වූත් ලීලාව යටපත් වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුත් අසීති අනුව්‍යඤ්ජනයෙන් රැඳි රූපකාය ඇත්තාහ. සුන්දර කේතුමාලායෙන් වට වූ හිස් ඇත්තාහ. දොළොස් රියනක් පමණ වූ බ්‍යාමප්‍රභාවෙන් බබළන සිරුරු ඇත්තාහ. නීල පීත, ඔදාත, මංජෙට්ඨ, පහස්සර යන සවනක් රසින් බබළන සර්වාකාර සම්පන්න බුද්ධ වේශය සෝභමාන යයි කීහ.
එයසා රජ සතුටු සොම්නස් විය. ඒකාන්තයෙන්ම බුද්ධ වේශය විරාජිතය. දැන් කොහිදැයි ඇසීය. මහරජ, විසිදහසක් රහතන් පිරිවරා ඔබ දැකීම සඳහා චාරිකාවට නික්මුණ සේක. කවදා එත්ද? මහරජ, ඊයේ රජගහ නුවරින් පිටත් වූහ. යොදුනක් වැඩිසේක. එ අසා රජ සතුටු සැහැල්ලු කොට ගත් වියෝග ශෝක සන්තාප ඇතිව තමන්ට පිළියෙළ කළ නන්රස අගබොජුනින් පාත්‍රය පුරවා තෙරුන්ට පිදීය. තෙරුන් වහන්සේ පාත්‍රය ගෙන මහරජ, යන්නෙමියි රජුට දන්වා නැගිට වඩින බව දැක්වූහ. එවිට රජ තෙරුන් වහන්සේට ඔබ මෙහිදීම වළඳා මපුතුන්ටත් දානය ගෙන යනු මැනවැයි කීය. තෙරණුවෝ එහිදීම වැළඳූහ. රජ තෙරුන් වළඳවා පාත්‍රය සුවඳ දියෙන් සෝදා සුවඳ සුණින් උළා අගබොජුන් පුරවා මෙය තථාගතයන් වහන්සේට දුන මැනවයි තෙරුන් අත තබා මපුතනුවන් මෙනුවරට වඩින තුරු මෙහින්ම දානය ගෙන යනු මැනවැයි කීය. තෙරුන් වහන්සේ පිළිගෙන සියල්ලන් බල බලා සිටිද්දී පාත්‍රය අහසට දමා තමන් වහන්සේ ද අහසට නැග පිණ්ඩපාතය ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේ අත තැබූහ. උන්වහන්සේ එය පිළිගෙන වැළඳූහ. තෙරණුවෝ මේ ක්‍රමයෙන් දිනපතා රජු වෙතින් දානය ගෙනවුත් බුදුන්ට පිදූහ. භාග්‍යවතුන් වහන්සේ අතර මගදීම රජුගෙන් එක් සැටක් පිණ්ඩපාත වැළදූහ. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩි කල්හි කාළුදායි තෙරණුවෝ දිනපතා රජමාලිගයට ගොස් අද භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් වැඩිසේක. අද මෙතෙක් වැඩි සේකැයි බුදුගුණ මුසු දැහැමි කතාවෙන් සකල රාජකුලය උන්වහන්සේ කෙරෙහි පැහැදීම් ඇත්තක් බවට පත් කළහ.
ඒ භාග්‍යවතුන් වහන්සේ සදේවක ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වෙති. ශ්‍රේෂ්ඨවෙති. උත්තම වෙති. ඒකවීර වෙති. විජිතමාර වෙති. අවබෝධ කළ බෝධිඤාණ ඇත්තාහු සකලවිධ අවිද්‍යා අන්ධකාර විධ්වංසනය කළාහු වෙති. ලෝකාලෝකකරවූ දහම් පහන දල්වන්නාහු වෙති. බව බැමි සිඳිනාහු වෙති. ජාති ජරා ව්‍යාධි මරණ අවසන් කළාහු වෙති. පාරගත සේක. නාථ සේක. නායකසේක. සමාහිතයහ. සත්‍වසාරයහ. ශාන්ත සිත් ඇත්තාහ. කෙලෙස් බර බහා තැබූහ. සදර්ථප්‍රාප්තයහ. භව සංයෝජන ප්‍රහීණ කළ සේක. වීතරාගී සේක. වීතදෝසසේක. වීතමෝහ සේක. තෘෂ්ණා රහිතයහ. නිකෙලෙස් සේක. ලාභාදි අටලෝ දහම්හි අකම්පිත සිත් ඇති සේක. අනිමා මහිමාදි ප්‍රමුඛ අට ගුණයෙන් යුක්තයහ. දසබල ඇත්තාහ. චතුවෛශාරද්‍ය ප්‍රාප්තයහ. බුද්ධ සම්බුද්ධ ඤාණයෙන් සමුපේතයහ. පුරිසෝත්තම සේක. සියලු ගුණ සමූහ ඇත්තාහ. ගුණාධික වූහ. සීලයෙන් අසම සේක. සමාධීයෙන් අද්විතීය සේක. ප්‍රඥාවෙන් අසදෘශයහ. විමුක්තියෙන් විමුක්ති ඤාණ දර්ශයෙන් අග්‍රසේක. අප්‍රති පුද්ගලයහ. ශක්‍රයා විසින් ද පුදන ලද්දාහ. ලෝක පාලක දෙවියන් විසින් ද ගරු කරන ලදහ. අමනුෂ්‍ය මනුෂ්‍යයන් පුදන ලද්දාහ. තිරිසනුන් විසින් ද පුදන ලද්දාහ. අභිරූප වෙති. දර්ශනීය වෙති. පාසාදික