අතිදූරෙ නිදානය නම් කුමක් ද? බ්‍රහ්මදේව බුදුන් පටන් දීපඞ්කර බුදුන් තෙක් කිව යුතුය. කෙසේ ද යත්? එතැන් පටන් අප බෝසතාණෝ කප් සුවහසක් අධික අසංඛ්‍යකල්ප විස්සෙක්හි දානසීලාදි බුදුකුරු දහම් වඩා බුදුබවට පැමිණි සේක. තවද මෙහි ලා කල්ප ප්‍රමාණය කිව යුතුය.
ඉක්බිති එක්තරා භික්‍ෂුනමක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ පසෙක හිඳ මෙසේ සැලකළේය. “ස්වාමීනි, කල්පය කොතරම් දීර්ඝ ද?” “භික්‍ෂුනම, කල්පය ඉතා දීර්ඝය. මෙතරම් වසර සියයකි, දහසකි කියා ගණන් කිරීමට අපහසුය” “ස්වාමීනි, උපමාවක් කළ හැකි ද?” “භික්‍ෂුනම, පුළුවන. භික්‍ෂුනම, යොදුනක් දිග යොදුනක් පළල, යොදුනක් උස කට ගසා අබඇට පිරවූ ලෝහනගරයක් යම් හැටියකින් තිබේ නම් එක් මිනිසෙක් අවුරුදු ලක්‍ෂයකට වරක් එක අබ ඇටයක් ඉවත් කරයි නම් පිළිවෙළින් ඉතා ඉක්මනින් අබඇට ටික අවසන් වෙයි. කල්පය නම් අවසන් නොවෙයි. භික්‍ෂුනම, කල්පය මෙතරම් දීර්ඝය.
භාග්‍යවතුන් වහන්සේ අනෙකක් ද වදාළහ. “භික්‍ෂුනම, යම්සේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස එකඝන නොසිදුරු ගල්පර්වතයෙක් වෙයි. මිනිසෙක් අවුරුදු ලක්‍ෂයකට වරක් දුහුල් සළුවකින් එය පිසදමයි. භික්‍ෂුනම, මේ උපායෙන් ඉතා ඉක්මනින් ගල්පර්වතය ගෙවී අවසන් වෙයි. කල්පය නම් අවසන් නොවෙයි. භික්‍ෂුනම, කල්පය මෙතරම් දීර්ඝය”යි වදාළ සේක. මේ සූත්‍ර ක්‍රමයෙන් කල්පයෙහි දික්බව දත යුතු ය.
සුඤ්ඤකප්ප අසුඤ්ඤකප්ප යයි කල්පය දෙයාකාර වෙයි. සුඤ්ඤකප්පයෙහි බුදු, පසේබුදු, සක්විත්තෝ නොඋපදිති. ගුණ ශූන්‍ය නිසාත් ගුණවතුන් ශූන්‍ය නිසාත් ශූන්‍ය කල්පයයි කියනු ලැබේ. අශුන්‍ය කල්පය සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ, භද්‍ර කියා පස් ආකාර වෙයි. සාර රහිත, ගුණයෙන් හිස් ලෝකයෙහි ගුණසාර උත්පාදක සම්මාසම්බුදුරජාණන් වහන්සේ උපදනා කල්පය සාරකල්පයයි කියනු ලැබේ. උපන් ගුණසාර ඇති ලොව දෙවැනි ලෝනා කෙනෙකුන් උපදනා කල්පය මණ්ඩ කල්ප නමි. යම් කල්පයෙක බුදුවරු තෙනමක් උපදිත් නම් එය වර කල්ප නමි. යම් කල්පයක සතර බුදු කෙනෙක් උපදිත් ද එය පළමු කල්පයට වඩා විශිෂ්ට හෙයින් සාරමණ්ඩ කල්ප නමි. යම් කල්පයක පස් බුදු කෙනෙක් උපදිත් ද එය භද්‍ර කල්ප නමි. එය නුග, අත්තික්කා මල් මෙන් අතිශයින් දුර්ලභය. පළමු ව උපදනා බුදුහු දෙවැනිව උපදනා බුදුන් ද දෙවැනිව උපදනා බුදුහු තෙවැනිව උපදනා බුදුන් ද වශයෙන් ප්‍රකාශ කරන්නාහ. එම කල්පයෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ලැබුවාහු පිරිනිවෙති. දුහේතුකයෝ සුගතිගාමී වෙති අහේතුකයෝ කලණ මිතුරන් ඇසුරෙන් සහේතුකයෝ වෙති. කලණසැප බහුල හෙයින් භද්‍රකල්ප නම් වෙයි. මෙ නයින් අශූන්‍ය කල්පය පස් වැදෑරුම් වෙයි.
