90. කොසඹෑ නුවර වහන්සේ තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

කොසඹෑ නුවර වසන කුල දරුවාණ කෙනෙක් බුදුසස්නෙහි මහණ ව උපසම්පදාව ලදින් කොසඹෑ නුවර වසන තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ වූ සේක. උන් වහන්සේ වස් වැස් වූ උපාසක කෙනෙක් සිවුරු පිරිකරකු ත් තෙල්-මී-සකුරු දාදියත් ගෙන වුත් සිවුරු පිරිකර පා මුල තබාලූ ය. ‘මේ කිම් ද උපාසකයෙනි’ යි විචාරා ‘මුඹ වහන්සේ වස් වැස්සූයෙම්වේ ද- අපගේ විහාරයේත් විසූ කෙනෙක් මේ ලබන සේක. එ හෙයින් වස්සාවාසික ලාභය’යි කී කල්හි ‘උපාසකයෙනි, වන්නාට ය මින් අපට ප්‍රයෝජන නැතැ’යි වදාළ සේක. ‘ඵ සේ වදාරන්ට කාරණ කිම්දැ’යි විචාළ කල්හි ‘අප ළඟ කැපකරුවූ හෙරණ කෙනෙක් නැත. එ හෙයි නැ’යි වදාළ සේක. ‘එ සේ වී නම් ම පුතු ස්වාමීන් ළඟ මහණ වෙති’යි කිවු ය. ඔබ ත් ඉවසූ සේක.

උපාසකයෝ ත් තමන්ගේ සත් හැවිරිදි පුතණුවන් කැඳවා ගෙන ගොසින් ‘තුලුන් මහණ කළ මැනැවැ’යි පාවා දුන්හ. ඉක්බිත්තෙන් තෙරුන් වහන්සේ හිසකේ තෙමා පියා ශාසනයෙහි ඇලී වසකට නළවා යමක් දෙන කලක් මෙන් තචපඤ්චක කමටහන් දී ලා මහණ කළ සේක. ක්ෂූරකර්‍ම ය නිම වනකලට ම පිළිසිඹියා පත් රහත් වූ දෑ ය. තෙරුන් වහන්සේ ත් උන්දෑ මහණ කොට ලා ගෙන දෙ පෝයක් එහි වැස ලා බුදුන් දක්නා නිසා හෙරණුන් දෑ ලවා පාත්‍ර ය ගෙන්වා ගෙන වඩනාසේක් අතර මහ එක් විහාරයකට වන් සේක. හෙරණුන්දෑ ද උපාධ්‍යායයන් වහන්සේට සෙනස්නක් හැර ගෙන හැමද ඉදි කළ දෑ ය. ඒ ඉදි කරණ ගමනින් ම රෑ ව ගොසින් තමන්දෑ සැතපෙන තැනක් ඉදි කරන්ට නො වී ය. වත් පිරිත් වේලේ අවුදින් හුන් හෙරණුන් දෑට ‘තොප සැතැපෙන තැනක් ඉදි කළා දැ’යි විචාරා අවසර නොවූ හෙයින් ඉදි කරන්ට නුවූයේ ය යි කී කල්හි ‘අමුතු ව ලා ආ කල පිටත සැතපෙන්ට බැරි ය. අප සැතපෙන තැන ම සැතපෙව’ යි කියා ලා කැඳවා ගෙන සැතපෙන්ට වැඩි සේක. වැඩ ලා සැතපෙන ගෙට වන් සේක.

