මෙ සේ වස්තු දශයකින් රහතන්ගේ රහත් ගුණ සැකෙවින් කියා ලා ඉක් බිති පව හැසිර ත් කිසි කලෙක සත් පුරුෂ සමවා යෙන් යම් තම් පිනෙකැ හැසුරුණොත් ගොඩ යන පරිදි දක්වන්ට තඹ දැලි නම් වූ සොරා ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත්-
එකුන් පන් සියක් විතර සොරු මිනිස් ලොව අනික් ජීවත් විය හැකි නිරවද්‍ය කට යුත්තක් ම නැත්තා සේ ගම් පැහැරීම් ආදි වූ සොර කමින් ජීවත් වෙති. ඉක් බිත්තෙන් බඳ බැම ඇති, පිඟු වන් ඇස් ඇති, තඹවන් දැළි රැවුළු ඇති, ජූජකයන් මෙන් තව ත් තව ත් අව ලක්‍ෂණ තරම් ඇති එකෙක් සොරුන් ළඟට ගොසින් ‘මම ත් මුඹ හැම හා කැටි ව රඳා ජීවත් වෙමි’ කීය. ඔහු සොර දෙටුවාට පෑ ලා ‘මේ ත් අප හැම ලඟ රඳමී යි කිය’යි කිවු ය. සොර දෙටුවා ඔහු බලා පියා සාමුද්‍රිකා ලක්‍ෂණ ලෙසින් ම වුව මනා ලකුණු නැති නියා ව දැක සැටියෙන් ම අව ලක්‍ෂණ හෙයින් ‘මේ තමාගේ මවගේ තන ය කපා පියත ත්, පොවා ලු කිරෙහි රසක් නො දනී. පියාගේ බොටුව කපා පියා ලේ බොත ත් මූට මුසුප්පු නැත. ඉතා තද එකෙකැ’යි සිතා ලා ‘මූ අප ලඟ රඳන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. ඒ එ සේ කීවත් නො ගොසින් ජීවත් වන ජීවිකාව මුත් පර ලොව නො සලකා සොර කම් ම නිසා සොර දෙටු වා හසර එකකු සම්මැට ව ඌ ලඟ රැඳිණ. රඳා තමා සිත් ගත් හෙයින් ඔහු කැඳවා ගෙන සොර දෙටුවා කරා ගොසින් ‘ස්වාමීනි’ නුඹ වහන්සේ’ තරම් නො දත් පමණක් මුත් ඉතා යහපත්හ. මුන් රඳන්නට ම වුව මැනැවැ’යි කියා සොර දෙටුවා ත් ගිවිස්වා ගෙන රැඳවී ය.
එක් දවසක් නුවර වැස්සෝ සොරුන්ගෙන් ගහට බලවත් හෙයින් රජ්ජුරුවන්ට ත් කියා ලා පිරිසකු ත් හැරගෙන සොරුන් පන්සිය ය ම හඹා අල්වා ගෙන යුක්ති දන්නවුන් කරා ගෙන ගියහ. අධිකරණ නායකයෝ උන් පොරෝ බා ලා හිස් කපන්ට නියෝග කළහ. මුන් හැම මරණෝ කවුරු දැ යි සොයා ත් එබඳු දුෂ්ට අදහස් ඇති කෙනකුන් නො දැක සොර දෙටුවාට ‘තොපි මුන් හැම දෙන ම මරා පියා තොපි ත් රැකෙව, සත්කාර ත් ලබව’යි කිවු ය. එ තෙක් කල් මුළුල්ලෙහි තමන් නිසා විසූ හෙයින් ජීවිතයක් හා සංග්‍රහයක් නිසා කළ මනා දෙයක් නො වෙයි සිතා මරන්ට මැළි වි ය. මෙ ම ලෙසින් තම්බදාඨිකයා හැර සෙස්සන් විචාරා උන් හැමත් මැළි හෙයින් හැමයට පසු ව තඹදැළියා විචාළහ.
ඒ යහපතැ යි ගිවිස උන් හැම දෙන මරා ජීවිතයත් ලද, සත්කාර සම්මානත් ලද, මෙ ම ලෙසින් දකුණු දිගින් ගෙනා සොරුන් පන්සියයකු ත්, බටහිර දිගින් ගෙනා සොරුන් පන්සියයකුත් උතුරු දිගින් ගෙනා සොරුන් පන්සියයකුත් නැගෙන හිරි දිගින් ගෙනා සොරුන් පන්සියයකුත් සොර දෙටුවන් පටන් වෙන වෙන විචාරා මරන්නවුන් නැති හෙයින් මේ තෙමේ විධාන ලැබ දෙ දහසක් විතර සොරුන් මරා එ තැන් පටන් දවස් පතා එකකු දෙන්නකු ඔබාදීන් ගෙනා සොරුනු ත් මරමීන් හවුරුදු පස් පනසක් සොරුන් මැරීම ම කෙළේ ය.
