අවිදූරෙ නිදානය කෙසේ ද යත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු සෙල නම් අසංඛ්‍යය විය. එම අසංඛ්‍යයෙහි වරමණ්ඩ කල්පයෙක තණ්හංකර මෙධංකර සරණංකර දීපංකර නම් සිවු බුදු කෙනෙක් උපන්හ. එතැන් පටන් බෝසතුන්ගේ අභිනීහාරය විස්තර වශයෙන් කිවයුතුය. විස්තර විසින් එය තෙලෙස් ආකාරය. නම් වශයෙන්, කාලපරිච්ඡේද වශයෙන්, චර්යානුප්‍රධාන වශයෙන්, ප්‍රහාණ වශයෙන්, වාරිත්‍රවශයෙන්, සමාදාන වශයෙන්, බුද්ධිකරණ වශයෙන්, ප්‍රතිපදා වශයෙන්, චාරිත්‍ර වශයෙන්, අවීතික්‍රමණධර්ම වශයෙන්, මහා පුරුෂචිතර්ක වශයෙන්, බෝධිප්‍රධාන වශයෙන්, පාරමි රැස්කිරීම් වශයෙනි.
එහි නම් වශයෙන් යනු, බෝසත්වරුන්ගේ නම් තුනකි. උද්ඝටිතඥ, විපචිතඥ, ඥෙය්‍ය යනුවෙනි. එහි උග්ඝටිතඥ බෝසත්හු තමන්ගේ උපනිශ්‍රයයෙන් ප්‍රාර්ථනාභිනීහාරය කරන්නේ එය බුදුන් ඉදිරියෙහි සතර පද ගාථාවක් අසමින් තුන්වන පදයෙහිදීම අභිඥා සහ ප්‍රතිසම්භිදා සමග රහත් බව ලැබීමට සමත් හේතු සම්පත් ඇත්තෝය. එදිනම ලබන ලද නියත විවරණ ඇතිව පැරුම් පුරා සාරාසැකි කප් සුවහසකින් සම්මා සම්බුද්ධත්‍වයට පත් වෙති. විපචිතඥ බෝසත්හු සිය හේතු සම්පත් පරිදි සම්මා සම්බුදු කෙනෙකුන් ඉදිරියෙහි ගාථාවක් අසමින් සතරවන පදය අවසන් වීමට පළමුවම (ෂඩභිඥා, චතුපටිසම්භිදා සහිත) රහත්බව ලැබීමට හේතු සම්පත් ඇත්තෝය. එසේම නියත විවරණ ලබා පැරුම් පුරා අට අසැකිකප් සුවහසකින් සම්මා සම්බෝධියට පැමිණෙති. ඤෙය්‍ය බෝසත්හු සිය හේතු සම්පත් පරිදි බුදු කෙනෙකුන් ඉදිරියෙහි සිවුපද ගාථාවක් අසා අවසානයත් සමග ෂඩභිඥා ප්‍රතිසම්භිදා සහිත රහත් බව ලැබීමට යෝග්‍ය වෙති. එහිදී විවරණ ලබා පැරුම්පුරා සොළසැකිකප් සුවහසකින් සර්වඥබවට පත්වෙති.
කාලපරිච්ඡේද වශයෙන් මෙසේය. අප බෝසතාණෝ උද්ඝටිතඥයහ. මහාප්‍රාඥයහ. මහත්වීර්ය ඇත්තෝය. වහා අවබෝධ කරන සුලුය. පාරමී පිරූහ. එහෙයින් සාරාසැකිකප් සුවහසකින් සම්මා සම්බෝධිය සාක්‍ෂාත් කළහ. චර්යා ප්‍රධාන වශයෙන් කෙසේ ද යත්, බෝසත්වරුන්ගේ චර්යා තුනකි. තමන්ගේ සම්පත් ඉතිරි නොකොට සියල්ල දෙති. මහජනයා සිල්හි යොදවති. දසකුශල කර්මය නොපිරිහෙළා මව්පිය උපස්ථාන කුලදෙටුවන් පිදීමාදිය කරති. චර්යා ප්‍රධාන වශයෙන් මෙසේය. ප්‍රහාණ වශයෙන් කෙසේ ද? බෝසත්වරුන්ගේ ප්‍රහාණ තුනකි. ලෝභ ප්‍රහාණය ද්වේෂ ප්‍රහාණය මෝහප්‍රහාණය කියායි. වාරිත්‍ර වශයෙන් කෙසේ ද? දානයෙන් ලෝභය වළක්වති. ශීලයෙන් ද්වේෂය වළක්වති. ගුරුපදේශයෙන් මෝහය වළක්වති. සමාදාන වශයෙන් කෙසේ ද? බෝසතුන්ගේ කරුණා, අනුද්දයා අනුකම්පායයි සමාදන්වීම් තුනකි. කරුණාව කෙසේ ද? සත්‍වයන් දුකින් මුදනු කැමැත්තයි. එක එකකු වෙනුවෙන් වෙන වෙනම කපක් නිරයෙහි පැසී එම උපායෙන් සතුන් මුදවාලිය හැකි නම් එසේ කරනු පිණිස මෙබඳු කරුණා සමාදානයක් බෝසතුන්ට ඇත්තේ ය. කරුණාවෙන් අනුද්දයාවයි. හැම සතුන්ම සිවුමහදිවයිනෙහි සක්විති රාජ්‍යයෙහි පිහිටුවන තරමේ අනුද්දයාවක් බෝසතුන්ට ඇත්තේය. අනුකම්පාව කෙසේ ද? කවර නම් උපායකින් සියලු සතුන් සියලු ආසාවන් නසා රහත් බවට පමුණුවා සියලු දුකින් මුදවන්නෙම් ද යන මෙබදු අනුකම්පාවක් බෝසතුන්ට ඇත්තේය.
බුද්ධිකරණ වශයෙන් කෙසේ ද? බෝසතුන්ගේ උත්සාහ උම්මග්ග අනිවත්තනා හිතූපචරියා යි බුද්ධිකරණතා සතරකි. එහි උත්සාහය නම් ධන අංග ජීවිත පරිත්‍යාගයෙන් සිය හේතු සම්පත් අනුව සාරාසංඛ්‍ය කල්පලක්‍ෂයකින් අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සොළසාසංඛ්‍යකල්ප ලක්‍ෂයකින් පාරමී සම්පූර්ණ නො කොට මැද නතර නොකරමි යන වීර්යපරිග්‍රහයයි, උත්සාහයයි. ඉදින් යම් කිසි පණ්ඩිතයෙක් ඔහු පරික්‍ෂා කරනු පිණිස මෙසේ කියයි. “පින්වත් පුරුෂය, ඔබ බුදු බව ලැබීම පිණිස උත්සාහ කළෙහිය. උත්සාහයෙන් පලක් නැත. යම් සේ දසදහසක් සක්වළ සක්වළක් ප්‍රමාණ සීමාව උණුහළුවලින් පිරී තිබේ. ඒ අළු සියුම්ය. අතිශයින් උණුසුම්ය. නාසා සිදුරකින් ඇතුළු වුවහොත් මුළු සිරුර දවන්නේය. කිසියම් විර්යසම්පන්න බුද්ධපාරමී පුරන මිනිසෙක් ඒ මැදින් ගොස් අවසන් කරන්නට සමත් වෙයි. බෝධිය ලබනු කැමැත්තකු ඊටත් වැඩි වීර්ය සම්පන්නයකු විය යුතුය. ඇත්තෙන්ම එබඳු නවවිධ වීර්යයක් කොයින් ලබන්න ද? ඒ ඔබ බෝධියට පැමිණෙන්නෙහි නම් මෙලෙසිනුත් විනාශ විය හැකිය. එබඳුම ඉඩක් එබඳුම සීමාවක් පහවූ දුම් ඇති පහවූ ගිනිදැල් ඇති රත්වූ ලෝගුලි වැනි පහස ඇති කෑලමල්වැනි පාට ඇති අඟුරින් පුරවන ලද්දේ ය. එවැනිම ප්‍රදේශයක් සැත්හුල් සමාන තියුණු අක් ඇති අතරක් නැති ව ගහණවූ මුවහත් ගල් කැටවලින් පිරි ඇත. එතරම්ම ප්‍රදේශයක් සිංහාදීන් හැර අඩයොදුන යොදුන දහසක් යොදුන් උස් දුර්ගම විසම දිය නැති සෙවණ නැති හෑරුණු වළවල් ඇති වැනසුණු පර්වත ඇත්තේ ය. එපමණම පෙදෙසක වෙතරණී නදී ජලය වැනි ජලය පිරී පවත්නේය. එපමණක් ප්‍රදේශයක අවීචිගිනිදැල් සමාන ඇවිලෙන ගිනිජාලාවෙන් අතරක් නැත. එතරම්ම පෙදෙසක වරකධාන්‍ය වැනි වැලි පිරී පවතී. එපමණම පෙදෙසක හුණගොමු පිරි ඇත්තේය. එපමණම පෙදෙසක තියුණු අක් ඇති තුන්කොන් කටු පිරි ඇත්තේය. මිනිසෙක් ඒ සියල්ල මැඩගෙන ඉදිරියෙහි අනාථව හඬමින් සිටියකු කරතබා ගෙන කරුණාභරිතව උපස්ථාන ද කරන්නේය. බෝධියට පත්වනු කැමැත්තෙකු ඊටත් වඩා දැඩිතර වීර්යයෙන් යුක්ත විය යුතුය. මෙකී වීර්යය රහිත ඔබ කෙසේ නම් බුදුවන්නෙහිද” කියායි.
එවිට බෝසතාණෝ ඔහුට “එහෙනම් දුක පිළිබඳ සිතන්නෙකුට මෙසේ කියන්න. මෙහිලා මම බින්‍දුමාත්‍රවූත් දුක යන හැඟීමක් නැතිව තමා කෙරෙහිත් නිරපේක්‍ෂව සත්ත්වහිතය පමණක්ම කරන්නෙමි” යි කියති. මෙවැනි උත්සාහ සම්පන්න බෝසතාණෝම සම්බුදුන් වෙතින් විවරණ ලබති. හළු මැඩීමාදි උත්සාහයෙන් පමණක් වීර්යවන්තයෙක් නොවන්නේය. එහෙයින් ක්‍රෝධහළු මසුරු අඟුරු මානපර්වත මෝහ උණුදිය මකුවැලි සඨමද්ධ ගෘහබන්‍ධනහුණගොමු මිසදිටුදැල් නින්දාබස් තියුණු මුවහත් කෙලෙස් කාන්තාර තරණයෙන් සත්ත්වහිතය කරන්නට උත්සාහ සම්පන්න විය යුතුය. බෝසතුන්ගේ උත්සාහය නම් මෙබඳු වන්නේය. උම්මග්ග නම් ප්‍රඥාවයි. කල්පයක් නමුත් නොකඩ ධාරානිපාත වැසි වස්නා කල ධාරානිපාත දිය බිඳු ලක්‍ෂ කෝටිගණනින් පිරිසිඳ දැකීමට සමත් නුවණින් බෝසත්වරු සමන්නාගත වෙති.
නොනැවැත්ම නම් දේවපුත්ත මාරයා බුද්ධරූපයක් මවා ගෙන සවනක්රස් විහිදුවමින් මෙසේ කියයි. “පින්වත් සත්පුරුෂය, අනේක ලෝකධාතුවල සත්ත්වයෝ දුක් විඳිති. ඉදින් ඔබ ඒ එක් එක් අයකු නිසා දුක් විඳින්නෙහිය. නමුත් බුදු වන්නෙහි හෝ නොවන්නෙහි හෝ වේවා. මාරයා දිවගොස් අභ්‍යන්තර ගිනිජාලාවෙන් නිතොර කියා නිම කළ නොහැකි දුක් ඇති පැහෙන සතුන් සහිත අවීචිය පෙන්වා මෙසේ කියයි. ඔබ සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පැසී නැවත මිනිසත් බව ලබා දවස දවස උදේ හවස තුන් සියයක් සැතින් පහරකමින් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් දුක් විඳ නැවත පෙරුම්පුරා බුදුවන්නෙහිය. මම ඔබට සංග්‍රහ පිණිස උත්‍රාස නැති කිරීමට කීවෙමි. ඔබට බුද්ධත්‍වයෙන් කමක් නැත. එන්න, මා ළඟ මහණ වී අදම ෂඩභිඥාලාභීව මඟපලසුව ලබන්න” කියායි. බෝසත්හු ඔහුගේ කියමන ද ගණන් නොගෙන මෙසේ කියති. ඒ කියූ අන්දමේ දුක් තිබුණාවේ. මම එක එක සත්‍වයා සඳහා ඊට සතසහස්‍ර ගුණයෙන් වැඩි දුක් විඳිමින් පාරමිතා පුරන්නෙමි” කියා යි. බෝසතුන්ගේ නොනැවැත්ම මෙබඳුය.
හිතූපචරියා නම් සකල සත්ත්වයනට සැපසම්පත් සැදීම පිණිස පිළිපන් මහාසත්ත්වයෝ අනන්ත දුක් විඳීමෙන් අන් සතුන්හට සම්පත් උපදවන්නට ලැබේ නම්, එක සතෙකු උදෙසා කපක් අවීචියෙහි පැසී සියලු සතුන් ගොඩනගා ඔවුන්ට පංචාභිඥා අටසමවත් උපදවා සියල්ලන්ට වාසය පිණිස ප්‍රාසාදයන් මවා මෘදු සුව පහස් ඇති සොඳුරු ඇතිරිලි ඇතුරූ මාඇඟි උතුම් පර්යංකවල හිඳුවා ආහාර පාන වස්ත්‍රාභරණ අංගරාග කුසුමාභරණ ධූප පාවාසාදි උපකරණවලින් ද නෑවීම් සුවඳ ගැල්වීම් සම්බාහනාදියෙන් ද උවටැන් කොට පෘථුවි පරිවර්තනයෙන් කුඩාමී සෙයින් මිහිරි රස ඇති පෘථුවිරස වළඳවා සදහම් අමා රසයෙනුත් ඔවුන් සනසවා නිවනෙහි පිහිටුවති.
ප්‍රතිපදා වශයෙන් කෙසේද? දළ්හසමාදානතා අකම්පියට්ඨිතිතා, අපච්චුදාවත්තනා, පුබ්බඞ්ගමනතා චිත්තූපධාරිතා යි ප්‍රතිපදාව පස් ආකාර වෙයි. ප්‍රතිපදාවශයෙන් මෙසේයි. චර්යා වශයෙන් කෙසේ ද? බෝසත් චර්යා සයෙක් වෙයි. අලෝභ අදහසින් ලෝභයෙහි දොස් දකිති. අදෝස අදහසින් දෝසයෙහි දොස් දකිති. අමෝහ අදහසින් මෝහයෙහි දොස් දකිති. නෛෂ්ක්‍රම්‍ය අදහස් ඇතිව කාමයන් විෂ මෙන් දකිති. විවෙක අදහසින් ගණවාසය සිරගෙයක් මෙන් දකිති. නුමුළා අදහසින් තුන් භවයෙහි ඡන්දරාගය දුරු කරති. චර්යා විසින් මෙසේය.
අනතික්‍රමණධර්ම වශයෙන් කෙසේ ද? බෝසතුන්ගේ අවීතික්‍රමණධර්ම සත්වැදෑරුම්ය. ජීවිතය අත්හරිති, පාරමී සමාදානය අත් නොහරිති. අවීචිගිනිදැල් දැක දැක තැති ගනිමිනුත් ප්‍රධන්වීර්යයෙන් නොවෙනස් වෙති. ජීවිතය විසිරී යද්දීත් අධිෂ්ඨානය අත්නොහරිති. යන්ත්‍රයෙන් උක්දඬු ඇඹරෙන්නාක් මෙන් අඟපසඟ ඇඹරෙද්දීත් සිල් බැහැර කිරීමට සිත් නූපදවති. කෙසේ නම් සිල් බිඳිත් ද? මහාරාජ්‍යය හැර දමති, සංවරය හැර නොදමති. කඩුවෙන් කපද්දීත් කෝප නූපදවති. හාත්පසින් චණ්ඩ සතුන් දසතින් බියගන්වද්දීත් තැති නොගනිති. අවීතික්‍රමණ ධර්ම වශයෙන් මෙසේ ය.
ආයුෂය අත්හරිති. පාරමී අත් නොහරිති. අවීචිය දැක ප්‍රාණය නොහරිති. අගපසඟ සිඳලූවත් පීඩා කළත් ශීලය නොහරිති. රාජ්‍යය හැර දමති. උතුම් සංවරය නොහරිති. කඩුවෙන් කෙටුවත්, ආයුධයෙන් පහර දුන්නත් සත්කඩ කොට අඟපසඟ කැපුවත් කෝප නොකරති.
පුරුෂ විතර්ක වශයෙන් කෙසේ ද? මහාපුරුෂ විතර්ක අටකි. එයින් යුත් හෙයින් මහිච්ඡතාව දුරැර අල්පෙච්ඡ වෙති. ලොලුපතාව දිනා සන්තුෂ්ට වෙති. ප්‍රපංචතා දුරු කොට නිෂ්ප්‍රපංචයෝ වෙති. සංගණිකාරාමය හැර පවිවෙකීහු වෙති. කුසීතකම් හැර වීර්යාරබ්ධයෝ වෙති. සිහිමුළාව හැර සිහිමත්හු වෙති. අසමාහිත බව හැර සමාහිතයෝ වෙති.
බෝධිපධාන වශයෙන් කෙසේ ද? බෝසත්වරුන්ගේ බෝධිප්‍රධන් නවයකි. සීල සංවරප්‍රධානය, ඝාන අනුරක්ඛණ ප්‍රධානය, නීවරණවිගම පහාණ ප්‍රධානය, නීවරණ විලොකන භාවනා ප්‍රධානය, ගුරු සංවාසය, අසම්මොහ ප්‍රධානය, දානපයොග ප්‍රධානය, පරාක්‍රමය, අනිවත්තන ප්‍රධානය, ප්‍රධන්හි නොවෙනස් වන සිත පිහිටුවීමයි. පාරමී සංඛය වශයෙන් කෙසේ ද? මහාපුරුෂයන්ගේ පාරමී රැස් කිරීම දසවිධය. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච. අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යනුයි. පාරමී ගමන ලක්ෂණ
ඇත්තෝය. මෙහිලා ධන පරිත්‍යාගය පාරමිතාවයි. අංග පරිත්‍යාගය උපපාරමිතාවයි. ජීවිත පරිත්‍යාගය පරමාර්ථ පාරමිතාවයි. සෙස්සෙහි ද ධන, අංග, ජීවිත පරිත්‍යාග පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතායි දත යුතුය. මෙසේ සමතිස් පැරුම් දසපැරුම්හිම ඇතුළත් වෙයි.
- දාන පාරමිතාව කෙසේ ද? - යම් කිසිවෙක් යටට හරවන ලද දිය පිරුණු කළයක දිය ඉතිරි නොවන්නා සේ දන් දෙත් නම් එයයි.
- සීල පාරමිතාව නම් - සෙමෙර දෙන දැවටුණු වලිගය නොකඩා රකින්නාක් මෙන් සංවර ශීලය නොවනසා රක්නේය.
- නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නම් - බන්‍ධනාගාරගත දුකට පත් මිනිසෙක් ඉන් මිදෙනු කැමති වන්නාක් මෙන් බෝසත්හු ද නික්ම යාමට ම අභිමුඛ වෙති.
- පඤ්ඤා පාරමිතාව නම් - පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුනම පහත් මැදහත් උසස් කුල අත නොහරනේ යම්සේ ද ප්‍රඥාපාරමිතාව ද එසේය.
- විරිය පාරමිතාව නම් - සැඟව සිටින කේසරසිංහයා හැමදා ඩැහැගන්නා සිත් ඇත්තාක් මෙන් වීර්යවත්ම වෙයි. හීනමනසක් ඇත්තේ නොවෙයි.
- ක්‍ෂාන්ති පාරමිතාව නම් - ඇවිලෙන ගින්න හැමදා ඉවසන පොළව මෙන් ඉවසීමෙන් යුත් තැනැත්තේ දුක් දහම්හි ඉවසන්නේ වෙයි.
- සත්‍ය පාරමිතාව නම් - සූර්යෝදයෙහි සමව පවත්නා ඕෂධි තරුව මෙන් හැමදා දෙවි මිනිසුන් අතර සත්‍යය සමව ආරක්‍ෂා කරයි.
- අධිෂ්ඨාන පාරමිතාව නම් - නිසලව සුපිහිටි මෙර නොවෙව්ලන්නාක් මෙන් අධිෂ්ඨානය නොවෙව්ලයි. කම්පා නොවෙයි.
- මෛත්‍රී පාරමිතාව නම් - ජලය නිරන්තරයෙන් සම සිසිල පතුරුවන්නේ යම්සේ ද මෛත්‍රිය ද එසේ සියලු අයුරින් සව්සතුන් වෙත පතුරුවයි.
- උපේක්‍ෂා පාරමිතාව නම් - මහපොළව මැදහත්ව සුවඳ දුගඳ ගන්නාක් මෙන් සැපෙහි දුකෙහි මැදහත් වන්නේ ය.
එහි ලා දානපාරමිතාව කෙසේ ද? ජීවිතය ප්‍රධාන මස් ලේ ආදි පරිත්‍යාගයයි. සිවි, මෙත්තාබල, සෝම, අරින්දම, සිරි, සෙන, මහායස, දණ්ඩ, විරිය, බ්‍රහ්මඉසි, සුවණ්ණකච්ඡපාදි ජාතක පන්සිය පනස් ජාතකවල නොමැත්තේය. ධර්ම සංගීතියෙහි සංගායනා කරන ලද ද? ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් මෙසේ කියන ලදි.
අසූ දෙදහසක් බුදුරදුන් වෙතින් ගන්නා ලදි. දෙදහසක් භික්‍ෂූන් වෙතින් ගන්නා ලදි. ඒ මේ ධර්මයෝ පවත්නාහ.
කිම අවිරුද්ධයයි කියැවේ ද? නැතැයි නොකිව යුතුය. කුමක් හෙයින්ද? ආයුෂ්මත් අනඳ තෙරුන් විසින්ම පිරිනිවන් අවස්ථාවෙහි මට සියලු දිශාවන් මුළාවෙයි. ඇසූ දහම් පවා නොලැබෙයි කියා කියන ලද නොවේ ද? මෙසේ කී කල ගිලිහුණු දේ සංගායනා නොකරන ලදි. එහෙයින් මේ සිවි මෙත්තාබල සෝමරාජ ජාතක ජාතකපිණ්ඩයෙහි නොදක්නා ලැබේ. දෙව් ලොවින් ද නොලැබේ. මෙහි පමණක් නොවේ.
දාන උපපාරමිතාව කෙසේ ද? බාහිර ධනාදියයි. රන්ආදියයි. චතුද්දිස, වෙස්සන්තර වෙලාම බ්‍රාහ්මණාදීන් මෙනි. දාන පරමාර්ථ පාරමිතාව කෙසේ ද? ශරීර හිස් හද අඹු දරු ආදීන් දීමය. සසක, සුවණ්ණකච්ඡප, බ්‍රහ්ම ඉසි, නිග්‍රොධ, චූළකවි, මහාකවි, පදුම, සිරි, සෙන, මහාදණ්ඩ, චන්‍දරාජාදීන් මෙනි. සීල පාරමිතාව කෙසේද? පන්සිල්හි පටන් කොට ඇති සිවුපිරිසුදු සීලයයි. සීල උපපාරමිතාව නම් අඟපසඟ සිඳීම් බිඳීම් නිසා හෝ සීලය නොබිඳී. සීලව ඇතු මාතුපෝසක ඇතු ආදීන් මෙනි. පරමාර්ථ පාරමිතාව කෙසේ ද? ජීවිත පරිත්‍යාගයෙහි වුවත් සීලය නොවනසයි. භූරිදත්ත, සංඛපාල, සීලව, රාජපුරෝහිත, අඩ්ඪ උපොසථාදීන් මෙනි. නෙක්ඛම්ම පාරමිතාව කෙසේ ද? පරපරිගෘහිත ප්‍රව්‍රජ්‍යාවයි. කල්‍යාණධම්ම කුද්දාලාදීන් මෙනි. නෙක්ඛම්ම උපපාරමිතාව නම්, මහාජනපරිගෘහිත පැවිද්දයි. සුධඤ්ජය, අයොඝර, අසදිය, මහාජනකාදීන් මෙනි. නෙක්ඛම්මපරමත්‍ථ පාරමිතාව කෙසේ ද? ජීවිත විනාශය වුවත් නික්මී යනු කැමැත්තේමය, මූගපක්ඛ, සිද්ධාර්ථ කුමාරාදීන් මෙනි. ප්‍රඥා පාරමිතාව කෙසේ ද? සරභඞ්ග, ආදාසමුඛ, මහාබෝධි, සූචිකාර, රථකාරාදීන් මෙනි. ප්‍රඥා උපපාරමිතාව නම්, අනුන්ගේ ජීවිත නිමිති කොටගත් ප්‍රඥාව යි. මහෞෂධ, විධුර, සේනකාදීන් මෙනි. ප්‍රඥා පරමාර්ථ පාරමිතාව නම් බුද්ධඥානය නිමිති කොට ජීවිතය පරිත්‍යාග කරයි. ධම්මරුචි, සුතසෝමාදීන් මෙනි.
වීර්ය පාරමිතාව කෙසේද? අනුන් කෙරෙහි ඉපයීම නිමිති කොටගත් වීර්යයයි. අය්‍යකාළ, නන්දිවිසාල වෘෂභයන් මෙනි. විරිය උපපාරමිතාව නම්, අනුන්ගේ ජීවිතය හා බැඳුණු විර්යයයි. වාළුඛණක, සාර්ථවාහ, ධනුග්‍රාහකයන් මෙනි. වීර්ය පරමාර්ථ පාරමිතාව නම්, සියදිවි පිදීම නිමිති කොටත් වීර්යය අත් නොහරී. මහාජනක, ලහුසෝම, සීලවරාජාදීන් මෙනි. ක්‍ෂාන්ති පාරමිතාව කෙසේ ද? අනුන්ගෙන් එන දුක් ආදිය ඉවසීමයි. ක්‍ෂාන්තිරාජාදීන් මෙනි. ක්‍ෂාන්ති උපපාරමිතාව නම්, සමකයාට පිළියම් යෙදීමට ඇති ඉවසීමයි. දීඝායුකුමාර මහාසථාදීන් මෙනි. ක්‍ෂාන්ති පරමාර්ථ පාරමිතාව නම් අනුන්ගෙන් සියදිවි විනාශයේදීත් ක්‍ෂාන්තිය අත් නොහරී. ක්ෂාන්තිවාද, ඡද්දන්ත, චම්පෙය්‍ය, භූරිදත්ත, සංඛපාලාදීන් මෙනි. සත්‍යපාරමිතාව කෙසේද? සත්‍යය නොයික්මවයි. සුංසුමාර, වානර රාජාදීන් මෙනි. සත්‍ය උපපාරමිතාව නම්, තමන් ගේ අනුන්ගේ දිවි සුරැකීම පිණිස සත්‍යක්‍රියාවයි. සිවිරාජ, වට්ටකපොතක, මත්ස්‍යරාජාදින් මෙනි. සත්‍ය පරමාර්ථ පාරමිතාව නම්, සත්‍යය පිණිස සියදිවි පුදයි. සුතසෝම, චුල්ලසුතසෝමාදීන් මෙනි.
අධිෂ්ඨාන පාරමිතාව කෙසේ ද? යමක් අධිෂ්ඨිත නම් එය අත නොහරී. නන්දිවිසාල, නලකපානාදීන් මෙනි. අධිෂ්ඨාන උපපාරමිතාව නම්, අනුන්ගේ ජීවිත මුදාගැනීම පිණිස අධිෂ්ඨානයයි. උම්මග්ග, වාළුඛණකාදීන් මෙනි. අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතාව නම් සියදිවි පිදීමේ යම් අධිෂ්ඨානයක් වෙයි නම් එය අත නොහරියි. මූගපක්ඛ, සුංසුමාර කපොටකාදීන් මෙනි. මෛත්‍රී පාරමිතාව කුමක් ද? අප්‍රාමාණ්‍ය මෛත්‍රියයි. මහාසුදස්සන, මඛාදෙව පරම්පරාදිය මෙනි. මෛත්‍රී උපපාරමිතාව නම් සත් හැවිරිදි මෛත්‍රියයි. දළ්හනෙමි, සුතනෙමි, කුද්දාල, මූගපක්ඛාදීන් මෙනි. මෛත්‍රී පරමාර්ථ පාරමිතාව නම්, දිවිපිදීම් මෛත්‍රියයි. චූළකවි, මහාකවි, පරමනිග්‍රොධ, ස්වර්ණකච්ඡපාදීන් මෙනි. පරිත්‍යාග පර්යන්ත උපේක්‍ෂා පාරමිතාව කෙසේ ද? අටලෝ දහම්හි උපේක්‍ෂාවයි. චූළ බෝධි ආදීන් මෙනි. උපේක්‍ෂා උපපාරමිතාව නම්, අෂ්ට සමාපත්තියෙහි උපේක්‍ෂාවයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභයෙන් වන ප්‍රසාදයයි. උපේක්‍ෂා පරමාර්ථ පාරමිතාව නම්, ජීවිත පරිත්‍යාගය අවසන් කොට ඇති උපේක්‍ෂාවයි. අෂ්ට සමාපත්තිවලමය. ක්‍ෂාන්තිවාදී මාතඞ්ග බෝසත් ආදීන් මෙනි.
සලක්‍ෂ එක්සැට දහසක්වූ ප්‍රාඥවූ බුදුවරුන් වහන්සේලාට මහදන් පැවැත්විය. එක්සිය පනස් කෙළ විස්සක් පසේබුදුවරයන් වහන්සේලාට ද අසංඛ්‍ය ශ්‍රාවකයන් වහන්සේලාට සහ මහණබමුණන්ට ද යන මේ පින්කෙත් විෂයෙහි ඔහු මහදන් පිදීය. සීලාදිය රකිමින් පාරමිතා පිරීය. පාරමී රැස් කිරීම් වශයෙන් මෙසේ ය.
මේ තෙලෙස් ආකාරයෙන් පිරිසිදු අදහස් ඇති සුවිසුද්ධ උතුම් දුෂ්කර දර්ශන ඇති පුද්ගල තෙම බෝධිකාරක ධර්මයන් සපුරාලීමට සමත් වෙයි. මේ ධර්ම සංචිතකුසල ඇත්තවුන්හට උපදී. මේවා පුරනු කැමැත්තවුන් විසින් පළමුවෙන්ම හිරි, ඔතප්, ආගම යන තුන්කරුණින් යුක්ත විය යුතුය. හිරියෙන් පරිපූර්ණ වන්නේ කෙසේ ද? මිනිස් ලොව ඉපිද පිරිමි අත්බැව්හි සිට කර්මවාදීව, ක්‍රියාවාදීව තාපස, පරිබ්‍රාජක, භික්‍ෂු පැවිද්දෙන් පැවිදිව ආත්මභාව පන්සියයක සීලසංවරය පුරා ඇත්තකුට එකල්හි බෝධිසම්භාර පිරීමට හේතු වන හිරියෙන් යුක්ත වෙයි. ඔත්තප්ප සම්පත්තිය වනාහි මේ ක්‍රමයෙන්ම ආත්මභාව දහසක් ආචාර්යවාදයෙහි සිටියහුට බුදුබැව් පැතීම සඳහා සම්පූර්ණ වෙයි. ආගම සම්පත්තිය පන්දහසක් අවුරුදු ලක්‍ෂණ ඉතිහාස නිඝණ්ඩු කෙටුභ අක්‍ෂරප්‍රභේද සහිත ලෝකායත ශාස්ත්‍ර සහිත ත්‍රිවේදය ද දොළොස් දහසක් බුද්ධස්තොත්‍ර ද ඉගෙන අනුන්ට ද උගන්වා බුදු බව පැතීම පිණිස සම්පූර්ණ වෙයි. මේ ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්ත පූර්ව හේතු සම්පත් ඇති බුදු බව පැතීම සඳහා උත්සාහවත් කුලපුත්‍රයා විසින් අට කරුණකින් සමන්නාගත විය යුතුය. කවර අටකරුණින් ද?
මනුෂ්‍යත්‍වය, ලිංගසම්පත්තිය, හේතු, ශාස්තෲන් දැකීම, පැවිද්ද, ගුණසම්පත්, අධිකාරය, ඡන්‍දතාව යන අටදහම එක් වීමෙන් ප්‍රාර්ථනාව සමෘද්ධ වෙයි.