තෙරුන් වහන්සේ පුහුදුන් ව සිටි හෙයින් ගමන් ආයාසත් ඇති වන්නා වැද හොත් ගමනේ ම පිරිත් පමණක් බිණු ව නො බිණුව නිදන්ට පටන් ගත් සේක. හෙරණුන් දෑ ද ‘මුන් වහන්සේත් අප ත් එක ගෙයි ම සැතපෙන්නේ ඔබින් කැටි ව තුන් රැයක ඉදින් කාය ගෙලඤ්ඤ නිසා නිදා පීම් නම් මුන් වහන්සේ සහසෙය්‍යාපත්තියට වදනා සේකැ යි හිඳ ම පාන් කෙරෙමි’ ඔබ සැතපුණු හැඳ බඩ අකුසල ය ආසන්න වූ හෙයින් අත පෙවෙන තැනින් මඳක් දුරුවන්ටත් නොව පලක් බැඳ ගෙන හුන්දෑ ය. තෙරුන් වහන්සේ අළුයම නැඟී සිට හෙරණුන්දෑ සහසෙය්‍යාවට සෑහෙන කල ගෙන් පිටත් කළ මනා වේ දැ යි හැඳ බඩ තුබූ පවන් පත ත් හැරගෙන පත් නටු අගින් හෙරණුන්දෑ සැතපුණු කළාලේ ගසා පියා පත් මිට ඔසවන සේක් ‘හෙරණෙනි, පිටතට යව’යි වදාළ සේක. ඔසවන පත් මිට අගත් හෙරණුන්දෑගේ ඇස ඇනිණ. ඒ ඇසිල්ලෙහි කළ කුසල් නො වරදවා රහත් කරවා ලූවා සේ ම අකුසලු ත් නො වරදවා ම ඇස සිල් කරවා ලී ය.

හෙරණුන් දෑ ද ‘කුමක් ද, ස්වාමීනි, කියා පිටතට යව’යි කී කල්හි ‘ස්වාමීනි, මාගේ ඇසෙක් නට යි නො කියා ම එක් අත කින් ඇස වසාගෙන පිටතට නික්මුණු දෑ ය. වත් වේලෙහි ඇස නැත්තේ වේ දැ යි වැද නොහිඳ ඇස් නැතත් ශික්ෂා ගෞරව ඇති හෙයින් හා නුවණැසට වූ හානි නැති හෙයින් එක් අතකින් මුස්න හැරගෙන වැසිකිළිය ද දැවටි වළඳින තැන් ද හැම පියා දැවටි පැනුත් තබා ලා පිරිවෙණ ත් හැමඳි දෑ ය. වත් විසින් තෙරුන් වහන්සේට දැවටි – පැන් දෙන කලත් එක් අතින් දුන් දෑ ය. තෙරුන් වහන්සේ ද ‘හෙරණානෝ නො හික්මුණු කෙණෙක. දැවටි - පැන් එක අතින් දෙති’ වදාළ සේක. ස්වාමීනි, ඒ වත් නො වන නියාව දනිමි. අනික් අත අවසර නැති හෙයිනැ’යි කියා ලා ‘අවසර නැත්තේ කුමක් නිසා දැ’යි විචාළ කල්හි ආදියෙහි පටන් තමන් දෑ සිතා කළ සැටි ත්, වන් සැටිත් මුළුල්ල ම කී දෑ ය. තෙරුන් වහන්සේ ත් අසා බලවත් ව මුසුප්පු ව ‘අනේ මා කළ දෑ ඉතා නපුර, සත්පුරුෂයාණෙනී, ක්ෂමා ත් කරව, මට ත් පිහිට ව ව’යි දෝත මුදුනේ තබා ගෙන සත් හැවිරිදි හෙරණුන් දෑ පා මුල එළිල්ලෙන් හුන් සේක. වයසින් හා පැවිද්දෙන් බාල වුව ත් ගුණෙන් වැඩි සිටි හෙයින් තෙරුන් වහන්සේ ත් කෙළේ කට යුතු ය.

