89. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

එක් සමයෙක්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ වස් වැස වස් පවරා ලා සැරිසරා වඩනා කැමැති ව බුදුන්ට දන්වා ලා බුදුන් වැඳ ගෙන පන් සියක් පමණ පිරිවර වහන්දෑ හා සමග නික්මුණු සේක. ගමන් පසු කොටත් බොහෝ වහන්දෑ නික්මුණු සේක. මහ තෙරුන් වහන්සේ ද නම් ගොත් හෙයින් ප්‍රසිද්ධ තැන් නම් ගොත් කියා බණවා ලා සමු දී රඳවන සේක. නාම ගෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ පසු ව නුගුණයෙන් ප්‍රසිද්ධ වන එක් නමෙක් ඔබගේ වසයෙනු ත් ප්‍රසිද්ධ වනු කැමැති ව මා ත් නම් ගොත් කියා බණවා ලා රඳවා පී සේක් වී නම් යහපතැ’යි සිතූ සේක. ප්‍රසිද්ධ වන තරමට ප්‍රසිද්ධ ව තිබෙන පිනක් නො කළ හෙයිනුත් සියලු ලෙසින් අදහස දන්ට බුදුන්ට මුත් ඔබට අවිෂය හෙයිනු ත් මහ තෙරුන් වහන්සේ බොහෝ වහන්දෑ හෙයිනු ත් ඒ නමගේ අදහස සලකා ගත නුහුණු සේක. එ පමණෙකින් ම ඒ නමත් මහ තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳි දෑ ය.

මහ තෙරුන් වහන්සේ වඩනා ගමනේ ඔබගේසඟළ කෙළවර අර නමගේ ඇඟ ගෑවිණ. ඒ කර්‍ම ය කළ නම එ පමණකිනු ත් වෛර ය තර කළ දෑ ය. වෛර බලයෙන් මහ තෙරුන් වහන්සේ වෙහෙර ඉම පැන වැඩ පූ නියාව දැන ලා බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, සැරියුත් මහතෙරුන් වහන්සේ මුඹ වහන්සේගේ අගසවු යෙමියි කියා ලා මා කන්සක ගසා ලා රෙදවා පියාත් ක්‍ෂමා කරවා නො ගෙන පිටිසර ගිය සේකැ’යි කී දෑ ය. බුදුහු ත් මහ තෙරුන් වහන්සේ කැඳවා යවු සේක. එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ ත් අනඳ මහ තෙරුන් වහන්සේ ත් දෙ දෙනා වහන්සේ සිතන සේක් ‘අපගේ වැඩි මාලු බෑණන් වහන්සේ ඒ නමට නො ගැසූ නියාව බුදුහු නො දන්නා සේක් නො වන සේක. දන්නා සේක් මය. ඔබ ලවා සිංහ නාද කරවනු කැමැති නියා ය. වහන්දෑ රැස් කරම්හ’යි කෙසි මුඳු හැර ගෙන පිරිවෙන්වල දොරවල් හැර ‘දැන් දැන් සැරියුත් මහ තෙරුන් වහන්සේ සිංහ නාද කරණ සේක. ඒ සිංහනාදය අසන්ට වහා අව මැනැවැ’යි කැඳවා රැස්කළ සේක. මහ තෙරුන් වහන්සේ ත් අවු ත් බුදුන් වැඳ ලා වැඩ හුන් සේක.

බුදුහු ගැසූ නො ගැසූ නියාව විවාළ සේක. ඔබ ද ‘මම නො ගැසුයෙමි’ නො වදාරා තමන් වහන්සේගේ ගුණ වදාරන සේක් ‘ස්වාමීනි, යම් කෙනෙක් කා ගියා සී කමටහන පිරිමැසීම නැත්තෝ නම් ඌ තුමූ ආත්ම ප්‍රත්‍යවෙක්‍ෂාව නැති හෙයින් සබ්‍රම්සරුන් ගසා ක්‍ෂමා කරවා නො ගෙන පිටිසර යෙති’යි වදාරා ලා ගුණ අයුණු ඉවසීමට තමන් වහන්සේ පොළොව හා සම නියා ද, එ සේ ම ක්‍රෝධ නැමැති ගිනි නිවීමට පැන් හා සම නියා ද, එ සේ ම කෙලෙස් කුණු දැවීමෙහි ගින්නක් හා සම නියා ද, කෙලෙසුන් දුරු කිරීමෙහි සුළඟක් හා සම නියා ද, නිහතමානී කමට පා පිස්නා බිස්සක් හා සම නියා ද, අගව් කමට සැඩොල් කුමරකු වැනි නියා ද උඩඟු නො වීමට හං බුන් ගොන් වැනි නියා ද, සර්පකුණපාදියක් මෙන් තමන් වහන්සේගේ ශරීරය පිළිකුල් කොට දක්නා නියා ද, මනුෂ්‍ය ශරීරය බැවින් තමන් වහන්සේගේ ශරීර ය අසුචි පුරා ලූ කළයක් මෙන් පිළිකුල් නියාවද මේ උපමා නවයෙන් වදාරා නව වාරයෙක මහ පොළොව ගුගුරුවා පී සේක. පා පිස්නා බිසි උපමාව හා සැඩොල් කුමර උපමාව හා අසුචි පිරූ කළ උපමාව කී කල්හි පෘථග්ජන වහන්දෑ කඳුළු රඳවා ගත නුහුණු සේක. රහතන්ට සියලු ප්‍රත්‍යය සමුත්පන්නධර්‍ම විෂයෙහි හයාකාරයෙන් උපදනා නුවණ උපන.

මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ වදාර ත් වදාර ත් ඔබගේ ගුණ දරා ලිය නො හී ත් කම්පා වූ කළක් මෙන් මහ පොළොව වෙවුලා ගිය කලට නැත්ත කියා දෙඩු නමගේ සකල ශරීරයෙහි දාහ වැද ගත. උන්දෑ එ විට බුදුන් පා පිට ම හී පියා තමන්දෑගේ වරද කියා ලා ක්‍ෂමා කරවවුදෑය. බුදුහු මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘තෙපි තොපගේ අක්‍ෂමාවක් නැත ත් බස කියා නුලූ නම් තෙල නිකමාගේ හිස සත් කඩ ව පැළී ගිය ත් නපුර. ඌගේ ජීවිත රක්‍ෂණ ය නිසා තෙපි ත් ක්‍ෂමා කරව’ යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද බුදුන්ගේ ළඟ එළිල්ලෙන් හිඳ දෝත මුදුනේ තබා ගෙන ‘ස්වාමීනි, ඒ ආයුෂ්මතුන්ට ක්‍ෂමා කෙරෙමි. ඉදින් මාගේ වරදෙක් ඇත් නම් ඒ ආයුෂ්මත්හු ත් ක්‍ෂමා කෙරෙත්ව’යි වදාළ සේක. වහන්දෑ ද ඒ අසා ‘ඇවැත්නි, මුන් වහන්සේගේ බුද්ධකල්ප වූ ගුණයෙක තරම් බලව මේ තරමක් කියාලූමුන් කෙරෙහි මුසුප්පුවක් නොව තමන් වහන්සේම එළිල්ලෙන් හිඳ ක්‍ෂමා කරවන සේක. ඔබ කළ සිංහ නාද ඔබට තරමැ’යි කී සේක.

බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, කුමක් කියවු දැ’යි විචාරා පෙරළා ත් කියවා ගෙන ‘මහණෙනි, සැරියුත් වැන්නවුන්ට ගල් නියෙන් කා නිය රෙදවත් මුත් ගල් රෙදවන්ට බැරියා සේ මුසුප්පු උපදවන්ට බැරිය’යි වදාරා මහණෙනි, යම් සේ පොළොව සුවඳ මල් ආදි වූ සුවඳ ත් ලත් ද, කෙළ සෙම් ආදි වූ අපවිත්‍ර ත් ලත් ද, එ සේ ම නුවර වාසල කෙරේ හිඳු වූ ඉන්ද්‍රඛීලයට බාල දරුවෝ කුණු කසළ දමා අපවිත්‍ර කෙරෙත් ද, දන්නෝ සුවඳ මල් ආදි ය පුදත් ද, පොළොවටත් ඉන්ද්‍රඛීලයට ත් අපවිත්‍ර ය ලීම දැමීම නිසා කොපයෙක් වේව යි, පවිත්‍ර ය ලීම පිදීම නිසා ප්‍රේමයෙක් වේව යි නැද් ද, සුචි-අසුචි නික්‍ෂෙප ය. නිසා දියට වේව යි ගින්නට වේව යි සුළඟට වේව යි ලූ ලූ යම් දෙයක් ගෙන යෑම දැවීම හැමදවීම කරත් මුත් සුචි දෙයෙහි අනුනයක් හා අසුචි දෙයෙහි ප්‍රතිඝයෙක් දියට ත් ගින්නට ත් සුළඟට ත් නැත් ද, එ පරිද්දෙන් අෂ්ට ලෝක ධර්‍මයෙන් අකප්‍ය වූ සොඳුරු වූ ව්‍රතසමාදාන ඇති රහත්හු ‘මොහු අපට සිවුපසයෙන් උපස්ථාන කෙරෙති. උන් කෙරෙහි අනුනයක් වේව යි ‘මූ අපට උපස්ථාන නො කෙරෙති. උන් කෙරෙහි ප්‍රතිඝයක් වේව යි නො කෙරෙති. කුමක් සේ වෙද් ද යත්-යම් සේ මඬ බොර නැති විලෙක පහන් පැන් ඇත්තේ ද එ මෙන් පහ වූ කෙලෙසුන් ඇති බැවින් රා දොස් ආදී වූ මඬ බොර නැති ව පහන් සිත් ඇති වෙති. ඵ් බඳු වූ වන්ට සුගති දුර්‍ගති දෙක්හි හැසිරීම් නැති හෙයින් සසර නැතැ’ වදාළ සේක.

මේ දේශනා කෙළවර උපමා නව ය විතරට ම නව දහසක් වහන්දෑ පිළිසිඹියා පත් රහත් වූ සේක. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ධසෙනෙවි ස්වාමීන් තමන් වහන්සේ කෙරෙහි පිහිටුවා වදාළ උපමා නව ය ඔබට ම තිබී ආ දෙයක් නො වන බැවින් තම තමා කෙරෙහි ත් ඇති කොට ගෙන ඔබ සිංහ නාද කළ ලෙස ම සිංහනාද කරන්ට උත්සාහ කටයුතු.

_________