මෙහි මනුෂ්‍යත්‍ව නම්, මනුෂ්‍ය ආත්මභාවයෙහි සිටියහුගේම පැතුම සඵලවෙයි. නාග, යක්‍ෂ, සුපර්ණ, දේව, බ්‍රහ්ම ආත්මභාවයක සිටියහුට සඵල නොවෙයි. මක්නිසා ද? නාගාදි ආත්මයක සිටියකුට සම්මා සම්බෝධිය අවබෝධ කළ නොහැකිය. මිනිසත්බැව්හි සිටම සම්මා සම්බෝධිය අවබෝධ කරති. එබැවින් මිනිසත්බැව්හි සිටියහුගේ පැතුම සඵල වෙයි. ලිංගසම්පත්ති යනු, පුරුෂලිංගයෙහි සිටියහුගේ අභිනීහාරය සඵල වෙයි. ස්ත්‍රීලිංගයෙහි සිටියහුට සඵල නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, ස්ත්‍රියක් අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙයි යන මෙය නොවිය හැක්කකි, ඉඩක් නැතැ”යි වදාරන ලදි. එබැවින් පිරිමි අත්බැව්හි සිටියහුගේම පැතුම ඉටුවෙයි. එම අත්බැව්හි සිටියහුට අභිඥා සහිත පිළිසිඹියා සහිත රහත්බවට පත්වීමට ඇති නොවෙනස් එකම හේතුව ඇත් නම් මෙය හේතුසම්පන්න නම් වෙයි. ශාස්තෘ දර්ශන යනු, සත්ත්වයන්ට අනුශාසනා කරන බැවින් ශාස්තෘ නමි. අනුශාසනයෙන් උතුම්ම ප්‍රදානය කරන හෙයින් ශාස්තෘ නමි. උන්වහන්සේ ගේ දර්ශනයයි. එය සිතින් නොවේ. නිසග පහන් සිත් ඇත්තහුගේ දැකීමයි. ඒ ශාස්තෲන් වහන්සේ සතුන්ගේ භව්‍ය අභව්‍ය බව දැන කර්ම විපාක දන්නා ඤාණබල යුක්ත බැවින් ප්‍රකාශ කරන්නට සමත් වෙති. පසේබුදු, ශ්‍රාවකයෝ හෝ අනෙකෙක් සමත් නොවෙති. එහෙයින් ශාස්තෘන් දැකීම නියතයෙන් සෙවිය යුතුය. පබ්බජ්ජා යනු, කර්ම ක්‍රියාවාදී තවුසන්, භික්‍ෂූන් වෙත පැවිදිවූවෙකු විය යුතුය. ගුණසම්පත්ති යනු, පංචඅභිඥා අෂ්ටසමාපත්තීහුය. බෝසත් ගුණයෝ ය. එබැවින් බෝසත් ගුණසම්පන්නයකු විය යුතුය. අධිකාර යනු, දෙය්‍යධර්මයෝ යි. හෙතෙම ලාමක ජීවිතය ඔහුට පරිත්‍යාග කරයි. එහෙයින් අධිකාරය යි කියැවේ. ඡන්‍දතා යනු, කරනු කැමති බවයි. ඒ වනාහි කුසලධර්ම යි. ඡන්‍දය හෝ නමි. මහමෙර සහිත පොළව පෙරළී ගියත් බෝසතුන්ගේ කුශලධර්ම ඡන්‍දය නොපෙරළෙයි. මෙය ඡන්‍දතාවයි. මේ අට දහමින් යුත් තැනැත්තාගේ ප්‍රාර්ථනය ඉෂ්ටවන්නේය.
මෙහිලා බෝසතුන් පළමු පැතුම හැර බෝසතුන්ගේ අභිනීභාර තුනකි. විස්සනා අභිනීහාර, මග්ගාභීනීහාර, සබ්බඤ්ඤුඅභිනීහාර කියායි. විපස්සනාභිනීහාර නම් එක්තරා පැවිද්දකින් පැවිදිව ආචාර්යවරයකු වෙත ගොස් ඔවුන්ට තමන් කැපකොට විදර්ශනා කියවා ගෙන කිසුණු පිරියම් කොට පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවන්නට සමත් වන්නෙකුටම ඒ විපස්සනාභිනීහාරය වෙයි. එය ආත්මභාව ලක්‍ෂයක් විදර්ශනාපරිකර්ම කොට වහා වැටහෙන ඛිප්පාභිඤ්ඤයකුහට සතරමඟ ලබා ගැනීමට ප්‍රත්‍යය වන්නේය.
මග්ගාභිනීහාරය නම් බුදුසසුන්හි පැවිදීව ආචාර්ය උපාධ්‍යායවරුන්ගේ අවවාදයෙහි පිහිටා අටතිස් කමටහනින් තමාගේ චර්යානුරූප කමටහනක් බුදුන් වෙතින් හෝ අසා ඉගෙන ගතපච්චාගත වශයෙන් වීර්යය කොට සතරමඟ සතරඵල අවබෝධයට සමර්ථයකුටම ඒ මාර්ගාභිනීහාරය පරිපූර්ණ වෙයි. සමහරුන්ට එදිනම අවබෝධ වෙයි. සමහරුන්ට පළමු සිතෙහි අවබෝධය වෙයි. සමහරුන්ට අනතුරු අත්බැව්හි ප්‍රතිවේධය වෙයි. සමහරුන්ට කල්ප ලක්ෂයකින් ප්‍රතිවේධය වෙයි. දෑගසව්වන්ට එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් ප්‍රතිවේධයවෙයි. පසේ බුදුවරුන්ට දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ප්‍රතිවේධය වෙයි. සබ්බඤ්ඤුඅභිනීහාරය වනාහි අට දහම් පුරා සර්වඥභාවය පතා විවරණ ලබා තමන්ගේ හේතුසම්පත් අනුව සතර අට දොළස යන අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්පූර්ණ කොට සම්මා සම්බෝධියට පැමිණෙන කෙනකුන්හට ඒ සබ්බඤ්ඤු අභිනීහාර නමි.
අපගේ ශාස්තෘන් වහන්සේ බෝසත්ව, එම කල්පයෙහි බුදුවීම පිණිස අභිනීහාර කළහ. එම කල්පයෙහිම සතර බුදු කෙනෙක් උපන්හ. කවර සතරනමක් ද? තණ්හඞ්කර, මේධඞ්කර, සරණඞ්කර, දීපඞ්කර යනුයි. දිවකුරු බුදුන් වෙත බුදුබව පිණිස පැතුම් පැතූහ. එම කප උපන් පළමු තුන් බුදුවරුන් හමුවෙහි මනෝභිනීහාර කළහ. කෙසේ දතයුතු ද? මෙයින් කප්සුවහසක් අධික සාරාසංඛ්‍යයකින් ආදි කප තණ්හඞ්කර නම් බෝසතාණෝ දසපාරමී දසඋපපාරමී දසපරමත්‍ථපාරමී පුරා ඤාත්‍යර්ථචර්යා, ලෝකාර්ථචර්යා බුද්ධාර්ථචර්යා මුදුන් පමුණුවා පැරුම් පිරූ හෙයින් තුසීපුරෙහි ඉපිද ආයු ඇතිතාක් වැස දසදහසක් සක්වළ දේවසමූහයා විසින් බුදුබව සදහා ආයාචනා කරන ලදුව ඉන් චුතව නන්දවතී නුවර නන්‍දිසේන රජුගේ අගමෙහෙසි සුනන්දා දේවියගේ කුස උපදිනු කැමතිව දස දහසක් ෙසක්වළ කම්පා කොට නොඑක් පෙළහර දහස් ගණන් සහිතව පිළිසිඳ ගත්හ.
මහසත්හුගේ මව්කුස පිළිසිඳ ගැන්ම සමඟින්, දේවියට පැවිදිවනු කැමැත්තක් ඇතිවිය. ඈ එපුවත රජුට දන්වා එතැන් පටන් අත්‍යන්තබඹසරින් දසමස් ගෙවා දෙතිස්මහපුරිස් ලකුණින් හෙබි පුතු බිහිකොට සත්වන දින චුතව තුසීපුර උපන්නා ය. තණ්හංකර බෝසත්හු අටවසරදහසක් ගිහිගෙයි වසමින් මහසැප විඳ මහලු ගිලන් මළ පැවිදි යන සිවු දේවදූතයන් දැක ඇත්යානයෙන් මහබිනික්මන් කොට සප්තපර්ණි රුක්මුල්හි සම්මා සම්බෝධියට පත්වූහ.
එකල අප බෝසතාණෝ සුරින්දවතී නුවර සුදර්ශන නම් සක්විති රජවූහ. සරණංකර බුදුන් උපන් කල්හි චක්‍රරත්නය තැනින් සසලවනු දුටු සුදර්ශන රජුට “මේ චක්‍රරත්නය මාගේ පින්බෙලෙන් ජනිත විය. කුමක් නිසා අතුරුදන් වීමට මෙන් තැනින් සසලවීදැ”යි සිත් විය. අනතුරුව නිමිති දන්නා බමුණන් කැඳවා “භවත් බමුණනි, කුමක් හෙයින් සක්රුවන තැනින් සසල වීදැ”යි විමසීය. “මහරජ, බුදුන් උපන් පසු සක්රුවන අතුරුදහන් වෙයි. වෙනත් කිසි උවදුරක් නැත. චක්‍රානුභාවය පිරිහෙයි. සත් දිනකින් රජුගේ පැවිදි වීමෙන් සක්රුවන අතුරුදහන් වෙයි” කියා ඔවුහු රජුට දැන්වූහ. නැවත රජ “තොපගේ පැමිණීමෙන් මෙය දක්වන ලදි. සක්රුවනට කුමක් වේද කියා සිතන්නහුදැ”යි ඇසීය. ඔවුහු “රජතුමනි, ඔබගේ ආයු මඳ බවක් නොමැත. තණ්හංකර දසබලයන් වහන්සේ ලොව උපන්හ. එනිසා මෙය තැනින් සැලුණේය” යි කීහ.
එවිට රජ “බුදුගුණ මහිමය පුදුමයි” කියා සිතී ය. භාවාතිශය හෙතෙම "බුදුගුණ මෙතෙක් දන්නා මාගේ පින් මහිමය අතුරුදන් විය. දැන් මම දසබලයන් වහන්සේ හමුව සම්මාන දක්වා සක්විති රාජ්‍යය උන්වහන්සේට පුදා පැවිදි වන්නෙමියි සිතා සිවුරඟසෙන් සමඟ චක්‍ර රත්නය ළඟ අත්පා දිග හැර වැදහොත්තේය. “මාගේ පින්බෙලෙන් පැවති සක්රුවන බුදුන් පහළවූ විට දැන් අතුරුදහන් නොවේවා. සිය රජය සසුනට පුද කොට මා පැවිදිවන තුරු පවතීවා”යි යාඥා කොට තුබූ තැනම තබා අනූයොදුන් පිරිමඬුලු පිරිස් පිරිවරා පෙරගමන් කොට සක්ලකුණු සහිත සිරිපා වැඳ සෙට දිනට දානයෙන් ආරාධනා කොට දන් සරසා සතියක් ආරාධනායෙන් ගිවිස්වා සක්රුවනෙහි අනුභාවයෙන් තුන්ගවු පමණ සත්රුවන් මඩුවක් කරවා උඩ රෙදි වියන් බැඳ රන්තරුවෙන් සරසා කිනිහිරිමල් බිම අතුරා දසබලයන් වහන්සේට අනර්ඝ වරපර්යඞ්කයක් අතුරාලීය. ආධාරකය කෝටියක් අගනේය. පාපුටුව ලක්‍ෂයක් අගනේය.
දෑගසවුවන්ගේ එක් එක් පර්යංකය කෝටියක් අගනේය. ආධාරකය ලක්ෂයක් අගනේය. පාපුටුව ලක්‍ෂයක් අගනේය. සඞ්ඝනවකයන්ගේ පර්යංකය ලක්ෂයක් අගී. ආධාරකය ලක්‍ෂයක් අගී පාපුටුව පන්සියයක් අගී සාරදහසක් භික්‍ෂූන්ට සතියක් පුරා මහවැස්සක් වසින්නාක් මෙන් මහදන් දී සාගර පර්යන්ත සතරමහාද්වීප සම්පත්තිය බුදුපාමොක් මහසඟනට සිවුපසය සඳහා ආදායම කොට පුදා දඹදිව සිසාරා සුවාසූදහසක් විහාර කරවා ක්‍ෂත්‍රියයන් සුවාසූදහසක් සමඟ සසුනෙහි පැවිදිව තුන්පිටකය ඉගෙන ගතපච්චාගත නයින් අප්‍රමාදීව සමථ විපස්සනානුයෝගයෙහි යෙදී කලුරියකොට ස්වර්ගගාමී විය.
බුදුන් ලොව වැඩසිටිනා තාක් අපගේ සතරදිග ආර්ය ශ්‍රාවක ශ්‍රමණයන් වහන්සේලාට දන් පිණිස අය රැස්කොට භික්‍ෂුසඞ්ඝයාට සිවුපසයෙන් සංග්‍රහ කළේය. තණ්හංකර භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් ආයු ඇති මිනිසුන් අතර උපන්සේක. උන්වහන්සේ සිය ආයුසංස්කාරය පස් කොටසකට බෙදා එක් කොටසක් ශේෂව තිබියදීම පිරිනිවිසේක. සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. එහෙයින් නිවනම උතුම් වන්නේය.
මේ භද්‍රකල්පයෙන් සාරාසැකිකප්සුවහසකට පෙර පසැස් යුත් තණ්හංකර නම් ජිනයන් වහන්සේ ලොව උපන් සේක.
තණ්හංකර සම්මා සම්බුදුන් පිරිනිවි සඳ උන්වහන්සේගේ සසුන අතුරුදහන් වූ කල එම කල්පයෙහිම රැස් කළ කුසල්මුල් ඇති මේරූ කුසල්මුල් ඇති මේරවූ බෝධිඥාන ඇති මෙධංකර බෝසතාණෝ මේඝපුරයෙහි සුමඞ්ගලරජු නිසා සුමහාදේවිය කුස පිළිසිඳ දසමසින් මවුකුසින් බිහිව වසර ලක්‍ෂයක් ගිහිගෙයි වැස මඟුල් ඇත්යානයෙන් මහබිනික්මන්කොට කෑලබෝරුක්මුල්හි පරමාභිසම්බෝධිය ලබා දම්සක් පවත්වා ලොව අවිදු අඳුරු නසා නැණ එළිය පතුරුවමින් මහජන සංග්‍රහ පිණිස සාරලක්‍ෂයක් සඟුන් පිරිවරා වැඩි සේක.
එකල අප බෝසත්හු උපන් තැනින් චුතව සෝමනස්ස නුවර අපමණ සම්පත් ඇති එක්තරා මහාසාර බමුණකුගේ පරපුරට මංගලයක් වෙමින් අහස බබුළුවන දිවසකර මෙන් ඔහුට පුත්ව උපන්හ. මහජන සොම්නස ඇති කළ හෙයින් ඔහුට සොම්නස්ස කියාම නම් තුබූහ. වියපත් හෙතෙම සකලකලා කුසලව සයුර බඳු ගැඹුරු නුවණින් වෙදාන්ත පාරගතව සියලු තීර්ථකවාද බිඳ ඉතිහාසය පස්වෙනි කොට ඇති ලෝකායත ශාස්ත්‍රයෙහි හා බුද්ධවංස කුසලව පිවිතුරු නිර්මල බුද්ධියෙන් බොහෝ මාණවකයන්හට, මන්ත්‍ර හදාරවමින් දිසාපාමොක්ව සත්කාර සම්මාන ලබමින් දනන් දිනා කිසිවකු විසිනුත් දිනිය නොහැක්කේ විය.
ඉක්බිති එක් කලෙක මේධඞ්කර භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ නිවාස නගරයට වැඩි සේක. මහජනයා කුහුලින් යුතුව බුදුන්ට පෙරගමන් කළහ. සෝමනස්ස බමුණු තෙම බුදුන් වැඩිබව අසා පෙර පුරුද්දෙන් සොම්නස්ව කුහුලට පත් මිනිසුන් සමඟ ගොස් තථාගතයන් වහන්සේ දැක බුදුසිරුර දෙතිස්මහපුරිස් ලකුණින් පිරුණු බව දැක බුද්ධමන්ත්‍රයෙහි කුසල බැවින් නිසැකයෙන්ම මේ බුදුහුය යි දැන බහුලප්‍රසාද හටගත් හෙයින් බුදුසරණ ගොස් සෙට දිනට ආරාධනා කොට ගෙට ගොස් මවුපියන් සමඟ දන් සකසා හාරලක්‍ෂයක් භික්‍ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වළඳවා වස්විසීම පිණිස අයැද ගඟ ළඟ ගවුවක් පමණ සත්රුවන් මඩුවක් තනා තෙමසක් සිල් රකිමින් වස් දින පටන් මහාපවාරණය තෙක් අසම කැඳින් බුදුපාමොක් සඟන සැතැප්වූහ. ගෙයින් සත්රුවන් ගෙන ගොස් අතැවැසි තරුණයන්, රාජපුත්‍රයන්, ගෘහපති පුත්‍රයන්හට දී වෙහෙර තිස් දහසක් කරවූහ.
විහාර නිමවූ පසු පැවරීම පිණිස විහාරපූජාව පිළියෙළ කරමින් සිය ගෙයින් සෙසු සියලු සම්පත් ගෙන මහාපූජා සත්කාර සහිතව බුදුපාමොක් සඟනට පුදා බහුල ශ්‍රද්ධාවෙන් සංවේගයට පත්ව වඩාත් වෙර දරා ගිහිගෙන් අනගාරිය පැවිද්ද ලබා ත්‍රිපිටකය ඉගෙන ගත පච්චාගත විසින් විදර්ශනාවශීභාවයට පත්ව ස්වර්ගයට පැමිණියහ. මේධංකර බුදුහු අසූදහසක් අවුරුදු වැඩ සිට පස්වන ආයුසංස්කාර කොටස තිබියදීම පිරිනිවි සේක. මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. බුදුවරයන් වහන්සේලාටත් මාරයා ලජ්ජා නැත්තේය. උත්‍රාසයකුත් නැත්තේය. එහෙයින් සංස්කාරයන්හි අභිනන්දනය දුරුකොට සජ්ජනයන් විසින් නිවන් පැමිණීමට උත්සාහ කටයුතු. එය සත්ත්වයින්ගේ උප්පාද මරණ නැති කරනු කැමැත්තවුන් විසින් බුදු බව ලබනු සඳහා පරිණාමයට පත් කළ යුත්තේ ය.
තණ්හංකර බුදුරදුන්ට පසුව මේධංකර නම් නායකයාණෝ එම කල්පයෙහිම වෙනත් මහා මුනිවරයාණ කෙනෙක් වූහ.
නැවත එම කප සරණංකර නම් බෝසතාණෝ චර්යාප්‍රධන් සපුරා කුසිනාරාවෙහි සුදර්ශන රජුගේ අගමෙහෙසි යසවති බිසෝකුස පිළිසිඳ උපන්හ. ඉක්බිති දසවසර දහසක් ගිහිගෙයි වැස සතර දේවදූතයන් දැකීමෙන් හටගත් සංවේගයෙන් ඇත්යානයෙන් මහිබිනික්මන්කොට පිප්ඵලි බෝරුක් මුල්හි සම්මාසම්බෝධිය ලබා දම්සක් පවත්වා සතර සෘද්ධිපාදයන්හි පිහිටුවා ධර්මකාය ඔසවා දහම්සොඬින් මෙත්දිය විසුරුවා විසම දෘෂ්ටිප්‍රපාත සමකොට ධ්‍යාන පර්යංකයෙහි විදර්ශනාධාරඵලකය නිමවා මහජනයා සිවුමඟ හිඳුවා සිවුඵලයෙන් සතප්වා නිවන් අමාරසයෙන් සනසවා බුදුමහඇත්බල දක්වමින් තීර්ථක දමන ගජමද විශාරදතාවෙන් උප්පාදවයඤාණ නම් නිමල විපුලනෙත් ඇති මග්ග - වික්ඛෙප නම් තියුණු දත් ඇති, සමථ-විපස්සනා නැමැති මහකුඹ ඇති සති-සම්පජඤ්ඤ නම් සොඳුරු කන් ඇති සර්වඥතාඥාන නම් අත් ඇති, සතිපට්ඨාන නම් සුපිහිටි සිවුපා ඇති විපුලවිවෙක වාලධි ඇති සරණංකර තථාගත වරගජෙන්‍ද්‍රයාණෝ කරුණා ජල විසුරුවමින් දඹදිව් තෙලෙහි හේතු සම්පත් ඇත්තවුන් සනස සනසා චාරිකා කළසේක.
එකල අප බෝසතාණෝ පළමු භවනයෙන් චුතව සුනන්‍දවතී බමුණුගම අපමණ කෙළ ගණන් සම්පත් ඇති සමිද්ධි බමුණු කුලයෙහි උපන්හ. යසමහත්වය නිසා යසවා නම් වූහ. විපුල කුලයෙහි උපන් බැවින් ද දැන උගත් කමින් යුක්ත බැවින් ද අග්‍රව ලොවට මඞ්ගලයක් වූහ. පසුකලෙක එතුමා සරණංකර බුදුරදුන් ශ්‍රාවකයන් සමඟ සිය ගමට වැඩිකල පන්සියයක් තරුණයන් පෙරටු කොට ගඟ අයින්හි සක්මන් කරද්දී මහබික්සඟන පෙරටු කොට ඉදිරියට වඩිනු දුටුවේය. හෙතෙම දැක ආශ්චර්ය අද්භූතව පුබුදු සිතින් බුදුන් කරා එළඹ යාම් ඊම් හැකිළීම් දිගහැරීම් ඉදිරි බැලීම් පසු බැලීම්හි පැහැද අතවැස්සන් සමඟ වැලිගොඩක් ගසා සිය උතුරු සළුව අතුරා “භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා, මෙහිම වැඩ හිඳින සේක්වායි” එය පූජා කළේය.
හෙතෙම බුදුන් වඩා හිඳුවා සිය ගෙදොරින් තෙල්-මී-පැණි ආදිය ගෙන්වා ගෙන ඉන් බුද්ධප්‍රමුඛ භික්‍ෂූන් සතප්වා මඟවිඩා සන්සිඳුවා භාග්‍යවතුන් වහන්සේට සහ භික්‍ෂූන්ට වැඩවිසීම පිණිස රෙදි මඩුවක් කොට පිදීය. අනතුරුව ගෙට ගොස් කිරි-සහල්-මී-ගිතෙල්-හකුරු-පැණි ගෙනවුත් මිහිරි කිරිබතක් තනා බුද්ධප්‍රමුඛ හාරලක්‍ෂයක් භික්‍ෂූන්ට මාහැඟි අසුන් පනවා වඩා හිඳුවා කිරිබතින් සතප්පා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පාවෙන් තෙමස මෙහි වස් වසනසේක්වා”යි ආරාධනා කළේය. ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක. ඉක්බිති ඒ බමුණු තෙම ගඟට නුදුරෙහි සත්රුවන් මඩුවක් කරවා තෙමස මහායඥයක් කළේය. මහා යඥය නම් අස්සමෙධ - පුරිසමෙධ - සම්මාපාස - වාජපෙය - නිරග්ගල යඥය නොවේ. එහි වධහිංසා බොහෝ ය. මහායඥය නම් අභිප්‍රායානුකූල වර්ණ ගන්ධ රස ඕජා සම්පන්න ආහාරපානයයි.
මෙය පුදන්නහුට යහපත්කම වෙයි. පාපයක් නොවෙයි. පූජාව ද මහත් වෙයි. දෙවියෝත් පහදිති.
හෙතෙම මෙසේ වැල්මී දැහැටි උපචාර පුද කොට සත්රුවන් සැටකින් උතුම් ගඳකිළියක් කරවීය. එය පිරිවරා පිරිවෙන් සදහසක් ද තනවා සෙසු ධනය ද සසුන්හි පුදා ගිහිගෙහි නොඇලී අනගාරිය පැවිද්ද ලබා පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ආයු කෙළවර බඹලොව උපන්නේය. සරණංකර භාග්‍යවතුන් වහන්සේ ලක්‍ෂයක් ආයු ඇති මිනිසුන් අතර ඉපිද සව්සතුන් වෙත මහාකරුණා පැතිරවූහ. එබැවින් සව්සත්හු බුදුන් පිරිනිවෙනතුරු උනුන් කෙරෙහි වෛර නොකළහ. භාග්‍යවතුන් වහන්සේ ආයුසංස්කාරය පස් කොටසක් කොට පස්වන කොටසට පෙරාතුවම අනුපාදිසේස නිවනින් පිරිනිවිසේක. මෙසේ මේ සංස්කාරයන්හි සංවේගවන කුල පුත්‍රයන් විසින් අප්‍රමාද විය යුතු.
සරණංකර සම්මාසම්බුදු පිරිනිවනින් එම කපම මිනිසුන්ගේ අවුරුදු ලක්‍ෂයක් වූ ආයු පිරිහී දසවස් වූ කල්හි අන්තර කල්පයක් විය. එය ගෙවුණු පසු ක්‍රමයෙන් වැඩී අසංඛ්‍යායුෂ්ක විය. එය නැවත පිරිහී වසර ලක්ෂයක් ආයු වූ කල දඹදිව අමරවතී නම් නුවරක් විය. එහි අමර නම් මාළුවෝ ය. වතී යනු පවුරයි. ඒ නගරය සතුරන් වළකනු පිණිස තිස්රියන් උස මනොසිලාමය, රළුමුඛයෙන් තියුණු මස්කැස්බන් ගහන පවුරකින් වට කරන ලද්දේය. එහෙයින් අමරවතී කියා ලොව ප්‍රකට විය. පරම රමණීය දර්ශනීය වීථි, සිවුමංසන්‍ධි, මිදුල්, ගොපුර, අට්ටාල, කවුළු, තොරණ ආදිය ඇත්, ගව, මීන රූපාදියෙන් සුසොභිත පිවිතුරු කැටයමින් ද කිකිණි දැල් රුවන් ඉර හද කොඩි හංසපන්ති ආදියෙන් සරසන ලද හෙයින් ද දුටුමතින් මනොභිරාම විය. එහි දිවා රෑ ඇසෙන මධුර නිග්ඝොසයෙන්, කෙළි නළුයෙන්, බෙර, සක්, මෘදංග, වීණා, පටහ, නාදයෙන් තාල ගීත වාදිත හඬින් ඇත් අස් රථ මිනිස් ශබ්දයෙන් අතරක් නැත්තේය. සමෘද්ධිමත්ය. පිරුණේය. රන් රිදී පබළු මිණි මුතු නිල්මිණි රතුමිණි වෛරොඩි ඈ රුවනින් පිරුණේය. බහුවිධ ආහාර පාන ධනධාන්‍යාදියෙහි පමණ නැත්තේ ය. නානා ජාති ගෝත්‍ර විනය ශිල්ප වෙසභූසාදියට අයත් ජනයාගෙන් ආකුලය. මිනිස් පරිභෝගයට අනුරූප උපකරණ යුත් ආලකමන්දා රාජධානිය මෙන් වූයේ ය.
එකල්හි අප බෝසතාණෝ සරණංකර සම්මා සම්බුදුන් ඉදිරියෙහි මග්ගාභිනීහාරය සපුරා එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා දිවකුරු මුනිඳුන් ඉපදීමටත් පෙරාතුව උපන් ලොවින් චුතව අමරවතී නුවර නොඑක් කෙළ ගණන් සම්පතින් යුත් මහත් කීර්තියෙන් ප්‍රකට බමුණු මහාසාරකුලයක එකම පුත්ව උපන්හ. සුමේධ යයි එතුමාට නම් විය. එහි සුමේධ යනු, මෙධා නම් ප්‍රඥාවයි. යම් ප්‍රඥාවක් පජානනා විචය පවිචය ධම්මවිචය සල්ලක්ඛණ උපලක්ඛණ පච්චුපලක්ඛණ, පණ්ඩිච්ච කොසල්ල නෙපුඤ්ඤ වෙභව්‍යාචින්තා උපපරික්ඛා භූරිමෙධා පරිණයතා විපස්සනා සම්පජඤ්ඤ පඨොද ප්‍රඥාඉන්‍ද්‍රිය ප්‍රඥාබල ප්‍රඥායුධ ප්‍රඥාප්‍රාසාද ප්‍රඥාආලෝක ප්‍රඥාරත්න අමෝහ සම්‍යක්දෘෂ්ටි යයි කියනු ලැබේ නම් එයයි. මෙහි ලා ඒ ප්‍රඥාව ස්කන්‍ධ ධාතු ආයතන සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදයන් අවබෝධ කිරිමට සමත් වජ්‍රයක් මෙන් තියුණු ප්‍රඥාවයි. එ බැවින් එම සුන්දර ප්‍රඥාවෙන් යුක්ත බැවින් සුමේධ යයි කියැවේ.
එතුමෝ මව්පිය දෙපසින් සුජාත වෙති. එතුමාගේ පියාණෝ සුදේව රජුගේ පියමහරජහුගේ අග්‍රපුරෝහිත ආනන්‍ද නම් වෙති. බැමිණිය මෑණියෝය. මෙසේ දෙපසින් සුජාතය. ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ ය. නින්දා නොකරන ලද්දේ ය. එහෙයින් සුමේධ බ්‍රාහ්මණ යයි දන්නා ලද්දේ ය. මවුපියන් විසින් ශිල්ප හැදැරීම පිණිස යවන ලද වියපත් හෙතෙම කහවනු දහසක් ගෙන තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරන් පාමුල තබා ත්‍රිවේදය, හදාළේය. අභිනීහාර ඇති හෙයින් නොබෝ කලකින්ම ත්‍රිවේද පාරගත වූහ. නිඝණ්ඩු කෙටුභ ශාස්ත්‍රයන් සහිත ශික්‍ෂා නිරුක්ති අක්‍ෂර ප්‍රභේද ඇතුළු ඉතිහාසය පස්වැනි කොටැතිව දත් පද පාඨ ව්‍යාකරණ දන්නා ලෝකායත ශාස්ත්‍රයෙහි මෙන්ම මහාපුරුෂ ලක්‍ෂණයන්හි ද නොදෙවැනි ඇත් අස් රථ ආයුධ ශිල්පයන්හි ද චන්‍ද්‍ර සූර්ය නක්‍ෂත්‍ර සෘතු උල්කාපාත සිහින පුහුණු කිරීම මුද්‍රා ගණනාදියෙහි සර්වපාරගතව අශ්ව ශිල්පකුසල දිසාපාමොක්ව ගුරුන් විමසා වැඳ පැදකුණු කොට සිය නුවරටම පෙරළා පැමිණ තමන් උගත් සිප්සතර දෙගුරුන්ට කීය. සොම්නසට පත් මවුපියෝ ඔහු පවුල් භාරයෙහි තැබූහ.
මවුපියන් විසින් පවුල්භාරයෙහි පිහිට වූ හෙතෙම බොහෝ සියගණන් තරුණයන් මන්ත්‍ර හදාරවමින් වාසය කළේය. පසුකලෙක ඔහුගේ මවුපියෝ කළුරිය කළහ. එතුමා ඔවුන්ගේ අවසන් කටයුතු නිමවා හිසෙහි නා සියලු ධනය භාරගත්තේ ය. ඉක්බිති රුවන් භාණ්ඩාගාරික තෙම එතුමන් වෙත පැමිණ “ස්වාමීනි, ඔබගේ මවුපියන් සතු භාණ්ඩාගාර බලනු මැනවැ”යි කීය. එතුමා මැනවැයි කියා පිරිසිදු සුවඳවත් හැඳ සොඳුරු සුවඳ විලෙවුන් ගැල්වූ සිරුරින් විචිත්‍රකුසුමමාලාධාරීව හිස්වෙළුම් වෙළා රන්මිරිවැඩි පයලා මකරමුහුණින් සරසන ලද විවිධ රන්කමින් විසිතුරු මුතුතල්වැට අතින් ගෙන රුවන් කොටුගුළු නැරඹීමට ගියේ ය. භාණ්ඩාගාරික තෙම රුවන් පිරි භාණ්ඩාගාර ගැබ්දොරටු විවර කොට මවුපිය පරපුරෙන් රැස් වූ භෝගසම්පත් වර්ග කරමින් පෙන්වීය. සුමේධ පණ්ඩිතයෝ ඒ බලා භාණ්ඩාගාරික අමතා “දරුව, මේ ධන සම්පත් කවුරුන් විසින් රැස් කරන ලද්දේ දැ”යි විමසූහ. “ස්වාමීනි, ඔබගේ පිය මුතුන් විසිනැ”යි මුල් ලියැවිලි කියවා “අසවලාට පෙර ඔබගේ මීමුතුන්ට මෙතෙක් ධන ලැබුණේ ය. අසවලා ඔහුගේ මුනුබුරාය” කියමින් වංසපරම්පරා පිළිවෙළින් කියවීය.
එවිට සුමෙධ පණ්ඩිතයෝ දරුව භාණ්ඩාගාරිකය, ධන සමෘද්ධිය නම් තමාගේ පරිභෝජනය සඳහා බව පෙනේ. මේ ධන සම්පත් සමූහය අතහැර හිමියෝ කොහි ගියාහුදැ?”යි විමසූහ. “ස්වාමීනි, තමන්ගේ ආයුෂ ගෙවීමෙන් සිය කර්මයට අනුව ගියහ. වෙනත් තන්හි උපන්හ.” “සම්පත් නොගෙන කුමට ගියාහු ද?” ස්වාමීනි, කුමක් කියන්නහු ද? එය වැරදිය. ලොව අනිකක් කුමට කියමු ද? සම්පත් අතහැර යායුතුය. ඒ සමඟ යන දෙයක් නොවෙයි. මෙලොවින් ගෙන යන පාදයක් අඩමස්සක් මස්සක් තබා තණකොළයක් ඉරටුවක් වත් පරලොව ගෙන යා නොහැකිය. අනික් සම්පතක් ගැන කුමක් කියන්ට ද? තමන්ගේ ශරීරය වත් ගෙන යා නොහැකිය. ස්වකීය කර්මය පමණක් මෙලොවින් යන්නවුන්ට සහාය වෙයි. එබැවින් ඔවුහු නොගෙන ගියහ”යි කීය.