පර්යාය වශයෙන් කල්පය අන්තර, සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායි, මහා යනුවෙන් සවැදැරූම් වෙයි. අන්තරකප්පය සත්‍ථන්තර, රෝගන්තර, දුබ්භික්ඛන්තර යනුවෙන් තෙවැදෑරුම් වෙයි. සත්‍ථන්තරකප්ප නම් ආදිකල්පික අසංඛ්‍යායුෂ්ක මිනිසුන් ක්‍රමයෙන් පිරිහී දසවස් ආයු බවට පැමිණි කල්හි ආයුධයෙන් හෝ රෝගයෙන් හෝ සාගතයෙන් හෝ අනතුරට පත්වෙති. අන්තරකප්ප නම් මෙයයි. කප නස්නා මහවැස්සෙහි පටන් සප්ත සූර්යයන්ගේ පහළවීමෙන් ගිනිජාලා හටගැනීම තෙක් මේ කාලය සංවට්ට කප්ප නමි. කප නස්නා ගිනිජාලා හටගැනීමේ පටන් කෙළ ලක්‍ෂයක් සක්වළ පුරාලන සම්පත් මහාමේඝය තෙක් මේ කාලය සංවට්ටට්ඨායී කල්ප නමි. සම්පත් මහාමේඝයහි පටන් ඉරහඳ පහළවීම තෙක් මේ කාලය විවට්ට කප්ප නමි. ඉරහඳ පහළවීමේ පටන් කප වනසන මහමේඝය තෙක් මේ කාලය විවට්ටට්ඨායී කල්ප නම් වෙයි. සංවට්ටාදි මේ සතර කල්පය එක් මහාකල්පයක් නම් වන්නේය. කල්ප ගණනය මෙසේ ගත යුතුය.
මෙහි ලා අසංඛ්‍ය ගණනය මෙසේ ගත යුතුය. දසය සියය දහස ලක්‍ෂය කෝටිය ප්‍රකෝටිය නහුතය නින්නහුතය නහුතතහුතය බින්‍දු ඛම්භ නික්ඛම්භ සඞ්ඛ අක්ඛොහිණි අබ්බුද නිරබ්බුද අහහ අබබ අටට සොගන්‍ධික උප්පල කුමුද පුණ්ඩරීක පදුමය කථාන මහාකථාන අසඞ්ඛ්‍යය යනුයි. විස්තර වශයෙන් වනාහි දසක දහය සියයකි. සියයේ දසය දහසකි. දහස් සියය ලක්‍ෂයකි. ලක්‍ෂ සියය කෝටියකි. කෝටි ලක්‍ෂ සියය ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්‍ෂ සියය කෝටිප්‍රකෝටියකි. කෝටි ප්‍රකෝටි ලක්‍ෂ සියය නහුතයකි. නහුතලක්‍ෂ සියය නින්නහුතයකි. නින්නහුත ලක්‍ෂ සියය නහුතනහුතයකි. නහුතනහුත ලක්‍ෂ සියය බින්‍දුවකි. බින්‍දු ලක්‍ෂ සියය බම්භයකි. ඛම්භලක්‍ෂ සියත නික්ඛම්භයකි. නික්ඛම්භ ලක්‍ෂ සියය සංඛයකි. සංඛ ලක්‍ෂ සියය අක්ඛෝහිණියකි. අක්ඛෝහිණි ලක්‍ෂ සියය අබ්බුදයකි. අබ්බුද ලක්‍ෂ සියය නිරබ්බුදයකි. නිරබ්බුද ලක්‍ෂ සියය අහහයකි. අහහ ලක්‍ෂ සියය අබබයකි. අබබ ලක්‍ෂ සියය අටටයකි. අටට ලක්‍ෂ සියය සෝගන්ධිකයකි. සෝගන්ධික ලක්‍ෂ සියයය උප්පලයකි. උප්පල ලක්‍ෂ සියය කුමුදයකි. කුමුද ලක්‍ෂ සියය පුණ්ඩරීකයකි. පුණ්ඩරීක ලක්‍ෂ සියය පදුමයකි. පදුම ලක්‍ෂ සියය කථානයකි. කථාන ලක්‍ෂ සියය මහාකථානයකි. මහාකථාන ලක්‍ෂ සියය අසංඛ්‍යයකි. මහා කල්පයන්ගේ අසංඛ්‍යය සියයෙන් වැඩි කළ යුතුය.
