අවිදුරේ නිදාන

star_outline

අවිදූරෙ නිදානය කවරේද යත්, බෝසතුන් තුසි පුරයේ වසද්දීම බුද්ධ කෝලාහලය නම් කෝලාහලයක් උපන්නේය. මේ ලෝකයෙහි කෝලාහල තුනක් උපදී. කප්ප කෝලාහල, බුද්ධ කෝලාහල, චක්කවත්ති කෝලාහල කියායි. එහි වර්ෂ ලක්‍ෂයක් ඇවෑමෙන් කප නැසීම වන්නේ යයි ලොකබ්‍යුහක නම් කාමාවචර දෙවියෝ කෙස් මුදා ගෙන කෙස් විසුරුවා දුර්මුඛව අතින් කඳුළු පිසිමින් රතු පිළී හැඳ අතිශයින් විරූප වෙස්ගෙන සැහැසි හැසිරීම් ඇතිව මිනිස් පියසෙහි හැසිරෙමින් මෙසේ දන්වති. “නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් කප් ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වෙයි. මේ ලෝකය නස්නේය. මහමුහුද ද වියැලෙයි. මේ පොළවත් මහමෙරත් උඩයයි. විනාශවෙයි. බඹලොව දක්වා වැනසෙයි. නිදුක්වරුනි, මෛත්‍රිය වඩව් කරුණාව. මුදිතාව, උපේක්‍ෂාව වඩව්. මව්පියන්ට උපස්ථාන කරව්, කුලදෙටුවන් පුදව්” කියායි. මෙය කල්ප කෝලාහලය නමි.

චක්කවත්ති කෝලාහලය නම් කෙසේ ද? කාමාවචර දෙවියෝම සියලු අබරණින් සැරසී මෙයින් වසර දහසක් ඇවෑමෙන් සක්විති රජෙක් ලොව පහළ වෙතැයි මිනිස් පියසෙහි හැසිර ඝෝෂා කරති. මේ චක්‍රවර්ති කෝලාහලය නමි.

බුද්ධ කෝලාහලය කෙසේ ද? සුද්ධාවාස දෙවියෝ බඹගණ සමඟ සැරසී හිසෙහි බඹවෙළුම් වෙළා ප්‍රීති සොම්නසින් බුදුගුණ භරිතව වසර දහසකින් පසු බුදුහු ලොව උපදිතියි මිනිස් පියසෙහි හැසිර ඝෝෂා කරති. මෙය බුද්ධ කෝලාහලය නමි. මේ තුන් කෝලාහලය වෙයි. එයින් බුද්ධ කෝලාහල ශබ්දය අසා දස දහසක් සක්වළ දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද එකට රෑස්ව අසවල් නම් සත්වයා ලොව බුදුවන්නේයයි උපත් චුති නිමිති ඇති බෝසතුන් වෙත පැමිණ දීප, ධූප, සුවඳ මාලාදිය පුදා” නිදුකාණෙනි, ඔබ දසපැරුම් පුරමින් ශක්‍ර සම්පත් සඳහා නොපුරන ලදි. මාර සම්පත් පතමින් නොපුරන ලදි. බඹ සැප පතා නොපුරන ලදි. සක්විති සැප සඳහා නොපුරන ලදි. සකල ලෝක තරණය සඳහාම සර්‍වඥතාඥානය පතමින් දස පැරුම් පුරන ලදි. නිදුකාණෙනි, බුදුබව සඳහා දැන් කාලයයි. නිදුකාණෙනි, බුදුබව සඳහා ඔබ වහන්සේට දැන් කාලයයි කියා උන් වහන්සේට ආයාචනා කරති. ඉක්බිති බුද්ධෝත්පාදය කැමති සමසිත් සමසිරුරින් බඳැදිලි ඇති බබළන ආභරණයෙන් යුත් බ්‍රහ්මශක්‍රාදි දේව සමූහයා විසින් මැනවින් ආරාධනා කරන ලද මහසත්හු සැම බෝසතුන්ට ආචීර්ණ මහාවිලෝකන විලෝකනය කළහ.

කාලය දීපය ද දේශය ද කුලය ද මව ද යන මේ පහ බලා මව්කුසට පැමිණියහ.

උන්වහන්සේ දෙවියන්ට ප්‍රතිඥා දී පස් මහබැලුම් බලන්නේ පළමුව කල් බැලූහ. එහි වර්‍ෂ ලක්‍ෂයකින් උඩ වැඩි ආයු කාලය අකාල නම් වේ. එකල සතුන්ට ජරා, මරණ නොපෙනේ. බුදුවරුන්ගේ ධර්ම දේශනා ත්‍රිලක්‍ෂණයෙන් මුක්ත වූයේ නොවේ. අනිච්චං, දුක්ඛං, අනත්තා යයි කියන විට ඔවුන්ට මේ කුමක් කියන්නේ දැයි අහන්නට අදහන්නට නොසිතෙයි. එබැවින් නොවැටහෙයි. නොවැටහෙන කල බුදුසසුන අනෛර්‍ය්‍යාණික වෙයි. එහෙයින් එය අකාල නම් වෙයි. වසර සියයකින් අඩු ආයු කාලය ද අකාල නම් වෙයි. කුමක් නිසා ද, එකල කෙලෙස් උත්සන්න බැවින් සත්ත්වයෝ ශාස්තෲන් වහන්සේගේ අවවාදයෙහි නොපිහිටති. දියෙහි අඳින ඉරක් මෙන් ක්‍ෂය වෙයි. එබැවින් එය ද අකාලයයි. වර්ෂ ලක්‍ෂයෙහි පටන් යට වර්‍ෂ සියය තෙක් වූ කාලය කාල නම් වෙයි.

ඉක්බිති මහසත්හු මේ ඉපදිය යුතු කාලයයි සියවස් කාලය බලා අනතුරුව දීපය බලන්නාහු පිරිවර සහිත සතර දීපය බැලූහ. දීප තුනක බුදුවරු නූපදිති. දඹදිවම උපදිත්. දඹදිව නම් විශාලය. දස දහසක් යොදුන් ප්‍රමාණය. කවර පෙදෙසක උපදිත්දැයි දේශය බලන්නේ, මධ්‍යම දේශය දුටහ. මධ්‍යම දේශය නම් දිගින් තුන්සිය යොදුනකි. පුළුලින් යොදුන් දෙසිය පනසකි. වටින් නවසිය යොදුනකි. එහි පෙරදිගින් කජංගල නම් නියම්ගමයි. ඉන් මෙපිට මහාසාලයයි. ඉන් පසු ප්‍රත්‍යන්ත ජනපදය වෙයි. එයින් මධ්‍යයයි. ගිනිකොණින් සලලවතී නදියයි. ඉන්පසු ප්‍රත්‍යන්ත ජනපදයයි. එයින් මධ්‍යයෙහිය. දකුණින් සේතකර්ණි නියම්ගමයි. එයින් එපිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මධ්‍යයෙහිය. පැසුළු දෙසින් ථූන නම් බමුණුගමයි. ඉන්පසු ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මධ්‍යයයි. උතුරින් උසීරද්වාජ පර්වතයයි. ඉන්පසු ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මධ්‍යයයි. මේ මධ්‍යම දේශය නමි.

මෙය දිගින් තුන්සියයක් යොදුනකි. පුළුලින් දෙසිය පනසකි. මධ්‍යම දේශ මණ්ඩලය යොදුන් නවසියයකි.

මේ පෙදෙසෙහි බුදු පසේබුදු අග්‍රශ්‍රාවක අසූමහාශ්‍රාවක සක්විති රජවරු සහ කළ පින් ඇති අන්‍යයෝ ද මහේශාක්‍ය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාරයෝ ද උපදිති. මේ කපිලවත්‍ථු නම් නගරයයි. එහි මා ඉපදිය යුතු යැයි බලා ඉක්බිති කුලය බැලූහ.

බුදුවරු නම් ලෝක සම්මත කැත්කුලයෙහි කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදිති. කුලය බලන්නේ අසම්භින්න කැත්කුලය දුටහ. මම එහි උපදිමි. සුද්ධෝන මහරජ මාගේ පිය වෙයි කියා කුලය දැක ඉක්බිති මෑණියන් බැලීය. බුද්ධමාතාව නම් ලෝලී සුරාධුර්ත නොවේ. කප් ලක්‍ෂයක් පැරුම්පුරා උපතෙහි පටන් නොකඩ පන්සිල් ඇත්තී වෙයි කියා මෑණියන් බලන්නේ සුදොවුන් මහරජුගේ මහ මෙහෙසි මහාමායා දේවිය දුටහ. මැය මාගේ මව වන්නීය. ඇගේ ආයුෂ කෙතෙක් දැයි බලන්නේ දසමසින් මතු සත් දිනකැයි දුටහ. මේ පස් මහබැලුම් බලා නිදුක්වරුනි, බුදුබව සඳහා මට කාලයයි. දෙවියන්ට සංග්‍රහ කරමින් ප්‍රතිඥා දී තෙපි යව් කියා ඒ දෙවියන් පිටත් කොට තුසිත දෙවියන් පිරිවරා තුසීපුර නඳුනුයනට පිවිසියහ. සියලු දෙව්ලොව්හි නන්‍දන වනය ඇත්තේය. එහි ඒ දේවතාවෝ නිදුකාණෙනි, මෙයින් චුතව සුගතියට යනු මැනවි. මෙයින් චුතව සුගතියට යනු මැනවැයි පෙර කළ කුසල දහම් සිහිගන්වමින් හැසිරෙති. උන්වහන්සේ මෙලෙසින් කුසල් සිහිගන්වන්නා වූ දෙවියන් පිරිවරා එහි හැසිරෙමින් චුතව කිඹුල්වත්පුර සුදොවුන් මහ රජුගේ අගමෙහෙසි මහාමායා දේවිය කුස්හි පිළිසිඳ ගත්හ. එය ප්‍රකට කිරීම පිණිස මේ පිළිවෙළ කතාවයි.

එකල කිඹුල්වත් පුරයෙහි ඇසළ පුන් පොහොයෙහි ඇසළ නැකත් කෙළි ඝෝෂා කරන ලද්දේය. මහජනයා නැකැත් කෙළි කෙළිති. මහාමායා දේවිය ඇසළ පුණු පොහොයට පළමුවම සත් දිනක පටන් සුරාපාන මාලාගන්ධ විලේපන, විභූෂණ සම්පත්වලින් තොරව නැකැත් කෙළියෙහි යෙදෙන්නී සත්වන දින පාන්දරින්ම නැගිට ගඳදියෙන් නහා හාරලක්‍ෂයක් වියදම් කොට දන් දී සර්වාලංකාරයෙන් සැරසී වරබොජුන් වළඳා උපෝසථාංග ඉටා මනාව සැරසූ යහන් ගැබට පිවිස සිරි යහන්හි හෙව නිදන්නී මේ සිහිනය දුටුවාය. සිව්වරම් මහරජවරු සයනය සමඟින් ඇය ඔසවාගෙන හිමවතට ගොස් සැට යොදුන් මනොසිලා තලයක සත් යොදුන් මහසල්රුකක් යට තබා පසෙක සිටියහ. ඔවුන්ගේ දේවීවරු පැමිණ දේවිය අනෝතත්විලට ගෙන ගොස් මිනිස් කිළුටු දුරු කිරීමට නහවා දිවසළු අන්දවා දිවසුවඳ තවරා දිවමල් පළඳවා ඒ නුදුරෙහි රිදී පර්වතයක ඇතුළත රන් විමනක් වෙයි. එහි පිවිස දිව්‍ය සයනය පනවා දේවිය නිදි කරවූහ. එවිට බෝසත්හු සුදු ඇත් වෙස් ගෙන ඉන් නුදුරෙහි රන් පර්‍වතයක ඇවිද ඉන් රිදී පර්‍වතයට බැස උතුරු දිගින් පැමිණ රිදීවන් සොඬින් සුදුපියුමක් ගෙන කුඤ්ච නාද කොට රන් විමනට පිවිස මෑණියන්ගේ යහන තෙවරක් පැදකුණු කොට ඇගේ දකුණු පස පළාගෙන කුසට පිවිසෙන්නාක් මෙන් විය. මෙසේ මහසත්හු ඇසළ නැකතින් පිළිසිඳ ගත්හ.

දෙවන දින දේවිය පිබිද සිහිනය රජුට දැන්වූවාය. රජ සැටක් පමණ ප්‍රමුඛ බමුණන් ගෙන්වා කසාලේප කොට ජලාදියෙන් මංගල සත්කාර කළ භූමියෙහි මාහැඟි අසුන් පනවා එහි හුන් බමුණන්ට ගිතෙල් මී සකුරු ආදියෙන් සැකසූ මීකිරිබත් රන් බඳුන් පුරවා රන් බඳුනින්ම වසා මාහැඟි නොඉඳුල් වස්ත්‍ර ද පොහොර දෙනුන් ආදි වෙනත් දෙයින් ද ඔවුන් සතුටු කළේය. ඉක්බිති කැමති සියලු දෙයින් සතුටු කරවූ ඔවුන්ට සිහිනය දන්වා කුමක් වන්නේ දැයි විමසීය. බමුණෝ මහරජ, නොසිතුව මැනව, දේවියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය.

ඒ වනාහි මහාපුරුෂ ගර්භයකි. ඔබට පුතෙක් වන්නේය. ඉදින් ඔහු ගිහිගෙහි වාසය කළහොත් සක්විති රජ වන්නේය. පැවිදි වුවහොත් ලොව කෙලෙසුන් නැසූ සම්බුද්ධ වන්නේය. බෝසතුන්ගේ පිළිසිඳ ගැනීමත් සමඟ එකවරම මුළු දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. ප්‍රකම්පා විය. අපමණ මහත් ආලෝකය ලෝකාන්තරිකය පවා ආලෝක කරමින් උපන්නේය. අවීචි ගිනිදැල් නිවී ගියේ ය. ලොහො කුඹුව සිහිල් දියෙන් පිරිගියේය. සියලු බන්ධන කැඩී ගියේය. කාලසූත්‍රය සිඳුණේය. වෑ පොරෝ ආදි ආයුධ දඬු රහිත විය. අංගාර පර්වතය නිවුණේය. අසිපත්‍ර මුල් සිඳී වැටුණේය. කටුඉඹුලෙහි කටු සුන්විය. තියුණු මුවහත් කැඩී ගියේය. යහුල් නැතිවිය. වේතරණියෙහි ක්‍ෂාරොදක නිවී ගියේය. වේතරණි කටු අධෝමුඛව ගියේය. අසුචි නිරය වියලුණේය. හළු නිරය මනා කෙළවර ඇත්තේ විය. නිරය පාලයෝ ව්‍යාපාර රහිතව හුන්හ. නිරෑ සත්ත්වයෝ සැප ඇතිව සැනසිලි ලැබූහ. රියසක් නොපෙරලුණේය. නිදිගත් සතුන් මෙන් ක්‍ෂුද්‍රප්‍රාණීහු ගැටරහිත වූහ. සියලු සත්හු උනුන් හැඳින්නාහ. තිරිසන්ගත සත්තු උනුන් ව්‍යාපාද රහිත වූහ. ප්‍රේත විෂයෙහි සත්ත්වයෝ සාපවස් රහිත වූහ. කාලකන්ජික සත්‍වයෝ නො තැවුණහ. මහජනයා රෝග රහිතව කෙලෙස් ගිනි දාහ රහිතව සැනසුම් ලැබූහ. මූඪගර්භ සුවසේ ප්‍රසව විය. අන්ධයෝ දුටහ. බිහිරෝ ඇසූහ. ගොළුවෝ මිහිරි වදන් බිණූහ. පිල්ලු සෘජු පා ඇතිව කැමති සේ ගමන් කළහ.

විදෙස්ගත නැව් සිය නිවැරදි පටුන්වලට පැමිණියේය. පක්‍ෂීහු පියා සැලීම් රහිතව පොළොවෙහි මෙන් සිටියහ. තිරිසන්නු මිනිස් ඇසුර ලැබූහ. මහසුළං නොහැමීය. සයුර මිහිරිදිය ඇති නොකැළඹුණ පළිඟු ගල්තලාවක් මෙන් රළ රහිත විය. ගඟ දිය නොගැලීය. සියලු දිය පහරවල් ගලා නොබැස්සේය.

සියලු විල් උතුරා ගැලීය. මුහුදෙහි සීදන්ත සාගරයෙහි, ගංගාවන්හි, පොළොවෙහි, රුක් කඳ වෙළෙප්හි ලතාවන්හි අහස්හි පස්වනක් පියුම් පිපුණේය. ඝන ගල්තලාවල එක් දණ්ඩෙහි පැනනැගී මල් ඡත්‍ර ත්‍රිඡත්‍ර මෙන් පහළවිය. සියලු මල්පල හටගන්නා රුක් මල් ඵල ඇතිවිය. අකනිටාවත් පොළොවත් අතර අහස වැසූ ධජ පතාක චාමර විය. දසදහසක් සක්වළ විවිධ පූජෝපකරණයෙන් සැරසුණේය. තුටු පහටු දෙවියෝ විවිධ වේසාලංකාරයෙන් ඇදිලි බැඳ නැමුණහ. බමුණු ගණයා තුති මඟුල් පුදා උදම් ඇනූහ. දේව මානුෂික තූර්ය තනිවම වාදනය විය. සතුටු ආකාර සත්වයෝ සිනාසුණහ. ඇත්තු කුඤ්චනාද කළහ. මිනිසුන්ගේ අත්පාවල සියලු ආභරණ නාද විය. සියලු දිසා පැහැදිලිව බැබළුණේය. නොයෙක් පෙළහර පහළ විය.

මෙසේ පිළිසිඳගත් බෝසතුන්ගේ සහ මෑණියන්ගේ උවදුරු දුරු කිරීම පිණිස කඩුගත් අත් ඇති ලෝකපාලයෝ සතර දිග රැකවල් ගත්හ. බෝසත්හු අනන්ත යසසින් අපරිමිත සැපතින් මව් කුස පිළිසිඳ දොළොස්රියන් රන්මුවා පර්යංකයෙක්හි සිටියෙකු මෙන් මව් කුසෙහි සම්බාධ රහිතව මිණිවිමන්හි හුන් මහා බ්‍රහ්මයා මෙන් ගැබ්මළ නොතැවරී කිසිදු අසුචියකින් නොමුසුව හිඳ නොමුළා සිහියෙන් නොසිඳි කරුණාවෙන් සත්වානුග්‍රහ කරුණාවෙන් නිතොරව කාලය බලමින් දස මසක් මව් කුස විසූහ.

එකල බෝසත් මාතාවෝ සුවපත්ව ක්ලාන්ත නොවූ සිරුරින් යසලාභ අගපත්ව අනුමාත්‍ර වූ හෝ පුරුෂ රාගයක් නූපදවා තම කුසෙහි හුන් බෝසතුන් පැහැදිලි මිණි රුවනක ඇමුණු පඬු හුයක් මෙන් දක්නාහ. බෝසතුන් විසූ කුස චේතිය ගර්භයක් හා සමානය. වෙනත් සතෙකු විසින් විසීම හෝ පරිභෝග කළ නොහැකිය. එහෙයින් බෝසත් මාතාව බෝසතුන් ඉපිද සත්දිනකින් කලුරිය කොට තුසී පුරයෙහි උපන්නාහ. අන් ස්ත්‍රීහු දසමස් නොපිරී හෝ ඉක්මවා හෝ ප්‍රසූත කරන්නාහ. බෝසත් මාතාව එසේ නොවන්නීය. ඕ තොමෝ දසමසක් බෝසතුන් කුසින් දරා සිටිවනම ප්‍රසූත කරන්නීය. මේ බෝසත් මෑණියන්ගේ ධර්‍මතාවයි. මහාමායා දේවිය ද තෙල් පාත්‍රයක් පරිහරණය කරන්නාක් මෙන් බෝසතුන් දස මසක් කුසින් දරා පිරිපුන් ගැබින් සිය ගැබ් පෙරහැර දැන දෙව්දහ නුවර සිය පියාණන් වෙත යනු කැමැත්තී “දේවයන් වහන්ස, කුලසන්තක දෙව්දහනුවරට යනු කැමැත්තෙමි”යි සුදොවුන් රජුට දැන්වූවාය. රජ මැනවයි ඇගේ වචනය පිළිගෙන කපිලවත්‍ථුවේ පටන් දෙව්දහ නුවර තෙක් මඟ සමකොට උක්, කෙසෙල්, පුන්කලස් ධජ පතාකාදියෙන් සරසවා වෙසක් පුන් පොහෝ දින පෙරවරු දේවිය රන්සිවි ගෙයක හිඳුවා දහසක් ඇමතියන් ලවා ඔසවා මහපෙරහරින් යැවීය. දෙනුවර අතර ලුම්බිනි වන නම් මඟුල් සල්වනයක් ඇත. එසමයෙහි එය මුල පටන් අග තෙක් සියල්ල මලින් පිරුණේය. අතු මල් අතර පස්වනක් බමර සමූහයා පිරී සිටිති. කොවුලන් ආදි නානාවිධ සකුණ සමූහයා මිහිරි නදින් කූජනය කරමින් හැසිරෙති. සකල ලුම්බිනි වනය නන්දන වනය, චිත්‍රලතා වනය මෙන් රමණීය විය.