සේක. උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් යුක්ත සේක. සොඳුරු ඉඳුරන් ඇත්තාහ. සමන්ත භද්‍රයහ. දෙතිස් මහපුරිස්ලකුණින් හා අසීති අනුව්‍යඤ්ජනයෙන් විසිතුරු රූපකාය ඇත්තාහ. සර්වාකාරයෙන් සුපිරිසිදු සීල සමාධි ප්‍රඥාදි ගුණගණ රුවනින් සමෘද්ධිමත් ධර්‍මකාය ඇත්තාහ. අනන්ත තෙජස් ඇත්තා හ. අමිත යසස් ඇත්තාහ. අප්‍රාමාණිකයෝය, දුරාසදයහ. ක්‍ෂමාවෙන් අනුපම සේක. සීලයෙන් සාගරය බඳුය. සමාධියෙන් මහමෙර බඳුය. නුවණින් අහස බඳුය. මෙබඳු යසස්වී මහගුණ මහශක්ති මහාසෘද්ධි මහනුවණින් මහත් වූවන්ට අග්‍ර සේක. අසම සේක. අසමසම සේක. අප්‍රතිපුද්ගල සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු යහපත් යශෝඝෝෂයක් පැතිර ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් සේක. සම්මා සම්බුද්ධ සේක. විද්‍යාවෙන් හා චරණයෙන් සම්පන්න සේක. සුගත සේක. ලෝකවිදු සේක. උතුම් පුරිසදම්මසාරථී සේක. දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. බුද්ධ සේක. භගවත් සේක. උන්වහන්සේ දෙවියන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව ද දෙවියන් සහිත මිනිසුන් ද තමන් වහන්සේම මනා නුවණින් පසක් කොට දන්නා සේක. උන්වහන්සේ මුල කලණ මැද කලණ අග කලණ අර්ථවත් ව්‍යඤ්ජනවත් සාකල්‍යයෙන් පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරන සේක. මෙසේ තෙරණුවෝ බුදු ගුණ කථාවෙන් රජ කුලය පහදවති. සය නගරයක මිනිසුන් බුදු සසුනෙහි අතිශයින් පැහැදියවුන් කළහ. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යම් මේ කාළුදායි නම් තෙර කෙනෙක් ඇද්ද හෙතෙම කුල ප්‍රසාදකයන් අතර අග්‍රයයි උන් වහන්සේ අග තැන තැබූහ.
ඒ ශාක්‍යයෝ අපගේ ඤාතිශ්‍රේෂ්ඨයා දකිමුයි රැස්ව සාකච්ඡා කළහ. භාග්‍යවතුන් වහන්සේ මහ පිරිවර ඇත්තාහ. විසි දහසක් බික්සඟුන් සහිත තථාගතයන් වහන්සේට කවර නම් තැනක වාසය පිණිස, විවේකස්ථාන වන්නේද? නිග්‍රෝධ ශාක්‍යයාගේ ආරාමය විවේකය. රමණීයයයි සලකා පිළිදැගුම් කටයුතු විධාන කළහ. ශාක්‍යයෝ නැවත මෙසේ ද සාකච්ඡා කළහ. සිද්ධාර්ථ කුමාරයා අපට වඩා ළා බාලය. අපගේ පුතකු මෙනි. අපගේ බාල මලණුවෝය. අපගේ බෑනණුවෝය. වෙනත් මහලු රජවරු ද උන්වහන්සේට වඳිති. අපට අපවාද ලැබිය හැකිය. මෙහිදී කෙසේ පිළිපැදිය යුතුද කියායි. එවිට ඇතැම් නිපුණ ශාක්‍යයෝ මෙසේ කීහ. අපි එක් උපායක් යොදමු. සියලු බාල දරුවන් ඉදිරියෙන් තබා ඔවුන් අතර අපි වඳින්නවුන් මෙන් පිටුපසින් රහසිගතව ඉඳගනිමු. එසේ කළ විට අප අතර කිසිවෙකුත් නොදනිති. සුදුස්ස කළාහු වන්නෙමු. එය යහපතැයි සියල්ලෝම යොදුනක් පමණ මඟ සරසා ගිතෙල් මීපැණි ශර්කරා පාන ආදිය ද නොයෙක් ධජ පතාකා සහ දඬුවැට පහන් ආදිය ගෙන්වාගෙන යොදුනක් මඟට යැවූහ. ඔබලා බුදුන් පිරිවරා ගංතෙරට පැමිණෙව් කියායි. තුමු නිග්‍රොධයන්ගේ උයනට ගොස් විසම තැන් සමකොට සියලු ප්‍රාසාද කුළු ගෙවල් මණ්ඩප ශාලාදිය සරසා චතුජාති සුගන්‍ධ මිශ්‍ර නිල්ගොම ආලේප කොට ලදපස්මල් විසුරුවා රෙදිවියන් බැඳ රන්තරුවලින් සරසා ගන්‍ධදාම කුසුමදාමයන් එල්වා රන්රිදීමුවා නන් වෙස් ධජ පහන් දරන්නවුන් සිටුවා හාත්පස පියුම් උපුල් මලින් පිරී පුන් කලස් තබා තොරණ ඔසවා ඇගෑද නන් මලින් සරසා ගස්වල කඳ වෙළෙප් ද නන්වන් වතින් වෙළා උයන නඳුනුයන මෙන් කළහ.