අප බෝසත්හු එයින් සත් අසංඛ්‍යයෙක බ්‍රහ්මදේවාදි බුදුවරුන් විෂයෙහි දන් දී බුදුබව පිණිස සිත් ඉපදවීම සිදු කළහ. අසංඛ්‍යය නවයෙක්හි පුරාණසක්‍යමුනි ආදි බුදුවරුන් විෂයෙහි දන් දී වාක්භේදය සිදුකළහ. අසංඛ්‍යය සතරෙක දීපඞ්කරාදි සූවිසි බුදුවරුන් විෂයෙහි මහාපරිත්‍යාග කොට කායප්‍රණිධාන ඇතිකළහ. එයින් අතිදූරෙ නිදානය බෝසතුන්ගේ චිත්තෝත්පාදය දක්වන බව දතයුතුය. කෙසේ දත යුත්තේ ද? මෙයින් කප් ලක්‍ෂයක් අධික අසංඛ්‍යය විස්සකට පෙර නන්ද නම් අසංඛ්‍යය කල්පයක් විය. එම අසංඛ්‍යයයෙහි එක් කල්පයෙක කරනන්‍ද නම් මහානගරයෙහි බ්‍රහ්මදේව නම් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ ධර්ම දේශනා කරන සේක. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධමම, වෙදල්ල යන මේ නවාංග බුද්ධශාසනය දෙවිමිනිසුන් විෂයෙහි පිහිටුවා දේශනා කරමින් මුල කලණ මැද කලණ අග කලණ අර්ථවත් ව්‍යඤ්ජනවත් සාකල්‍යයන් පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කළ සේක. එකල බොහෝ මිනිස්සු සෝවාන්ඵලාදියට පැමිණියහ.
ඉක්බිති දේවාතිදේව බ්‍රහ්මදේව භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා පිරිවරා ලෝකානුකම්පා පිණිස ගම් නියම්ගම් ජනපද රාජධානිවල චාරිකා කරනසේක්, අනුපිළිවෙළින් අරිට්ඨ පුරයට පැමිණ අරිට්ඨපුර රජඋයන්හි වැඩ වසති. එනුවර අතිදේව නම් ධාර්මික ධර්මරාජ මහත්බල මහර්ධි මහානුභාව ඇති ආඪ්‍ය මහාධන මහාභෝග යුත් පිරිපුන් කොටුගුළු ඇති ඇතුන් සැට දහසක් අසුන් සැට දහසක් ද අනූකෙළක් යෝධයන් සහිත අනන්තබලවාහන ද ඇති අතිදේව නම් රජෙක් විය. මෙබඳු සකලගුණ සම්පන්න රජුට සිරිගුත්ත නම් පණ්ඩිත ඇමතියෙක් සිටියේ ය. හේ වනාහි මෛත්‍රෙය බෝසතාණෝය. අතිදේව මහරජු අර්ථයෙහි ධර්මයෙහි පිහිටුවීය.
එදින මහරජ මතුමහල්තලයෙහි නාරිගණයා පිරිවරා සීමැදුරු කවුළු පෙදෙසෙහි හුන්නේය. ඉක්බිති සිරිගුත්ත පිරිවර සමඟින් කිසියම් කටයුත්තක් පිණිස උයන් දොරටුව ඉදිරියෙන් පිටිනුවරට යන්නේ මහ බික්සඟන පිරිවැරූ අතිශයින් මනහර සියලු ජන නුවන් සනසන සෞම්‍ය දර්ශන ඇති රන්වන් සිරුරින් නිකුත් පිඟුවන් වරරසින් බබළන දේදුනු කළඹක් සේ රැලිදුන් උතුම් ගෙල පෙදෙස් ඇති ව්‍යාමප්‍රභායෙන් බබළන සකලාංග යුත් ගසක් මුල වැඩහුන් ඒ බ්‍රහ්මදේව භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. සිරිගුත්ත පෙර නුදුටුවිරූ හෙයින් ආශ්චර්ය අද්භූතව විස්මය පත්ව “කිමෙක් ද? ශෝභාවෙන් අගතැන්පත් මෙතෙම ගසමුල බබළන්නේ ය”යි පිරික්සා බලන්නේ පරම්පරා වචනයෙන් පෙර අසා ඇති බැවින් ඒකාන්තයෙන් ඒ බ්‍රහ්මදේව අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මෙහි වැඩිසේක් වනැයි සිතා අපොයි ඇත්තෙන්ම අතිමහත් ලැබීමකි. ඉතින් දැන් නයනරසායන පරම දුර්ලභ බුද්ධරූපය දකින්නට ලබමි කියා ඉපිළි ඉපිළී තුටු පහටුව ප්‍රමුදිතව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය දේහයෙන් උපන් ගෞරව බහුමානයෙන් පිරී ඉක්මන් ඉක්මන් පාගමනින් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සිරසින් නැමද පසෙක හුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උණ්හීසයෙහි පටන් සිරිපා තෙක් සිරිපාහි පටන් උණ්හීසය තෙක් සර්ව ලක්‍ෂණ පරිපූණ අසමවර බුදුරුව බලමින් හුන්නේ ය.
