තව ද වෛර බැන්දවුන් ගේ වෛර ය නිවා ගන්ට බැරි ව දා ගෙන යන ගින්නක් බොහෝ පැන් ඇති තෙනකට පැමිණ නිවෙන්නා සේ කරුණා නමැති දියෙන් පිරුණු සර්‍වඥ නමැති මුහුදට පැමිණ නිවෙත් මුත් සෙසු ලෙසකින් නො නිවෙන නියාව දක්වන පිණිස කාළි නම් යකින්නගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්:
යට ගිය දවස එක් කෙළෙඹි පුත්‍රයාණ කෙනෙක් පියාණන් නට කල ගෙයි දඩ කර්‍මාන්ත විධාන කරන්ට අනික් කිසි කෙනෙකුන් නැති හෙයින් හෝ නොහො ත් තමන් ම කළ මනා හෙයින් ගෙය දඩත් විචාරමින් කණවැන්දුම් මෑණියන්ට ත් උපස්ථාන කෙරෙති. මෑණියෝ ද පුතණුවන් විඳිනා දුක් බලා ‘වන්නාට දඩ කර්‍මාන්ත විධාන කරන්ට කෙසේ වුවත් විධාන කොට කැරවීම මුන්ට ම වේ ව යි ගෙයි කර්‍මාන්ත විචාරා කරවා ලන්ට කොට ලන්ට තරම් කෙනකුන් විචාරා මුන්ට සරණක් ගෙනවු ත් පාවා දී ලීම් නම් මුන්ට සැතපිලිත් ඇත. මම ත් මුන් ගෙන් ප්‍රයෝජන විඳිනා ලෙසට මුන් ගේ සුව දුක් දත්තා නම් වෙමි’යි සිතා එක් දවසක් පුත තොපට සරණක් ගෙනවුත් නිල කරමෝ දැ’යි විචාළෝ ය. ඔහු ඒ අසා ‘මෑණියන් වහන්ස, ඒ නො කැමැත්තෙමි. එ සේ වූ අවුලක් කර නො ලා දිවි පමණින් ම මම මුඹ වහන්සේට උපස්ථාන කෙරෙමි. මාගේ ඒ පින් කමට බාධා නුවුව මැනවැ’යි කිවු ය. ‘පුත එ සේ නො කියව. තොප ගෙයි දඩ ගන්නා දුක් දුටු කලට මා සිතට සැප නො වෙ යි’ මෑණියන් එක් වන් කිය ත් කියත් පුතණු වන්නාට ය යි සිතා පසු ව කී විට බැණ නො නැංගෝ ය.
ගිවිසි නියාව දැන මෑනියෝ ද එක්තරා තැනකට ගොසින් පුතණුවන්ට නිසි කෙණකුන් විතාරන්ට යන්ට ගමන් සරහා පුතණුවනු ත් ‘කවර කොතනකට යන සේක් දැ’යි විචාළ කල්හි අසවල් තැනට ය යි කිවු ය. එතනින් ගෙනෙන්නවුන් තමන්ට අනභිප්‍රාය හෙයින් ඔබ යන ගමන් නවතා ලා තමන් අභිප්‍රාය තෙනක් කිවු ය. මෑණියෝ ද ඔබ ගොසින් සරණ විචාරා නිල කොට කැඳවා ගෙන යන්ට නිසි නැකතකු ත් විචාරා ලා නිසි නැකතකින් ගෙන වුත් පුතණුවන්ට පාවා දුන්හ. ඒ සරණ ආ කුමාරිකාවෝ ද තමන් දරුවන් ලබන්ට නිසි පිනක් නැති හෙයින් පල ගත මනා ගස් නො පලගන්නා සේ වඳ වූ ය. මෙ සේ උන් වඳ කලට මෑණියෝ පුතණුවන් බණවා ලා ‘පුත තොප ගේ අභිප්‍රා ය තැනින් සරණ ගෙන්වා ඵල ප්‍රතිලාභ ය නිසා ලවා ලූ ගස කොළෙහි පලදා නැත්තා සේ වර්‍ග පරම්පරාව පවත්වා ලන්ට නිසි දරු කෙනකුන් වුව මනා තැන දැන් මූ වඳ යෝ ය. අප දැන් තොප නිසා නිදුකින් ජීවත් වන්නා සේ දරු කෙණකුන් නැති ව ඔබ ලත් අවස්ථාවෙහි තෙපි කෙසේ ජීවත් වවු ද? අනික් සරණක් ගෙන්වා දෙමෝ දැ’යි විචාළෝ ය. පුතණුවෝ ‘නො කැමැත්- තේ ය’යි කිවු ය. තව කීව ත් නිස්සාර ලෙසක් හැඟී යෙති දෝ තව තව ත් නො කැමැත්තේ ය’යි ම ව්‍යාජ ලෙසින් නො කැමැති ව ම කිවු ය.