ඒ තෙමේ මාලු අවස්ථාවේ දී එක පහරින් හිස් ගසා පිය නො හෙයි. දෙ තුන් පහර ගසා මිනිසුන්ට දුක් බොහෝ කෙරෙයි. එ නුවර ඇත්තෝ සිතන්නෝ මූ මිනිසුන් මරණ ගමනේ මිනිසුන්ට දුක් මහත. මූ හැර පියන්නා අනිකෙක් පෙනී යෙ යි සිතා ඌගේ ඒ තනතුරු හැර ගත්හ.
ඒ පෙර සොරුන් මරණ කල හා පිළී හදින්ට වේව යි, ගිතෙල් හා සමග කිරි උළු කැන් බොන්නට වේව යි, දෑ සමන් මල් පළඳින්ට වේව යි, සුවඳ විලවුන් ගන්නට වේව යි, නො ලැබෙයි. ඒ හැම ඌට නැත. තනතුරෙන් පිරිහුණු දවස් කිරි උළු කැන් පිස ව යි කියා ලා පිළී ත්, දෑ සමන් මලුත්, සුවඳ විලවුනු ත්, ගෙන්වා ගෙන ගඟට ගොසින් නහා පියා, පිළී හැඳ, සමන් මල් පැළඳ, සුවඳ ඇඟ ගා ගෙට අවුත් හුන. ඉක් බිත්තෙන් අලුත් ගිතෙල් මුසු කොට ඉදි කළ කිරි උළු කැඳක් ගෙනවුත් තබා ලා අතට පැන් ගෙනාවු ය. එ වේලාට සැරියුත් මහ තෙරුන් වහන්සේ සමාපත්තීන් නැඟී ‘අද කො තනට යෙම් දෝ හෝ”යි තමන් වහන්සේ සිඟා වඩනට නිසි තැන් බලන සේක් ඔහුගේ ගෙයි කිරි උළු කැන් දැක ‘මට සංග්‍රහයක් කෙරෙත් දෝ හෝ යි බලන සේක් ‘බොහෝ නිකම් සොරුන් මරා සිටියා වූ තඹදැළියා බොහෝ කෙලෙස් සොරුන් මරා සිටියා වූ මා දැක සංග්‍රහ කෙරෙයි, කොට ත් මහ සැප ත් ලැබෙයි, දැන වදාරා සිවුරු ගැටවටු ගන්වා ගෙන පාත්‍ර ය පටවා ගෙන උන්ගේ ගෙදර සිඟා සිටි සේක.
උයිත් මහ තෙරුන් වහන්සේ දැක පහන් සිත් ඇති ව බොහෝ කලක් සොරුන් මැරීමෙන් බොහෝ පව් පිරිණ. ආයුත් ගෙවී ගොසින් මියන්ටත් ආසන්න වී කෙළවර අවස්ථාවෙහි වුව ත් පිනෙක් පිරිණි නම් යහපත. දැන් මේ ගෙයි කිරි උළු කැඳකු ත් ඇත. මහතෙරුන් වහන්සේ ත් සිඟා සිටි සේක. කළ පාපය ගෙවාපියන්ට වැඩියාක් වැන්න. ‘දනක් දෙමි’යි සිතා ලා බොන්නට තබාලූ හුළු කැන් ඉවත් කොට තබා ලා ගොසින් වැඳ ලා පවරා ගෙන ගොස් වඩා හිඳුවා ලා පාත්‍රයට උළු කැන් පිළිගන්වා ලා අලුත් හෙළ ගිතෙලු ත් වත් කොට ලා වළඳන්නට වැඩහුන් මහ තෙරුන් වහන්සේගේ ඇඟට පතක් සල සලා සිටියෝ ය. පස් පනස් හවුරුද්දක් ම කිරි උළු කැඳ ත් බොන්නට නුවූ හෙයින් කැඳ බී පියන්ට අදහසත් බලවත. මහ තෙරුන් වහන්සේ ඒ බව දැන ලා ‘උපාසකයෙනි, බොන්නට තබා ලූ උළු කැන් බොව’ යි වදාළ සේක.
ඌ පත සලන්ට අනික් කෙනකුන් අතට දී ලා උළුකැන් බොන්නට හුනහ. මහ තෙරුන් වහන්සේ පත් සලා සන්හිඳුවා ලිය නො හැකි කෙලෙස් ගිම් තමන් වහන්සේට සන්සුන් හෙයින් සෙසු ගිම් නිසා සලන පවන් පත අපට නොකැමැත්තේ ය. තෙල උපාසකයන්ට ම සලව’යි වදාළ සේක. උයි ත් ඇඟට පත් සලව සලවා බඩ පුරා ම කැඳ බීලා අවුත් මහ තෙරුන් වහන්සේට පත් සල සලා සිට වළඳා නිමි කලට බණට ආරාධනා කළහ. මහ තෙරුන් වහන්සේ ත් කිරි උළු කැඳ වළඳා ලා දහම් රස ය දෙවන පිණිස බණ වදාරන්ට පටන් ගත් සේක. උපාසකයෝ තමන්ගේ සිත බණට යොමු කොට නො හෙති. මහ තෙරුන් වහන්සේ දැන ලා, ‘උපාසකයෙනි, බණට සිත යොමු කොට නො හෙවුනැ’ යි වදාළ සේක. තමන් බොහෝ කලක් ප්‍රාණවධ කළ හෙයින් සිත එකඟ වී බණට සිත යොමු කොට නො හැකි නියා ව කිවුය.
