තව ද නිෂ්ප්‍රයෝජන කථාවෙන් ප්‍රයෝජන ලවයකු ත් නැති නියා ව හඟවන්ට කුණ්ඩලකේසී ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
රජගහ නුවර එක් සොළොස් හැවිරිදි විතර වූ සිටු දුවණි කෙනෙක් විශිෂ්ට වූ රූප ශෝභාවක් ඇත්තාහ. ඉතා ප්‍රාසාදාවහයෝ ය. ඒ වයස පිරී සිටි ස්ත්‍රීහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂයන් කෙරෙහි ලොල් කම් ඇත්තෝ ය. උන්ගේ දෙමව්පියෝ ද උන් මිථ්‍යාචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මේයට පාවා දී ලා සත් මාල් මාලිගාවේ උඩු මාලේ ශ්‍රී යහන් ගබඩාවෙක රූපත්ව උපන්නාට පාටොපයට සිරගෙයක ලූවාසේ ලූහ. එක් කුල දරුවකු සොර කමක දී අල්වා ගෙන පිටි තල හයා බැඳ ගෙන සැමිටිවලින් මර-මරා මිනී මරණ තැනට ගෙන යෙති. ඒ සිටු දුවණියෝ ද මහත් වූ කෝලාහල නිසා මේ කිම් දෝ හෝ’ යි මතු මාලේ සිට බලන්නෝ මරණට ගෙන යන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇති ව ඌ ම පතා බතුත් නො කා යහනට නැඟීලා වැද හොත්තෝ ය.
මුසුප්පු ව වැදහොත් නියා ව මෑණියෝ දැක කුමකට දැ’යි විචාරා මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලුම් ඇති නියාව ත් උන් ලදොත් මුත් නො ලදොත් ජීවත් වීම නැති නියාව ත් කී කල්හි ‘පුතණ්ඩ, එසේ සිතන්නේ හැයි ද? මුඹ වර්ධන ව සිටියවුන් හෙයින් ගෙයි තබා ගෙන හිඳුමෝ ද? ජාති ආදීන් සරි සමාන තැනකට පාවා දිය හැක්කැ’යි කිවු ය. අපට ‘අනික් කවුරුනු ත් නො කැමැත්තේ ය. මුන් නොලදොත් මියමී’ කිවු ය. මෑණියෝ නො එක් ලෙස කියා ත් ගිවිස්වා ගත නොහී පියාණන්ට කිවු ය. උයි ත් කියා ගිවිස්වා ගත නො හී කළමනා කිම් දෝ හෝ යි සිතා ඒ සොරු මරන්ට ගෙන යන තැනැත්තවුන්ට මසු දහසක් සොරා යවා ‘තෙලේ හැර ගෙන තුලු නො මරා අපට එවනු මැනව’යි කියා යවූ ය. එයිත් ගිවිස ඌ සිටාණන්ට හැර ලා අනිකකු මරා පියා ‘සොරු මරා පීම්හ’යි රජ්ජුරුවන්ට කිවු ය. සිටාණෝ ත් තමන්ගේ දුවණියන් අර්ථි ව ඌම් කැමති හෙයින් මරණින් ගැළවුණු තැනැත්තවුන්ට සරණපාවා දුන්හ.
සිටු දුවණියෝ ත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්බරණ ලා සැරහී ගෙන තුමූ ම ඕ හට බත් මාළු පිසති. කවති. පොවති. ඉස සෝධවති. නාවති. සොරාණෝ ද කීප දවසෙකින් කළ උපකා රත් නොසලකා ‘මෑ මරා පියා මෑගේ ආභරණ හැර ගෙන රා බී ඇවිදිනවුන්ට විකොට පියා අභිප්‍රාය දෙයක් හැර ගෙන කා පියන්නේ කවර දවසෙක දෝ හෝ යි සිතී ය. සිතා ලා එක් උපදෙසක් සලකා ලා බත් නොකා හැඳට නැඟී ලා වැද හොත්තේ ය. සිටු දුවණියෝ ගොසින් ලෙඩක් නිසාදැ යි විචාරා නැතැ යි කි කල්හි ‘අපගේ දෙ මවු පියන් ගෙන් මුසුප්පුවක් ඇති නියා දැ’යි විචාරා ‘එයි ත් නැතැ’යි කී කල්හි ‘එ සේ කල මුසුප්පු හැයි දැ’යි කිවු ය.