උයන් සැරසිලි නිමවූ පසු සියල්ලෝ ම තම තමන්ගේ සම්පතට අනුරූප අලංකාරයෙන් සැරසී බුදුන්ට පෙරගමන් කළහ. භාග්‍යවතුන් වහන්සේ ඤාති ශාක්‍ය දරුවන් පිරිවරා බබළමින් රෝහිණි ගංතෙරට පැමිණි සේක. ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂූන්ටත් එගොඩ වීමට නැව්සමූහයක් ගැට ගසා ගංතෙර තබා ගඟ මැද රුවන් මඩුවක් කරවා හාත්පසින් මල්දම් රන්දැල් ආදියෙන් වටකොට ධජ පතාකා ඔසවා සියල්ල තල්පතින් වට කොට මැද මහවටිනා රුවන් පර්යංකයක් පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ මණ්ඩපය මැද රුවන් පලගෙයි වැඩ හුන්හ. භික්‍ෂුසංඝයා ද නැව් පහුරට ගොඩව හුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ උදයගිරි මුදුනෙහි හිරු මෙන් සවනක් රැස් විහිදුවමින් සියලු දන මන ඇදගනිමින් වඩා බැබළි සේක. මෙසේ උන්වහන්සේගේ නෑ සමූහයා ද කපිලවත්‍ථු, දේවදහ, කෝලිය, සක්ඛර, සුප්පවාස, නේරඤ්ජර නුවරවල වැසි දෙයාසූ දහසක් රජවරු විවිධ වස්ත්‍රාභරණ ගන්‍ධ මාලාදියෙන් සැරසී ගන්නා ලද ඡත්‍ර ධජ පතාකා පුන්කලස් පහන් සෙමෙර ඇතිව බබළ බබළා බුදුන් දෙස බල බලා සිටියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ නැවෙන් බැස ගංතෙර උයනින් පිටත භික්‍ෂු සංඝයා සහිතව සිටි සේක. එම උයන බුදුන්ගේ රුසිරු සවනක් රසින් අතිශයින්ම සෝභමාන විය.
එකල්හි සුදොවුන් රජ නෑගණ පිරිවරා සියලු අලංකාරයෙන් සැරසුණු රූසිරිධර දහර දහර රාජ කුමාරවරුන් ඉදිරියෙන් තබා උන්වහන්සේ නිග්‍රොධාරාමයට වැඩම කරවූහ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඤාති සමූහයාට තමන් වහන්සේගේ සියපින් ලකුණින් පිරි රූසිරි දක්වමින් මරකතමිණි ගුහාවක් තුළට පිවිසෙන කේශර සිංහයෙකු මෙන් සෝභමානව නිග්‍රොධාරාමයට පිවිස විසි දහසක් රහතන් පිරිවරා පැනවූ උතුම් බුදු අසුනෙහි වැඩ හුන්හ. සුදොවුන් රජ ප්‍රමුඛ ශාක්‍ය රජවරු මානයෙන් තදව ඒ ශාක්‍ය රාජකුමාරවැන් වඳිද්දී බුදුන් නොවැඳම හිඳගත්හ. එවිට සර්වඥයන් වහන්සේ පසැස් යොමා නෑ සමූහයා බලන සේක් චේතොපරිය ඤාණයෙන් ඔවුන් සිත් දත්හ. මේ මාගේ නෑයෝ තමන්ගේ මහලුකම සිතා ගෙන මට නොවඳිති. තමන්ගේ මෝඩ මහලුබව නොදනිති. දැන් ඔවුන්ට බුද්ධ බලය දක්වා සියල්ලන් ලවා මට වන්දවමි සිතූහ.
අනතුරුව දසබලයන් වහන්සේ අභිඥාපාදක සතර වන දැහැනට සමවැද එයින් නැගී අහස සිට දසදහසක් සක්වළ රුවනින් විසිතුරු කරන ලද රුවන් සක්මනක් මවා සියලු රජුන්ගේ හිස් මත සිරිපා දූලි වගුරුවන්නාක් මෙන් සක්මන් කළහ. එකෙණෙහිම ඔදාතකසිණ පාදක ධ්‍යානයට සමවැද දසදහසක් සක්වළ පතුරු වන්නාක් මෙන් මහත් නිර්මල ආලෝක රැස් දහරාවක් මැවූහ. ඒ ආලෝකයෙන් පොළොව පටන් අකනිටාව දක්වා ඒකාලෝක විය. දස දහසක් ලෝකාන්තරිකවල උපන් සත්තු උනුන් දුටහ. සියලු ලෝකවල දෙවිමිනිස් අසුර නාග සුපර්ණී ගාන්‍ධර්ව කුම්භාණ්ඩ යක්‍ෂ පිසාචාදීන් සියල්ලන්ට නිර්මල සාර ආලෝකය ප්‍රත්‍යක්‍ෂ විය. එවිට දසදහසක් සක්වළ දෙවිගණා තුටු පහටුව උන් ඇමතූහ. නිදුක්වරුනි, එන්න, රැස් වන්න. අද තථාගතයාණෝ සිය ඥාතීන්ට අනුකම්පාවෙන් ලෝකවිවරණ නම් පෙළහර සියයක් කරන්නාහ. අපිත් ඒ බුදුන් බලමුයි සතර අරූප සංඥි සත්ත්වයන් හැර සියලු දෙවියෝ ඔවුනොවුන්ගේ වදන් පිළිගෙන මේ සක්වළ ගැබට රැස්ව ලෝක නායකයාණන්ට සාධුකාර දුන්හ.
වශී ප්‍රාප්ත භාග්‍යවතුන් වහන්සේ චතුර්ථධ්‍යාන පාදක විකුර්වණ සෘද්ධියෙන් යුතුව එකෙක්ව බොහෝ වෙති. සැඟවෙති. ප්‍රකට වෙති. කාෂ්ට ප්‍රාකාර ශෛලයන්හි බාධා රහිතව ගමන් කරමින් චන්ද්‍ර සූර්‍ය්‍යයන් පිරිමදිමින් සෘද්ධි වශයෙන් අනන්‍යසාධාරණව ගිනිදිය පැතිර වීමට සමත් යමකප්‍රාතිහාර්‍ය්‍ය ඤාණයෙහි සිට ශාක්‍ය දමනය සඳහා යමාමහ පෙළහර දැක්වූහ.
