තව ද නිෂ්ප්‍රයෝජන වචනයෙන් ප්‍රයෝජන නැති නියාව හඟවන්ට දාරුචීරිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක බොහෝ මිනිස්සු නැව් නැඟී මුහුදු පිට ගොසින් මුහුදු මැඳ දී නැව් නට කල්හි මස් කැස්බන්ට බත් වූහ. ඉන් එක් කෙනෙක් පෝරුවක් බඩ තබා ගෙන පීනන්නෝ සුප්පාරක පටුන් කරා පැමිණියෝ ය. උන් හැඳ ගන්නා පෙරව ගන්නා දෙයෙක් නැත. ඌ අනික් දෙයක් නොලදින් වියළී ගිය දරු ලෑලි පටයන් වැළින් ගොතා ගෙන හැඳ පෙරව ගෙන දෙවොල කින් කබලක් හැර ගෙන සුප්පාරක නම් පටුන් ගමට ගියහ. මිනිස්සු උන් දැක කැඳ බත් ආදිය දී ලා මුන් වහන්සේ එක් රහත් කෙනෙකැ’යි සම්භාවනා කොට තකා ගත්හ. ඉදින් පිළියෙක් සම්භ වී නම් මේ හැන්දොත් පෙරවියො ත් ලාභ පිරිහෙන්නේ ය’යි සිතා ගෙන උන් දෙන පිළී ත් නො ඉවසා දර සිවුරු ම හැඳ පෙරව ඇවිදිති. රහත් බැවහැර බොහෝ දෙනා කියත් කියත් ‘මෙ ලෝ රහත් කෙනෙක් වෙත් නමුත් රහත් වන්ට නිසි පිළිවෙත් පුරන කෙනෙක් ඇත් නමුත් මම උන්ට ඇතුළත් වෙමි’යි සිතූහ.
මෙ සේ පවිටු අදහස් සිතූ කලට එක් කලෙක බන්ධු වූ දේවතාවාණ කෙනෙක් දෝ හෝ නොහොත් පෙර එක් ව මහණ ධම් පිරූ කෙනෙක් - පෙර කවර කල ද යත් - කසුප් බුදුන්ගේ අස්න පසු බස්නට වන් කල්හි හෙරණ ආදීන්ගේ ශාසනානුරූප සනා වන කටයුතු දැක සත් දෙනකුන් වහන්සේ බලවත් මුසුප්පු නැති ව ‘ශාසන ය අන්තර්ධාන වන්නාට පෙරාතු අපට පිහිටක් කරම්හ’යි කසුප් බුදුන්ගේ ධාතු වඩා කළ සතර ගවුවක් උස ඇති රන් දාගබ බුදුන් තරමේ තබා වැඳ වල් වන් සේක. එක් පර්‍වතයක් දැක ‘ජීවත් වීමෙහි ආලය ඇති කෙනකුන් නවත්නා බව ය. කාය ජීවිත නිරපෙක්‍ෂා තැනක් මේ පර්‍වත මුදුනට නැඟෙන්ට වුව මැනැවැ’ යි කියා ලා - හිණක් බැඳ ගෙන සත් නම ම පර්වතයට නැඟී ලා හිණ පාත හෙළා පියා උඩ යන ගමනෙක මුත් පාත ගමනට ආලය හැර මහණ දමට පටන් ගත් සේක. ඒ සත් දෙනා වහන්සේගෙන් හැම තැනට වැඩි මාලු තෙරුන් වහන්සේ දෙ වන දවස් රහත් වූ සේක. උන් වහන්සේ හිමවත අනවතප්ත විලට වැඩ නා ලිය දැවැටි වළඳා ලා උතුරුකුරු දිවයිනට වැඩ සිඟා බත් ගෙනවුත් සෙසු ස නමට ‘ඇවැත්නි, මේ දැවටි වළඳා ලා කට සෝධා පියා මින් බත් වළඳන බව ය’යි වදාළ සේක.
