අතිදූරදූරෙ නිදාන

star_outline

යම් ලෝක නාථයාණ කෙනෙක් විසිඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ලෝක හිතාර්ථය පිණිස දුක් ගත් සේක් ද ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.

බුදුරජාණන් වහන්සේට, ධර්මයට, උතුම් සංඝ සමූහයාට යන රත්නත්‍රයට නමස්කාර කොට ආචාර්ය පරම්පරානුසාරයෙන් සම්පිණ්ඩිතමහානිදානය ප්‍රකාශ කරමි.

මෙහි ලා නිදානය කී ආකාර වෙයි ද? පොරාණාචාර්යවරු නිදානය තෙවැදෑරුම්ව කැමති වෙති. ත්‍රිවිධ නිදානය කුමක් ද? දූරෙ නිදානය, අවිදූරෙ නිදානය, සන්තිකෙ නිදානයයි. දූරෙ නිදානය කෙසේ ද? දීපඞ්කර බුදුන් ආදි කොට වෙස්සන්තරාත්මභාවය තෙක් කිව යුතුය. මෙය දූරෙ නිදානයයි. අවිදූරෙ නිදානය කෙසේ ද? වෙස්සන්තරාත්මභාවයෙහි පටන් අභිසම්බෝධිය තෙක් කිව යුතුය. මෙය අවිදූරෙ නිදානයයි. සන්තිකෙ නිදානය කෙසේ ද? අභිසම්බෝධියෙහි පටන් පරිනිර්වාණය තෙක් මෙදෑතුර යම් යම් තැනෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසූසේක් ද ඒ තාක් කිව යුතුය.

වෙනත් ආචාර්යවරු අතිදූරෙ නිදානය, දූරෙ නිදානය, අවිදූරෙ නිදානය, සන්තිකෙ නිදානය යි සිවුවැදෑරුම් නිදානය කැමති වෙති. අතිදූරෙ නිදානය කෙසේ ද? බ්‍රහ්මදෙව බුදුන් ආදි කොට දිවකුරු බුදුන් තෙක් වෙයි. දූරෙ නිදානය කෙසේ ද? දිවතුරු බුදුන් පටන් වෙසතුරු අත්බැව් තෙක් වෙයි. අවිදූරෙ නිදානය කෙසේ ද? වෙසතුරු අත්බැව් පටන් අභිසම්බෝධිය තෙක් වෙයි. සන්තිකෙ නිදානය කෙසේ ද? අභිසම්බෝධියෙහි පටන් පරිනිර්වාණය තෙක් වෙයි.

නැවත ද අතිදූරදූරෙ නිදානය, අතිදූරෙ නිදානය, දූරෙ නිදානය, අවිදූරෙ නිදානය, සන්තිකෙ නිදානයයි නිදානය පස් වැදෑරුම් වෙයි. අතිදූරදූරෙ නිදානය කෙසේ ද? මෑණියන් ගොඩ ලූ තරුණ නැවියාණෝය. ගජප්‍රිය ශත්‍රැතාප නරපතියාණෝ ය. ව්‍යාඝ්‍රධේනුවට දිවි පිදූ බ්‍රහ්ම සෘෂිවරයාණෝය. අබතෙල් පිදූ රාජ කුමාරිකාවෝ ය. යන මෙයින් දත යුතුය.

මෑණියන් ගොඩ ලූ තරුණ නැවියාණෝය යන මෙය කෙසේ දත යුත්තේ ද? මේ මහාභද්‍ර කල්පයෙන් කප් ලක්‍ෂයක් අධික අසංඛ්‍යකල්ප විස්සකට ඈත අතීත කාලයෙහි කිසියම් සුපාප ජනපදයෙක්හි මනා කළුකෙහෙ ඇති භද්‍රයෞවනයෙන් යුත් ඤාණබුද්ධි සම්පන්න තරුණ නැවියෙක් පියාගේ අභාවයෙන් සියලු ධනය වියදම් කොට මෑණියන්ම පෝෂණය කරන්නේය. ඉක්බිති ඒ නැවියා වෙළදාම් පිණිස ස්වර්ණභූමියට යනු කැමතිව බොහෝ බඩු රැස්කොට මෑණියන් හා වෙනත් බඩු නැවට පටවා මුහුදට පිළිපන්නේය. නැව යොදුන් දහයක් විස්සක් පසු කොට වෙරළ නොපෙනී ගිය කල්හි එකෙණෙහි හටගත් මහසැඩ කුණාටුවකින් මුහුදුදිය කැළඹී බිහිසුණු මහරළ හටගත්තේය. මහරළින් මුහුද කැළඹී ගියේ ය. සයුර කැළඹීමෙන් සසල දළ රළපෙළ නිරන්තර ගැටීමේ වේගයෙන් සුන්බුන් වූ නැව එහින් මෙහින් දිය පිරීමෙන් ගිලී ගියේ ය.