භාණ්ඩාගාරිකගේ කතාව අසා සුමේධ පණ්ඩිතයෝ සංවේගපත් හදවතින් “ඇයි දරුව, මාත් ඔවුන් ගිය මඟින්ම යා යුතු වෙයි ද?” කීහ. “ස්වාමීනි, මෙය මුළු ලොවටම සාධාරණ ධර්මතාවයි. පෑවූ ඉර බැසයාම මෙන් උපන්නවුන් අවශ්‍යයෙන්ම මිය යා යුතුයි උපන්නවුන්ට මරණය නියතයි” එයසා සුමේධ පණ්ඩිතයෝ ආදීනව දැන ආදීනව බොහෝ බැවින් මළානික මුවපියුමින් එතැනින් ආපසු ගොස් හිසෙහි නා පිවිතුරු නිර්මල පඬෙරවන් පිළී හැඳ සිහිල වළඳා මතුමහල් තලයෙහි විවෙකව තනිව පළඟෙහි හිඳ මෙසේ සිතීය.
ලොව පුනර්භවය දුක් ය. සිරුර බිඳී යාම් නම් වූ මුළාමරණය දුකය. ජරාවෙන් මිරිකීම ද දුකය. මම ජාති ස්වභාව ඇත්තෙමි. ජරා ස්වභාව කොට ඇත්තෙමි. හැමදා මරණ ස්වභාව කොට ඇත්තෙමි. ජරා රහිත මරණ රහිත ක්‍ෂෙමවු නිර්වාණය සොයන්නෙමි. නොඑක් කුණපයන්ගෙන් පිරුණු මේ කුණුශරීරය හැරදමා අනපේක්‍ෂිතව අනර්ථීක කොට සිතා යන්නෙම් නම් මැනව. යාම් ඊම් ඇසුරු කළ ජාති බියෙන් බොහෝ තැති ගැනීම් ඇති ජරා රෝග කැළඹීම් යුත් මේ සක්කාය නගරය ලෙඩ දුක්වලට වාසගෘහයකි. මර සතුරන් මඩිනු ලබයි. ශෝක සන්තාප බහුලය. වැලපීම් උවදුරු බහුලය. දුක් සහිත කුටියකි. දොම්නස් බියෙන් ආකුලය. උපායාසයෙන් පීඩිතය, සිය දුක් දරන්නේය. රාග ඇතුන්ට වාසභූමියකි. ද්වේෂ සර්පයන්ගේ නිවාසයකි. මෝහ භූතගණයාගෙන් ආකීර්ණය. ක්‍රෝධ රකුසන් ඇසුරු කරන ලද්දේ ය. උපනාහ බාලයන් බහුලය. මකු කුම්භාණ්ඩයන්ගේ ඇසුර ඇත්තේය. පලාස සොරුන් හැසුරුණේය. ඊර්ෂ්‍යා සතුරන්ගෙන් පිරුණේය. මසුරු ගිනිහල්ගෙයකි. මායා වෙළඳ පොළකි. ථම්භධූර්ත සමූහයෙන් පිරුණේය. අතිමාන යෝධයන් පෙරටු කොට ඇත්තේ ය. මද ගාන්‍ධර්වයන් බහුලය. ප්‍රමාදීන්ගෙන් පිරුණේය. ලෝභප්‍රාකාරයෙන් වටවිය. තෘෂ්ණාගංගාව දියුණු කරයි. වැගිරෙන නවදොරක් ඇත්තේය. මානඵලඔසවා ඇත. අතිශයින් බහුල ගඳ ඇත්තේ ය. විතර්ක මැස්සන්ගෙන් ගහණය. ප්‍රමාද ගොස ඇත්තේය. තැනූ විෂය ආපන ශාලාවකි. බොහෝ දෘෂ්ටි වගුරුවයි. අනුසය බමුණු නිවාසයකි. සංයෝජන මහ ඇමතියාය. මිථ්‍යාධර්ම විනිස කරුය. දුසිරිත් පිරිවරය. විසම ලෝභය පෙරටු කොට ඇත්තේය. නන්‍දිරාග මහඇමතියා නගරය රකී. එහි අඥාන රජ ආධිපත්‍යය දරමින් රජකම් කරයි” කියා ය.
එතුමා මෙසේත් සිතීය. “අවිදු අඳුරු ඇති මරණබියෙහි ගිලුණු තෙවැදෑරුම් දුක් විඳින කෙලෙස් කටු පිරි තණ්හා අවුලින් වියවුල්වූ මසුරු කිළුටෙන් කිළිටිව පවිටුමිතුරන් අනුව යමින් සසර මහකතරෙහි මේ සත්ත්වයෝ විසම දුර්ගම කණුකටු ගහණ වනගත අඳමීමුන් මෙන් තමන්ගේ නිස්සරණය නොසොයා හැසිරෙති. මම නම් අන්‍ධබාල ජනයා මෙන් හිතාහිතවිහරණ රහිතව සසර ඇලී වාසය නොකරමි. මම දැන් තම නිස්සරණය සොයමින් හැසිරෙමි”යි විදර්ශනානුගත සම්මර්ශනය ඇරඹී ය. තණ්හංකර, මේධංකර, සරණංකර, සම්මා සම්බුදුවරුන්ගේ සසුනෙහි භාවනා වඩා මුහුකළ නුවණ ඇති එතුමාගේ සිත ගෘහවාසයෙහි නොඇලී ගියේ ය. නෛෂ්ක්‍රම්‍යාභිමුඛම විය. එහෙයින් එතුමා නිස්සරණයම සොයමින් මෙසේ සිතීය.
නිස්සරණයෙක් අවශ්‍යයෙන්ම ඇත්තේ ය. එය හේතු ඇතිවම විනා හේතුවකින් තොරව නොලැබිය හැක්කේ ය. සසරින් මිදීම පිණිස ඒ මග පර්යේෂණය කරමි. දුකක් ඇති කල සැපක් ද ඇත. එමෙන් භවය ඇති කල විභවයක් ද කැමති විය යුතුය. උෂ්ණය ඇති කල සීතලක් ද ඇත්තා සේ රාගාදි තෙයාකාර ගිනි ඇති කල නිවනක් ද කැමති විය යුතුය. පව් ඇති විට කුසල් ද ඇත්තා සේ ජාති ඇති කල අජාතියක් ද කැමති විය යුතුය. අශුචි වලින් තැවරුණු මිනිසෙක් පිරුණු පොකුණක් දැක ස්නානය නොකරයි නම් එය පොකුණෙහි දොසක් නො වන්නාක් මෙන් කෙලෙස් සේදීමක් තිබෙද්දී අමාවිල නොසොයයි නම් එය නිවන් මගෙහි දොසක් නොවේ. රෝගියෙක් වෙදා සිටිද්දීත් පිළියම් නොකරවයි නම් එය වෙදහුගේ දොසක් නොවන්නාක් මෙන් කෙලෙස් ලෙඩින් දුක් පීඩාවට පත්වූවෙක් ඇදුරකු නොසොයයි නම් එය ගුරුවරයාගේ දොසක් නොවේ. ගෙල බැදි කුණපයක් පිළිකුලින් මුදා දමා සුවපත්ව ස්වෛරිව තමා කැමති පරිදි යන්නාක් මෙන් නානාකුණප එකතුවක් වූ මේ කුණුශරීරය අනපේක්‍ෂව අනර්ථිව හැරදමා යමි. වැසිකිළියෙහි අසූචි අනපේක්‍ෂව අනර්ථව ගැහැනු මිනිසුන් යන්නාක් මෙන් නත් කුණු පිරි මේ සිරුර වර්චස් කොට කුටිය හැරයන්නාක් මෙන් හැරදමා යමි. දිරාපත් කැඩුණු දියකාන්දු වන නැව හිමියන් අනපේක්‍ෂව අනර්ථව හැර දමන්නාක් මෙන් නවසිදුරකින් නිතර වැහෙන්නාවූ දිරූ නැවක් වන් මේ ශරීරය හැර දමමි. සොරුන් විසින් ලුහුබඳිනු ලබන බඩු රැගෙන යන මිනිසෙක් බඩු හැරදමා යන්නාක් මෙන් මහසොරෙකු වන් මේ සිරුර කුසල් පැහැර ගන්නා බියෙන් හැරදමා යමි.
මේ සිරුර සතර මහාභූතයන්ගෙන් යුක්තය. මවුපියන්ගෙන් හටගත්තේය. බත් පිට්ටු ආදියෙන් වැඩුණේය. කාරණා විලේපනයෙන් ඇති සැටි නොපෙනෙන්නේය. කය සමින් වැසී ගියේ ය. තමහට පරහට සුභනිමිත්තක් සේ ගන්වන හෙයින් නුනුවණින් මෙනෙහි කිරීමෙන් රවටාලන බොරු කහවනුවක් මෙන් හම පමණක් මනහරය, කුසල් සිඳින බැවින් පසමිතුරකු බඳුය. මහා සොරෙකු බඳුය. චාතුර්භූමික කුසල්දහම් විලෝප කොට අකුසල්දහම් මඟ ඇල්ම උපදවයි. මම වනාහි ධන පහරින මහසොරකු බඳු කුසලට සතුරු සංසාරයට හේතුභූත වූ කය හැර තමාගේ සුවමඟ සොයන්නෙමි. ඉඳින් මේ කය හැර දමා කිංකුසලගවේසීව ආර්යමාර්ගය නොසොයා හැසිරෙම් නම් දෘෂ්ටි සොරු චතුභූමක කුසල් සිඳ අපායගාමී කොට අක්මුල් නැති සසර උඩයට ගන්වා සැප වේදනා විරහිත කොට ඔබ මොබ අදිමින් කැමැත්තක් කරති.
මම දැන් නොපමාව කවර උපායකින් සිත තමා වසඟයෙහි තබන්නෙම් දැයි විමසමින් මෙසේ සිතීය. “මේ ගිහිගෙයි වාසය මහාපළිබෝධ සහිතය. යොදුනක් පළල මහදැලක් කටියෙහි බැඳ කටුවෙන් ගහණ හිඹුල් වනයක් මෙන් සසරවට පසුකිරීමට නොහැකිය. පළිබොධ පසිඳ පැවිදි වන්නකු විසින්ම සසරදුක් කෙළවර කළ හැකිය.”
මෙබඳු නොඑක් උපමාවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදීමේ අර්ථය සිතා සිය අපරිමිත භෝගස්කන්ධය හැරදමා පැවිදි වනු කැමැති සුමේධ පණ්ඩිතයන්ට මෙසේ සිත් විය. “මේ මහාධනය නම් ලෝභය උපදවන හෙයින් දුප්පතුන්ට ද අන්තරායකරය, මාගේ මේ මහාසම්පත් රජුන්ට ද ආශා උපදවයි. අන්‍යයන් ගැන කවර කථා ද? දුප්පත් ශාක්‍යයන්ගේ සිත් ද දුබල නැත. මේ සම්පත් අනුන්ට නොදී වන වැදීම ද අන්තරායකරය. දැන් රජුට දන්වා අවශේෂ දෙය පොහොසතුන්ට දුප්පතුන්ට ප්‍රයෝජන ඇත්තවුන්ට දෙමි කියා.” තීරණය කොට රජු වෙත ගොස් “මහරජ, මාගේ ගෙයි අනන්ත ධනය තිබේ. මුහුදු වෙරළෙහි වැලිමෙන් අවසන් කළ නොහැකිය. හැමදා මුහුද මෙන් සියලු භාණ්ඩාගාර පිරී පවතී. ඒ සියල්ල ඔබ වහන්සේ පරිහරණය කළ මැනව. සිය පුරුෂයන් යවා ගෙන්වනු මැනව. විමසා බලා එහිම හෝ තබනු මැනවැ"යි කීය. එවිට රජ “පණ්ඩිතය, ඔබ කුමක් කරන්නෙහිදැ”යි ඇසීය. “මහරජ, මම කාමාදීනවත් නෛෂ්ක්‍රම්‍ය ආනිශංසත් දිටිමි. මම සියලු පළිබෝධ සිඳ පැවිදි වන්නෙමි”යි කීය.
ඉක්බිති රජ “මම මොහුගේ පියා මිය ගිය පසු පිළිසඳරක් නොකෙළෙමි. එයින් මොහු කලකිරී සියල්ල දන් දී මහණවීමට සිතනවා විය හැකිය. දැන් මම සම්පතින් සනසවා ලමි”යි සිතා සුමේධ පණ්ඩිතයන්හට “පණ්ඩිතයෙනි, පණ්ඩිතයෝ නම් වැරදි ඉවසති. එනිසා පණ්ඩිතයයි කියති. මම ඔබගේ පියා මළ පසු ඔබ සමඟ පිළිසඳරක් නොකෙළෙමි. එයින් කලකිරුණෙහි යයි සිතමි. ඔබ අපට අවැඩක් නො කැමැත්තෙහිය. එබැවින් ඔබ ගේ පියා මියගිය හෙයින් පියාසතු පුරෝහිත පදවිය දෙමි. වේලාව එනතුරු සිටියෙමි. මෙවක් පටන් පුරෝහිතකම සමඟ පියාසතු ධනදායාද පරිහරණය කරන්නැ”යි කීය. “මහරජ, මට ධනයෙන් හෝ යසසින් වැඩක් නැත. මම මේ සියල්ලට වඩා අනවරාග්‍ර සංසාරයෙහි නුදුටු විරූ ආස්වාද නොකළවිරූ නිරාමිස විමුක්ති සැපය දකිමි. එහෙයින් මාගේ අභිමතය පැවිද්දය” කීය.
එවිට රජ නොසතුටුව “සුමේධ පණ්ඩිතයෙනි, ඔබ කැමති තැනකින් කුලානුරූප පැහැපත් සොඳුරු වූ ද බුහුටි ගැහැනුන් නළඟනන් සහ වෙනත් සම්පත් ද දෙමි. ඔබ මටත් අනුශාසනා කරමින් මේ ගැනත් බලන්න. මා අනාථ නොකරන්නැ” යි කීය. එවිට “මහරජ, මේ සතුන්ගේ ජීවිතය, අනියතය. ජලය මෙනි. මායාවකි. මිරිඟුවකි. ගාන්‍ධර්ව නගරයකි. පෙනපිඩුවකි. දියබුබුලකි. නියත වශයෙන්ම නැති වෙයි. ඔබට අනුශාසනා කිරීම මට නොහැකිය. දැන් මට කථා කරමින් සිටීමත් පමාවකැයි හැඟේ. කුකුසක් නැතිව ධනය ගෙන්වා ගත මැනැවැ”යි සුමේධ පණ්ඩිතයෝ කීහ. රජ “පණ්ඩිතයෙනි, ඔබ සිය ධනය කෙළපිඩක් මෙන් නොතකා තෑගි කොට පැවිදිවන්නෙහි නම් මෙය මට නොගැළපෙයි. ඔබම සිය සම්පත් සිත්වූ පරිද්දෙන් කැමැත්තවුන්ට දෙන්නැ”යි කීය. “මහරජ, ඔබටත් මටත් මේ ධනයෙන් පලක් නැත. කැමැත්තන්ට දෙමි. ඔබ වහන්සේ සුමේධ පණ්ඩිතයෝ අනන්ත ධනය කැමත්තවුන්ට දෙති. අවශ්‍ය වන්නෝ පැමිණෙත්වා කියා නුවර අණබෙර ගස්වනු මැනවැ”යි රජුට කීහ. මැනවැයි රජ එසේ කළේ ය.
අණබෙරයෙන් මහජනයා රැස්වූහ. සුමේධ පණ්ඩිතයාණෝ භාණ්ඩාගාර දොරටු හරවා ආ ආ මිනිසුන්ට ආ ආ ජනයාට ගෙනා ගෙනා භාජන පුරවා ගෙන යන්නවුන්ට සතියක් මහදන් දුන්හ. සතියකිනුත් එක් භාණ්ඩාගාරයක රුවන් පමණක් වත් අවසන් නොවීය. එවිට සුමේධ පණ්ඩිතයෝ “සතියකින් එක් භාණ්ඩාගාරයකුත් හිස් නොවීය. මේ අඩතෙලෙස් දහසක් කොටුගුල් කෙසේ හිස් වෙයි ද? සියලු කොටුගුල්වල යතුරුමුදු නුවර මැද තබා සියලු සම්පත් දෙන ලදි. ප්‍රයෝජන ඇත්තෝ ගෙන යෙක්වා කියා අණබෙර ගස්වන්නේ නම් මැනවැයි සිතා එසේත් කොට රජු කරා ගොස් සියලු දාසිදාස ණයකරුවන් නිදහස් කොට ලියවිලි නසා නෑයන්ට අවවාද දී ගිනිගත් ගෙයකින් පිටවන්නකු මෙන් නිරපේක්‍ෂව ගෙදොරකඩ සිටවූ මහගසක් මෙන් ඒකචාරී මහඇතකු මෙන් තියුණු කඩුවක් අමෝරා ලුහුබැඳ එන සතුරකු දුටු බියගුලු පුරුෂයකු මෙන් වස්තුකාම ක්ලේශකාමයන් හැර දමා සුමේධ පණ්ඩිතයෝ අමර නුවරින් නික්ම තමන් අභිමත තැනට, හිමවතට පිවිසියහ.
හිමවතට නුදුරුව ගවුවක් පමණ පෙදෙසෙහි ධම්මික නම් පර්වතයක් විය. නෛෂ්ක්‍රම්‍යය සොයන, සෘෂි පැවිද්දෙන් පැවිදි වූ කුසල්දහම් සොයන බෝසතුන්ට සුදුසු වූ හෙයින් ඒ පර්වතය ධම්මික නමින් දන්නා ලද්දේය. එම ධම්මිකපර්වත සමීපයෙහි ඡායා-ජල-මල්-පල-දලු-පැළ-තුරු-ලතා යුත් පර්වත ස්ථානයෙහි වන ගහණයෙන් වට පිවිතුරු සමතල බිම්කඩකට පැමිණියහ. එකල එතුමන්ගේ ගුණතෙදින් සක්දෙව් රජහුගේ පඩුඇඹුල් සලසුන හුණු විය. එවිට ශක්‍රයා ආවර්ජනායෙන් එකරුණ දැන විස්කම් දෙව්පුතු යවා අසපුවක් කරවීය. විස්කම් දෙව්පුත් මොහොතින් එතැනට පැමිණ සිය සෘද්ධි බලයෙන් ආශ්‍රමයක් මැවීය. මෙහි අස්සම නම්, විසම අදහස් සම කරන බැවින් අස්සම නමි. වීරතරුණයන්ගේ වාක් මනෝ කර්මයන් සම කරන හෙයින්, කෘෂිකර්මාදි පරිශ්‍රමකර්ම රහිත හෙයින් ද, තපසංඥා ඇතිකරන හෙයින්, අටගුණයක් ඇති නිසා මහණසුව අටක් ඇති බැවින් ද අස්සම නම් වන්නේය.
මහණසුව අට කුමක් ද? ධනධාන්‍ය පිළිගැනීමක් නැති බව. පිඬු සොයාගත යුතු බව, සිසිල්පිඩු බුදින බව, රට පෙළීමක් නැති බව, උපකරණ පිළිබඳ ආශාරහිත බව, සොරබියෙන් තොරබව, රජමහඇමතියන් හා නොමුසු බව, සිවුදිගින් ආරක්‍ෂිතබව යි. මේ අට වැදෑරුම් ශ්‍රමණ සැපයෙන් යුත් ආශ්‍රමය මවා එහි පන්සල මැවීය. එම පන්සල ද වළගොඩ රහිත සමතලා භූමිභාගයෙහි රිදීවන් වැලිතලයෙන් ද වාඩිවී සිටින සිංහාකාරවූ අට පා ඇති බිදලමඤ්ච පැනවූ ගර්භයෙන් හා බිසිබිම්බෝහනාදි විවිධ තවුස් පිරිකරින් ද රාත්‍රිස්ථාන දිවාස්ථානාදියෙන් ප්‍රධන් වැඩීමට සුවපහසු ඇත්තේ ය. මෙවැනි පන්සල මවා පස්දොස් රහිත සක්මන මැවීය. සක්මන නම් පයින් ගමන් කරන තැනකි. එහි සක්මන් කෙරේනුයි සක්මන යි. ඒ සක්මන පංච දෝස රහිතව මැවී ය. පස්දොස් කුමක් ද? වළ ගොඩැලි සහිත බව, බාධා සහිත බව, ගල් බොරළු බහුල බව, ගහණයෙන් සැඟවුණ බව, අතිවිශාල බව යන මේ දොස් පහ රහිත බවයි. විසමයෙහි සක්මන් කිරීමෙන් පා රිදෙයි, ගඩු හටගනී, සිත එකඟ නොවෙයි. ඉන් කම්මට්ඨානවසිතාව නූපදී, ශරීරදුක් නිසා වීර්යය අත්හරී. විසම සක්මනෙහි දොස් මේ ය. සමතලා සියුම් වැලි ඇති තැන විවිධ මනෝඥතා ඇති හෙයින් සිත එකඟ වෙයි. එනිසා අරමුණෙහි විශේෂත්‍වයට පත්වෙයි. සම්බාධ සහිත සක්මනින් හැපීම් තැති ගැනීම් ආදි දොස් ඇතිවෙයි. එහෙයින් බාධා දුරු කළ යුතුය. ගල්බොරලු ඇති සක්මනෙන් පාවල වණ ඇතිවෙයි. පාවේදනාදියෙන් සිත එකඟ නොවෙයි. ගොමුවලින් සැඟවුණු අඳුරෙහි සක්මනින් ගෝනුසු පත්තෑ මුගටි බළල් ආදීන්ගෙන් උවදුරු වෙයි. අතිවිශාල සක්මනින් සිත හාත්පස දුවයි. එබැවින් අතිවිශාල නොව පළලින් රියන් දෙකක් ද දෙපස පරිවාර වූ අනුසක්මන ද සහිත දිගින් සැටරියන් වන සේ සක්මන විය යුතුය. විස්කම් දෙව්පුත් මේ පස්දොස් රහිත පස් අනුසස් සහිත සක්මන මවා දෙව්ලොවටම ගියේ ය. සුමේධ පණ්ඩිතයාණෝ හිමවත් පියසෙහි වනගහණයෙහි ගිරිදුර්ග පර්වත වළගොඩැලි කඳුරැලි ආදිය බලමින් උඩුගං බලා යමින් ගඟ වක්ව ගිය තැනක ධම්මික පර්වතය ළඟ විශ්වකර්මයා විසින් මවන ලද අතිමනහර විවේක සුවයට සරිලන ආශ්‍රම පියෙසට පැමිණ එහි කිසිදු අශ්‍රමණයෙකු නොදැක අතින් පන්සල් දොරටුව හැර පිවිසියහ. ඉක්බිති වටපිට බලමින් බිත්තියෙහි අතින් ලියන ලද “යම් පැවිද්දෙකුට පැවිදිදම් පිරීමට අවශ්‍ය නම් එතුමාට දෙන ලද්දේය” යන අකුරු දැක සැක හැර මහණදම් පිරිය යුතුය යි ගිහි බව හඟවන නවදොසකින් යුත් සළුයුගලය බහා තැබූහ.
නවදොස් කවරහු ද? මහඟුබව, අනුන් අයත් බව, පරිභෝගයෙන් විවර්ණවන බව, වරින් වර සේදීම් රැඳීම් පරිභෝගයෙන් වහා දිරන බව, මැසීම් අණ්ඩදැමීම් නැවත සෙවීම් නිසා ලැබීමට අපහසු බව, තවුස් වේශයට නොගැළපෙන බව, සතුරන් ට සාධාරණ බව, පරිභෝග කරන්නාගේ අලංකාරයට හේතුවන බව, මහිච්ඡතාව යි. මේ සළුවෙහි නව දොසයි. එය බැහැර කොට පැවිද්දන්ට යෝග්‍ය දොළොස් ගුණයකින් යුත් වැහැරි සිවුර හැන්දහ. දොළොස් ගුණයෝ කවරහු ද? සොඳුරු කැප අලපාර්ඝ බව, පරිභෝගයෙන් කිලිටිවීම නිසා සේදීම් ප්‍රපංච රහිත බව, දිරූ පසු මැසීමේ දුක් රහිත බව, නැවත පහසුවෙන් සොයාගත හැකි බව, තවුස් පැවිද්දට අනුරූප බව, සතුරන් ලොල් නොකරන බව. පරිභෝගයෙහි අලංකරණයක් නොවන බව, සැහැල්ලුවෙන් දැරිය හැකි බව, අල්පේච්ඡ බව, නිරවද්‍ය බව, නිරපේක්‍ෂ බව, මේ වැහැරි සිවුරෙහි දොළොස් ගුණයයි.
ඉක්බිති මහසත්හු රන්දැලක් වට කරන්නාක් මෙන් අනෝජා මල් පැහැති වැහැරි සිවුර පෙරවා දොඹමල් ඇතිරියක් බඳු සිනිඳු අඳුන් දිවිසම එකාංශ කොට පෙරවා පැවිද්දට ගැළපෙන සේ කෙහෙ බැඳ මුතුකලප් වැනි පසුම්බියක පබළුවන් කෙණ්ඩිය බහා තුන් වකක් ඇති පිරිකර කද කෙළවර බැඳ අනික් කෙළවරෙහි විසංකාරිභාජනය බැඳ කද කර තබාගෙන කළුවරහරින් තැනූ සෘජු සිනිඳු දික් සැරයටිය දකුණතින් ගෙන පන්සලින් නික්ම සැටරියන් සක්මනෙහි සක්මන් කරමින් සිය තවුස් පැවිදි සමාදානය බලා තුටු පහටුව “අහෝ සැපයි, අහෝ පරම සැපයි” කියා උදන් ඇනූහ.
“පණ්ඩිතය, මා විසින් ශ්‍රමණ-පරිබ්‍රාජක-තාපස පැවිද්ද ලබන ලදි. අද මාගේ මනදොල පිරුණේය. මම ගෘහචාරිකාවෙන් මිදුණෙමි. නිවන්පල ලත් ජනසෙවිත විවේක සුවදායක වනවාසයට මම පැමිණියෙමි. දැන් මඟ පල ඉපදවීමට අකුසීතව උත්සාහ කරමි”යි පිරිකර කද පසෙක තබා සක්මන මැද මුංවන් ශිලාතලයෙහි සුනිපුණ ශිල්පියකු විසින් තැනූ රත්සිංහයකු මෙන් නිර්භයව වනමැද හුන්හ. සවස පන්සලට පිවිස බිදලමඤ්චයෙහි දකුණැලයෙන් සිංහසෙය්‍යා කොට සුවැති ගතින් අලුයම පිබිද තමාගේ පැමිණීම සිතා බලමින් මම ගිහිගෙයි විසීමේ පළිබෝධ සිඳ විවේකකාමීව වනගත වීමි. මෙහිද විවේක රහිත මාගේ කාමවිතර්කාදි කළුමැස්සෝ ලුහුබැඳ සිත අවුල් කරති. මේ පන්සලෙහි කහ පිරිබඩ ගැන්වූ බිම ඉදුණු බෙලි ගෙඩි වැනිය. බිත්ති රිදී තහඩු වැනිය. වහල පරෙවි පියාපත් වැනිය. විසිතුරු ඇතිරි යෙදූ බිදලමඤ්චය සුවපහසුය. මේ වනවාසයත් දෙවන ගෘහවාසයක් බඳුය”යි සිතූහ.
“දැන් මම පන්සලෙහි පළිබෝධයත් දුරුකරමි”යි පන්සලෙහි ගුණාගුණ සිතන්නේ අටදොසක් දුටුවේය. පන්සලෙහි අටදොස කවරේ ද? බොහෝ උපකරණ ඇරබ නිෂ්පාදනීය බව, පලුදුවීමෙහි තණමැටි ආදියෙන් නිතර පිළිසකර කළයුතු බව, වැඩිමහල්ලන් විසින් නැගිටුවන කල්හි සිතේ එකඟතාව නැසෙන බව. ශීත උෂ්ණ වළකින හෙයින් සියුමැලි ශරීර ඇතිවන බව, ගර්හා සැඟවෙන බැවින් දුබලසිත් ඇතියහුගේ හිරිඔතප් නැති බව, ආත්මාධිපත්‍යය නැත්තහුගේ සංවරය සිඳීමට ඉඩ ඇති බව, මාගේය යන ග්‍රහණය ඇති වස්තු නිසා ගෙයි දෙවැන්නකු සමඟ වසන බව. උකුණු මකුණු සූහුනු මැසිමදුරු බළල් මුගටි මීයන්ට සාධාරණ බව යනුයි. මේ අටදොසින් යුත් පන්සල අතහැර සුමේධ පණ්ඩිතයාණෝ පන්සලෙහි ආශාව දුරුකොට දසගුණ සම්පන්න රුක්මුලකට ගියහ.
කවර දසගුණයක් ද? එළඹීම් පමණකින් මඳ ආරම්භයක් ඇති බව, විසීම් පමණකින් පරිභෝග පහසු බව. නොනැගිටිය යුතු බැවින් පැමිණි අනුන්ට මෙහි වසන්නැයි ඇමතීමක් නැති බව, ගර්හා සැඟවීමක් නැති බව, අභ්‍යවකාශ වාසයෙහි කය දැඩි නොවීම, අරණ්‍යයෙහි සුභරුක්මුල් ඇති හෙයින් පරිග්‍රහ නැතිබව. ගෘහාලය ප්‍රතික්ෂේප වන බව, අසාධාරණ බව නිසා දොම්නස් රහිත බව, වසන්නහුගේ ප්‍රීති සහගත බව, අනපේක්‍ෂව පිටව යන බව යනුයි. මේ දසානිසංස දැක රුක්මුල්හි විසූහ. මෙසේ උන්වහන්සේ පන්සලෙහි දොස් දැක රුක් මුල්හි අනුසස් දැක දෙවන දින ගොදුරුගමට පිඬු පිණිස පිවිසියහ.
එහි මිනිස්සු පහන්සිතින් සොම්නස්ව පිණ්ඩපාතය පිදූහ. උන්වහන්සේ එහිම බත්කිස නිමවා යළි අසපුපියෙසට ගොස් රුක්මුල පර්යංකයෙන් හිද “මම අහර පිණිස පැවිදි නොවූයෙමි. සිනිදු අහර මාන දර්ප උපදවයි” සිතා සියලු ධාන්‍යාදි අහර අතහැර පවත්තඵලාහාරය පමණක්ම සමාදන් වූහ. මෙහිලා පැවිද්ද අටවැදෑරුම් ය. සපුත්තභරියා, උඤ්ඡාචරියා, ආමකභික්ඛාදාන, අනග්ගිපක්කභොජිතා, දත්තොදක්ඛසතා, පවත්තඵලදායිකා, සාඛා පවත්තඵලපරිග්ගහකාරිකා, පණ්ඩුපත්තපරිග්ගාහිකා යනුවෙනි. අඹුදරුවන් සහිත පැවිද්දෙහි දාවල පැවිදිවෙස් දැරීම ද රාත්‍රි කාම පරිභෝගය ද වෙයි. උඤ්ඡාචරියාව නම් උදලු කූඩා ගෙන වනයට ගොස් පලවැල අලමුල් සපයා ගෙන පරිභෝග කිරීමයි. සාබා පත්‍ර ඵල පරිහරණය කරන තවුසෝ තුමූම ගසට නැග කැමති පරිදි පරිහරණය කරති.
සුමේධ තාපසයෝ මේ අට වැදෑරුම් පැවිද්දෙන් අතිශය අල්පේච්ඡතාවෙන් හා උත්කෘෂ්ට වීර්යයෙන් යුත් බැවින් පවත්ත ඵලාහාරයම තෝරාගත්හ. අනිත්‍ය දුක්ඛ මනසිකාරයෙහි නිරන්තර යෙදීමෙන් සයනය අතහැර හිඳීම් සිටීම් සක්මන් කිරීම් යන තුන් ඉරියවුවෙන්ම කල් ගෙවා සතියක් තුළම පංචාභිඥා අෂ්ටසමාපත්ති ඉපදවූහ. හිරුරැස් ඇති වූවාක් මෙන් විකුර්වණ කරමින් කාන්තිධාරාවෙන් වට වූ නිර්මල සුනිල් ජලතලාවක් වන් නිල් අහස්හි මහජනයාට දෘශ්‍යමානව ගර්වයෙන් යුත් ගරුඩයකු මෙන් අහසින් ගොස් මහදඹගසින් ගෙඩි ගෙනවුත් මහජනයා මැද වළඳා උතුරුකුරු දිවයිනට ගොස් දිවාවිහාර කොට ඡන්‍දිද්ධිපාදයෙහි මෙන් හිරු පර්යංක කොට වාඩිවූහ. එයින් බැස පොළොව කිමිද මහමෙර මත සිටගත්හ.
ලෝකයා ඒ දැක ඒ ප්‍රාතිහාර්යයෙන් පැහැද අර්හත් සම්‍යක් සම්බුද්ධ බ්‍රහ්මයා යි සිතූහ. උන්වහන්සේ ද මහජනකාය දැහැමි කතාවෙන් දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. එ සමයෙහි දිවකුරු බෝසතාණෝ සොළසැකි කප්සුවහසක් පැරුම් සපුරා මේරූ කුසල් මුලින් පිරූ බෝධිඥානයෙන් වෙසතුරු අත්බැවුහි පැරුම් කුළුගන්වා තුසීපුර උපන්හ. ආයු තෙක් එහි වැස බ්‍රහ්මයන් සහිත මහෙන්ද්‍රාදි දේව සමූහයා විසින් ආයාචනා කරන ලදුව ඇසළ පුන් පොහෝ දින උතුරුසල නැකතින් තුසිතයෙන් චුතව දඹදිව මකුටය වන් මධ්‍යදේශයෙහි රම්ම නගරයෙහි සුදේව මහරජු නිසා සුමේධා මහමෙහෙසි කුස පිළිසිඳ උපන්හ.
