92. ඛදිර වනිය රේවත තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

ආයු බොහෝ වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ බමුණු මහසල් කුලයෙහි උපන් හෙයින් මහත් වූ භොගරාශි ය හැර මහණ වන ගමනේ සතාසූ කෙළක් පමණ වස්තුව හැර මහණව චාලා ය- උපචාලා ය- සීසපචාලා ය යන නඟුන් තුන් දෙණකු මෙහෙණි සස්නෙහි මහණ කරවා ලා චන්‍ද ය - උපසේන ය යන මලුන් දෙන් නකු ත් මහණ කොට ගත් සේක. රෙවත කුමාරයෝ ය යන එක ම මලණු කෙනෙක් රඳා ගියහ. සැරියුත් මහතෙරුන් වහන්සේගේ ළ මන්දු සිතන්නෝ ම පුතණුවන් වහන්සේ මෙ තෙක් වස්තු හැර ගොසින් තමන් වහන්සේ ත් මහණ ව ගෙන ලද නිවන් රස දෙන පිණිස දෝ නඟුන් තුන් දෙනා ත් මලුන් දෙන්නා ත් මහණ කරවා ගත් සේක්, අපට රැඳුණෝ එක රේවත කුමාරයෝ ය. ඉදින් සිතා පියා උනු ත් මහණ කළ සේක්වී නම්.මේ අපගේ වස්තු නස්සී. කුල පරම්පරාව ත් සිඳී යෙයි. උන් තව බාල වුව ත් සරණකු ත් ගෙන්වා ගෙන පාවා දීලා ගිහි සම්පත තර කරවම්හ’යි සිතූ ය.

මහ තෙරුන් වහන්සේද පෙරාතු කොට ම වහන්දෑට සම්මත කරණ සේක් ‘ඉදින් රෙවත කුමාරයෝ මහණ වන්ට අවු නම් මා බද්ධ වුව ත් නුවූවත් ආ කලම කල් නොයවා මහණ කරණ බව ය. අපගේ දෙ මවු පියෝ නම් මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. උන් අනු නො දත්තෙන් කිම් ද ? වැඩි මාලු මා සිටි හෙයින් උන්ට දෙ මවු පියෝ නම් මම් ම ය’යි කියා තබා ලූ සේක.

ඔබගේ ළ මන්දුදෑ ද රෙවත කුමාරයන් සත් ඇවිරිදි කල ම ගිහි කම් කටුලේ යොදවනු කැමැති ව ජාති සරි තැනකින් සරණක් විචාරා දවස් නියම ත් කරවා කුමාරයන් සරහා ලා මහ පෙරහරින් කුමාරිකාවන්ගේ ගෙට ගියහ. ගොසින් විවා මඟුල් කොට සරණ පාවා දෙවා ලා දෙ පක්‍ෂයේ නෑයන් රැස් වූ කල්හි රන් තළියකට අත බාලා ‘මේ රන් තළියේ පැන් යම් සේ නො බිඳී තිබේද, එමෙන් තොප දෙ පක්‍ෂය ත් නො බිඳී වසව’ යි කියා ලා කුමාරිකාවන්ට වැඩ කැමැති ව ‛තෙල තොපගේ මුත්තණියන් සුව සම්පත් ලෙස සුව සම්පතු ත් ලබා උන් සේ ම බොහෝ දවස් ජීවත්ව’ යි නෑයෝ කීහ. රෙවත කුමාරයෝ ‘මුන්ගේ මුත්තණිය වූයේ කවරේ දෝ හෝ”යි සිතා මුන්ගේ මුත්තණියන් කවුරු දැයි විචාරා ‘පුත, කුමක් ද? එක් සිය විසි ඇවිරිදි වූ දත් වැගිර ගියා වූ, හිස නියඳ කෝටුවක් සේ විළිස්සා ගියා වූ, ඇඟ සම් වැරැලි ගෙන තිබෙන්නා වූ තල කැළලින් ගැවසී ගත් සිරුරු ඇති ගොණැස් වකක් සේ වක ගසා ගෙන සිටිනා කෙනකුන් දුටු නම් ඌ තුලුන්ගේ මුත්තණියෝ ය’යි කීහ.