ඉක්බිති බ්‍රහ්මදේව භාග්‍යවතුන් වහන්සේ සිරිගුත්ත ත්‍රිවිධ කර්ම සමාදානයෙහි දැහැමි කථාවෙන් දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් දක්වන ලද සමාදන් කරවන ලද තෙද ගන්වන ලද සතුටු කරවන ලද හෙතෙම ලබන ලද ශ්‍රද්ධාවෙන් බුදුන් වැඳ පැදකුණු කොට වහවහා යළි නගරයට පිවිස රජුගේ ප්‍රාසාදයට නැග සීමැදුරුකවුළුව ළඟ හුන් රජු කරා ගොස් “දේවයිනි, ඔබට ලාභයකි. ඔබට හොඳම ලැබීමකි. දේවයන් වහන්සේගේ උයනෙහි බ්‍රහ්මදේව අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වැඩවසන සේකැ”යි කීය. බුද්ධ යන වචනය අසා රජ ආශ්චර්යයට අද්භූතයට පත්ව ඉපිළගිය සිතින් පහටුසිතින් නොතැතිගත් හිසින් ප්‍රීතියෙන් පිරුණු හදින් සිරිගුත්තට මෙසේ කීය. “සිරිගුත්ත, බුද්ධ කියා කියන්නෙහි ද?” “දේවයිනි, බුද්ධ කියා කියමි.” තෙවරක්ම අසා ඔහුට මෙසේ කීය. “ඔබම බුදුන් දුටු යෙහි ද? නැත්නම් අසන ලද්දේ ද?” දෙවයිනි, මා විසින් ම දක්නා ලදි. මා විසින් බණත් අසන ලදි. මා විසින් සත්පුරුෂ සමාගමය ද ලබන ලදි. “අපොයි පින්වත, ඇත්තෙන්ම ආශ්චර්යයකි. අපොයි පින්වත, ඇත්තෙන්ම අද්භූතයකි. පින්වත් සිරිගුත්ත, ලොව යම් ඒ දුර්ලභ ශබ්දයක් වෙයි නම් ඒ මේ බුද්ධ යන ශබ්දයයි කීය.”
එකල්හි භික්‍ෂූන් දහසක් පිරිවැරූ බ්‍රහ්මදේව භාග්‍යවතුන් වහන්සේ අනුපම බුද්ධලීලාවෙන් ගැවසීගත් සිරුරින් නීල, පීත, ලොහිත, ඔදාත, මඤ්ජෙට්ඨ, පභස්සර යන සවනක් රැස් විහිදුවමින් නුවරට පිවිසි සේක. බුදුන් පිවිසි කෙණෙහිම ඒ සකූල සවනස් රැස් නගරයත් ජනතාවත් නහවන්නාක් මෙන් දිසානුදිසාවන්හි පැතිර ගියේ ය. නගරය ෂඩ්වර්ණ ධජපතාකායෙන් අලංකාර කරන ලද සේ බැබළී ගියේ ය. නුවරු ද උතුම් බුදුකිරණින් තැවරී පිනාගිය හදින් සතුටු සතුටුව උනුන් අමතමින් නොදුටුවිරූ අභිනව රූපයක් වූ සුගතරූප සිරි බලමින් විස්මය පත්වෙමින් පුදපිරිකර ගෙන වැඳ වැඳ භික්‍ෂුසඞ්ඝයා පිරිවර කොටගත් භාග්‍යවතුන් වහන්සේ පසුපස ගමන් කළහ.
බ්‍රහ්මදේව භාග්‍යවතුන් වහන්සේ රාජාන්තෙපුරය ඉදිරිපස මගට පිළිපන්හ. එවිට සිරිගුත්ත හිස ඔසවා බලන්නේ සවනක් රුචිර කිරණ සමූහය තුළට වන් අසම වර රූසිරින් පිරි භාග්‍යවතුන්වහන්සේ දැක දකුණත ගෙන අතිදේව රජුට පෙන්විය. “දේවයිනි, මේ බ්‍රහ්මදේව තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ශ්‍රාවක සංඝයා සමඟ රජමාවතට වැඩිසේක. උන්වහන්සේ වෙත යනු මැනව මහරජ, පෙරට යනු මැනව. පෙරට යනු මැනව.
ඇතුන් සියයක, අසුන් සියයක, අශ්වතරීන් සියයක, මිණිකාඩොල් පැළඳි කන්‍යාවන් දහසෙක යන මේ සියල්ල එකම පදවීති හාරයක වටිනාකමින් දහසයෙන් පංගුවකුත් නොවටී. එහෙයිනි.
ඉක්බිති අතිදෙව රජ අභිනව ජිනවරරූප දර්ශන මාත්‍රයෙන් සහනයෙන් පිරී යුහුව නැගිට ප්‍රාසාද දොරටු සෝපාණය සොයා ගත නොහැකිව සීමැදුරු කවුළුවෙන් පැන්නේය. රජුගේ ශ්‍රද්ධානුභාවයෙන් බූමාටු දෙවියෝ රියසක් පමණ දහසක් පතින් හෙබි පියුම්මලින් රජුගේ පා පිළිගෙන බිම තැබූහ.