අසාහසයාණන්ගේ පිළිසිඳ සිතත් සමඟින් පොළෝතලය පටන් මහාඅවීචිය නාගභවනය සමඟින් ලෝකධාතුව කම්පා විය. ඤාණප්‍රභාවෙන් දිලිසුණු මහාආලෝකය ලෝකාන්තරිකයන් ද බබුළුවාලීය. අවීචි ගිනිදැල් නිවී ගියේ ය. ලෝකුඹුව සිහිල් දියෙන් පිරුණේය. අංගාර පර්වතය නිවියේ ය. කටුඉඹුලෙහි කටු නැති විය. තියුණු අක් ඇති ගිනිගෙන දැවෙන යහුල් වැටුණේය. වෙතරණි කටු බිඳී ගියේ ය. කලහ සන්සිඳුණේ ය. වෑ පොරෝ දඬු රහිත විය. නිරය පාලයෝ ව්‍යාපාර රහිත වූහ. නිරාගත සත්ත්වයෝ සැනසුම් ලැබූහ. ප්‍රේතවිෂයෙහි උපන් සත්ත්වයෝ සාපවස් පහවූවෝ වූහ. අන්ධයෝ බැලූහ. බිහිරෝ ඇසූහ. ගොළුවෝ මිහිරිබස් බිණූහ. පිල්ලු අවිකල පයින් කැමති පරිදි ගමන් කළහ. විදෙස්ගත නැව් සුවසේ පටුන් පැමිණියේ ය. හාත්පස සාගර ජලයෙහි ද පොළවෙහි ද කඳුවල ද පස්වනක් පියුම් පිපුණේය. ගල්තලාවල සත්බුමු පියුම් පිපුණේ ය. මල්පල ගන්නා හැම ගස් හැම වැල් මල්පල බර විය. අකනිටාවෙහි පටන් පොළෝතලය තෙක් මෙදෑතුර අහසෙහි ධජ පතාකා චාමරාදි නොඑක් පූජා සත්කාරයෙන් නිරන්තර විය. නො එක් අද්භූත පෙළහර දහස්ගණන් විය. මහපුරුෂයාණෝ මෙබඳු මහයසසින් අපමණ සම්පතින් ලෝකපාලයන්ගේ ආරක්‍ෂා ඇතිව මවුකුස මිණිමුවා කුළුගෙයක මෙන් කිසිත් අශුචියකින් නොතැවරී දසමස් වැස රජඋයන්හි සරත් සූර්යයා මෙන් මවුකුසින් බිහිවූහ.
උපත් කෙණෙහි පිළිසිඳීමෙහි මෙන් පෙළහර විය. පස්වන දින නෑයෝ එක්ව හිසෙහි නැහැවූ කුමරු නිමිති දත් බමුණන්ට දක්වා විස්තර දක්වමින් “මේ කුමරා මුළුලොව එකලුකොට උපන්නේ ය. එබැවින් තම නම රැගෙනම ආයේය” යි නිමිති දත් බමුණන්ගේ අනුමැතියෙන් දීපංකර කියාම නම් කළහ. කුමරා වසර ලක්‍ෂයක් කුමරකෙළියෙහි යෙදුණේ ය. වසර ලක්‍ෂය ගෙවී යාමෙන් සිය පින් බෙලෙන් උපන් රම්ම සුරම්ම සුභ තුන්පායෙහි තුන්සෘතුවෙහි සැප විඳිමින් යසෝධරා දේවිය ප්‍රමුඛ සූසැට ලක්‍ෂයක් තළඟනන් සමඟ නව ලක්‍ෂ පන්සියයක් අවුරුදු දෙවියකු මෙන් සැප විඳ නුවණ මේරූ කල ගිහිසැප නොකැමතිව මහලු ගිලන් මළ පැවිදි දෙවදූතයන් දැක නැවත නැවත බිය ගෙන සංසාරාදීනව බොහෝ යයි පැවිදිවනු රිසි වූහ.
එකල යසෝධරා දේවියට උසභක්ඛන්‍ධ නම් රූමත් පුත්කුමරා උපන්නේය. වඩාත් සංවේගයට පත්ව මම එක් පුතකුගේ උපතින් ප්‍රීති සොම්නසට පැමිණියෙමි. පුතුන් සියයක් උපන් කල කෙසේ වෙම්ද? ස්නේහවත්හුගේ සංසාර විමුක්තිය දුර්ලභය. එනිසා ස්නේහබන්ධන වඩාත් දැඩිතර වීමට පෙර රසකිඳ වැලක් කඩන ඇතකු මෙන් ස්නේහබන්ධනය සිඳ දමා පැවිදිවෙමි සිතා මහසත්හු පස් දිනක් වූ උතුම් පුතු හැරදමා මහබිනික්මන් නික්මෙනු කැමතිව සියලු රම්මවති නගරය දෙව්නුවරක් මෙන් අලංකාර කරවා හස්ත්‍යාචාරීන් කැඳවා මම උයන් කෙළියට යනු කැමැත්තෙමි. ඇත්යානා සරසවයි කීය. ඔහු මැනවි දේවයන්වහන්සැ යි පිළිතුරු දී අසූහාරදහසක් ඇතුන් සැරසවීය. ඉක්බිති උතුම් නරාසභ දීපංකර මහසත්හු විස්කම් දිව්‍ය පුත්‍රයා විසින් දිව්‍යාලංකාරයෙන් සරහන ලදුව ශක්‍රයා මෙන් බබළමින් ජය ඇතුමත නැගී අසූහාරදහසක් ඇතුන් පිරිවරා මහසෙනඟ පෙරටුව උයනට පිවිස ඇතුපිටින් බැස මගුල් ගල්තලාවෙහි හිඳ පැවිදි වෙමියි සිතූහ. එකෙණෙහිම සුද්ධාවාස මහාබ්‍රහ්මයා අෂ්ට ශ්‍රමණ පරිෂ්කාර ගෙන උන්වහන්සේ හමුවෙහි පෙනී ගියේ ය. ඉක්බිති මහාපුරුෂයාණෝ සුද්ධාවාස බඹු දුන් අරහත්බජ නම් කහසිවුරු වැළඳ පැවිදි වූහ. මහාපුරුෂයන් පැවිදි වීමේදී අනුව පැවිදි වූ කෝටියක් පමණ පිරිස පිරිවරා දසමසක් ප්‍රධන් වීර්යය වඩා වෙසක් පුන් පොහෝදා පිටිසර නගරයකට පිඬු පිණිස වැඩියහ. ඒ නුවර දෙවියන්ට බිලියම් පිණිස නුවරුන් විසින් සකසන ලද කිරිබත් සියලු භික්‍ෂූන්ට බත්කිස පිණිස ප්‍රමාණවත් විය. මහා පුරුෂයාණන්ට වනාහි දෙවිවරු දිව්‍ය ඕජස් බහාලූහ. එය වළදා රමණීය වනළැහැබක දිවා විහාර කොට සවස විවේකය සඳහා සමූහයෙන් වෙන්ව තනිවම කේශර සිංහයෙකු මෙන් වැජඹෙමින් දෙවියන් විසින් සරසන ලද මාර්ගයට පිළිපන්හ. අතර මග සුනන්ද නම් ආජීවකයන් දෙන ලද අටතණමිට ගෙන පිප්ඵලී බෝධිය වෙත දකුණු දිශාවෙන් පැමිණ ඊසාන දිග සිට තෙපනස් රියන් තණ ඇතිරිය පනවා අනූරියන් බෝකඳට පිට ලා පර්යංකයෙන් චතුරංගික විර්යය අධිෂ්ඨාන කොට හිඳ මාරබල නසා පළමු යාමයේ පුබ්බේනිවාසය සිහිකොට මධ්‍යම සමයෙහි දිවකන දිවඇස පිරිසිදු කොට අලුයම්හි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සිහි කොට තඹවන් අරුණෝදයෙහි සර්‍වඥතාඥානය ලබා බුද්ධ සිංහනාද කළ සේක.
දීපංකර සම්‍යක් සම්බුද්ධ ප්‍රදීපායමාන නරශ්‍රේෂ්ඨයාණෝ සත්සතියක් බෝධි සමීපයෙහි කල්ගෙවා මහබඹුගේ අදහස් පිළිගෙන සුනන්දාරාමයේදී දම්සක් පවත්වා සිය කෝටියක් දෙව් මිනිසුන් ධර්මාවබෝධයට පමුණුවා කෝටියක් භික්‍ෂූන් අර්හත්වයෙහි පිහිටුවා, ඒ සියල්ලන් එව මහණ පැවිද්දෙන් පැවිදිකරවා සතර මහාද්වීපයෙහි වස්නා මහාමේඝයක් මෙන් සද්ධර්ම නැමැති පිරිසිදු නිර්මල සීතල ජලයෙන් සියලු විනේය ජනයන් තොස්වමින් දැල්වූ ධර්මප්‍රදීපාලෝකයෙන් සියලු අවිද්‍යා අන්‍ධකාරයන් නසා අමාපද දක්වමින් චාරිකා කළ සේක. එසමයෙහි සුමේධ පණ්ඩිත තාපසතුමා දීපංකර තථාගතයන් මවුකුස පිළිසිඳ ගැනීමෙහි, මව්කුසින් නික්මිමෙහි, බුදුවීමෙහි, දම්සක් පැවැත්වීමෙහි යන සතර තැන දසදහසක් සක්වළ කම්පාවෙද්දී මහත් ආලෝකාදි අනේකප්‍රකාර ප්‍රාතිහාර්ය වෙද්දී ධ්‍යාන රතියෙහි යෙදීම නිසා නිමිති කිසිවක් නොදත්හ. ශබ්දය ද නො ඇසූහ. ඉක්බිති පසුකලෙක දිවකුරු බුදුරජාණන් වහන්සේ සාරලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරා මහජනයාගේ මොහඳුර දුරලනු පිණිස මහාමණ්ඩලයෙහි චාරිකා කරන සේක් අනුපිළිවෙළින් රම්‍ය නම් ප්‍රත්‍යන්ත නගරයට පැමිණි සේක.
ඉක්බිති රඹගම් නුවර වාසී මිනිස්සු දිවකුරු මුනිඳුන්ගේ පැමිණීම අසා පෙරගමන් කොට සොම්නස්ව බික්සඟුන් සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට දානවස්තු සපයා නුවර මැද මහමඩුවක් කරවා නිලුපුලින් සෙවිලි කොට ලදපස්මල් විසුරුවා සළුවියන් බඳවා සුවඳදුම් එළවා මල්දම් ආදියෙන් සරසා වෙනත් සියලු පූජෝපකරණ සකසා උදලු කූඩා ගෙන මඟ සැරසීම පිණිස නික්ම කණු කටු ඉවත් කරති. විසම තැන් සම කරති. තොරණ බඳිති. පුන්කලස් තබති. ධජ පතාකා ඔසවති. මඟ වැලි විසුරුවති.
ඉක්බිති සුමේධ තාපසයාණෝ ලුණු ඇඹුල් සෙවීම සඳහා අසපු පියසින් අහසට නැග ගොදුරුගමට යන්නෝ තුටු පහටුව එසේ කරන මිනිසුන් දැක හේතුව කුමක් දැයි අහසින් බැස පසෙක සිට මිනිසුන්ගෙන් “භවත්නි, මේ මාර්ගය කවරකු සඳහා කරන්නහු ද? වෙනදා මා දැක මහබඹුමෙන් සිතමින් කටයුතු අමතක කොට මට වැඳීම උවටැන් කිරීම ඇදිලි බැඳීම සාමීචි කතා කිරිමාදියෙහි ව්‍යාවෘත වන්නාහුය. දැන් වනාහි මා පිඬු පිණිස යන මහණකු මෙන් බලන්නාහු ය. මීට හේතු කවරේදැ”යි විමසූහ. ඔවුහු එක රුණ කීහ. මහාතාපසයාණනි, දීපංකර නම් ලෝක නායකයාණන් වහන්සේ ලොව උපන් සේක. පහනකින් අඳුර මෙන් නැණ එලියෙන් අවිදු අඳුර නසන සේක. මේ මඟ උන්වහන්සේට සරසමු. බුද්ධ යන වචනය අසා සුමේධ පණ්ඩිතයන්ට ඔක්කමන, ඵරණ, පාමොජ්ජ, ඕභාස, උබ්බෙග යන පස්වනක් ප්‍රීතිය ඉපිද “අහෝ ආශ්චර්‍ය්‍යයි. අහෝ අද්භූතයි මේ බුද්ධ යන ශබ්දය නොයෙක් කප් ලක්ෂයන්හි ඇසීමට අතිශයින්ම දුර්ලභය. මා විසින් අද එය අසන ලදි. මට නියත වශයෙන්ම ලාභයකි” යැයි සිතා තුටු පහටුව පුබුදු සිතින් රන්බිත්තියක නිල්මිණි පියුමක ඔබ්බන ලද ඇත්දළ වැනි ලොමු දැහැගැනීම් ඇතිව “දැන් මම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග නැමැති කුඹුරෙහි සුපිරිසිදු බුදුසසුනෙහි සතර මඟ ඵල ලබා දෙන ශ්‍රද්ධා බීජය රෝපණය කරමී” සිතූහ.
උන් වහන්සේ මෙසේ සිතා ඒ මිනිසුන්ට “ඔබලා බුදුන්ට මග සරසන්නාහු නම් මට ද කොටසක් දුන මැනව. මම ද බුදුන්ට මග සරසමි”යි කීය. ඒ මිනිස්සු “මේ තාපසයෝ මහත් සෘද්ධි ඇත්තාහ. මහත් ආනුභාව ඇත්තාහ. සම විසමතා වහා සම කිරීමට සමත්හ. අපි අපට සැකසිය නොහැකි විසම දුෂ්කර තැනක් ඔහුට දෙමු” කියා ය. ඔවුහු උන්වහන්සේට දිය ගලා බසින මඬ ගොහොරුවක් දුන්හ. එවිට සුමේධ තාපසයාණෝ “මා අත උදැල්ලක් හෝ කූඩයක් නැත. සෘද්ධියෙන් කරතොත් පොළව සත් රුවන්මුවා කළ හැකි වෙමි. කායික වතාවත් කරන්නකුට එය නොගැළපේ. එයින් මට සතුටක් නූපදී. මම මාගේ උත්සාහයෙන් ම කරමි” සිතා පිරිකර කද පසෙක තබා කෙණ්ඩිය ඉවත් කොට කූඩය ගෙන මිනිසුන් කැපූ තැනින් පස්ගෙන දිය පහරට දැමූහ. දැමූ පස් දියෙහි පාවිය. රඹගම් නුවර වැස්සෝ අනේක ප්‍රකාර කැඳබත් ඛාද්‍ය භෝජ්‍ය ආදිය පිළියෙළ කොට පිවයුතු පරිභෝග කටයුතු පැන් තබා දිවකුරු බුදුන්ට කල් දැන්වූහ.
දීපංකර සම්මා සම්බුදුහු වේලාසනින් නැගිට සිරුර පිළිදැගුම් කොට හේමන්තයෙහි අලුයම සූර්යකාන්ත මල්දමක් බඳු අඳනය ඇඳ වැසි වලාවකින් නිකුත් විදුලියක් වැනි පටිය බැඳ සරත් සමයෙහි හටගත් හිරු සිරි පරදවන්නා වූ දිවකුරු බුදුහු සුගත් මහ සිවුර පොරවා රන්ලිය වන් පියුම්පෙති වන් සුරත් සක් ලකුණෙන් හෙබි මනාව බෙදු ගැඹුරු රේඛාවෙන් සැදි අනුපූර්‍ව නිරන්තර තඹවන් නිය පෙළින් බබළන විසිතුරු ඇඟිලි යුත් අත්තලයෙන් මාහැඟි සෙල්මුවා පාත්‍රය ගෙන ෂඩභිඥාලාභී සාර ලක්ෂයක් රහතුන් පිරිවරා අනුපම බුදුසිරින් රඹගම් නුවර බලා පිඬු පිණිස වැඩි සේක.
එකල වර ලකුණින් හෙබි උතුම් දසබල දේහයෙන් රුචිර සවනක් රැස් නිකුත් විය. සිත් ගනිමින් අතිශයින් බබළන ආශ්චර්‍ය්‍ය අද්භූත විස්මය දනවන අපර ප්‍රශංසාවෙන් ලීලෝපේත ඒ රැස් දහර නොසිදුරුව නොකඩව අසම්මිශ්‍රව තරංග තරංගව නීල පීත ලෝහිත ඕදාත මඤ්ජෙට්ඨ ප්‍රභාස්වර පැහැ එකිනෙක ගැටි ගැටී උස් පහත් වෙමින් අහස් කුස හොබවමින් සියලු දිසාවෙහි පැතිර ගියේය. එකෙණෙහි දසදහසක් සක්වළ දේව සමූහයා “අද සුමේධ පණ්ඩිතයෝ සම්මා සම්බෝධියට පැමිණීම පිණිස අවශ්‍යයෙන්ම ප්‍රාර්ථනා කරති. දීපංකර නායකයාණෝ උන්වහන්සේට විවරණ දෙති. යමු, නිදුක්වරුනි, උන්වහන්සේගේ විවරණයත් සෞම්‍ය දර්ශනයත් බුදුරුවත් බලමු. බෝධිසත්ත්වයන්ගේ ධීර භාවයත් සියැසින්ම දකිමු “කියා ඔවුනොවුන් අමතා කුහුලින් යුතුව ඇසිල්ලකින් සියල්ලෝම එකම සක්වළක රැස් වූහ. එකෙණෙහි බෝසතාණන්ගේ නිසල ප්‍රාර්ථනා හේතුවෙන් ද නියත විවරණ බලයෙන් ද ලෝකවිවරණ නම් පෙළහර සිදුවිය.
“දෙවියෝ මිනිසුන් දකිති. මිනිස්සු දෙවියන් දකිති. ඇඳිලි බැඳගත් ඒ සියල්ලෝ තථාගතයන් වහන්සේ අනුව යති. දෙවියෝ දිවතුරු ද, මනුෂ්‍යයෝ මිනිස් තුරු දෙපසින් තථාගතයන් වහන්සේ අනුව යති. අහස්හි දෙවියෝ දිව්‍යමය මදාරා පියුම් හා පරසතු මල් දිසානුදිසාවන්හි වගුරුවති. සපු හොර මිදෙල්ල නා දොඹ වැටකේ මල් බිම සිටි මිනිස්සු දිසානුදිසාවන්හි විසුරුවති.
ඉක්බිති සුමේධ පණ්ඩිතයෝ දුරදීම අසූරියන් උස අනන්ත වර්ණ කාන්ති රශ්මියකින් විලාසවත් සිරුරින් යුතු දෙතිස් මහපුරිස් ලකුණින් යුත් සුන්දර කේතුමාලාලංකාරයෙන් මග පෙදෙස ද තුන් යොදුන් පමණ බ්‍යාම ප්‍රභායෙන් මුළු ලොව ද බබුළුවමින් දෙව්මිනිස් සමූහයා විසින් සත්කාර කරනු ලබන ඉදිරියට වඩින දීපංකර තථාගතයන් වහන්සේ දුටහ. දැක ආශ්චර්ය අද්භූතව පුබුදු මනසින් සියලු කෙලෙස් මඩ සෝදා හළ භාග්‍යවතුන් වහන්සේ සැරසූ මගින් වඩින සේක. මා ගත් බිම්කඩ සරසා නැත. මඩ සහිතය. වළ ගොඩැලි සහිතය. මම දැන් කුමක් කරන්නෙම් ද? මේ ලෝකයෙහි බුද්ධෝත්පාදය අතිශයින් දුර්ලභය. දැන් මම මඩ ගොහොරුවෙහි හේදණ්ඩක්ව ශ්‍රාවක සංඝයා සහිත ලෝකනාථයන් වහන්සේට ජීවිතය පුද කරමියි සිතීය. සුමේධයන් වහන්සේ සියතින් ජටා මඩුලු ලිහා කළු කිලිටි මඩෙහි යටිකුරුව මා මැඩ දීපංකර ලෝකනායකයන් වහන්සේ සපිරිවරින් මඩෙන් නොකිලිටිව එගොඩ වන සේක්වායි වැදහොත්හ.
එවිට බිම වැතිර ගත් සුමේධ පණ්ඩිතයන්ට නැණ බෙලෙන් මෙබදු සිතක් ඇතිවිය. ඉදින් මා මැඩලුවහොත් අදම මම සියලු කෙලෙසුන් දවා රහත් මග ඵල පසක් කොට බුදු පාමොක් බික් සඟුන් සමඟ රම්ම නුවරට පිවිස පිණ්ඩපාතය ගැනීමට සමත් වෙමි. නොඑසේ නම් මාගේ වීර්යය නොයෙක් සිය ගණන් යුද්ධ දිනීමට සමත් යෝධයෙකුට සමානය. දැන් මම දැඩි වීර්‍ය්‍යයෙන් සම්මා සම්බුදුන් හමුවෙහි පැතුම් පතා පැරුම් පුරා මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාජනයා සසර බැමෙන් මුදා සසර සයුරෙන් එතෙර කොට දහම් අමාරසයෙන් සනසා ලමින් බුද්ධ නම් වන සේක් ද, මම ද එසේ බුදුවන්නෙමි.
“අප්‍රසිද්ධ වේශයෙන් තනිව ධර්‍මය සාක්ෂාත් කිරීමෙන් මට කවර ඵලයක් ද? සර්‍වඥත්වයට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදු වන්නෙමි. පුරිසථාමයෙන් යුත් මට තනිව එතෙර වීමෙන් කවර ප්‍රයෝජනයක් ද? බුදුව දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි. පුරුෂකාරයෙන් යුක්තව බුදු බවට පැමිණ බහුජනතාව එතර කරන්නෙමි. සසර සැඩ පහර සිඳ තුන්භාවය නසා සද්ධර්‍ම නෞකාවට ගොඩවී දෙවියන් සහිත ලෝකය එතර කරවන්නෙමි.
උන්වහන්සේ මෙසේත් සිතූහ. “මම වනාහි මනුෂ්‍යත්වය ආදි අට ගුණ ඇත්තෙමි. මට බුදු බව කෙසේ නම් ඉටු නොවන්නේද? මම මෙහි පළමු පැතුම් පතා අනවරාග්‍ර සංසාරයෙහි රැස් කළ තණ්හා ශ්‍රෝතස සිඳ තුන් භවයෙහි නොහැසිර ආර්ය අෂ්ටාංගික මාර්ග නැමැති ධර්‍ම නෞකාවට දෙව් මිනිසුන් නංවා සතිපට්ඨාන රුවල දිගහැර වාතයෙහි පැහැර ප්‍රඥා කූඹය ඔසවා සීලරත්නය බැද වීර්‍ය්‍ය නැමැති යොතින් වෙළා සමාධි පාසාණයන් ගෙන ධ්‍යාන බලයෙන් අයොනිසෝමනසිකාර නැමැති ජලය පහකොට සසර ශ්‍රෝතස සිඳ සතර ඕඝයෙන් එතෙර කොට දෙව් මිනිසුන් නිවන් පරතෙර පිහිටු වන්නෙමි කියායි.
ඉදින් මම බුදුවන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මා නොමැඩ සිටින සේක්වා. එසේ නම් මම බුදුවන්නෙමි. මා මඩින සේක්වා හෝ නොමඩින සේක්වා එයින් මගේ පැතුම සිදුවන සැටි දනිමී සිතමින් වැදහොත්හ. එවිට දීපංකර සම්මා සම්බුදුහු මහත් වූ සුන්දර බුද්ධ වේශයෙන් ද මහා කරුණාවෙන් ද, දෙවියන්ගේ දැක්වීමෙන් ද දෙව්මිනිසුන් පිරිවරා සුමේධ පණ්ඩිතයන් සමීපයට වැඩ දැල් වූ විමල විශුද්ධ බුදු ඇසින් තාපසයන්ගේ හේතු වාසනා බලා “මේ සත්වයා තියුණු ප්‍රඥා ඇත්තේය. යහපත් අදහස් ඇත්තේය. දැඩි සමාදන්වීම් ඇත්තේය. මොහුගේ පැතුම ඉටුවන්නේ දෝ නොවන්නේ දෝ හෝයි” සිතූහ. එවිට චේතෝපරියඤාණයෙන් කඳ පිළිවෙළින් බලන්නේ එක් ආවර්ජනයෙන්ම සාරාසංඛ්‍ය කප් ලක්ෂයක් බැලූ සේක. මේ තාපසයන්ගේ පැතුම ඉටුවන්නේ යැයි දැන ලෝකවිදු භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිස් සමූහයා මැදම සුමේධ පණ්ඩිතයන්ට විවරණ දෙමින් අටඟකින් යුත් බ්‍රහ්මස්වරය විහිදුවමින් භික්ෂූන්ට මෙසේ වදාළ සේක.
උග්‍ර තපස් ඇති ජටාධාරී මේ තාපසයා බලව්. මේ කපින් බොහෝ කලකට පසු ලොව බුදුවන්නේය. මොහුගේ වැදූ මව මායා නම් වන්නීය. පියාණෝ සුද්ධෝදන නම් වන්නාහ. මෙතෙම ගෝතම නම් වේ. ප්‍රධන් වඩා දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝරුක් මුල්හි යසස් ඇති හෙතෙම සම්බෝධිය අවබෝධ කරන්නේය. කෝලිත උපතිස්ස දෙනම අග්‍රශ්‍රාවක වෙති. ආනන්ද නම් උපස්ථායක ඒ ජිනයන්හට උවටැන් කරන්නේ ය. ඛේමා උප්පලවණ්ණා යන දෙදෙන ආස්‍රව රහිත වීතරාගී ශාන්ත සිත් ඇති සමාහිත වූ අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති.”
දීපංකර භාග්‍යවතුන් වහන්සේ සුමේධ තාපසයන්ට මෙසේ විවරණ දී එතුමන්ට පූජා කරනු කැමැතිව සාමණේරයන් දෙස බැලූහ. එවිට ඒ සාමණේරයෝ භාග්‍යවතුන් වහන්සේගේ අදහස් දැන මොහොතකින් හිමවතට ගොස් මනා සුවඳැති දියගොඩ කුසුම් ගෙනවුත් පිළි ගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ දසනියරත්න ඇති දික් වූ නෙළුම් පෙතිවන් සියුමැලි බබළන අතින් මල්ගෙන අටමල් මිටක් තාපසයන් මත විසිරවූහ. ඒවා කුරුණි අටක් පමණ වේ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සුමේධ තාපසයන් ප්‍රදක්ෂිණා කිරීමට පටන් ගත්හ. එවිට සුමේධ පණ්ඩිතයන්ගේ ශ්‍රද්ධාබලයෙන් වැතිර සිටි බිම්කඩ කුඹල්සකක් මෙන් කැරකී හිස භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් සමඟ පැදකුණු කොට වැඩිසේක. දෙවියන් සහිත සෙසු ලෝකයා ද සධාතුක රන්සෑයක් මෙන් පැදකුණු කොට පසඟ පිහිටුවා වැඳ පහන් සිතින් උන්වහන්සේගේ ගුණ පසසමින් නැවත නැවත බල බලා ගියහ. සුමේධ පණ්ඩිත තාපසයෝ භාග්‍යවතුන් වහන්සේ දර්ශන පථයෙන් ඉක්මීමත් සමඟ හොත් තැනින් නැගිට පලක් බැඳ හිඳ ගත්හ. දස දහසක් ලෝක ධාතුවල සුද්ධාවාස කායික බ්‍රහ්මයෝ ද වැඩ සිටි තාපසයන් දෙස බල බලා නියත බෝසත් විවරණ ධර්‍මතා බලයෙන් උපදින නොයෙක් සිය ගණන් ප්‍රාතිහාර්යයන් දැක එක්ව බෝසතුන් දිරිගන්වමින් නියත බව දක්වමින් බුදු වදන් නොවෙනස් වන බව කියමින් පසසමින් මේ ගාථා ප්‍රකාශ කළහ.
වර පර්යංකයෙහි වැඩ හුන් පෙර බෝසත්වරුන්ට යම් නිමිති පහළ වී ද, ඒවා අදත් දක්නට ලැබේ. සීතල පහව යයි. උෂ්ණය සමනය වෙයි. අද ඒවා දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදු වන්නේය. මහ සුළං නොහමයි. ගංගා ගලා නොබසී. ඒවා අදත් දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදු වන්නේය. නිරයෙහි දස දහසක් ගිනි එවිට නිවෙයි. ඒ ගිනි අදත් නිවුණේය. ඒකාන්තයෙන් බුදුවන්නේය. එකල රාගය තුනී වෙයි. දෝස මෝහ වැනසේ. අද ඒ සියල්ල පහව ගියේ ය. ඒකාන්තයෙන් බුදුවන්නේය. එකෙණෙහි චුතියත් උපතත් සිදු නොවෙි. අදත් ඒවා නොමැත. ඒකාන්තයෙන් බුදු වන්නේය. වීර්‍ය්‍යය වඩනු මැනව. නොනවතිනු මැනව. ඉදිරියටම යනු මැනව. ඒකාන්තයෙන් බුදුවන්නේය යන මෙය අපි ද දනිමු.
එවිට සුමේධ තාපසයාණෝ බුදුවදනත්, සුද්ධාවාස වාසීන්ගේ වදනත් අසා හේතු දැන දැඩි වීර්‍ය්‍යයෙන් යුතුව තුටු පහටුව මෙසේ සිතූහ.
බුදු වදන් නොසිඳිය හැක්කේය. බුදුවරු හිස් වචන නැත්තෝය. බුදු වදන්හි වෙනසක් නැත. මම ඒකාන්තයෙන් බුදු වෙමි. මම දැන් ඔබිනොබ උඩයට දස දිසාවෙහි ඇති තාක් ලෝක ධාතුවෙහි බුද්ධකාරක ධර්මයන් සොයමි.
උන්වහන්සේට “මම බුදුවෙමි. පැතුම් පැතුවෙමි. ඒකාන්තයෙන් බුදු වන්නේ යැයි දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද විවරණ දුන් සේක. සතුටට පත් දේව සමූහයා ද පැසසූහ. බොහෝ කරුණු වලින් බුදු වෙමියි මට ද සම්භාවනා ඇති විය. මෙවක් පටන් මා විසින් නොපමා විය යුතුය. ප්‍රපඤ්චයන් විසින් බෝධියට පත්විය නොහැකිය. අප්‍රමාදී වීර්‍ය්‍යාරම්භයෙන් කුසල් රැස් කළවුන් විසින්ම පැමිණිය හැකිය. භාවිත බහුලිත කවර ධර්මයකින් බෝධිය සාක්ෂාත් කිරීමට හැකි දැයි සොයා බලන්නාහු පළමුව එක් ධර්මයක් දුටහ. එක් ධර්මය කුමක්ද? ත්‍රෛභූමික සත්ත්වයන්ට ඒකාන්තයෙන්ම උපකාරක ජීවිත පාලක එකම ධර්‍මය ආහාරය මැයි. මේ සතුන්ට බොජුන් ඇඳීම් ආවාස වලින් තොරව ජීවිත විනාශය වේ ය” යි සිතිණ.
එබැවින් සත්පුරුෂයන් විසින් පළමු කොටම දන් දීම සුදුසුය. ඉක්බිති සිල් රැකීමට, කාමයන් පහ කිරීමට, නුවණින් කරුණු පිරිසිඳීමට පටන්ගත් කටයුතු නොනිමි කල මඟ නොහැරීමට අනුන්ගේ අවමන් නොලබා සියල්ලන් සුවයෙහි පිහිටුවීමට සත්‍යයේ පිහිටීමට තීරණය නොකැඩීමට සත්ත්වයන්ගේ හිත පිණිස පැවතීමට මුළු ලොව මැදහත්ව පැවතීමට සුදුසු ය. මේ දස ධර්‍මයෙහි පිහිටි මට බෝධිය නියත යයි සිතා “ඉදින් බෝ මුලට ගොස් සම්බෝධියට පැමිණීමට කැමැත්තෙහි නම් පැමිණි යාචකයන්ට තමන්ට ඉතිරි නොකොට සියලු ධන සම්පත්, ජාත පුත්‍රයන්, භාර්යාවන් දන් දී පාරමිතා පුරව. අංග පරිත්‍යාග කොට උපපාරමිතා පුරව. ජීවිතය පරිත්‍යාග කොට පරමාර්ථ පාරමිතා පුරව” යි කියා තමාට මෙසේ අවවාද කළේය.
මත්තෙහි පරීක්ෂා කරන්නේ දානය නම් උපකරණ ලැබීම පමණකි. කුසල දහම්වලට පිහිටවන සීලයට සමාන දෙයක් නැත. සිල්හි පිහිටි යෝගාවචරයා කුසල් දහමින් නොපිරිහෙයි. සිල් ඇති කල්හි සතර මඟ සතර ඵල ත්‍රිවිද්‍යා ෂඩ් අභිඥා සවැදෑරුම් අසාධාරණ ඤාණ ලබයි. එබැවින් සීල පාරමිතාව පිරිය යුතුයි. එසේම එය ප්‍රාතිමෝක්ෂ, ඉන්‍ද්‍රිය සංවර, ප්‍රත්‍යසංනිඃශ්‍රිත, ආජීව පාරිශුද්ධ ශීලය ආදියෙහි නොකඩ, නො සිදුරු, නොසබල, නොකිලිටි ස්වභාවයෙන් පිරිය යුතු ය. සීල පාරමිතාව ද තෙවැදෑරුම්ය. හේතු නොයික්මවීම පාරමිතාවයි. අඟ පසඟ හේතුවෙන් නොයික්මවීම උපපාරමිතාවයි. ජීවිතය හේතුවෙන් නොයික්මවීම පරමාර්ථ පාරමිතාවයි.
