88. කසයින් මහ තෙරුන් වහන්සේ ගේ වත

star_outline

එක් සමයෙක බුදුහු වස් පවරන දවසෙක විශාඛාවන් කැරැ වූ පායෙහි යට මාලේ අසූ මහ සවුවන් වහන්සේ පිරිවරා වැඩ හුන් සේක. එ කල කසයින් මහ තෙරුන් වහන්සේ අවන්නි නම් රට වසන සේක. උන් වහන්සේ කොයි වැඩ හිඳ ත් බණ වදාරන වේලේ දී අවුත් බණ අසන සේක. එ හෙයින් මහ තෙරුන් වහන් සේ හිඳිනා ගමනේ ඔබ වඩනා නියාව දන්නා හෙයින් ඔබට අවසර තබා ලා වැඩ හුන් සේක. සක් දෙවිඳු ද දෙ දෙව් ලොව දෙවියන් හා සමඟ අවුත් ගඳින් - මලින් බුදුන් පුදා වැඳ එක ත් පස්ව සිටියාහ. සිට කසයින් මහ තෙරුන් වහන්සේ නො දැක තමන් ඔබ කෙරේ ආවෙණික මමායන ඇති හෙයින් ‘හැයි’ කසයින් ස්වාමි, මෙ තැන නැත් නම් ඔබ ත් වැඩිය යහපතැ’යි සිතූහ. උන් වහන්සේ ත් ඒ ඇසිල්ලෙහි ම අවුත් තමන් වහන්සේට නිළ වූ හස්නෙහි ‘ම හිඳ පෙනුණු සේක.

සක් දෙවිඳු ත් මහ තෙරුන් වහන්සේ වැඳ පය අල්වා ගෙන ‘වැඩිනියා වේ ද? මම ත් වඩනා කැමති වීමි’යි කියා ලා ආවෙණික ව ඔබ ත් පුදා වැඳ ගෙන එක ත් පස් ව සිටියහ. සමහර වහන්දෑ ඒ දැක’සක් දෙවිඳු ත් කරණ දෙයක් මූණ බලා ම කරණ වන. බුදුන් විනා සෙසු තැනකට මෙ සේ නො කොට කසයින් මහ තෙරුන් වහන්සේ දැක ලා ගොසින් පය අල්වා ගෙන ‘වැඩි සේ ම යහපත. මම ත් වඩනා කැමති වීමි’යි කියා ලා මලින් ගඳින් පුදා එක ත් පස් ව සිටියෝ ය’යි ගුණමකු ව කී සේක.

බුදුහු ඒ කථාව අසා ‘මහණෙනි, ම පුත්හු කසයින් මහ තෙරහු තමන්ගේ යහපත් තරමින්ම දෙවි මිනිසුන්ට ප්‍රිය වෙති’යි වදාරා රහතන්ගේ අනන්‍ය සාධාරණ ගුණ වදාරණ සේක් ‘අසුන් හික්මවීමෙහි දක්‍ෂ වූ රිය ඇදුරක්හු හික්මවා ගත් අසුන් මෙන් යම් කෙනකුන් ගේ චක්ෂුරාදි ෂඩින්ද්‍රියයෝ දෝ හෝ නොහොත් සදොරින් නික්ම රූපා දී සාරමුණෙහි පවත්නා සව් කෙලෙස්සු විවසුන් බෙලෙන් ක්‍රමක්‍රමයෙන් සන්හිඳී රහත් වීමෙන් සියලු ලෙසින් ම සන්හුන්නාහු ද උන්නති ලක්‍ෂණ වූ නව විධ මාන ත් නසා පීවා වූ චතුර්විධ ආශ්‍රවයෙන් කිසි ද ආශ්‍රවයක් නැති අෂ්ට ලෝක ධර්‍මයෙහි අකප්‍ය වූ ඒ රහතන්ගේ දැක් ම දෙවියෝ ත් කැමති වෙති. මිනිස්සු ත් කැමති වෙති’ වදාළ සේක.

දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් යම් තරමක් ඇති කලට දෙවි මිනිස්සු දක්නා කැමැති වෙත් නම් එ තරම් එවා හැසිරෙන්ට උත්සාහ කට යුතු.