සල්වනය දුටු දේවියට එහි ක්‍රීඩා කරනු රිසිවිය. ඇමතියෝ දේවිය සල්වනයට ඇතුළු කොට මඟුල් සල්ගස මුල බැස් වූහ. දේවිය කිරි මවුවරුන් පිරිවරා මඟුල් සල් අත්තක් ගනු කැමති වූවාය. එවිට ශාල ශාඛාව තැවූ වෙයගක් මෙන් නැමී දේවියගේ අත පත්විය. ඈ අත දිගු කොට නැවුම් ශාඛාව අල්වා ගත්තාය. එකෙණෙහිම විලිරුදා ඇති විය. දේවිය ශාල ශාඛාවෙහි එල්බ සෝභමානව සිටිවනම සිටියාය. දසදහසක්සක්වළ දෙවියෝ එහි රැස්වූහ. බෝසත්හු ඒ වෙසක් පුන් පොහෝ දින විසා නැකතින් මහත් මේඝ පටලයකින් නිකුත් ළහිරු මෙන් මව්කුසින් සුවිසුද්ධව බිහිවූහ.

යම් සේ අන් සත්හු යොනිමඟ ගෑවෙමින් අසූචි කිළුටින් තැවරී බිහිවෙත් ද බෝසත්හු එසේ බිහි නොවෙති. යම් විටෙක බෝසත්හු මව් කුසින් නික්මෙත් ද යෝනිමඟ නොගෑවී සෙම් ලේ නොතැවරී කිසිඳු අසූචියකින් නොගෑවී කසී සළුවක තබාලූ දෑරඟ මිණක් මෙන් අත්‍යන්ත සුවිසුද්ධව බිහිවෙති. යම්සේ අන් සත්හු විලිරුදාවෙන් පා උඩුකුරුව හිස යටිකුරුව යෝනි මාර්‍ගයෙන් පුරුෂයන් සත් දෙනෙකු පමණැති ප්‍රපාතයකින් පෙරළෙන්නාක් මෙන් මහ දුක් විඳීමින් බිහිවෙත් ද බෝසත්හු එසේ නොවෙති. උන්වහන්සේ වනාහි ධර්මාසනයෙන් බසින ධර්‍මකථිකයකු මෙන් පඩිපෙළකින් බසින පුරුෂයෙකු මෙන් දෙ අත් දෙපා දිග හැර හිටිවනම මවට දුක් නූපදවා බිහිවෙති. නික්මෙද්දී ද පොළොවට පා නොතැබියදීම සුදවැසි මහාබ්‍රහ්මයෝ සතර දෙනෙක් රන්දැලින් පිළිගෙන දේවිය ඉදිරියේ සිට “දේවීනි, සතුටු වුව මැනවි. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේ යයි” කීහ. එවිට අහසින් දෙදිය දහරක් නික්ම බෝසතුන්ගේ හා බෝසත් මාතාවගේ ශරීරයට සත්කාර පිණිසත් සෘතු ගැන්වීම පිණිසත් වැගිර ගියේ ය.

ඉක්බිති මහාබ්‍රහ්මයන්ගේ අතින් ලෝකපාල සතර වරම් රජහු මංගල සම්මත සුව පහසු අඳුන් දිවි සමින් බෝසතුන් පිළිගත්හ. ඔවුන් අතින් කිරි මවුවරු දුහුල් සළුවකින් බෝසතුන් පිළිගත්හ. කිරි මවුවරුන් අතින් මිදී තමන් වහන්සේ එකෙණෙහිම ඉපිද සිය පයින්ම පොළොවෙහි සිට මහබඹු දිවසේසත් දරද්දී, සුයාම දෙවියන් සෙසු රාජ කකුධ භාණ්ඩ ගත් අත් ඇතිව අනුගමන් යද්දී මහසත්හු පූර්ව දිශාව බැලූහ. එවිට පෙරදිග දසදහසක් සක්වළ දිව්‍ය සමූහයා ද සියලු මිනිස්සු ද මල්වරුෂාදි පුජා කරමින් දොහොත් මුදුන් දී “මහා පුරුෂය, මෙහි ඔබට සමවුවෙක් නැත. උත්තරීතරයෙක් කොයින්දැයි” කීහ. මෙසේ පශ්චිම දිශාව, උතුරු දිශාව, දකුණු දිශාව යන සතර දිශාව ද සතර අනුදිශාවද උඩ යට යන දිසා විදිසාවන් බලා තමාට සමවූවකු නොදැක මේ උතුරු දිශාව යයි සලකා උත්තර දිශාභිමුඛව සත් පියවරක් ගොස් පියුම් පිට පිහිටා අට අඟකින් යුත් අත්‍යන්ත කර්‍ණ රසායන සුඛකර බඹසර විහිදුවමින් මෙවදන් පැවසූහ.

මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ අන්තිම ජාතියයි. දැන් පුනර්භවයක් නැත්තේය.

එකෙණෙහි දසසහස්‍රී ලෝකධාතුව හාත්පසින් කම්පා විය. වෙවුලා ගියේය. අපමණ මහත් ආලෝකය පහළවිය. අහසෙහි පොළොවෙහි තත් යෙදූ වීණා සම් යෙදු බෙර කිසිවෙකුත් වාදනය නොකොට වාදනය විය. සඳ අතිශයින් බැබළුණේය. ඉරු අතිඋෂ්ණ ද නොව අති සිසිල් ද නොව නිර්මල සෘතු සම්පන්න විය. සතර දීවයින්හි මහවැසි වැස්සේය. සියලු දිග් බැබළී ගියේය. උපන් මොහොතෙහි පිළිසිඳීමෙහි දී මෙන් මේ සියලු පෙළහර පෙර නිමිති පහළ විය.

එසේම දසසහස්‍රී ලෝකධාතු කම්පනය සර්වඥතාඥාන ලාභයට පෙරනිමිති යයි දත යුතු. දෙවියන්ගේ එක් සක්වළ සන්නිපාතය දම්සක් පවත්වන වේලෙහි එකපැහැර රැස්ව දහම් පිළිගැනීමට පෙරනිමිත්තයි. පළමුව දෙවියන්ගේ පිළිගැනීම සිවු අරූ දැහැන් ලැබීමට පෙරනිමිත්තයි. පසුව මිනිසුන්ගේ පිළිගැනීම සිවුදැහැන් පිළිගැනීමට පෙරනිමිත්තයි. සිය පයින් පොළෝ පිහිටීම සතර සෘද්ධිපාද ලැබීමට පෙරනිමිත්තයි. උතුරු දිශාභිමුඛවීම මහජනයා මැඩ පැතිර ධර්මාභිසමය වීමට පෙරනිමිත්තයි. සත්පියවර තැබීම, සප්තබෝධ්‍යාංග ලැබීමට පෙරනිමිත්තයි. සේසත් දැරීම විමුක්ති සේනා ලැබීමට පෙරනිමිත්තයි. පඤ්ච රාජ කකුධ භාණ්ඩ පඤ්ච විමුක්තියෙන් විමුක්තවීමට පෙරනිමිත්තයි. දිසාවලෝකනය අනාවරණඥාන ලාභයට පෙරනිමිත්තයි. සිංහනාද කිරීම නොපැවැත්වූ දම්සක් පැවැත්වීමට පෙරනිමිත්තයි. “අයමන්තිමා ජාති” යන සිංහ නාදය අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පෙර නිමිත්තයි. සියලු රත්නයන්ගේ බැබළීම ලෝකයේ උතුම් සද්ධර්‍මරත්නාලෝකය පැතිරීමට පෙරනිමිත්තයි. තත් බැඳි වීණා තෙමේම නාදවීම අනුපූර්ව විහාර සමාපත්ති ඥානයට පෙරනිමිත්තයි. සම්බැඳි බෙර තමාම වාදනය වීම මහත් දහම් බෙරය ඇස්වීමට පෙරනිමිත්තයි. අන්දුබන්‍ධනාදිය සිඳීයාම අස්මිමාන ඡේදයට පෙර නිමිත්තයි. මහජන රෝග දුරු වීම සිව්සස් ලැබීමට පෙරනිමිත්තයි. විදෙස්ගත නැව් සුපටුන් ගතවීම සිව්පිළිසිඹියා අධිගමයට පෙරනිමිත්තයි. එළමූගයන්ගේ සිහි එළඹීම සතර සීවටන් ලැබීමට පෙරනිමිත්තයි. වෛරීන්ගේ මෙත්සිත් ලැබීම සිව්බඹ විහරණ ලාභයට පෙරනිමිත්තයි. අවීචි ගිනි නිවීම එකොළොස් කෙලෙස් ගිනි නිවීමට පෙරනිමිත්තයි. ලෝඇඳිරි එළිවීම අවිදු අඳුර නසා ඤාණාලෝක දර්ශනයට පෙරනිමිත්තයි. මුහුදු දිය මිහිරි වීම ලොව නිවන් රසයෙන් ඒක රසවීමට පෙරනිමිත්තයි. සැඩ සුළං නොහැමීම දෙසැට මිසදිටු ගති බිඳීමට පෙරනිමිත්තයි. සකුණයන්ගේ පොළෝතල ගමන අවවාද අසා සරණ ගමනයට පෙරනිමිත්තයි. චන්‍ද්‍රයාගේ අතිවිරෝචනය බහුජනකාන්ත බවට පෙරනිමිත්තයි. සූර්යයාගේ උෂ්ණ ශීත විවර්ජනය සුවපත් කායික සුවයට පෙරනිමිත්තයි. දෙවියන්ගේ විමන් දොරටුවල අත්පොළසන් ක්‍රීඩාදිය බුදුව උදන් අනන බවට පෙරනිමිත්තයි. සිවු මහ දිවයින්හි මහවැසි මහ දහම්වැසිවලට පෙරනිමිත්තයි.

සාගිනි අභාවය කායගතාසති ලාභයට පෙරනිමිත්තයි. පිපාසා පීඩන අභාවය විමුක්ති සුවයෙන් සුවපත්වීමට පෙර නිමිත්තයි. දොර කවුළු තෙමේ ම විවරවීම අටඟමඟ දොරටු විවර වීමට පෙරනිමිත්තයි. ගස් වැල් මල් ඵල භරිත වීම විමුක්ති මල් පිපී සාමඤ්ඤ ඵල බරින් බරවීමට පෙර නිමිත්තයි. හැම තැන පියුම් මල් ඉපදීම විනේය ජනයාට මඟ ඵල උපදනා බවට පෙරනිමිත්තයි. දසසහස්‍රී ලෝධාභි ධජමාලා මාලිකා ආදියෙන් පිරීයාම අරිය ධජ මාලාවෙන් පිරීයාමට පෙරනිමිතියයි දත යුතුය.

යම් විටෙක මහා පුරුෂයාණෝ පොළොවෙහි පිහිටා උත්තරාභිමුඛව ගොස් ආසභ වචන ප්‍රකාශ කරන්නාහු ද එවිට කිම? පොළොවෙන් ගියාහු ද? නැතහොත් අහසින් ගියාහු ද? පෙනෙමින් ගියාහු ද? නැත හොත් නොපෙනෙමින් ගියාහු ද? අචෙලකව ගියාහු ද? නැතහොත් අලංකාර ලෙස සැරසී ගියාහු ද? තරුණව ගියාහු ද? මහලුව ගියාහු ද? එසේත් නැතිනම් ඒ සැටියෙන්ම ගියාහු ද? නැතහොත් තරුණයෙක් ද? එහිලා මෙසේ දත යුතුයි. මහපුරිස්හු පොළොවෙන් ගියහ. මහජනයාට අහසින් ගියාක් මෙන් හැඟෙයි. පෙනි පෙනී ගියහ. මහජනයාට නොපෙනෙන්නා සේ හැඟෙයි. අචේලකව ගියහ. මහජනයාට අලංකාරව ගියාක් මෙන් හැගෙයි. ළදරුවම ගියහ. මහජනයාට සොළොස්වස් වුවකු මෙන් හැඟිණ. පසුව බාල දරුවෙක් විය. මෙසේ අර්‍ථකථාචාර්‍ය්‍යවරු විස්තර ඒ මහා පුරුෂයාණෝ උපන් දිනයෙහිම උන්වහන්සේ සමඟ සහජාතයෝ සත් දෙනෙක් වූහ. යසෝධරා දේවිය, සුළුපිය පුතු ආනන්‍ද, කාළුදායි ඇමති, ඡන්න, කන්ථක අස් රජ, මහබෝරුක, සතර මහා නිධානයයි. ඉන් එකක් ගවුවක් පමණය. එකක් අඩ යොදුනක් පමණය. එකක් තුන් ගවු පමණය. ගත් ගත් කළ පිරී යන්නේමය. මෙසේ මේ සහජාත සත්වස්තුවයි.

කළහ.

යසෝධරා ද ආනන්‍ද සහ කාළුදායි ද ඡන්න, කන්ථක, බෝරුක, නිධන් සැළිද යන සතයි.

එකල්හි දෙනුවර වැසි ශාක්‍යයෝ සතුටු සොම්නස්ව මහ පිරිවරින් තූර්ය තාලාවචර ඝෝෂාවෙන් මහසතුන් ගෙන කපිලවත්‍ථු නගරයටම ගියහ. එදිනම තව්තිසාවෙහි දේව සමූහයා තුටු පහටුව කපිලවත්‍ථු පුර සුදොවුන් මහරජුට පුතෙක් උපන්නේය. එතුමා බෝ මැඩ හිඳ බුදු වන්නේය. දම්සක් පවත්වන්නේය. අපි බුදුරුව දක්නටත් බණ අසන්නටත් ලබමුයි පිළී සිසෑරීම් සිය දහස් සාධුකාර දීම් පවත්වමින් සැණකෙළි කළහ. එවිට සුදොවුන් මහරජුගේ කුලුපග අටසමවත්ලාභී කාළදේවල නම් මහතවුස් තවුතිසාවෙහි දිවා විහාරයෙන් හුන්නේය. ඒ දෙවියන්ගේ කථා අසා සැහැල්ලු සිතින් නැගිට සවසම දෙව්ලොවින් බැස රජගෙට පිවිස තැනවූ අසුන්හි හිඳ මහරජ, ඔබට පුතෙක් උපන්නේ දැයි ඇසීය. මහාතවුසාණෙනි, එසේය. මහ රජ ඔහු දකිමි.

එවිට මහරජ පුත් කුමරු ගෙනවුත් තාපසයන් වැන්දවීමට සිතීය. එවිට බෝසතුන්ගේ පා කැරකී තාපස ජටාවෙහි පිහිටියේය. කුමක් හෙයින් ද? බෝසතුන්ගේ ඒ පශ්චිම ආත්ම භාවයෙහි වැඳිය යුතු අනිකෙක් නැත. ඉදින් නොදැන බෝසතුන්ගේ හිස තාපසයන්ගේ පාමුල තැබී නම් ඔහුගේ හිස සත් කඩක්ව පැළෙයි. ඉක්බිති තාපස තෙම දැක උද්වේගකර හදින් තැතිගත් සිතින් ආශ්චර්‍ය්‍ය අද්භූතව විසින් නසා ගැනීම නොමැනවියි සිතා අසුනින් නැගිට දණමඬල පොළොවෙහි තබා ඇඳිලි බැඳ බෝසතුන් පිළිගත්තේය. සුදොවුන් මහරජ ඒ අසිරිය දැක ප්‍රීති භරිත හදින් මහා බ්‍රහ්මයා මෙන් තම පුතු පා වැන්දේය. තාපස තෙම වනාහි පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ලාභීය.

අතීතයෙහි සතලිස් කපක් ද අනාගතයෙහි සතලිස් කපක් දැයි අසූකපක් සිහිකරයි. එහෙයින් බෝසතුන්ගේ ලක්‍ෂණ සම්පත් දැක මොහු බුදුවන්නේ ද නැතහොත් නොවන්නේදැයි ආවර්ජනා කරන්නේ නිසැකව බුදු වෙයි දැන අහෝ මේ ආශ්චර්‍ය්‍ය මිනිසෙකැයි සිනා පහළ කළේය. අනතුරුව මම බුදු වූ මෙතුමන් දක්නට ලබන්නෙම්ද නැතහොත් නොලබන්නෙම් දැයි සලකන්නේ නොලබමි. අතරදී කලුරිය කොට අරූප භවයෙහි උපදින්නෙමි. සියක් බුදුවරුන් දහසක් බුදුවරුන් ලක්‍ෂයක් බුදුවරුන් විසිනුදු මුදවා ලීමට නොහැකි ය. මෙබඳු ආශ්චර්යවත් මහාපුරිෂොත්තම බුදු කෙනෙකුන්ගේ බණ ඇසීමට නොලබමි. අහෝ ඒකාන්තයෙන්ම මට විශාල හානියකැයි සිතා හැඬීය.

මිනිස්සු එය දැක “ආර්‍ය්‍යයන් වහන්ස, කුමක් නිසා දැන් ඔබ සිනාසී නැවත හැඬුහුද, කිමෙක්ද ස්වාමීනි, අපගේ ආර්‍ය්‍ය පුත්‍රයාහට කිසියම් අනතුරක් වන්නේ දැ”යි විමසූහ. “තාපසයෝ දරුවනි, එතුමාට අනතුරක් නැත. නිසැකයෙන්ම ලොව බුදුවන්නාහ.” එසේ නම් හැඬුවේ මන්දයත් “බුදු වූ මෙබඳු මහා පුරුෂයෙකු දක්නට නොලබමි. ඒකාන්තයෙන්ම මට විශාල හානියෙකැයි ශෝක කරමින් හැඬුවෙමි යි” කී ය. මෙසේ කියා නැවත කිමෙක් ද? මාගේ නෑයන්ගෙන් කිසිවෙක් මෙතුමා දක්නට ලබන්නාහු දැයි පරීක්‍ෂා කරන්නේ තම බෑනණු නාලක දරුවා දුටුවේය. ඉක්බිති නැගිට බෑනාගේ ගෙට ගොස් නාලක කැඳවා “දරුව, සුදොවුන් මහරජ කුලයෙහි මහ පිනැති මහ පුරිස් ලකුණින් හෙබි බුදුකුරු පුතෙක් උපන්නේය. පන්තිස් වසක් ගිය පසු බුදුවන්නේය. ඔබ ඔහු දැකීමට ලබන්නෙහිය. අදම මහණ වන්නැයි” කීය. මයිලණුවන්ගේ වචනය අසා දරුවා අසූහත් කෙළක් සම්පත් ඇති කුලයක උපන් නැණවත් භද්‍ර පුද්ගලයෙකු බැවින් මයිලණුවෝ මා අනර්‍ථයක නො යොදවන්නාහයි සිතා මැනවි ආර්‍ය්‍යයෙනි යි ඔහුගේ වදන් පිළිගෙන එවේලෙහිම කඩ පිළෙන් කහවත් ද මැටි පාත්‍රයක් ද ගෙන්වා ගෙන කෙස් රැවුල් බහා කහවත් ඇඳ මහාසත්‍වයන් වහන්සේ සඳහා පැවිදිව බෝසතුන්ට අභිමුඛව පසඟ පිහිටුවා වැඳ පසුම්බියෙහි ලූ පාත්‍රය උරහිසෙහි එල්වාගෙන හිමවතට පිවිස මහණදම් පිරීය.