මත්තෙහි නුවණ යොදා පරීක්ෂා කරන්නේ දානය නම් ලෝභය ප්‍රහාණය කිරීම පමණකි. සීලය අදහස් පිරිසිදු කිරීම පමණෙකි. කාමයන් ඉක්මවීමට නොහැකි වෙයි. නෛෂ්ක්‍රම්‍යය වනාහි ගෘහවාසයෙහි සම්බාධ සිඳ විවේක අදහස් ඇති කරයි. එහෙයින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරිය යුතුයි. තෙපි වනාහි ගෘහාලය සිඳ දමා ධන අංග ජීවිත හේතුවෙන් හෝ එය නොයික්මවා පාරමී උපපාරමී පරමාර්ථ පාරමී පුරව. මහාසත්වයෝ මත්තෙහිත් තමන්ට අවවාද දෙමින් “ඔබ බෝධි ඥානය ලැබීමට කැමැති නම් උපභෝග පරිභෝග ධන සොයන්නා වූ තෘෂ්ණාව සිඳ පසඟ රකින තණ්හාව දුරුකොට ජීවිතාශාව මුල් සිඳ කරුණු නුවණින් සලකා ප්‍රඥා පාරමිතාව පුරව”යි කීහ. වීර්‍ය්‍ය පාරමිතාව කෙසේ ද? සංවිභාග කෘත්‍යයෙන් දානය ද, සමාදානයෙන් සීලය ද ආලය පසිඳලීමෙන් නෛෂ්ක්‍රම්‍යය ද කටයුතු නොකටයුතු පසිඳලීමෙන් ප්‍රඥාව ද උපස්ථම්භයෙන් වීර්‍ය්‍යය ද ඉවසීම ක්‍ෂාන්ති බලයෙන් ද සපිරෙයි. ඔබ ධන ශරීර ජීවිත හානියෙහි පවා සිත විකල් නොකොට ක්‍ෂාන්ති පාරමී උපපාරමී පරමාර්ථ පාරමි ආචාර්යව දැඩිව සමාදන්ව පුරව. සත්‍ය පාරමිතාව නම් කියන ලද පරිදි දානාදිය ශක්තිය නිසා සමෘද්ධ වේ. වෙනත් අයුරකින් නොවේ. ධන අංග ජීවිත හේතුවෙන් හෝ සත්‍යය පැහැර නොහරිමින් ත්‍රිවිධ සත්‍ය පාරමිතාවට පැමිණෙන්නෙහියයි තමාට අවවාද කළහ. කියන ලද දානාදිය අවිකල අධිෂ්ඨානයෙන්ම සපිරෙන්නේය.
මෙසේ ධන අංග ජීවිත විනාශයේ දී හෝ සිත් සසලතාව නසා සිතේ අචලතාව ඇතිව තෙවැදෑරුම් අධිෂ්ඨාන පාරමිතාව පුරව. හැම තන්හිම මෛත්‍රී සහගත වීමෙන්ම දානාදිය සිදු වේ. ඔබ ධන අංග ජීවිත හිංසාවෙහි දී පවා මෛත්‍රිය නොයික්මවා තෙවැදෑරුම් මෙත්තා පාරමිතාව පුරව. උපේක්ෂා පාරමිතාව නම් දාන සංවිභාගය සීල සමාදානය නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්ති සත්‍ය අධිෂ්ඨානය මෛත්‍රිය යන සියල්ල සියලු සතුන් කෙරෙහි මැදිහත් බව ඇති කල්හිම සම්පූර්ණ වේ. ඔබ ද සියලු සතුන් කෙරෙහි සමසිත් ඇතිව උපේක්ෂා පාරමිතාව පුරව. ධන අංග ජීවිතවලට උපකාරයෙහි ද, අපකාරයෙහි ද, මැදහත්ව තෙවැදෑරුම් උපේක්ෂා පාරමිතාව පුරා සම්මා සම්බෝධියට පැමිණෙව යි අවවාද කළහ.
මෙසේ මහසත්හු මේ පාරමිතා සියලු බෝසතුන්ට සම සාධාරණයයි මෙනෙහි කොට පරිපූරණය සඳහා දැඩිව සමාදන්ව නොපසු බස්නා වීර්යයෙහි පිහිටියහ. ඉක්බිති බෝධි කාරක ධර්‍මයන් සිහි කරන උන්වහන්සේට ස්වභාව - රස - ලක්ෂණ ධර්‍ම තේජසින්
මේ ඝන බොල් මහ පොළොව කම්පා විය. මහා පෘථිවිය උදුරන්නාක් මෙන් සැලෙයි. රැව් දෙයි. තෙල් යන්ත්‍රයක චක්‍රය මෙන් මහ පොළොව කම්පා වෙයි.
නිපුණ ශිල්පියෙක් නූලෙන් නූල කුල කිලකාදියෙහි බහාලන දැවමුවා යන්ත්‍රයක් මෙන් අනේකාකාරයෙන් පොළොව කම්පා වෙයි. නාද කරයි. කම්පාවෙන් බොල් පොළොව කැළඹෙයි. පස්වනක් මල් වැසි වසී. දෙව්මිනිස් තුර්ය වාදනය වෙයි. දසදහස් සක්වළ වැසි දෙවියෝ නානා ප්‍රකාර ස්තුති වචන සාධුකාර පවත්වති. දහසක් ප්‍රාතිහාර්‍ය්‍ය පහළ විය. දෙවියන් විසින් ස්තුති කරන ලද බෝසත්හු මම දස පැරුම් පුරා බුදුවෙමි. සාරාසංඛ්‍ය කප් ලක්ෂයකින් මත්තෙහි ලබන බුදුබව හෙට ලැබෙන්නාක් මෙන් සිතමින් සතුටු සොම්නසින් අසුනින් නැගිට සෘද්ධියෙන් අහසට නැග හිමවතට ගියහ. උන්වහන්සේ ආයු ඇති තාක් එහි සිට බඹලොව ගියහ.
දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද වසර ලක්ෂයක් ආයු ඇති ලොව ඉපිද, සියලු බුදුකිස නිමවා
සද්ධර්‍මය බබුළුවා මහජනයා සසරින් එතෙර කොට ගිනි කඳක් මෙන් දිලී ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක. දීපංකර බුදුන්ගෙන් පසුව කොණ්ඩඤ්ඤ නම් නායකයාණෝ පහළ වූහ. උන්වහන්සේලා අතර කාලය කප් ගණනින් අසංඛ්‍ය වේ.
දීපංකර සම්බුද්ධයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ සසුනත් අතුරුදන් වූ කල්හි දිගුකලක් ගෙවීමෙන් ඒ කල්පය අතුරුදන් විය. එතැන් පටන් අසංඛ්‍ය කල්ප අනූවක් බුද්ධ සූර්‍ය්‍යයා රහිත ඤාණාලෝකය පහ වූ අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු කෙලෙස් කිලුටින් කෙලෙසුණු දෘෂ්ඨිජාල විසිරුණු සේල නම් අසංඛ්‍යයක් විය. එය ගතවූ පසු එක් සාර කල්පයක කොණ්ඩඤ්ඤ නම් ලෝක නායකයාණෝ ලොව උපන්හ. උන්වහන්සේ ද, සෝළසාසංඛ්‍ය කප් ලක්ෂයක් පාරමී පුරා ත්‍රිවිධ අකුසල් නැසීම පිණිස බලවත් උත්සාහයෙන් බෝධිඤාණ සපුරා වෙසතුරු බැව්හි පාරමී පරතෙර පත්ව තුසිත පුරයෙහි උපන්හ. එහි ආයු ඇති තාක් සිට බුද්ධෝත්පාදය කැමැති දෙවියන්ට ප්‍රතිඥා දී තෙවැදෑරුම් අධිෂ්ඨානයෙන් මනා සිහිනුවණින් තුසී පුරයෙන් චුතව රම්මවතී නම් රාජධානි නගරයෙහි සුනන්ද මහ රජු නිසා සුජාතා දේවියගේ කුස පිළිසිඳ ගත්හ.
එකෙණෙහි දස සහස්‍රීලෝක ධාතුව හාත්පසින් කම්පා වෙමින් අනේක ප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය පහළ විය. උන්වහන්සේ දෙවියන් විසින් කරන ලද ආරක්ෂා සංවිධාන ඇතිව දස මස ඇවෑමෙන් සුනන්ද උයනෙහි මව්කුසින් නික්මුණහ. එදින ද පොළොව කම්පා වීම් ආදි විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය සිදුවිය. පස්වෙනි දින හිසෙහි නැහැවූ කුමාරයාට නම් තබන්නාහු ගෝත්‍ර වශයෙන් කොණ්ඩයයි නම් තැබූහ. උන්වහන්සේ දස දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. සුචි, සුරුචි, සුභ යයි ප්‍රාසාද තුනක් විය .එහි තුන් ලක්ෂයක් නළඟනෝ උවටැන් කළහ. අගමෙහෙසිය රුචි දේවි නම් වූවාය. උන්වහන්සේ විජිතසේන නම් පුතු උපන් කල්හි ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ. පැවිදි වූ කොණ්ඩඤ්ඤ නායකයාණන් සමඟ කෙළ දහසක් ජනයා පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ දසමසක් ප්‍රධන් චරියාවෙහි හැසිර වෙසක් පොහෝ දින සුරින්ද ගමෙහි යශෝධරා නම් සිටු දියණිය දුන් අල්පෝදක කිරිබත වළදා දාවල සල් වෙනෙහි කල්ගෙවා සවස සමූහයා අත හැර සුචන්දක ආජීවක විසින් දෙන ලද අට තණමිට ගෙන බෝධිය තෙවරක් පැදකුණු කොට ඊසාන දික්හි සිට අටපනස් රියන් කොට විසුරුවා එහි පර්යංකයෙන් චතුරංගික වීර්‍ය්‍යය අධිෂ්ඨාන කොට මාරබල පරදවා තුන් යාමයෙහි ත්‍රිවිද්‍යාව උපදවා තඹවන් අරුණෝදයෙහි සතිස් කෝටි දහසක් මහා වජ්‍රඥාන ලබා සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කළහ. එහෙයින් කීහ.
දීපංකර බුදුන්ට අනතුරුව අනන්ත තෙද ඇති අපමණ යසස් ඇති දුරාසද වූ කොණ්ඩඤ්ඤ නම් නායකයාණෝ පහළ වූහ.
එහි අනන්ත තේජෝ යනු, ගුණ සීල තේජසින් යටින් අවීචිය උඩින් භවාග්‍රය සරසින් අනන්ත ලොව එක ද සත්වයෙක් සෘජුව බලා සිටීමට සමර්ථ නොවේ. එබැවින් අනන්ත තේජ යයි කියැවේ. අමිත යසො යනු, අපරිමිත පිරිවර ඇති බැවින් අමිත ගුණ සම්පතින් සපිරි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්‍ෂ ලක්ෂයක් පළමු සිතෙහි පටන් දිවිහිමියෙන් ගණනක් නැති පිරිස් දිවා රෑ ගුණ කීවද අපමණ වන හෙයින් අමිතයසයි කියැවේ. අප්පමෙය්‍යො යනු, ගුණයෙන් අපමණ වෙති. ඉදින් එම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කීමට උත්සුකව, මේ දසසහස්‍රි ලෝක ධාතුවල කඳු පර්වත පහව එකම තලියක් මෙන්වී සහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතු වල සියලු සත්වයෝ එක්ව නොකඩවා වර්‍ෂ ලක්ෂයක් කියත් නමුත් ඒ අමිත තථාගත ගුණ නොනිමෙයි. භගවත් ගුණ නිම කිරීමට නොහැකි වෙයි. එහෙයින් අප්පමෙය්‍යො කියා කියැවෙයි. දුරාසදො යනු, ලැගීමට හෝ ගැටීමට නොහැක්කේය.
ඉවසීමෙන් පොළොව හා සමානය. සීලයෙන් සාගරය හා සමානය. සමාධියෙන් මහමෙර හා සමානය. ඤාණයෙන් අහස හා සමානය.
එහි ධරණූපමො ච ඛමණෙන යනු, දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝන පොළොව මෙන් අකම්පනීය වෙති. අකම්පනීයත්වයෙන් ධරණුපම වෙති. සීලෙන සාගරූපමො යනු, චතුපාරිශුද්ධි සීලයෙන් අසූහාරදහසක් යොදුන් ගැඹුරු මුහුද හා සමානය. සමාධිනා මේරූපමෝ යනු, උපචාර අර්පණා සමාධි වශයෙන් යථා පරිදි විතර්කාදි සුළඟින් කම්පාවක් නොවන බැවින් අසූහාර දහස් අටසැට යොදුන් උසැති මහමෙර මෙන් ධීරත්වයෙන් යුක්තය. ඤාණෙන ගගනූපමෝ යනු, අසාධාරණ වෛශාරද්‍ය අපරිමිත ඤාණයෙන් අහස හා සමානය යන අර්ථයි. මෙසේ මහ ගුණ සම්පන්න කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකානුකම්පාවෙන් භික්ෂු සංඝයා සමඟ ගම් නියම්ගම් ජනපද රාජධානිවල චාරිකාවෙහි වැඩි සේක.
සමයෙහි අප බෝසත්හු මධ්‍යම දේශයෙහි චන්දවතී නම් රාජධානී මහානගරයෙහි විජිතාවී නම් රජව වාසය කරති. සියලු දඹදිව රජවරු ඔහුම අනුගමනය කරන්නාහ. හෙතෙම ඔවුන් පිරිවරා මුහුද කෙළවර කොට ඇති සමතල සුන්දර මහාරාජ්‍යය පාලනය කරයි. කෝටි ලක්ෂයක් රහතන් පිරිවැරූ කොණ්ඩඤ්ඤ බුදුහු පිළිවෙළින් චාරිකා කරමින් චන්දවතී නගරයට පැමිණියහ. විජිතාවී රජ සැහැල්ලු සිතින් දීප ධූප ගන්ධ මාලාදිය ගෙන රජ පිරිස් පිරිවරා බුදුන්ට පෙර ගමන් කළේය. එවිට ඔහු දුරදීම උදාගිරි මුදුන් ගත ළහිරු මඬල මෙන් බබළන බුදුන් දුටුවේය. ඒ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය අසූ අටරියන් උසය. දෙතිස් මහපුරිස් ලකුණු අසූවක් අනුව්‍යඤ්ජනයෙන් සැදුණේය. අසූරියන් බ්‍යාමප්‍රභාවෙන් බබළන උන්වහන්සේ දැක පෙර ඇසුර නිසා බුදුන් කෙරෙහි කුකුස් රහිතව සතුටුව බුදු සිරිපා මුල සිරසින් වැඳ අටමහා පානයෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සහිතව සතප්වා දීප ධූප ගන්ධ මාලාදියෙන් පුදා පසෙක හුන්නේය.
ඉක්බිති කොණ්ඩඤ්ඤ ලෝක නායකයාණෝ ඔහුට පානකානිසංස යුත් දැහැමි කතා දැක්වූහ. දැහැමි කථා දැක්වීමෙන් වඩාත් වැඩුණු ශ්‍රද්ධාවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ ගෙට දන් පිණිස භික්ෂු සංඝයා වහන්සේ සමඟ ඉවසන සේක්වායි සෙට දිනට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දත් හෙතෙම පසඟ පිහිටුවා වැඳ නුවරට ගියේ ය. පසු දින නානා ප්‍රකාර සූපව්‍යඤ්ජන සහිත ප්‍රණීත උතුම් බොජුන් පිළියෙළ කොට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා දන් වළඳවා “ස්වාමීනි, ඔබවහන්සේ මට අනුකම්පාවෙන් තෙමසක් මෙහිම වසන සේක්වායි ආරාධනා කළේය. බුදුහු ඔහුගේ ආරාධනය පිළිගත්හ. බුද්ධානුකම්පාව ලත් රජ තෙමසක් තමා මහත් උත්සාහයෙන් සම්පාදිත දන් පැන් නොකඩවා පිදීය. කොණ්ඩඤ්ඤ බුදුහු විජිතාවී රජුගේ හේතු සම්පත් දැක ඔහු උත්සාහවත් කරවමින් දෙව් මිනිසුන් මැද “මෙයින් තෙයා සංඛ්‍ය කප් ලක්ෂයකින් මත්තෙහි මෙතෙම ගෝතම නම් බුදු වන්නේ ය”යි ප්‍රකාශ කළහ. රජ භාග්‍යවතුන් වහන්සේගේ විවරණය අසා හටගත් බලවත් සොම්නසින් මුළු දඹදිව රාජ්‍යය භාග්‍යවතුන් වහන්සේට පුදා පැවිදි විය.
පැවිදිව තුන් පිටකය ඉගෙන පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා නොපිරිහුණු ධ්‍යානයෙන් මිය බඹලොව උපන්නේ ය. කොණ්ඩඤ්ඤ සම්මා සම්බුද්ධයන් වහන්සේ වස් ලක්ෂයක් වූ ලොව ඉපිද චන්දාරාමයෙහි දී පිරිනිවන් පෑහ. පිරිනිවි කල්හි ධාතු නොවිසුරුණේය. දෙව් මිනිස්සු රැස්ව සත් යොදුනක් සප්ත රත්නමය චෛත්‍යයක් කළහ.
කොණ්ඩඤ්ඤ බුදුන්ට අනතුරුව මංගල නම් නායකයන් වහන්සේ උපන්හ. උන්වහන්සේලා අතර කාලය අසංඛ්‍යය.
කොණ්ඩඤ්ඤ බුදුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන වර්‍ෂ දහසක් පැවැත්තේ ය. බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන් සසුන අතුරුදන් වූ පසු කල් ගතවීමෙන් ඒ කල්පයත් අතුරුදහන් වූ පසු එතැන් සිට එක් අසංඛ්‍යයක් ලොව බුදුවරු නූපන්හ. එය හාස නම් විය. එම අසංඛ්‍යය ගිය කල අන්තර කල්පය පහළ විය. අන්තර කල්පය ගෙවුණු පසු ආයු පරිවර්තනානුක්‍රමයෙන් අසංඛ්‍ය ආයු පිරිහී හැට දහසක් අවුරුදු වූ කල්හි එක් වරකල්පයක මංගල, සුමන, රේවත, සෝභිත යයි සතර බුදු කෙනෙක් පහළ වූහ. එයින් මංගල බුදුහු සෝළසාසංඛ්‍ය කප් ලක්ෂයක් පෙරුම් පුරා තුසී පුර ඉපිද දෙවියන් විසින් බුදු බව සඳහා ආරාධනා කරන ලදුව පස් බැලුම් බලා තුසී පුරයෙන් සැව දඹදිව මධ්‍යම දේශයෙහි උත්තර නුවර උත්තර මහරජු නිසා උත්තරා දේවිය කුස පිළිසිඳ උපන්හ.
එකල්හි දසසහස්‍රි ලෝකධාතු කම්පනාදි නොයෙක් පෙළහර විය. මහා පුරුෂයන්ගේ පිළිසිඳ ගැනීමේ පටන් උත්තරා දේවියගේ ශරීරාලෝකය දිවා රෑ නිතොර අසූරියනක් පමණ සඳහිරු එලියෙන් වත් නොමැඩිය හැකි සේ ප්‍රසන්නව පැවැත්තේ ය. ඕ තොමෝ වෙනත් ආලෝකයක් නැතිව තම ශරීරාලෝකයෙන්ම අඳුර නසා අටසැටක් කිරි මව්වරුන් පිරිවරන ලදුව දේව සමූහයා විසින් කරන ලද ආරක්ෂා ඇතිව මහත් ගබ් පෙරහරින් යුතුව වාසය කළාය. දසමස් ඇවෑමෙන් උත්තරවන උයන්හි මහාපුරුෂයා වැදුවාය. මහාපුරුෂයන් උපන් කෙණෙහිම ලෝකයා විසින් පිළිගනු ලැබ රන්පත් මත සත්තපද වීතිභාරයෙන් ගොස් දස දෙස බලා තමා වැනි කිසිවෙකු නොදැක මම ජ්‍යෙෂ්ඨ වෙමි. මම ශ්‍රේෂ්ඨ වෙමි. මම අග්‍ර වෙමියි සිංහ නාද කළහ. එකෙණෙහි දඹදිව බූමාටු දෙවියෝ දෘශ්‍යමානකයින් සොඳුරු අලංකාරයෙන් සැරසී නුවර දොරටු වල ජයමංගල ස්තූති පැවැත්වූහ. නිමිති දත් බමුණෝ මහා පුරුෂයාණන්ට නම් තබන්නාහු සප්ත මංගල සම්මුතියෙන් උපන් බැවින් මංගල කුමාරයයි නම් තැබූහ. උන්වහන්සේට යසවා, සුචිමා, සිරිමා නම් තුන් පහයක් විය. යසවතී දේවිය ප්‍රමුඛ තිස්දහසක් නළඟනෝ උවටැන් කළහ. උන්වහන්සේ එහි නවවස් දහසක් විෂය රස විඳිමින් යසවතී දේවිය සමඟ සීවක නම් පුතු උපදවා සතර නිමිති දැක සැරසී පණ්ඩර නම් අසුපිට නැග මහ පිරිවර සමඟ මහබිනික්මන් නික්ම පැවිදි වූහ.
පැවිදි වූ උන්වහන්සේ අනුව තිස්කෙළක් ජනයා පැවිදි වූහ. ඔවුන් පිරිවරන ලද මහා පුරුෂයාණෝ අටමසක් ප්‍රධන් වීර්‍ය්‍යය වඩා වෙසක් පොහෝ දින උත්තර ගම උත්තරා සිටුදුව පිදු දෙවියන් දිව ඔජස් බහාලූ කිරිබත වළඳා සල් වෙනෙහි දිවා විහාර කොට එතනින් නික්ම අතරමඟ උත්තරාජීවකයන් දුන් අට තණ මිට ගෙන දකුණින් නා රුක් බෝධිය වෙත පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන දිග සිට අටපනස් රියන් තණ ඇතිරි අතුරා ත්‍රිසන්ධි පර්යංකය වැළද චතුරංග සමන්නාගත වීර්‍ය්‍යය වඩා මාරබල නසා ප්‍රත්‍යයාකාරය ප්‍රතිවේධ කොට සර්වඥතාඥානය ලත් සේක.
කොණ්ඩඤ්ඤ බුදුන්ට පසුව මංගල නම් නායකයාණෝ ලොව අවිදු අඳුර නසා දහම් පහන දැල්වූහ. උන්වහන්සේගේ ප්‍රභාව අනිකුත් ජිනයන් වහන්සේලාට වඩා වැඩිය. අසම ය. ඉරහඳ එලිය යටපත් කොට දසසහස්‍රි ලෝකධාතුව බබළන්නේය.
සෙසු සම්බුදුවරුන්ට වඩා අතිරේකතර ශරීර ප්‍රභාවක් මංගල සම්බුදුන් වහන්සේට විය. නිතොර රෑ දාවල්හි දසදහසක් සක්වළ පැතිර සිටී. කවර කර්‍ම ඵලයකින් අතිරේකතර ප්‍රභාවක් ලබන ලද ද? පළමු භවයෙහි තමන් විසින්ම කරන ලද කුසල බලයෙනි. උන්වහන්සේ බෝසත් කල දීපංකර සම්මා සම්බුදුන්ගේ දොළොස් යොදුන් සත්රුවන් සහිත චෛත්‍යය නැමද මුහුද අවසන් කොට ඇති දඹදිව ප්‍රදීපයෙන් නිතොර කොට තෙමේ තමා වස්ත්‍රයෙන් වෙළා තෙල් ඉස දැල්වීය. වැටි දහසක් තබා තෙලින් පුරවා රන් බඳුනෙහි දල්වා හිසෙහි තබා අරුණෝදය තෙක් මුළු රැය මහසෑය ප්‍රදක්ෂිණා කළේය. නමුත් ශ්‍රද්ධා බලයෙන් උන්වහන්සේට උණුසුමක්වත් නොවීය. දුක්ඛ වේදනාවක් කෙසේ නම් උපදීද? අමෘතාභිෂේක කළාක් මෙන් අලුයම් කල ශරීරය මෙන් සියුම් පිවිතුරු රෙදි පෙරවි සීත උෂ්ණ රහිත සුවපහසුව ඇති විය. අසම ශ්‍රද්ධා ප්‍රීතියෙන් සිහිල් දිය නිති යොදන්නාක් මෙන් හදවත සිසිල් විය. මේ කුසල කර්ම ඵලයෙන් මෙවන් ආලෝකයක් ලබන ලද්දේ ය.
තව ද පෙර පැතුම් වශයෙන් උන්වහන්සේ සියලු පෙරුම් පුරා වෙස්සන්තර සමාන අත් බැව්හි සිට වංක පර්‍වතය වැනි පර්වතයක අඹු දරුවන් සමඟ වාසය කළහ. එකල බමුණු වෙස් දැරූ කරදාඨික නම් යකෙක් උන්වහන්සේගෙන් දෙදරුවන් ඉල්ලීය. උන්වහන්සේ ඔහුගේ වචනයෙන් අනතුරුව පිළිවදන් දී අසුනින් නැගිට පැන් පිරූ කෙණ්ඩිය ගෙන දරු සෙනහසට අවිරුද්ධව පළමුව ස්නේහ අත සිඳ යාචකයාට සත්කාර කිරිම පිණිස කරුණා බහුලව දෙමි සිතා සතුටු සිතින් සයුරු කෙළවර කොට ඇති පොළොව කම්පා කරවමින් ආවර්ජනා කොට බමුණාගේ අතට දරුවන් පිදීය. කරදාඨික යක්ෂයා දරුවන් ලැබීමත් සමඟම බමුණු වෙස හැර ගිනිදැල් වැනි පිඟුවන් ඇස් ඇතිවම විසම විරූප කුරිරු දිග දත් ඇතිව තඹවන් කෙස් වැටි ඇතිව බිඳුණු හනු ඇතිව එල්ලෙන විසම කළු උදරයෙන් යුතුව විසම විරූප රූපයෙන් බොහෝ දිනක් බඩසයින් සිට දෙදරුවන් ගෙන මහාසත්ත්වයන් බල බලා සිටියදීම සක්මන කෙළවර ආලම්බන ඵලකය නිසා සිට වන මුල් කළඹක් කන්නා සේ ඇට කෙළවර කොට කා දැමීය. එවිට ඔහුගේ කටින් යන්ත්‍රයක අසුවුණාක් මෙන් රුධිරධාරා නික්මිණ. ඒ දැක බෝසතුන්ට දොම්නස් මාත්‍රයක් වත් නොවීය. කෙසේ නම් උන්වහන්සේට විපිළිසරක් වන්නේ ද? තමන් වහන්සේට ඒ දානය සිහි කරත් සිහි කරත් බලවත් ප්‍රීතියම හටගත්තේය.
එවිට උන්වහන්සේට “මේ යක්ෂයාගෙන් මේ ලේ දහරා නික්මෙන්නාක් මෙන් බුදු වූ මාගේ ශරීරයෙනුත් දසදහසක් සක්වළ පැතිර අතරක් නැතිව රැස් නික්මේවායි” සිත් විය. ඒ දාන, පූර්වංගම පැතුමින් මෙබඳු ආලෝකයක් විය. බුදු බව ලත් මංගල සම්මා සම්බුදුහු දම්සක් පවත්වා සියලු විනෙදනන්ට අනුකම්පා පිණිස කෝටි ලක්ෂයක් රහතුන් පිරිවරා ගමින් ගම පුරයෙන් පුරය චාරිකා කළ සේක. එකල අප බෝසත්හු සිරි නම් බමුණුගම සුරුචි නම් ආචාර්‍ය්‍යව මන්ත්‍රධර නිඝණ්ඩු කේටුභ සහිත අක්ෂර ප්‍රභේදයන්හි ද ඉතිහාසය පස්වෙනි කොට ඇති ශාස්ත්‍ර පාරගත පද දත් වියරණ දත් ලෝකායත ශාස්ත්‍රයන්හි හා මහාපුරුෂ ලක්ෂණයන්හි අනින්දිතව අපමණ සම්පත් ඇති ත්‍රිවේද පාරගත බමුණුව වාසය කරති.
මහාමංගල සම්බුද්ධයන් වහන්සේ ඔහුගේ නිවාස ග්‍රාමයට වැඩි සේක. එවිට සුරුචි බ්‍රාහ්මණ තෙම බොහෝ තරුණයන් සිය ගණනක් පෙරටු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් අසූඅට රියන් උස රශ්මියෙන් බබළන සකල ශරීරයෙහි විසිරුණු මහාපුරුෂ ලක්ෂණ ඇති භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැකීම් පමණකින්ම පැහැද සක් ලකුණු සැදි බුදුසිරිපා මුල සිරසින් වැඳ වැටුණේය. වැඳ පසෙක වාඩි විය. එවිට බුදුහු ඔහුට අනුරූප දහම් දෙසූහ. හෙතෙම බුදුන්ගේ මිහිරි බණ අසා ශ්‍රද්ධා උපදවා බුදුසරණ ගොස් දීප ධූප ගන්ධ මාලායෙන් පුදා සෙට දින දනට ආරාධනා කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ බමුණ, ඔබට කෙතෙක් භික්ෂූන් අවශ්‍යදැයි විමසූහ. ස්වාමීනි, භික්ෂු පිරිවර කෙතෙක්ද? බමුණ, කෙළ ලක්ෂයකි. ස්වාමීනි, සියල්ලන් වහන්සේ සමගිනි. බුදුහු තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.
හෙතෙම බික්සඟන සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට ගෙට යමින් අතර මඟ “මහ යසස ඉමහත්ය, භාග්‍යවතුන් වහන්සේ මහා පිරිවර සහිත වෙති. කෙළ ලක්ෂයක් පිරිවරට ආරාධනා කළෙමි. මාගේ ගෙයි සහල් මුං මෑ ආදියෙහි ද කිරි, දී, ගිතෙල්, මී පැණි, හකුරු, ලුණු ආදියෙහි ද ප්‍රමාණයක් නැත. මේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට හිඳින තැන් නැත. කුමක් කරන්නෙම් දැ”යි සිතීය. චින්තාපරවස විය. සිතත් සමඟින් අසූහාරදහසක් යොදුන් උස සිනෙරු මුදුනෙහි වූ පරසතු රුක් මුල් හි පිහිටි බඳුවද අශෝක ආදි අතිරේක කුසුමින් යුත් පනස් නව යොදුන් දික් ශක්‍රාසනය වූ පණ්ඩුකම්බල සිලාසනය ගින්නෙන් තවන ලද්දාක් මෙන් උණුසුම් විය. එවිට ශක්‍රයා කවරෙක් නම් මා මෙතැනින් පහ කරනු කැමැත්තේ දැයි දිවැසින් බලන්නේ ඒ බෝසතුන් දුටුවේය. සුරුචි බ්‍රාහ්මණ බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයාහට ආරාධනා කොට හිඳිනා තැන් පිණිස සිතයි. මා එහි ගොස් පින් කොටසක් ලබාගත යුතු යැයි වඩු වෙස් ගෙන වෑ පොරෝ නියං ආදිය සහිතව සුරුචි බ්‍රාහ්මණ ඉදිරියේ පෙනී සිටියේ ය. කාට හෝ කළ යුතු බැලයක් ඇද්දැයි ඇසීය. තෝ කුමක් කිරීමට දන්නෙහි ද ? මා නොදන්නා ශිල්පයක් නම් නැත. ඉදින් වේතන දිය හැකි නම් ඔබ කැමැති දෙයක් කළ හැකි වෙමියි කීය.
දරුව, එසේ නම් මා විසින් කෙළලක්ෂයක් පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට හෙට දනට ආරාධනා කරන ලදි. ඒ බුදු පිරිවර වැළඳවීම සඳහා මහා මණ්ඩපයක් අවශ්‍යය. තෝම කරවයි කීය. මහාබ්‍රාහ්මණය, මැනවැයි ඔහුගේ කීම පිළිගෙන ශක්‍රයා තෙලෙස් යොදුන් ප්‍රමාණ බිම් පෙදෙසක් බැලීය. බැලීමත් සමගම ඒ බිම්පෙදෙස බෙරතලයක් මෙන් සමතල විය. එකල ඔහු සිය සෘද්ධි බලයෙන් මෙහි සත්රුවන්මුවා මණ්ඩපයයි අධිෂ්ඨාන කළේය. එවිටම පොළොව පළාගෙන සත්රුවන් මුවා මහ මඩුව පහළ විය. ඒ මඩුව තෙලෙස් යොදුන් පමණය. සත් රුවන්මුවාය. ටැම් රන් මුවා ය. කිකිණි දැලින් වටකරන ලද්දේය. සුළගින් ලෙලෙන දැලින් මිහිරි පසතුරුගොස උපදී. ඒ ඒ තැන භික්ෂූන්ට ආසනාදිය පනවා බෝසතුන් වෙත ගොස් “ආර්යය, බැලූව මැනැවැයි” කීය. ඔහු ගොස් බලා ආශ්චර්‍ය්‍ය අද්භූත විස්මයට පත් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය සිරුරින් මෙවැන්නක් මිනිසෙකුට නම් නොකළ හැකිය. නිසැකයෙන් මාගේ අදහස් බෙලෙන් ශක්‍රයාගේ පඬු ඇඹුල් සලසුන උණුවන්නට ඇත. ඒ බව දැන සක් දෙව්රද මට අනුග්‍රහ පිණිස කාය සාක්ෂි වශයෙන් ආයේ වන. ඔහු විසින් මේ මණ්ඩපය කරන ලද්දේ යැයි සිතීය.
මෙවැනි මණ්ඩපයක එක දවසක් පමණක් දන්දීම මට නොගැළපේ. දැන් මම සතියක් දෙමියි දෙවැනි දින පිරිවර ජනයා රැස් කොට නොයෙක් ලක්ෂ ගණන් මහමහ හැළි කිරෙන් පුරවා ළිප තබා පැසවූ හකුරු දියෙහි පැසවූ කිරි සහල් බහා පැසුණු හකුරු ගිතෙල් යොදා මුසුකොට ඒ මඩුවෙහි බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩා හිඳුවා ගවපාක නම් දානයක් පිදීය. එදින මිනිසුන්ට පමණක් වැළඳවිය නොහැකිවිය.