ඒ අසා සෙසු තැන් කුමක් ද? එන ගමනේ යම් තෙනක් පළමු රහත් වූවොත් උන්වහන්සේ සිඟා ගෙන බත් වළඳා ලා මහණ ධම් කරම්හ’යි අප හැම කළ කතිකාවෙක් ඇද්දැ’යි විචාරා නැතැ යි වදාළ කල්හි ‘එ සේ වී නම් අපි ත් මුඹ වහන්සේ සේ ම ගුණ විශේෂයක් උපදවා ගත හුනුමෝ නම් අපි ම ගොසින් සිඟා ගෙන වළඳම්හ’යි කියා ලා නො ඉවසූ සේක. අරුන් වහන්සේ රහත් වූ දවසට දෙවන දවස් රහත් වූ නමට ඉක්බිති තෙරුන් වහන්සේ අනගැමි වූ සේක. අනගැමි වෙ ලා - එ සේ ම බත් සිඟා ගෙනවු ත් සෙසු තැනට පෙරැත්ත කී සේක. ඒ අසා “වැඩි මාලු තෙරුන් වහන්සේ ගෙනා බත් නො වළඳා කුඩා තෙරුන් වහන්සේ ගෙනා බත් වළඳම්හ’යි අප කළ කතිකා ඇද්දැ යි විචාරා නැතැ යි කී කලට ‘එසේ වී නම් මුඹ වහන්සේ සේ ම ගුණ විශේෂයක් ලදුමෝ නම් වළඳන දෙයක් අපි ම සිඟා ගෙන ගොසින් වළඳම්හ. නැත නො වළඳම්හ’යි නොඉවසූ සේක. ඉන් රහත් නම පිරිනිවී සේක. අනගැමි නම බඹ ලොව උපන්දෑය. අනික් පස් දෙනා වහන්සේ ගුණ විශේෂයක් උපදවා ගත නො හී වියළී ගොසින් සත් වන දවස් මිය දෙව් ලොව ඉපැද මේ අපගේ බුදුන්ගේ සමයෙහි දෙව් ලොවින් චුත ව ඒ ඒ කුලවල උපන් සේක. ඉන් එක් නමෙක් පුක්කුසාති නම් රජ වූහ. එක් කෙනෙක් කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ ය. එක් නමෙක් දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ ය. එක් නමෙක් සභිය නම් පරිව්‍රාජකයාණන්දෑ ය. එක් නමෙක් දාරුචීරියයන්දෑ ය.
එකල යම් නමෙක් අනගැමිව බඹ ලොව උපන්දෑ නම් කලෙක බන්ධු වූ දේවතාවාණෝ ය’යි කීයේ උන්ට ය. ඒ බඹාණන්ට ත් සිතෙන්නේ මූ මා හා කැටිව හිණක් බැඳ ගෙන පර්‍වතයකට නැඟී මහණ ධම් කළහ. එ කල එසේ කොට ලා මෙකල නො රහත් ව ම රහතිමී කියා ගෙන එ ම තර කොට දෘෂ්ටිගතික වීමෙන්නට වූ නම් නපුර. උන්ගේ ඒ ලබ්ධිය හරවා ලිය මනා වේ දැ’යි දාරුචීරියයන් කරා අවුත් ‘බාහියයෙනි, තෙපි රහතු ත් නො වව. යම් පිළිවෙත කින් රහත් වතො ත් ඒ පිළිවෙත තොපට ත් නැත. මේ කුමන විය වුලෙක් ද ඇඟ ලා ගත්තේ ය’යි කිවු ය. බාහියයෝ ද අහස සිට කථා කරණ මහ බඹුන් දැක ‘නො රහත් ව ම රහත් වීමි යි මා සිතු නියාව නපුර. මුයි ත් මා නො රහත් නියාවක් ම කියති. ලෙව්හි රහතන් ඇති නැති නියාව මුන් අතින් විචාරමි. මා නො රහත් නියාව දත්තා සේ ම රහතන් ඇතොත් දනිතී’ සිතා ලා ‘කුමක් ද? දේවතාවාණෙනි, මේ ලොව රහත්තු ඇද්දැ’යි විචාළෝ ය. දේවතාවාණෝ රහතන් ඇති නියාව කියන්නෝ ‘හෙම්බා බාහියයෙනි, තොප මේ සිටි තැනට උතුරු දිග සැවැත් නම් නුවරෙක් ඇත. භාග්‍යවත් වූ බුදු රජුන් වහන්සේ එහි වසන සේක.