පස් වෙනි දින බෝසතුන් හිසෙහි නහවා නම් තබන්නෙමි'යි රජ රාජභවනය සිවු දෑ ගඳින් තවරා ලද පස් මල් විසුරුවා නොකඩ කිරිබත් පිසවා ත්‍රිවේද පාරගත අටෝරාසියක් බමුණන් කැඳවා කිරිබත් වළඳවා සත්කාර කළේය. ඔවුන් අතරින් බමුණෝ අට දෙනෙක් තෝරා මහාර්ඝ අසුන්වල හිඳුවා විශේෂ සත්කාර කොට මනාව සැරසූ බෝසතුන් දුහුල් සළුවක හිඳුවා ලකුණු සැලකීමට ඔවුන් වෙත ගෙන්වීය. ඔවුන්ගෙන් බමුණෝ සත්දෙනෙක් උතුම් මහපුරිස්ලකුණු සම්පත් දැක දෑඟිල්ලක් ඔසවා මේ මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්ත මේ මහාපුරුෂයා ඉඳින් ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජ වෙයි. පැවිදි වන්නේ නම් බුදුවෙයි කියා දෙයාකාරයකින් ප්‍රකාශ කළහ. ඔවුන්ගෙන් හැමට බාල කොණ්ඩඤ්ඤ නම් වූ ත්‍රිවේද පාරගත නිඝණ්ඩු සහිත කේටුභ ශාස්ත්‍රද අක්‍ෂර ප්‍රභේද සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ශාස්ත්‍රදත් පදදත් වියරණ දත් ලෝකායත ශාස්ත්‍රයන්හි ද මහා පුරිෂලක්‍ෂණයන්හි ද නිපුණ තරුණ බමුණු තෙම මහාපුරුෂ ලක්ෂණ සම්පත් බලා මෙතුමාට ගිහිගෙහි විසීමට කරුණක් නැත. ඒකාන්තයෙන් සව් කෙලෙසුන් නසා ලොව බුදුවන්නේ යයි එකම ඇඟිල්ලක් ඔසවා එකම ප්‍රකාශයක් කළේය. එයින් නිමිති දන්නෝත් නෑයෝත් සියලු ලෝකාර්ථ සිද්ධිය කරන හෙයින් සිද්ධාත්‍ථයයි නම් කළහ.

ඉක්බිති ඒ සත්බමුණෝ තමන්ගේ ගෙවලට ගොස් පුතුන් අමතා “දරුවනි, අපි මහල්ලෝ වෙමු. බුදු බවට පත්වන සුදොවුන් මහරජුගේ පුතු දැකීමට අපි අසමත් වෙමු. තෙපි ඒ කුමරු බුදු බවට පත් කල උන්වහන්සේගේ සසුනෙහි පැවිදි වවු යැයි” කීහ. ඒ සියලු සත්බමුණෝ ආයු ඇති තෙක් සිට කර්‍මානුරූපව මියගියහ. කොණ්- ඩඤ්ඤ තරුණයා ළපටි ද නිරෝගි ද විය. මහසතුන්ගේ වැඩීමෙන් මහබිනික්මන බලාපොරොත්තුවෙන් වාසය කළේය. එකල බෝසත් පියමහරජ කොණ්ඩඤ්ඤ බමුණාගේ ප්‍රකාශය අසා කුමක් දැක මාගේ පුත්‍රයා පැවිදි වන්නේදැයි ඇසීය. මහලු, ගිලන්, මළ, පැවිදි යන සතර පෙර නිමිති දැකීමෙනැයි අසා එතැන් පටන් එබඳු නිමිති මා පුතු සමීපයට පැමිණිමට ඉඩ නොතබමි. ම පුතුහට බුදු බවෙන් වැඩෙක් නැත. මම මපුතණුවන්ට දෙදහසක් කුඩා දිවයින් පිරිවර කොටැති සතර මහා දිවයින්හි ඉසුරට අධිපති කරමි. සතිස් යොදුන් මණ්ඩල වූ අහස්හි සරනු දකිනු කැමැත්තෙමි යි කියා මේ සිවු කරුණ නැති කිරීමට ද කුමාරයාගේ ඇස් හමුවට පත්වීම වැළැක්වීමට ද සිවු දික්හි ගවුවක් ගවුවක් දුරට ආරක්‍ෂා තැබීය. එදින මඟුල් සඳහා රැස්වූ අසූ නෑ කුල දහසින් එක් එක් පුතු පාවා දුන්හ.

මොහු බුදු වුවත් හෝ රජවුවත් අපි එක එක පුතු දෙමු. ඉදින් බුදු වන්නේ නම් ක්‍ෂත්‍රිය ශ්‍රමණයෙකුම පෙරටු කොට හැසිරෙති කියායි. රජ බෝසතුන්ට උතුම් රූසපුවෙන් යුත් සියලු දොසින් තොර කිරිමවුවරුන් යෙදීය. බෝසත්හු අනන්ත පිරිවරින් මහත් සිරි සෝහාවෙන් පෙරපස සඳ මෙන් වැඩෙති. දිනක් රජුගේ වප් මඟුලක් විය. එදින මුළු නුවර දෙව්නුවරක් මෙන් සරසති. දාස කම්කරු ආදීහු නොඉඳුල් පිළීහැඳ ගඳින් මලින් සැරසී රජගෙට රැස්වෙති. රජුගේ කර්මාන්තයෙහි නඟුල් දහසක් යොදති. එදින එකකුදු අඩු නොවෙයි. අටසියයක් නඟුල් හරකුන් රැහැන් යොත් සමඟ රිදියෙන් සරසති. රජු ගන්නා නඟුල රන් ආලේපිතය. හරකුන්ගේ අං ආදිය සහ රැහැන් යොත් කෙවිටි ද රන් ආලේපිතය. රජ මහපිරිවරින් බෝසතුන් ගෙන නික්මියේය.

කර්මාන්තස්ථානයෙහි බොහෝ පත් ඇති ඡායා ගහණ දඹරුකෙක් වෙයි. සෙවණෙහි බෝසතුන්ට අසුන් පනවා මත්තෙහි රන්තරුවෙන් සැරසූ වියන් බඳවා තිර පවුරින් වට කොට ආරක්‍ෂා තබා රජ සියලු අලංකාරයෙන් සැරසී ඇමතියන් පිරිවරා සී සානා තැනට ගියේය. රජ රන් නඟුල ගනී. ඇමතියෝ එකුන් අටසියයක් රිදී නඟුල් ගනිති. ගොවියෝ සෙසු නඟුල් ගෙන ඔබ මොබ සීසාති. රජ මොබින් ඔබට යයි. ඔබින් මොබට යයි මෙතැන්හි මහා සම්පත් ඇත්තේය. බෝසතුන් පිරිවරා හුන් කිරිමවුවරු රජසිරි බලමුයි තිරයෙන් බැහැරව ගියහ. බෝසත්හු වටපිට බලා කිසිවකු නොදැක වහා නැගිට පර්‍ය්‍යංකයෙන් හිඳ ආනාපානසති වඩා ප්‍රථමධ්‍යානය ඉපදවූහ. කිරිමවුවරු කෑම් බීම් අතර හැසිරෙමින් මඳ වේලාවක් ගත කළහ. සෙසු ගස්වල සෙවණ ආපසු හැරී එම රුකට පිරි මඩුළුව සිටියේය. කිරි මවුවරු ආර්‍ය්‍ය පුත්‍රයා තනිවයයි වහා තිරය ඔසවා ඇතුළට පිවිසෙන්නාහු සයනයෙහි පර්යංකයෙන් හුන් බෝසතුන් දැක ආශ්චර්ය අද්භූතයට පැමිණ රජු වෙත ගොස් දේවයන් වහන්ස, කුමරා මෙලෙසින් සිටිනේය. සෙසු ගස්වල සෙවණ ආපසු හැරී දඹරුක පිරිමඩුළු කොට පවතී යයි කීහ. රජ එයසා වේගයෙන් ගොස් පෙළහර දැක ප්‍රීතිහරිත හදවතින් තමා වාවාගත නොහැකිව මේ ඔබට දෙවන වැඳීම යයි කියමින් පුතු වැන්දේය. කෙමෙන් සොළොස් වියැති උතුම් බෝසත් පුතුට සුදොවුන් මහරජ තුන්පහයක් කරවීය.

ඉන් එකක් ගිම්හාන කාලවාසය සඳහා ය. රම්ම නම් ප්‍රාසාදය නව මහල් වූයේය, උසින් දිගින් මහත්ය. එකක් වැසි සමයෙහි වාසය සඳහාය. සුරම්ම නම් ප්‍රාසාදය සත්බුමුය. ඝන බිත්ති ඇත්තේය. පහසු ගබඩා සහිතය. එකක් හේමන්ත කාල වාසය සඳහායි. සුභ නම් ප්‍රාසාදය පස්බුමු ය. විසිතුරු සොඳුරු දැකුම් ඇති රමණීය ප්‍රාසාදයක් විය. යසෝධරා දේවිය ප්‍රමුඛ සතලිස් දහසක් නළඟනෝ උවැටැන් කළහ. බෝසත්හු දෙවඟනන් පිරිවැරූ දෙව්රජ මෙන් සැරසුණු නළඟනන් පිරිවරා මහසැප විඳිමින් සෘතු වාරයන්හි තුන් පහයෙහි වසති. මෙබඳු සම්පත් විඳින උන්වහන්සේ පිළිබඳව දිනක් නෑයන් අතර මෙබඳු කතාබහක් ඇති විය. “සිද්ධාර්ථ ක්‍රීඩාසක්තව වසයි. කිසි ශිල්පයක් නොහදාරයි. යුද්ධයක් ආ කල කුමක් කරන්නේ ද” කියායි. රජ බෝසතුන් කැඳවා දරුව, ඔබගේ නෑයෝ සිද්ධාර්ථ කිසි ශිල්පයක් නොහදාරා ක්‍රීඩාවෙහිම ඇලී වාසය කරන්නේ යයි කියති. දැන් කුමක් කටයුතු ද, කියා සිතන්නෙහි දැයි ඇසීය. දේවයිනි, මාගේ ශිල්ප හැදෑරීමත් මාගේ ශිල්ප දැක්වීමත් සඳහා නුවර බෙර ලවනු මැනව. මින් සත්වන දින නෑයන්ට ශිල්ප දක්වමියි කීය. රජ එසේ කළේය. සත්වන දින අසූදහසක් නෑ කුලයන් ප්‍රමුඛ මහා ජනකාය රැස්වූ පසු බෝසත්හු අක්‍ෂණ වේධී වාළවේධී ධනුග්‍රහයන් රැස් කොට කෙසුරු බරින් බර ජාතිසිංහයෙකු මෙන් නිර්භීතව සැක රහිතව සුවසේ සිනහබර මුහුණින් අනන්‍යසාධාරණ දොළොස් වැදෑරුම් ශිල්ප දැක්වූහ. එය සරභංග ජාතකයෙහි ආ පරිදි දත යුතුය.

ඉක්බිති නෑ සමූහයා නිසැක වූහ. දිනක් බෝසත්හු උයන්බිමට යනු කැමතිව රියැදුරු අමතා රිය සූදානම් කරව. උයනට යමියි කීය. හෙතෙම මැනව දේවයන් වහන්ස කියා මහාර්ඝ උතුම් රථය සියලු සැරසිල්ලෙන් සරසා කුමුදුවන් මඟුලසුන් සිව් දෙනෙකු යොදා බෝසතුන්ට දැන්වීය. බෝසත්හු දෙවියකු මෙන් සියලු අබරණින් සැරසී උතුම් රියට නැඟ මහබලකාය පිරිවරා උයන් බිමට ගියහ. එදින දේවතාවෝ සිදුහත් කුමරුට බුදුවීමේ කාලය ආසන්නය. පෙර නිමිති දක්වමුයි සාකච්ඡා කළහ. එක් දේව පුත්‍රයෙක් ජරාවෙන් දැ දුරුවූ පැසුණු කෙහෙ ඇති විසම විරල ලිහිල් කඩදතින් යුතු රැලි වැටුණු සමින් යුත් කාස ස්වාසයෙන් සුරු සුරු හඬ නගමින් වෙව්ලන ගතින් ගොනැස්සක් සේ වක ගැසී ගිය සිරුරින් අතින් ගත් දඬු ඇතිව තම යෞවනය සොයන්නාක් මෙන් බිම් බලාගෙන යන්නෙකු දැක්වූහ. එවිට බෝසත්හු ද රියැදුරා ද දකිති. අන්‍යයෝ නොදකිති. බෝසත්හු එය දැක යහළු රියදුර, මේ කවර පුරුෂයෙක් ද, ඔහුගේ කෙස් අන් අයගේ මෙන් නොවේ. ශරීරයත් අන් අයගේ මෙන් නොවේ යයි ඇසීය. ස්වාමිනි, මේ මහල්ලෙකි. තව බොහෝ කල් ජීවත් නොවෙයි. ඇයි යහළු රියදුර, මමත් ජරාව ස්වභාව කොට ඇත්තෙම් ද? ජරාව නො ඉක්මවන ලදද? ස්වාමීනි, ඔබත් මමත් අපි සියලු දෙන ජරාස්වභාව කොට ඇත්තෙමු. ජරාව නොඉක්මවූවෝ වෙමු.

බෝසත්හු සංවේගයට පත් හදින් යහළු රියදුර, උයනින් කමක් නැත. මෙතනින් මාලිගයට ආපසු යමුයි, ආපසු ගියහ. මාලිගයට ගොස් දුකින් දොම්නසින් සිත සිතා ජාතියට නින්දාවේවා. උපන්නහුට ජරාව පෙනේයයි සිතමින් සිටියේය. ඉක්බිති බෝසත් පිය, සුදොවුන් මහරජ වහා ආපසු පැමිණි පුතු දැක කුහුල් සිතින් රියැදුරුගෙන් රියැදුර, කුමක් නිසා මාගේ පුත්‍රයා වහා ආපසු ආවේ දැයි විමසීය. දේවයන් වහන්ස, මහල්ලෙකු දැකීමෙනැයි කීය. එයසා රජ අපොයි නැසුණෙමි. කුමක් නිසා මා නසන්නහු ද? වහා මාගේ පුතුට නාටක සරසව්. සැප විඳින විට පැවිද්දට සිහි නොයොදයි කියා ආරක්‍ෂා තරකොට නුවර සියලු දිසාවන්හි අඩයොදුන් ප්‍රමාණයෙහි මහලු, ගිලත්, මළ, පැවිද්දන්ගේ ගැවසීම නවතා දැමීය. දීර්ඝායුෂ්ක බෝසත්හු අවුරුදු සියයක් ගිය පසු මහල්ලන් ආදි එක් එක් නිමිති දුටහ. අප බොසත්හු මද ආයු කාලයේ උපන් බැවින් මාස සතරෙන් සතරට උයනට යද්දී ක්‍රමයෙන් දෙවියන් විසින් මැවූ එක් එක් පෙර නිමිති දුටහ.

බෝසත්හු දෙවන වර සිවුමසක් ගිය තැන එසේම උයනට යන විට දෙවියන් මැවූ ආබාධිත දුකට පත් දැඩි ගිලන් වූ තම අසූචි මුත්‍රවල ගැලුණ පුරුෂයෙකු දැක රියැදුරුගෙන් “යහළු රියැදුර මේ කුමක් කළ පුරුෂයෙක් ද? ඔහුගේ හිසත් අන් අයගේ මෙන් නොවෙයි කියා ඇසීය. දේවයිනි, මේ ලෙඩෙකි. කුමක් ද රියැදුර මොහු ලෙඩෙක් ද? දේවයනි එහෙමයි, මෙතෙම ගිලනෙකි. කිමෙක් ද රියැදුර, මමත් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම් ද? ව්‍යාධිය නොඉක්ම වූයෙම් ද? ස්වාමිනි, ඔබත් මමත් සියල්ලෝම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෝය. ව්‍යාධිය නොයික්ම වූවෝය. එහෙනම් රියැදුර දැන් උයනින් කමක් නැත. මෙතනින්ම මාලිගයට ආපසු යව, එසේය දේවයිනි, කියා මාලිගයට ආපසු ගියේය.

බෝසත්හු මාලිගයට නැග සිතුවිලි සිතමින් හුන්නේය. එපවත් ඇසූ රජ බෝසතුන් පස්කම් ගුණයෙන් සනසා හාත්පස තුන් ගව් පමණ ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කළේය. නැවත දිනක් ද බෝසත්හු එසේම උයනට යද්දී දෙවියන් විසින් මැවූ මහජනකාය රැස්වී නානා අයුරින් හඬන වැලපෙන මළ පුරුෂයෙකු දුටහ. දැක රියැදුර, මේ කවරෙක්දැයි ඇසීය. දේවයිනි, මේ මළ මිනියකි. එහෙයින් මා පිය නෑ ලේසහලේ නෑයෝ එක්ව දුක්වෙති. කිමෙක් ද? රියැදුර, මමත් මරණය ස්වභාව කොට ඇත්තෙම් ද? මරණය නොයික්ම වීම්දැයි ඇසීය. ස්වාමීනි, ඔබත් මමත් සියල්ලෝමත් මරණය ස්වභාව කොට ඇත්තෝය. මරණය නොයික්මවූවෝ යයි කීය. එසේ නම් යහළු රියැදුර, දැන් උයනින් කම් නැත. නැවත ආපසු යන්නැයි, ආපසු ගොස් පහයට පිවිස නොසතුටු සිතින් හිඳ එම පිළිකුල් අරමුණම සිහි කරමින් ජාතියට නින්දා වේවා. උපන්නහුට ජරාව පැමිණේ, ව්‍යාධිය පැමිණේ. මරණය පැමිණේ, අහෝ සංස්කාර අනිත්‍යයයි විතර්කනය කරමින් හුන්හ.

එපවත් ඇසූ රජ නැවතත් බෝසතුන් කම්සැපතින් සනසා හාත්පස යොදුනක් පමණ පෙදෙස්හි ආරක්‍ෂාව තර කළේය. නැවත ද තවත් දිනක උයනට යන්නාහු අතර මඟ එපරිද්දෙන්ම සුද්ධාවාස දෙවියන් විසින් මැවූ මනාව හැඳ පෙරව ශාන්ත දාන්ත වේශධාරීව සිටි පැවිද්දකු දැක ආශ්චර්‍ය්‍ය අද්භූතව රියැදුරුන්ගෙන් යහළු රියැදුර මොහු කවරෙක් ද? ඔහුගේ හිසත් අන් අයගේ මෙන් නොවේ. වස්ත්‍ර ද අන්‍යයන්ගේ මෙන් නොවේ යයි ඇසූහ. ඉක්බිති රියැදුරා බුද්ධෝත්පාදයක අභාවය නිසා කිසිදු පැවිදි ගුණයක් හෝ නොදන්නා නමුත් දේවතානුභාවයෙන් “දේවයන් වහන්ස, මෙතෙම පැවිද්දෙකි. සමචර්‍ය්‍යාවෙන් යහපති. කුශලචර්ර්‍ය්‍යාවෙන් යහපති. පුණ්‍ය ක්‍රියාවෙන් යහපති. අහිංසාවෙන් යහපති. සියලු සතුන්ට අනුකම්පාවෙන් යහපති” යි කීය. කුමක් ද මෙතෙම පැවිද්දෙකි. එසේය දේවයිනි, මෙතෙම පැවිද්දෙකි. එසේ නම් යහළු රියදුර, පැවිද්දහු. වෙත රථය යවන්න. එසේය දෙවයිනි කියා පැවිදි වුවහු වෙත රථය පැදවීය. බෝසත්හු පැවිද්දහු වෙත පැමිණ විමසා මිත්‍රය, කිම ඇත්තක් කියන්නෙහි ද? ඔබගේ වස්ත්‍ර ද අන්‍යයන්ගේ මෙන් නොවේ. පැවිද්දෙක් ද? කියා විමසූහ. දේවයිනි, මම පැවිද්දෙක් වෙමි. ඔබ යහළුව, පැවිද්දෙක් වන්නෙහි ද? එසේය දෙවයිනි, මම පැවිද්දෙක් වෙමි. සම චර්‍ය්‍යාවෙන් යහපත්ය, කුශල චර්‍ය්‍යාවෙන් යහපත්ය, පුණ්‍ය ක්‍රියාවෙන් යහපත්ය, සියලු සතුන් වෙත අනුකම්පාවෙන් හා අහිංසාවෙන් යහපත්ය. එය අසා බෝසත්හු පැවිදිවනු කැමතිව සතුට පිරි හදින් මිත්‍රය, ඔබ පැවිද්දෙක් වන්නෙහිය. සමචර්‍ය්‍යාවෙන් යහපත්ය. ආදි වශයෙන් පැවිදි ගුණ වනා රියදුරුට යහළුව, අද දින මම සුභ නිමිත්තක් දිටිමි. උයනට යවයි කීය. එසේය. දේවයිනි කියා සතුටු සොම්නසින් උයන් බිමට ගියේය.