යටිකයින් බොහෝ ජලය ද උඩු කයින් බොහෝ ගිනි ද බුදු බඳින් නැගී යුගල යුගල වේ. නිල් කහ, රතු, සුදු මදටිය පබසර රැස් දහරා අවට බොහෝ සෙයින් දුවයි. ඔබ මොබ පැතිරෙයි. බොහේ වූ සවනක් රස් සියලු දිසාවන් බබළවයි.
භාග්‍යවතුන්වහන්සේ දසසහස්‍රී ලෝක ධාතුව පතුරුවා තැබූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් අතරක් නොදක්වති. සතර රියන් සක්මනක මෙන් සක්මන් කරති. සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දෙකෙළවරට පත් කල්හි අතර තැනක් නැත්තේය. දුර සිටියත් ළංවී පැනෙති. සක්මනෙහි මුල මැද අග හැම තැන නිරන්තරව පැතිර සක්මන් කරන කල්හි එක් කෙනෙක්වම පැනෙති. යම්සේ ජව බල ඇති නිරෝගි තරුණ උට්ඨානවිර්‍ය්‍යය සම්පන්න ලබන ලද යෝග ඇති භික්‍ෂු නමක් සිව්රියන් සක්මනෙහි සක්මන් කරමින්ම වහ වහා හිඳිමින් නැගෙමින් සක්මන් කරන්නේ ද එමෙනි. බ්‍රහ්ම සමූහයා ද මනුෂ්‍යයෝ ද භාග්‍යවතුන් වහන්සේ සක්මන් කෙළවරින් සක්මන් කෙළවරට පැමිණෙනු දුටහ.
එවිට මහාප්‍රාඥ සිව්පිළිසිඹියාපත් සොළොස් වැදෑරුම් ප්‍රඥාවෙන් යුත් දම් සෙනෙවි සැරියුත් මහ තෙරණුවෝ දිවැසින් සියලු පිරිස් බලා “මේ ඤාති සමාගමයෙහි උළාර ධර්‍මදේශනාවක් සුදුසුය. බුදුගුණ වනාහි ගැඹුරු ද උදාර ද වෙයි. මම මෙතැනින් පන්සියයක් භික්‍ෂූන් ගෙන නොපැනී සැට යොදුන් රජගහ නුවරට ගොස් ගිජුකුළු පව්වෙහි සිට විකුර්වණ සෘද්ධි දක්වා භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන තැනට අවුත් උන් වහන්සේගෙන් පාරමී ප්‍රශ්න විමසන්නෙම් නම් මැනවි. එවිට මහජනයාගේ ප්‍රසාදය මහත් වන්නේයයි සිතා නීලකසිණ පාදක චතුර්ථ ධ්‍යානයට සමවැද ආදෘශ්‍යමාන කයින් භික්‍ෂූන් පන්සියයක් සමඟ ගිජුගුළු පව්වෙහි සිටියහ. එයින් කියන ලදි.
මහා ප්‍රඥා ඇති සමාධි ධ්‍යානයන්හි නිපුණ ශාරිපුත්‍රයන් වහන්සේ ගිජ්ඣකූටයෙහි සිටිමින්ම ලෝක නායකයන් වහන්සේ දකිති. සුපිපි ශාලරාජයෙකු මෙන් ද අහස්හි චන්‍ද්‍රයා මෙන් ද මධ්‍යාහ්න සුර්‍ය්‍යයා මෙන් ද වූ නරොත්තමයන් වහන්සේ දකිති. ලෝකනායකයන් වහන්ස, මහාවීරයන් වහන්ස. ඔබ වහන්සේගේ දසපාරමිතා කෙබඳු ද? එසේ විමසූ උන් වහන්සේට කරවීක නාද පතුරුවමින් විස්තර කළ සේක.
අතීත අනාගත වර්තමාන සියලු දහම් දන්නා ජනගණ පූජිත දිව්‍ය බ්‍රහ්ම සමූහයා පිරිවැරූ මහබඹහු විසින් පසස්නා ලද භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් පිරුවැරූ පැනවතුන්ට අග්‍ර බැවින් අග්‍රස්ථානයෙහි සිටිති, දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් විමසන ලද භාග්‍යවතුන් වහන්සේ
ඒ ශාස්තෘන් වහන්සේගේ ශරීරය බ්‍රහ්මයාට බඳු සෘජුගාත්‍ර සටහන් ඇත්තේය. පිරුණු පිටුතලය සෝහමාන රන් පුවරුවක ආකාරයෙන් සම්පූර්ණය. පබළුවන් උතුම් ඇඟිලි පැහැපත්ය. මෘදු අත්තල තළුණ ද චක්‍ර ලක්‍ෂණ යුක්ත ද වෙයි. ග්‍රීවය වැළඳගත් රේඛා රන්රේඛා බඳුය. ඒ මහසෘෂීන් වහන්සේගේ හනු සලකුණු සිංහ රාජයෙකුගේ බඳුය. එල්බෙන කර්‍ණපාස මහාකතුරක් මෙනි. දෙකොපුල පිරිසිදු රන් කැඩපතක් මෙනි. ශාස්තෘන් වහන්සේගේ සොඳුරු දෙතොල ඉදුණු කෝවක්කා ගෙඩි බඳුය. උන් වහන්සේගේ සමසතලිස් දත් විදුරු පෙළක් බඳුය. උන්වහන්සේගේ දිව පබළුදලු වැනිය. පුළුල්ය. ශ්‍රීමත් සම්බුද්ධයන් වහන්සේගේ මෘදු නාසය මනාව පිහිටියේය. මුනිනයන නිළුපුල් පෙති මෙනි. මුනීන්ද්‍රයන් වහන්සේගේ දෙබැම නීල ධජ යුග්මයක් මෙනි. බැම අතරෙහි කාන්තිමත් ඌර්ණරෝමය ඔසධී තරුව මෙන් සුදුය. උන් වහන්සේගේ ලලාටය රන් තලාවක් බදුය. කේස දක්‍ෂිණාවර්තය. සුනීලය, කුඤ්චිතය සෝභනය. ශාස්තෘන් වහන්සේගේ උණ්හීසය දිය බුබුලක් මෙන් බබළයි. හිස් පෙදෙස කේතු මාලාවෙන් වෙළී ඇත. කසාවත් පෙරවූ සුගන්‍ධවත් සිරුර රන් පර්‍වතයක් මෙනි. බ්‍යාමප්‍රභාවෙන් වට වු ඒ උත්තමයන් වහන්සේ සෝභමාන සේක.