වඳ තැනැත්තෝ මේ අසා දරුවෝ නම් දෙමවු පියන් කියාලූ දෙයක් දෙ තුන් මුරයක නොකළෝ නමුත් පසුව පටහැණිවීමත් නපුරු හෙයින් නො කරන්නෝ නො වෙති. ඉදින් මූ තුමූ ම වදන පොදන තෙනකින් සරණක් ගෙන වුත් දරු කෙණකුන් ලද්දු නම් මා කෙල්ලක කොට ත් නො තකති. මා ම ගෙනවුත් නිල කළ කලට එසේ ම නො වන්නේ වේ දැ’යි යන අදහසින් මායාව නම් අකුසල් විසයට කුසල් විසයෙහි ප්‍රඥාව සේ වුවමනා බැවින් හා නැවත ඒ මායාව තමා නිකෘෂ්ට බැවින් නිකෘෂ්ට භජනය කරන ලෙසට ගුණෙන් නිකෘෂ්ට වූ ස්ත්‍රීන් ම භජන ය කළාක් මෙන් ස්ත්‍රීන් කෙරෙහි ම බොහෝ කොට පවත්නා හෙයින් හා නැවත කරණ කියන සිතන යම් දෙයක් බොහෝ සේ මායම් මුසු කොට කරණ කියන සිතන හෙයින් උන්ට ළෙන් ගතු ව කරණ දෙයක් මෙන් තමාට ම ළෙන් ගතු ව උන්ට කී කලට බාධාවක් පෙනී ගියේ නමුත් නපුරැයි උන් හැමට ම නොකියා ම එක් තරා තැනකට ගොසින් කුමාරිකා කෙනකුන් නිල කොට උන් ගේ දෙ මවු පියන් කට යුත්තක් ම නො වන හෙයින් නො ගිවිසි කල්හි කියා ගිවිස් වන්නෝ ‘මම වඳ යෙමි. මුබ ගේ දුවණියෝ දරුකෙනෙකුන් ලද්දු නම් ඌ සම්පතට හිමි වෙති. මා වඳ කුළු තැනැත්තියට සම්පත්තින් කම් කිම් දැ’යි වෙස් බැඳ පානා රුවක් මෙන් සිතින් එකක් සිතා වුව ත් බසින් එ ලෙසක් කියා ගිවිස්වා ගෙන වුත් සමුණන්ට පාවා දී ලා නැවත ‘මෝ දරුකෙණකුන් වදා ලූ නම් මෝ මගේ හිමි වන් නී ය. එ සේ කලට යමක් සිතා කෙළෙම් නම් ඒ නැති ව නිල කොට ගන්නා නිසා මෑ ගේ දෙ මාපියන්ට මා බසින් කියා ලූවා ම වෙයි. එ සේ කලට මායම් උගත්තේ නම් කිම්ද? යම් ලෙසකින් මෝ දරු කෙනකුන් නො වදා නම්.එ ලෙසක් කෙරෙමි’ සිතා පවිටු අදහස් ඇති ව එක් දවසක් අමුතු ව ගෙනාතෙනැත්තවුන් බණවා ලා ‘යම් දවසක් තොප බඩ දරු කෙණකුන් ඇති වූ නම් මට කියව’යි කිවු ය.