‘සොඳුර, එ දවස් මරන්ට ගෙන යන ගමනේ සොරුන් හෙලන ගල වසන දෙවියන්ට යාදිනියක් කොට දිවි ලදිමි. දිවි තබා උන්ගේ ම ආනුභාවයෙන් මා ගෙන් කිසිත් වියදමක් නැතිව තොප ත් ලදිමි. උන්ට පිදේනියක් දෙන්ට නැති හෙයින් මුසුප්පු යෙමි’යි කිවු ය. ‘එ විතරෙක් වී නම් මුසුප්පු වන්ට නොකැමැත්තේ ය. පිදේනි ය පුදමි. වුව මනා කිම් දැ’යි විචාරා ‘ලද පස් මල් හා සමග පැන් නුමුසු කිරිබත් වුව මැනැවැ’යි කී කල්හි ‘යහපතැ යි මුළුල්ල ම සපයා ලා ‘එන්න, යම්හ’යි කිවු ය. ‘එ සේ වී නම් මාහැඟි පිළීත් හැඳ ගෙන මාහැඟි වූ ආභරණත් ලා ගෙන කෙළ ගෙන, සී ගෙන යන ගමන හෙයින් තොපගේ නෑයනු ත් රඳවා ලා යම්හ’යි කිවු ය. උයි ත් තර ව සිත් ගන්ට ම සිතන හෙයින් එ ලෙස ම කළ හ.
ගල් පාවුලට ගිය කලට ‘සොඳුර, මෙ තැන් පටන් තොප හා මා හා යත් මුත් සෙස්සන් ගෙන යන්ට බැරි ය. බොහෝ දෙනා ගෙන ගිය කල කසළ ත් කෙරෙති. නවතා ලියත් නො හැක්ක. දෙන්න පමණෙක් යම්හ. දෙවියන් පුදන්ට ගෙන යන දෙය බැවින් පිදේනිය තොප ම අල්වා ගනුව’යි කිවුය. උයි ත් එ ලෙස ම කළහ. සොරුත් උන් කැඳවා ගෙන සොරුන් හෙළන ගල උඩට නැංගේ ය. ඒ ගලටත් එක් දසාවෙකින් මිනිස්සු නැඟෙති. එක් දසාවක් ප්‍රපාත ව තිබෙන හෙයින් ගල් මුඳුනෙහි සිට ලා එ තැනින් සොරුන් හෙළති. ඌ කඩ කඩව බිම හෙති. එ හෙයින් ඒ ගලට ‘සොර පව්ව ය’යි කියති. සිටු දුවණියෝ ද ගල මුදුනේ සිට ‘බිලියම් කරන්නැ’යි කිවු ය. ඒ බැණ නො නැඟෙන්නේ ය. ‘බැණ නො නැඟෙන්නේ හැයි දැ’යි විචාළ හෙයින් ‘මට බිලියමින් කම් නැත. බිලියම් පිට ලා ලා මෙ තැනට ගෙනෙන පිණිස ය’යි කිවු ය. ‘ගෙනා යේ හැයි දැ’යි විචාළ කල්හි ‘තොප මරා පියා ආභරණ හැර ගෙන පලා යන්ට ය’යි කිවු ය.