ඒ බුදුහු කෙලෙස් සතුරන් නැසූ හෙයින් හා පූජාසත්කාරාදියට නිසි හෙයින් හා අසාධූන්ට දුරු හෙයින් යනා දී නොයෙක් අර්ථයෙන් රහත් නම් වන සේක. වදාරන බණත් ප්‍රතිවෙධ කරන්නවුන් තමන් තමන්ගේ බල පමණකින් ප්‍රතිවේධ ය කරත ත් ප්‍රතිවේධය කරවන හෙයින් සම්‍යක් සම්බුද්ධ වනසේක’ යනාදීන් මුව නො පොහොනා පරිද්දෙන් බුදු ගුණ හඟවා කථා කීහ. බාහියයෝ රෑ දවස් බ්‍රහ්මයාණන්ගේ කථාව අසා බලවත් ව භය ඇති ව ඒ ඇසිල්ලෙහි ම ඒ පටු ගමින් නික්ම දෙ රැයක් එක් තැනෙක නො ලැග සාර සිය අසූ ගවුව ගියහ. බ්‍රහ්මයාණන්ගේ ආනුභාවයෙන් හෝ නොහොත් බුද්ධානුභාවයෙන් නික්මුණු දවස් හැර ලා අනික් දවස් දෙව්රම් වෙහෙරට ගියහ. බුදුහු ඒ වේලාවට සැවත් නුවරට සිඟා වැඩි සේක. බාහියයෝ බත් වළඳා ලා කායාලස්‍ය ය හරන නිසා අබ සක්මන්වල සක්මන් කරණ වහන්දෑ කරා ගොසින් බුදුහු කොයි දැ’යි විචාළහ. සිඟා වැඩි ගමනේ තව වැඩියේ නැතැ’යි කියා ලා ‘ තෙපි කොයි සිට අවුදැ’යි විචාළ සේක. සුප්පාරක නම් පටුන් ගම සිට ය යි කී කල්හි ‘කවරදා අවු දැ’යි විචාරා ඊයේ සවස අයිමි’යි කී කල්හි ‘ආයේ දුර සිට ය, වැද හිඳ පය සෝධා ගන තෙලු ත් පය ගහා ගෙන මඳක් සැත පී ගනුව, බුදුන් වැඩි කල දකුව’යි වදාළ සේක.
‘මම, ස්වාමීනි, බුදුන්ගේ වේවා’යි මාගේ වේව’යි ජීවිතයට වන උපද්‍රව නොදනිමි. එක රැයින් න්මකිසි තැනක ත් නොසිට-නොහිඳ සාර සිය අසූ ගවුව ගෙවා ආයිමි. බුදුන් දැකමුත් සැතපී නොහිඳිමී’ කිවු ය. එ සේ කියා ලා වඩනා තෙක් ඉවසා පියා නො හී වහ වහා නුවරට ගොසින් අනන්‍යසාධාරණ වූ බුද්ධශ්‍රීන් යුක්ත ව කප් ගිනි ගත් රුවන් මෙරක් මෙන් ද්වාත්‍රිංශත් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා අශීත්‍යනුව්‍යඤ්ජන බ්‍යාමප්‍රභා කේතුමාලාවෙන් හා ඔරජනා බුදුන් සිඟා වඩනා ගමනේ ම දැක ‘නැතක් කලෙකින් ගොතම බුදුන් දිටිමි’ ගොසින් ඇතුළු වීථියෙහි දී ම පසඟ පිහිටුවා වැඳගෙන පය වළලු කරදී අල්වා ගෙන ‘යම් බණෙක් මට බොහෝ දවසක් සිත සුව එළවා නම් එ සේ වූ බණක් වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු සිඟන වේලා හෙයින් ‘බණක් කියන්ට වේලෙක් ඇද් දැ’යි වදාළ සේක.
බාහියයෝ ද ඒ අසා ‘ස්වාමීනි, සසර හැසිරෙන කල බත් නො ලත් විරූ කල් බොහෝව. ඊට ත් වඩා කප් අසඞ්ඛ්‍යයක ත් බණක් ලබන්ට නැත. මුඹ වහන්සේගේ ජීවිතයට හානි බව ත් මාගේ ජීවිතයට හානි බව ත් නො දනිමි. බණ අසනු නිසා ත් මුඹ වහන්සේ දක්නා නිසාත් රැයකින් හා අද පෙර වරුවෙන් සාර සිය අසූ ගවුවක් අයිමි. ඒ ගමන් ලුහුඬු වූවා සේ ම සසර ගමනු ත් ලුහුඬු වන්ට බණ වදාළේ මැනවැ’යි දෙවෙනිව කිවු ය. දෙවෙනි වත් බුදුහු මැළිවූ සේක. එ සේ මැළි ව වදාරන්ට කාරණ කවරේද යත්-’මූ මා දුටු වේලේ පටන් මෝහට ප්‍රීති බලවත. බණ අසා ත් ප්‍රීති වේගයෙන් ප්‍රතිවෙධ ය කට නොහෙයි. ප්‍රීතියත් තුනී ව මාගේ මැළි වීම ත් නිසා උපේක්‍ෂා ව සිටිව යි, නැවත රැයකින් හා පෙරවරුවකින් හා සාර සිය අසූ ගවුවක් ආ හෙයින් මූට අද්ධාන පරිශ්‍රමය ත් ඇත. එයි න් සන් හිඳේව’ යි සිතා වදාරා දෙවිටක ම මැළි වලා තුන් වන විට ආරාධනා කළ කල්හි ‘එ සේ වී නම්, බාහියයෙනි, තොප විසින් දුටු දෙයෙහි දැකුම් පමණක් විය යුතු.ය.’ යනාදීන් බණ වදාළ සේක. ප්‍රීති වෙග ය ත් තුනී ව අද්ධාන පරිශ්‍රමයත් මඳ ව බණ අසා සව් කෙලෙසුන් නසා පිළිසිඹියා හා සමඟ රහත් වූ දෑ ය. රහත් ව ලා ගිහි ව සිට රහත් වූ කල පිරිනිවී ම හෝ මහණ වීම හෝ වුව මනා හෙයින් මහණ කරන්ට ආරාධනා කළ දෑ ය.