ඉක්බිති මිනිස්සු තැන තැන පාවෙමින් මරණයට පැමිණියාහුය. අනතුරුව පාවී යන සිය මෑණියන් දැකීමෙන් නැවියාට උපන් කරුණාවෙන් “අහෝ මාගේ මෑණියන් මරුමුවට පත්වනු කෙසේ බලා සිටිම් ද? අපොයි හිතවතුනි, මාගේ ජිවිතයෙන් කවර පලක් ද? උපකාරී මෑණියන් එගොඩ කරන්නෙමි. මේ සාගරයෙන් මෑණියන් එතෙර නොකරන්නෙම් නම් පින්වතුනි, කෙසේ නම් ජනතාව සංසාර සාගරයෙන් එගොඩ කරන්නෙම්දැ”යි සිතිණ. මෙසේ සිතා හෙතෙම වැඳ වැටී මේ පෙරපැතුම් පැතීය.

මම එතෙර වී මුළාවූවන් එතෙර කරමි. දමනය වී අදාන්තයන් දමනය කරන්නෙමි. සැනසී බියට පත්වූවන් සනසා ලන්නෙමි. අවබෝධ කොට නිදිගත්තවුන් පුබුදුවා ලන්නෙමි. දැවෙන්නවුන් සනසවන්නෙමි. බැමිවලින් මිදී බැමිවලින් මුදවා ලන්නෙමි. නිවී නිවාලන්නෙමි. මම ශාන්ත ධර්මයෙන් දැඩි අදිටනින් යුතු වෙමි.”

ඔහු මෙසේ පැතුම් පතා තමන්ගේ මෑණියන් දෑතින් වඩා ගෙන එගොඩ කරවීය. ඒ සත්පුරුෂයා මෙසේ මෑණියන් එතෙර කොට දිවිහිමියෙන් කුශලකර්ම කොට දෙව්ලොව පැමිණියේය.

තවද ගජප්‍රිය ශත්‍රැතාප නම් රජෙක් වෙයි යන මෙය කෙසේ දතයුතු වන්නේ ද? ඈත අතීත කාලයෙහිම ඇතුන්ට ප්‍රිය කළ ශත්‍රැ තාප නම් රජෙක් මධ්‍ය දේශයෙහි රම්මක නම් නුවර වාසය කළේය. ඒ රජුගේ එක් මඟුලැතෙක් විය. හස්ත්‍යාචාර්යයා විසින් ඔහු මැනවින් හික්මවන ලද්දේ ය. දිනක් උයන්බිමට යනු කැමැති වූ රජ ඒ ඇතු පිට නැගී සිවුරඟසෙන් පිරිවරා උයනට ගියේ ය. ඒ ඇත් තෙම ඒ වනාන්තරයෙහි වෙනත් ඇතින්නකගේ ඉව දැනී කාමරාගයෙන් පීඩිතව ඉවසා ගත නොහැකිව තට්ටම් කන්තල ගසා දුවන්නට පටන් ගත්තේ ය. දුවන ඇතු රඳවා ගත නොහැකිවූ රජ ගොස් අත්තක එල්ලී නතර විය. ඇතා දිව ගොස් ඇතින්න හා එක්විය. අනතුරුව සිවුරඟ සෙනග වනාන්තරය පීරා ඔබ මොබ දුවමින් ඇතු පිටින් බැස සිටි රජු පිරිවරා ගත්හ. ඉක්බිති රජ ඒ පිරිස සමඟ පෙරළා නුවරට පැමිණ කිපී හස්ත්‍යාචාර්යවරයා කැඳවා “ආචාර්යය, කුමක් නිසා තෝ මේ ඇතු නොහික්ම වූයෙහි ද? කීකරු නොකරන ලදුවම හොඳින් කීකරුයයි කියන්නෙහි ද? එසේ නම් දැන් මෙබඳු විකාරයක් කරන ලද්දේ මන්දැ”යි ඇසීය. ආචාර්යයා රජුට “දේවයිනි, ක්‍ෂමාවුව මැනව. ඒ ඇතා මනාව හික්මුණේය, කීකරුය. සොඳුරු සිවුකුලයෙන් ශ්‍රේෂ්ඨය, ඔහු ඇතින්නකගේ ගන්‍ධරාගයෙන් මෙසේ විකාර කරයි. නමුත් දේවයිනි, එසේ නොසිතුව මැනව. ඒ ඇතූ ජාතිය සිහිකොට මොහොතකින් එනු ඇතැ”යි කීය.