එදවස් බෝසතාණෝ උයන් බිමට ගියහ. එහි දාවල් කාලය ක්‍රීඩා කොට මඟුල් පොකුණින් නහා ඉර අවරට ගිය පසු මඟුල් ගල් තෙලෙහි හිඳ තමන් සරසවනු කැමති වූහ. එවිට උන්වහන්සේගේ පිරිවර පුරුෂයෝ නන් පැහැති වස්ත්‍රාහරණ මල් ගඳ විලවුන් ආදිය ගෙන හාත්පසින් පිරිවරා සිට ගත්හ. එකෙණෙහි සක් දෙවිරජහුගේ අසුන උණුවිය. ඔහු කවරෙක් මා මෙතනින් පහ කරන්නට සිතන්නේදැයි විමසන්නේ තමන් සැරසෙනු කැමති බෝසතුන් දැක විස්කම් දෙව්පුතු අමතා “යහළු විශ්වකර්මය, සිද්ධාර්ථ කුමරා අදම අඩ රැයෙහි මහබිනික්මන් නික්මෙයි. මේ එතුමන්ගේ අවසන් සැරසීමය. ඔබ උයනට ගොස් මහාපුරුෂයන් සරසාලවයි කීය. එවිට විශ්වකර්‍ම දෙව්පුත් කපුවෙස් ගෙන පැමිණ දිව්‍යමය සැරසීමෙන් සැරසීය. බෝසත්හු සර්වාලංකාරයෙන් සරසන ලදුව සහ පිරිවරින් නුවරට පිවිසියහ. එවිට රූපශ්‍රීයෙන් ගුණයෙන් අකෘශවූ කිසාගෝතමී නම් රජ කුමරිය පහයෙහි මතු මහලෙහි සිට බෝසතුන්ගේ රූපශ්‍රීය දැක හටගත් ප්‍රීති සොම්නස් ඇතිව

ඒ මෑණියෝ ඒකාන්තයෙන් නිවුණාහ

ඒ පියාණෝ ඒකාන්තයෙන් නිවුණාහ

යමෙකුට මෙබඳු ස්වාමියෙකු ඇත්නම්

ඒකාන්තයෙන් ඒ කාන්තාව ද නිවුණාය.

යන මේ උදානය ප්‍රකාශ කළාය. එය අසා බෝසතුන්ට දිගුකල් අභිලාෂවත් වූ නිවන පිළිබඳව මෙබඳු අදහසෙක් විය. මාගේ රූසපුව දැක අර්ථාතර්ථ නොදන්නා මැය විසින් අර්ථයක්ම කියන ලද්දීය. මේ වනාහි මවු පිය භාර්යාවන්ගේ හද සොම්නස උපදවන හද නිවන්නක් වන්නේය කියායි. සිත වනාහි රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි, දුශ්චරිත, ක්ලේශ පරිදාහයන්ගෙන් උපසමනය වීම නිබ්බුත නම් වේ. මම ද සම්මා සම්බෝධියට පැමිණ මවු පිය භාර්‍ය්‍යාවන්ගේ හා ලෝකයාගේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ සිත් මාර්‍ග ඥානයෙන් නිවාලන්නෙමි, එහෙයින් අදම මම ගෘහවාස බන්ධනය සිඳ නික්ම පැවිදිව නිර්‍වාණය සෙවීම වටනේයයි සිතා සතුටු සිතින් ලක්‍ෂයක් වටනා රුසිරු මුතුහර මුදා මෙය මැයට ආචාර්‍ය්‍ය සත්කාරයක් වේවායි කිසාගෝතමියට යැවූහ. එය ලැබ කිසාගෝතමිය සතුටු සිත් ඇත්තී විය. මහසත්හු සරදාකාශයෙහි සුදු වලාවෙන් නැග එන සඳ මෙන් උතුම් පහයට නැග මාඇගි සිරිසයනනයෙහි හොත්හ. එවිට දිව්‍ය කන්‍යාවන් හා සමාන මිහිරි සිලිටි වචනැති නැටුම්, ගැයුම්, වැයුම් හි කුසලතා ඇති සෙනෙහසින් බැතිමත්වු නළඟනෝ උන්වහන්සේට අභිරමණය ඉපදවීම සඳහා නොයෙක් නැටුම්, ගැයුම් වැයුම් පටන් ගත්හ. කම්සැප නොකැමති නොසැලෙන හදවතින් බෝසත්හු උද්‍යාන රමණයෙන් ක්ලාන්ත ඇති බැවින් සිරිසයනයට ගොස් මොහොතක් නිදන්නට වන්හ. එවිට ඒ නළඟනෝ අපි යමෙකු සඳහා ක්‍රීඩා කරන්නෝ නම් ඔහු එය නොකැමැත්තෙන් නිදතියි, තම තමන්ගේ තූර්යෝපකරණ වැළඳගෙනම වැදහොත්තාහුය. එවිට නිදිවර්ජිත බෝසතාණෝ මධ්‍යම රාත්‍රියෙහි සිරිසයනය මත පර්‍ය්‍යංකයෙන් හිඳම ගඳතෙල් පිරූ දඬුවැට පහන් එලියෙන් ඒ ගැහැනු තූර්‍ය්‍ය භාණ්ඩ විසුරුවා වැතිර ගලන කෙළ තැවරුණු ගතින් විසංඥ බැවින් මුදා අවුල් වූ කෙහෙන් බොහෝ කොට ගුරු ගුරු යන ආස්වාස ප්‍රශ්වාස කරමින් දත් කමින් කහිමින් බහුල පෙරළීමෙන් පහවූ රෙදි ඇතිව සොහොන් රූප සම රූ දරමින් නිදන්නවුන් දුටහ.

උන්වහන්සේ ඔවුන්ගේ විප්‍රකාර දැක සංවේග පත් මනසින් වඩාත් කාම විරාගීව රකුසියන් මැදට වන්නාක් මෙන් නොඇල්මම ඇති විය. ශක්‍රභවනය මෙන් මනාව සැරසූ රාජභවනය විසිරුණු නානා කුණපභරිත අමුසොහොනක් මෙන් හැඟී ගියේය. තුන් භවය ගිනිගත් ගෙයක් මෙන් භව සන්ත්‍රාසයෙන් අනභිලාෂයෙන් වැටහී ගියේය. එවිට බෝසත්හට අහෝ “භවත්නි, ඒකාන්තයෙන් උපද්‍රවයකි. අහෝ අනතුරකි” යන උදානය වැටහිණ. සිත පැවිද්දට අභිමුඛ විය. අදම මහබිනික්මන් නික්ම පැවිදිවීමට වටනේයයි කළ නිශ්චයෙන් සිරියහනින් නැගී දොර ළඟට ගොස් මෙහි කවරෙක්දැයි විචාළහ. එවිට පඩිකඳෙහි හිස තබා නිදාසිටි ඡන්න “ආර්‍ය්‍ය පුත්‍රය, මම ඡන්න වෙමි”යි කීය. මහසතාණෝ “ඡන්නය, මම අදම මහබිනික්මන් නික්මෙන්නට කැමැත්තෙමි. වහා මට සෛන්‍ධවයා සරසව”යි කීහ. හෙතෙම හොඳයි දේවයිනි, කියා කටකලියාදී, අෂ්ට සන්නාහ උපකරණ ගෙන වහ වහා අස්හලට ගොස් නොනිවී දැල්වෙන ගඳපහන් ඇති සුවඳ මල් මණ්ඩපය මැද සොඳුරු සයනයෙහි සිටි කන්ථක අස්රජු දැක මම අද ආර්‍ය්‍ය පුත්‍රයන්ට නික්මීම පිණිස මේ අධිකතර රූප ජව වීර්‍ය්‍ය ලක්‍ෂණ යුත් මඟුලසු සරසමියි, කන්ථක සැරසීය. කන්ථක සරසද්දීම මේ සැරසීම උයන් ගමනට මෙන් ලිහිල් වූවක් නොවේ. නිසැකයෙන් ආර්‍ය්‍යයෝ අදම මහබිනික්මන් නික්මෙතියි දැන හටගත් සතුටින් මහාභේෂාරවයක් පැවැත්වීය. ඊ ශබ්දය මුළු නුවර පැතිරී යන තරම් ය. දෙවියෝ එය වළක්වා කිසිවෙකුටත් අසන්නට නොදුන්හ. එය ළඟම සිටි ඡන්න ද නෑසීය. ඉඳින් දේවතාවෝ එය නොවැළැක්වුහු නම් මුළු නුවර නින්නාද වෙයි. ඒ හේතුවෙන් මහසත්හුගේ අභිනිෂ්ක්‍රමණයට අන්තරාය වෙතැයි දෙවියෝ එසේ කළහ.

මහසතාණෝ ඡන්න යවා පුතු බලමියි සිතා රාහුල මාතාදේවිය වසන තැනට ගොස් ගැබ් දොර විවර කළහ. එකල්හි රාහුලමාතා දේවිය ගඳ තෙල් පහන් දැල්වෙන කුරුණියක් පමණ සුවඳ මල් ඇතුරූ සයනයෙහි රාහුල කුමරු මත අත තබා නිඳා සිටියාය. මහසත්හු පඩිකඳෙහි පා තබා සිටගෙනම එදෙස බලමින් ඉඳින් මම පුතු ගනිම් නම් දේවිය පිබිදෙයි. එයින් මාගේ ගමනට අන්තරාය වෙයි. බෝධියට පැමිණි පසුව බලන්නෙමියි සිතා ප්‍රාසාදයෙන් බැස අශ්වයා වෙත ගොස් දරුව කන්ථකය, තෝ අද මේ එකම රාත්‍රියෙහි මා එතෙර කරව. මම සම්මා සම්බුදුව සදේවක ලෝකයා තරණය කරවන්නෙමියි කීහ. ඉක්බිති උඩ පැන කන්ථකගේ පිටට නැගුණහ. කන්ථක වනාහි අටළොස් රියන් දිගය. ඊට සුදුසු උසය. ජව සම්පන්නය. සේදූ හක්ගෙඩියක් මෙන් සර්‍වශ්වේතය. ඉඳින් මොහු පාද ශබ්දයක් කළහොත් ඒ හඬින් මුළු නුවර පිබිදෙයි කියා දෙවියෝ බෝසතුන්ට අන්තරාය වැළකීම සඳහා හේෂාරව වළක්වා පා තැබීමෙහි දී පාදයට සිය අත්තල එළවූහ. බෝසත්හු තුරඟු පිට සිට ඡන්න වලගෙයි ගන්වා මධ්‍යම රාත්‍රියෙහි නගර දොර සමීපයට පැමිණියහ. සුදොවුන් මහරජ පෙරාතුවම බෝසතුන්ගේ නික්මයාම වැළකීම සඳහා රාත්‍රියෙහි විවරකොට නොනික්මිය යුතුයයි එක් එක් කවාටය පුරුෂයින් දහසකිනුත් නොඇදිය හැකි ලෙස ආරක්‍ෂා කොට බොහෝ පුරුෂයන් යෙදවීය. එහෙත් බෝධිසත්‍වයෝ ශක්තිමත්ය. ඇත් ගණනින් දහස් කෝටියක් ඇතුන්ගේ බල දරති. එබැවින් උන්වහන්සේ ඉඳින් දොර නොහැරියහොත් මම කන්ථක පිට වැතිරීගෙනම කන්ථකගේ කලවයට සංඥාකොට අටළොස් රියන් උස පවුර පැන යන්නෙමියි සිතූහ. ඡන්න ද ඉඳින් දොර නො හැරිය හොත් මම ආර්‍ය්‍ය පුත්‍රයන් ඇකයෙහි තබා කන්ථක දකුණතින් බඳවටා අත යවා කිහිලි ගන්වාගෙන ප්‍රාකාරය උඩින් පැන යන්නෙමියි සිතීය. කන්ථක ඉඳින් දොර නොහැරිය හොත් මම ආර්‍ය්‍ය පුත්‍රයන් හිඳගෙන සිටිද්දීම වලිගයෙහි එල්ලී සිටින ඡන්න ද සමග උඩ පැන ප්‍රාකාරයෙන් එපිට පැත්තේ සිටිමියි සිතීය. සියල්ලෝ එකච්ඡන්ද වූහ. එවේලෙහි දොරටුවෙහි අධිගෘහිත දේවතාවා ඔවුන්ගේ අභිප්‍රාය දැන ඔවුන්ගේ අදහස් සමෘද්ධ වෙයි. මා දොර නොහැරිය හොත්, දොර නොඇරීමේ අපරාධයෙන් කුපිත දේව සමූහයා මට නිග්‍රහ කරන්නාහ. එහෙයින් මම දැන් දොර අරිමියි සිතා මහාසත්වයන්ගේ පින් තෙදින් තැති ගෙන වහ වහා දොර හැරියේය. එකෙණෙහිම පාපී මාරයා නික්මෙන බෝසතුන් දැක මේ ආර්‍ය්‍ය සිද්ධාර්ථ කුමරා මාගේ විෂය ඉක්මවනු කැමැත්තේ ය. දැන් මම මොහුට අන්තරාය කරමියි හිතවතෙකු මෙන් වහා පැමිණ උඩ අහස සිට මෙසේ කීය. “නිදුකාණෙනි, නොයනු මැනවි. මෙයින් සත් වන දින සක් රුවන පහළ වෙයි. දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සිව් මහදිවයින්හි අධිපති රාජ්‍යය කරන්නේය. ඔබගේ යාමෙන් කවර පලක් ද? නිදුකාණෙනි, නවතිනු මැනවැයි” කීය. එවිට බෝසත්හු තෝ කවරෙක්හිදැයි ඇසීය. මම වසවත්ති වෙමි. මාරය, තෝ කාම ධාතුව වසඟයෙහි පවත්වන්නෙහිය. මම චිත්තබල වසඟ කොට සම්මා සම්බෝධියට පැමිණ දසසහස්‍රී ලෝකධාතුව කම්පා කොට දහම්සක් පවත්වමින් මහජනයාට සත් සම්බෝධි අංග රත්නයන් බෙදා දෙමි. චක්‍රරත්නයෙන් මට වැඩක් නැතැයි මාරයා ප්‍රතික්‍ෂේප කොට නික්මුණ සේක.

මාරයා නොසතුටට පත්ව යදාක කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ විතර්කතනය කළ කල්හි දනිමියි එතැන් පටන් සිදුරු සොයන්නේ සෙවණැල්ලක් මෙන් ලුහු බැන්දේය. මහසතාණෝ ද අත පත් සක්විති රජය කෙළ පිඬක් මෙන් අනපේක්‍ෂිතව හැර දමා දෙවියන් කළ මහාපුදසත්කාරයෙන් නුවරින් නික්ම ඇසළ පුන් පොහෝ දින උතුරුසල නැකත පවතිද්දී තරු ගණ සමූහයෙන් නිරන්තරාකීර්ණ විමල ගුවන්තල මැද සඳ මඬල නැගෙද්දී නුවරින් නික්ම නැවත නගරය බලනු කැමති වූහ. සිතට අනතුරුවම ඒ මහාපුරුෂයාණන්ට හැරි බැලීමක් ඔබ වහන්සේ නොකළ යුතුයයි කියන්නාක් මෙන් මහපොළොව කුඹල් සකක් මෙන් කැරකී ගියේ ය. බෝසත්හු සිටි ලෙසම නාගරාභිමුඛව පඤ්ච ප්‍රසාද සමන්නාගත දෑසින් නුවර බලා මම සම්මා සම්බෝධියට නොපැමිණ නැවත මේ කිඹුල්වත් පුරයට නොපැමිණෙමි යි කියා ඒ බිම් පෙදෙසෙහි කන්ථක නිවත්තන චෛත්‍යස්ථානය දක්වා යා යුතු මගට අභිමුඛව අසූ මෙහෙයවා මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ද මහත් පූජා සත්කාරයෙන් ද, නික්ම ගියහ. එදින දෙවියෝ උල්කා සැට දහසක් ඉදිරියෙන් දැරූහ. පසු පසින් සැට දහසක් ද දකුණින් සැට දහසක් ද උතුරින් සැට දහසක් ද දැරූහ. සැට දහසක් වෙනත් දෙවියෝ සක්වළ මුවවිට සිට අප්‍රමාණ උල්කා දැරූහ.

වෙනත් දේව නාග සුපර්ණ යක්‍ෂ ගාන්ධර්ව කින්නරාදීහු සඳුන් සුණු විලවුන් මල් වස්ත්‍රාභරණ ඡත්‍ර ධජ පතාකාදියෙන් පූජා කරමින් සත්කාර කරමින් ගමන් කරති. සිටි තරම් දෙවියෝ මදාරා පරසතු මලින් සතර මහාදිවයින්හි මහවැසි සෙයින් ඉසිමින් අහස මලින් පිරවූහ. නොයෙක් දහස් ලක්‍ෂ ගණන් තූර්‍ය්‍ය භාණ්ඩ වාදනය කළහ. ගොඩ ගමන්ගත් මහමුහුද සෙයින් මහතුරු ගොස විය. මෙබඳු සිරි සැපතින් ගමන් කළ බෝසතාණෝ එක් රැයින්ම තුන් රජය පසු කර තිස් යොදුන් දික් මඟ ගෙවා ගංතෙරට පැමිණියහ. බෝසතාණෝ ගංතෙර සිට ඡන්නගෙන් “මේ ගඟ කුමක්දැයි විමසූහ. ස්වාමීනි, අනෝමා නම් ගඟයි. මෙය අනෝමා නම් මෙහි අපගේ පැවිද්ද ද අනෝම වන්නේය කියා විලුඹින් අසුට සන් කළේය. අශ්වයා උඩ පැන නිසැකයෙන් මහ සතුන්ට සතර ඕඝයෙන් පිරි සසර මහනදිය තරණය කිරීමේ නිමිති දක්වන්නාක් මෙන් අට ඉස්බක් පුළුල් අනෝමා නදියෙන් එතෙර සිටියේය. අසු පිටින් බට බෝසතාණෝ රිදී පටක් වන් වැලි තලයේ සිට “යහළු ඡන්නය, මාගේ අබරණ සහ කන්ථක ද ගෙන නැවත නගරයට යන්න. මම පැවිදි වෙමියි” කීහ. බෝසතුන්ට මහසෙනේ ඇති ඡන්න නොයනු කැමතිව “මම ද මහණ වෙමියි” කීය. බෝසත්හු ඔබට මහණ වීමට නොහැකිය. ඔබ යන්නැයි කීහ. දේවයිනි, ඔබ වහන්සේ සම්පත් හැර දමා පැවිදි වූ කල මා පැවිදි නොවන්නේ කෙසේ ද? “ඡන්න නුඹ ගිය කල වැඩිහිටි අධිපතීහු ඤාතීහු මා සිටින බව දැන ගනිති. ස්වාමීනි, මම ඔබ වහන්සේගේ සමීපම දාසයෙක්මි, එක්ව උපන්නෙමි. ඔබ වහන්සේ හැර ගිය කල යන යන තැන ඔබ වහන්සේට උපස්ථාන කරන්නේ කවරෙක් ද? එහෙයින් එක්වම මහණ වන්නෙමියි” කීය. දරුව ඡන්නය, මා සමඟ මහණ වන්නේ කුමකට ද? ස්වාමීනි, සෙනෙහස නිසාය. දරුව, එසේ මා කෙරෙහි සෙනෙහසක් තිබේ නම් නවතින්නැයි තෙවරක්ම ඡන්න වැළැක්වූහ. බෝසතුන්ගේ අණ නොසලකා නොසිටිය හැකි ඡන්න නිහඬව හුන්නේය.

එවිට බෝසතාණෝ සියලු ආභරණ මුදා ඡන්නට භාර දී පැවිදිවනු කැමතිව මාගේ කෙස් පැවිද්දට නොගැළපේයයි සිතීය. බෝසතුන්ගේ කෙස් සිඳීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. එබැවින් තමන් වහන්සේම කඩුවෙන් කෙස් සිඳීමට සිතනු සමඟම ඉදිරියෙහි කඩුව පහළවිය. උන්වහන්සේ දකුණතින් කඩුවගෙන කොණ්ඩය මුලින් ගෙන කැපූහ. එවිට උන්වහන්සේගේ කෙස් දකුණට කුණ්ඩලාකාරව සිටියේය. දිවි හිමියෙන් එයම ප්‍රමාණය විය. රැවුලද ඊට අනුරූපය. බෝසත්හු මෞලිය සමඟ අල්වා ඉඳින් මම බුදුවන්නෙම් නම් අහසෙහි රැඳේවා, නැත්නම් බිම වැටේවායි අහසට දැමූහ. එවිට ඒ සිළුමිණි වේඨනය යොදුනක් උඩ ගොස් අහස සිටියේය. සක් දෙව් රජ ඒ දැක යොදුනක් පමණ රුවන් කරඬුවක් හිසින් දරා පිළිගෙන තව්තිසාවෙහි තිස් යොදුන් චූළාමණි චේතිය කරවීය.