දෙවියෝ ද එකතුව වැළඳවූහ. සත්වන දින සියලු භික්ෂූන්ගේ පාත්‍ර සෝදා බෙහෙත් පිණිස ගිතෙල් මෝරු තෙල් මී පැණි පුදා තුන් සිවුරු ද පුද කළේය. මහාමංගල සම්මා සම්බුදුහු ඔහුට දානානුමෝදනා කරමින් “මේ පුද්ගලයා මෙබඳු දන් දී කවරෙක් නම් වන්නේ දැයි බලන්නේ අනාගතයෙහි දෙයාසංඛ්‍ය කප් ලක්ෂයක් කෙළවර ගෝතම නම් බුදුවන්නේ යැයි දැක දෙව් මිනිස් ගණ මැද සුරුචි බ්‍රාහ්මණයන් අමතා මහා බ්‍රාහ්මණය, ඔබ මෙයින් දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු අනාගතයෙහි මෙපමණ කලක් ගෙවා ගෝතම නම් බුදුවන්නෙහියයි ප්‍රකාශ කළ සේක.
හෙතෙම විවරණය අසා හටගත් සොම්නසින් “මම බුදුවෙමි. මට ගෘහවාසයෙන් කවර අර්ථයක් ද ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහිම පැවිදිවෙමි”යි සිතා එබඳු මහා සම්පත් කෙළ පිඩක් මෙන් අතහැර සසුන්හි පැවිදි විය. පැවිදිව ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන සද්ධර්‍මරත්නයට පුදා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා බඹ ලොව උපන්නේය.
මහා මංගල සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දහම් ප්‍රදීපය දල්වා මහජනයා සනසා ධූම කේතුවක් සේ දිලිසී ඒ මහා යසස්වීන් වහන්සේ පිරිනිවි සේක.
මංගල බුදුහු අනූලක්‍ෂයක් හවුරුදු ලොව සිට පිරිනිවි කල්හි දස දහසක් සක්වළ එසැණින් අඳුරු විය. උන්වහන්සේගේ සසුන පිරිහුණු කල්හි මිනිසුන්ගේ අනූලක්‍ෂයක් ආයු කෙමෙන් පිරිහී දසවස් ආයු වීමෙන් පසු අන්තර කල්පයක් ඇතිවිය. එය ද ගෙවී කෙමෙන් වැඩී අසංඛ්‍යායුෂ්ක විය. එය පිරිහී අනූදහසක් අවුරුදු වූ කල සුමන බුදුහු ලොව උපන්හ. උන්වහන්සේ සොළසාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පෙරුම්දම් පුරා මේඛලා නුවර සුදත්ත මහරජු නිසා සිරිමා දේවිය කුස පිළිසිඳ ගත්හ.
එකල්හි ද කියන ලද ආකාරයේ නන් පෙළහර විය. දසමස් ඇවෑමෙන් උයන්හිදී මවු කුසින් බිහිවිය. එවේලෙහි සියලු සතුන් මත අහසින් සමන් මල් වැසි වැටුණේය. උන්වහන්සේට නම් තැබූ බමුණුවරු සුමන කුමාර කියාම නම් තැබූහ. සුමන බෝසත්හු නව දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. චන්‍ද, සුවන්‍ද, වතංස නම් තුන් පහයක් උන්වහන්සේට විය. පතණ්ඩිකා නම් රජකුමරිය අග මෙහෙසි වූවාය. තෙසැට දහසක් නළඟනෝ උවටැන් කළාහ. උන්වහන්සේ ඔවුන් සමඟ විෂය රස විඳ පතණ්ඩිකා දේවිය සමඟ අනෝපම නම් පුතු උපදවා සතර නිමිති දැක උතුම් ඇත් යානයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ.
උන්වහන්සේ අනුව තිස්කෙළක් මිනිස්සු පැවිදි වූහ. උන්- වහන්සේ ඔවුන් පිරිවරා දසමසක් වීර්‍ය්‍යය කොට වෙසක් පොහෝ දින ගණයා හැර අනෝපම නියම්ගම අනෝපම සිටු දියණිය දෙන ලද දිව ඔජස් බහාලූ දිව කිරිබත් වළඳා සල් වෙනෙහි දිවා විහාර කොට සවස්හි අනුපම ආජීවකයා දුන් අට තණමිට ගෙන දකුණින් නාරුක් බෝධිය වෙත පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන දික්හිම සිට තිස්රියන් පුළුල් තණ ඇතිරිය අතුරා පලක් බැඳ චතුරංගික වීර්‍ය්‍යය ඉටා මාරබල නසා බුදුබව ලැබූහ. එදින ද අසිරිමත් මහාසමන්මල්වැසි වැස්සේය. පිළිසිඳ ගැනීම, උපත, බුදුවීම, යන අවස්ථාවන්හිදී සමන්මල් වැසි වට හෙයින් සුමන නම් වූ සේක.
උන් වහන්සේ බ්‍රහ්මාරාධනය පිළිගෙන කාහට පළමු දම් දෙසන්නෙම් දැයි සලකා සිය සුළුමව පුත් සරණ කුමරු ද පුරෝහිත පුත් භාවිත කුමරු ද දැක පාසිවුරු ගෙන රාජහංස ලීලාවෙන් මොහොතකින් මේඛලා වනයට අහසින් බැස උයන්පල්ලා යවා දෙකුමරුන් කැඳවූහ. ඔවුන්ගේ පිරිස සතිස්කෙළකි. තමන්වහන්සේ සමඟ පැවිදිවූවෝ තිස්කෙළකි. වෙනත් දෙවි මිනිසුන් ද සහිත සමාගමයෙහි ආර්යාකර දම්සක් පවත්වමින් කෙළලක්‍ෂයක් මිනිසුන්ට ධර්මාවබෝධ කළ සේක.
උන්වහන්සේ එදින ධර්‍මචක්‍රය සහිත නවාංග ශාස්තෘශාසන නැමති අමාබෙරය මේඛලා පුරයෙහි වැයූ සේක.
අමතහේරී නම් සමථ විදර්ශනා මහාකුස ඇති සතිපට්ඨාන සමින් වසන ලද සම්‍යග් ප්‍රධාන දණ්ඩෙන් ගසන ලද සතර මග ඵල නැමති මිහිරි මහාඝෝෂා ඇති චතුස්සත්‍ය රස ලක්‍ෂණ යුත් අමා බෙරයයි. සත්‍ය ධර්‍ම දේශනා සහිතව ශාස්තෘන් වහන්සේ නවාංග ශාස්තෘ ශාසන නැමති උතුම් අමාදහම් බෙරය වැයූහ. මාපෙසි නගරං සත්‍ථා සද්ධම්මපුරමුත්තමං යනු, මෙහි සද්ධම්මපුර නම් නිකෙලෙස් මහරහත්හු පැමිණෙන නිර්වාණ නම් නගරයයි.
ඉක්බිති ලෝක නායකයන් වහන්සේ උපායාසයෙන් පිඩිත කෙලෙස් සොරුන් විසින් නිතර පිඩා කරනු ලබන සුන්වූ අදහස් ඇති දුකින් පීඩිත කුසල් රැස් කිරීමක් නොමැතිව තැවෙන සක්කායවත් ලෝකයාට ආර්යඅෂ්ටාංගික මාර්ග මහකන් ඇති සමාධි නැමති අට්ටාලයෙහි කරන ලද විදර්ශනා නැමති ඉන්‍ද්‍රඛීලය ද, මෛත්‍රි දිය අගල ද කරුණා සීතල ජලය ද පිරුණු පොකුණින් සමන්විත මුදිතා මල් ගැවසීගත්, උපේක්‍ෂා සැරසිලි ඇති සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මකුසල සේනා සහිත සම්බොජ්ඣංග ජනාධිපති ඇති අමාපුරවරය මැවූහ.
යමෙක් අප්‍රමාද වූවාහු හිරි, වීර්යයෙන් යුක්තයෝ නම් ඔවුහු උතුම් ගුණසම්පත් සුවසේ ලබා ගනිති.
යෙ අප්පමත්තා යනු, සිහියෙන් නොවෙන්වීමේ ගුණය වූ අප්‍රමාදයෙහි පිහිටියාහු. අඛිලා යනු, රාග, දෝස, මාන, දිට්ඨි හා ක්ලේශ දුශ්චරිත යන හුල් වලින් රහිතයෝ යි. හිරිවියේහුපාගතා යනු, ආධ්‍යාත්මික වරද දක්නේ හිරියයි. බාහිර මාර්‍ග දක්නේ ඔත්තප්පයයි. කායික චෛතසික උත්සාහය වීර්යයයි. එම හිරි ආදියෙන් යුක්ත කුල ගෝත්‍රයෝ මේ උතුම් ගුණ සුවසේ අත්පත් කර ගනිති.
එකල අප බෝසත්හු මහත් සෘද්ධි ඇති මහානුභාව ඇති අතුල නම් නා රජ විය. එතුමා බුදුන් ලොව උපන් බව අසා සතුටු සොම්නස්ව නෑ සමූහයා පිරිවරා සුමන භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් වැඳ ආරාධනා කොට කෙළලක්‍ෂයක් භික්‍ෂු පිරිවර සහිත භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය තූර්ය උපහාර දක්වා වර්‍ණ, ගන්ධ, රස, ඕජා, සහිත දිව්‍ය අන්නපාන සහිත මහදන් දී බුදුන් ප්‍රධාන එක් එක් භික්‍ෂූන් වහන්සේට දිවසළු සඟළ බැගින් පුදා තිසරණ පිහිටියේ ය. සුමන බුදුහු නා රජුගේ අදහස් බලා මෙතෙම මෙයින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ගෝතම නම් බුදු වන්නේ යයි දෙවි මිනිසුන් මැද ප්‍රකාශ කළහ. විවරණ අසා පහන් සිත් ඇති නා රජ දීප, ධූප, ගන්ධ මාලාදියෙන් බුදුන් පුදා වැඳ නාග භවනයට ආපසු ගොස් මරණින් මතු දෙව් ලොව උපන්නේය.
සුමන භාග්‍යවතුන් වහන්සේ අනූදහසක් ආයු ඇති ලොව ඉපිද සූර්‍ය්‍ය නගරයේ දී පිරිනිවී සේක. ඉන් පසු ආයු පිරිහී සැට දහසක් ආයු වූ කල රේවත නම් බුදුහු ලොව උපන්හ. රෙවත බෝසත්හු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා තුසීපුර උපන්හ. එහි දේවාරාධනය පිළිගෙන චුතව සුධම්මවතී නුවර විපුල රජු නිසා විපුලා දේවිය කුස පිළිසිඳ ගත්හ. එකල බොහෝ පෙළහර සිදුවිය. දසමස් ගෙවා ලෝක පාලයන්ගේ ආරක්‍ෂාව ඇතිව ධඤ්ඤවන උයන්හි දී මේකුළකිත් නික්මෙන හිරු මෙන් මව් කුසින් බිහි වූහ. උපදින කල ගෙවල වීථී, සතරමං සන්ධි, අංගණාදියෙහි සත්රුවන් අබරණ වැසි වැස්සේය. එහෙයින් රේවත යයි නම් කළහ.
උන්වහන්සේ දස දහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. සුදස්සන, රතනග්ගි, අචෙල නම් තුන් පහයක් විය. සුදස්සන දේවිය ප්‍රමුඛ තිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. ඔවුන් සමඟ විෂය රස විඳි උන්වහන්සේ සුදස්සන දේවියට වරුණ නම් පුතු උපන් කල්හි සතර නිමිති දැක සංවේගයට පැමිණ ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් නික්මුණහ. කෙළක් ජනයා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවරා සත්මසක් ප්‍රධන් වීර්යය වඩා වෙසක් පොහෝ දින ධඤ්ඤවතී නියම්ගම සුධඤ්ඤ සිටුදුව පිදූ දිව රසමුසු පැණි කිරිබත් වළඳා සල් වෙනෙහි දාවල් දවස් ගෙවා සවස ධරණීධර ආජීවකයා දුන් අට තණමිට ගෙන දකුණින් නාරුක් බෝධිය කරා පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන දිග සිට තෙපනස් රියන් තණ ඇතිරිය පනවා චතුරංග වීර්‍ය්‍යයෙන් පර්යංකයෙන් හිඳ නෙළුම් හුයක් සිඳින ඇතෙකු මෙන් මාර බල දිනා තුන්යම ත්‍රිවිද්‍යා සාක්ෂාත් කොට බුදුබව ලැබූහ.
රෙවත භාග්‍යවතුන් වහන්සේ දම්සක් පවත්වා ලෝහිත පිණිස චාරිකා කරමින් රම්මවතී නගරයට වැඩි සේක. අප බෝසත්හු එහි අතිදේව නම් වේද පාරගත බමුණෙක් වූහ. දෙතිසක් වර ලකුණින් හෙබි බුදුරුව දුටු හෙතෙම නිසැකව සරණයෙහි පිහිටා ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිලෝදහසකින් බුදු ගුණ වනා දහසක් වටිනා තමාගේ උතුරු සළුව භාග්‍යවතුන් වහන්සේට පිදූහ. දෙයාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් මෙතෙම ගෝතම නම් බුදු වන්නේයයි රේවත භාග්‍යවතුන් වහන්සේ විවරණ දුන් සේක.
විවරණ අසා දාන සීලාදියෙහි ආදර ඉපද වූ උන්වහන්සේ ආයු කෙළවර දෙව්ලොව උපන්හ. රෙවත ජිනවරයන් වහන්සේ සැට දහසක් අවුරුදු ආයු වළඳා ලොව ඉපිද සල් උයන්හි පිරිනිවියහ. අධිෂ්ඨාන වශයෙන් උන්වහන්සේගේ ධාතු නො විසුරුණේය. රේවත සම්බුදුසසුන අතුරුදන් වූ පසු යළි මිනිසුන්ගේ ආයු පෙරළීමෙන් අනූ දහසක් අවුරුදු වූ කල සෝභිත බෝසතාණෝ සාරාසැකි කප් සුවහසක් පැරුම් පුරා වෙස්සන්තර සමාන අත් බැවින් චුතව තුසී පුර උපන්හ. දේවතාරාධනයෙන් තුසී පුරෙන් සැව සුධම්ම නුවර සුධම්ම මහ රජු නිසා සුධම්මා මහදේවිය කුස පිළිසිඳ ගත්හ.
එකල දසදහසක් ලෝකධාතු කම්පනාදි කියන ලද පෙළහර සිදුවිය. දසමස් ඇවෑමෙන් සුධම්ම උයන්හිදීම දස දහසක් සක්වළ හොබවමින් මව්කුසින් නික්මුණහ. සොළොස් දහසක් අවුරුදු ගිහිගෙහි විසූහ. උන්වහන්සේට මුද, පදුම, නලින, නම් තුන් පහයක් විය. මඛිලා දේවිය අගමෙහෙසි කොට එක් එක් පහයෙහි සොළොස් සොළොස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. මඛිලා දේවිය සිරි කුමාර නම් පුතු වැදූ කල උන්වහන්සේ සතර නිමිති දැක සංවේගයට පත්ව එම ප්‍රාසාදයෙහිම පැවිදිව එහිම ආනාපානසති සමාධිය වඩා සතර දැහැන් ලබා සතියක් ප්‍රධන් වීර්‍ය්‍යය කොට මඛිලා දේවිය පිදු දිව ඔජස් බහාලු මධු පායාසය වළඳා දිවා විහාර කොට නික්මෙමියි සිතා මේ පහය අහසින් ගොස් බෝමැඩ බසීවා, මේ ස්ත්‍රීහු මා පර්යංකයෙහි හුන් කල නොකියාම ප්‍රාසාදයෙන් නික්මෙත්වායි අධිෂ්ඨාන කළහ.
සිතුවිල්ලත් සමඟින් පහය හිරු විමන මෙන් අහසට නැග ගමන් කළේය. නාටක ස්ත්‍රීහු උන්වහන්සේ පිරිවරා නානා තූර්ය වාදන සහිතව ගායනා කරමින් ගියහ. සිවුරඟ සෙනඟ සිටි සැටියෙන්ම පොළොවෙහි මෙන් අහසෙහි ගමන් කළහ. මහජනයා ද පිළීසිසෑරීම් සාධුකාර දීම් සහිතව පහය පිරිවරා ගියහ. ප්‍රාසාදය අහසින් ගොස් අට අසූරියන් උස දෙවියන් විසින් සරහන ලද සෘජු මහත් රතු කඳින් යුත් නාරුක් බෝධිය මැදි කොට බැස බිම පිහිටියේය. කිසිවෙකු විසිනුත් නොකියන ලද නිළියෝ බැස නික්ම ගියහ. සෝභිත මහා පුරුෂයාණෝ මහජනයා පිරිවරාගෙනම තුන් යම්හි ත්‍රිවිද්‍යා උපදවා තඹවන් අරුණෝදයෙහි සර්‍වඥතාඥානය ලැබූහ. ධර්‍මතාවශයෙන් පිරිස ආපරිද්දෙන්ම ගියහ. ප්‍රාසාදය එසේම පිහිටියේය. බුදුබව ලත් සෝභිත සම්මා සම්බුදුහු දම්සක් පවත්වා මහාජන සංග්‍රහ සඳහා චාරිකා කරමින් රම්ම නගරයට වැඩියහ.
එකල අප බෝසත්හු එනුවර සුජාත නම් අනන්ත භෝග සම්පත් ඇති බමුණෙක් වූහ. එතුමා බුදුරුව දැකීමෙන්ම සැදැහැ ලබා දිවි හිමියෙන් සරණ ගොස් යොදුන් සීයක් සීමාවෙහි නිවැසි සියලු ශ්‍රාවකයන් රැස් කරවා තෙමසක් මහදන් පැවැත්වීය. දුන් දානයෙහි ප්‍රමාණයක් නම් නැත. සෝභිත ලෝක නායකයාණෝ “මෙතෙම දෙයාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් මතු අනාගතයෙහි ගෝතම නම් බුදුවන්නේය”යි විවරණ දුන්හ. සුජාත බුමුණු සෝභිතබුදුවිවරණ ලබා කුසල් දහම්හි නොපමාව දෙව්ලොව උපන්නේය.
සෝභිත බුදුහු අනූ දහසක් අවුරුදු ආයු වූ ලොව ඉපිද විනය දනන්හට හිත සලසා අනුපාදා නිබ්බාන ධාතුවෙන් පිරිනිවි සේක. උන්වහන්සේගේ සසුන ද අතුරුදන්ව දිගු කල් ඇවෑමෙන් එකප නැසිණ. එතැන් පටන් අසංඛ්‍ය කල්පයක් අවිදු අඳුරින් වැසුණු බුද්ධ සූර්‍ය්‍යයා රහිත කාලයක් විය. ඒ ජය නම් අසංඛ්‍යයයි. ඒ කප ගෙවී එක් සාරමණ්ඩ කපෙක අනෝමදස්සි, පදුම, නාරද නම් තුන් බුදු කෙනෙක් උපන්හ.
උන්වහන්සේලාගෙන් අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැරුම් පුරා තුසීපුර ඉපිද දේවායාචනයෙන් චුතව චන්‍දවතී නුවර යසරජහුගේ අගබිසෝ යසෝධරා කුස පිළිසිඳ ගත්තේය. එකල්හි ද නොයෙක් පෙළහර පහළ විය. අනෝමදස්සී කුමරු කුස හුන් කල්හි ඒ අනුහසින් යසෝධරා දේවියගේ ශරීරාලෝකය අසූරියන් දුර අඳුර නිති දුරු කළේය. සඳ හිරු එලියෙන් අනභිභවනීයව දිවා රෑ පැවැත්තේය. දසමස් ගෙවා සුචන්‍දක උයන්හි බෝසතුන් වැදුවාය.
එකල්හි පෙළහර ඇතිවිය. පවුර හිම්කොට මුළු නුවර විසිතුරු වස්ත්‍රාභරණ අහසින් පතිත විය. නම් තබන දින නිමිති දත් පුරෝහිතයෝ උපතෙහි අනුපම දේ දැක්වූ බැවින් අනෝමදස්සි යයි නම් තැබූහ.
එතුමා දසවස් දහයක් ගිහිගෙහි විසීය. සිරි, උපසිරි, වාද නම් තුන් පහයක් විය. සිරිමා දේවිය ප්‍රමුඛ තෙවිසිදහසක් ස්ත්‍රීහු ප්‍රත්‍යුපස්ථාන කළහ. සිරිමා දේවිය උපධාන නම් පුතු වැදූ කල්හි සතර නිමිති දැක රන්සිවි ගෙයකින් මහභිනික්මන් කොට පැවිදිවිය. තිස් කෙළක් ජනයා අනුපැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා දසමස් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් වෙසක් පොහෝ දින අනුපම බමුණුගම අනුපම සිටුදියණිය දුන් දිව ඔජස් බහාලූ මී කිරි බත් වළදා සල් උයන්හි දාවල් කල් යවා අනෝපම ආජීවක දුන් තණ අටමිට ගෙන අර්ජුන බෝරුක වෙත දකුණින් පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන දිග සිට අටතිස් රියන් පුළුල් තණ ඇතිරිය අතුරා චතුරංග වීර්‍ය්‍යය ඉටා පර්යංකයෙන් ඉඳ තුන් යාමයෙහි ත්‍රිවිද්‍යා උපදවා බුදධත්වය ලැබූ සේක. බුදුව දම්සක් පවත්වා සකල සත්වානුග්‍රහය පිණිස කෙළක් භික්‍ෂූන් පිරිවරා ජනපද චාරිකාවෙහි වැඩි සේක. එකල අප බෝසතාණෝ නොයෙක් කෙළ ගණන් යකුන් පිරිවැරූ යක් රජෙක් වූහ. අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ යක්‍ෂ භවනයට වැඩි සේක. බික්සඟුන් සහිත බුදුන් දුටු යක්රජ සොම්නසින් පිරිවරින් පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ සිය භවන ළඟ දඹරන් මහමඩුවක් මවා සතියක් දිවඕජා සහිත මහදන් පිදීය. භාග්‍යවතුන් වහන්සේ භක්තානුමෝදනාවෙහි මේ යක්රජ ඒකාසංඛ්‍ය කප් ලක්‍ෂයකින් මතු ගෝතම නම් බුදු වන්නේයයි විවරණ දුන් සේක.
ව්‍යාකරණලාභීව තුටු පහටු යක්රජ පාරමී පිරීම සඳහා දැඩි පැරකුම් ඇතිව ස්වර්‍ගපරායණ වීය. අනෝමදස්සී ශ්‍රීධරයාණෝ ලක්‍ෂයක් ආයු වූ ලෝකයෙහි ඉපිද පිරිනිවියහ. උන්වහන්සේගේ සසුන ද අතුරුදන්ව අන්තර කල්පය ද ගෙවී ගිය පසු මිනිසුන්ගේ අසංඛ්‍ය ආයු පිරිහී යළි දහසක් වූ කල පදුම නම් බෝසතාණෝ සොළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම් පුරා පෙර බෝසතුන් මෙන් තුසීපුරෙන් සැව චම්පා නුවර අසම මහරජු නිසා අසමා දේවිය කුස උපන්හ. එකල නොයෙක් පෙළහර ඇතිවිය. දසමස් ඇවෑමෙන් චම්පක උයන්හි මවු කුසින් බිහිවිය. කුමරු උපන් කල්හි මුහුද දක්වා දඹදිව දණක් පමණ පියුම් වැසි වැස්සේය. එහෙයින් මහා පදුම කුමාරයයි නම් තැබූහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙහි විසූහ. උත්තරා, වසුත්තරා, යසුත්තරා, නම් ප්‍රාසාද තුනක් විය. උත්තරා දේවිය ප්‍රමුඛ තිස්තුන්ලක්‍ෂයක් ස්ත්‍රීහු උවටැන් කළහ.
මහාපදුම බෝසතාණෝ උත්තරා දේවිය රම්ම කුමාර පුතු වැදූ කල්හි සතර නිමිති දැක ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ. කෙළක් පුරුෂයෝ අනුපැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් සමඟ අට මසක් ප්‍රධන් වීර්‍ය්‍යය වඩා වෙසක් පොහෝ දින ධඤ්ඤවතී නියම්ගම සුධඤ්ඤ සිටුදුව පිදූ දිව ඔජස් බහාලූ මධු පායාස වළඳා අඹ වනයෙහි දිවා විහාර කොට සවස් වේලෙහි නන්‍දිකාජීවකයන් දුන් අට තණමිට ගෙන සොණක බෝධිය වෙත දකුණින් පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා පර්යංකයෙන් චතුරංග වීර්‍ය්‍යය ඉටා මාර බල නසා තුන්යම්හි ත්‍රිවිද්‍යා උපදවා බුදු බව ලැබූහ.
බුදුබව ලැබ දම්සක් පවත්වා පසු කලෙක අරණ්‍යවන ගහණයෙක වස් විසූ සේක. එකල අප බෝසතාණෝ සිංහ මෘග රාජයෙක් වූහ. ඔහු සතියක් නිරෝධ සමවතින් සිටි බුදුන් දැක පැහැද වැඳ පැදකුණු කොට සොම්නස් වේගයෙන් තෙවරක් බුදුන් ඉදිරියේ සිංහනාද කොට සතියක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගොදුරු සඳහා ද නොගොස් බුදුන් ඇසුරෙහිම සිටියේය. මහාපදුම භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමවතින් නැගී සිට ඉදිරියෙහි සිටි සිංහයා දැක මේ සිංහයා මහත් අදහස් ඇත්තෙකි. භික්‍ෂූන් විෂයෙහි සිත පහදවා නමස්කාර කරයි. භික්‍ෂු සංඝයා මෙහි පැමිණෙත්වායි සිතූහ. එවිටම උන්වහන්සේලා පැමිණ බුදුන් වැඳ වාඩි වූහ. සිංහයාද භික්‍ෂූන් දැක සිත පැහැදවීය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිත දැන භික්‍ෂුසංඝයා මධ්‍යයෙහි “මහණෙනි මේ මෘග රාජ සිංහයා භික්‍ෂූන් සහිත මා කෙරෙහි සිත පහදවා ඒකාසංඛ්‍ය කප්ලක්‍ෂයක් ඉක්මවා අනාගතයෙහි බුදු වන්නේය”යි ප්‍රකාශ කළ සේක. විවරණ ඇසු සිංහයා “මම බුදු වන්නෙමි”යි මේ දුබල ජීවිතයෙන් මට කවර වැඩක් දැයි සිතා එහිම ජීවිත පරිත්‍යාග කොට දෙව්ලොව උපන්නේය. මහාපදුම තථාගතයන් වහන්සේ මොහඳුර දුරලමින් වර්‍ෂ ලක්ෂයක් ආයු ඇති ලොව ඉපිද පිරිනිවි සේක. උන්වහන්සේගේ සසුන ද අතුරුදන්ව කල්යාමෙන් මිනිසුන්ට අනූදහසක් ආයු වූ කල භව බැඳුම් සිඳලන නාරද නම් භාග්‍යවතුන් වහන්සේ ලොව උපන්හ. උන්වහන්සේ සොළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම්පුරා අන් බෝසතුන් මෙන් තුසී පුරයෙන් චුතව ධඤ්ඤවතී නුවර සුදේව මහ රජුගේ මහමෙහෙසි අනෝපමා දේවිය කුස උපන්හ. එකල දසසහස්‍රී ලෝක කම්පනාදි ප්‍රාතිහාර්‍ය්‍ය විය.
උපන් කෙණෙහි සියලු දඹදිව වැසි මිනිසුන්ගේ පරිභෝජනයට අනුරූප ආභරණ අහසින් පතිත විය. එබැවින් නම් තැබීමේ දී මිනිසුන්ට උතුම් ශීර්ෂාභරණාදිය දෙන ලදැයි නාරද යයි නම් තැබූහ. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. විජිත, විජිතාවි, ජිතාභිරාම නම් තුන් පහයක් විය. විජිතසේන මහමෙහෙසිය ප්‍රමුඛ විසි දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. විජිතසේන මහදේවියට නන්ද කුමාර නම් පුතු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිව්රඟසෙන් පිරිවරා පැළඳි මුතුමාලාදි සියලු ආභරණ සහිතව පාගමනින්ම උයනට ගොස් ආභරණ ගලවා භාණ්ඩාගාරිකයාට දී තමාම සියුම් කඩුවෙන් මහරුවනින් සැරසූ කෙස්කළඹ කපා අහසට දැමූහ. ශක්‍රයා එය පිළිගෙන තව්තිසාවෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කළේය. මහාසත්ත්වයෝ මහබඹහු විසින් දුන් කසාවත් හැඳ එඋයන්හිම පැවිදි වූහ. ලක්‍ෂයක් පිරිස උන්වහන්සේ අනුව පැවිදි වූහ. සතියක් එහිම ප්‍රධන් වීර්‍ය්‍යය වඩා උන්වහන්සේ වෙසක් පොහෝ දින විජිතසේන මහමෙහෙසිය පිදූ දිව මිහිර යුත් කිරිබත් වළඳා උයන්හිම දාවල ගෙවා සවස්හි සුදස්සන උයන්පල්ලා විසින් දෙන ලද අට තණමිට ගෙන සෝණක බෝධිය වෙත දකුණින් පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන කොණ සිට අට පනස් රියන් තණ ඇතිරිය අතුරා පලක් බැඳ මාර බල බිඳ දමා ත්‍රිවිද්‍යා උපදවා බුදුවූ සේක.
එකල අපගේ බෝධි සත්ත්වයෝ පංචාභිඥාධර තවුසෙක්ව හිමව් පියසෙහි ආශ්‍රමයක් කොට විසූහ. එවිට මාරජන පරාජය කළ උදාර නාරද සම්මා සම්බුදුහු උතුම් දම්සක් පවත්වා තාපසයන්ට අනුකම්පා පිණිස අසූකෙළක් රහතන් ද අනාගාමී උපසකවරුන් දසදහසක් ද පිරිවරා ඒ අසපුවට වැඩි සේක. එවිට තාපසයෝ අපරිමිත සුචරිත කර්ම ඵලයෙන් සුන්දරව බබළන අට අසූරියන් බුදු බඳින් යුත් ශ්‍රාවක සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ දැක ආශ්චර්‍ය්‍ය අද්භූත සිතින් උදම්ව සැහැල්ලු සිතින් පෙරගමන් කොට වැඳ සපිරිවරින් වැඩ විසීම පිණිස භාග්‍යවතුන් වහන්සේට ආශ්‍රමයක් මවා ආශ්‍රමය මැද මහමඩුවක් කරවා ආසන පනවා වඩා හිඳුවා මුළු රැය බුදු ගුණ සිතා දෙවන දින උතුරුකුරු දිවයිනට ගොස් බත් ගෙනවුත් වැළඳවූහ. මෙසේ සතියක් මහදන් පුදා හිමවතින් සතරඟුල් පමණ මාහැඟි හඳුන් ගැටයක් ගෙනවුත් බුදුන් පිදූහ. ඉක්බිති වෛශාරද්‍ය විශාරද නාරද සම්මා සම්බුදුහු දෙව් මිනිස් සමූහයා මැද මෙතෙමේ එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ගෝතම නම් බුදු වන්නේයයි විවරණ දුන්සේක. විවරණ ලත් උන්වහන්සේ නොපමාව දැහැන් වඩා නොපිරිහුණු දැහැනින් එයින් චුතව බඹලොව උපන්හ. අනූ දහසක් අවුරුදු ආයු වූ ලොව උපන් නාරද බුදුහු සුදස්සන නුවර සුදස්සන උයන්හි පිරිනිවි සේක සියලු දඹදිව වැස්සෝ උන්වහන්සේට සිව් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරවූහ.
උන්වහන්සේ පිරිනිවි කල පස් අනූදහසක් අවුරුදු පැවති සසුන අතුරුදහන් විය. කල්පය ද නැසුණේය. ඉන්පසු රුචි නම් ශූන්‍ය කල්ප අසංඛ්‍යයෙහි බුදුවරු ලොව පහළ නොවූහ. ලෝකය පහවූ ධර්මාලෝක ඇත්තේ විය. එම අසංඛ්‍ය කල්පය ඉක්ම ගිය පසු එක් සාර කල්පයක පදුමුත්තර නම් එකම බුද්ධ වීරයාණෝ ලොව පහළ වූහ. උන්වහන්සේ ද සොළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම් පුරා අන් බෝසතුන් මෙන් තුසී පුරෙන් සැව හංසවතී නුවර ආනන්‍ද රජුගේ අග මෙහෙසිය සුජාතා දේවිය කුස පිළිසිඳ ගත්හ. ප්‍රාතිහාර්යය කියන ලද පරිදිමය. බෝසතුන් කුස පිළිසිඳගත් පසු සක්මන් පිණිස පා දිගු කිරීමේ දී පින් තෙද බෙලෙන් මහකෙමි ඇති මොළොක් පෙති ඇති රියසක් පමණ මහපියුම් පහළ විය. දේවිය එහි සක්මන් කරමින් සතුටු සිතින් පහවූ වෙහෙසින් ලෝක පාලකයන්ගේ රැක වරණින් දස මස් ගෙවා හංස උයනෙහි ළහිරුවන් පියුමතුරා කුමරු බිහි කළාය.