එවේලෙහිම ඇතා සිය ජාතිය සිහිවීමෙන් කනස්සල්ලට පත්ව ඇතින්න හැරදමා පැමිණියේය. මහජනයා පැමිණි ඇතු දැක සතුටටත් පුදුමයටත් පත්ව ඇතු පිරිවරා ගත්හ. ඇතා ඇත්හලට වැද සිටියේය. එවිට හස්ත්‍යාචාර්ය තෙම “දෙවයිනි, මේ ඇතුගේ සුශික්‍ෂිත බව බලනු මැනව. ඉදින් නොපිළිගන්නෙහි නම් පරීක්‍ෂා කළ මැනැවැ”යි කියා රජු ඉදිරියෙහිම රත්වූ ඇවිලෙන ගිනිදැල් සහිත යගුළියක් ආලිඞ්ගනය කරවීය. ඒ ඇතා දැවෙද්දීත් ඉවත නොදා එතැනම මරුමුවට පත්විය. රජ ඇතූ දැක “ආචාර්යය, ඔහු නොහැඬුයේ මන්දැ”යි විමසීය. “එසේ ය දේවයිනි, ඇතා සුවචය. රාගයෙන් රත්වූවෝ එසේය”යි කීය. එයසා සංවේගයට පත් රජතෙම “රාගය මෙතරම් ලාමකය. මම දැන් රාගය මුලින්ම උදුරා දමන්නෙමි”යි සිතීය. පැතුම් පැතීය.

මම සසර තරණය කොට මුළාවූවන් තරණය කරවන්නෙමි. දමනය වී දමනය කරවන්නෙමි. සැනසී සනසවා ලන්නෙමි. බුදුව කෙලෙස් නිදි ගත්තවුන් පුබුදුවන්නෙමි.

මෙසේ ඒ සත්පුරුෂයා රාග උපාදානයන්හි අනුත්සුකව ස්වර්ගයෙහි උපන්නේය.

බ්‍රහ්මසෘෂි ව්‍යාඝ්‍ර ධේනුවට දිවි දුන්නේය යන අනෙකක් ද වෙයි. මෙය කෙසේ දත යුතු වන්නේ ද? අතීතයෙහි හිමවත් පෙදෙසෙහි සෘෂිවරු සමූහයක් වූහ. ඒ සෘෂි සමූහයාගේ ආචාර්යවරයා බ්‍රහ්මසෘෂි නමි. අජිත නම් එක් අග්‍රශිෂ්‍යයෙක් ද විය. ඒ අග්‍රශිෂ්‍යයා නම් ආර්ය මෛත්‍රෙය බෝසතාණෝ ය. එක් කලෙක සෘෂිගණචාර්ය බ්‍රහ්මසෘෂි අග්‍රශිෂ්‍යයා සමඟ වනමුල් ඵල අහර සඳහා වනයට ගියේ ය.

එකල කඳුබෑවුම් අතර මහා ප්‍රපාතයෙක ළපටි පැටවුන් ඇති සාපවසින් පීඩිත කෘශතර සිරුරින් මරණාසන්නවූ බඩසාබලයෙන් සිය පැටවුන් කනු කැමතිව දැල්වූ ඇසින් කඩා හැලුණු දෙකනින් සොලවන වලිගයෙන් රූරූ යන බියකරු ගෙරවීමෙන් යුතුව සිටින ව්‍යාඝ්‍රධේනුවක දුටුවේය. ඒ දැක හටගත් කරුණාවෙන් බ්‍රහ්මෙසෘෂි “ඇත්තෙන්ම අපොයි මේ ව්‍යාඝ්‍රධේනුව සාගින්නේය. ක්ලාන්ත ශරීර ඇත්තීය. මරණාසන්නය. තම පැටවුන් කනු කැමැත්තීය.” යි සිතා පිටුපස සිටි අග්‍රශිෂ්‍ය මෙතේ බෝසතුන් අමතා යන්න, සිංහාදීන් හැර දමන ලද්දක් ගෙන එවයි කීය. හෙතෙම ඔබ මොබ සොයාත් කිසිවක් නොලැබීය. ඔහු ගිය පසු බ්‍රහ්මසෘෂි “නොගැළපෙන්නක් කළෙමි. අනුන්ගේ මස් පිදීමෙන් මට කවර පලයක් ද? දැන් මම ජීවිතය පුදන්නෙමි”යි සිතීය. කුමක් නිසා ද? මාගේ මේ ශරීරය නිස්සාරය. අසූචි දුගඳ කුණප වලින් පිරුණේය. ඇස් ඇති පණ්ඩිත පුරුෂයන් විසින් නින්දිතය. මේ ජීවිතය නම් අසාරය. සාර විරහිතය. ක්‍ෂණිකය. දුක් බහුලය. උපායාස බහුලය. මරණය කෙළවර කොට ඇත්තේ ය. තණ අග පිනිබිඳුවක් දිය බුබුලක් මිරිඟුවක් මෙන් නැසෙනසුලුය. මම ඒ සාර රහිත කයින් නිසරු ජිවිතය හරවත් සදහම් වර සිරුරක් බවට පෙරළන්නෙමි”යි සනිටුහන් කොට මනඃප්‍රණිධාන කළේය.