උයි ත් ඒ යහපතැ යි සිතා දරු කෙණකුන් බඩ පිහිටා ගත් කල්හි උන්ට කිවු ය. එ දවස් පටන් කන බොන දෙය ඉදි කොට දෙන්නී එක් දවසක් කන බතට මුසු කොට ගබ් සා වන්ට නිසි බෙහෙදක් තමා උගත ත් එ සේ වූ දෙයක් ම හෙයින් දී ලා ගබ් සා කරවා පිව. ඈට දරුවන් නැති කළා සේම තමාට සසර දික් කළා ය. දෙවෙනි වර ත් දරු කෙනෙකුන් බඩ පිහිටා ගන්නා අත් දුටු බෙහෙද හෙයින් එ ම බෙහෙත් ම දී පෙරළා ත් ගබ් සා කැර වූහ. ඉක් බිති ගෙවල ඇත්තෝ’ දෙ මුරයක් කොට ම තොප ගබ්සා වන්නේ හැයි ද? තොප ගේ බූනණියන් සපත්නි රොෂයෙන් කළ දෙයකින්ද? කිම්දැ’යි විචාළෝ ය. එසේ විචාළ කල්හි දරු කෙනෙකුන් බඩ ඇති වූ කල්හි තමන් කී නියා ත් තමන් කියා ලූ තැන් පටන් ආවෙණික ව බත් මාළු ඉදි කොට දෙන නියා ත් කෑ බතින් හා මාළුවෙන් ගබ්සා වන නියාව ත් කිවු ය.
ඌ හැම ඒ අසා ‘බොළඳ තැනැත්තිය, මුරයක ඈ ඉදි කොට දුන් දෙය කා ගබ් සා වූ කල දෙවෙනි මුරයේ බඩ දරුවන් නියාව කියන්නේ හැයි ද? ඉදින් කියා පීව ත් තෝ උයා පලා ගන්නා පමණකුත් නො දැන ඈ පිස දුන්නා කයිද? ගෑනුන්ට නම් සපත්නි රොෂයට වඩනා දුකෙක් නැති නියාව ත් තී නොදන්නා නියාදැ’යි කියා ලා ‘මෙවක් පටන් තෝ කුමකුත් නො කියව’යි ඉගැන්වූ ය. උයි ත් තුන් වන මුරයේ නො කීවෝ ය. වඳ තැනැත්තී ඈ බඩදරු කෙනෙකුන් ඇති ව බඩ මහත් ව ගෙන යන නියාව දැක තමන් කා බී ගත නොහෙන්නවුන් අනුනු ත් කනු බොනු නො කැමැත්තා සේ තමා වඳ හෙයින් වදන්නවුනුත් නොකැමැති ව මේ තරම් වන තුරු මට නො කීයේ හැයි දැ යි කියා උන් ඒ අසා තෙපි ම මා කැඳවා ගෙන අවුත් සමුණන්ට පාවා දෙවා ලා රඳනු නොකැමැති කල අප ගේ දෙ මවු පියන්ගේ ගෙට යවා ත් නො පියා කොට බෙහෙත් දී ගබ් සා කරවා පිව. කවර ළෙන්ගතු කමක් පෙනෙන හෙයින් කියම්දැ”යි කී කල්හි කෙ තෙක් කුමක් වුව ත් මෙ විට මෑ ත් දත් හෙයින් නටුයෙම්- වේ දැ’යි සිතා වදන අවස්ථා වෙහි දී අවසරයක් බලා අවසරයක් ලදින් බෙහෙදක් දුන.