උපන් කෙණෙහි මුළු දඹදිව දණක් පමණ පියුම් වැසි වැස්සේය. එහෙයින් නම් තැබූ නිමිති දන්නෝ ද නෑයෝ ද පදුමුත්තර කුමරුයයි නම් තැබූහ. උන්වහන්සේ දසවස් දහයක් ගිහි ගෙහි විසූහ. නාරි වාහන, යස වාහන, වසවත්ති යයි තුන් පහයෙක් වීය. වසුදත්තා දේවිය ප්‍රමුඛ විසි එක් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. වසුදත්තා දේවියට උත්තර කුමාර නම් පුතු උපන් කල්හි නිමිති සතර දැක මහබිනික්මන් කරමියි සිතූහ. සිතත් සමඟ ප්‍රාසාදය අහසට නැගී සරල බෝධිය මැදි කොට බැස්සේය.
මහාපුරුෂයාණෝ පහයෙන් බැස පොළොවෙහි සිට ගත්තේය. එහි දී අරහත්ධජ නම් කසාවත් පෙරවා පැවිදි වූහ. ප්‍රාසාදය නැවත අහසින් පැමිණ මුල් තැනම පිහිටියේය. එක්ව ගිය පිරිසෙන් ස්ත්‍රීන් හැර සියලු පුරුෂයෝ පැවිදි වූහ. මහසත්හු ඔවුන් පිරිවරා සතියක් ප්‍රධන් වීර්‍ය්‍යය කොට වෙසක් පොහෝ දින සමූහයෙන් වෙන්ව උජ්ජේනි නියම් ගමෙහි රූපනන්දා සිටුදුව පිදූ දිව මිහිරි කිරිබත් වළඳා සල් වෙනෙහි දාවල් වැස සැදෑවෙහි සුචිණ්ණ ආජීවකයන් දුන් අට තණ මිට ගෙන සලල බෝධිය වෙත දකුණින් පැමිණ තෙවරක් පැදකුණු කොට ඊසාන කොණෙහි සිට අටතිස් රියන් දිගු පුළුල් ඇති තණ ඇතිරිය අතුරා එහි පලක් බැඳ සිව්රඟ වෙර සිතා මරබල පරදවා සව් කෙලෙසුන් නසා අනාවරණඥානය ලැබ බුදු වූ සේක. එදා දසදහසක් සක්වළ කෙළවර කොට ඇති ලෝකය ප්‍රීතියෙන් පුරවමින් පියුම් වැගිරෙන මහපියුම් වැසි වැස්සේය. බුදුව නවාංගශාසනය ප්‍රකාශ කොට මහජනයා දැහැමි කථාවෙන් දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ. එකල සියලු දඹදිව වැසි මිනිස්සු පියුමතුරා බුදුන්ගේ සාසනෝවාද නොයික්ම වූහ. කිසිවෙකුත් මිථ්‍යාදෘෂ්ටික නොවූහ.
එකල අප බෝසත්හු ජටිල නම් මහරැටි වූහ. උන්වහන්සේ බුදු පාමොක් බික්සඟනට අහර පැන් මහදන් දී සිවුරුපිළි පිදූහ. පියුමතුරා සම්මා සම්බුදුහු “මෙතෙම කල්ප ලක්‍ෂයක් අවසන මතුකල ගෝතම නම් බුදු වන්නේය” කියා විවරණ කළහ. උන්වහන්සේ විවරණ ලබා බෝධි ධර්‍මයන්හි ඇරඹූ වෙර ඇතිව දෙව්ලොව ගියහ. පියුමතුරා බුදුහු වසර ලක්ෂයක් ආයු ඇති ලොව සිට උසහවතී නුවර නන්දාරාමයෙහි පිරිනිවියහ. උන්වහන්සේගේ ධාතුහු විදුරු කැටියක් මෙන් නොවිසුරුණහ. සියලු දඹදිව වැසි මිනිස්සු දොළොස් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරවූහ. උන්වහන්සේ පිරිනිවීමෙන් සසුන ද අතුරුදහන්ව දිගුකල් ඇවෑමෙන් කල්පයකින් පසු සැත්තෑ කප්දහසක් ලොව බුදුවරු නූපන්හ. එතැන් පටන් තිස්කප් දහසෙක්හි එක් මණ්ඩ කල්පයෙක සුමේධ, සුජාත නම් බුදුවරු දෙනමක් උපන්හ.
උන්වහන්සේලාගෙන් සුමේධ ලෝක නායකයාණෝ සොළසා සංඛ්‍ය කප් ලක්ෂයක් පාරමී පුරා අන් බෝසතුන් මෙන් තුසී පුරෙන් සැව සුදස්සන නුවර සුදන්ත රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සුදස්සන උයන්හි මේඝ කූටයකින් නිකුත් සූර්‍ය්‍යයා මෙන් මව් කුසින් නික්මුණහ. උන්වහන්සේ සුමේධ නම් වූහ. වස් නව දහසක් ගිහි ගෙහි විසූහ. සුචන්දක, කොඤ්චා, සිරිවඩ්ඪ නම් තුන් පහයක් විය. සුමනා මහදේවිය ප්‍රමුඛ අටසාලිස් දහසක් ස්ත්‍රීහු ප්‍රත්‍යුපස්ථාන කළහ. සුමේධ මහසත්හු සතර නිමිති දැක සුමනා දේවිය පුනබ්බසු නම් පුතු වැදු කල්හි ඇත්යානයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ. කෙළක් මිනිස්සු අනුපැවිදි වූහ.
උන්වහන්සේ ඔවුන් පිරිවරා අඩමසක් ප්‍රධන් වඩා වෙසඟ පොහෝ දින නකුල නියම්ගම්හි නකුල සිටුදියණිය පිදූ මී කිරිබත් වළඳා සල් උයන්හි දිවා විහාර කොට සිරිවඩ්ඪ ආජීවකයන් දුන් අට තණ මිට ගෙන කොසඹ බෝමුල විසිරියන් තණ ඇතිරි අතුරා එහි පර්යංකයෙන් හිඳ මරබල දිනා සෙසු බුදුවරුන් මෙන් අභිසම්බෝධිය ලැබූහ. කෙලෙස් මල සෝදා භාග්‍යවතුන් වහන්සේ දම්සක් පවත්වා ලොවට අනුග්‍රහ කරනු කැමතිව මහබික්සඟන සමඟින් චාරිකා කරන සේක් නාරිවාහන නුවරට පැමිණියහ.
එකල අප බෝසතාණෝ එනුවර උත්තර නම් තරුණයෙක්ව සුමේධ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා සැදැහැයෙන් පැහැදී සරණයෙහි පිහිටා අසූකෙළක් ධන වියදම් කොට බුදු පාමොක් බික්සඟනට මහදන් දී නික්ම පැවිදි වූහ. ඒ සුමේධ භාග්‍යවතුන්වහන්සේ තිස්කප්ලක්‍ෂයකින් මතු අනාගතයෙහි මෙතෙම ගෝතම නම් බුදුවන්නේයයි ප්‍රකාශ කළහ. සුමේධ භාග්‍යවතුන් වහන්සේ තෙයානූ වස්දහසක් ලොව සිට පිරිනිවි කල්හි පිළිවෙළින් අනූදහසක් අවුරුද්දට ආයු වූ කල සුජාත නම් ජාති ජරා ව්‍යාධි මරණ දුක් කෙළවර කරවන්නා වූ බුදුහු උපන්හ. උන්වහන්සේ සොළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම්පුරා තුසීපුරෙන් චුතව සුමංගල නුවර උග්ගරජුගේ පබාවතී මහදේවිය කුස පිළිසිඳ දසමස් ගෙවා මුළු දඹදිව ගිලන් දිළිඳුන්ට සුව එළවමින් මව්කුසින් බිහිවූහ. එබැවින් උන්වහන්සේට සුජාතයි නම් තැබූහ. උන්වහන්සේ නවවස්දහසක් ගිහිගෙහි විසූහ. සිරි, උපසිරි, නන්දා යයි තුන් පහයක් වීය. සිරිනන්‍දා දේවිය ප්‍රමුඛ විසිතුන් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
සතර නිමිති දැක සිරිනන්‍දා දේවිය උපසේන පුතු වැදූ කල උසභ නම් වරතුරඟු පිට නැග මහබිනික්මන් කොට පැවිදි වූහ. කෙළක් මිනිස්සු අනුපැවිදි වූහ. ඔවුන් පිරිවරා නව මසක් ප්‍රධන් කොට වෙසක් දින පිරිස හැර සුරින්ද නුවර සුරින්ද සිටුදියණිය දුන් මධුපායාස වළඳා සාලවනයෙහි දාවල ගෙවා සැදෑ සමයෙහි සුනන්ද ආජීවකයන් දුන් අට තණමිට ගෙන දකුණින් හුණ බෝධිය කරා ගොස් ප්‍රදක්‍ෂිණා කොට ඊසාන දිශාවෙහි සිට තෙතිස් රියන් තණ ඇතිරි අතුරා එහි වැඩ හිඳ මර සතුරන් දිනා සෙසු බුදුවරුන් මෙන් අනුත්තර වරබෝධිය අවබෝධ කළ සේක.
එකල්හි අප බෝසත්හු සතර මහා දිවයින්හි සක්විති රජවූහ. උන්වහන්සේ බුදුහු ලොව උපන්හයි අසා සිවුරඟසෙන් සහිතව උන්වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ මිහිරි සාර දම් දෙසුම් අසා උපන් බලවත් ශ්‍රද්ධාවෙන් චාතුර්ද්වීපික මහාරාජ්‍යය බුදුපාමොක් සඟනට පුදා බුදුන් වෙත පැවිදි වූහ. රට වැසියා රාෂ්ට්‍රප්‍රධානියෙකු සමග ආරාම කෘත්‍යය සිදු කොට බුදුපාමොක් සඟනට නිති දන් දෙවූහ. සුජාත භාග්‍යවතුන් වහන්සේ මහ අදහස් සම්පන්න බව දැන පිරිස් මැද තිස් කප් දහසකින් මතු අනාගතයෙහි මෙතෙම ගෝතම නම් බුදුවන්නේ යයි විවරණ දුන්හ. උන්වහන්සේ විවරණ ලබා දිවිතෙක් කුසල කර්ම කොට ස්වර්ගයෙහි උපන්හ. සුජාත සම්‍යක් සම්බුදුන් වහන්සේ අනූවස්දහසක් වූ ලෝකයෙහි සිට චන්‍දවතී නුවර සීලාරාමයෙහි දී පිරිනිවි සේක.
සුජාත බුද්ධශාසනය ද එම කල්පය ද අතුරුදහන්වූ පසු විසිනව කල්පයක් සහ කප් සියයක් ජින සූර්‍ය්‍යයන් පහළවීම් රහිතවිය. මෙයින් කප් අටසියයකින් පෙර එක් සාරමණ්ඩ කල්පයක පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සි යැයි තුන් බුදු කෙනෙක් උපන්හ. පියදස්සී භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා තුසිත භවනයෙන් චුතව සුධඤ්ඤ නුවර සුදත්ත මහරජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ දසමස් ගෙවා වරණ උයන්හි මවුකුසින් බිහිවූහ. ප්‍රාතිහාර්යය කියන ලද පරිදිය. මුළු ලොව ප්‍රියදර්ශනීය විය. මුළු ලොවට ප්‍රිය පෙළහර දැක්වූ හෙයින් උන්වහන්සේ පියදස්සී නම් වූහ.
උන්වහන්සේ නවදහසක්වස් ගිහිගෙහි විසූහ. සුනිම්මල, විමල, ගිරිගුහා නම් තුන් පහයක් විය. විමලා මහදේවිය ප්‍රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. උන්වහන්සේ සතර නිමිති දැක විමලා දේවියගේ කඤ්චනවෙල නම් පුතු උපන් කල්හි ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ. කෙළක් පුරුෂයෝ අනුපැවිදි වූහ. ඔවුන් පිරිවර කොට සමසක් ප්‍රධන් වීර්‍ය්‍යය වඩා වෙසක් පොහෝ දින වරුණ බමුණු දියණිය පිදූ මධු පායාස වළඳා සල් උයන්හි දිවාවිහාර කොට සුජාත ආජීවකයා දුන් අට තණමිට ගෙන පකුධ බෝධිය වෙත දකුණින් පැමිණ තෙපනස් රියන් දික් තණ ඇතිරිය අතුරා එහි පලක් බැඳ මරසෙන් දිනා බුදු බවට පත් වූහ. පියදස්සී භාග්‍යවතුන් වහන්සේ බුදුව දම්සක් පවත්වා භික්‍ෂුසංඝයා සමඟ චාරිකා කරමින් සිරිවඩ්ඪ නුවරට සම්ප්‍රාප්ත වූහ. එකල අප බෝසතාණෝ එනුවර කස්සප නම් වේදත්‍රය පාරගත බමුණෙක් වීය. උන්වහන්සේ පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බණ අසා ශ්‍රද්ධාව ලැබ සරණ සිල්හි පිහිටා කෙළ ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවූහ.
පියදස්සී භාග්‍යවතුන් වහන්සේ මෙතෙම අටසියක් කපින් මතු අනාගතයෙහි ගෝතම නම් බුදු වන්නේ යයි විවරණ දුන්හ. උන්වහන්සේ විවරණ අසා සුගති පරායණ වූහ. පියදස්සී සම්මා සම්බුදුහු අනූදහසක් අවුරුදු ලොව සිට අසල නම් නුවර අසල උයන්හි පිරිනිව් සේක. උන්වහන්සේ පිරිනිව් කල සසුන ද අතුරුදහන් වූ පසු පිළිවෙළින් වර්‍ෂ ලක්‍ෂයක් ඇවෑමෙන් වර්ෂ දහසක් ආයු ඇති කල නිපුණ අර්‍ථ ප්‍රකාශක අත්‍ථදස්සී නම් බුදුහු ලොව උපන්හ.
උන්වහන්සේ සොළසාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා තුසිතයෙන් චුතව සෝභන නුවර සාගර රජුගේ සුදස්සන මහ දේවියගේ කුස පිළිසිඳ දසමස් ගෙවා සුචින්දර උයන්හි මව් කුසින් බිහි වූහ. කියන ලද අයුරු පෙළහර විය. මව් කුසින් නික්මෙත්ම ඉපැරණි කුල පරම්පරාගතව එහි පැවති සුචරිත ධර්මාර්‍ථ ශාස්ත්‍රාර්ථ ද ධනවත්හු ද ආචාර්‍ය්‍යයෝ ද ඇතිවූහ. එහෙයින් නිමිති දන්නෝද නෑයෝ ද අත්‍ථදස්සි කියා නම් තැබූහ. උන් වහන්සේ දස දහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. අමරගිරි, සුරගිරි, ගිරිවාහන නම් තුන් පහයක් විය. විශාඛා දේවිය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු ප්‍රත්‍යුපස්ථාන කළහ. උන්වහන්සේ සතර නිමිති දැක විශාඛා දේවිය සේල පුත් කුමරු වැදූ කල සුදස්සන අසුපිට නැගී මහබිනික්මන් කොට පැවිදි වූහ. නවකෙළක් ජනයා උන්වහන්සේ අනුව පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අඩමසක් ප්‍රධන් වීර්‍ය්‍යයෙහි හැසිර වෙසක් පුන් පොහෝදා සුචින්දර නාගිනියට උපහාර පිණිස ගෙන ආ මිහිරි කිරිබත් වළඳා නාඹර සල් වෙනෙහි දාවල ගෙවා මහාරුචි නා රජු පිදූ කුසකලප් ගෙන සපු බෝධිය වෙත දකුණු දෙසින් පැමිණ තෙපනස්රියන් දිගු පුළුල් කුස ඇතිරි අතුරා පර්යංකයෙන් එහි හිඳ සම්බෝධියට පැමිණි සේක. එකල්හි අප බෝසතාණෝ සුසීම නම් මහාසාර බ්‍රාහ්මණයෙක්ව සියලු සම්පත් දන්දී තාපස පැවිද්දෙන් පැවිදිව පඤ්චඅභිඥා අෂ්ට සමාපත්ති උපදවා මහර්ධි ඇතිව මහානුභාව සම්පන්නව මහජනයාට කුසලාකුසල ධර්‍ම ලක්‍ෂණ දක්වමින් බුද්ධෝත්පාදය අපේක්‍ෂාවෙන් වාසය කළහ. අත්‍ථදස්සි සම්මා සම්බුද්ධයන් වහන්සේ ඉපිද සුදස්සන මහාවිහාරයේ අට පිරිසට දහම් දේශනා කරද්දී සුසීම තාපස බෝධිසත්‍වයෝ දිව්‍යමය මදාරා පරසතු මල් ආදිය ගෙනවුත් තමන්ගේ ප්‍රභාව දැක්වීම සඳහා දෘශ්‍යමාන කයින් සිට පුරුෂයෙකුගේ නැබ පමණ වනතෙක් සතර දිග වසින මහ වැස්සක් සේ මල් වරුසා වස්වා හාත්පස මණ්ඩප තොරණ ආදිය රන්දම් මල්දම් ආදි නන් කුසුම්වලින් සරසා බුද්ධ සත්කාර කොට ඇදිලි බැඳ වැඳ බුදුගුණ වනමින් සිටියේය. එවිට අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අටපිරිස් මැද අටකපකින් මතු අනාගතයේ මෙතෙම බුදුවන්නේ යයි විවරණ කළ සේක. උන්වහන්සේ පිරිනිවීමෙන් පසු කෙමෙන් වර්‍ෂ ලක්ෂයක් ආයු ඇතිවූ පසු ධම්මදස්සී නම් ධර්‍මරාජයාණෝ ලොව පහළ වූහ.
උන්වහන්සේ ද සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා තුසීපුරෙන් සැව සරණ නුවර සරණ මහරජුගේ මහමෙහෙසිය කුස පිළිසිඳ දසමස් ගෙවා සරණ උයන්හි මව්කුසින් බිහිවූහ. බෝසතුන් මව් කුසින් නික්මෙද්දී අධිකරණ ව්‍යවහාර ලියූ පොත්වල අධාර්මික සටහන් ඉබේම අතුරුදහන් වීය. ධර්‍මව්‍යවහාර පමණක්ම ශේෂවීය. එහෙයින් උන්වහන්සේට නිමිති දන්නෝ ධම්මදස්සී කියා නම් කළහ. උන්වහන්සේ අටදහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. අජර, විරජ, සුදස්සන නම් තුන් පහයක් විය. විචිකෝලි දේවිය ප්‍රමුඛ එක්ලක්‍ෂ විසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සතර පෙර නිමිති දුටු උන්වහන්සේ විචිකෝලි දේවිය සුදස්සන පුත් කුමරු වැදූ කල්හි අඩරෑ වේලෙහි මහබිනික්මන් සඳහා සිත් ඉපද වූහ. සිතුවිල්ලට අනතුරුවම පදනම් සහිත සුදසුන් පහය අහසට නැග සිවුරඟසෙන් පිරිවරා දෙව්විමනක් සේ අහසින් ගොස් රත්තඞ්කුරවක බෝධි සමීපයෙහි බැස සිටියේය. කෙළලක්‍ෂයක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. ධම්මදස්සි මහසතාණෝ සතියක් ප්‍රධන් වීර්යය වඩා වෙසක් පෝදා විචිකෝලි දේවිය පිදූ මධුපායාස වළඳා මීඅඹ වනයෙහි දිවාවිහාර කොට සවස්හි සිරිවඩ්ඪ යව පාලකයන් දුන් අට තණමිට ගෙන රත්තඞ්කුරවක බෝධිය වෙත දකුණින් පැමිණ තෙපනස් රියන් දිගු පුළුල් තණ ඇතිරිය අතුරා එහි පලක් බැඳ බුදු වූ සේක.
එකල අප බෝසත්හු සක්දෙව්රජ වූහ. දෙදෙව්ලොව දෙවියන් පිරිවරා දිවමාලාගෙන දෘශ්‍යමානව ඇදිලි බැඳි කයින් පැමිණ සතර දිගින් සපිරිවරව සිට මාලා මණ්ඩප, කූටාගාර තොරණ වියන් ඇගෑ ආදියෙහි එල්බෙන සේ විසුරුවා සියලු තාලයන්ගෙන් විසිතුරු මිහිරි නාද ඝෝෂා කරවමින් මහජන සිත් ඇද ගනිමින් ජිනවරොත්තමයන් වහන්සේට සත්කාර කළේය. දෙව්පිරිස් මැද සිටි ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේ මෙතෙම අටසියයක් කපින් මතු අනාගතයෙහි බුදු වෙයි කියා ප්‍රකාශ කළ සේක. වසර ලක්ෂයක් ආයු ඇති ලෝකයෙහි ලෝකහිතාර්ථය සැලසූ ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ සලලවතී නුවර කේශාරාමයේ පිරිනිවි සේක.
උන්වහන්සේගේ සසුන ද එම කල්පය ද අතුරුදහන් වීමෙන් කප් සත්සියසයක් සුගතසුර්‍ය්‍යයන් පහළවීමක් නැතිව පැවැත්තේය. මෙයින් කප් සිව් අනූවකින් පෙර එක් සාර කල්පයක ලෝකාර්ථසිද්ධි කාරක සිද්ධාර්ථ නම් එක් බුදු කෙනෙක් ලොව පහළ වූහ. උන්වහන්සේ සොළසාසංඛ්‍ය කල්පලක්‍ෂයක් පාරමිතා සම්පූර්‍ණ කොට තුසිත පුරයෙන් චුතව වේභාර නගරයෙහි උදේන මහරජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ දසමස් ගෙවා විරිය උයන්හි මව් කුසින් නික්මුණහ. උන්වහන්සේ උපන් කල්හි සියලු කුසීතයන්ගේ දිළිඳුන්ගේ ආකූල ව්‍යාකූල වූවන්ගේ පටන් ගත් සම්මත සියලු කර්මාන්ත ද අපේක්‍ෂිත අර්ථයන් ද සමෘද්ධ විය. එබැවින් නිමිති දන්නෝ ද නෑයෝ ද උන්වහන්සේට සිද්ධාර්ථ යයි නම් කළහ.
උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙහි විසූ සේක. කෝකා, උප්පල, පදුම, තුන් පහයක් විය. සෝමනස්ස දේවිය ප්‍රමුඛ අටසාලිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. උන්වහන්සේ ද සතර නිමිති දැක සොමනස්ස දේවියට අනුපම පුත් කුමරු උපන් කල්හි ඇසළ පොහෝ දින රන්සිවිගෙයකින් විරිය උයනට ගොස් පැවිදි වූහ. කෙළසියයක් මිනිස්සු අනුව පැවිදි වූහ. ඔවුන් සමඟ දසමස් ප්‍රධන් වීර්‍ය්‍යය වඩා වෙසක් පොහෝ දින අසදිය බමුණුගම සුනෙත්තා බමුණු කුමරිය පිදූ මී කිරිබත් වළඳා ඩෙබර වෙනෙහි දිවා විහාර කොට සවස වරුණ යවපාලක විසින් දුන් අට තණමිට ගෙන කිණිහිරි බෝධිය වෙත දකුණින් පැමිණ සතලිස් රියන් පුළුල් තණ ඇතිරිය අතුරා පර්යංකයෙන් හිඳ බුදුබව ලැබූහ. එකල අප බෝසත්හු සුරසේන නුවර මංගල නම් බමුණුව විවේකසුව කැමැත්තේ ධන රැස්කිරීම් හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යානාභිඥා උපදවා තම සෘද්ධි බලයෙන් දඹදිව සාරයවු මහදඹගසින් ඵල ගෙනවුත් අනූකෙළක් පිරිවර ඇති සිද්ධාර්ථ බුදුරදුන් සුරමහාවිහාරයේ වඩා හිඳුවා මිහිරි ඕජස් යුත් දඹ ඵලයක් පිදූහ. සිද්ධාර්ථ නායකයන් වහන්සේ මොහු අනාගතයෙහි සිව්අනූ කපකින් මතු බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ වසර ලක්‍ෂයක් ලොව සිට පිරිනිවි කල්හි එම කල්පය අතුරුදන් වීමෙන් එක් මණ්ඩ කල්පයෙක් හි තිස්ස, ඵුස්ස නම් බුදුවරු දෙනමක් උපන්හ.
තිස්ස ලෝකනායකයාණෝ අටඅසංඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා තුසීපුරෙන් සැව ඛෙම නුවර ජනසංඛ රජුගේ මහමෙහෙසි පදුම දේවි කුස පිළිසිඳ දසමසින් අනෝපම උයනෙහි බිහි වූහ. ප්‍රාතිහාර්‍ය්‍යය කියන ලද අයුරුමය.
උන්වහන්සේ සත් දහසක් අවුරුදු ගිහිගෙහි විසූහ. ගුහාසේල, නාරි, නිසභ, නම් තුන් පහයක් විය. සුචිභද්දා දේවිය ප්‍රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සිව් නිමිති දැක සුචීභද්දා දේවිය ආනන්‍ද නම් පුතු වැදූ කල්හි සොලුත්තර නම් අසුපිටින් මහබිනික්මන් කොට පැවිදි වූහ. කෝටියක් ජනයා අනුව පැවිදි වූහ. උන්වහන්සේ අඩමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කොට වෙසක් පොහෝ දින චිර නියම්ගම චිර සිටුදියණිය පිදූ මී කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස් යාමයෙහි විජිතසංගාම යවපල්ලා විසින් දුන් අට තණමිට ගෙන (අසන) පියා බෝධිය වෙත දකුණින් එළඹ සතලිස් රියන් තණ ඇතිරිය අතුරා පර්යංකයෙන් සිට අනාවරණ ඤාණය ලැබූහ. එකල අප බෝසතාණෝ යසවතී නුවර සුජාත් නම් රජව කාමාදීනව දැක රජසැප හැර විවේකසුව කැමැත්තෙන් සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යානාභිඥා උපදවා තිස්ස භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවැත්වූ බැව් ශබ්ද පරම්පරාවෙන් අසා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව බුද්ධෝත්පාදය නම් ලොව දුර්ලභය. දැන් මම පරසතු ආදි මලින් බුදුන් පුදමි යි සිතා ගවුවක් පමණ රුවන් ගොටුවක් මවා චිත්‍රලතා වනයට ගොස් පරසතු ආදි මලින් ගොටුව පුරවා දෑතින් ගෙන අඳුන් වන් නිලුපුල් වන් අහසින් අවුත් පිරිස් මැද දිවකුසුම් භාග්‍යවතුන් වහන්සේට විසිර වූහ. එක් මහත් දික් දණ්ඩක් ඇති රන්කෙමියෙන් යුත් මනා සුවඳැති කෙසුරු පතින් යුත් මහ පියුමක් කූඩයක් මෙන් භාග්‍යවතුන් වහන්සේ මත දරමින් සිටියහ. එවිට තිස්ස භාග්‍යවතුන් වහන්සේ මෙතෙම දෙයානු කපකින් මතු අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන්හ. තිස්ස භාග්‍යවතුන් වහන්සේ වසර ලක්‍ෂයක් ලොව සිට පිරිනිවි කල්හි පිළිවෙළින් මිනිසුන්ගේ වයස අනූදහසක් වූ කල ඵුස්ස බෝසතාණෝ සොළසාසංඛ්‍ය කල්පලක්‍ෂයක් පාරමී පුරා තුසිත පුරයෙන් චුතව කාසික නුවර ජයසේන මහරජුගේ මහමෙහෙසිය සිරිමා දේවිය කුස පිළිසිඳ දසමසින් සිරි උයනෙහි මව් කුසින් බිහි වූහ. ප්‍රාතිහාර්යය කී නියායෙනි. උන්වහන්සේ වසර දහසක් ගිහි ගෙහි විසූහ. කිසා ගෝතමී ප්‍රමුඛ ස්ත්‍රීහු විසිදහසක් උවටැන් කළහ. සතර නිමිති දැක කිසාගෝතමී දේවිය අනුපම කුමරු ප්‍රසූත කළ කල්හි සැරසූ ඇතකු පිටින් මහබිනික්මන් කොට පැවිදි වූහ. නවකෙළක් මිනිස්සු අනුව පැවිදි වූහ.
ඔවුන් පිරිවරා සමසක් ප්‍රධන් වඩා ගණයා අතහැර සතියක් ප්‍රධන් වීර්යය කොට වෙසක් පොහෝ දින එක්තරා නුවරෙක එක්තරා සිටු දියණියක දුන් මීකිරිබත් වළඳා ඇට්ටේරිය වනයෙහි දිවා විහාර කොට සවස සිරිවඩ්ඪන තාපසයන් දුන් අට තණමිට ගෙන නෙල්ලි බෝධිය වෙත දකුණින් පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා පර්‍ය්‍යංකයෙන් හිඳ සම්මා සම්බෝධිය ලැබූහ. එකල අප බෝසතාණෝ අරින්දෑම නුවර විජිතාවි නම් රජව ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ පිය මහරජු සෙසු මිනිසුන් වළකා තමා විසින්ම දන් දෙනු දැක ඔහු සමඟ යුද්ධ කොට පරදවා ඵුස්ස බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට සිය නුවරට ගොස් අපමණ පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට තෙමසක් දන් පුදා බණ අසා මහා රාජ්‍යය හැර තථාගතයන් වහන්සේ වෙත පැවිදි වුහ. ඵුස්ස බුදුහු මොහු මතු දෙයානූකපකින් බුදු වෙතැයි විවරණ දුන්හ. උන්වහන්සේ අනූදහසක් ආයු ඇති ලොවට හිත සලසා පිරිනිවියහ. කල්පය ද අතුරුදහන්විය. අනතුරුව එක් සාර කල්පයක විපස්සී සම්මා සම්බුදුහු ලොව උපන්හ.
උන්වහන්සේ අටඅසංඛ්‍ය කල්පලක්‍ෂයක් පැරුම් පුරා තුසිතයෙන් චුතව බන්ධුමතී නුවර බන්ධුමා මහරජ මෙහෙසි බන්ධුමතී දේවිය කුස පිළිසිඳ දසමසින් බෙම මිගදායෙහි මව් කුසින් බිහිවූහ. නොයෙක් පෙළහර ඇති විය. නිමිති දන්නෝ ද නෑයෝ ද උන්වහන්සේගේ දිවා රාත්‍රියෙහි පැවති විචිත්‍ර නිර්මලතා දැකීමෙන් විපස්සී යයි නම් තැබූහ. උන්වහන්සේ අටදහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. නන්‍ද, සුනන්‍ද, සිරිමා යයි තුන් පහයක් විය. සුතනු මහ දේවිය ප්‍රමුඛ එක්ලක්‍ෂ විසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. වසර සියයකින් සතර නිමිති දැක සුතනු දේවිය අසමවත්තක්ඛන්‍ධ පුතු වැදූ කල්හි ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් කොට පැවිදි වූහ. අසූහාර දහසක් අනුපැවිද්දෝ වූහ. ඔවුන් පිරිවරා අඩමසක් ප්‍රධන් වෙරවඩා වෙසක් පොහෝ දින සුදස්සන සිටුදුව දුන් මීකිරිබත් වළඳා සල් වෙනෙහි දිවාවිහාර කොට සවස සුජාත යවපාලක දුන් අට තණමිට ගෙන පළොල් බෝධිය වෙත දකුණින් එළඹ තෙපනස් රියන් තණ ඇතිරිය අතුරා එහි පර්යංකයෙන් වැඩ හිඳ සම්මා සම්බෝධියට පත් වූහ.
එකල අප බෝසත්හු අතුල නම් නාරජව නොයෙක් කෙළගණන් නා පිරිවර සමඟින් භාග්‍යවතුන් වහන්සේට වාසය පිණිස සත් රුවන්මුවා මහමඩුවක් කරවා සතියක් සම්පතට අනුරූපව මහදන් දී මාහැඟි විචිත්‍ර මිණිරුවන් එබ්බු රන් පුටුවක් ද පිදූහ. එහිදී විපස්සී භාග්‍යවතුන් වහන්සේ මොහු මෙයින් මතු එකානූවන කප බුදුවන්නේයයි විවරණ දුන්හ. උන්වහන්සේ අනූ දහසක් අවුරුදු ලොව සිට පිරිනිවි කල්හි එකුන්සැට කපක් බුදුවරු ලොව පහළ නොවූහ. මෙයින් එක්තිස් වන කප සිඛී, වෙස්සභූ බුදුවරු දෙනම එකම මණ්ඩ කල්පයක උපන්හ.
සිඛී බොසත්හු අටඅසංඛ්‍ය කල්පලක්‍ෂයක් පැරුම් පුරා තුසිතයෙන් චුතව අරුණවතී නුවර අරුණ රජු අගමෙහෙසි පබාවතී දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් නිසභ උයන්හි බිහිවූහ. ප්‍රාතිහාර්‍ය්‍යය කියන ලද පරිද්දෙනි. නිමිති දන්නෝ නෑයෝ උන්වහන්සේගේ උණ්හීසයෙන් උඩ නැගුණු සිඛාව නිසා සිඛී යයි නම් කළහ. උන්වහන්සේ සත්දහසක් අවුරුදු ගිහි ගෙහි විසූහ. සුචන්දක, ගිරිසිරිස, නාරිවසභ නම් තුන්පහයක් විය. සුචිත්ත දේවිය ප්‍රමුඛ ස්ත්‍රීහු සුවිසිදහසක් උවටැන් කළහ. උන්වහන්සේ සතර නිමිති දැක සුචිත්ත දේවියට සුප්පබුද්ධ නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් මහබිනික්මන් කොට පැවිදි වූහ. සත්තිස් දහසක් පුරුෂයෝ අනුපැවිදි වූහ. ඔවුන් පිරිවරා අඩමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කොට වෙසක් පොහෝදා සමූහයෙන් වෙන්ව සුදස්සන නියම් ගම්හි පියදස්සී සිටු දියණිය පිදු මධුපායාස වළඳා තරුණ ඩෙබර වෙනෙහි දිවා විහාර කොට සවස්හි අනෝමදස්සි තවුසන් දුන් අට තණ මිට ගෙන පුණ්ඩරීක බෝධිය වෙත දකුණින් එළඹ සූවිසි රියන් තණ ඇතිරි අතුරා පර්යංකයෙන් හිඳ අන් බෝසතුන් මෙන් සර්‍වඥතාඥානය ලැබූහ.
