97. අනර්ථ විචාළ බමුණන් ගේ වස්තුව

star_outline

තව ද අනර්ථයෙහි හැසිරීම නපුරු වුව ත් අනර්ථාවහ ය දත යුතු නියාව හඟවනු පිණිස අනර්ථ විචාළ බමුණන් ගේ වස්තුව දක්වමු.

ඒ බමුණානෝ ‘කුමක් දෝ ? බුදුහු වැඩට නිස්ස ම දක්නා සේක් දෝ හෝ නොහොත් අවැඩට නිස්සත් දක්නා සේක් දෝ? කිම පෙනෙන්නේ වැඩට නිස්සෙක් ම ය. අරෙත් විචාරමි’ සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මුඹ වහන්සේ වැඩට නිස්ස. දන්නා සේක. ඒ බොහෝ දෙනාට වැඩ කරණ හෙයින් ලෝකප්‍රසිද්ධ ය. අවැඩක් කළ නියාවක් පෙනෙන්ට නැත. එයි ත් දත්තේ ඇද්දැ’ යි විචාළහ. ‘බමුණ, වැඩට නිස්සත් අවැඩට නිස්සත් දෙක ම දනිමී’ වදාරා ලා ‘එ සේ වී නම්, අවැඩට නිස්ස මට කියන්ට වුව මැනැවැ’ යි කී කල්හි ‘එ සේ වී නම්, බමුණ, මෙ වක් පටන් අවැඩට නිස්ස තට වුව මනා වී නම් මා ඉතා යොදන නියා නො වෙයි. හිරු නැඟෙන තුරා ත් වැද හෙව නිඳ, සියල්ලෙහි ම මැළිත් වව, යක්‍ෂ ගතියක් මෙන් රළු පරළු වව, කරණ දෙයක් ඇත්නම් අද ය-සෙට ය-අනිද්දා ය-නැඟෙන මස ය එන හවුරුද්ද ය යි කිය කියා දික් දැරෑඬි[1] කර. මංවල උදකලාවත් යා, පරදරත් හැසිර - තෙලෙ ලෙස කළ කල තට වැඩෙක් වී නම් මා සියල්ලක් නොදනිති සිතා ගෙනැ’යි වදාළ සේක.

ඒ අසා බමුණානෝ ‘යහපත, ගණ දෙටුවාණන් වහන්ස, ඒ මුඹ වහන්සේ දන්නා බව නියත ය’ යි කියා ලා සාධුකාර දුන්හ. ‘එම්බල, ඒ දෙක දන්නට මට වඩා කෙනෙක් නැතැ’යි වදාරා ලා බුදුහු උන්ගේ අදහස් පරීක්‍ෂා කොට ලා ‘බමුණ, තෝ කුමක් කොට ජීවත් වෙහි දැ’යි විචාරා වදාරා ලා ‛දූ කෙළියෙනැ’යි කී කල්හි ‘කුමක්ද, බමුණ දූ කෙළ දින යි ද, පරදී දැ යි විචාරා ‘සමහර විටෙක පරදිමී’ කී කල්හි ‘බමුණ, තෙල ලෙස අනුන් පරදවා ලබනා දෙය යහපත් නො වෙ’යි වදාරා ‘යම් කෙනෙක් දූ කෙළ හෝ පොර ගෙන හෝ සටන් කොට හෝ යුක්ති බැණ හෝ අනුන් පරදවා තුමූ ජය ලැබෙත් නම් එසේ වූ ජය යහපත් නො වෙයි.

‘යහපත් කවරේද යත්— කෙලෙස් සතුරන් හා විෂ්කම්භනාදී වශයෙන් සටන් කොට තමා ලබන ජය යහපත. නිකෙලෙස් බැවින් තමා දැමුණා හට නිරන්තරම කාය වාක් සඤ්ඤම ඇති හෙයින් යම් සේ යුක්ති ආදියෙන් පැරැදි කෙනෙක් පක්‍ෂබල ඇති ව ගෙන පරදවා සිටියවුන් පෙරළා පරදවා පියත් නමුත් දිව්‍ය බ්‍රහ්මාදීන් අතුරෙන් කිසි කෙනෙකු ත් මාර්‍ග භාවනායෙන් නට කෙලෙසුන් පෙරළා උපදවා මාර්‍ග භාවනා කළ වුන් පරදවා ලිය නොහෙති. එ හෙයින් සත් පුරුෂයන් සියලු ජය විතරට කෙලෙස් සතුරන් සාධා නිවන් රට ලදින් ලබන ජය ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුහු යම් දෙයක් උතුමැ යි වදාළ සේක් වී නම් බාල කල පටන් ආයුධ ශ්‍රමයට කරණ අභ්‍යාස ය සේ කෙලෙස් සතුරන් හා සටනට සමථාදියෙහි තර ව අභ්‍යාස කොට කෙලෙස් සතුරන් හා රට සාධා නිවන් ගත යුතු.

__________

  1. දැරැඩි