දරු ගැබ මූ කුරා ගිය හෙයින් නො හී දරුවෝ සරස් ව ගිය හ. ප්‍රසව වේදනාව ත් බලවත් ව ජීවත් වෙද්දෝ නො වෙද් දෝ හෝ යි යන තරමට පැමිණියා ය. මිය යන වේලේ දී ‘අනේ! තොප කළ මුළාව බලවත. දරු තුන් දෙනෙකු ත් මා ත් මිය යනු නියම හෙයින් අප සතර දෙනකු නසා පිව. මම ත් මිය ගොසින් යකිනි ව ඉපිද තොප වැදූ දරුවනුත් තොප ත් කන්ට සමර්ථ වෙම් ව’යි පතා ගෙන මිය ගොසින් එ ම ගෙයි බැළල් ව උපන. අනික් තෙනැත්තිය සමණෝ අල්වා ගෙන ‘තී නිසා වේ ද මට මේ සා මහත් අලාභයෙක් වූයේ”යැ යි අතින් පයින් සම්භ වූ යම් දෙයකිනැ යි තළා මරා ඉතිකින් මැරීමෙන් ප්‍රයෝජන නැති හෙයින් අත හළවු ය. උයි ත් මිය ගොසින් එම ගෙයි කිකිළි ව උපන් හ. මූ කුරා ගත් කිකිළිය බිජුවට ලා ලන්නා ම බැළලිත් අවුත් ලා තුන් වාරයක් කොට ඈ ලෝ ලූ බිජුවට තොමෝ කෑව. කිකිළි ඒ දැක ‘තුන් වාරයක් ලූ බිජුවට වියක්[1] කන කෙනකුන් බිජුවට වී නිමි කලට එ ම රැක නොහිඳ ඈසා වියක්[2] කන්නා සේ බිජුවට ලීම් නැති තෙනක දී මා ත් කන්නී ව ද? එ සේ හෙයින් මමත් මිය ගොසින් තොපත් තොප ගේ දරුවනු ත් මේ ලෙසින් ම කෑ හෙම්ව’යි පතා කිකිළි මිය දිවි දෙන්ව උපන. බැළල් මිය ගොසින් මුව දෙන් ව උපන. මුව දෙන් වදා ලන්නා ම දිවි දෙන අවුත් තුන් වාරයක් කොට ම වැදූ දරුවන් කෑව. පසු ව තමා ත් කන්ට අල්වා ගත් තැන මියන ගමනේ ආදි තුන් වාරයක් මා වැදූ දරුවන් කෑව. දැන් මා ත් කයි. මම මිය ගොසින් යකිනි ව ඉපිද තොප වැදූ දරුවනුත් තොප ත් කෑව හෙම් ව’යි පතා අප ගේ බුදුන් සමයට මුව දෙන් යකිනි ව උපන.
දිවි දෙන් සැවැත් නුවර කුල ගෙයක එක්තරා කෙනකුන්ට දූ ව උපන. වැඩි විය පැමිණ වාසලින් පිටත ආසන්න ගමකට සරණ ගියා ය. සරණ ගොසින් පුතණු කෙනකුන් වැදූ ය. යකිනි උපන් දරුවන් වැදූ නියාව තමා ත් පරීක්ෂා කොට ඇවිදිනා එ ම ගෙයින් දැන, යෙහෙළි ලෙසින් අවුත් ‘අප ගේ යෙහෙළිණියෝ කොයි දැ’යි විචාරා වදා හොත්තෝ ය යි කී කල්හි ‘වැදුවේ දියණි කෙනකුන් ද පුතණු කෙනකුන් ද? මා ත් දකින්ට වුව මනා වේ දැ’යි ව්‍යාජයෙන් ඇතුළු ගෙට වැද බලන්ට වඩා ගත් ගමනේ ම කා පියා නැගී ගියා ය. දෙ වන වාරයෙ ත් වදා ලන්නා එ සේම අවුත් කෑව. තුන් වන මුරයේ දී ඒ දැරී දැරී ඇති ව සමුණන් බණවා ලා ‘මෙ තන දී දරුවන් දෙවාරයක වදා යකින්නක් කා පියා ගියා ය. සුව දුක් දන්නට නිස්සෝ දෙ මවු පි යෝ වේ ද? ඔබ ගොසින් වදමී ‘ කියා ඔබ ගොසින් ජීවත් වන්ට නිසි මහ පිණැත්තාණ කෙනකුන් වැදූහ.