ඌ තුමූ බා ගොසින් ‘ස්වාමීනි, මා ත් අභරණ ත් මුඹ සන්තක වුව. මරන්නේ හැයි ද ? ආභරණ ත් හැර ගත මැනව. මා අතිනුත් මෙහෙ හැර ගත මැනැවැ’යි කිවු ය. ඒ කෙසේ කීව ත් නො ගිවිසම මරන්ට ම තත්පර ව ගත. හිඟුනුව[1] මැනව මා මිය යාමෙන් ප්‍රයෝජන නැත. ආභරණ හැර ගෙන මාගෙනු ත් මිඬි කම් හැරගත මැනවැ යි කිවු ය. ඒ අසා සොරා ‘එසේ කළ කලට තෙපි ගොසින් දෙ මවුපියන්ට කියාල ව. එ සේ කලට අපට විනාස ය කරත් ම ය’යි කිවු ය. සිටු දුවණියෝ සිතන්නෝ මූ ගේ කටයුත්තක් ඉතා නපුරු නියා ය. නුවණ නම් ඇති වන්නා පළ හාගෙන කන්ට නො වත් ප්‍රයෝජන නිසා වුව. ආදි කුමක් සිතා කුමක් කෙළෙම් නමුත් තටත් කළමනා දෙය දැන් තරයේ කෙරෙමි සිතා ලා ‘ස්වාමීනි, එ දවස් මරන්ට ගෙන යන නියා ව දැක දෙමවුපියන්ට කීමි. ඌ මසු දහසක් යවා ලා මැරිය නො දී ගෙන්වා ගෙන මට නිළ කොළෝ ය. මම එ වක් පටන් පක්‍ෂ පාත ව ම විසීමි. දැන් මරතී කියා මුසුප්පු වන්ට පිළිවන් ද? බල එකෙක් නම් මියන ගමනේ මා සිතක් මතක් සේ වැඳ ගත දුන මැනවැ’යි කිවු ය. ‘යහපත, සොඳුර, වඳුව’යි කියා කවර තරමෙක වඳනා වැඳීමක් බවත් නො දැන අවසර දීලා ගල් කෙළවර සිටියේ ය.
සිටු දුවණියෝ ත් තුන් විටක් පැදකුණු කොට ලා සතර තැනෙක සිට වැඳ ලා ‘ස්වාමීනි, මේ කෙළවර දැක්මය. මෙ වක් පටන් මුඹ වහන්සේ ගේ මා දැක්මකු ත් මාගේ මුඹ වහන්සේ දැක්මකු ත් නැත’යි කියා ලා ඉදිරිය දිශාවේ සිට ත් සිප ගෙන පියා පිටි පස්සේ සිට ත් සිප ගෙන පියා කුමක් දෝ සිතමින් ගල් කෙළවර පමා ව සිටියහු තුමූ පිටි පස් ව ලා එක් අතෙකින් බොටුව අල්වා ගෙන එක් අතෙකින් පිටුමුල අල්වා ගෙන ඌගේ කායබල තරමට තමන්ගේ ඥානකෘති වූ මායා බලය මහත් හෙයින් ගල් මුදුනෙන් දැමුව. හෙතෙම කඩ කඩ ව ගලින් හී මිය තෙමේ ම බිලි වි ය. සොර පව්වේ වසන දේවතාවාණෝ උන් දෙන්නාගේ ම කටයුත්ත දැක ‘හැම තැන දී ම පිරිමින් උපදෙස් දනිතී නැත. සමහර තැනක ගෑනු ද උපදෙස් දනිතී’කිවු ය.