බෙබඳු රූසිරින් හොබනා භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසි බව දුටු මහජනයා ආශ්චර්‍ය්‍ය අද්භූත විස්මය පිරි සතුටට පත්වූහ. කිසිවෙක් ගොස් ආරාධනා නොකළහ. උන්වහන්සේගේ අතින් පාත්‍රය නොගත්හ. භාග්‍යවතුන් වහන්සේ ඉන්‍ද්‍රඛීලයෙහිම සිට “කිමෙක්ද පෙර බුදුවරු කුඩා නගරවල පිඬු පිණිස හැසිරෙමින් පිළිවෙළ කඩා අධිපති මිනිසුන්ගේ ගෙවලට වැඩියාහු ද? නැත්නම්. පිළිවෙළින් පිඬුසිඟා වැඩියහුදැයි සිතූහ. එක් බුදු කෙනෙකුන්ගේවත් අපිළිවෙළ ගමනක් නොදැක දැන් මා විසිනුත් මේ ප්‍රවේණි ධර්‍මය ගත යුතුය. මත්තෙහි ද මාගේ ශ්‍රාවකයෝත් මා අනුව හික්මෙන්නාහු පිණ්ඩචර්‍ය්‍යාව පුරන්නාහයි සිතා කෙළවරින් පිවිසි ගෙය පටන් සපදාන පිණ්ඩපාතයෙහි යෙදුණ සේක.
එවිට මහජනයා ආර්‍ය්‍ය සිද්ධාර්ථ කුමාරයෝ පිණ්ඩපාතයෙහි හැසිරෙති කියා මහල් ගෙවල සීමැදුරු කවුළු අරවා බැලීමෙහි නිරත වූහ. එවිට රාහුලමාතා දේවිය ආර්‍ය්‍ය පුත්‍රයෝ කෙස් රැවුළු බහා කසාවත් හැඳගෙනම පාත්‍රයක් අතින් ගෙන පිණ්ඩපාතයෙහි හැසිරෙති. ඇත්තෙන්ම ගැළපෙයි ද? නොගැළපෙයිදැයි සී මැදුරුකවුළුව හැර බලන්නී සිංහවික්‍රාන්ත ගති ධිති විලාස සම්පන්නව සිංහයෙකු මෙන් විසිදහසක් භික්‍ෂූන් පිරුවැරූ අනෝපම ලීලාවෙන් යුතු සවනක් රසින් බබළන උන්වහන්සේ දුටුවාය. දැක හිස පටන් පාද තල තෙක් භාග්‍යවතුන් වහන්සේ පැසසුවාය. සිනිඳු සුනිල් මෘදු වක් කෙස් ඇති සූර්යයා බඳු නිර්මල නළල්තල ඇති යුක්ත තුඟු මුදු දික් නාසයක් ඇති රන්සිජාලා පතුරුවන නරසිංහයන් වහන්සේ මේ ආදි නරසීහ ගාථාවලින් ස්තුතිකොට වහා රජු වෙත ගොස් ඔබගේ පුතා පිඬු පිණිස හැසිරෙතැයි දැන්වූවාය.
එවිට රජ කලකිරීමට පත් සිතින් අතින් සළුව ඇඳ ඇඳ වහ වහා නික්ම වේගයෙන් ගොස් බුදුන් ළඟ සිට “ස්වාමීනි, අපට ලජ්ජා කරන්නේ කුමට ද? කුමක් සඳහා පිඬු පිණිස වඩින සේක් ද? ඇයි මට මෙතෙක් භික්‍ෂූන්ට දන් දිය නොහැකි ද? වංසයට නින්දා නොකළ මැනවැයි කීය. මහරජ, මේ අපගේ චාරිත්‍රයයි. “ස්වාමීනි, අපගේ මහාසම්මත ක්‍ෂත්‍රිය වංශයයි. එහි එක ක්‍ෂත්‍රියයෙක් වත් සිඟා කෑවෙක් නම් නැත. මහරජ, ඔය වංශය අපගේ නම් වංශයක් නොවේ. අපගේ නම් දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමන, සුජාත, පියදස්සි, අත්‍ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්‍ථ, තිස්ස, ඵුස්ස. වෙස්සභූ, කකුසන්‍ධ, කෝණාගමන, කස්සප බුදුවරු ද වෙනත් නොයෙක් ලක්‍ෂ ගණන් බුදුවරු ද පිණ්ඩපාතයෙන් ජීවිකා කළහ. මේ බුදුවරුන්ගේ වංශයයි කියා ඇතුළු වීදියෙහි සිටම මේ ගාථාව වදාළ සේක.
නැගී සිටුව, පමා නොවන්නේය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. ධර්‍මයෙහි හැසිරෙන තැනැත්තේ මෙලොවත් පරලොවත් සුවසේ සයනය කරන්නේය.