බුදුහු ‘තොප මහණ වන්ට පාසිවුරු ඇද්දැ’යි විචාරා නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් පා සිවුරු සපයව’යි වදාරා ලා වැඩි සේක. උන්දෑ ද වැළි ත් කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මහණ ධම් කරණ ගමනේ භික්ෂූන් විසින් නම් උපන් සතර පස ය අනික් කෙනකුන්ට නො දී තමා ම අනුභව කිරීම යහපතැ යි එක නමක ට ත් පාත්‍රයකින් වේව යි සිවුරකින් වේව යි සංග්‍රහයක් නො කළ දෑ ය. එහෙයින් බුදුහු ඍද්ධියෙන් පා සිවුරු සම්භ නොවන නියා ව දැන එහි භික්ෂුත්‍වයෙන් මහණ මාලු පැවිදි නො කොට සිවුරු සොයන කල වන උපද්‍රව ය දුට ත් අනිවාර්‍ය්‍ය කර්‍මය හෙයින් සිවුරු සොයන්ට වදාළ සේක. සිවුරු සොයා ඇවිදිනා ගමනේ වෛරීයකිනී දෙන් වෙසක් මවා ගෙන අවු ත් ඇන මරා පීව. බුදුහු සිඟා වළඳා ලා බොහෝ වහන්දෑ පිරිවරා වඩනා සේක් බාහිය තෙරුන් වහන්සේගේ සිරුර කසළ තැනක හුණුවා දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, තෙල ගෙයකින් ඇඳක් ඉල්වා ගෙන තෙල ශරීර ය හැඳ ලා ගෙන නුවරින් පිටත දවා පියා එ තැන උන්ගේ ධාතු ලා දා ගබක් කරව’යි වදාළ සේක.
වහන්දෑත් එලෙස කොටලා විහාරයට ගොසින් බුදුන් කරා එළඹ තමන් වහන්සේ බුදුන් වදාළ ලෙස ම ආදාහන කෘත්‍ය ය කළ නියා ව කියා ලා බාහියන් උපන්නේ කොයිදැ යි විචාළ සේක. බුදුහු ඔබ පිරිනිවි නියා ව වදාරා ලා ‘මාගේ ශාසනයෙහි වහා අවබෝධ කරන්නවුන්ට මූ අග්‍ර ය’ යි එතදග්‍රපාළියට දාරුචීරිය තෙරුන් වහන්සේ නැඟූ සේක.
වහන්දෑ එවිට වදාරන සේක් ‘ස්වාමීනි, මුඹ වහන්සේ බාහියයන් රහත් වූව’ යි වදාරන සේක. උන් රහත් වූයේ කවර කල දැ’ යි විචාරා ‘මාගේ බණ ඇසූ විට ය’යි වදාළ කල්හි, බණ වදාළේ කවර විට දැ’යි විචාළ සේක. ‘සිඟා යන ගමනේ ඇතුළු නුවර දී ය’යි වදාළ කල්හි, ‘ස්වාමීනි, මුඹ වහන්සේ අතුරු මඟ දී වදාරන බණ නම් මඳක් වුව. එ පමණෙකින් රහත් වූයේ කෙසේ දැ’යි විචාළ සේක. මහණෙනි, මාගේ බණ මඳයැ යි කියාත් බොහෝ යැයි කියා ත් කුමක් නිසා පමණ කරා ද? මේ ලොවින් පරලොවින් ප්‍රයෝජන නැති පුරවර්ණනාදී වූ අර්ථාවහ නො වන දෙයින් යුක්ත වූ දහස් ගණන් කථාවෙනු ත් ප්‍රයෝජන නැත. එක කථාවක් වුවත් ඇසූවන්ට නිවන් සාධා දීලා නම් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් උගන්නා අවස්ථාවෙහි ත් රාම-සීතාහරණාදි විතණ්ඩ ශාස්ත්‍ර නූගෙන තෙවලා බුදු වදන් ම උගෙන අනුන්ට කියත ත් සප්‍රයෝජන කථා ම කියා ත් තමා ත් යහපත් ව වැස අනුනුත් යහපත් කොට වස්වා මෙ ලෝ පර ලෝ වැඩ සාධනු මැනවි.
__________