සිටුදුවණියෝ ද සොරුගේ අකුසල් නැමැති සතුරා ත් සහාය කොට ගෙන සොරු ගලින් හෙළා ලා තමන්ගේ කුසල් නමැති මිත්‍රයාණන් සහාය කොට ගෙන තුමූ ගැළවී ගෙන සිතන්නාහු ‘ඉදින් මම ගෙට ගියෙම් නම් තොපගේ ගෙහිමියෝ කොයි දැ’යි විචාරති. විචාළවුන්ට මරා පීමි යි කීම් නම් ‘හැයි නො හික්මුණු තැනැත්ති ය, දහසක් යවා ගෙන්වා ගෙන දැන් මරාපී දැ’යි එසේ ත් දොඩති. ඒ ත් මා මරන්ට ගෙන ගිය යි කීම් නම් එයි ත් තොප මරන්ට කාරණ කවරේ දැ’යි නො හදහති. කවර ලෙසින් වුව ත් ගෙට යෑමෙන් ප්‍රයෝජන නැතැ’යි සිතාලා ආභරණ පැළඳ ගෙන තනි ව යාමෙහි ආදීනව සලකා එයි ත් එ තැන ම දමා වල් වැද අනුක්‍රමයෙන් ඒ ඒ තැන ඇවිදිනී පරිව්‍රාජිකාවරුන් වසන පන්සලකට ගොසින් වැඳලා ‘ස්වාමීනි, මා මහණ කළ මැනවැ’යි කිවුය. උයි ත් තමන් මහණ වූ ලෙසින් මහණ කළහ. මහණ ව ලා ම ප්‍රව්‍රජ්‍යාව නම් පුරන ලද ගුණමූලික ව වන හෙයින් ගුණ විශේෂයක් ලබනු කැමැති ව ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ අනුශාසනාවෙහි උතුම් කවරේ දැ’යි විචාරා -
පරිබ්‍රාජිකාවෙනි, කිසුණු පිරියම් කොට ධ්‍යාන හෝ ඉපදවිය යුතු ය. වාද දහසක් හෝ උගත යුතු ය. අපගේ සමයෙහි තෙල දෙක උතුම් ව තිබෙ යි කිවු ය. ‘ ස්වාමීනි, ධ්‍යාන උපදවන්ට මට නො පිළිවන වාද දහස උගනිමි’ යි කිවු ය. ඉක්බිති පරිබ්‍රාජිකාවරු ද වාද දහස උගන්වා ලා ‘අප දන්නා වාද ඉගෙන නිමවුව. දැන් තොපි දඹදිව් තලෙහි ඇවිද තොප හා වාද කරන්ට සමත්‍ව කෙනකුන් බලව’යි උන් අතට දඹ අත්තක් දී ලා ‘පරිබ්‍රාජිකාවෙනි, යව්’යි අවසර දී කියන්නෝ ‘ඉදින් ගිහි කෙනෙක් තොප හා වාද කටහුන වූ නම් උන්ට පාදපරිචාරිකා වව. ඉදින් පැවිදි කෙනෙක් වාද කිරීමට සමර්ථ වූ නම් උන් ළඟ මහණ වව’යි උගන්වා යවු ය. උයි ත් දඹ අත්ත අතින් ගෙන ඇවිදිනා හෙයින් ජම්බුපරිබ්‍රාජිකා නම් ව එයින් නික්ම දුටු දුටු කෙනකුන් හා වාද කෙරෙමින් ඇවිදිති. උන් හා වාද කට ගෙන කෙනෙක් සම්භ නු වූ ය. ඒ ඒ තැන මිනිස්සු ජම්බුපරිබ්‍රාජිකාවෝ එතී බසක් ඇසූ කල ම උන්ගේ නමට ම දුරු බා පලායෙති. ඌ තුමූ ගමකට හෝ නියම් ගමකට හෝ සිඟා වදනා කල ගම් දොර එක් තැනෙක වැලි රැසක් කොට ලා අත්ත ඊ හිඳුවා ලා මා හා වාද කට හෙන කෙනකුන් දඹ අත්ත මිරිකන බව ය’යි කියාලා ගමට සිඟා වදිති. වාද තබා දඹ අත්ත ලඟට ත් යා හෙන්නෝ නැත. පරිබ්‍රාජිකාවෝ ද ඒ අත්ත මළානික වූ කල අනික් දඹ අත්තක් හැර ගනිති.