ඒ අසා රෙවත කුමාරයෝ ‘මේ කුමාරිකාවෝ ත්තෙල ලෙසම වෙද්දැ’යි විචාරා ‘අතුරෙක නො මළෝ නම් එ සේ ම වෙතී’ කී කල්හි කුමාරයෝ සිතන්නෝ ‘මෙසේවූ ශරීරයත් ජරාව ඇවිත් ලා වියවුල් කෙරේ වන. මුන්ට වන දෙය මට නො වන්ට කාරණ කිම්ද? මගේ බෑණ වූ උපතිස්සයන් වහන්සේ මේ දැක ලා වන ගියෝ ය. කල් යවන්ට බැරි ය. සරා ලූ මඟුලේ අද ම පලා ගොසින් ලා මහණ වෙමි’ සිතූහ. නෑයෝ ත් කුමාරිකාවන් හා දෙන්නා එක වාහනයකට නංවා ලා හැර ගෙන නික්මුණාහ. කුමාරයෝ මඳ තැනක් ගොසින් ලා ශරීර කෘත්‍යයකට යන නියා වක් කියා ලා වාහන ය රඳවා ගොස් ලා එමි’යි කියා ලා වාහනයෙන් බැස එක් කැලෑ හස්සකට වැද මඳක් කල් යවා ලා අවු ය. තව ත් මඳක් තැන් ගොස් ලා එ ලෙස ම කොළෝ ය. තව ත් එ ලෙස ම කොළෝ ය. මෙ සේ ශරීර කෘත්‍යයට ගමන් බොහෝ කලට නෑයෝ ‘ඔබට නුසු ව නියා (වේ)දැ’යි රකවල් තුනී කළහ. ඌ තුමූ තව ත් මඳ තැනක් ගොසින් ලා ආදී කළ ලෙස ම වංචා කොට ‘තෙපි වාහන ය හැර ගෙන ඉදිරියේ පලා යව. මම සෙමින් සිට එමි. වහා ගමන ආයාස ය’යි කියා ලා කැළෑ හස්සට ගියහ. නෑයෝ ත් සෙමින් සිට පලා එති යි සිතා වාහන ය හැරගෙන නික්මුණවු ය.

කුමාරයෝ ද කැළෑ හස්සට වන් ගමනේම පලා ගොසින් එක් තැනෙක තිස් දෙනකුන් වහන්සේ වසනසේක - ඒ වහන්දෑ ළඟට ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මා මහණ කළ මැනවැ’යි කිවු ය. වහන්දෑත් ‘තෙපි සැරහී ගෙන සිටුව. අපි තොප රාජ කුමාර කෙනකුන් බව ත් නො දනුම්හ. අමාත්‍ය පුත්‍ර කෙනකුන් බව ත් නො දනුම්හ. මහණ කරන්නේ කෙසේ දැ’යි කී සේක. ‘ස්වාමීනි මා නො හඳුනන සේක් දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘මම උපතිස්සයන් වහන්සේ ගේ බාල මලණු වෙමි’යි කීහ. ‘ඒ උපතිස්ස නම් කවුරුදැ’යි විචාළ කල්හි ‘එ සේය’ වහන්දෑ බෑණන් වහන්සේට ශාරි පුත්‍ර ය යි කියන සේක. එ හෙයින් උපතිස්ස ය යි කී කල නොදන්නා සේක් ය’යි කීහ. ‘කුමක් ද? තෙපි සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මළණුවෝ දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘එ සේ වී නම් මෙ සේ පලා එව. ආදි ම ඔබ අපට සම්මත කළ සේකැ’යි කියා ලා ආභරණ ගළවා එක තැනෙක තබ වා පියා කුමාරයන් මහණ කොට ලා මහ තෙරුන් වහන්සේට කියා යවු සේක.