ගාථා අවසානයෙහි රජ සොවාන් ඵලයෙහි පිහිටියේය. ඉක්බිති දුටු දහම් ඇති පත් දහම් ඇති දත් දහම් ඇති කිමිදි දහම් ඇති කෙසේද කෙසේද යන විචිකිච්ඡා නැසූ පහවූ මද ඇති බුදු සසුනෙහි අපර ප්‍රත්‍යය වූ රජ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන බික් සඟුන් සහිත බුදුන් මහපහයට වැඩමවා ප්‍රණීත ආහාර පානයෙන් වැළඳවීය. වළඳා අවසානයෙහි අවුත් වැඳ සිටී ප්‍රජාපති ගෝතමි ප්‍රමුඛ මුළු අන්තඃපුරයට ධර්‍ම දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ
සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය. දුසිරිතෙහි නොහැසිරෙන්නේය. ධර්‍මයෙහි හැසිරෙන තැනැත්තේ මෙලොවත් පරලොවත් සුවසේ සයනය කරයි යනුවෙන් දම් දෙසූහ.
මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් පෙලෙහි පිහිටියාය. රජ සකදාගාමි පෙලෙහි පිහිටියේය. ඉක්බිති රජ අන්තඃපුරස්ත්‍රීන් අතර රහල්මව නොදැක මාගේ ලේල්ලිය රහල්මව දක්නට නැතැයි පනිවිඩකාර ගැහැනියක පිටත් කළේය. තෝ යව, මාගේ ලේලිය රහල්මවට බුදුන් මෙහි සිටන බව දැනුම් දෙව. ඒ ස්ත්‍රිය ඈ සමීපයට ගොස් ආර්‍ය්‍යාවෙනි, ඔබගේ මයිලණු මහරජ ඔබ කැඳවන්නාහයි සැල කළාය. අදම එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ වඳිනු මැනව. එයසා රහල්මව කම්පමාන හදින් කදුළු පිරි මුහුණින් මෙසේ කීවාය. ඉදින් මාගේ ගුණයක් ඇත්නම් ආර්‍ය්‍ය පුත්‍රයන් වහන්සේම මා වෙත වඩින සේක. වැඩි කලම වඳිමි කියා නොගියාය. පනිවිඩ කාරිය ගොස් රජුට එය සැලකළාය. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිත්විය. යසෝධරා මට බොහෝ උපකාරවත්ය. මෙම සර්‍වඥතා ඥානය ඇය විසින් දෙන ලදැයි සිතා අසුනෙන් නැගිට පාත්‍රය රජු අත තබා දැගසව්වන් සමග රහල් මවගේ මාලිගයට පිවිසෙන සේක් සැරියුත් මුගලන් දෙනමට මෙසේ වදාළහ. “රජදුව කැමති පරිදි වඳිද්දී කිසිවක් නොකියවයි වදාරා ඇගේ යහන් ගැබට පිවිස පැනවූ අස්නෙහි හුන්සේක. ඇය සැණින් පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ගොප්මස අල්වා ගෙන සිරිපා මත හිස පෙරළ පෙරළා හඬ හඬා සිත් වූ පරිදි වැඳ වාඩි වූවාය.
එවිට රජ ලෙහෙලියගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති සෙනෙහෙ බුහුමන් ආදි ගුණ සම්පත්තිය කීවේය. ස්වාමීනි, මේ මාගේ දියණිය ඔබ වහන්සේ කසාවත් හැඳි බැව් අසා එතැන් පටන් කහවත් හැඳීමට පටන් ගත්තාය. ඔබ වහන්සේ එක් වේලක් වළඳන බැව් අසා එක් වේලක ආහාර ගත්තාය. ඔබ වහන්සේ මහ යහන් හළ බව අසා මැටි ඇඳෙහි නිදාගත්තාය. මලින් ගඳින් වෙන් වූ බව අසා මලින් ගඳින් වැළකුණාය. සිය නෑයෝ අපි ඔබ පෝෂණය කරන්නෙමුයි පනිවිඩ එවූ කල්හි බෙහෙවින් ශෝක වී එක නෑයෙකු දෙසත් නොබැලුවාය. මාගේ දියණිය මෙසේ ගුණ සම්පන්න යයි කීවේය. එවිට තුන් කල් පවත් දන්නා භාග්‍යවතුන් වහන්සේ ඇගේ ශෝකදාහ ධර්‍ම දේශනා නැමැති සුපිරිසිදු දහම් ජලයෙන් නිවමින් මහරජ පුදුමයක් නොවේ. දැන් ඔබ විසින් රකිනු ලබන මුහු කළ නුවණ ඇති රජ දුව තමන් ආරක්‍ෂා වන්නීය. ඕ තොමෝ පෙර ආරක්‍ෂාවක් නැතිව පර්වත ප්‍රාන්තවල හැසිරෙමින් නොමේරූ නුවණ ඇතිවත් ආරක්‍ෂා වී යයි චන්‍දකින්නර ජාතකය දේශනා කළහ. දේශනාවසානයෙහි රාහුලමාතා දේවිය සෝවාන් වූවාය. හද සෝ නිවී ගියේය. භාග්‍යවතුන් වහන්සේ යසෝධරා දේවියගේ සෝදුක් දුරුකර භික්‍ෂූන් සමඟ නිග්‍රොධාරාමයට වැඩි සේක.