හෙරණුන් දෑ ද ‘ස්වාමීනි, ක්‍ෂමා කරවීමක් නිසා කීයෙම් නො වෙමි. එ ලෙස නො කී කලට මුඹ වහන්සේගේ සිත කුමක් සේ තිබේ දෝ හෝ යි සිත රක්නා පිණිස කීමී. දැන කළ දෙයක් නො වන හෙයින් මුඹ වහන්සේගේ වරදෙක් නැත. දැන් වරදක් නැත ත් යටගිය දවස වැරැද්දකින් වන හෙයින් වැරදි මාගේ ය’යි කී දෑ ය. එ සේ කියා ලා ‘මුඹ වහන්සේ මුසුප්පු නො වන්ට කීමි’ කී දෑ ය. තෙරුන් වහන්සේ හෙරණුන් දෑ කෙසේ අස්වසා කීව ත් ඇස්වැස ගත නො හී තෙරණුන්දෑගේ පා සිවුරු ත් තමන් වහන්සේ ම හැර ගෙන බුදුන් ලඟට නික්මුණු සේක. බුදුහු ත් පෙර මං බල බලා වැඩ හුන් සේක. ඔබ ත් ගොසින් බුදුන් වැඳලා තොපගේ සුව දුක් කිම්ද’ යි බුදුන් වදාළ කල්හි ‘ස්වාමීනි, අපට චිත්ත පීඩාවක් විනා කාය පීඩාවෙක් මඳ. මේ හෙරණුන්දෑ තරම් ගුණසම්පන්න කෙනකුන් දුටු විරූ නැතැ’යි කී සේක. නො දත් බඳු ව ‘මුන් ගුණයට කෙළේ කිම්දැ’යි විචාළ කල්හි ආදියෙහි පටන් පවත මුළුල්ල ම දන්වා ලා “ස්වාමීනි” දැන වුව ත් නො දැන වුව ත් මා නිසා ඇස නට හෙයින් ක්ෂමා කරන්ට කී තැන ‘මුඹ වහන්සේගේ වරදෙක් නැත, සංසාර දෝෂ ය. මාගේ ම ය’යි යනාදිය කියා ලා මා ම අස් වැසූ ය. මට මදකු ත් මුසුප්පු නුවූ ය. මුන් තරම් කෙනකුන් අප දුටු විරූ නැතැ’යි කී සේක.

බුදුහු අසා හෙරණුන්දෑ රහත් වූ නියාව හඟවන සේක් රහතන්ට මුසුප්පු නැත්තේ වේ දැ යි වදාරා හේතු ‘හෙයිනු ත් කාරණ හෙයිනු ත් ප්‍රත්‍යය සමුත් පන්න ධර්‍මයන්ගේ අනිත්‍යාදි වූ ස්වභාව ය දැන කෙලෙසුන් කෙරෙන් පඤ්චවිධ විමුක්ති වසයෙන් වෙන් වූ සන්තානයෙහි පවත්නා වූ රාගාදීන් රහත් මඟින් නට හෙයින් අවුපසම ලක්ෂණ වූ කෙලෙසුන් නැති හෙයින් සන්හුන් තරම් ඇති එ බඳු රහතන්ගේ සිත අභිද්‍යාදි ය රහිත වීමෙන් සන්හිඳී තිබෙයි. වචනය ත් මෘෂාවාදාදි ය රහිත බැවින් සන්හිඳී තිබෙයි. කායික වූ ක්‍රියාව ත් ප්‍රාණවධාදිය රහිත බැවින් සන්හිඳී තිබෙයි. තුන් දොරින් ම වදනා පවක් නැති කලට මුසුප්පු කොයිදැ’යි වදාළ සේක. දේශනා කෙළවර කොසඹෑ නුවර වැසි තෙරුන්`වහන්සේ සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එසේ හෙයින් නුවණැත්තවුන් විසින් ඇස නැසී ත් කළ මනා වතෙහි නො පමා වූ හෙරණුන්දෑ පරිද්දෙන් ජීවිත හානි ය වත ත් කළ මනා සුචරිතෙහි හැසිර නිවන් සිද්ධ කටයුතු.

________