මෙ ලෙස ම කොට ඇවිදිනෝ සැවත් නුවරට ගොසින් නුවර වාසල කෙරේ දඹ අත්ත සිටුවා ලා ආදි ලෙස ම සම්මතයක් කොට ලා සිඟා නුවරට වන්නහු ය. ගම් දරුවෝ දඹ අත්ත වට කොට ගෙන සිටියහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ සිඟා වළඳා ලා නුවරින් නික්මෙන සේක් දඹ අත්ත පිරිවරා සිටි සුඟුන් දැක ‘මේ කිම් දැ’යි විචාළ සේක. කුඩා සුඟු මහ තෙරුන් වහන්සේට එ පවත් කීහ. ඔබ ත් ‘එසේ වී නම් දඹ අත්ත මඬුව’යි වදාරා ‘බම්හ’යි කී කල්හි වාද කිරීම අපට භාරය. තෙපි මඬුව’යි වදාළ සේක. මහතෙරුන් වහන්සේගේ බසින් තුමූ උපන් උත්සාහ ඇති ව අත්ත මැඬ හඬ ගසමින් ධූලි උඩ නංවා පීහ. පරිව්‍රාජිකාවෝ අවුත් සුඟුන් ම කළ දෙයකැ’යි සිතා බැණ දොඩා ‘තොප හා අප කරණ වාද නැත. කුමක් නිසා අපගේ දඹ අත්ත මැඬියා දැ’ යි කිවු ය. කුඩා සුඟු ‘මහ තෙරුන් වහන්සේගේ බසින් අත්ත මැඬුම්හ. අපි කුමට මිරිකමෝ දැ’යි කිවු ය. ඔබ ත් එ තැන ම වැඩ සිටි හෙයින් ‘ස්වාමීනි, මුඹ වහන්සේ ද මැඬ වූ සේක් ය’යි විචාළෝ ය.
ඔබ ද එ බසට වදාරන සේක් ‘නැඟණියෙනි, අත්ත මැඬ වූවෝ එ සේය, අපි ය’යි වදාළ සේක. ‘දඹ අත්ත මැඬ වූවා සේ ම අප හා වාද ත් කළ මැනවැ’යි කිවු ය. ‘යහපත, වාද කරම්හ’යි වදාළ සේක. පරිබ්‍රාජිකාවෝ ප්‍රශ්න විචාරන්ට පස්වරු සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟට වැඩ හිඳිනා තැනට ගියහ. නුවර මුළුල්ල අසුරන් වැද ගිය දිව්‍ය පුරයක් මෙන් ඇලලී දෙ පක්‍ෂයේ කථා අසම්හ’යි නුවර වැස්සෝ පරිබ්‍රාජිකාවන් හා කැටි ව ම ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ ලා එකත් පස් ව හුන්හ. පරිබ්‍රාජිකාවෝ මහ තෙරුන් වහන්සේට ‘ප්‍රශ්නයක් විචාරමි’යි කිවු ය. ‘තබන්නේ කවර දවසකට ද? විචාරව’යි වදාළ සේක. ඌ තමන් උගත් වාද දහස ම විචාළෝ ය. මහ තෙරුන් වහන්සේ විසඳා ලූ සේක. විසඳා නිමවා ලා ‘තොප විචාරන ප්‍රශ්න මෙ තෙක්ද? තවත් ඇත් ම දැ’යි විචාළ සේක. උගත් වාද එ තෙක් ම හෙයිනු ත් එ ම පිරිමසා ඇවිදි පමණක් මුත් ඔබ්බෙන් උගත් දෙයක් නැති හෙයිනුත් පුරාතනයන් සිතා උපදවා ලූවා තමන් සිත ගෙන කියා ලන්ට බල නැති හෙයිනු ත් එතෙකැ’යි කිවු ය.
