එක් භික්ෂු කෙනකුන් වහන්සේ බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙන ගස් කොළ මාලු වූ එක් උයනකට වැද ලා මහණ ධම් කරණ සේක. ඒ නුවර එක් වෙශ්‍යා දුවක් එක් පුරුෂයකුට ‘මම අසවල් තැනට එමි. තොප එ තැනට එව’යි සලකුණක් කියා ලා ගියහ. පුරුෂයා නායේ ය. ඈ රැක සිට පියා ඔහු නො දැක ලජ්ජාව ඈත මෑත ඇවිදිනී උයනට ගොසින් භික්ෂූන් වහන්සේ වැඩහුන්නා දැක ඈත මෑත බලා පියා ඔබ විනා අනික් කෙනකුන් නො දැක ‘මේ ත් පිරිමියෙක් ම ය. මොහු වසඟ කෙරෙමි’ ඔබ ඉදිරියෙහි සිට ගෙන හැඳ ගත් හිණ කඩ ලීල් නො වත ත් පෙරළ පෙරළා ත් හඳී. ඉස කේ ත් උනා පියා බඳී. මහත් කොට සිනාවකුත් සෙයි. භාවිත සිත් ඇති භික්ෂූන් වහන්සේ හෙයින් ඈ කරණ විකට බලා මුසුප්පු වූ සේක. ප්‍රේතියකගේ විකාරයක් කොට මුත් අනිකක් කොට නො සිතූ සේක.
බුදුහු ත් ‘මාගෙන් කමටහන් ගෙන ගිය භික්ෂුහුගේ පවත් කිම් දෝ හෝ’ යි බලන සේක් සොරකමට ගිය සොරකමින් අරුන් වහන්සේ ගේ ගුණ රුවන් හැර ගත හැකි දෝ හෝ යි සිටි තැනත්තිය දැක ඈ කළ දෑ ත් භික්ෂුන් වහන්සේ සිතූ දෑ ත් දැන වදාරා ගඳකිළියේ වැඩ හිඳ ම උන් වහන්සේ කරා රස් කඳක් විහිදුවා ලා ළඟ වැඩ හුන්නාසේ ම ‘මහණ, යක්ලෙශීන් නො ඇලෙන තැන නික්ලේශීහු ඇලෙතී’ වදාරා ඔසවා ගන්ට මඳක් බර දෙයකට වත්තම් වන කලක් මෙන් කඳ බර බා තබා ගුණ බර නගන පිණිස බණ වදාරණ සේක් ‘පියුම් විලෙක ගම්වල මැස්සන් නො ඇලෙන්නා සේ යම් වලෙක සක්ලෙශී වූ සත්තු නො ඇලෙත් නමුත් ඒ වල තෙමේ සුපිපි මල් රුක්වලින් හෙබි හෙයින් හා විල් තටාක ආදියෙන් යුක්ත හෙයින් නික්ලෙශීන්ට සිතකලු ම ය. එ බඳු වල පියුම් විල්හි ඇලෙන බඹරුන් මෙන් නික්ලෙශීහු තමන් තමන්ගේ භාවනාභියෝගයට නිසි හෙයින් ඇලෙති. කුමක් නිසා ඇලෙද් ද යත හොත්-තමන් පස් කම් ගුණෙහි නො ඇලෙන හෙයිනැ’යි වදාළ සේක.
දේශනා කෙළවර ඒ භික්ෂූන් වහන්සේ පිළිසිඹියා පත් රහත් ව අහසින් වැඩ ස්තුති කෙරෙමින් බුදුන් වැඳ ගෙන වැඩි සේක.
එහෙයින් නුවණැත්තවුන් විසින් වීතරාගීන් වල්හි ඇලුම් කරන්නා සේ පින් කම ඇලුම් කොට අකුසල් ගෙවා නිවන් සාක්‍ෂාත් කට යුතු.
________