ඔබ ඒ අසා බුදුන්ට දැන් වූ සේක. දන්වා යවන සේකුත් ස්වාමීනි, ආරණ්‍යක වහන්දෑ රේවත කුමාරයන් මහණ කළසේක් ල’යි දන්වා යවු සේක. දන්වා යවා ලා මහණ වූ මලණුවන් බලන්ට යනු කැමැති නියාව ත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ‘ශාරිපුත්‍රයෙනි, තව ඉවසව’යි වදාරා ගමන එවකට නවතා ලූ සේක. මහ තෙරුන් වහන්සේ දවස් ගණනක් ගිය කලට තව ත් බුදුන්ට දැන් වූ සේක. ශාරිපුත්‍රයෙනි, තව ඉවසව, අපි ත් එම්හ’යි ඒ ගමනත් පමා කළ සේක. රේවත හෙරණුන්දෑ ද, ඉදින් මම මී ම රඳා හුනිම් නම් නෑයෝ මාගේ පවත් දැන කැඳවා එවතී. ඒ වහන්දෑගෙන් රහත් වීම දක්වා කමටහන් ඉගෙන ගෙන පා සිවුරු හැර ගෙන සැරිසරන දෑ එ තැනට එක් සිය විසි ගවුවක් ව තිබෙන කිහිරි වනයට ගොස් වස් තුන්මස ඇතුළත ම පිළිසිඹියා සමග රහත් වූ දෑ ය. සැරියුත් මහ තෙරුන් වහන්සේ ත් වස් පවරා ඔබ වඩනා කැමැති නියා ව බුදුන්ට දැන් වූ සේක.

බුදුහු ‘අපි ත් එම්හ’යි වදාරා ලා පන්සියයක් දෙනා වහන්සේ හැර ගෙන නික්මුණ සේක. මඳ තැනක් වැඩි කලට අනඳ මහ තෙරුන් වහන්සේ දෙ මං සන්ධියක සිට බුදුන්ට වදාරන සේක් ‘ස්වාමීනි, රේවත තෙරණුවන් වසන තැනට යන මං වලින් මේ මඟ දුරු ව තිබෙයි. දෙසිය සතළිස් ගවුවෙක. මඟ දිගට ගම් ගහණ හෙයින් මිනිස්සු ත් ඇත. මේ මඟ ළඟ. එක්සිය විසි ගවුවෙක. ඒ මඟ යක්‍ෂාපද්‍රව ඇත. කවර මඟෙකින් යමෝ දැ යි චිචාළ සේක. ආනන්‍දයෙනි, සීවලී තෙරහු අප හා කැටි ව අවුදැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘ඉඳින් ඌ තුමූ අවු නම් ලං මඟ යම්හ’යි වදාළ සේක. බුදුහු වැළි ත් තොපට කැඳ බත් උපදවා දෙම්හ. ලං මඟ යව’ යි නො වදාරා සීවලී මහ තෙරුන් වහන්සේගේ කුශල විපාක දෙන්ට අවසර ලත් නියා ව දැන ඉදින් සීවලී තෙරහු එත් නම් ලං මඟ යම්හ’යි වදාළ සේක.

බුදුන් මඟට නික්මුණු කලට දෙවියෝ අපගේ ස්වාමිදරු වූ සීවලී මහ තෙරුන් වහන්සේට සත්කාර කරම්හ’යි සිතා සතර ගවු සතර ගවු විතරේ විහාර මවාලා සතර ගවුවෙන් වඩා ත් වැඩිය නො දී උදෑසන ම දිව කැඳ හා දිව අවුළු පත් හැරගෙන අපගේ සීවලී මහ තෙරුන් වහන්සේ කොයිදැ’යි විචාරා ඇවිදිති. තෙරුන් වහන්සේ තමන් වහන්සේට උපන් දෙය බුදු පාමොක් සඟනට දෙවන සේක. මෙ සේ බුදුහු සහ පිරිවරින් එක විසි ගවුවක් විතර මග සීවලී මහ තෙරුන් වහන්සේගේ කුශලානුභාවයෙන් උපන් දෙය ම වළඳමින් වඩනා සේක.