එ කල ඒ යකින්නී තමාට පැමිණි මුරය හෙයින් වෙසවුණු රජ්ජුරුවන්ට අනවතප්ත විලින් පැන් අදිනට ගියා ය. එ සේ අදනා පැන් සාර මසකුත් පස් මසකුත් අදිති. සමහර යකින්නෝ අද වීඩා ව මිය යෙති. ඒ යකින්න තමා අදිනා තෙක් කල් ඇද නිමවා පියා කළ මිඬියක පැන් කළය ගෙයි තබා පියා බඩ දළ දැඩි හෙයින් වහ වහා වලන් මුළුල්ල සමනා පියන්ට යන ගමනක් සේ අර මුන් මෙතෙක් දවස් වදන ගෙට වහ වහා ගොසින් උන්ගේ යෙහෙළි ලෙසින් සිට කොයි දැ යි විචාරා “මෙ තැනදී වැදූ දරුවන් දෙ මුරයක් කොට යකින්නක කාපී හෙයින් එ සේ ත් රැක ගත නො හැක්කැයි දෝ දෙ මව්−පියන් ගෙට ගියහ’යි කී කල්හි ඌ කොයි යෙත්ව යි තරු පෙනෙන දෙව්-ලොව විතරට ඒ දුරු නො වන බැවින් වදා පූ නම් පිස තුබූ බතක් ලා ගෙන කන්ට ආයාස නැත්තා සේ අල්වා ගෙන කාපියන්ටත් බැරි නො වෙ යි. නැතක් කලෙක බැඳ ගත් වෛර නමැති යක්‍ෂයා ත් කැඳවා ගෙන ඇතුළු නුවරට යන්නට නික්මුණ. දෙමුරයක් කොට ත් වදා දරුවන්ගෙන් නුවූ තැනැත්තෝ ද තමන් ගේ පුතණුවන්ට නම් තබන දවස් නම් තබා ලා ඉතිකින් අප ගේ ගමට ගිය මනා වේ දැ යි පුතණුවන් වඩා ගෙන සමුණන් කැඳවා ගෙන දෙව්රම් වෙහෙර මැදින් යන තැනැත්තෝ පුතණුවන් සමුණන්ට වඩා ලා මහා විහාරයෙහි නුදුරුව තිබෙන පොකුණෙන් තුමූ නා පියා ගොඩට නැඟී සමුණන් නාන තෙක් පුතණුවන් කිරි පොව පොවා සිටි තෙනැත්තෝ යකින්න එන නියාව දැක ආදි ත් දෙමුරයක් දුටු හෙයින් හැඳින ලා සමුණන්ට ‘වහා ගොඩට නැංග මැනව, දරුවන් කන යකින්නිය එන්නී ය’යි කියා ලා උන් ගොඩට එනතුරු ත් රඳා සිට පිය නොහී දොරටුවෙන් ඇතුළට දිව ගත්හ.
එ වේලාවට බුදුහු ත් සිවු වනක් පිරිස් පිරිවරා වැඩහිඳ, බණ වදාරණ සේක. භයින් වන් තැනැත්තවුන් හෙයින් පිරිස් පීරා ගෙන බුදුන් ලඟට ම ගොසින් දරු සිඟිත්තා වෛවර්‍ණ කඩෙකින් විදි මාවුලාවක් මත්තේ තබා ලන කලක් පරිද්දෙන් බුදුන්ගේ අට තුරා සියක් පමණ මඟුල් ලකුණෙන් විසිතුරු වූ ශ්‍රීපාදය පිට කුමාරයන්ගේ හිස තබා වැද හොවා ලා ‘මා බුදුවන්ට නො පත ත් තෙල දරුවන් නුඹ වහන්සේට දන් දෙමි. උන්ට බලවත් උවදුරෙක් පෙනිණි. අළවු කුමරුන්ට එක් සිය විසි හවුරුද්දකට ආයු දුන්නා සේම තුලුන්ට ත් ආයු දෙවා ලා අළවු යකුන්ගෙන් රැකගත් ලෙසට උවදුරු කරණ යකින්නගෙන් රැක ගත මැනැ’යි භය වෙගයෙන් බලවත් ව බුද්ධ වල්ලභයා සේ ම කිවු ය. විහාර දොරටුවේ රැකවල සිටි සුමන නම් දෙවි පුත් නමින් සුමන වුවත් යකින්න කෙරෙහි දුම්මන ව වෙහෙර ඇතුළට වැද්ද නුදුන්නේය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා වළඳන තෙනට අවුත් පිළි පමණෙක ත් සකසක් නැති හෙයින් ළඟිට එත නො හී දුරු වලා සිට සිඟන්නියක ලඟට කැඳවා ලා බත් දෙන්නාක් මෙන් මිනී මස් කා ඇවිදි තැනැත්තවුන් ලවා නිවන් රස අනුභව කරවනු පිණිස ‘ආනන්දයෙනි, දොරටුවෙන් පිටත සිටි යකින්න මුබ කැඳවා ගෙන එව’යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ වහා ගොසින් කැඳවා ගෙන ආ කල්හි දරු පැටවුන් ඇති තෙනෙත්තෝ බුදුන් ශ්‍රීපාදය පිට හිස තබා ගෙන හොත් දරු පැටවුන් හැර ගෙන කාපියා දෝ හෝ යි යන භයින් බුදුන් ගේ ආනුභාව නො දැන ‘ස්වාමීනි, අර එන්නී ඒ යකින්නී ය’යි කිවු ය.