සුවඳ කැවූ උතුම් මෞලිය සිඳ අග්‍ර පුද්ගලයාණෝ අහසට දැමූහ. දහසක් නුවන් ඇති සක් දෙව්රජ උතුම් රන් කරඬුවකින් මුදුනින් පිළිගත්තේය.

නැවත බෝසත්හු මේ සළු මහාර්ඝය, මාගේ පැවිදි වෙසට නොගැළපෙතැයි සිතූහ. එවිට කසුප් බුදුන් සමයෙහි ප්‍රිය සහායව සිටි ඝටීකාර නම් මහ බඹහු පැවිදි වෙනු කැමති බෝසතුන්ට සිවුරු නොමැති බව දැන බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නොනැසී වූ මිතුරු සිතින් “මේ මිතුරාණෝ මහබිනික්මන් කොට පැවිදිවනු කැමතිව සිවුරු නොලබති. දැන් මම එතුමන්ට සිවුරු ආදි කොට ඇති පැවිදි අටපිරිකර ගෙන යන්නෙමි”යි ගෙන ගොස් බෝසතුන්ට දුන්නේය. බෝසත්හු මහබඹහු විසින් දුන් සිවුරු හැඳ උතුම් පැවිදි වෙස් ගෙන යුගඳුරු මුදුන්හි හිරුගෙන් නිකුත් රශ්මියවන් ප්‍රභාවෙන් දිලෙන රන් පිළිමයක් මෙන් ඡන්නමාණව අමතා “ඡන්නය, මාගේ වචනයෙන් මවුපියන්ට නිරෝගි බව කියවයි පිටත් කළහ. බෝසත් වියෝ දුක ඉවසිය නොහැකි ඡන්න හඬ හඬා දෙපා සිරසින් වැඳ තෙවරක් පැදකුණු කොට නුවන් පිරි කඳුළින් පිටත්ව ගියේය.

මෙය අසා සිටි කන්ථක “අහෝ නැවත මට ස්වාමියාගේ දැක්මක් නැතැයි නොපෙනී යත්ම වියෝ සෝදුක් ඉවසිය නොහැකිව ළය පැළී කලුරිය කොට තව්තිසාවෙහි කන්ථක නම් දෙව්පුත්ව උපන්නේය. ඉක්බිති ඡන්න මියගිය කන්ථක දැක දෙගුණ වූ සෝගින්නෙන් දැවුණු හදින් යහළු කන්ථකය, ඔබ තිරිසනෙක්වම ස්වාමි වියෝගයෙන් මළෙහිය. මම මිනිසෙක්ව ද නොමැරෙමි. මාගේ තද කමක තරයයි කියා හැඬීය. ඔහු අස්සැරසිලි ගෙන වනමලින් පුදා තනිවම හඬ හඬා වැලපි වැලපී ගියේය. බෝසත්හු ඡන්න පිටත් කොට තනිවම රැඳී පැවිදි සුවයෙන් පිරුණු සිතින් ඒකචර ජාතිසිංහයෙකු මෙන් එ පියසෙහි අනුපිය නම් අඹ වනයට වැද සතියක් පැවිදි සුවයෙන් කල් ගෙවා පිටත්ව දවසකින්ම තිස් යොදුන් මග ගෙවා රජගහ නුවරට පැමිණියහ. දෙවන දවස් පෙරවරු රජගහනුවර ගෙපිළිවෙළින් පිණ්ඩපාතයෙහි හැසිරුණහ. නුවර වැසි සියලු මිනිස්සු බෝසතුන්ගේ රූසිරු දැකීමෙන් “කිමෙක් ද මේ සඳ කිරණ හකුළුවාගෙන මිනිස්සුන්ට දැක්වීම සඳහා ලෝක නම් දේශයෙන් මෙහි පැමිණියෙක් ද? බමුණන්ගේ වදනින් පමා වූවන් දැක උත්සාහ දනවනු පිණිස පැමිණියෙක් ද? නැතිනම් වෙස් වලාගත් කාමදේව අප රජුගේත් නුවරුන්ගේත් ක්‍රීඩා විභූති බැලීමට පැමිණියේදෝ”යි සිත සිතා කුහුලින් හාත්පසින් බෝසතුන් පිරිවරා ගත්හ.

රාජ පුරුෂයෝ එපුවත රජුට දැන්වූහ. “දේවයිනි, නාග සුපර්ණ. යක්‍ෂ බ්‍රහ්ම සූර්‍ය්‍ය චන්‍ද්‍ර ආදීන්ගෙන් කිසිවෙක් නුවර පිඬු පිණිස හැසිරෙති” යි කියායි. රජ එයසා මතු මහලෙහි සිටම මහා පුරුෂයාණන් දැක ආශ්චර්‍ය්‍ය අද්භූතව “දරුවනි, යව්, විමසව්, නොමිනිසෙක් නම් නුවරින් පිටව අතුරුදහන් වේ. දෙවියෙක් නම් අහසින් යයි. නාගයෙක් නම් පොළොව කිමිදෙයි. මිනිසෙක් නම් ලත් අහර ගෙන වළදයි” කියා අණ කළේය. රාජපුරුෂයෝ රාජවචනයෙන් මහාපුරුෂයා ලුහු බැන්දහ. මහාපුරුෂයාණෝ ද මුසුබත් ලැබ මෙතෙක් පමණයයි දැන පිවිසි දොරින්ම නුවරින් නික්ම පාණ්ඩව පර්වත සෙවණෙහි නැගෙනහිරට මුහුණ ලා හිඳ අහර වැළැඳීමට පටන් ගත්හ. එවිට උන්වහන්සේගේ අතුණු පෙරළී කටින් නික්මෙන ආකාරයක් මෙන් විය. එම ජීවිතයෙහි එවැනි අහරක් මසැසින් දැක නැති බැවින් ඒ පිළිකුල් අහරින් පිළිකුල්ව තමන් වහන්සේ තමන්ට මෙසේ අවවාද කරමින් “සිද්ධාර්ථය, ඔබ රස අහර පැන් ඇති කුලයක වසමින් සුවඳ හැල්බත් හා නානා අගරසින් වළඳන තැනක ඉපිද එකම පිණ්ඩපාතිකයකු දැක කවදා නම් මම මෙවන් පිණ්ඩපාතයක හැසිර වළඳන්නෙම් ද? කවදා නම් මට එබඳු කාලයක් ඇති වන්නේදැයි සිතා නික්මුණාහුය. මේ දැන් කුමක් කරන්නෙහිදැ”යි අවවාද කළහ.

මෙසේ තමහට ඔවදන් දී නිර්විකාරව අහර වැළඳූහ. රාජ පුරුෂයෝ එපවත් රජුට කීහ. රජ ඔවුන් බස් අසා වහා නුවරින් පිටත්ව බෝසතුන් වෙත ගොස් ඉරියව්වෙන්ම පැහැද බෝසතුන්ට සව්ඉසුරු භාර කළේය. එවිට බෝසතාණෝ “මහරජ, මට වස්තු කාමයෙන් හෝ ක්ලේශ කාමයෙන් වැඩක් නැත. මම පරමාහි සම්බෝධිය පතා නික්මියෙමි’යි ඔහුට කීය. රජ නන් අයුරින් ඉල්ලා සිටත් පොළඹවා ගත නොහැකිව ඔබ වහන්සේ එසේ බුදුවන සේක් නම් බුදුව පළමුවෙන් මාගේ රටට පැමිණිය මැනවයි ඉල්වීය. බෝසත්හු රජුට ප්‍රතිඥා දී පිළිවෙළින් චාරිකා කරමින් ආළාර කාලාම, උද්දකරාමපුත්ත වෙත ගියහ. සමාපත්ති උපදවා මේ මඟ බෝධිය සඳහා නොවෙතැයි ඒ සමාපත්ති භාවනාත් නොමෙනෙහි කොට දෙවියන් සහිත ලෝකයාට සිය ශක්තිය වීර්‍ය්‍යය, දක්වනු සඳහා මහාප්‍රධන් වීර්යය වඩනු පිණිස උරුවේලාවට ගොස් රමණීය බිම් පියසකට පැමිණ මහාප්‍රධන් වැඩූහ.

කොණ්ඩඤ්ඤ මාණවක තෙම මහාපුරුෂයාණන් පැවිදිවූ බව අසා සත් බමුණන්ගේ පුතුන් වෙත ගොස් “දරුවනි, සිදුහත් කුමරා පැවිදි විය. නිසැකයෙන් බුදු වෙයි. ඔබලාගේ පියවරු නිරෝගිව සිටියාහු නම් අදම ගොස් පැවිදි වන්නාහුය. ඔබලා කැමති නම් එව්. මම ඒ මහාපුරුෂයාණන් අනුව පැවිදි වන්නෙමි”යි කීය. ඒ සියල්ලෝ එකඟවීමට අසමත් වූහ. සතර දෙනෙක් පමණක් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ දෙටු කොට ගෙන පැවිදි වූහ. පස් දෙන පඤ්චවග්ගිය නම් වෙති. පස්වග පුත්තු නම් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි නම් වෙති. කොණ්ඩඤ්ඤ බමුණාහුගේ ප්‍රධානත්වයෙන් පැවිදි වූ ඒ සියලු දෙනා ගම් නියම්ගම් රාජධානිවල පිණ්ඩපාත කරමින් බෝසතුන් වෙත පැමිණියහ. සවසක් මහා ප්‍රධන් වඩන උන්වහන්සේ දැන් බුදු වෙති දැන් බුදු වෙතියි සිත සිතා හැමදීම් ආදි වතින් පිළිවෙතින් උවටැන් කරමින් සන්තිකාවචරයෝ වූහ. බෝසතාණෝ ද කෝටිප්‍රාප්ත දුෂ්කර ක්‍රියාව එකම තල ඇටය, සහල් ඇටය, මෑ, මුං ආදියෙන් කල් පසු කොට මුළුමනින් ආහාර ප්‍රතික්‍ෂේප කළහ. දෙවියන් විසින් ලෝම කූපයෙන් ඕජා බහාලීම ද ප්‍රතික්‍ෂේප කළහ. නිරාහාරව පරමකෘශබවට පත් සිරුරෙහි රන්වන් බව කලු පැහැවිය. දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ නොපෙනී ගියේය. සමහර දා අප්‍රාණක ධ්‍යානය වඩමින් මහ වේදනාවෙන් මැඩී සිහිසුන්ව සක්මන් කෙළවර වැටුණහ. එවේලෙහි සමහර දෙවියෝ ශ්‍රමණ ගෞතමයෝ කලුරිය කළහයි කීහ. සමහරු මේ තථාගතවරුන්ගේ පැවැත්ම යයි සිතූහ. මළහයි කීවාහු අවුත් සුදොවුන් රජුට ඔබ පුත් කලුරිය කළේයයි දැන්වූහ. මාගේ පුත් බුදුව කලුරිය කළේ ද? නොබුදුව කලුරිය කළේදැයි විමසීය. නොබුදුව ප්‍රධන් භූමියෙහිම වැටී මළේ යයි කීහ. මෙයසා රජ නො පිළිගනිමි. නො බුදුව කලුරිය කිරීමක් ම පුතුට නොවේ යයි කියා ප්‍රතික්‍ෂේප කළේය.

කුමක් හෙයින් රජ නො අදහයි ද? කාළදේවල තවුසාගේ වචනය ඇසීමෙන් හා දඹරුක් මුල පෙළහර දැකීමෙනි. සිහි ලත් බෝසතාණෝ නැගී සිටියහ. වෙනත් දෙවිවරු අවුත් රාජපුත්‍රයා නිරෝගි යයි දැන්වූහ. රජ මාගේ පුත් නොමැරෙයි කීය. සවසක් දුෂ්කරක්‍රියා කරන මහසතුන්ට අහස ගැට ගසන්නාක් මෙන් විය. එහෙයින් ඒ දුෂ්කරක්‍රියාව බුදු බවට මඟ නොවෙතැයි දැන බෝසත්හු ඕළාරික අහර ගනු කැමතිව ගම් නියම්ගම්හි පිණ්ඩපාතයෙහි හැසිර ඕළාරික අහර වැළඳූහ. දෙතිස් මහාපුරුෂලක්ෂණ ප්‍රකෘතිමත් විය. කය රන්වන්විය. එවිට පංචවර්ගීය භික්‍ෂූහු මෙතෙම සවසක් දුෂ්කරක්‍රියා කොටත් බුදුබව ලබන්ට අසමත් විය. ගම් නියම්ගම්හි හැසිර මේ ඕළාරික අහර ගැනීමෙන් කෙසේ හැකි වෙයි ද? මෙතෙම බාහුලික විය. ප්‍රධන් අතහැර දැමීය. හිසෙහි නානු කැමැත්තෙකුට පිනිබිඳු ගැනීමක් මෙනි. මොහු වෙතින් අපට විශේෂත්‍වයක් කෙසේ ලැබිය හැකි ද? මොහුගෙන් වැඩක් නැතැයි සිතා මහාපුරුෂයන් අතහැර තම පාසිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ඉසිපතනයට ගියහ.

එසමයෙහි උරුවේලාවෙහි සේනානිගමයෙහි සේන කුටුම්බික නිවසෙහි උපන් සුජාතා නම් දැරිය වියපත්ව එක් නුග රුකක් වෙත ප්‍රාර්ථනාවක් කළාය. මහසම්පත් ඇති සම ජාතික සැමියෙකු ලැබ පළමු ගැබෙහිම පුතකු ලදොත් අඩවසක් පාසා ඔබට ලක්‍ෂයක් වටනා උපහාර දක්වමියි කියායි. ඇගේ පැතුම සඵලවිය. ඕ තොමෝ මහසතුන්ගේ දුෂ්කර ක්‍රියාවට සවසක් පිරි කල වෙසක් පොහොයට කලින්ම දෙනුන් දහසක් මී වනයෙහි කවා ඔවුන්ගේ කිරි පන්සියයක් දෙනුන්ට පොවා ඔවුන්ගේ කිරි දෙසිය පනසකට දැයි මෙසේ දෙනුන් සොළස දෙනුන් අට දක්වා පොවා කිරි බරත් ඔජස් වී බවත් පතා ක්‍ෂීර පරිවර්තනය කළාය. වෙසක් පොහෝ දින බිලියම් කරමියි පාන්දරින්ම අවදිව අට දෙනුන් දෙවීමට වස්සන් මුදාලීය. වස්සෝ බුරුලු මුලට නොගියහ. බුරුලුවලට නැවුම් බඳුන් යොමු කිරීමත් සමඟම ස්වාභාවිකව කිරි දහරා වැගිරුණේය. ඒ අසිරිය දැක සුජාතාව සියතින්ම කිරිගෙන නැවුම් බඳුනෙහි වත්කොට සියතින්ම ගිනිකොට පැසවන්නට පටන් ගත්තා ය. කිරි පැසෙද්දී ලොකු ලොකු බුබුළු නැග දකුණටම කැරකෙන්නට විය. බින්දුවකුත් පිට නොයයි. ළිපෙන් පොඩි දුමක්වත් නොනැග්ගේය.

එවේලෙහි ලෝකපාලයෝ සතර දෙන අවුත් රැකවල් ලා සිටියහ. මහබඹු කුඩ දැරිය, ශක්‍රයා ගිනි පෙනෙලි හසුරුවමින් ගිනි දැමීය. දෙදහසක් කොදෙව් පිරිවර ඇති සිව්මහාදිවයින්හි දෙවියෝ දිව්‍යවූත් මානුෂිකවූත් ඕජා නන් කුසුම් රොන් ගෙන මීවද නිපදවා සියලු මිහිර ලබා දෙන මීමැස්සන් මෙන් එහි බහාලූහ. වෙනදා දෙවියෝ පිඬු පිඬුව බහාලති. එවිට සුජාතාව එදිනම ඒ බොහෝ අසිරි දැක පුණ්ණා නම් දැස්ස අමතා “අම්මේ පුණ්ණාවෙනි, අද අපගේ දෙවියෝ බෙහෙවින් පැහැදුණහ. මෙතෙක් කල් මා මෙවෙනි අසිරියක් දැක නැත. වහා ගොස් දෙවොල පිරිසිදු කරන්නැයි කීවාය. ඕ තොමෝ ආර්යාවෙනි, මැනවැයි වහ වහා නුගරුක් මුලට ගියාය. බෝසතාණෝ ද එම රාත්‍රි කාලයෙහි සිහින පසක් දුටහ. මේ ඒ විස්තරයයි. මහපොළොව සයනය විය. හිමවත් පව්ව කොට්ටය විය. නැගෙනහිර මුහුදෙහි වම් අත විය. දකුණු මුහුදෙහි දෙපා විය. මේ පළමු සිහිනයයි. එහි තිරිත්ත නම් තෘණ ජාතිය නාභියෙන් උඩ නැග අහස ගැටී සිටියේය. මේ දෙවෙනි මහසිහිනයයි. කළු හිස ඇති සුදු පණුවෝ දෙපසින් මතුවී දණමඬල තෙක් වසාගත්හ. මේ තුන්වන මහ සිහිනයයි. නන් පැහැති පක්‍ෂීහු සතර දෙනෙක් සතර දෙසින් අවුත් පාමුල වැටී මුළුමනින් සුදුවූහ. මේ සතරවන මහ සිහිනයයි. අසුචි පර්වතයක් මත අසුචියෙන් නොතැවරී සක්මන් කරයි. මේ පස්වන මහ සිහිනයයි.

යම් මේ මහපොළව සයනයක් වී ද එය අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කිරීම පිණිසයි. මෙය පළමු සිහින ඵලයයි. තිරිත්ත තණ නාභියෙන් උඩ නැගී අහස හැපී සිටීමක් ද එයින් අරිඅටඟිමඟ අවබෝධ කොට සම්බුදු බවට පත්ව දෙව් මිනිසුන් විෂයෙහි සුප්‍රකාසිත වීමයි. මේ දෙවන සිහින ඵලයයි. කළුහිස් ඇති සුදුපණුවන් දෙපයින් මතු වී දණමඬල තෙක් වසා ගත්තාහු බොහෝ ගිහිවත් දරන්නෝ දිවි හිමියෙන් තථාගත සරණගත වීමයි. මේ තුන්වන සිහින ඵලයයි. නන් පැහැති පක්‍ෂීහු සතර දෙන සතර දෙසින් පැමිණ පාමුල වැටී සුදු වූවාහු ද එය චතුර්වර්‍ණ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයෝ තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිව අනුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරතියි එයින් කියවේ. මේ හතර වන සිහින ඵලයයි. මහ අසුචි කඳු මත අසුචියෙන් නොතැවරී සක්මන් කළේය. එයින් තථාගතයන් වහන්සේ සිවුරු, අහර, සෙනසුන්, බෙහෙත් පිරිකරෙහි නොගිජුව නොගැලී නොමුසපත්ව ආදීනව දකිමින් නිස්සරණ ප්‍රඥාවෙන් පරිභෝග කරති යනු කියැවේ. මේ පස්වන සිහින ඵලයයි. මෙසේ බෝසත්හු ඒ රෑ යාමයෙහි මහාසිහින දැක සලකා බලන්නාහු නිසැකයෙන් අද මම බුදු වෙමි කියා නිශ්චය කොට ඒ රැය පහන් වීමෙන් සිරුරු පිළිදැගුම් කොට උදෑසනින්ම එහි වැඩ ඒ නුග රුක මුල වර පර්යංකයෙන් ස්වකීය ශරීර ප්‍රභායෙන් මුල පටන් සකල වෘක්‍ෂය බබළුවමින් හුන්හ. එවිට පුණ්ණා එහි ගොස් නැගෙනහිර දෙස බලා සිය ශරීරාලෝකයෙන් මුළු ගස රන්වන් කරමින් ගස මුල වැඩහුන් ඒ බෝසතුන් දුටුවාය. දැක අද අපගේ දේවතාවාණෝ ගසින් බැස සියතින්ම බලි පිළිගැනීමට හුන්හයි සිතා ආශ්චර්‍ය්‍ය අද්භූත විස්මය ඇතිව උදම්ව වේගයෙන් ආපසු ගොස් ඒ බව සුජාතාවට දැන්වූවාය. සුජාතාව ඇගේ කීම අසා පුණ්ණාවෙනි, අද පටන් ඔබ මගේ දෙටු දූ තනතුරෙහි සිටින්නී යයි කීවාය. දුවකට ගැළපෙන සියලු ආභරණ ඇයට දුන්නාය. රන් පාත්‍රයෙහි කිරිබත් බහා ලමියි ප්‍රීති උපදවා ලක්‍ෂයක් වටිනා රන් පාත්‍රය ගෙන්වා ගෙන කිරිබත් එහි බහා ලීමට පිසූ භාජනය නැමීය.