තුන් වන දින නන්‍ද කුමරුගේ අභිෂේක, ගෘහ ප්‍රවේශ, විවාහ මංගල තිබෙද්දී ඔහුගේ ගෙට වැඩ කුමරු පැවිදි කරනු කැමැතිව පාත්‍රය අතට දී ආසිරි පවසා වැඩි සේක. එවිට කුමරුගේ පත්නි ජනපද කල්‍යාණි බුදුන් අනුව යන කුමරු දැක වහා එන්නැයි කියා ගෙල දිගු කොට බැලුවාය. ඔහු ද පාත්‍රය ගනු මැනවයි බුදුන්ට කිව නොහැකිව විහාරයටම ගියේය. ඔහුගේ කැමැත්තක් නැතිවම භාග්‍යවතුන් වහන්සේ ඔහු පැවිදි කළහ. උන් වහන්සේ මෙසේ කිඹුල්වත් පුරයට පැමිණි තෙවන දිනයෙහිම නන්ද පැවිදි කරවූහ. සත්වනදා රාහුලමාතා දේවිය රාහුල කුමරු සරසා විවෘත සීමැඳුරු කවුළුව ළඟ සිටියාය. එකල ලෝක හිතදායක නිකෙලෙස් බුදුහු පිණ්ඩපාත වේලාවෙහි විසිදහසක් භික්‍ෂූන් පිරිවරා අනුපම බුදුසිරින් කිඹුල්වත පිඬු පිණිස වැඩියහ. දේවිය අනුපමරූසිරින් බබළන උන්වහන්සේ දුරදීම දැක රාහුල ප්‍රියපුතුට දරුව, බලන්න. විසිදහසක් පිරිවැරූ රන්වන් බඹහු වන් මහාශ්‍රමණයන් බලන්න. ඒ ඔබගේ පියාණෝය. උන් වහන්සේට මහානිධන්සැළි තිබුණේය. ගිය තැන් පටන් කිසිවක් දක්නට නැත. පුත, යන්න. දායාද ඉල්ලන්න. දායාද ධනය ලැබ සක්විති රජ වන්නැයි කීවාය. කුමරා මම දායාද ලබා අභිෂේකයට පත්ව සක්විති වෙමි සිතා මවට වැඳ සපිරිවරින් පහයෙන් බැස බුදුන් කරා ගොස් රැස්වැල් සමූහයෙන් පැතුරුණු සිරුරින් මහාශ්‍රමණය, ඔබගේ සෙවණැල්ල සිසිල්ය. ඔබගේ සෙවණැල්ල සුවදායකයයි කියා තවත් තමාගේ ළදරු කමට යුතු වදන් තෙපලමින් බුදුන් පසු පස ගියේය. රජමැදුරෙහි දන් වැළඳූ භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩිසේක. බුදුන් පසුපස ගමන් කළ කුමරා ද මහාශ්‍රමණයිනි, මට දායාද දුන මැනව. මට ධනයෙන් වැඩ තිබේ. මට ධනය දුන මැනව. පියා සතු ධනයෙහි ස්වාමියා පුත්‍රයායි කිය කියා ගියේය.
උන් වහන්සේ කුමරු නොවැළැක්වූහ. සමඟ යන ඔහු නැවැත්වීමට පිරිවර ජනයාට ද නොහැකි විය. ඔහු තථාගතයන් වහන්සේ සමඟ ආරාමයටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. මේ රාහුල පියා සතු ධනයම ඉල්වයි. ඒ ධනය බාලයන් විසින් අනුමත වූවකි. උවදුරු සහිතය. නිවන් පිණිස විරාගය පිණිස නිරෝධය උපසමය අභිඥාව සම්බෝධය පිණිස හේතු නොවේ. එය රජවරු ද ගනිති. සොරු සොරකම් කරති. ගින්න දවයි. ජලය පා කරයි. අප්‍රියයෝ ගනිති. ඒ ධනය නිසාම කයින් දුසිරිත් කරති. ඒ ධනය නිසාම තණ්හාව වැඩේ. තණ්හාව නිසා සොයයි. සෙවීම නිසා රැස් කරයි. රැස්කිරීම නිසා ඡන්‍දරාගය ඇතිවේ. ඡන්‍දරාගය නිසා එහි ගිලෙයි. ගිලීම නිසා වැළඳගනී. වැළඳ ගැනීම නිසා මසුරු වෙයි. මසුරුකම නිසා ආරක්‍ෂා කරයි. ආරක්‍ෂා හේතුවෙන් දණ්ඩන ඝට්ටන කලහ විවාද විග්‍රහ තෝ තෝ යනු ද කේලාම් ආදි නොයෙක් අකුසලධර්‍ම පහළ වෙයි. මම දැන් මොහුට බෝමැඬදී ලබන ලද සද්ධාධන, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන සත්විධ ආර්‍ය්‍ය ධන දෙමියි කියායි.
ශ්‍රද්ධා ධනයෙන් වනාහි අශ්‍රද්ධා දිළිඳුකම දුරුකරයි. සීල ධනයෙන් දුශ්චරිත දිළිදුකම දුරලයි. හිරි ධනයෙන් අහිරික දිළිඳුකම දුරු කරයි. ඔත්තප්ප ධනයෙන් අනොත්තප්ප දිළිඳුකම දුරු කරයි. සුත ධනයෙන් විචිකිච්ඡා දිළිඳුකම දුරු කරයි. චාග ධනයෙන් මසුරු දිළිඳුකම දුරු කරයි. ප්‍රඥා ධනයෙන් මෝහ දිළිඳුකම දුරුක රයි. රජවරු නොගනිති. සොරු සොරකම් නොකරති. ගින්න නොදවයි. ජලය නොපාකරයි. අප්‍රියයෝ නොගනිති. ඒකාන්ත කලකිරිම විරාගය නිරේධය උපසමය අභිඥාව සම්බෝධය නිර්වාණය සඳහා පවතියි. සියලු බුදුවරුන් විසින් සමධිගත සප්තාර්‍ය්‍ය ධනය රාහුලට දී ලෝකෝත්තර දායාදයට ස්වාමියෙකු කරමියි සිතා සැරියුත් තෙරුන් අමතා සාරිපුත්‍රය, ඔබ රාහුල කුමරු පැවිදි කරන්න. තථාගතයන්ගේ දයාද දෙන්නැයි වදාළහ. සැරියුත් තෙරුන් වහන්සේ බුදුන් හමුයෙහිම රහල් කුමරු පැවිදි කරවූහ. උන් වහන්සේ පැවිදි කරවූ කල මුළු නුවර කැළඹුණේය. රාහුලමාතා දේවිය එපවත් අසා හද බිඳුණාක් මෙන් දැඩිතර සොවින් මහහඬින් හැඬුවාය. මුළු රජ මාලිගය මහ කුනාටුවකින් කැළඹි සමුදුරු ගොස මෙන් ඒකරාව විය. එවිට සුදොවුන් රජ පුත් මුණුබුරු වියෝ සෝදුක් දරා ගත නොහැකිව වහ වහා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳ මෙසේ කීය. ස්වාමීනි, එක් වරයක් ඉල්ලා සිටිමි. රජතුමනි, තථාගතයන් වහන්සේලා ඉක්මවූ වර ඇත්තෝ වෙති. යම් කැප වූවක් ස්වාමීනි, යම් නිරවද්‍යයක් මට කියනු මැනව. භාග්‍යවතුන් වහන්සේ පැවිදිවූ කල්හි මට අනල්ප දුකක් ඇති විය.