බුදුහු ඒ අසා බතට ඇවිටි ව හඬන දරු කෙනෙකුන් බත් උදවුවන තෙක් බසින් ම නළවන්නා සේ බණ වදාරන තෙක් අරුන් අස්වසනු නිසා ‘ඈ එතී තෙපි නො බව. තොපි බැව මනා මෙ තන සම්භ නුවුවොත් වේ දැ’යි උන් අස්වසා සිටුවාලා යකින්නට “හැයි තොප මෙසේ කරන්නේ? තොප දෙපක්‍ෂය මා කරා සම්භ නො වූ නම් යුක්ති දන්නවුන් කරා සම්භ නො වීමෙන් කල් පලා යන යුක්තියක් සේ, මේ තොපගේ වෛරයත් ඵන්‍දන
ජාතකයෙහි කප මුළුල්ලෙහි නොසිඳී පවත්නා කෝම් ගස් හා වලසුන්ගේ වෛර ය මෙන් ද, උදක ජාතකයෙහි කපුටන් හා බකමූණන් ගේ වෛරය මෙන් ද, කප මුළුල්ලෙහි පැවත යන දෙය ය. අනේ මොබ සම්භවූ නියා ව යහපත, හෙම්බල යකින්න යම් සේ කෙළ-සෙම්-සොටු ආදියෙන් තමා ගේ ශරීරය අපවිත්‍ර වූ කල පෙරලා ත් ඒ කෙළ ආදියෙන් පවිත්‍ර කොට නො හැකි ද වඩ වඩා ලා අපවිත්‍ර වේ ද-එසේම ආක්‍රොශ පරිභව බිණුවන්ට තමා ත් බිණීමෙන් හා මැරූවන් තැලූව ත් තමා ත් පෙරළා මැරීමෙන් තැළීමෙන් හා නොඑක් අපරාධ කළවුන්ට ගිනි පිට ගිනි ලන්නා සේ තමා ත් නො එක් අපරාධ කිරීමෙන් පැවැති වෛරය දෙපක්ෂයට ම සන් නො හිඳෙයි. යකඩ වානේ තුබූ කල දිවුණ ලා කැපෙන්නා සේ වෛරය දියුණු වෙයි. ඒ වෛරය දර නිමා ගිය ගින්නක් මෙන් සන්හිඳෙන්නේ කෙ සේ ද යත්.
“යම්සේ කෙළ-සෙම් ආදිය පවිත්‍ර ජලයකින්, සෝධා පී කලට ජල තමා පවිත්‍රයා සේ අපවිත්‍ර ව තුබූ ශරීරය ත් පවිත්‍ර කෙරේ ද එසේ වෛර කාරණ නමැති දරෙහි ඇවිළ සිටී. වෛර නමැති ගින්න එම වෛර කාරණ නමැති දර නො ලා මෙත් නමැති පැන් ඉසලන්නා මෙත්තාව නම් ධර්‍ම හෙයින් අව්‍යාපාද හෙයින් සියලු කුශලයට මූල කාරණ ය. ඒ කාරණ වූ මෙත්තාව නිසා පැවැති කුශල ය අකුශල් නසන හෙයින් වෛර නමැති ගින්න නිවා පිය යි නිවා ලන්ට බැරි මහ ගින්න නිවී කලට අනික් ගිනි දසය ඒ ඒ ගින්නට කාරණ ව සිටනා ලෝභ කටයුතු වස්තුවෙහි ලෝභ නොකිරීම ආදි වූ දර නැති වේ. දර නැති වන්නා ම ආදි ඇවිළ තුබුව ත් නීව් යෙයි. එකොළොස් ගිනි ම නිවි කලට දිය කෑ කුඹුර ගොයම් නැගීමට නිසි වන්නා සේ මෙත් නමැති දිය කවා මොළොක් කළ සිත් නමැති