එවිට සියලු කිරිබත් නෙළුම් පතක දිය බිඳු මෙන් පෙරළී පාත්‍රයෙහි පිහිටියේය. පාත්‍රය සම්පූර්ණවම පැවැත්තේය. ඕ තොමෝ එය වෙනත් රන්පාත්‍රයකින් වසා සුදුසළුවකින් වෙළා සියලු අබරණින් සැරසී පාත්‍රය හිසෙහි තබාගෙන මහත් අනුභාවයෙන් නුග රුක් මුලට ගොස් දුරදීම ගස මුල පිඟුවන් පැහැයෙන් බබළන බෝසතුන් දැක බලවත් සතුටු සොම්නසින් වෘක්‍ෂ දේවතාවාණෝය යන හැඟීමෙන් දුටු තැන් පටන් නැමි නැමී ගොස් හිසින් පාත්‍රය බහා රන්කෙණ්ඩියෙන් ගඳමල් සුවඳ කැවූ ගඳදිය ගෙන බෝසතුන් වෙත ගොස් සිටියාය. ඒ වන විට ඝටීකාර මහබඹු බෝසතුන්ට දුන් මැටි පාත්‍රය අතුරුදන් වූයේ වෙයි. බෝසතුන් එම පාත්‍රය නැති හෙයින් දකුණුඅත දිගු කොට පැන් පිළිගත්හ. සුජාතාව පාත්‍රය සමඟින්ම කිරිබත් බෝසතුන්ට පිදීය. එවිට බෝසත්හු සුජාතාව දෙස බැලූහ. ඕ තොමෝ ඒ ආකාරය සලකා ආර්‍ය්‍යයෙනි, අපගේ පූජාව පිළිගෙන රුචි පරිදි වඩිනු මැනවයි කියා බෝසතුන් වැඳ ඇදිලි බැඳ යම් සේ මාගේ මනෝරථය සිදුවී ද එසේම සිදුවේවායි කියා පැරණි වළඳක මෙන් ලක්‍ෂයක් වටනා රන් පාත්‍රයෙහි අපේක්‍ෂා රහිතව නික්ම ගියාය.

බෝසත්හු ද හුනස්නෙන් නැගී රුක පැදකුණු කොට පායාස පිරි පාත්‍රය ගෙන නේරඤ්ජනා තීරයට ගොස් පෙර බෝසත්වරු බුදුවනදා නහන තැන සුපිහිටි තොටෙහි නහා ගොඩ නැගී පෙරදිග බලා හිඳ එක් ඇට ඇති තල්පල පමණ එකුන් පනස් පිඬක් කොට සියලු කිරිබත් වැළඳූහ. බුදුව සත්සතියක් බෝමැඩෙහි වැඩ හුන් උන්වහන්සේට එකුත්පනස් දිනක ආහාරය එයම විය. එතෙක් කල් වෙනත් ආහාරයක් නොවීය. නෑම් මුව දෙවීම් සිරුරු කිස සැපයීම් ආදී වේලාවෙහි ද දැහැන් සුව මඟ සුව ඵල සුවෙන් කල් ගෙවූහ. මහා පුරුෂයාණෝ කිරිබත් වළඳා ඉඳින් අද මම බුදුවන්නෙම් නම් මේ පාත්‍රය උඩුගං බලා යේවා. නැතිනම් යටිගං බලා යේවායි කියා දැමූහ. එවිට පාත්‍රය සැඩ පහර බිඳ ගෙන ගඟ මැදට ගොස් ජව සම්පන්න රනහංසයෙකු මෙන් මැදින්ම අසූරියනක් පමණ උඩුගං බලා ගොස් එක් සුළියක ගිලී කාළරාජ නාග භවනයට පැමිණ තුන් බුදුවරුන් පරිභෝග කළ පාත්‍රවල හැපී කිලි කිලි ශබ්ද නගමින් ඒ සියල්ලට යටින් පිහිටියේය. කාළ නාරජ ඒ ශබ්දය අසා ඊයේ එක් බුදු කෙනෙක් උපන්හ. අද එක්කෙනෙක් උපන්හයි සතුටු සොම්නසින් පද සිය ගණනින් ස්තුති කරමින් සිටියේය. ඔහුට වනාහි මහපොළොව සත් ගව්වක් උඩට වැඩුණු කල එක් රැයක් ගෙවී ගියාක් මෙන් වේ.

බෝසත්හු ගං තෙර සුපිපි සල් වෙනෙහි දාවල ගෙවා සැන්දෑ යාමයෙහි ගම් කෙළවර පෙර දිගට කඳු සෙවණැලි වැටුණු පසු මඳ පවන් හමන විට ගස් මුදුන්හි නටුවෙන් ගිලිහී වැටුණු කුසුමින් ආකීර්ණ වූ සල් උයනින් නික්මුණු ඇත් රජෙකු මෙන් බබළ බබළා දිවා විහාරයෙන් නික්ම ගමන් කළහ. එකල්හි නාග, යක්‍ෂ, සුපර්ණ ආදි දෙවියෝ දිව ගඳමලින් පිදූහ. දසසහස්‍රී ලෝක ධාතුව බලා ඡත්‍ර ධජ පතාකා සත්කාර වලින් නිරන්තර විය. දෙවියන් විසින් නානා වර්ණ ධජ පතාකයෙන් සහ නන් කුසුමින් අලංකාර කළ අට ඉස්බක් පමණ පුළුල් මගින් සිංහයෙකු මෙන් නිසැකව බෝරුකට අභිමුඛව ගමන් කළහ. එකල්හි සොත්‍ථිය නම් තණහාරක තෙම තණ රැගෙන ඉදිරි මගින් එන්නේ මහා පුරුෂයන්ගේ ආකාර දැක අට තණ මිටක් දුන්නේය. මහසත්හු තණ පිළිගෙන ඊසාන දිග මගින් ගොස් සුපිරිසිදු උස් කඳ වෙළෙප් අතු කොළ දළු පැළයෙන් පිරිපුන් අනේකවිධ පැහැයෙන් යුත් සළු අබරණින් භරිත රුචිර සොභා ඇති දෙවියන් විසින් සරසන ලද ඇසතු වෘක්‍ෂ රාජයා දුරදීම දුටහ.

මහාපුරුෂයාණෝ එතැනට පැමිණ මෙතැන අභිරූපවත්ය. රමණීයය. මෙතැන සර්වඥතාඥානාවබෝධයට සුදුසු යයි සිතා බෝ මැඬට ගොස් තෙවරක් පැදකුණු කොට දකුණු පැත්තෙහි උතුර බලා සිටගත්හ. එකෙණෙහි මහපොළොව දකුණු සක්වළ නැබෙහි චක්‍රයක් මෙන් පිහිටියේය. නෙමිය මඩිමින් දකුණින් නැමී ගියේය. උතුරින් නැමී ගියේය. මෙසේ බටහිරින් ද උතුරින් ද ඇක්මි කෙණෙහිම නැමී ගිය කල්හි බෝසතුන්ට මෙය පෙර බුදුවරුන්ගේ අචලස්ථානය නොවෙයි කියා සිතිණ. අනතුරුව නැගෙනහිරට ගොස් පශ්චිම දිසාභිමුඛව සිට ගත්හ. එතන වනාහි අන්‍යසත්‍වයන්ට අසාධාරණ පෙර බෝසතුන්ගේ අභිසම්බෝධි සමයෙහි මාරබල පරාජයෙහි වජ්‍රඥානොත්පාද සමයෙහි දරා සිටීමට සමත් අසමස්ථානය විය. එවිට බෝසත්හු මේ සියලු බුදුවරුන්ගේ මාර බල පරදන කෙලෙස් කඳු සුණු විසුණු කරන අචලස්ථානය යයි දැන ඒ තණ අගින් අල්වා එහි විසිර වූහ. එම තණ බෝසතුන්ගේ පින් මහිමයෙන් මානුෂික ශිල්ප විෂය ඉක්මවා නිපන් තුදුස් රියන් ප්‍රමාණව සමාකාරව වැගුරුණේය.

එවිට මහසතණෝ තුදුස් රියන් තණ ඇතිරියෙහි පනස් රියන් රිදී කඳක් වන් බෝකඳ පිටුපසින් කොට පෙරදික් බලා “මම මෙහි බෝධියට පැමිණම මිස සෙණහඬ ගසන්නාක් වැනි බිහිසුණු ඝෝෂාවෙන් හෝ ධාරානිපාත වර්ෂාවක් වැනි ආවුධ වර්ෂාවකින් හෝ ගිනිජාලා මතු වෙද්දී හෝ නොනැගිටිමි” කියා චතුරංග වීර්යය අධිෂ්ඨාන කොට විසිඅසංඛ්‍ය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි රැස් කරන ලද කුසල් ඵල අනුහසින් පහළ වූ සුන්දර වර වජ්‍රාසනයෙහි පර්යංකයෙන් වැඩහුන්හ. එදින උන්වහන්සේට සහම්පති මහබඹ තුන් යොදුන් පුළුල් බඹ නිපැයුමකට අනුරූප දිව සේසත ගෙන සිටියේය. සුයාම දෙව්රජ තුන්ගව් පමණ සඳකිරණ වත් දිව සෙමර ගෙන මඳ මඳ පවන් සලමින් සිටියේය. සක් දෙව්රජ විසි රියන් විජයතුරා නම් සක පිඹිමින් පූජා කළේය. පඤ්චසිඛ දෙව්පුත් තුන් ගව් පමණ බේළුව වීණාව වයමින් තුති මඟුල් ගී ගය ගයා උපහාර කළේය. මහකෙළ නාරජ අසූ ලක්‍ෂයක් නයින් පිරිවරා සිය ගණන් තුති ගී පවත්වමින් නමස්කාර කරමින් සිටියේය. දසදහසක් සක්වළ දෙවියෝ නන් තුරු කුසුම් ගඳ විලවුන් සෙමෙර අබරණින් පූජා කරමින් සාධුකාර පැවැත්වූහ. එකල්හි සත්වොත්තම මහාපුරුෂයාණෝ අචලාසනයෙහි පර්යංකයෙන් හිඳ ආත්මභාවය දෙතිස් ආකාර කොට බෙදා අටතිස් කමටහන් බලන සේක් සියලු බුදුවරුන් විසින් නිසේවිත ආනාපානසති කමටහන දුටු සේක. දැකීමත් සමගම ආස්වාස ප්‍රශ්වාසයන්ගේ ගණන, සන්දස්සන, සම්මසන උපලක්ඛණ, විපස්සන, සමෝදාන වශයෙන් නාසිකා වාතයන්ගේ පිවිසීම, නික්මීම ද ආදි මධ්‍ය අවසාන නිමිති ද සලකා අනිත්‍ය වශයෙන් මෙනෙහි කොට සතරවන ධ්‍යානය උපදවා එය පාදක කොට සංස්කාර මෙනෙහි කිරීමෙන් ක්ලේශ විශ්කම්භනය කොට රූප, සත්ව, භව වශයෙන් බලමින් ඉරියව් පැවැත්වූහ.

එවිට පාපී වසවත් මර දසදහසක් සක්වළ දේව සමූහයා අතර කලබල දැක මේ සිදුහත් කුමරා බෝමුල හිඳ මාගේ විෂය ඉක්මවීමට සූදානම් වෙයි. මම දැන් ඔහුට අනතුරු කරමියි සිතා මරගොස නගා අපමණ මරබලසෙන් ගෙන නික්මුණේය. ඒ මරසෙනඟ අකාරුණික හදවතින් ලෝභ, දෝෂ, මෝහ අදහසින් ක්‍ෂාන්ති මාර්‍ගයට ප්‍රතිවිරුද්ධව උද්ධච්ච වශයෙන් උපන් ඛීල ඇතිව අපමණ අවිදු අඳුරෙන් ආවරණයව අවගුණයෙන් යුතුව නොයෙදිය යුත්තෙහි යෙදෙමින් කුසල පක්‍ෂ විනාශයෙහි නිතර යෙදෙමින් මරහුගේ වචනය ඇසූ පමණින් ලාභයක් ලැබුණාක් මෙන් තුටු පහටු වෙමින් දහසක් හඬින් අනුන් නැසීමෙහි අභියෝග කරමින් චතුර්යෝග මුක්තව සැතින් අනුන් නැසීමෙහි අභියෝග කරමින් සතිස් යොදුන් වන සේ ඉදිරියෙන් ද දෙපසින් ද පසුපසින් ද දොළොස් යොදුන් පුළුලින් ද චක්‍රවාට පර්යන්තය තෙක් උඩින් නව යොදුනක් නිරන්තරව සිටියාහ.

ඒ සෙනගෙහි උන්නාදය අතිශයින් දරුණුය. සෙණ මෙන් මුහුදු ඝෝෂාව මෙන් හාත්පසින් ලක්‍ෂයක් යොදුන් පැතිර සිටී. පාපී මාරයා එකසිය පනස් යොදුන් ගිරිමේඛලා නම් ඇතු නැගී දහසක් බාහු මවාගෙන එක් බාහුවක් එය දැක්වීම පිණිස යොදා සෙසු බාහුයෙන් හී, සැත්, තොමර, දුනු, කලප්, කඩු, මුගුරු ආදි නානාවුධ ගෙන සක්වළවල පැතිර වීය. මාරයා වැනි කරමුඛ නම් වූවහු කොඩිය ගෙන ඉදිරියෙන් පිටත් කළේය. එම කුන්තයෙහි ධ්වජ පත්‍රය චාතුර්මහාරාජික, දෙව් විමන් ද ආකූල කළේය. සෙසු මර සෙනගෙහි දෙදෙනෙක් එක් ආයුධය දරන්නෝ නොවූහ. සියල්ලෝම නානා ප්‍රකාර ආයුධ ඇත්තෝය. සමහරු ඇත්, මී, සර්ප, වෘෂභ, මුගටි, බළල්, හූරු, අශ්ව, සෙමර, සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, ගිජුලිහිණි සමාන මුහුණු ඇතිව මිනිස් සිරුරු ඇතිව ගර්ජනා කළහ. සමහරු මුලිනුදුරා වැටුණු ගස් බෙනවලින් නිකුත් සර්පයන් එල්වාගෙන නැගී සිටියහ. සමහරු පතාකාකාරවූ විලම්බීත දිව පිටතට දමාගෙන බිඳුණු හනු ඇතිව පිඟුවන් ඇසින් ගිනිගත් කෙසින් සර්පයන් එල්වා ගත් කනින් ඇවිලෙන ගිරිකුළු අතින් දරමින් තුටු පහටුව ඝෝර නාද කරමින් නික්මුණහ. ඔවුන් පිරිවරාගත් මාරයා සයුර කළඹන්නාක් මෙන් සකල සක්වළ ගැබ කෝලාහල උපදවමින් ගනිව්, බඳීව්, ගසව්, පහර දෙව් ආදි කටුක පරුෂ බිහිසුණු ලක්‍ෂගණන් වචනයෙන් තර්ජනය කරමින් බෝධි සමීපයට පැමිණියේය.

එවිට ශක්‍රාදි සියලු දෙවියෝ පාපී මාරයාගේ වේගය නො ඉවසිය හැකිව මෙන් කුනාටුවකින් ගසාගෙන යන වියලි පරඬලා මෙන් හාත්පසින් පලාගොස් සක්වළ මුවවිටෙහි සිටියෝය. එකල මහා පුරුෂයාණෝ ශූන්‍ය විමානයක මහබඹු මෙන් මහසල් මුලක මතැකකු මෙන් ගිරිගුහාවක තරුණ කේසර සිංහයෙකු මෙන් නොබියව හුන්නාහු. හාත්පසින් දෙවියන් පැන යාමෙන් හිස් වූ බව දැක උතුරු පසින් මරසෙනඟ පැතිරෙනු දැක “මේ මාරයා තනි මා සඳහා මහත් වෑයමෙන් පරාක්‍රම දක්වයි. මෙතැන මට මව හෝ පියා හෝ අනෙක් නෑයෙක් හෝ නැත. මට දසපැරුම් පිරිවර ඇත්තේය”යි සිත සිතා දස පාරමිතා ආවර්ජනා කරමින් වැඩ හුන්හ. එවිට මාරයා වාත වේගයෙන් සිද්ධාර්ථයන් පලවා හරින්නෙමි යි සිතා මහාවාතයක් හටගැන්වීය. ගම් නියම්ගම් රාජධානි, තරු වනගහණ පර්‍වත කූටයන් විසුරුවා විධ්වංසනයකිරීමට තරම් සමත් නමුත් මහාපුරුෂයාණන්ගේ පින් තෙදින් නැති කිරීමට තබා සිවුරු කොණක් සෙලවීමට බෝරුක්හි දළුවක් සෙලවීමට වත් නොහැකිවිය.

ඉන් කම්පිත වූ මාරයා ජලයෙන් පා කොට ඔහු මරමියි දහරා වේගයෙන් පොළෝ බිඳින්නාක් මෙන් මහවැස්සක් වැස්සවීය. ගස්වැල් වනගහණ ඉගිලී යද්දීත් මහාසත්ත්වයන්ගේ කයට හෝ සිවුරට වැසි බිඳක් තරම් වත් නොපැමිණියේය. එවිට ගල් වරුෂාවක් වැස්සවීය. පාෂාණ, පර්වත කූට නෙලුඹු දැලි බවට පත්ව අහසින් අවුත් බෝධි සමීපයෙහි මාලාගුල මෙන් වී බිම වැටුණේය. නැවත පොරෝ, මුගුරු, ඊතල, සැත්, තොමර, කූටකලාප, භෙණ්ඩිවාල, මොහොල්, උදළු, කඩු, දුනු ආදි අයුධ වැස්සක් වැස්සවීය. ඒ සියල්ල ගිනිදැල් රහිතව ගොරව ගොරවා අහසින් අවුත් සුවඳ රුසිරු දියගොඩ මල්ව බිම වැටී ගියේය. ඉක්බිති අඟුරු වැස්සක් වැස්සවීය. ඒවා අහසින් අවුත් දෑසමන් බඳුවද අශෝක මල් බවට පත්ව බෝධි සමීපයෙහි බිම අලංකාර කළේය. ඉක්බිති හළු වැස්සක් වැස්සවීය. අති උණුසුම් සුදු සියුම් හළු පැතිරෙමින් අවුත් බෝසතුන්ගේ පාමුල සඳුන් සුණු බවට පත්ව වැටී ගියේය. ඉක්බිති වැලි වැස්සක් වැස්සවීය. දුම් සහිත හිම මෙන් පොළෝතලය අඳුරු කරමින් අවුත් බෝරුක හාත් පස සින්දූර කුසුම් මුතු මිණි මෙන් වැටී ගියේය. එවිට මඬ වැස්සක් වැස්සවීය. ගිනි දැල් දැල්වෙමින් දුමින් ආකූලව පැමිණි එය කොකුම් සඳුන් ගෝරෝචන මනෝසීල සිරියෙල් දිව්‍ය විලේපනාකාරයෙන් බෝධි සමීප ධරණී තලය සරසමින් වැටී ගියේය.

ඉක්බිති සතරගින් යුත්, ඝන අඳුරක් මැවීය. චතුරංගය කුමක් ද? අව තෙලෙස්වක, කළුවර රාත්‍රිය, ඝන වනය, ඝන වැහිවලා යයි මේ සතරඟින්යුත් ඝනාන්‍ධකාරයයි. චතුරංග සමන්නාගත වුව ද සුර්යෝදයෙහි අන්‍ධකාරය මෙන් බෝසතුන්ගේ පින් බෙලෙන් පහව ගියේය. මෙසේ වාත, වර්ෂා, පාෂාණ, අඟුරු, හළු, වැලි, මඩ, අන්‍ධකාර, ආයුධ යන නව විධ වර්ෂායෙන් මහාසත්‍වයන් වහන්සේ කම්පා කළ නොහැකිව මාරයා සිදුහත් කුමරු ගනිව්, ඝාතනය කරව්, අත් නොහරිව් කියා සිය සෙනඟට අණ කළේය. ඔවුහු ඒ ශබ්දයෙන් සිය බලයෙන් මොහොතින් විරූප වේස ආයුධ ගෙන මහාපුරුෂයන් බියගැන්වූහ. මාරයා ද නොතැතිගත් කේශර සිංහයෙකු මෙන් එතැනම සිටි බෝසතුන් දැක අහෝ ඇත්තෙන්ම මොහු අසම්භීතයයි කිපී දැන් මම කිසිවෙකු විසිනුත් නොදිනිය හැකි චක්‍රායුධය දමා ගසමියි එය කරකවා ගැසීය. ඒ චක්‍රායුධය මෙතෙක් මහානුභාවයයි දත යුතුය. චක්‍රායුධය, වජ්‍රසාරමය යි, අතිශයින් තියුණුය. තේජසින් අධිකය, මුළු ලොව දවයි. මාරයා කිපී දමා ගැසූ කෙණෙහිම මහා මේරුව ද කිලිල් කඩක් මෙන් කැපී යයි. එවැනි ආනුභාව සම්පන්නය. මාරයා විසින් දමා ගසන චක්‍රායුධය අහසට නැගෙත්ම දැල්වෙමින් දුම් දමමින් උල්කා ලක්‍ෂ ගණනින් එක් රැස් වූ කලෙක මෙන් ගොර බිරම් ඝෝෂා ඇතිව මහාපුරුෂයාණන්ගේ උපරිභාගයට පැමිණි කෙණෙහිම දිග හැරී මල් වියනක් මෙන් පිහිටියේය. මාරයා චක්‍රායුධය දමා ගැසූ කෙණෙහිම මාර පිරිස දැන් මොහු පලඟින් නැඟී පලායතැයි හඟිමින් මහ මහ ගල්කුළු නානාභරණාදිය දමා ගැසූහ. ඒවා ද උන්වහන්සේගේ පින් තෙදින් කැරකී වැටී මල් ගුළි බවට පත්විය.