ඉක්බිති රජ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සිරිපා වැඳ සුපිහිටි උතුම් සිරිපතුල්හි පටන් කෙසඟ තෙක් කෙසඟ පටන් සිරිපතුල් තෙක් දෙතිස් මහපුරිස් ලකුණින් හෙබි බුදුන් දැක ප්‍රීතිසොම්නසින් උපන් බලවත් ශ්‍රද්ධාවෙන් සත්රුවන් මුසු දෑසමන් මලින් පුද කළේය. ප්‍රණීත පිණ්ඩපාතය ද පිදීය. භාග්‍යවතුන් වහන්සේ යළිත් රජඋයන්හි විසූසේක. රජතුමා විහාර ලක්‍ෂයක් පිරිවර කොට උතුම් ගඳකිළියක් කරවා බුදුපාමොක් බික්සඟනට මහදන් දී සර්වරත්න මිශ්‍ර මලින් පුදා පසඟ පිහිටුවා වඳිමින් සිතින් බුදුබව පැතීය. “ඔබ වහන්සේ යම්සේ එතෙරව ජනතාව එතෙර කළසේක්ද මම ද එසේ එතෙරව ජනතාව එතෙර කරන්නෙමි. යම් සේ ඔබ වහන්සේ දාන්තව ලොව දමනය කළ සේක් ද, මම ද එසේ දාන්තව ලොව දමනය කරවන්නෙමි. යම් සේ ඔබ වහන්සේ අසහනය පිරි ලෝකය සැනසූ සේක් ද මම ද එසේ සැනසී ලොව සනසා ලන්නෙමි. යම් සේ ඔබ වහන්සේ ශාන්තව ලොව ශාන්ත කළ සේක් ද මම ද එසේ ශාන්තව ලොව ශාන්ත කරවන්නෙමි. යම්සේ ඔබ වහන්සේ බුදුවී ලොවට අවබෝධ කළ සේක් ද මම ද එසේ බුදුව ලොවට අවබෝධ කරවන්නෙමි. යම් සේ ඔබ වහන්සේ මිදී ලොව මිදු සේක් ද මම ද එසේ මිදී ලොව මුදවන්නෙමි. යම් සේ ඔබ වහන්සේ නිවී ලොව නිවූ සේක් ද මම ද එසේ නිවී ලොව නිවා ලන්නෙමි. ඒ අතිදේවරජ මෙපමණකින් බුදුබව පතා සත් ධර්මයෙක්හි දැඩි සමාදානයෙන් යුතුව බුද්ධාංකුර වූයේ ය. හෙතෙම මරණින් මතු දෙව්ලොව උපන්නේය. සිරිගුත්ත මෙතේ බෝසතාණෝ ද ස්වර්ගයෙහි උපන්හ. බ්‍රහ්මදෙව භාග්‍යවතුන් වහන්සේ ද සියලු විනෙයජනකිස නිමවා පිරිනිවිසේක.
ඒ නන්‍ද අසංඛ්‍යයයෙහිම බ්‍රහ්මදේවාදි අනෙකුත් පන්දහසක් බුදුවරු ලොව පහළවූහ. පන්දහසක් බෝසත්වරු ඒ පන්දහසක් බුදුවරුන් විෂයෙහි මහදන් දී මනඃප්‍රණිධාන කළහ. සුනන්‍ද අසංඛ්‍යයෙහි නවදහසක් බෝසත්හු නවදහසක් බුදුවරුන් විෂයෙහි මහදන් දී මනඃප්‍රණිධාන කළහ. පඨවි අසංඛ්‍යයෙහි එකොළොස් දහසක් බෝසත්වරු එකොළොස් දහසක් බුදුවරුන්ගේ මහාදානයෙහි මනඃප්‍රණිධාන කළහ. මණ්ඩ අසංඛ්‍යයෙහි දසදහසක් බෝසත්වරු දසදහසක් බුදුවරුන්ගේ මහාදානයෙහි මනඃප්‍රණිධාන කළහ. ධරණි අසංඛ්‍යයෙහි විසිදහසක් බෝසත්හු විසිදහසක් බුදුවරුන්ගේ මහාදානයෙහි මනඃප්‍රණිධාන කළහ. සාගර අසංඛ්‍යයෙහි තිස්දහසක් බෝසත්වරු තිස්දහසක් බුදුවරුන්ගේ මහාදානයෙහි මනඃප්‍රණිධාන කළහ. පුණ්ඩරීක අසංඛ්‍යයෙහි සතලිස් දහසක් බෝසත්වරු සතලිස් දහසක් බුදුවරුන්ගේ මහාදානයෙහි මනඃප්‍රණිධාන කළහ.
නන්‍ද සුනන්‍ද පඨවි මණ්ඩ ධරණී සාගර පුණ්ඩරීක යන මේ සත් අසංඛ්‍යයෙහි සිතින් පැතුම් පැතුවන්ගේ ප්‍රමාණය පන්දහස නවදහස එකොළොස් දහස දස දහස විසි දහස තිස් දහස සතලිස් දහස බැගින් වන්නේය. බ්‍රහ්මදේවාදි බුදුවරයන් වහන්සේලා විෂයෙහි අතිදේවාදි ධීරයෝ මහදන් පැවැත්වුහ.