කුඹුර ශීල සමාධ්‍යාදි ගුණ ධර්‍ම නැමැති බිජුවටින් ලොවී ලොවුතුරා සැප ත් නැමැති වී සම්පත් සාධා දීල’යි කියා වදාරා ප්‍රාණවධාදි වූ බැරෑරුම් කර්‍මාන්ත කොට විඩා වූ හෙයින් නිවන් පුර යන්ට ශක්ති නැති යකින්නට යන්ට බල කොට ශ්‍රෝත ආපත්ති නමැති මාර්‍ග ය බල කරවා ලා මතුමත්තෙහි මාර්ගාධිගම ඵලාධිගම නමැති බතක් සාලක් සසර කතරින් එතර වන්ට කොට ගන්නා තෙක් ශ්‍රෝත ආපත්ති ඵල නමැති සාල් සුඟක් විවසුන් මඟට ලවා ලූ සේක. ඒ යකින්නි ද තමා යකින්නි හෙයින් ප්‍රතිනියත වාසස්ථානයක් නැති වන්නා නව ලොවුතුරා දහම් නමැති නව මාල් මාළිගාවෙන් සෙසු ත් හිඳින වුන් ඇති හෙයින් ගබඩාවක් පමණ ලදින් ආර්‍ය්‍ය ජාති නමැති දිව අත්බැවු ලැබීමෙන් එහි වසන්ට නිසි ව නො එක් ලෙසින් පිළිකුල් වූ මිනී මස් හැර නිවන් රස ලද.
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද ය පිට වැද හොත් කුමාරයන්ගේ මෑණියන් බණවා ලා පයට බර ව ගත්තා සේ ‘තෙල කුමාරයා යකින්නට වඩා ලව’යි වදාළ සේක. ඔහු “ස්වාමීනි, ඈට වඩා ලන්ට බමි” කිවු ය. ‘තෙපි නොබව. දහසක් ඇඟිලි කපා ගුරු පූජාව කෙරෙමි’යි කියා බොහෝ දෙනා මරා වියවුල් කළ අඟුල් මල් මහ තෙරුන් දැන් කුහුඹුවකු පමණට ත් හානි නො කරණ ලෙස කෙළෙමි. උන් පිරිත් බණන්නට හුන් අස්න සෝධා හැර ගත් පැන් සියලු උවදුරු නස යි. පිරිත් බිණූ පිරිත් පැන් බී ප්‍රසව වේදනා නැතිව දරුවන් වදති. මහෞෂධ පණ්ඩිත කල මෙ සේ ම යකින්නක් කන්ට අල්වා ගත් කුමාරයා කෑ ත්[3] නො දී ඒ ජාතිය මුළුල්ලෙහි පස් පවින් දුරු කරවන්නෙම් හුදෙක් මා ගේ ප්‍රඥානුභාවයෙන් දුරු කරවාලීමි. බුදු වූ මා තෙල යකිනි මිනී මස් කන ලෙස තබා ලා වඩන්ට කියති සිතවු ද? ඇගෙන් කුමාරයන්ට වන හානි නැති. මාගේ ශ්‍රී පාදයෙහි ගෑවුණු තෙනැත්තේ යකින්නකට නො ගෑවෙ’යි වදාරන්නා වඩාලුව, වදාරන්නා ම බුදුන් ගේ ශ්‍රී ශරීරයෙන් කුමාරයා ලත් ශෝභාව තමාට ත් එවා ගන්නාක් මෙන් කුමරුන් සනා පියා මෑණියන් අත වඩා ලා ශෝභා තේජස් ඇස වැද ගෙන ඇසින් දිය වැගිරෙන්නා සේ හඬන්නට වන.