මෙසේ පිරිවර සහිත මාරයා මහපුරුෂයාණන්ට බිය සන්ත්‍රාස උපදවනු නොහැකිව තෙමේම ගිරිමේඛලා ඇතු පිට නැගී බෝසතුන් වෙත පැමිණ “භවත් සිද්ධාර්ථය, මම කාමධාතු වසවත්ති නම් වෙමි. මට සමවන්නේ කෙසේ ද? මාගේ පර්යංකයෙන් නැගී සිටුව”යි කීය. එවිට මහසත්හු පාපී මාරයාගේ කථාව පියෙකුගේ මෙන් සිතා “මේ මාරයා මෙතෙක් බිහිසුණු රූප මට අනතුරු සඳහාම කළේය. පැරුම් පිරූ බෝසත්වරු බුදුවන දවස්හි ලබන පර්යංකය මට අයත් වන්නේ කෙසේ ද? පෙර බෝසත්වරු මරසෙන් සමඟ යුද්ධයෙහි ගත් ලෙසින් සන්නාහ වෙස් ගන්වමි. මේ දසපාරමී ධර්ම මට බොහෝ කල් යුද්ධ යෝධයන් හා සමානය. ඔවුන් අතට යුද්ධ සන්නාහ ආයුධ දී සන්නාහයෙන් සදා මහාවේරම්භවාතය වියැලි කැලෑ කොළ පරඬැල් වන් මාරයාත් මාරසේනාවත් පරදවමියි සිතා සුපිරිසිදු සිල් දියෙන් නා සමාධි වීර්‍ය්‍ය විලේපන ගල්වා නානාප්‍රකාර ජන රත්නයෙන් බබළන උතුම් ප්‍රඥා මෞලිය පැළඳ හිරි ඔතප් සළු සඟළ හැඳ සමථ අන්තරවාසය කොට, විපස්සනා නැමති මහා චර්මය බැඳ ස්මෘති ඵලකය ගෙන බෝධි ඥාන නම් තියුණු කඩුව ගෙන සියලු බුද්ධරාජ කුලයනට අභිමංගල වූ පවර වර ධර්ම වාරණාරූඪව ඒ ඇතු ද සතර සතිපට්ඨාන චතුස්සත්‍යය නම් සුපිහිටි සිව්පා ඇත්තේය. සම්‍යග් ප්‍රධන් නැමති සොඬ වලග කර්‍ණ වික්ෂෙප විලාශයෙන් යුක්තය. සෘද්ධිපාද නැමති හිදීම්, සිටීම්, සයන සෝභන ඇත්තේය. ශ්‍රද්ධාඉන්ද්‍රිය ආදි ඉන්‍ද්‍රිය ප්‍රසාදයෙන් යුක්තය. පඤ්ච බල නැමැති මඟුල් ලකුණෙන් බබළන කුම්භස්තල ඇත්තේය. සත් සම්බෝධ්‍යංග නම් සුන්දර දළ ඇත්තේය. ආර්‍ය්‍ය අෂ්ටාංගික වර ලකුණින් සැදූ දේහ ඇත්තේය. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම නැමැති සුරභි සුගන්‍ධ ඇත්තේය. ඒ ඇතු පිට නැගී මාර බල සහිතව ගිරිමේඛලා ඇතු පිට නැගී සිටි මරු පරදවා මහා විජය ග්‍රහණය කළහ.

උන්වහන්සේ ඒ ඇතුපිට නැගී මහ සක්විති රජකු මෙන් පාරමී යෝධයන් අමතා පින්වතුනි, එව්. මෙහි දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යෝධයිනි, තෙපි යුද පිණිස ආයුධ ගනිව් යි කීහ. එවිට දසපාරමී මහායෝධයෝ බෝසතුන්ගේ වචනයට පිළිතුරු දෙන්නාක් මෙන් ස්වාමිනි, අද අපගේ වීරත්‍වය දක්වන්නෙමු. ඔබට වීරවිජය ලබා දෙන්නෙමු. ඔබට යහපතක්ම වේවායි කියන්නවුන් මෙන් ශක්තියත් බලයත් පෙන්වමින් බෝසතුන් පිරිවැරූහ. ඔවුන් පිරිවැරූ ධර්මාධිපති බෝසතාණෝ සේනා පිරිවැරු සක්විත්තෙකු මෙන් දෙව්ගණ පිරිවැරූ සක්දෙවිඳු මෙන් තමන් වහන්සේගේ දහම් තෙදින් පින් තෙදින් අසම ඤාණාලෝකයෙන් තමන් හා සම කිසිවෙකුත් නොදැක කේශර සිංහයෙකු මෙන් නිර්භීතව උත්සාහවත් වෘෂභ රාජයෙකු මෙන් ඡද්දන්ත මහඇතෙකු මෙන් ඒකාන්ත ශූරව රන්පිළිමයක් මෙන් අචලාසනයෙහි වර පර්යංකයෙහි හිඳිමින්ම “මාරය, තට දන් දුන් බවට කවර සාක්‍ෂියක් ඇද්දැ”යි වදාළහ.

මාරයා ද මාගේ මේ මෙතෙක් බලමුළු එයට සාක්‍ෂියයි, මාර බලාභිමුඛව අත දික් කළේය. එකෙණෙහි මරපිරිස මම සාක්ෂ්‍යය වෙමි. මම සාක්ෂ්‍යය වෙමියි පැවැත්වූ ශබ්දය පොළොව ඉදිරී යන්නාක් මෙන් විය. එවිට මාරයා බෝසතුන්ට “සිද්ධාර්ථය, ඔබ දන් දුන් බවට කුමක් සාක්‍ෂ්‍යදැයි ඇසීය. බෝසතාණෝ තා දන් දුන් බවට සිත් ඇත්තෝම සාක්ෂ්‍ය වෙති. මට මෙහි කිසි සචේතනයෙක් නැත. අචේතන මහපොළොවම සාක්ෂ්‍යය වෙයි. සෙසු අත්බැව්හි දුන් දන් තිබේවා. වෙසතුරු අත්බැව්හි සිට සත්තසතක මහදන් දුන් බවට මහපොළොව සාක්ෂ්‍ය වෙති යි සිවුරු ගැබින් දකුණත මෑත් කොට පොළොවට අභිමුඛ කරමින් දිග හරිත්ම දෙලක්‍ෂ සතලිස් දහසක් යොදුන් බහල මහපොළොව සචේතනව කියන්නාක් මෙන් වෙස්සන්තර ආත්ම භාවයෙහි දුන් දනට සාක්ෂ්‍ය දක්වන්නාක් මෙන් විරාව සියයෙන්, විරාව දහසින්, විරාව ලක්‍ෂයෙන් මාර සේනාවට කියන්නාක් මෙන් නාද කළේය. ඒ ශබ්ද වේගයෙන් පර්‍වත සහිත නගර කම්පාවිය. එවිට ගිරිමේඛලා ඇත් රජ සිටිය නොහැකිව උද්වේගයට පත්ව සතර දණින් බිම වැටී මරපිරිස් මඩිමින් ගුගුරමින් පලා ගියේය. බියපත් සිතින් මාරයා ද වැටුණු මාන ධජ ඇතිව දහසක් අත් හිස තබාගෙන

පුරිසොත්තමය, ඔබට නමස්කාර වේවා

පුරිසාජඤ්ඤය, ඔබට නමස්කාර වේවා

දෙවියත් සහිත ලෝකයෙහි ඔබට

සමවූයෙක් නැත්තේමය.

කියා ප්‍රණාම කොට නොපෙනී ගියේය. එවිට සක්වළ මුවවිට සිටි දෙව් සමූහයා මහ කුනාටුවකින් කැළඹුණ සාගර ජල ගොස වන් මාර පරාජය හඬ අසා කිමෙක් ද “සිදධාර්ත්ථයන් වහන්සේගේ තතු කෙසේදැ’යි බෙල්ල ඔසවා බලන්නාහු පලා යන මර පිරිස් දැක “නිදුකාණෙනි, මරබල පිරිහුණේය. නිදුකාණෙනි, මහා පුරිෂයාණෝ දිනූහ. මර බළ සෙන් පලා ගියහ. නිදුකාණෙනි, මහාපුරුෂයාණෝ සිටිති. නිදුකාණෙනි, මාරයා පැරදුණේය. මහා පුරුෂයාණන්ට ජය අත්විය. මහා පුරුෂයාණන්ට ජය පූජා කරමු යි” පිනා ගොස් හඬ නගා ශබ්ද කරති. දෙවිවරුනි, යමු. බය පත් ලෝකායට පූජනීය වූ ඒකචාරී උන්වහන්සේට, නරෝත්තමයන් වහන්සේට, නරසිංහයාණන්ට නමස්කාර කරමු. ඉක්බිති ඒ නාග සුපර්ණ යක්‍ෂ ගාන්ධර්ව කින්නර අසුර දිව්‍ය බ්‍රහ්මයෝ මල් ගඳ විලවුන් සුණු ඡත්‍ර ධජ පතාකාදි පුජා සත්කාර ගෙන බෝමුල වැඩහුන් මහා පුරුෂයාණන් වෙත පැමිණ පූජා කොට තුති ගී ගය ගයා සිටියහ.

එකල්හි මහාපුරුෂයාණෝ ඉර අවරට යද්දීම තෙයාකාරයකින් මාරපරාජය කළහ. කවර තෙයාකාරයෙන් ද? හුදෙකලාවම දොළොස් යොදුන්හි පැතිරි විවිධ සපිරිවර මාරබල පරාජය කළහ. නවවිධ යුද්ධය ද පරාජය කළ සේක. මහාදානයෙන් ද පරාජය කළ සේක. මේ තුන් ආකාරයෙන් ප්‍රබල සමාර මාරබල වනපවනින් වියලි පරඩලාපත් සෙයින් විධ්වංසනය කොට රන් පුටුවක තුබූ රිදී කඳක් වන් විජයදෘමස්කන්‍ධය නිසා සුපිරිසිදු රන් පිළිමයක් මෙන් වැඩහිඳ මත්තෙහි මිණිසේසත් දරන්නාක් මෙන් බෝධිශාඛා පවතිද්දී වැඩෙන රන්වන් බෝ අංකුර රතුපුල්පෙතිවලින් මෙන් පුදද්දී පෙරයම පෙරවිසීම් සිහිකරන සේක. මෙසේ බෝසත්හු ආනාපාන සතියෙන් අනුප්‍රත්‍යාධිගත චතුර්ථ ධ්‍යාන පාදක ද වූහ. අභිඥාපාදකම විය.

නිරෝධ පාදක ද සියලු කෘත්‍ය සාධනය ද ලොවුතුරා ගුණ දායක ද වෙති. සියලු බෝසතුන්ට සුපුරුදු මහාවිදර්ශනාඥානය වඩා බෝමැඬ පටන් ප්‍රතිසන්‍ධිය දක්වා සිහි කළහ. මෙපමණ උන්වහන්සේගේ අතීතංසඤාණය විය. එම අතීතංසඤාණයෙන් කොයින් අවුත් මෙහි පිළිසිඳ ගතිම්දැයි සිතන්නාහු තුසී පුරයෙන් චුතිය දුටුහ. එයින් දේවාරාධනය, එහි ආයු ඇති තෙක් උපත, ඉක්බිති වෙස්සන්තරාත්ම භාවයෙන් චුතිය, අනතුරුව, නගර ප්‍රවේශය, ක්‍ෂත්‍රිය සමාගමය, මහාරාජ පර්වය, ශක්‍ර පර්වය, මද්‍රිපර්වය, කුමාර පර්වය මෙනෙහි කරන්නාහු සත්තසතක මහාදානය තෙක් සිහි කළහ. වෙස්සන්තර ප්‍රතිසන්ධිය බලන්නාහු නම් ගොත් වර්ණ ආහාර සැප දුක් අවසානයෙහි චුති ප්‍රතිසන්ධි ආදි නොඑක් සුගති වශයෙන් ස්කන්ධ පටිපාටිය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාහු දිවකුරු බුදුසිරිපා මුල තමන්ගේ අභිනීහාරය සිහි කළහ. ජාති එකක් ජාතිදෙකක් ජාති තුනක් ජාති හතරක් ජාති පහක් ජාති දහයක් විස්සක් තිහක් හතලිහක් පනහක් සීයක් දහසක් නොඑක් සංවර්ත කල්ප විවර්ත කල්ප සංවර්තවිවර්ත කල්පවල අසවල් තැන වීමි. මෙවැනි නම් ගොත් වර්ණ අහර ඇතිව මෙවැනි සැපදුක් ඇතිව සිටියෙමි. මෙසේ ආයු කෙළවර විය. එයින් චුතව ඒ මම අසවල් තැන උපන්මි. එතැන ද මෙනමින් සැපදුක් වින්දෙමි. මෙසේ ආයු කෙළවර එතැනින් චුතව මෙහි උපන්මි කියා ආකාර සහිතව උද්දෙස සහිතව නානාවිධ පෙර විසීම් සිහිකළහ.

දෙවන යාමයෙහි දිවැස පහළවිය. ඒ දිවැස අතිපරිසුද්ධය. මිනිස් ශක්තිය ඉක්ම සිටියේය. ප්‍රාකාර පර්වත වනාන්තරවලින් ආවරණය නොකළ හැක්කේය. උන්වහන්සේ ඒ දිවැසින් මැරෙන උපදින පහත් උසස් පැහැපත් නොපැහැපත් සුගති දුගති ඇති කර්මානුරූප වූ සත්ත්වයන් දකිති. දිවැස පැහැදූ බෝසතුන්ට මෙසේ සිතිණ. මේ චුති උපත්වල විපාක සහිත කර්ම පහක්ම ලැබෙයි. කරන්නෝ නම් නොලැබෙති. කර්ම පහ කුමක් ද? අවිජ්ජා, සඞ්ඛාර, තණ්හා, උපාදාන, භවයි. විපාක කුමක් ද? විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වෙදනායි. චුති උපත්වල විපාක සහිත මේ කර්ම පහ ලැබෙයි. කාරක කියා ආත්මයක් චුති උපත්වල නොලැබෙයි. කුමක් ඇති විට ජරාමරණය වෙයි ද? මෙය ඇති කල්හි ජරාමරණය පිළියෙළ වෙයි. උපන් ස්කන්ධ දිරයි. දිරූ දේ බිඳෙයි. එහෙයින් ජාතිය ඇති විට ජරාමරණ වෙයි කියා දුටහ.

ප්‍රතිලෝම වශයෙන් ද පටිච්ච සමුප්පාදය මෙනෙහි කළහ. මෙසේත් මෙනෙහි කළහ. ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ දැයි මෙනෙහි කරන්නාහු කාම-රූප-අරූප භවවල උපන් කර්මභවය ඇති විට ජාතිය වෙයි කියා දුටහ. භවය වනාහි කාම-දිට්ඨි-සීලබ්බත-අත්තවාද උපාදාන ඇති කල්හි වෙයි. උපාදානය නම් රූප-ශබ්ද-ගන්ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මයන් පිළිබඳ තෘෂ්ණාව ඇති විට වෙයි. තණ්හාව වනාහි ෂඩ්ද්වාරික අරමුණු වින්‍දන රසයන්වූ සැප-දුක්-මධ්‍යස්ථතාකාර තෙවැදැරූම් වේදනා හටගැනීම වෙයි. වේදනාව වනාහි ෂඩ්ද්වාරාරම්මණ ස්පර්ශයෙන් වෙයි. ස්පර්ශය වනාහි ඇස-කන-නාසය-දිව-ශරීරය-මනස යන සවැදෑරුම් අරමුණු ග්‍රහණය කරන ආයතන ඇති කල්හි වෙයි. ෂඩායතන වනාහි සතර මහා භූත, පස් විසි උපාදාන ද වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන සහජාත ස්කන්‍ධ ද නමන ලක්‍ෂණත් නාමරූප ලක්‍ෂණත් ඇති කල්හි වෙයි. නාම රූප වනාහි ප්‍රතිසන්ධි ග්‍රාහක විපාකවිඤ්ඤාණය ඇති කල්හි පටිසන්ධිවිඤ්ඤාණය බැස ගනී. නාම රූප ඇති කල්හි වෙයි කියා දුටහ.

ඉක්බිති උන්වහන්සේට මෙසේ සිත්විය. මේ විඤ්ඤාණය නාමරූපයට ප්‍රත්‍යයි. නාමරූපය විඤ්ඤාණයට ප්‍රත්‍යයි. මේ විඤ්ඤාණය ප්‍රත්‍යුදාවර්තනය වෙයි. ආපසු හැරී නාමරූපයට ප්‍රත්‍යවෙයි. පටිසන්ධිවිඤ්ඤාණය ඉක්මවා රූප සය උපදවයි. රූප සහජාත ස්පර්ශය වේදනා උපදවයි. වේදනා තුනකි. සැප-දුක-මැදහත්බව යනුයි. වේදනා හැඳිනීම් ලක්‍ෂණ ඇති සඤ්ඤාව උපදවයි. සඤ්ඤාසහජාත ඵස්ස වේදනා සංඛාර උපදවයි. ප්‍රතිසන්ධිය සමග උපදනා රූප රූපස්කන්ධයයි. අරූප හතර ද ස්කන්ධ නමි. මෙසේ විඤ්ඤාණය නාමරූපයට ප්‍රත්‍යයි. රූපය විඤ්ඤාණයට ප්‍රත්‍යයයි. දෙදෙන උනුන්ට ප්‍රත්‍යයව ෂඩායතන උපදවති. ෂඩායතන සංජානන ලක්‍ෂණ ස්පර්ශය උපදවයි. ස්පර්ශය සැප දුක මැදහත්බව අනුභවන ලක්‍ෂණ ඇති වේදනාව උපදවිය. තණ්හාව උපාදාන හතර උපදවයි. ඒවා භවය උපදවයි. භවය ජාති ජරාමරණ උපදවයි.

මේ දස අංගය උනුන්ට ප්‍රත්‍යව අක්මුල් නැති සසර චුති උත්පත්තීන්හි අවිනාභාවයෙන් ස්කන්ධ උත්පත්තිය වෙයි කියා දුටහ. දස අංග අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නාහු වර්තමාන භවය මෙනෙහිකරන්නාහු ජරාමරණයෙහි මුල දුටහ. එවිට උන්වහන්සේට මෙසේ සිතිණ. මේ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ වර්තමාන පැවැත්ම භවයෙහිම පෙර කර්ම රැස්කිරීම් වශයෙන් විය යුතුය. යම් හෙයකින් පටිසන්ධි විඤ්ඤාණය නාමරූප සළායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරාමරණ පවත්වයි. භවයෙහි පූර්ව කර්ම මෝහ අවිජ්ජා ආයූහන සංඛාර ද පටිසන්ධි විඤ්ඤාණය පිහිටුවයි. නාමරූපය සහජාති වෙයි. ආයතන ස්පර්ශ කිරීම ස්පර්ශය යි. විදීම වේදනාවයි. නිකන්තිය තණ්හාවයි. උපගමනය උපාදානයයි. චේතනා භව නිබ්බත්තියයි. ජාති පරිපාකය ජරාවයි, බිඳීම මරණයයි. මේ සත්ත්වයෝ පෙර භවයෙහි සිට පෙර භවයෙහි ආස්වාද කොට ත්‍රිවිධ වේදනානුභවය පිණිස චුති උත්පත්ති රස ලක්ඛණ සහිත ප්‍රත්‍යානුප්‍රත්‍යප්‍රදානයන් වන පංචකයෙහි සමණ්හනයව සංස්කාර රැස් කරති.