‘තොපි අප අතින් බොහෝ ප්‍රශ්න විචාළා වේද? අපි ත් ඒ විසඳා කීමෝ වේ ද, තොප අතින් අපි බොහෝ කොට නො විචාරම්භ. එක සුඟක් විචාරම්හ. ඒ කියවු දැ’යි විචාළ සේක. ‘විචාළ මැනව, ස්වාමීනි’යි කිවු ය. ‘එකක් විචාරම්භ’ යි කී හෙයින් එ ම අල්වා ගෙන ‘එකෙක් නම් කිම් දැ’යි විචාළ සේක. ඌ තමන් පිටත් ශාස්ත්‍ර උගත් බව මුත් ශාසන සම ය දන්නා විචාළ ලෙසට විසඳන ලෙස නොදැන ‘ඒ කිම් දැ’යි විචාළෝ ය. ‘හෙම්බා පරිබ්‍රාජිකාවෙනි, තෙලේ බුදුන්ගේ පැනයෙකැ’යි කී සේක. තමන් ශාස්ත්‍රලෝභී හෙයින් ‘මා ත් ස්වාමීනි, ඒ උගන්වා වදාළ මැනැව’යි කිවු ය. “බුදුහු පවා දායා ද ඉල් වූ රහල් කුමරුන්ට ‘අප සේ ව හැර ගනුව’ යි වදාළ සේක. තෙපිත් අප සේ වූ නම් දෙවම්හ” යි වදාළ සේක. ‘එ සේ වී නම් මා මහණ කළ මැනව’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් මෙහෙණින්නන්ට කියා ලා මහණ කැරවූ සේක. උයි ත් මහණ ව මාලු පැවදිව කුණ්ඩලකේසී නම් ස්ථවිරී ව කීප දවසකින් සිවු පිළිසිඹියා පත් රහත්ව එවක මරණ දුකින් ගැළවුණා සේ ම සසර දුකිනුත් ගැළවූහ.
ධම් සෙබෙහි ත් රැස්ව හුන් වහන්දෑ ද කුණ්ඩලකේසීන් ඇසූ බණකු ත් බොහෝ නො වෙයි. එතකුදු වුවත් රහත් වූ ය. එක් සොරකු හා ත් යුද්ධ කොට උයි ත් පරදවා අවු ය’යි ස්වර්‍ගමාක්‍ෂ බාධක කථාවක් නො වන හෙයිනු ත් රැස් වූ තැන් විසින් තුෂ්ණිම්භූත වීම හෝ ධර්‍මදානෝපෙත කථාවෙන් යුක්ත ව ඉඳීම හෝ යුක්ත බැවින් මේ කථා කෙරෙමින් හුන් සේක. බුදුහු වැඩ විචාරා වදාරා මේ නියාව දැන ‘මා දෙසූ බණ මඳෙකැ’යි කියා ත් බොහෝ වකැ’යි කියා ත් නො කියව. යමෙක් තෙමේ ස්ත්‍රීවර්ණනා ආදී වූ අර්ථාවහ නො වන දෙයින් යුක්ත වූ සිය ගණන් කථා ත් තමා දොඩන්ට සුරු හෙයින් කියා නමු ත් කිසි කෙනෙකුන්ට කිසිත් ප්‍රයෝජනයෙක් පර ලොවින් නැත. යම් කථාවක් අසා සත්‍වයෝ නිවන් දකි ත් නම් ඒ ම යහපත.
‛යම් කෙනෙක් තුමූ දස දහසක් පමණ වූ ත් සතුරු සෙනඟ හා සටනට ගොසින් සටන් බිම දී තමන් යෝධ හෙයින් අරුන් හැම පරදවා තුමූ ම ජය ලැබෙත් ද, සිතන්නවුන්ට යහපත සේ සිතන බව මුත් ඒ සටන උතුම් නො වෙයි. යම් කෙනකුන් රෑ වසන තැන ත් දාවල් වසන තැන ත් කමටහන් මෙනෙහි කිරීමෙන් දහස් ගණනට ත් වඩා සිටිනා රා දොස් ආදි වූ කෙලෙස් සතුරන් පරදවා නිවන් රට ලැබ සිටි ත් නම් සටන ජය ගත්තවුන් මුළුල්ලට ම ඌ උතුම්හ’යි වදාළ සේක. දේසනා කෙළවර බොහෝ දෙන සෝවාන් - සෙදගැමි -අනගැමි - රාත් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදී වූ සෙසු සටන් හැර විවසුන් නමැති අතින්, මාර්‍ග ඥාන නමැති කඩු ගෙන කෙලෙස් සතුරන් හා සටනට ම නියැළී හින්ද යුතු.
-
හැඟිනුව-ඇතැම් ↑