රේවත තෙරුන් වහන්සේ ද බුදුන් වඩනා නියා ව දැන බුදුන්ට ගඳකිළියක් හා කුළු ගෙවල් පන් සියයක් හා පන් සියයක් සක් මන් හා රෑ වසන තැන් ඡන්සියයක් හා දවල් වසන තැන් පන් සියයක් ද මවා ලූ සේක. බුදුහු උන්වහන්සේ ළඟ මසක් විතර රැඳුණු සේක. එහි රඳා ත් සීවලී මහ තෙරුන් වහන්සේගේ කුශලානුභාවයෙන් උපන් දෙය ම වළඳන සේක. කැටි ව ගිය වහන්දෑ ගෙන් යම් තෙනකදීත් කටයුතු නොදැන්මට බොහෝ සේ මුල්ව සිටිනා හෙයින් මාලු දෙ නමෙක් ‘බුදුන් කිහිරිවනයට වඩනා කල මේ මහණ මෙතෙක් නව කර්‍මාන්ත කරවන්නේ මහණ ධමක් කෙසේ කෙරේද? බුදුහු සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මලණුවෝ යයි මූණු බලා මුන් ළඟට ආ සේකැ’යි සිතූහ.

බුදුහු එ දවස් අළුයම ලොව බලන සේක් ඒ වහන්දෑ දැක ඒ වහන්දෑ සිතූ සිත ත් දැන ගෙන එහි මසක් විතර රඳා ලා වඩනා දවස් යම් සේ මාලු දෙ නමගේ තෙල් ගුළා ත්, ඩබරා ත්, වානුත් සඳහන් ඒ දෙ නමට නොවේ නම් එ ලෙසට ඉටා ලා වැඩ පී සේක. වැඩ ලා විහාර සීමා ගෙවා පී කලට රේවත තෙරුන් වහන්සේ ද ඍද්ධිය හළ සේක. ඉක්බිත්තෙන් මහලු වහන්දෑ ත් අපි මේ මේ දෙය සලකුණු නුහුම්හ’යි පෙරළා ගොසින් බුදුන් වැඩ පියන්නා ම අර ඒ හැම නැති වූ හෙයින් එ තැන සලකා ගත නො හී කිහිරි කටු පය ඇන ගෙන ගුළා මුළාවේ ඇවිද එක් කිහිරි ගසක එල්වා තුබූ තෙල් ගුළා ඩබරා ආදි ය දැක හැර ගෙන නික්මුණු සේක.

බුදුහු ත් වහන්දෑ පිරිවරා නැවත මසක් විතරින් සීවලී මහ තෙරුන් වහන්සේ ගේ කුශලානුභාවයෙන් උපන් දෙය වළඳමින් පූර්වාරාමයට වැඩි සේක. ඉක්බිත්තෙන් ඒ මාලු දෙනම ද උදාසන දැවැටි වළඳා ලා ආගන්තුක බත් දෙන විශාඛාවන්ගේ ගෙට කැඳ වළඳනු නිසා ගොසින් කැඳ අවුළු පත් වළඳා ලා හුන් සේක. විශාඛාවෝ ද ‘ ස්වාමීනි, මුඹ වහන්සේ ලා දෙ නම බුදුන් හා කැටිව රේවත ස්වාමීන් වසන තැනට වැඩි සේක්දැ’ යි විචාරා එ සේ ය යි කී කල්හි ‘ස්වාමීනි, උන්වහන්සේ වසන තැන් ඵාසු දැ’යි විචාළහ. සෘද්ධ්‍යානුභාවයෙන් එ ලෙසක් ව ලා ඍද්ධිය හැරලූ කලට පෙර සැටිය වූ නියාව සලකා ගත නො හී වයසින් මූකුරා ගිය බව මුත් නුවණ ලා හෙයින් ‘එ තැන ඵාසුවක් කොයි ද? සුදු කටු ඇති කිහිරි ගසින් ම සැදී සිටි යක්‍ෂයන් වසන තැනක් වැන්නැ’යි වදාළ සේක. ඒ දෙ නම ගිය කලට බාල දෙ නමක් ඒ ගෙට වළඳන්ට ගිය සේක.

උපාසිකාවෝ දඒ දෙනමට ත් කැඳ අවුළු පත් පිළිගන්වා ලා රේවත තෙරුන් වහන්සේ වසන තැන පවත් විචාරා ඒ දෙ නම එ තැන සැටි කියා ලන්ට නොපිළිවන සුධම් දෙව් සභාවට ත් වැඩි යන තරම් සෘද්ධීන් මවා ලූ දෙයක් වැන්නැ’යි කී සේක. උපාසිකාවෝ සැදෑ මතු නො ව නුවණ ත් බලවත් හෙයින් සිතන්නෝ ‘ආදි වහන්දෑ එක් ලෙසක කී සේක. මේ වහන්දෑ මෙ ලෙස කී සේක. පළමු ආ වහන්දෑ කිසිවක් සලකුණු නැති ව තබා පියා ඍද්ධිය හළ කලට ගොසින් ආ නියා ය. මේ වහන්දෑ ඍද්ධි ය නො හරනා තෙක් ආ නියා ය’යි සිතා ගෙන බුදුන් වැඩි කලට විචාරමි’ සිතූ ය. නො බෝ ඇසිල්ලෙකින්ම බුදුහු ත් මහණ ගණා පිරිවරා විශාඛාවන්ගේ ගෙට සිඟා වැඩ පනවන ලද බුදු හස්නෙහි වැඩ හුන් සේක.

විශාඛාවෝ ද බුදුපාමොක් වහන්දෑ වළඳවා ලා වළඳා අන්තයෙහි බුදුන් අතින් විචාරන්නෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලා කැටිව ගිය වහන්දෑ ගෙන් සමහර වහන්දෑ රේවත තෙරුන් වහන්සේ වසන තැන කිහිරි ගසින් ගැවසී ගත් මහ වලෙකැ’යි කී සේක. සමහර තැන් ඉතා සිත්කලු ය යි කී සේක. ඒ කිම් දැ’යි කිවු ය. බුදුහු ‘විශාඛාවෙනි, ගම වුව ත් වල වුව ත් යම් තැනෙක රහත්හු වෙසෙත් නම් උන්ගේ අදහස රමණීය ගුණෙන් සිත් කලු වන්නා සේ එ තැන ත් සිත්කලු ය’යි වදාරා බණ වදාරණ සේක් ‘කිසි සේ ත් රහත්හු ග්‍රාමාන්තයෙහි දී කාය විවේක ය නොලබ ත් නමුත් චිත්ත විවේක ය ලබති. දෙවියන්ගේ රූ වැනි රූ වුව ත් උන්ගේ සිත සොලවා ලිය නො හෙයි. එ හෙයින් කුමක් වුව ත් වල වුව ත් ගම වුව ත් වළෙක වුව ත් ගොඩක වුව ත් යම් තැනෙක රහත්හු විසූ නම් ඒ බිම් පියස කටු වේ ව යි කුමක් වේවයි සිත් කලු ය යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

අනික් දවසක දී වහන්දෑ කථාවක් කරණ සේක් ‘ඇවැත්නි, සීවලී මහ තෙරුන් වහන්සේ කවර කාරණයකින් සත් අවුරුදු සත් මස් සත් දවසක් මවු කුස විසූ සේ ක් ද? කවර කාරණයකින් නරකයෙහි පැසුණු සේක් ද? ලාභී වූයේ කවර කාරණයකින් දැ’යි කියා කථාවක් ඉපැද වූ සේක. බුදුහු ඒ අසා ‘කුමක් කියවු දැ’යි විචාරා කරමින් හුන් කථාව දැන් වූ කල්හි ආදි කොට ලාභි වීමට නිසි ව කළ පින් කම වදාරන සේක් ‘මහණෙනි, මා බුදු වූ මෙ කපට එකානු වන කප විපස්සී නම් බුදුහු ලොව ඉපැද එක් සමයෙක දනවූ සැරිසරා බොහෝ වූ සත්‍වොපකාර කොට පිය රජ්ජුරුවන් හිඳිනා නුවරට පෙරළා අවු ය. රජ්ජුරුවෝ ද බුදු පාමොක් සඟනට අමුතු දනක් සරහා ලා අපගේ දනට මුසු වුව මැනැවැ’යි නුවර වැස්සන්ට කියා යවුහ. උයි ත් විධාන ලෙසින් මුසු ව ලා ‘එක රජ්ජුරු කෙනකුන් තනි ව ම මෙ සේ දුන් කළ අපි හැම දෙන ම එක් ව මෙයිට වඩා දෙම්හ’යි බුදුන් පවරා ගෙන දෙ වන දවසට දන් සරහා ලා දන් බලන්ට එන්ට රජ්ජුරුවන්ට කියා යවු ය.

රජ්ජුරුවෝ ත් අවුත් උන් හැමගේ දන් බලා එ සේ වූ දෙයෙහි උපදනා දනට අභිමාන ය නම් සෙවිතව්‍ය මානයක් හෙයින් ‘මුන් ඇමගේ දනට වඩා මම දන් දෙමි’යි තුන් වන දවසට ආරාධනා කොට දන් දී ත් රජ්ජුරුවෝ නුවර ඇත්තවුනු ත් නුවර ඇත්තෝ රජ්ජුරුවනු ත් පරදවා ගත නොහෙති. නුවර ඇත්තෝ ස වැනි දවස් ‘සෙට දවස් අප දෙන දන මේ මේ දෙය නැතැ’යි කියා ලන්ට බැරි වී නම් එ ලෙසට දනක් දෙම්හ’යි සිතා ගෙන සත් වන දවසට දන් සරහා ලා මේ දනෙහි නැත්තේ කුමක් දෝ හෝ යි බලන්නෝ කකාළ මී බොහෝ ව ඇත ත් අලුත සලා ගෙනා නො කකාළ මීයක් නැති නියාව දුටුවු ය. ඔහු හැම දෙන අලුත් මී නිසා නුවර සතර වාසල සාර දහසක් රන් හැර ගෙන සිටියහ.

ඉක් බිත්තෙන් එක් දනවු වැසි මිනිසෙක් ගම් මුදලින් දක්නට එන්නේ අතුරු මඟ මීයක් දැක මී මැස්සන් එළවා පියා දඬුවෙල් බෑ මීයක් හෙයින් අත්ත පිටින් ම කඩා ගෙන ‘ගම් මුදළින්ට දෙමි’ කියා ලා ගම්මුදළිනු ත් නුවර හෙයින් නුවර ඇතුළට වද්දි. මී පිණිස වාසල කෙරෙහි සිටියාහු ඔහු දැක ‘පින්වත, වීකුණන මීයෙක් දැ’යි විචාරා ‘විකුණන මීයෙක් නො වෙ’යි කී කල්හි ‘හිඳ පින්වත, මේ මස්ස හැර ගෙන දෙව’යි කිවු ය. අරේ, සිතන්නේ මේ දඬුවෙල් බෑ සතළිස් වියටකු ත් නො වට්ටි. මූ වියට ගණනින් වී නම් එක් සිය සැට වියටක් විතර දෙම්හ’යි කියති. මුන්ගේ රන් බොහෝ නියා වේද? මම ත් අග ය වඩමි’යි සිතා ලා ‘මස්සකට නොදෙමි’යි කී ය. ‘එසේ වී නම් දෙ මස්සකට දෙව’යි කියා ‘එ සේ ත් නො දෙමි’ කී හෙයින් රන් අග ය වඩ වඩා කියාගෙන ගොසින් මේ දහස හැර ගෙන දෙව’යි කියා ලා දහසින් බඳ පියල්ල ම දික් කළහ. දඬුවෙල් බෑය ඇති තැනැත්තෝ ‘තොපට නුසුවයෙක් ඇති නියා ද? නොහොත් රන් තොපගේ බොහෝ හෙයින් ලන ඕනා[1] තැන් නැති නියා ද? සතළිස් වියටකු ත් නො වටනා මීයට ‘මසු දහසක් දෙමී’ කියව. මේ කිම්දැ’යි විචාළහ.