එයින් කප්ලක්‍ෂයක් අධික තෙලෙස් අසංඛ්‍යයකින් එපිට චක්‍රවර්ති නම් රාජධානියක් විය. එහි සක්‍යමුනි නම් භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුහු පහළ වූ සේක. උන්වහන්සේ මුල මැද අග කලණ අර්ථවත් ව්‍යඤ්ජනවත් හැමලෙසින් පිවිතුරු බඹසරදම් දෙසු සේක. නවාංග ශාස්තෘ ශාසනය දක්වා ලෝකානුග්‍රහය පිණිස ගම් නියම්ගම් ජනපද රාජධානි චාරිකාවෙහි වැඩි සේක.
එකල ධඤ්ඤවතී නම් නගරය රාජධානි විය. එහි සාගර නම් රජ රාජ්‍යය කළේය. ඒ සක්විති රජ විද්‍යුත්පාදක මහත්බල මහසෘද්ධි මහානුභාව ඇති පිරිපුන් විපුල මහාභවභෝග ඇති අනන්ත බලවාහන සහිත වූයේ විය. ඉක්බිති අප බෝසතාණෝ අසඞ්ඛ්‍යකල්ප සතක් පිරූ මනඃප්‍රණිධාන ඇතිව දෙව්ලොවින් චුතව සාගර රජුගේ අගමෙහෙසි සුභද්දා දේවිය කුස පිළිසිඳ උපන්හ. දේවිය මහත් ගම්පෙරහරින් දසමස් ගැබ්දරා මහපුරිස් ලකුණු ඇති රන්වන් පුතකු වැදුවාය. රජ උත්තමරූපධාරී මහාපුරුෂ ලක්‍ෂණ යුත් රන්වන් පුතු දැක සතුටුව එක්සිය අටක් කිරිමවුවරුන් දුන්නේ ය. කෙමෙන් වැඩුණු රජකුමරාට තම නමින්ම නම් තබමින් සාගර කියාම නම් කළේය. සාගර කුමරු සත්හැවිරිදි වන විට පුරාණ සක්‍යමුනි බුදුහු දහසක් භික්‍ෂූන් පිරිවරා ධඤ්ඤවතී නුවරට වැඩ රජඋයන්හි වසන සේක.
පසුදින පෙරවරු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු අඳනය හැඳ විදුලියක් වන් කායබන්‍ධනය බැඳ බඳුවදමල් පැහැති සුගතමහාචීවරය පෙරවා ඉඳුනිල්මිණි පැහැති පාත්‍රය ගෙන බික්සඟන පිරිවරා පිඬු පිණිස නුවරට පිවිසි සේක. පිවිසෙත්ම මහජනකාය සියලු දෙවියන්ට අතිදේව වූ අග්‍රතරවූ සකල දිශාභාගයන් බබුළුවන හිසින් යුත් ඒ අසිරිමත් රුව දැක සොම්නසින් දෙපස සිට භාග්‍යවතුන් වහන්සේ වඳිමින් ස්තුති කරමින් පුදමින් පසුගමන් කළහ.
ඒ මහාජන කුහුල පවතිද්දී ඇමතිගණ පිරිවරා රජවාසලින් නික්ම ඇවිදින සාගර රජකුමර තෙම උදාගිරි මුදුනින් නැගී බබළන ළහිරු මඬල වන් බබළන, රජමාවතට පිළිපන්, සන්සුන් ඉඳුරන් සන්සුන් මනස් ඇති අතිශය මනෝහර සකල ජනනයන සුභවූ සුපිළිපන් සර්වඥයන් වහන්සේ දැක විස්මය පත්ව “සගයිනි, ළහිරුමඬලක් මෙන් රජමාවතට පිවිස සිටින්නේ කවරෙක් දැ”යි ඇමතියන්ගෙන් විමසීය. එවිට ඇමතියෙක් අසා ඇති බැවින් “දේවයිනි, මේ පිඬු පිණිස වඩින සක්‍යමුනි බුදුරජාණෝය”යි කීය. මෙසේ ඇසූ පමණින් රජකුමර තෙම යුහු යුහුව බුදුන් කරා පැමිණ සිරිපා සිරසින් නැමද ශ්‍රද්ධාවෙන් පුබුදු සිතින් සියලු රුවනින් මුසු දෑසමන්මල් අට කරඬුවකින් පුදා ප්‍රණීත උතුම් පිණ්ඩපාතය ද පුදා පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් වැඩ සිට යළිත් චාරිකාවෙහි වැඩිසේක.
