තව ද මී අඹ හා එක සැටි හෙයින් ඒ ය යි සලකා කිම් ඵල නම් වූ ඵල ජාති ය අනුභව කළවුන්ට මරණ මුත් මී අඹයෙන් වන ප්‍රයෝජන නැත්තා සේ බිජුවට ය යි සිතා ඈසා වපුළවුන්ට ගොයමින් ප්‍රයෝජන නැත්තා සේ බතැ යි කියා වස කෑවවුන්ට බතින් වන ප්‍රයෝජන නැත්තා සේ පිනැ යි සිතා පවෙහි හැසිර වසන්නවුන්ට අනිෂ්ට විපාකයක් විනා ඉෂ්ට විපාකයක් නැති නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ බෑන බමුණාන කෙනකුන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
සැරියුත් මහ තෙරුන් වහන්සේ සියල්ලවුන්ට වැඩ පිණිස හැසිරීම නෑයන් හැර නොවන හෙයින් එක් දවසක් තමන් වහන්සේගේ බෑන බමුණානන් කරා ගොසින් ‘බමුණානෙනි, පින් කරවු දැ’යි විචාරා එ සේ ය කරමී’ කී කල්හි ‘කුමන පින් කම් දැ’යි විචාළ සේක. ‘පසු ඝාත ය කොට වහ්නි දේවතාවාට පූජා කෙරෙමි’යි කිවු ය. ‘කුමක් පතා දැ’යි විචාරා ‘එයි ත් බඹ ලොවට යන මඟක් හෙයින් බඹ ලොව පතා ය’යි කී කල්හි ‘තෙලෙ බඹ ලොවට යන මං නියාව තොපට කීවෝ කවුරු දැ’යි විචාළ සේක. තමන් නටවුන් අනුනු ත් නසන හෙයින් දිගට ම නැසී ආ තමන්ගේ ඇදුරන් නියාව කී කල්හි ‘ගමට නුවරට යන්නා වූ මහමාවත තිබිය දී වල යන්නා සේ බඹ ලොවට යන්නා වූ ධ්‍යාන මාවත තිබිය දී තෙලෙ ලූයේ නරකයට මඟෙක. බඹ ලොවට මං තෙපිත් නො දනුව. තොප තබා තොප ගේ ඇදුරෝ ත් නො දනිති. දන්නෝ කවුරුදැ’යි සිතවු නම් බුදුවන්නාට පෙරාතු වප් මඟුලට ගෙන ගොසින් හින්නට බල නැති කොම්බු අවස්ථාව හෙයින් දඹ රුප්පයේ යහනක් පනවා ලා සතප්පවා ලූ ගමනේ කැටි ව ගිය කිරි මවුන් වප් මඟුල් බලන්ට ගොසින් එ තැන අවසර නියාව දැන නැඟී සිට පලක් බැඳ හිඳ ධ්‍යාන ඉපැදවීමෙන් හා මහණ වූ පසු ආලාර-උද්දක දෙන්නා ලඟ සම වත් අට ම ඉපැදවූ හෙයින් හා බුදු වන දවසු ත් ආනාපානසති චතුර්ථධ්‍යාන ය උපදවා ධ්‍යාන පාදක කොට විවසුන් වඩා බුදු වූ හෙයින් බඹ ලොවට මඟුත් ඒ තබා නිවන් මඟු ත් දන්නා සේක් බුදුහු ය.
බුදුන් කරා වරෙ’ය යි කැඳවා ගෙන ගොසින් ‘ස්වාමීනි, මූ තුමූ බඹ ලොවට යන මඟ ය යි කියා ලා මඟ තිබිය දී ම මහ වල් ඉරති. බඹ ලොවට මඟ ත් අදහසු ත් බලා ඔබ්බට මඟ ත් වදාළ යහපතැ’යි වදාළ සේක. බුදුහු ත් බමුණානන් ගෙන් ආද්‍යන්ත විචාරා දැන මං කීම් මුඛයෙන් බණ වදාරන සේක් ‘හෙම්බල බමුණ, යම් කෙනෙක් තුමූ සිතා ගෙන හෝ අනුන්ගේ බසින් හෝ බඹ ලොව පතා පසු ඝාත ය කොට වල තබා ගෙන හවුරුදු සියයක් මුළුල්ලෙහි ත් ගිනි දෙවියා පිදූ නම් එයිත් යම් කෙනෙක් ඇසිල්ලකත් බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදී වූ ගුණ ඇත්තවුන්ට මල් පහන් පමණකු ත් පූජා කොළෝ වූ නම් එයි ත් දෙක එක් කළ කලට අර මුන් හවුරුදු සියයක් මුළුල්ලෙහි ගිනි දෙවියාට කළ පූජාවෙන් පිරෙන කිසිත් පින නැති හෙයින් ඇසිල්ලෙකත් බුද්ධාදීන්ට කළ පූජා ව ම දෑ සමන් මල් අට මිටක් ඇසිල්ලෙක පුදාලූ සමන් මල් කරුවන් කප් ලක්‍ෂයක් දුගතියකට නො ගොස් සැපත් වළඳා කෙළවර පසේ බුදු වන හෙයින් - එ ම උතුමැ’යි වදාළ සේක. බණ කෙළවර ගිනි දෙවියා පිදූ බමුණානෝ සෝවාන් ව එවක් පටන් ගිනි දෙවියා හැර දෙවාතිදේව වූ බුදුන් පිදූහ.
එ හෙයින් සුජනයන් විසින් විෂ්ණු – මහේශ්වරාදී භක්ති නැති ව තුනුරුවන්හි ම භක්ති ඇති ව සුචරිත පුරා නිවන් දහම් පසක් කට යුතු.
__________