මහ තෙරුන්වහන්සේ මුන්ගේ ඒ අදහස පෙරළවා පියම්හ’යි සිතා වදාරා ‘කුමක් ද? ඒ පව් තොපි ම සිතා ගෙන කළා ද, අනික් කෙනකුන්ගේ විධානයෙන් කළා දැයි විචාරා රජ්ජුරුවන්ගේ විධානයෙනැයි කී කල්හි අනුන්ගේ විධානයෙන් කළ කල තොපට කුමන පව් දැ’යි වදාළ සේක. මිනී මරණ සේ දත් පමණක් මුත් කුසල් අකුසල් නොදන්නා වූ මුග්ධ ධාතුක ගැහැවි, මහ තෙරුන් වහන්සේ එ සේ වදාරන්නා ම තමාට පව් නැතැ යි සිතා ගෙන ‘ස්වාමීනි, එ සේ වී නම් බණ වදාළ මැනැවැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ බණ වදාරත් වදාරත් එකඟ ව බණ අසා විදර්ශනාවට එක්ව සිටිනා සෝවාන් මඟට ආසන්න ව සිටිනා අනුලොම ඥාන ය උපදවා ගත්හ. සෝවාන් නු වූ පමණක් මුත් ආසන්න වූහ. මහ තෙරුන් වහන්සේ ද අනුමෙවෙනි බණ වදාරා ලා වැඩ පී සේක. උපාසකයනුත් මහ තෙරුන් වහන්සේට පසු ගමන් කොට ලා රැඳුනවුන් පුක්කුසාතිය-දාරුචීරිය-සුප්පබුද්ධ කුෂ්ටිය යන තුන් පක්‍ෂය මැරූ යකිනි ම දෙන් වෙස් මවා ගෙන අවු ත් මරා පීව. උයි ත් මිය ගොසින් තුසී පුරයෙහි උපන්හ.
ධම් සෙබෙහි ත් කථාවක් උපදනේ ‘තඹදැළි නම් සොර මරුවා පස් පනස් හවුරුද්දක් සොරුන් මැරීමෙන් අදම මිඳී අදම මහ තෙරුන් වහන්සේට දනුත් දී අද ම මෙළේ ය. උන් උපන්නේ කොහේ දෝ හෝ’යි කථාව ඉපද වූ සේක. බුදුහු ඒ අසා වදාරා ලා මහණෙනි, තුසී පුරයෙහි උපනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් වදාරන නියා ද? මෙ තෙක් කල් මුළුල්ලෙහි මෙ තෙක් මිනී මරා පියා ත් තුසී පුරයෙහි උපන්ද? වදාළ හෙයින් මුත් හදහා ගත හැකි දැ’යි කී සේක. ‘එ සේය, මහණෙනි, කෙළවර අවස්ථාවෙහි වුවත් මියන්ට තුබූ ගොයමට වට වැස්සක් මෙන් බලව ත් කල්‍යාණමිත්‍ර කෙනකුන් ලද, සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ බණ අසා අනුලොම් නුවණ උපදවා ගෙන අනුලොම් නුවණ ත් තමා කාමාවචර හෙයින් කාමාවචරයන්ටත් ලෝකොත්තරයන් ආසන්න බැවින් උන්ටත් අනුලොම් ව ඊදී මාර්‍ග උපදවතත් ආයාස නැති හෙයින් තුසී පුරයෙහි උපනැ’යි වදාළ සේක.
‛ස්වාමීනි, අනුමෙවෙනි බණ නම් පමණ දෙයක් වුව. උන් කළ පව් මහත් වුව. එ පමණෙකින් ගුණ විශේෂය උපදවා ගත්තේ කෙසේ දැ’යි සේක. ‘මහණෙනි, මා දෙසූ බණ මඳෙක, බොහෝවෙකැ’යි කුමක් නිසා පමණ කරා ද? මහණෙනි, යම් බසෙක් නිවන් ප්‍රකාශ නො කොට ආකාශ වර්ණනා ය, පර්‍වත වර්‍ණනා ය, වන වර්‍ණනා ය යනාදී නිෂ්ප්‍රයෝජන දෙයින් යුක්ත වී නම් එ සේ වූ දහස් ගණන් බසිනු ත් ප්‍රයෝජන නැත. යම් වචනයක් අසා සත්වයෝ අවබෝධ ය කොට ගනිත් නම්, නිවන් සාධා ගනි ත් නම් චතුස්සත්‍යය යොදා කියන්නා වූ එක බසෙකු ත් වේ නම් එම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සත් පුරුෂයන් විසින් කාව්‍ය නාටකාදි නිෂ්ප්‍රයෝජන කථා හැර නිවනට පමුණුවා ලිය හෙන්නා වූ බණ කථා ම ගොදුරු කොට වසන්ට උත්සාහ කටයුතු.