කලක් ගතවීමෙන් පියා විසින් ක්‍ෂත්‍රිය අභිෂේකයෙන් අභිෂේක කරන ලද සාගර කුමරා රජබවට පැමිණ සාගරය හිම් කොට ඇති මහපොළොව දැහැමෙන් සෙමෙන් ඉසුරෙන් සමෘද්ධියෙන් සාමයෙන් අර්බුද රහිතව පාලනය කළේය. පුරාණ සක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ, යළිත් මහබික්සඟන සමඟින් එනුවරට වැඩ රජඋයනෙහි වසන සේක. බුදුන් වැඩි පුවත අසා සොම්නසට පත් සාගර රජ ගඳමල්පහන් ආදි පුදසත්කාර ගෙන ඇමති ගණ සමඟින් පෙර ගමන් කෙළ්ය. අනතුරුව සිය පින්තෙද අනුහසින් දෙවියන් ලවා හිමවතින් රත්හඳුන් ගෙන්වා රජ උයනෙහිම බුදුරජාණන් වහන්සේට රත්හඳුන් හරයෙන් විහාර කරවා ලක්‍ෂයක් භික්‍ෂූන් උදෙසා කුටි - මණ්ඩප සක්මන් උපෝසථාගාර දන්හල් ගිනිහල් රත්සඳුනින්ම නිමවා දොරටු පවුරු ආදිය සඳුනින් විසිතුරු රූකම් සහිතව මහාර්ඝ කොට පරිභෝජනීය පොකුණු ආදිය සහිතව සාදවා බුදුපාමොක් සඟනට පුදා නෑ-ඇමතියන් පිරිවරා විහාරපූජාව නිමවා දෙව්මිනිස් ගණ මැද බුදුසිරිපා මුල “නාථයන් වහන්ස, යම්සේ ඔබ සක්‍යමුනි නම් බුදුවූ සේක් ද මම ද එසේ මතු කල සක්‍යමුනි ගෝතම නම් බුදු වන්නෙමි. ඔබ වහන්සේ සසරින් එගොඩව සතුන් සසරින් එගොඩ කරවූ සේක් ද මම ද එසේ සසරින් එගොඩව ලෝ සතුන් සසරින් එගොඩ කරවන්නෙමි” කියා වාක් භේදයෙන් බුදුබව පැතීය.
වැඳ පැතුම් පතා “මම ශාක්‍යපුත්‍ර ගෞතම නම් බුදු වෙමි”යි මෙවදන් පැවසීය.
රජුගේ අදහස් දැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජ, බුද්ධධර්මය සෙවීම අතිශයින් දුෂ්කරය. ඉඳින් බුදුවන්නෙහි නම් වීර්යයෙන්ම හැකි වන්නේය. උණුහළු අඟුරු රත්වූ ශෛලපර්වත පැහෙනජලය වැලිකතර කටු සහිත හුණගොමු දස දහස් ගණනින් මඩිමින් පරතෙර යාමටත් වඩා බෝධිය ලැබීම දුෂ්කරය.”
රජ මෙබඳු අතිදුෂ්කරතා අසා මනඃප්‍රණිධාන පුරා ඇති බැවින් මහමෙර මෙන් නිශ්චල ප්‍රතිඥාවෙන් බුදුවදනින් නොසැලී දොහොත් මුදුන් තබා වැඳ “ස්වාමීනි, ලෝකනායකයන් වහන්ස,
අතිදුෂ්කර වෙර දරා සියලු දුෂ්කරතා ජය ගනිමි. උරසින් වැටෙමි. බෝධියට පැමිණෙමි. බෝධිය පවත්නේ අවීචියෙහි නම් එහි ගිලෙන්නෙමි. මගේ සිත වජ්‍රයක් බඳුය”යි භාග්‍යවතුන් වහන්සේට සැලකළේය.
ඉක්බිති තථාගතයන් වහන්සේ ඔහුගේ දැඩි නිසල ආපසු නොයන නොපිරිහෙන ගති දැක ඔහු උත්සාහවත් කරමින්
“ඔබ ලොව ලෝ අගනායක බුදුවන්නෙහිය. මෙවක් පටන් දසබුදුකුරුදහම් සොයන්න. එසේම උත්සාහ සංඛ්‍යාත වීර්යය, භාවනා නම් ප්‍රඥාව, ආපසු නොයාම නම් අධිෂ්ඨානය සහ මෛත්‍රිය යන මේ සිවුවැදෑරුම් බුද්ධභූමි සොයන්න. මේ ධර්ම මහර්ෂීන්ට හිතූපචර්යා වන්නේය. මේ සතර භූමියෙහි සියල්ල දක්නා සියල්ල දන්නා තැනැත්තවුන් විසින් දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා විරිය ඛන්ති සච්ච අධිට්ඨාන මෙත්තා උපෙක්ඛාවෙන් සුසංයුත විය යුතු.”
එතැන් පටන් සාගර රජ හේතු සම්පත් ඇතිව සතර භූමියෙහි දස බුදුකුරුදහම් සොයමින් දැඩිතරව වාක්භේද කොට මරණින් මතු ස්වර්ගයෙහි උපන්නේ ය. ඒ පුරාණ සක්‍යමුනි බුදුහු ද සියලු බුදුකිස නිමවා පිරිනිවියහ. මෙසේ සබ්බභද්ද අසංඛ්‍යයෙහි පුරාණ සක්‍යමුනි බුදුන් විෂයෙහි සාගරරජ රත්සඳුන්හරමුවා ලක්‍ෂයක් ප්‍රාසාද පුදා වාක්භේද කළේය.