නන්ද පැවිදි වූ කල ඊට වැඩි දුක් ඇති විය. ස්වාමීනි, රාහුල කෙරෙහි ඇති පුත්‍ර ප්‍රේමය සිවිය ද ඇට ද සිඳ ඇටමිදුලුවල හැපී සිටියේය. ස්වාමීනි, මම යම්තාක් බුද්ධ මාමක ධර්‍ම මාමක සංඝ මාමක වෙම් ද එහෙත් සිය පියා විසින් පුතුන් පැවිදි කරනු ලබද්දී ඤාති වියෝග දුක ඉවසිය නොහැක්කෙමි. අන්‍ය ජනයා පුත් මුනුබුරන් පැවිදි කරන කල්හි කෙසේ දුක ඉවසත්ද? ස්වාමීනි, මවුපියන් විසින් නොඅනුදන්නා ලද දූ පුතුන් පැවිදි නොකළ හොත් මැනවි කියායි.
බුදුහු රජුට ඒ වරය දී දැහැමිකතා කොට පිටත් කළහ. ඔහු ගිය පසු භික්‍ෂූන් රැස් කරවා මවුපියන් විසින් නොඅනුදත් දූ පුතුන් පැවිදි නොකළ යුතුයයි ශික්‍ෂාපද පැනවූහ. නැවත දිනක් භාග්‍යවත් බුදුහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන බික්සඟුන් සමඟ රජ මාලිගයෙහි දානයට වැඩ පැනවූ අසුන්හි හුන්හ. සිහිල ගත් රජ පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදෙමින් ඔබ වහන්සේ ප්‍රධන් විර්‍යය වඩන කල්හි මා වෙත ආ දෙවියෙක් මහරජ, ඔබගේ පුත් කලුරිය කළේ යයි කීය. එවිට මම ඔහුගෙන් මපුත් බුදු වී මළේ ද නැද්දැයි ඇසීමි. බුදු වීමට නොහැකි විය. ප්‍රධන් භූමියෙහි වැටී මළේ යයි කීය. මම ඔහුගේ බස් නො අදහමින් ම පුත් නොබුදුව නොමැරෙයි කියා එය ප්‍රතික්‍ෂේප කළෙමි. මෙසේ කී කල තථාගතයන් වහන්සේ මහරජ, දැන් ඔබ කෙසේ අදහන්නෙහි ද? නො බුදු කල්හි ද එක් ඇටයක් පෙන්වා ඔබ පුත් මළේයයි කී කල්හි නො ඇදහීයයි මේ කරුණ මුල් කොට මහාධර්‍මපාල ජාතකය වදාළහ. ගාථාවසානයෙහි රජ, කාමරාග ව්‍යාපාද කෙලෙස් රාශිය නසා අනාගාමී ඵලයෙහි පිහිටියේය. මෙසේ සුදොවුන් රජ තුන් ඵලයෙහි පිහිටුවා භික්‍ෂූන් පිරිවැරූ බුදුහු යළිත් රජගහ නුවරට වැඩ එහි වස් විසූහ.
උන්වහන්සේ පළමු වස බරණැස ද දෙවැනි වස රජගහ නුවර ද, වස් විසූහ. තුන් වෙනි සතර වෙනි වස් ද රජගහ නුවර වසා පස් වැන්න වේසාලියෙහි ද සවැන්න මකුල පර්‍වතයෙහි ද සත් වැන්න තව්තිසාවෙහි ද අට වැන්න භේසකලා වනයෙහි ද නව වැන්න කොසම්බියෙහි ද දස වැන්න පාරිලෙය්‍ය වනයෙහි ද එකොළොස් වැන්න චේතිය පර්වතයෙහි ද දොළොස් වැන්න වේරඤ්ජාවෙහි ද විසූහ. තෙලෙස් වැන්න නැවතත් භේසකලා වනයෙහිමය. තුදුස් වැන්න සැවතෙහිය. පසළොස් වැන්න කපිලවස්තුවෙහිය. සොළොස් වැන්න ආලවියෙහි ද සතලොස් වැන්න අටළොස් වැන්න එකුන්විසි වැන්න සහ විසි වැන්න රජගහ නුවරමය. එක්විසි වන වස නැවත චාලිය පර්වතයෙහිය. දෙවිසි වැන්න භේසකලා වනයෙහිය. තෙවිසි සූවිසි පස්විසි වස් භාග්‍යවතුන් වහන්සේ සැවැතෙහි විසූහ. සවිසි වැන්න චේතිය පර්වතයෙහිය. සත්විසි අටවිසි වස් කිඹුල්වත නිග්‍රොධාරාමයෙහිය. එකුන් තිස්වන වර්ෂයෙහි ද පශ්චිම වස බේලුව ගාමයෙහි විසූහ. සියලු පන්සාලිස් වස සදහම් සක්විති රාජ්‍යය කොට ධර්මරාජ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි යමක සල්ගස් අතර අනුපධිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියහ.