91. සැරියුත් මහ තෙරුන් වහන්සේ පැන විසඳු වත

star_outline

ඵක් දවසෙක ආරණ්‍යක වහන්දෑ තිස් නමෙක් බුදුන් ළඟට අවුත් වැඳ ලා වැඩහුන් සේක. බුදුහු ඒ වහන්දෑ පිළිසිඹියා හා සමඟ රහත් වන්නට නිසි පින් ඇති නියා ව දැන සැරියුත් මහ තෙරුන් වහන්සේ බණවාලා ‘ශාරිපුත්‍රයෙනි, වඩනා ලද ශ්‍රද්ධෙන්ද්‍රියාදි පඤ්චෙන්ද්‍රියයන් නිවනට ඇතුළත් වන නියා ව හදහවු දැ’යි විචාළ සේක. ඔබ ඒ අසා ස්වාමීනි, යම් කෙනෙක් තුමූ ශ්‍රද්ධාදී පඤ්චෙන්ද්‍රියයන් වඩාගත නුහුනු වූ නම් ඌ ඔබ්බෙහි ශ්‍රද්ධාවෙන් හදහති. මා ම සාක්ෂා ත් කළ හෙයින් වදාළ අසා හදහන්නේ කිම් දැ’යි කී සේක. වහන්දෑ ඒ කතාව අසා බුදුන් විචාළ අදහස ත් ඔබ විසඳු අදහසත් දත නො හී වදාළ බසින් හදහන්නේ කිම්දැ’යි කියා ලූ බස් ගෙන ‘සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් විචාරා වදාළ ප්‍රශ්න ය විරුද්ධ ලෙසින් ම විසඳූ සේක. අද දක්වා ත් බුදුන් කෙරෙහි ඇදහිලි නැති නියා වනැ’යි කී සේක.

බුදුහු ඒ අසා ‘මහණෙනි, කුමක් කියවු ද? මම උන් අතින් විචාරන්නෙම් පඤ්චෙන්ද්‍රියයන් නො වඩා, භාවනායෙහි නො හැසිර, මාර්‍ගඵල උපදවන්නට සමර්ථයන් ඇද්දැ’යි විචාළෙමි. ඌ තුමූ ‘එ සේ නො කොට මාර්‍ගඵල උපදවා ගනිති, හදහා නො ගනිමි’ යි කිවු ය. ඒ විනා දුන් දෙයක, කළ දෙයක විපාක ඇති නියාව ත් බුද්ධාදීන්ගේ ගුණ ත් නො දන්නෝ නො වෙති. තමන් උපදවා ගත් ධ්‍යාන ය විදර්ශනා ය, මාර්‍ග ය, ඵල ය යන මේ ස්වභාව ය අනුන්ගේ කීමෙන් හදහන්නෝ ත් නො වෙති.

එ හෙයින් ‘නිරවද්‍යයහ’යි වදාරා ලා බණ වදාරන සේක් යම් කෙනෙක් තුමූ තමන් පිළිබඳ ගුණ අනුන්ගේ බසින් නො අදහද්ද එක් කෙනකුන් විසින් නො කරණ ලද නිවන් දැක සිටියෝ ද, නැවත අවිද්‍යාදීවූ හේතු පරම්පරාවත් සංස්කාරාදි ඵල පරම්පරාවත් සුන් හෙයින් වෘත්ත සන්ධීන් සිඳ සිටියෝ ද කුසල් අකුසල් දෙක ම නැති හෙයින් බිජුවට නැති කලට ගොයම් නැත්තා සේ භවොත්පත්ති නැත්තෝ ද, චතුර් විධ මාර්‍ගයෙන් ෂොඩෂ විධ කෘත්‍ය ය කොට නිමි හෙයින් සියලු ලෙසින් තෘෂ්ණාශාව හළවු ද, එ සේ වූවෝ තුමූ උත්තම ගුණ යෝගයෙන් උත්තම පුරුෂයෝ ය’යි වදාළ සේක. දේශනා කෙළවර තිසක් පමණ ආරණ්‍යක වහන්දෑ සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙනාට සප්‍රයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සැදෑ ත් ඇති ව කෘතොපකාරී ව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ ලෙසින් නිවන් දහම් පසක් කට යුතු.

________