සංගහජාත නාමරූප සළායතනය ස්පර්ශය උපදවයි. ස්පර්ශය වේදනාව උපදවයි. වේදනාව තණ්හාව උපදවයි. තණ්හාව උපාදානය උපදවයි. උපාදානය භවය උපදවයි. භවය ජාතිය උපදවයි. ජාතිය ජරාමරණ උපදවයි. මෙසේ මේ පූර්ව අවිඤ්ඤාණක අවිද්‍යාවෙන් කර්ම රැස්කිරිම් ප්‍රත්‍යයෙන් පටිසන්ධි විඤ්ඤාණය බැසගනී. නාමරූපයෙන් සළායතනය සළායතනයෙන් ස්පර්ශය සපර්ශයෙන් අනුභවනය වේදනාවෙන් තණ්හාව තණ්හාවෙන් උපාදානය ග්‍රහණයෙන් චේතනාව, භවයෙන් නිබ්බත්තිය, ජාතිපරිපාකයෙන් ජරාව ජරාවෙන් භේදය මරණයෙන් අනවරාග්‍ර සංසාරයෙහි ප්‍රත්‍යසන්තතිය පවතී, කියා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහු අවිද්‍යාව මුල් කොට මරණයෙන් අවසන් වන අනුලෝම ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය මෙනෙහි කළහ. වර්තමාන භව වශයෙන් අවිද්‍යාව ආදි කොට ඇති ජරාමරණ කෙළවර කොට ඇති පටිච්චසමුප්පාදය මෙනෙහි කරන උන්වහන්සේගේ විදර්ශනාව තහවුරු විය. ඤාණ විපුලත්වය විය.

එවිට උන්වහන්සේට මෙසේ සිතිණ. මේ විඤ්ඤාණය ආපසු හැරෙයි. නාම රූපයෙන් ඔබ්බට නොයයි. මෙපමණකින් හටගනී. දිරයි මැරෙයි. උපදී කියා වෙයි. මෙපමණකින් උදයබ්බයඤාණ පර්යවසානයට පැමිණියහ. මේ ප්‍රත්‍යයානුප්‍රබන්‍ධයාගේ ඇති වීම නැතිවීම ප්‍රත්‍යවේක්ෂා කරන බෝසතුන්ගේ දර්ශනකෘත්‍යය සිද්ධකරන නුවණැස පහළ විය. කාරණාකාරණව බොජ්ඣඞ්ග ප්‍රත්‍ය ප්‍රත්‍ය ප්‍රතිග්‍රහ ප්‍රඥාව උපන්නේය. දත් අරුත් ප්‍රකට කරන උදයබ්බය ඤාණය උපන්නේය. මොවුන්ගේ යම් මේ උප්පාද පවත්ති නිමිත්ත සංයෝග පරිළාහ ආබාධ ආයූහන නිදාන ප්‍රත්‍යය වේය කියා ප්‍රත්‍යභවය ප්‍රතිවෙධ කරන ඤාණවිද්‍යාව උපන්නේය. ප්‍රත්‍යයන්ගේ ස්වභාව සංසාර ලෝක දක්වන්නාවූ ඤාණාලෝකය උපන්නේය.

ඉක්බිති බෝසතාණෝ මෙසේ සිතූහ. මේ ප්‍රත්‍යයන්ගේ අනුබන්‍ධයෙන් සමුදය පැනෙයි. නියමයෙන් නිරෝධයකුත් විය යුතුය. ඉදින් ජාතිය නොවෙයි නම් මේ ස්කන්‍ධයන්ගේ ජරාවක් නොවන්නේය. බිඳීමක් ද නොවන්නේය. එහෙයින් ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි. කියා දුටහ. මෙසේ අනුපිළිවෙළින් භවනිරෝධයෙන් ජාතිනිරෝධය උපාදාන නිරෝධයෙන් භවනිරෝධය තණ්හානිරෝධයෙන් උපාදාන නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය නාමරූප නිරෝධයෙන් සළායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරාමරණ දුක්ඛ දෝමනස්ස උපායාස යන මුළුමහත් දුක් රාශියෙහි නිරෝධය වෙයි කියා දුටහ.

මෙසේ මේ අත්බැව්හි මේ දශාඞ්ගයන්ගේ අනුලෝම ප්‍රතිලෝම නිරෝධය ප්‍රත්‍යවේක්‍ෂා කරන උන්වහන්සේගේ භඞ්ගානුපස්සනා ඤාණය ස්ථාවර විය. එවිට උන්වහන්සේට මෙසේ සිතිණ. සම්බෝධය පිණිස මා විසින් මේ මාර්ගය සාක්ෂාත් කරන ලදි. යම් මේ නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප සළායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරාමරණ නිරෝධය වෙයි යන මෙයයි කියා මෙනෙහි කරන්නාහු මේ ආත්මභාවය කර්ම විපාක ප්‍රත්‍යයෙන් පවතී. කම්මාභිසංඛාර නිරෝධයෙන් විපාකයක් නොපවත්නා හෙයින් නිරුද්ධ වේ යයි අවබෝධ කරන කල්හි භඞ්ගානුපස්සනා පර්යවසානය වූ නිරෝධය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන බෝසතුන්ට මෙසේ සිතිණ. මේ අත් බැව්හි ප්‍රත්‍ය ප්‍රවෘත්තියෙහි ද නිරෝධයෙහි ද වෙනත් සත්ත්වයෙක් නැත්තේය කියායි. එයින් උන්වහන්සේගේ සඞ්ගානුපස්සනා ඤාණය පරිපූර්ණ විය. උපන් සංස්කාරයෝ ප්‍රත්‍ය විකලතාවෙන් නිරුද්ධ වෙති. ලෝකයෙන් විමුක්තියම ශාන්තියයි කියා මෙනෙහි කරන්නාහු නිබ්බිදානුපස්සනාඤාණ පර්යවසානයට පැමිණියහ. ප්‍රත්‍යසංස්කාර පැවැත්ම පවතී. ප්‍රත්‍ය විකලකාවෙන් නිරුද්ධ වෙයි. ලොව වෙනත් පිළිසරණක් නැත. උපධි රහිත භාවයම ශාන්තිය යි කියා මෙනෙහි කරන්නාහු ආදීනවානුපස්සනාඤාණයත් පමුඤ්චිතුකාමතාඤාණයත් යන දෙක්හි අවසානයට පැමිණියහ. සියලු සංස්කාරයන්ගේ විනයනය ධර්මතා සමභාව ඇතිව විසංඛාරාධිගමය ශාන්තිය යි සියලු සංස්කාර ග්‍රහණයෙහි මධ්‍යස්ථතාවෙහි සිට සංඛාර උපෙක්ඛාඤාණයට යොමු කළහ.

සංඛාර උපෙක්ඛාඤාණයෙහි සිට ඤාණපටිපාටිය මෙනෙහි කරන්නාහු පෙර කර්මභවයෙහි අවිද්‍යාව රැස් කරන සංස්කාරවලට නව ආකාරයකින් ප්‍රත්‍යය වෙයි. කවර නව ආකාරයකින් ද? උප්පාද පවත්ත නිමිත්ත ආයූහන යෝග පළි‍බෝධ නිදාන හෙතු පච්චයප්පරොද යන නවයෙනි. මේ නව ආකාරයෙන් ප්‍රත්‍යය වෙයි. සංස්කාර වර්තමාන භව විපාක පටිසන්ධිවිඤ්ඤාණයට නව ආකාරයකින් ප්‍රත්‍යය වෙයි. විඤ්ඤාණය නව ආකාරයකින් නාමරූපයට ප්‍රත්‍යය වෙයි. නාමරූපය නව ආකාරයකින් සළායතනයට ප්‍රත්‍යය වෙයි. සළායතනය ඵස්සයට ඵස්සය වේදනාවට වෙදනාව තණ්හාවට තණ්හාව උපාදානයට උපාදානය භවයට භවය ජාතියට ජරාමරණයට නව ආකාරයකින් ප්‍රත්‍යය වෙයි. මෙසෙයින්

එකක් එකක් නව නව ආකාරයෙන් ප්‍රත්‍යය වෙයි. මෙසේ මේ දොළොස් අංගයෙන් නවවිධ ප්‍රත්‍යානුබන්‍ධයෙන් උස් පහත් දුක් ජලධාරායෙන් මඩිමින් ගෙනයන සංසාර මහානදිය පවත්වන අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාර නිරෝධයෙන් පටිසන්ධිවිඤ්ඤාණ නිරෝධය වෙයි. පටිසන්ධිවිඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි. නාමරූප නිරෝධයෙන් සළායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භව ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ලක්‍ෂණ අසේස දුක් නිරෝධය වෙයි කියා මෙනෙහි කරන බෝසතුන්ට ප්‍රතිවේධ දර්ශන කෘත්‍යය සාධනය කරන ඤාණචක්ෂුස උපන්නේය. මාර්ග ප්‍රතිවේධය ප්‍රකට කරන උන්වහන්සේට මාර්ගඥානය උපන්නේය. ඉතිරි කෙලෙසුන් දක්වන්නාවූ ප්‍රඥාව උපන්නේය. ඉතිරි කෙලෙස්වල කලකිරීමට විද්‍යාව පහළවිය.

සර්වධර්ම ලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ප්‍රකට කරමින් ඥානාලෝකය පහළවිය. මේ අයුරින් ද්වාදශාඞ්ගය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ පශ්චිමයාමය ඉක්ම ගියේය. එවිට උන්වහන්සේගේ සකල ක්ලේශයන් ප්‍රහීණ විය. සතර මඟ එකල්හිම ප්‍රතිවේධ විය. සත්වෝත්තමයන් වහන්සේට ද මාර්ගයට අනතුරුව ඵලය උපන්නේමය. චෙතෝපරියඤාණපාදක ඉන්‍ද්‍රියපරොපරියත්ති ඤාණය එනම් සියලු සත්ත්වයන්ට පූර්වාංගම තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රිය සුවාකාර දුවාකාර මාර්ගඵල භව්‍ය අභව්‍යතාව සුවිඥාපන දුවිඥාපන බව දැනගන්නා ඤාණය උපන්නේය. දිබ්බචක්ඛුපාදක සත්ත්වයන්ගේ අදහස් අනුසයිත අනුප්‍රබන්ධ ඡන්‍ද ආකාර පරියාය ප්‍රභේද හීන ප්‍රණීත බව අධිමුක්ති කෙලෙස්රජස් මද බොල්බවට වැදගැනීමේ ආසය අනුසය පිරිසිඳ දන්නා නුවණ උපන්නේය.

සතර බ්‍රහ්මවිහාරපාදක සත්ත්වහිත සම්පාදක ආස්‍රවජාලයෙහි වැටුණු මහාප්‍රපාතයෙහි හුණු මහා දුර්ගයෙහි පෙරළෙන මහාදාහයෙන් දැවෙන්නා වූ මහාසන්තාපයෙන් තැවෙන්නා වූ දණ්ඩෙන් පහරදුන් ගිතෙල් සැළක් මෙන් තමන් නසන්නාවූ තණ්හාපාසයෙන් හිරවූ අස්වකීයවූ අප්‍රතිශරණවූ අවිද්‍යාන්‍ධකාරයෙන් වැසුණු කෙලෙස් කූඩුවෙහි හිරවූ පක්‍ෂීන් වැන්නවුන්ට සියලු ආකාර දුක් දුරලීමට හිතකාමයෙන් සංස්කාරානුගත අතිත්‍යතාව මෙන් සියලු සතුන් වෙත පවත්නා මහාකරුණා ඤාණය උපදී. චතුර්ථධ්‍යාන පාදක විකුර්වණසෘද්ධි සහිත එකෙකුව බොහෝව මුවහව ප්‍රකටව තද පවුරු පර්වතයන්හි බාධා රහිත යාම් අහස්හි සඳහිරු පිරිමැදීම වශීප්‍රාප්ත සෘද්ධිබලයෙන් අන්‍ය සත්ත්වයනට අසාධාරණ ජලගිනිධාරා එක්විට පැවැත්වීමට සමත් යමකපාටිහීරඤාණය උපන්නේය. චතුධාතුවවත්‍ථානය ද සමාධි පාදක දිබ්බචක්ඛු පර්යවසාන සියුම් නිපුණ තියුණු පර්වතකූට සහිත කිසි තැනෙක නොපැකිළෙන ශක්‍රවජ්‍රය බඳු සකලඥෙය ධර්මයන්හි නොපැකිළ පැවතීමට සමත් අන්‍ය සත්ත්වයන්ට අසාධාරණ අනාවරණඥානය උපන්නේය. රහත් ඵලයට පත් අවස්ථාවෙහි මේ ෂඩ් අසාධාරණ ඥාන ද සතිස් කෙළ ලක්‍ෂයක් මහාවජ්‍රඥාන ද උපන්නේය.

එකල්හි ධර්ම තේජසින් උඩින් භවාග්‍රය ද යටින් පොළෝ තලය ද හිම්කොට දසසහස්‍රී ලෝක ධාතුව මම ඔබ වහන්සේ දනිමියි ප්‍රත්‍ය සර්වලක්‍ෂණ ප්‍රතිවේධ කරන්නාවූ ඤාණයට සාක්ෂ්‍ය දක්වන්නාක් මෙන් පියුම් පතක් මෙන් සයාකාරයකින් දොළොස් වරක් කම්පා විය. හස්තාකාර, රුදිතාකාර, උම්මත්තකාකාර, භූතවේශාකාර, ගීතා කාර, නච්චාකාර යන සයාකාරයෙන් කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි, සෙලවෙයි. හාත්පසින් සෙලවෙයි. නාදකරයි. වෙව්ලයි. තවත් සයාකාරයකින් සැලෙයි. පෙරපසින් පහත් වෙයි. අපර පසින් උස් වෙයි. මැදින් පහත් වෙයි. පෙර දිගින් උස්වෙයි දකුණු පසින් පහත් වෙයි. උතුරින් උස් වෙයි. දකුණින් පහත් වෙයි. දකුණින් උස්වෙයි. මැදින් පහත් වෙයි. පර්යංකයෙන් උස්වෙයි. පර්යංකයෙන් පහත් වෙයි. මැදින් පෙරළා උස් වෙයි යන සයාකාරයෙන් ද මහා ඝන බොල් පොළොව කම්පා විය.

එකල්හිම දසසහස්‍රී ලෝකධාතුව අතරක් නැතිව සමලංකෘත විය. නැගෙනහිර සක්වළ මුවවිට එස වූ නන් ධජ පතාකා බටහිර සක්වළ මුවවිට එස වූ ධජ පතාකාවල ගැටෙයි. උතුරු සක්වළ මුව විට එසවූ ධජ පතාකා දකුණු සක්වළ එසවූ ධජ පතාකාවල ගැටෙයි. නාග භවනයෙහි නාගරාජයෝ ද සමුද්‍ර ජාතස්සර ගංගාදියෙහි වැසි නාගයෝ ද ඔබමොබින් රැස්ව නොයෙක් ධජ පතාකා එසවූහ. නොයෙක් රන්දම් මල්දම් ආදි පුජා සක්කාර කරමින් සිටියහ. ගාන්ධර්වයෝ සැණකෙළි වෙස් ගෙන ඔවුනොවුන් ඝෝෂා කරමින් නටමින් ගයමින් අපොළමින් පිළී හිස සිසාරමින් ස්තූති කරමින් නොයෙක් මංගල ප්‍රතිසංයුක්ත සාධුකාර පැවැත්වූහ. මෙසේ නාග භවනය ආදි කොට පොළෝවැසි දෙවියෝ ද අහස් වැසි දෙවියෝ ද සියලු යක්‍ෂ කින්නර අසුරයෝ ද කාමාවචර දෙවියෝ ද ඒකකෝලාහල කරමින් පූජාසත්කාර සම්මාන ගත් අත් ඇත්තෝ වූහ.

දසදහසක් සක්වළ මල්පලගන්නා ගස් මලින් පිරුණේය. පල ගන්නා ගස් අල පොකුරින් ගහණ විය. කඳවල කඳ පියුම් පිපුණේය. අතුවල අතු පියුම් පිපුණේය. ලියවල ලියමල් අහස එලෙන මල් ගල්තල බිදගෙන මතු මත්තෙහි සත්බුමුව දඬුපියුම් පිපුණේය. සියලු දසසහස්‍රි ලෝකධාතුව විසිරවූ මල් ගුලක් මෙන් ද සැරසූ මලස්නක් මෙන් ද විය. සක්වළ අතර, අටදහසක් යොදුන් සඳ හිරු එළියෙන් කිසිදා එළිය නොවූ ලෝකාන්තරික ඒකාලෝක විය. සුවාසූදහසක් ගැඹුරු මහමුහුද මිහිරිපැන් ඇති විය. පුළුල් පළිගු තලාවක් මෙන් නොකැළඹී රළ රහිත විය. ගංගා ගලා නොබැස්සේය. සාගරයෙහි ද පස්මහ නදියෙහි ද හැමතැන පස්වනක් පියුම් නැගී පිපුණේය. විදෙස් ගත නැව් සුවසේ පටුන්වලට පැමිණියේය.

ජාත්‍යන්‍ධයෝ රූප දුටහ. බිහිරෝ ශබ්ද ඇසූහ. ගොළුවෝ මනාව තෙපලූහ. පිල්ලු සුවසේ ගමන් කළහ. බැමි ආදිය කඩා වැටුණේය. අවීචි ආදි නිරයවල ගිනිදැල් නිවී ගියේය. ලෝකුඹුව සිහිල් දියෙන් පිරුණේය. සියලු නිරෑ සත්ත්වයෝ නිදුක්ව සුවපත්ව සැනසුම් ලැබූහ. නිරය පාලයෝ සියලු ආයුධ ඉවත ලා හුන්හ. ප්‍රේතයෝ සාපවස් නැත්තෝ වූහ. බොහෝ කල් පරම්පරාගත වෛරී සත්ත්වයෝ මෙත් සිත් ලැබූහ. මේ ආදි නොයෙක් ප්‍රාතිහාර්‍ය්‍ය පහළ විය. ඉක්බිති මහාපුරුෂයන් වහන්සේ අනේකාකාර අද්භූත ප්‍රාතිහාර්‍ය්‍ය පහළ වෙද්දී අරුණෝදය වේලෙහි විසිඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පතන ලද උතුම් වූ සර්වඥතාඥානය ලැබූ සේක.

එකල්හි වැලි පරයන පෙර බුදුවරුන් වෙත උපන් සකලවිධ ලොවී ලොව්තුරා ගුණ භාග්‍යවතුන් වහන්සේ වෙත පිහිටියේය. එක් රැස් වූයේය. පොළොවෙහි ඝන බව සාගරයෙහි ගැඹුර මහා මේරුවෙහි උස සක්වළෙහි විශාලත්වය ගුවන්කුස අනන්ත බව හිරුගේ තේජස සඳුගේ සෞම්‍යය පියුමෙහි ශ්‍රියාව ගින්නෙහි සෝභාව කේශර සිංහයාගේ වික්‍රමය ඡද්දන්ත ඇතුගේ සූරබව යන සියලු ගුණ යමක් ඇද්ද රාගාදි සකල ක්ලේශයන් මථනය කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත රැස් වූයේය. මෙසේ අපමණ ගුණ සම්පතින් සිරි ශෝභාවෙන් බබළමින් සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට වැඩහුන් සේක් තමන් වහන්සේගේ මාර්ග ඵල ලාභය ප්‍රත්‍යවේක්‍ෂා කොට සියලු බුදුවරයන් වහන්සේලා විසින් අත් නොහරින ලද මේ උදානය ප්‍රකාශ කළ සේක.

පුන පුනා දුක් දෙන ආත්මභාව සංඛ්‍යාත ගෙය සදන වඩුවා සොයමින් නොදැක නොයෙක් ජාතිවල සැරිසරමින් දිවීමි. ගෙය තනන වඩුවා දක්නා ලද්දේ වෙමි. නැවත ගෙය තැනිය නොහැක්කේය. තාගේ සියලු කෙලෙස් පරාළ බිද දැමීමි. කැණිමඬල කඩාදැමීමි. සිත නිවනට පැමිණියේය. තෘෂ්ණාක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.

මෙසේ තුසිතයෙහි පටන් බෝමැඩ සර්වඥතාඥානලාභය තෙක් මේදෑතුර අවිදුරේ නිදානයයි දත යුතු.