‘අපිත් එ විතරෙකින් වඩා නො වටනා නියාව දනුම්හ. තෙලේ එ විතරෙකින් වඩා නො වටිත ත් තිලින් අප සිද්ධ කොට ගන්නා ප්‍රයෝජනයෙක අග ය නැත. විපස්සී බුදුන් ප්‍රධාන ව අටසැට ලක්‍ෂයක්[2] රහතන්ට දනක් සරහා ලූම්හ. ඒ දනෙහි අලුත් මී පමණක් විනා සෙස්ස මුළුල්ල ම ඇත. තිලී අගයක් ම නො සිතා තිලින් සිද්ධ කුසලයෙහි නිවන් අගය ම සිතා ඉල්ලුම්හ’යි කිවු ය. අර මුන් තමන් පිටිසර වැසි වුව ත් තමාගේ සැදෑ ව පිටිසර වැසි නො වන හෙයින් එ සේ වී නම් මම මිළයට නොදෙමි. එ පින්කම හෙරී වෙම් නම්[3] දෙමී’ කිවු ය. නුවර ඇත්තෝ ද උන් බලවත් ව සැදැහැ ඇති නියාව කියා ලූ බසින් ම දැන ගෙන ‘හබළුවෙකින් මුහුද පැන් උකා ගන්නා සේ උන් මුසු වූ පමණෙකින් අපගේ කුසල් මුහුද අඩුවෙක් ඇද්ද? යහපත ඒ දී ලා හෙරි වන්ට[4] කියව’යි කිවු ය.

ඒ උපාසකවරුන් බුදු පාමොක් වහන්දෑ වඩා හිඳුවා ලා බත් වළඳවන වේලෙහි දී මහ රන් තළියක් ගෙන්වාගෙන දඬුවෙල්ලෑ මීය මිරිකවාපු ය. මී ගෙනා තැනැත්තන් ම ගෙනා දී සැළියකු ත් ඇත. ඒ දීත් මී වත් කළ තළියේ ම ලවා පියා එක් කොට මිරිකා පියා බුදු පාමොක් වහන්දෑට දුන්හ. ඒ මී දී ද බුදුන්ටත් අට සැට ලක්‍ෂයක් රහතන්ටත් කැමති විතරට සෑහිණ. තව ඉතිරිත් වි ය. තමා මඳක් වුව බොහෝ තැනට කෙ සේ සෑහිණි දැ යි නො සිතිය යුතුය. බුදුන්ගේ බුද්ධානුභාවයෙන් සෑහිණ. සර්වඥවරයන්ගේ බුද්ධ විෂය ත් සත්‍වයන්ගේ කර්‍ම විෂය ත් ඍද්ධිමතුන්ගේ ඍද්ධි විෂය ත්, ලෝක විෂය ත්, මේ සතර යම් කෙනෙක් සිතත් නම් සිතා ලිය නො හී වියරු හීමට කාරණ හෙයින් එක දඬුවෙල් බෑ මීය හා දී සැළි ය හා මෙ තෙක් දෙනා වහන්සේට සෑහුණේ කෙ සේ දැ’යි නො සිති ය යුතු ය. බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කවුරුන් විසිනු ත් හදහා ගත යුතු ය.