මම එතෙරව මුළා වූවන් එතෙර කරන්නෙමි. දමනය වී දමනය කරන්නෙමි. සැනසී සනසා ලන්නෙමි. බුදුවී පුබුදුවන්නෙමි.

හෙතෙම මෙසේ පතා කරුණාව උපදවමින් කඳුමුදුනින් සිය ජීවිතය හෙළී ය. එවිට එතුමාට මල්වැසි වැස්සේ ය. මෙසේ සත්පුරුෂ තෙම ස්වීයාත්මය පරිත්‍යාග කොට ස්වර්ගයෙහි උපන්නේය.

තවද, රජකුමරිය අබතෙල් පිදුවාය යන මෙය කෙසේ දත යුත්තේ ද? අතීත කාලයෙහි බරණැස් ප්‍රදේශයෙහිම පුරාණදීපඞ්කර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව උපන්හ. ඒ බුදුරදුන්ගේ සුළුමෑණියන් දූ වූ විසුද්ධාදේවී නම් සොහොයුරු රජකුමරියක් වූවාය. එකල එක් මහලු භික්‍ෂුනමක් තෙල් පිණ්ඩපාත කොට නිතර බුදු පහන් දල්වන්නේ දිනක් තෙල් පිණිස රජගෙට ගියේ ය. ඒ කුමරිය මහලු භික්‍ෂූන් වහන්සේට අබතෙල් පුදමින් “ස්වාමීනි, මේ අබතෙල් පූජාවෙන් හා අනිකුත් කුසලයන්ගෙන් අනාගතයෙහි මම පිරිමියෙක් වී බුදු වන්නෙමි” කියා මෙසේ ප්‍රාර්ථනා කළාය.

මම එතෙර වී මුළාවූවන් එතෙර කරන්නෙමි. දාන්තව දමනය කරන්නෙමි. සැනසී සනසවා ලන්නෙමි. බුදුවී ප්‍රබුද්ධ කරන්නෙමි.

මෙසේ ඇයගේ පෙරපැතුම වශයෙන් අබ තෙල් පිදුවාය. ඉක්බිති ඒ මහලු තෙරණුවෝ ඇය පිදූ අබ තෙල් ගෙන විහාරයට ගොස් පහන් දල්වා “නාථයාණනි, යම් සේ ඔබ වහන්සේ දීපඞ්කර නම් බුදුහු වෙත් ද මම ද එසේ මතු දීපඞ්කර නම් බුදු වන්නෙමි”යි වාග්භේද කළහ. මෙසේ ඒ මහලු තෙරණුවෝ වචනයෙන් පවසා ඒ රජකුමරියගේ ප්‍රාර්ථනාව ද සැලකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරාවරණ අනාගත ඤාණයෙන් බලා ඒ තෙරුන්ගේත් කුමරියගේත් පැතුම් සඵලවන බව දැන උන්වහන්ස්ට “භික්‍ෂුනම, ඔබ ද අනාගතයෙහි දීපඞ්කර නම් බුදුව මාගේ නැගණියට ද අනාගතය සඳහා විවරණ දෙව” යි නියම කළ සේක. උන්වහන්සේ බුද්ධ නියමය පිළිගත්හ. මෙසේ රජකුමරිය අබතෙල් පුදා ඒ ප්‍රාර්ථනය කොට දෙව්ලොව උපන්නා ය.

මේ අතිදූරදූරෙ නිදාන නමි.