එකල අප බොසත්හු පරිභුත්ත නුවර අරින්දම නම් ජනාධිපතිව සිඛී භාග්‍යවතුන් වහන්සේ සිය නුවරට සපිරිවරින් වැඩි කල්හි පෙරගමන් කොට ඇදිලි බැඳ ලොමු ඩැහැගැනීම් ඇතිව ප්‍රාසාදයෙන් වෙළුණ හදවතින් සක්ලකුණු යුත් සිරිපාහි වැඳ වැටී සපිරිවර බුදුරදුන් ආරාධනා කොට සතියක් අහර පැන් මහදන් පුදා වස්ත්‍ර භාණ්ඩාගාර දොරටු හැර භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂූන්ටත් සුදුසු සිවුරු පිළී පිදූහ. තමන්ගේ සකලාලංකාර සම්පන්න මඟුලැතු ද දී සිවුපසයෙන් භික්‍ෂූන් සහිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළහ. සිඛී ලෝක නායකයාණෝ මෙතෙම එක්තිස්වන කපෙහි බුදුවන්නේයයි ප්‍රකාශ කළහ.
සිඛී බුදුරදුන් සැත්තෑදහසක් අවුරුදු ලොව විසූ කල එයම අනුක්‍රමයෙන් සැටදහස් වූ කල්හි වෙස්සභූ දිවාකරයාණෝ ලොව උපන්හ. උන්වහන්සේ සොළසාසංඛ්‍ය කල්පලක්‍ෂයක් පාරමී පුරා තුසිතයෙන් චුතව අනූපම නුවර සුප්පතිට්ඨිත මහරජුගේ අග මෙහෙසි යසවතී දේවිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් මවු කුසින් බිහිවූහ. නොයෙක් පෙළහර ඇතිවිය. මහසතුන් බිහිවෙද්දී මහ ජනයා සතුටු කොට උසභනාද කළ හෙයින් නිමිති දන්නෝ ද නෑයෝ ද උන්වහන්සේට වෙස්සභූ යයි නම් කළහ. උන්වහන්සේ සදහසක් අවුරුදු ගිහිගෙහි විසූහ. රුචි, රති, මණ්ඩන නම් තුන් පහයක් විය. සුචිත්ත දේවිය ප්‍රමුඛ ස්ත්‍රීහු තිස්දහසක් උවටැන් කළහ. උන්වහන්සේ සිව්නිමිති දැක සුචිත්ත දේවිය සුප්පබුද්ධ නම් පුතු වැදූ කල්හි රන්සිවි ගෙයකින් මහබිනික්මන් කොට උයනෙහි දී බ්‍රහ්මයා දුන් සිවුරු පිළිගෙන පැවිදි විය. සත්තිස්දහසක් මිනිස්සු අනුපැවිදි වූහ. ඔවුන් පිරිවරා සමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝ දින සුචිත්ත නියම්ගම්හි සිරිවඩ්ඪ නාගිනිය දෘශ්‍යමාන ශරීරයෙන් පිදූ මීකිරිබත් වළඳා සල්වෙනෙහි දාවල ගෙවා සවස්හි නරින්ද නාරද දුන් අටතණමිට ගෙන සල් බෝධිය වෙත දකුණින් එළඹ සතලිස් රියන් තණ ඇතිරිය අතුරා පර්යංකයෙන් හිඳ අනාවරණඥානය ලැබූහ.
එකල අප බෝසත්හු සුභවතී නුවර සුදස්සන නම් රජව වෙස්සභූ තථාගතයන් වහන්සේ සිය නුවරට වැඩි කල්හි ආදර බුහුමන් සහිතව පෙරගමන් කොට ආරාධනා කොට විහාර පූජාවෙහිදී පිරිවර ගඳකිළි කරවා තමන්ගේ ශ්‍රද්ධානුරූපව සපරිවාර ශාස්තෲන් වහන්සේට යෝග්‍ය බෙහෙත් අහර පැන් සහිත මහදන් දී දිවා රෑ පස් අයුරකින් බුදු ගුණ ප්‍රකාශිත වදන් අසා ඉමහත් සංවේග ඇතිව සෙසු සම්පත් නිරවශේෂයෙන් බුදුසසුනට පුදා බුදුන් හමුවෙහි පැවිදිව සිල්වත් පැවතුම් ඇතිව තෙලෙස් ධුතගුණයෙහි නිරතව උපචාර අර්පණා සමාධි සම්පන්නව සර්‍වඥතාඥාන පර්යේෂණයෙහි නිරතව උතුම් බුදුසසුනෙහි ඇලී වාසය කළහ. එසේ වසන උන්වහන්සේ දැක වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සමතිස් අයුරකින් මෙයින් එක්තිස්වන කපෙහි මෙතෙම බුදු වන්නේයයි ප්‍රකාශ කළහ. උන්වහන්සේ පිරිනිවි කල්හි කල්පයද අතුරු දහන් වීමෙන් එක්තිස් කපක් බුදුවරු ලොව නූපන්හ.
මේ පස්බුදු කෙනෙකුන් දරන භද්ද කල්පයෙහි පළමු කොටම සත්වෝත්තම කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ ලොව උපන්හ. උන්වහන්සේ අටඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා තුසීපුරෙන් චුතව ඛෙමවතී නුවර ඛෙමංකර රජුගේ අග්ගිදත්ත නම් අග්‍ර පුරෝහිතයන්ගේ අගමෙහෙසි විශාඛ බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. යම් කලෙක ක්‍ෂත්‍රියයෝ බමුණන්ට සත්කාර ගරුකාර කරත් ද එකල බුදුවන බෝසත්හු බමුණු කුලයෙහි උපදිත්. යම් කලෙක බමුණෝ ක්‍ෂත්‍රියයන්ට සත්කාර ගරුකාර කරත් ද එකල ක්‍ෂත්‍රිය කුලයෙහි උපදිති. එබැවින් කකුසඳ බෝසත්හු බමුණු කුලයෙහි ඉපිද දසමසින් ඛේම වනඋයන්හි මවු කුසින් බිහිවූහ. කියන ලද පරිදි නොයෙක් ප්‍රාතිහාර්ය විය. සාරදහසක් වස් ගිහිගෙහි විසූහ. සුචි, සුරුචි, රතිවද්ධන නම් තුන් පහයෙක් විය. විරෝචනා නම් බමුණු කන්‍යාව ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සතර නිමිති දැක විරෝචනා බැමිණිය උත්තර නම් පුතු වැදූ කල්හි ආජඤ්ඤ රථයෙන් මහබි- නික්මන් කොට පැවිදි වූහ.
සතලිස් දහසක් අනුපැවිද්දෝ වූහ. ඔවුන් පිරිවරා අඩමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝ දින සුචින්දර නියම්ගම්හි වජිර බැමිණිය පිදූ මධුපායාස වළඳා ඩෙබර වෙනෙහි දිවා විහාරකොට සවස සුභද්ද යවපාලකයන් දුන් අට තණමිට ගෙන සිරිස බෝධියට දකුණින් පැමිණ සූතිස් රියන් තණඇතිරි අතුරා එහි පලක් බැඳ සම්බෝධියට පත්වූහ.
එකල අප බෝසත්හු ඛේම නම් රජව බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පාසිවුරු මහදන් පුදා සියලු බෙහෙත් ද අඳුන් ආදිය ද පුදා භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා රජසම්පත් හැර පැවිදි වූහ. එකල සේදූ කෙලෙස්මඬ ඇති කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මෙතෙම අනාගතයෙහි මේ භද්‍ර කල්පයෙහිම ගෝතම නම් බුදු වන්නේයැයි ප්‍රකාශ කළ සේක. සතලිස් දහසක් වස් ලොව සිට පිරිනිවි කකුසඳ බුදුසසුන අතුරුදන්ව ක්‍රමයෙන් මිනිසුන් සතලිස් දහස් ආයු පිරිහී දසවස් වූ කල්හි අන්තර කල්පයක් පහළවිය. අන්තරකල්පය. සත්ථන්තර, රෝගාන්තර, දුබ්භික්ඛන්තර යයි ත්‍රිවිධය. මෙහි කකුසඳ, කෝනාගමන බුදුවරුන් අතර කල්පයෙහි ඒ සත්වයන්ගේ ලෝභාධික බැවින් සත්මසක් දුබ්භික්ඛන්තර කල්පයයි. එය ඉක්ම නැවත වැඩී අසංඛ්‍යායුෂ්ක මිනිසුන් පිරිහී තිස්වස්දහස් ආයු වූ කල කෝනාගමන නම් මහාවිසුද්ධ භාග්‍යවතුන් වහන්සේ ලොව උපන්හ.
උන්වහන්සේ අටාසංඛ්‍යකප්ලක්‍ෂයක් පෙරුම් පුරා තුසිතයෙන් සැව සොභනී නගරයෙහි යඤ්ඤදත්ත බ්‍රාහ්මණයන්ගේ අග්‍රභාර්යා උත්තර බ්‍රාහ්මණියගේ කුස පිළිසිඳ ගෙන දස මස් ඇවෑමෙන් සුභ වන උයන්හි මවු කුසින් බිහිවූහ. ප්‍රාතිහාර්යය දක්වන ලදි. උපතෙහිදී මුළු දඹදිව රන්ආභරණ වැසි වැස්සේය. කනකාභරණ ගෙන ඒමට හේතු වූ බැවින් උන්වහන්සේට නිමිති දන්නෝ ද නෑයෝ ද කනකාගමන යයි නම් කළහ. එය ක්‍රමයෙන් කෝනාගමන නම් විය. තිස්වසරදහසක් ගිහි ගෙහි විසූහ. තුසිත, සන්තුසිත, සන්තුට්ඨ නම් තුන් පහයක් විය. චිත්තා බැමිණිය ප්‍රමුඛ සොළොස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. සතර නිමිති දැක චිත්තා බැමිණිය අන්තවාන පුතු වැදු කල ඇත්යානයෙන් මහබිනික්මන් කොට පැවිදි වූහ. තිස්කෙළදහසක් පුරුෂයෝ අනුපැවිදි වූහ. ඔවුන් පිරිවරා සමසක් ප්‍රධන් කොට වෙසක් පෝ දින අග්ගසේනා බැමිණි දියණිය දුන් මධුපායාස වළඳා දෙබර වෙනෙහි දාවල ගෙවා සවස්හි තින්දුක යවපාලකයා දුන් අට තණමිට ගෙන උදුම්බර බෝධිය වෙත දකුණින් එළඹ විසි රියන් තණ ඇතිරි අතුරා එහි පලක් බැඳ අනාවරණ ඤාණය ලැබූහ. එකල අප බෝසත්හු මිථිලා නුවර පබ්බත නම් රජ විය. කෝනාගමන තථාගතයන් වහන්සේ මිථිලා නුවරට වැඩි බව අසා සපිරිවරින් සතුටු සිතින් පෙරගමන් කොට සෙට දිනට ආරාධනා කොට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහදන් පුදා වස් විසීමට අයැද තෙමසක් උපස්ථාන කළහ. පත්තුන්න, චීන, පට්ටකම්බල, කොසෙය්‍ය, දුහුල්, කපු ආදි මාහැඟි සියුම් සළු ද පිදූහ. මුළු දඹදිව වැසිකිළි, කෙසිකිළි ආදිය රන් පාදුකාදිය යොදා පරිභෝගානුරූප සෙනසුන් බඩු ද සම්පත් ද සංවිධාන කළහ. ඉක්බිති කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ මේතෙම මේ භද්‍රකල්පයෙහිම ගෞතම නම් බුදුවන්නේ යයි උන්වහන්සේට විවරණ දුන්හ. විවරණ අසා මහාරාජ්‍යය හැර දමා ඒ බුදුන් වෙතම පැවිදි වූහ. කෝනාගමන බුදුන් පිරිනිවි පසු සසුන ද අතුරුදහන් වූ කල්හි මිනිසුන්ගේ තිස්වස්දහසක් ආයු පිරිහී දසවස් ආයු වූ කල සත්ත්වයන්ගේ ද්වේෂාධික භාවයෙන් සත්ථන්තර කල්පය ඇති විය. එය ගෙවී ගිය පසු නැවත වැඩී අසංඛ්‍යායුෂ්ක වූහ. ඔවුන් පිරිහී විසිදහසක් අවුරුදු වූ කල කස්සප සම්බුදුහු ලොව උපන්හ.
උන්වහන්සේ ද අටඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා තුසිතයෙන් චුතව බරණැස් නුවර බ්‍රහ්මදත්ත බමුණුහුගේ බිරිය වූ ධරවතී බැමිණිය කුස පිළිසිඳ ගෙන දසමස් ඇවෑමෙන් ඉසිපතන මිගදායේ මවු කුසින් බිහි වූහ. කී නියායෙන් දසසහස්‍රි ලෝකධාතු කම්පනාදි පෙළහර විය. කස්සප ගෝත්‍රයේ උපන් බැවින් නිමිති දන්නවුන් හා නෑයෝ කස්සප යයි නම් තැබූහ. උන් වහන්සේ වසර දෙදහසක් ගිහි ගෙහි විසූහ. හංසවාහ, යසවාහ, සිරිනන්‍දා යයි තුන් පහයක් විය. සුනන්දා බැමිණිය ප්‍රමුඛ අටසාලිස්දහසක් සත්‍රීහු උවටැන් කළහ. සතර නිමිති දැක සුනන්දා දේවිය විජිතසේන පුතු වැදූ කල්හි මහබිනික්මන් කරමියි සිතනු සමඟම ප්‍රාසාදය කුඹල් සකක් මෙන් පෙරළී අහසට නැග නැකැත් පිරිවැරු පුන්සඳ මෙන් සපිරිවරින් අහස සරසමින් නිග්‍රෝධ බෝධිය මැදිකොට පොළොවෙහි පිහිටියේය. කස්සප බෝසත්හු බිමට බැස අරහත්යජය ගෙන පැවිදි වූහ. නළඟනෝ ප්‍රාසාදයෙන් බැස අඩගව්වක් පමණ ගොස් පිරිවර සෙන් සහිතව සිටියහ. ස්ත්‍රීන් හැර සමඟ ආ සියලු පිරිස පැවිදි වුහ. උන්වහන්සේ සතියක් ප්‍රධන් වඩා වෙසඟ මැදි පොහෝ දින සුනන්දා බ්‍රාහ්මණිය පිදූ මධුපායාස වළඳා ඩෙබර වෙනෙහි දිවා විහාර කොට සවස් සමයෙහි සෝම යවපාලකයන් පිදූ අට තණ මිට ගෙන නිග්‍රෝධ බෝධිය වෙත දකුණින් එළඹ පසළොස් රියන් දිග පුළුල් තණ ඇතිරිය අතුරා එහි පලක් බැඳ අභිසම්බෝධියට පත්වූහ. ලෝකානුකම්පා පිණිස වෙපුලිංග නම් නගර රාජධානියෙහි චාරිකාවෙහි යෙදෙමින් වැඩිසේක. දිරූ මහලු මාපියන්ට උපස්ථාන කරන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රඋපසථායක ඝටීකාර නම් කුඹල්කරු, ඕරම්භාගිය සංයෝජන පහ නැසීමෙන් එලොවින් මෙලොවට නොපැමිණෙන ඕපනයිකව එහිම පිරිනිවන්පාන ස්වභාවය ඇත්තේ වෙයි. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ඔහු තුන්වන ඵලයෙහි හික්මවා යළි බරණැසට වැඩ එහි වසන සේක.
මේ අතර අප බෝසත්හු දෙව්ලොව වෙසෙමින් කසුප් බුදු උපත දැක එහි මහාබ්‍රාහ්මණ කුලයකට අනුකම්පා කටයුතුය. ඝටීකාර නිසා මාගේ පැවිද්ද සිදුවන්නේ යයි සිතා මහාබන්‍ධනයෙන් මිදී චුතව ඒ වේපුලිංග නියම් ගමෙහි මහාබ්‍රාහ්මණ කුලයක ඉපිද ත්‍රිවේදයෙහි පාරගත නිඝණ්ඩු කෙටුභ සහිත අක්‍ෂර ප්‍රභේද සහිතව ඉතිහාසය පස්වෙනි කොට ඇති ශාස්ත්‍රයන්හි පද දත් වියරණ දත් ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයන්හි නොදෙවෙනිව හස්ති, අශ්ව, රථ, චක්‍ර ශිල්පයෙහි ද සඳ හිරු නැකැත් සෘතු ස්වප්න ලක්‍ෂණාදියෙහි ද, මුද්‍රා ගණනාදියෙහි ද පාරගතව ජෝතිපාල නම් මානවකව සියලු ශිල්පයන්හි නිපුණ දිසාපාමොක් ආචාර්යව පන්සියයක් තරුණයන්ට මන්ත්‍ර නානා ශාස්ත්‍ර උගන්වමින් වාසය කළහ. ඝටීකාර මිත්‍ර සංසර්ග කොටගත් හෙයින් සිය මිසදිටු බමුණුකුලය ඉක්මවීමට ඝටීකාර ඇසුර හේතුවිය. මේ අතර කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යළිත් වේපුලිංගයට පැමිණ උයනෙහි වසන සේක. ඝටීකාර නොයෙක් දිනවල කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ත්‍රිවිධ කල්‍යාණ ධර්ම දේශනාව අසා සිය යහළුවා සිහි කළේය. අහෝ මාගේ යහළු ජෝතිපාල මෙබඳු බණක් නොඅසයි. බුදුරජාණන් වහන්සේගේ සුධොත රන් කැඩපතක් හා සමාන මුවමඬල නොදකී. දෙතිස් මහාපුරිස්ලකුණින් හෙබි භාග්‍යවතුන් වහන්සේගේ රූපශ්‍රීයද නොබලයි. ඔහුට මහාඅනර්ථයකි. මහත් හානියකි. මනුෂ්‍යත්‍ව ලාභය නිරර්ථකය. මාගේ කල්‍යාණමිත්‍ර ඇසුර නිරර්ථකයයි සිතා ඔහු වෙත ගොස් මිත්‍ර ජෝතිපාලයෙනි. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමු. ඒ භාග්‍යවත්, අරහත් සම්‍යග් සම්බුද්ධයන් වහන්සේගේ දර්ශනය සාධු සම්මතය යි කීය.
මෙසේ කීකල ජෝතිපාල තරුණයා මිසදිටු බමුණු කුලයක උපන් බැවින් ඝටීකාර කුම්භකාරට මෙසේ කීය. “යහළු ඝටීකාර, කමක් නැහැ, මේ මුඩු මහණකු දැකීමෙන් කවර පලක් ද? තුන්වන වර තෙක් කියද්දීත් නො පිළිගත්තේය. ඝටීකාර ඔහු නොකැමති බව දැන උපායකින් ඔහු ගෙන යනු කැමතිව ජෝතිපාල මාණවකයාට මෙසේ කීය. එසේ නම් යහළු ජෝතිපාලයෙනි, මංගල නහන සුණුගෙන නහන්නට යමුයි කියායි. ඉක්බිති තරුණයා ඔහුගේ කීම පිළිගෙන නහන මගුල් සුණු රැගෙන හිසෙහි නෑමට ගඟට ගියේය. ඝටීකාර පසෙක ආර්‍ය්‍ය උපහාරයෙන් පළමු කොට නහා ගොඩට විත් ඒ තරුණයාගේ ඓශ්වර්ය උපහාරයෙන් නෑම අවසන්වීම බලාපොරොත්තුවෙන් සිටියේ ය. ජෝතිපාල රෙදි හැඳ කෙස් බඳිනකල්හි මිත්‍ර ජෝතිපාලයිනි, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආරාමය මේ නොදුරෙහිය. යහළු ජෝතිපාලයිනි, කාශ්‍යප බුදුන් දැකීමට යමු. ගොස් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ සාධු සම්මත දර්ශනය ලබමුයි කීය.
මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාරට මෙසේ කීය. මිත්‍ර ඝටීකාර, කමක් නැහැ. මේ මුඩු මහණකුගේ දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද කීය. ඝටීකාර මෙසේ සිතීය. මේ ජෝතිපාල ප්‍රාඥයෙකි වරක් බුදුන් දුටහොත් පහදී, පැහැදී පහන් බව පෙන්වීමට ද හැකිවේ. මිත්‍රයෝ නම් මෙබඳු වැඩ සඳහා වෙති. මම මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයෙක් නොවෙමි. කුමක් කොට හෝ මගේ යාළුවා කැඳවාගෙන බුදුන් හමුවට යමියි සිතා ජෝතිපාලට මෙසේ කීය. යහළුව, ඊට නොකැමැත්තෙහි ද? එසේය, එසේ නම් මම ඔබ කැමති කරවන්නෙමියි කියා අතින් ඇද බෝසතුන් වේගයෙන් තල්ලු කළේය. ඉක්බිති කෙස් වැටියෙන් අල්වා ඇද්දේය. එවිට ජෝතිපාලට මෙසේ සිත් විය.
භවත්නි ආශ්චර්‍ය්‍යය. භවත්නි අද්භූතය, ඝටීකාර අධිපතියෙකු මෙන් මගේ ඉසකෙස් වලින් අල්වා අදී. කියව දීනයෙක් ධීරයෙකු වන්නේ කෙසේ ද? පොඩි දෙයක් මහාවිශිෂ්ට දෙයක් වන්නේ කෙසේ ද? මොහු පෙර කවදාවත් මෙබන්දක් නොකෙළේ යයි කරුණු පරීක්‍ෂා කරමින් එසේ නම් මා අත්හරිනු යමියි කීය. කිමෙක් ද ඇත්තම ද? යහළුව එසේය, ඔහු අත හැර මිත්‍ර ජෝතිපාල, එන්න යමුයි කීය. හොඳයි මිත්‍රය, ඔබ ඉදිරියෙන් යන්න. හෙතෙම ඝටීකාර ඉස්සර කොට ගෙන ගියේය. එවේලෙහි අතීත. වර්තමාන, අනාගත, සියලු කාරණා කාරණායන්හි කුසල වූ කාශ්‍යප ලෝකවිදූ භාග්‍යවතුන් වහන්සේ පිරිස් සමූහය මැද බබළන උතුම් ධර්මාසනයෙහි වැඩ හිඳ අලාමක උතුම් ලක්‍ෂණ සහිත වූ දේහයෙන් සුන්දර සවනක් රැස් විහිදුවමින් ධර්ම දේශනා කරන සේක. ඒ සියලු බුදුරැස් සියලු පොළෝතලය හා අහස්තලය බබුළුවමින් දිසානුදිසාවන්හි දිවීය.
ඉක්බිති ජෝතිපාල මාණවක භාග්‍යවතුන් වහන්සේගේ රැස් ජාලා දැකීමෙන් ප්‍රීති භරිත හදවතින් ආශ්චර්ය අද්භූතව සාදර වචනයෙන් “මිත්‍රය, මේ කාන්ති ජාලාව කාගේදැ”යි ඝටීකාරගෙන් විමසීය. මිත්‍ර ජෝතිපාලයිනි, මේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ රශ්මි ජාලාවයි. මේ උන්වහන්සේගේ ප්‍රභාවයි. මිත්‍රය, එසේ ද? අහෝ ඒකාන්තයෙන් ගමන සඵලය. මාගේ කෙස් ඇදීමෙන් ඔබ කළේ යුක්තියක්මයි. කියා වැඩුණු ප්‍රීති ප්‍රමෝදයෙන් ආරාමයට පිවිස උදයගිරි මුදුනෙහි නැගුණ ළහිරුමඬල මෙන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක පස්වනක් ප්‍රීතියෙන් උදම් වූ සිරුරෙන් බුදුන් වෙත පැමිණ උන්වහන්සේ සමඟ පිළිසඳර පවත්වා පන්සියයක් පිරිවර සමඟ පිරිවරෙහි සිටි භාග්‍යවතුන් වහන්සේගේ සුගත් මුව මඬල බලමින් පසෙක වාඩි විය.
ඉක්බිති කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජෝතිපාල මාණවකයන් දැහැමි කතාවෙන් සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් දක්වන ලද සමාදන් කරවන ලද තෙදගන්වන ලද සතුටු කරවන ලද හෙතෙම ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයට පත්ව නැවතත් පිරිවරක් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි විය. පැවිදිව තුන් පිටකය ඉගෙන වත් පිළිවෙතින් බුදුසසුන හෙබවීය. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් මැද මෙතෙම මේ භද්‍රකල්පයේම ගෞතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. කසුප් බුදුහු විසිවස්දහස් ආයු ඇති ලොව ඉපිද ලෝහිත සලසා කෙලෙස් මළ වැකුණු බොහෝ සතුන් බලා ඒ බොහෝ සතුන්ට අනුකම්පාවෙන් දහම් තඩාගයක් මැවූ සේක. එම ධර්‍ම තඩාගය නව ලෝකෝත්තර ධර්‍ම නැමැති නිර්මල උතුම් ජලයෙන් සම්පූර්ණ කොට ඒ සඳහා සීල විලේපනය ද දුන්හ. එයද, පන්සිල් දසසිල් සිව්පිරිසිදු සිල් ලෞකිකසිල් ලෝකෝත්තර සිල් ආදියයි. එම විලේපනය දී ඉක්බිති උතුම් නිර්මල ධර්‍මසළු ද දුන්හ. ද එය ද හිරි ඔතප් නම් සාටක යුගලයයි. නැවත ධර්මාභරණ ද දුන්හ. එය නම් සත්තිස්බෝධිපාක්‍ෂික ධර්‍මයි. ධර්මාභරණයෙන් සරසා නිර්මල ධර්මාදාසය ද දුන්හ. එය ද සෝතාපත්ති ආදි සතර වැදෑරුම් ධර්‍මාදාසයයි. එය ථීර වීර්‍ය්‍ය නැමති මිට සහිතය. සැදැහැ අතින් ගෙන සාවද්‍ය නිරවද්‍ය කුසලාකුසල දහම් දැකීම සඳහා වේ. යමෙක් අත්‍යන්ත සැප ඇති නිර්වාණය ප්‍රාර්ථනා කරත් ද ඔවුහු අලංකරණය සඳහා මේ අලංකාරයෙන් දැකිය යුතුය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජාති, ජරා මරණ විපත්ති ආදියෙන් උපද්‍රැත ලොව දැක යුද සන්නාහයක් ද දුන් සේක. එම සන්නාහය චතුපාරිසුද්ධසීල කඤ්චුකයයි. ධ්‍යාන කචචයෙන් තිර කොට බැඳ චතුස්සත්‍යධර්‍මය පෙරවා උත්තම ධුතාංග සන්නාහය ගෙන උත්තම ආර්‍ය්‍ය භූමියෙහි පිහිටා අයොනිසෝමනස්කාර නැමති ඊතල සැත් තොමර ආදිය වළක්වනු පිණිස සතර සතිපට්ඨාන ඵලකය ද චතුස්සත්‍ය ප්‍රතිලාභයට සමර්ථ තියුණු විදර්ශනා ඥාන නැමති තුන්තය දරමින් සියලු කෙලෙසුන්ට නිග්‍රහ කිරීම පිණිස යෝගාවචර යෝධයාට දීමයි. එම යෝධයාගේ ස්ථිර වීර්‍ය්‍යය නැමති තියුණු මුවහත් යුත් මාර්‍ගඥාන කඩුව ගෙන තෘෂ්ණා සංසර්ගය මර්දනය සඳහා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන් අලංකාර වූ ලෝකයාට ලබාදී, ආභරණ සඳහා.
නිර්මල ධර්‍මය නැමති කැඩපත ද තුන්පිටකය නැමති අඳුන් ද නිර්‍වාණය ප්‍රාර්‍ථනා කරන ජනයා විසින් මේ අලංකාර දැකිය යුතුය. සීලය නැමති කඤ්චකය ද තියුණුඤාණය නැමති තුන්තය ද තෘෂ්ණා සංසර්‍ගමර්දනය කරන්නාවූ උතුම් ධර්‍මය නැමති කඩුව ද දී ත්‍රිවිද්‍යා නැමති ආභරණ ද චතුර්විධ ඵලයන් නැමති සැරසිලි ද ෂඩ්හිඥා ආභරණ ද සද්ධර්‍මය නැමති පණ්ඩර ඡත්‍රය ද දී සත්වයන් සසරින් මුදා ඒ බුදුහු පිරිනිවියහ.
උන්වහන්සේගේ ධාතුහු රිදී පිළිමයක් මෙන් නොවිසුරුණහ. සියලු දඹදිව් වැසි මිනිස්සු යොදුනක් උස රන් සෑයක් කරවූහ.
මෙසේ අප බෝසත්හු දීපංකරාදී සූවිසි බුදුවරුන් හමුවෙහි පැතුම් පතමින් විවරණ ලැබූහ. යම් කල්පයක දීපංකර ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක් ද එම කල්පයෙහිම තණ්හංකරාදී තුන් බුදු කෙනෙක් වූහ. එනමුත් උන්වහන්සේලා හමුවෙහි අප බෝසතුන්ට විවරණයක් නොවීය. එහෙයින් මෙහි නොදක්වන ලදි. අටුවාවෙහි වනාහි තණ්හංකර බුදුරදුන්ගේ පටන් සියලු බුදුවරුන් වහන්සේලා දැක්වීමට මෙසේ කියන ලද්දේය.
තණ්හංකර, මේධංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්‍ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්‍ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්‍ධ, කෝනාගමන, කාශ්‍යප යන මේ වීතරාගී සමාහිත සම්‍යග් සම්බුදුහු මහාමෝහාන්‍ධකාරය දුරු කරන සූර්‍ය්‍යයන් මෙන් උපන්හ. ගිනි කඳන් මෙන් දිලිසී ශ්‍රාවක සංඝයා සහිත වූ උන්වහන්සේලා පිරිනිවි සේක.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් එපිට මෙතෙක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හැර වෙනත් බුදුවරු මේ පූර්ව බුදුවරයන් වහන්සේලා අතර නොමැත්තාහ. අප බෝසත්හු මෙතෙක් බුදුවරුන් හමුවෙහි අෂ්ටධර්‍ම සමෝදානයෙන් යුතුව පැතුම් පතා විවරණ ලැබූහ. මෙලෙස උන්වහන්සේ සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පැරුම් පුරමින් පැමිණියහ. තවද පැතුම් පැතූ බෝසත්වරුන්ගේ ආනිසංසයෝ වෙති. ඒ කවරහු ද?
මෙසේ සර්වාංග සම්පූර්ණව බෝධියට නියතවූ පුරුෂයෝ කල්ප කෝටි සියගණන් දිගුකල් සසර සැරිසරන නමුත් අවීචියෙහි නූපදිති. ලෝකාන්තරිකවල ද නූපදිති. නිජ්ඣාමතණ්හික නොවෙති. සාපවසට නොපත්වෙති. කාලකඤ්ජික නොවෙති. ක්‍ෂුද්‍ර ප්‍රාණීහු නොවෙති. දුගතියෙහි නූපදිති. මිනිසුන් අතර උපදනාහු ජාතිඅන්‍ධයෝ නොවෙති. ඔවුන්ට විකල බවක් නොවෙයි. ස්ත්‍රී බවට නොයෙති. උභතෝඛ්‍යංජක පණ්ඩක නොවෙති. බෝධියට නියත වූ ජනයා ආනන්තරික පාපයන්ගෙන් මිදී හැම තන්හි සුද්ධගෝචර ඇතිව කර්‍මවාදීව, ක්‍රියාවාදීව මිථ්‍යාදෘෂ්ටි සේවනය නොකරති. ස්වර්ගයෙහි උපදනාහු අසඤ්ඤීව නූපදිති. සුද්ධාවාස දෙවියන් අතර ඉපදීමට හේතු නැත්තේය. නෛෂ්ක්‍රම්‍යයට නැඹුරු වූ සත්පුරුෂයෝ භවයේ නොඇලෙති. ලෝකාර්‍ථචර්යාවෙහි ද ඤාත්‍යර්ථචරියාවෙහි ද බුද්ධාර්ථචර්යාවෙහි ද හැසිරෙති. සියලු පාරමී පුරති.
මෙසේ අභිනීහාර කළ බෝසත්වරුන්ගේ ආනිසංස වර්ණනා කළේයයි දත යුතු. අප බෝසත්හු මෙසේ සර්වාංග සම්පුර්ණ දාන පාරමිතාදි බුද්ධකාරක ධර්‍මයන් පුරමින් කාශ්‍යප සම්බුදුන් සමීපය තෙක් පැමිණියහ. කසුප් සම්මා සම්බුදුන් පිරිනිවී කල්හි උන්වහන්සේගේ සසුන අතුරුදහන් වීමෙන් විසිදහසක් ආයු ඇති මිනිසුන් පිරිහී දසදහසක් අවුරුදු වූ කල්හි සත්ත්වයන්ගේ මෝහාධිකතාව හේතුවෙන් අඩසිව්මසක් රෝගාන්තර කල්පයකි. එය ද ඉක්ම නැවත මිනිසුන් අපරිමිත ආයුෂයෙන් පිරිහී සිය වසක් ආයු වූ කල්හි අපගේ අසම නායක බෝසතාණෝ දිවකුරු පාමුල්හි පටන් සාරාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා සියලු බෝධිඥාන මුහුකුරවා කුසල් මුල් වඩා ත්‍රිවිධ චර්යා විශෝධනයෙන් ජාතක ගළපා වෙස්සන්තරව පඤ්චමහාපරිත්‍යාග කොට තුසීපුරයෙහි උපන්හ.
දිවකුරුබුදු සිරිපා මුල පටන් තුසීපුර උපත තෙක් මෙය දූරෙනිදාන නමි.