මී දී දුන් තැනැත්තෝ මෙ විතර පින් කමක් කොට ආයු කෙළවර දෙව් ලොව ඉපැද සසර ඇවිදිනාහු එක් කලෙක බරණැස රජ කුලයෙහි ඉපැද පියාණන්ගේ ඇවෑමෙන් රජකමට පැමිණියහ. රජ දරුවන්ට නම් රාජ්‍යලොභ ය බලවත් හෙයින් පැමිණි රට ඇති ව අනික් නුවරක් ගනිමි යි ගොසින් නුවර වට කළහ. වට කොට ලා නුවර ඇත්තවුන්ට රට හෝ දුන මැනව, සටන් හෝ කළ මැනැවැ’යි කියා යවූහ. ඌ තුමූ ‛අප කරණ සටනු ත් නැත. දෙන රටකු ත් නැතැ’යි කියා යවා ලා සතර වාසල ඇතුළු ලවා ගෙන කුරුබිලියෙන් පිටත්ව ලා දර පැන් ආදිය ගෙන යෙති. සටනට ගිය රජ්ජුරුවෝ ත් සතර මහ වාසල රක්නා අවසරක් නො ලදින් සත් හවුරුදු සත් මසක් රැකගෙන හුන්හ. රජ්ජුරුවන්ගේ මෑණියෝ ‘ම පුතුන් කරන්නේ කිම් දැ’යි විචාරා එ පවක දැන තමනුත් ඒ කර්‍මයෙහි මුසු වුව මනා හෙයින් ‘ම පුතු නුවණ නැති නියාව ය, කුරුබිලියෙනු ත් පිටත් විය නො දී එයි ත් රකින්ට කියව’යි කියා යවූහ. ඌ මෑණියන්ගේ විධාන ලෙසට ම කළහ. නුවර ඇත්තෝ පිටත් විය නො හෙන්නෝ අඵාසු බලවත් හෙයින් සත් වැනි දවස් තමන්ගේ රජ්ජුරුවන් මරා පියා රැක හුන් රජ්ජුරුවන්ට රාජ්‍ය ය දුන්හ.

ඌ මේ කර්‍ම කොට මිය ගොසින් අවීචියෙහි ඉපැද දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොලොව සත් ගවුවක් වඩනා තෙක් නරකයෙහි පැසී එයින් චුතව යම් කෙනෙක් කුරුබිලිය ත් රැක සඤ්චාරය සියලු ලෙසින් සිදු වන්ට කිවු නම් උන්ගේ කුස ම ඉපැද නුවර වට කළ සත්අවුරුදු සත් මස මවු කුස වැස කම්ම සරික්ඛකවිපාක මෙ ලෙස ය’යි හඟවා කුරුබිලි සතර සඤ්චාර ය හැරවූ තැනැත්තවුන්ගේ අකුසලයෙන් සත් දවසක් ම ගර්භමූඪ ව බිහිව යා නොහී වදන තැනැත්තවුන්ට දුක් ඉපැද වූහ. මෙ සේ මහණෙනි, සීවලී මහ තෙරහු නුවර වට කොට තමන්ගේ ප්‍රයෝගයෙන් රජ්ජුරුවන් මරවා පී පවින් එ තෙක් කල් මුළුල්ලෙහි නිරා දුක් විඳ කුරුබිලි නැවත් වූ තැනැත්තවුන් මවු කුස ඉපැද එ තෙක් කල් මවු කුස විසූ ය. අලුත් මී දුන් හෙයින් ලාභයෙන් හා යසසින් අග්‍ර බවට පැමිණියහ’ යි වදාළ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ලෙසිනු ත් අකුසල නො හැසිර කුසල්හි ම හැසිර භවභෝග සම්පත් සාධා කෙළවර නිවන් සම්පත් සාධා ගනු මැනවි.

_________

  1. ලන මනා තැන්

  2. අට සැට දහසක්

  3. සරි වෙම් නම්. සහාය වෙම් නම්-ඇතැම්.

  4. සරිවන් ව