තව ද සම්‍යක් ප්‍රතිපදා ව විනා සෙස්සක් අපායට මංවත් මුත් නිවනට මං නො වන නියා ව හඟවනු පිණිස සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මයිල් බමුණානන්ගේ වත දක්වමු.
කෙ සේ ද යත්-
සැරියුත් මහ තෙරුන් වහන්සේ එක් දවසක් මයිල් බමුණානන් කරා වැඩ ‘කුමක් ද බමුණානෙනි, කිසි පිනක් කරවු දැ’ යි විචාරා ‘කෙරෙමි’ කී කල්හි ‘කුමන පිනෙක් දැ’ යි විචාළ සේක. ‘මස් පතා දහසක් වියදම් කොට දන් දෙමී’ කිවු ය. දන් දෙන්නේ කාට දැයි විචාරා නිවටුන්ට ය යි කී කල්හි කුමක් පතා දැ යි වදාළ සේක. අනික් කුමක් පතමෝ ද බ්‍රහ්මයාණන්ට අප දරු හෙයින් බඹ ලොව පතා ය’යි කිවු ය, ‘කුමක් ද? තෙලෙ බඹ ලොවට යන මං දැ’ යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘කීවෝ කවුරු දැ’යි විචාළ සේක. ‘කීවෝ අපගේ ආචාරිවරයෝ ය’ යි කිවුය. ‘තෙපිත් තොපගේ ආචාරිවරුත් බඹ ලොවට මං නො දනුව. උඩ තුබූ බඹ ලොවට තබා පාත තුබූ දෙව් ලොවට ත් මං නොදනුව. ඊට තබා නිවනට මඟුත් නොදනුව. ඒ හැමයට ම මං දන්නා සේක් බුදුහුය. මා හා කැටිව එව, බඹ ලොවට වුවත් ඔබ්බකට වුවත් මං කියවා ලමි’යි උන් කැඳවා ගෙන බුදුන් ලඟට ගොසින් ‘ස්වාමීනි, මේ බමුණානෝ කියන්නෝ මෙසේ වේ දැ’යි උන් කී පවත් වදාරා ලා ‘උන් කැමති තැනකට මං වදාළ යහපතැ’යි වදාළ සේක.
බුදුහු ත් ‘එ සේ ද බමුණ’යි වදාරා ලා ‘භව ත් ගෞතමයෙනි. එසේ ය’ යි කී කල්හි බඹ ලොවට මං තබා තුන් ලොව රට තව මං දන්නා බුදුහු ‘බමුණ, තා මෙ ලෙසින් හවුරුදු සිය ගණනෙක දුන් දනටත් වඩා හැසිල්ලෙකත් පහන් සිතින් මාගේ සවුවන් මූණ බලා පී වත් උන්ට බත් සැන්දක් පමණ දුන ත් එම උතුමැ’ යි වදාරා ලා පූර්වාපර සන්‍ධි ගළපා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් මස් පතා දහස් ගණන් වියදම් කිරීමෙන් ලෞකික ජනයන්ට දන් දෙත් නම් එ සේ උන් දෙන්නා වූ දනට යම් කෙනෙක් ගුණෙන් වැඩී සිටි, යට ත් පිරිසෙයින් සෝවාන් කෙනකුන්ට වේව යි, උඩ ත් පිරිසෙයින් රහත් කෙනකුන්ට වේව යි, ගෙ දොරට සිඟා ආවවුන්ට බත් සැන්දක් පමණ වුව ත් යපෙන පමණක් වුව ත් දළ වුව ත් කඩපොල්ලක් පමණ දීමෙන් එක දවසෙක ත් උපස්ථාන කළෝ වූ නම් ලෞකිකයන්ට දෝ නොහොත් ගුණරහිතයන්ට හවුරුදු සියයෙක දුන් දනට ත් ක්‍ෂෙත්‍ර සමෘර්ධිනු ත් අධ්‍යාශය සමෘර්ධිනුත් එම උතුමැ’ යි වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ අපාය මඟ හැර සග මොකට මං වූ ආවේණික ව නිවනට මං වූ සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් නො එක් ලබ්ධි නමැති නො එක් මං හැර සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා නිවන් මං නො වැරැද්ද විය යුතු.
_________