එම අසංඛය්‍යයෙහිම පනස්දහසක් බෝසත්හු පනස්දහසක් බුදුවරුන් විෂයෙහි මහදන් දී වාක්භේද කළහ. ඉක්බිති සබ්බඵුල්ල අසංඛ්‍යයෙහි සීහ නම් බුදුහුය. සුනන්ද නම් සක්විති රජය. ඒ බෝසත්හු සත්දහසක් පිරිවර සහිත රුවන්මුවා පහයක් පුදා වාක්භේද කළහ. එම අසංඛ්‍යයෙහිම සැට දහසක් බෝසත්හු හැට දහසක් බුදුවරුන් විෂයෙහි මහදන් දී වාක්භේද කළහ. සබ්බරතන අසංඛ්‍යයෙහි සුරිය නම් බුදුහුය. සිද්ධත්‍ථ නම් සක්විති රජය. අනූදහසක් පිරිවර වෙහෙර සහිත ප්‍රාසාදයක් පුදා වාක්භේද කළේය. එම කල්පයෙහිම හැත්තෑ දහසක් බෝසත්හු සැත්තෑදහසක් බුදුවරුන් විෂයෙහි මහදන්දී වාක්භේද කළහ. උසභක්ඛන්‍ධ අසංඛ්‍යයෙහි අභිභූනම් බුදුහුය. සීහ නම් සක්විති රජය. අසූදහසක් පිරිවර වෙහෙර ඇති ප්‍රාසාද පූජාවෙහි වාක්භේද කළහ. එම අසංඛ්‍යයෙහි අසූදහසක් බෝසත්හු අසූදහසක් බුදුවරුන් විෂයෙහි මහදන්හි වාක්භේද කළහ. මාණිභද්ද අසංඛ්‍යයෙහි උප්පල නම් බුදුහය. සුදස්සන නම් සක්විති රජය. දහසක් පිරිවර වෙහෙර ඇති ප්‍රාසාද පූජාවෙහි වාක්භේද කළහ. එම අසංඛ්‍යයෙහි අනූදහසක් බෝසත්හු අනූ දහසක් බුදුවරුන් විෂයෙහි මහදන්හි වාක්භේද කළහ.
පදුම අසංඛ්‍යයෙහි පදුමුප්පල නම් බුදුහුය. අරින්දම නම් සක්විති රජය. ලක්‍ෂයක් පිරිවර බඩු ඇති මහා මණ්ඩප පූජාවෙහි වාක්භේද කළේය. එම අසංඛ්‍යයෙහි පනස් දහසක් බෝසත්හු පනස් දහසක් බුදුවරුන් විෂයෙහි මහදන්හි වාක්භේද කළහ. උසභ අසංඛ්‍යයෙහි නීලුප්පල නම් බුදුහුය. විජය නම් සක්විති රජය. අනූදහසදක් පිරිවර වෙහෙර සහිත ප්‍රාසාද පූජාවෙහි වාක්භේද කළේය. ඒ අසංඛ්‍යයෙහි සදහසක් බෝසත්හු සදහසක් බුදුවරුන් විෂයෙහි මහදන්හි වාක්භේද කළහ. බන්‍ධත්තම අසංඛ්‍යයෙහි පදුම නම් බුදුහුය. ජොතිමා නම් සක්විති රජය. සැටදහසක් පිරිවර මඩුසහිත මණ්ඩප දානයෙහි වාක්භේද කළේය. එම අසංඛ්‍යයෙහි තිස්දහසක් බෝසත්හු තිස්දහසක් බුදුවරුන් විෂයෙහි වාක්භේද කළහ. සබ්බල අසංඛ්‍යයෙහි පදුමගබ්භනම් බුදුහුය. උප්පල නම් සක්විති රජය. සත් දහසක් පිරිවර වෙහෙර සහිත ප්‍රාසාද පූජාවෙහි වාක්භේද කළේය. එම අසංඛ්‍යයෙහිම ලක්‍ෂයක් බෝසත්හු ලක්‍ෂයක් බුදුවරුන් විෂයෙහි මහදන්හි වාක්භේද කළහ.
මෙසේ සබ්බභද්ද සබ්බඵුල්ල සබ්බරතන උසභක්ඛන්ධ මාණිභද්ද පදුම උසභ ඛන්‍ධත්තම සබ්බල යයි අසංඛ්‍යකල්ප නවයක් ප්‍රකාශිතය. බෝසතුන්ගේ වාක්භේද පැතුම් පැතීම නව අසංඛ්‍යයක් වන්නේය. පනස, සැට, සැත්තෑව, අසූව, අනූව, වශයෙන් ද පනහ, හය, තිහ, වශයෙන් දහසක් හා ලක්‍ෂයක් බෝසත්හු ද පැතුම් පැතූහ.
මේ අතිදූරෙ නිදාන නමි.