බුදුහු අඬන නියාව දැක ‘මා කරා ආ කෙනෙකුන් නිවන් සම්පත් ලදින් සතුටු ව යන කෙනකුන් මුත් අඬා ගෙන යන්නෝ නැත. ලොවුතුරා සැපත මඳ හෙයින් හඬන්නා හඬනැ’යි වදාළ සේක. යකිනි ඒ අසා ‘ස්වාමීනි, මම පෙර එක බඩ නිසා ප්‍රාණ වධ කොට ත් කුස පුරා නො ලැබෙමි. අද පටන් ප්‍රාණ වධයක් නොකරන හෙයින් හා ලද්දා වූ නිවන් රසයෙන් සිත පිනවීම පමණක් මුත් ශරීරගත ඕජාවට උපස්තම්භක වන්ට නිවන් රස ය අසමර්‍ථ හෙයින් ජීවත් වීම කෙසේ දෝ යි සිතා හඬමි’යි කිව. බුදුහු ඒ වේලෙහි යකින්න අස්වසා ලා උපාසිකාවට වදාරන සේක් ‘තුලුන් කැඳවා ගෙන ගොසින් භය නො කොට තොපගේ ගෙයි රඳවා ලා පිසූ දෙයකින් පළමු කොට තුලුන්ට දී රකුව’යි වදාළ සේක.
ඔහු ද උන් කැඳවා ගෙන ගොසින් ගෙයි වස් යට හිඳුවා ලා ඉදි කළ දෙයින් ආදි කොට උන්ට දී පසු ව තුමූ කති. බිම්වල වී ලා ගෙන පහරිනා කලට ඔසවා ලූ මෝල් යකින්ණියන් ඇඟ වැද ගන්ති. ඉන් මුළා විඳ පියා තමන් දැමිටු හෙයින් අනිකක් කට නොහී යෙහෙළිව සිටි උපාසිකාවන්ට ‘මෙතන රඳා හිඳිනට අපාසු ය. අනික් තෙනක ලව’යි කියා එතනින් ගෙන ගොස් පෑර අන්තයෙහි මෝල් තබන ගෙයි ලා ලූ ය. එ තන රඳා උන් කලට කළ අකුසලෙහි අපායගාමි අවස්ථාව නටත් ඒ නට හෙයින් ප්‍රතිසන්ධි විපාක නැත ත් ප්‍රවෘත්ති විපාක ඇති හෙයින් දම දමා ලූ මෝල් හිස වැද ගන්නා-එ තැනැත් අඵාසු නියාව කියා එතැනින් ගෙන ගොසින් පැන් නඟන සැළ මුල හිඳුවා ලූ කල්හි කුඩා කොල්ලන් අත කට සෝධන කල දමන ඉඳුල් පැන් හිසට දමන හෙයින් ඒ අඵාසුව ත් කියා එ තැනින් ගෙන ගොස් ළිප් පිටි පස හිඳුවා ලන්නා එ තැනට ඇඟට කිලි පොළ පොළා අනික් සමවායක් නැති හෙයින් සමවායට වැද හෝනා සේ බල්ලන් වැද හෝනා ඒ අඵාසුව ත් කියා එතැනින් ගෙන ගොස් සේනන්කන හිඳුවා ලන්නා කුඩා කොල්ලන් මූ වස් කිස[4]කරණ හෙයින් ඒ අඵාසුව ත් කියා එ තැනින් ගෙන ගොස් බොහෝ දෙනා කසළ දමන කසළ ගොඩ රඳවා ලූ කල්හි කුලු පුරා කසළ ගෙන වුත් හිස වසා දමන හෙයින් ඒ ගහට ත් කියා එ තැනින් ගෙන ගොස් ගම් දොරකඩ ලා ලූ කල්හි විදමන් උගන්නා කුඩා කොල්ලන් කෙළියට මුන් ම නිල කොට විඳිනා හෙයින් ඒ ගහය ත් කී කල්හි එ තැනින් ගෙන ගොසින් ගමින් පිටත ජන සඤ්චාර ය මඳ තැනක රඳවා ලා කැඳ බත් දී රකිති.
ඌ එ තැන හිඳ එ තැනට ගිය තැන් පටන් කිසිත් අඵාසුවක් නැති හෙයින් කැඳ බත් දෙන ගෙට ‘මේ හවුරුදු වැසි දිය සුලභ ය. මඩ වප් කුණු වේ. නමුත් ගොඩ මානාචාරී තණ වපුර ව. මේ හවුරුදු වැසි දිය නැත. ගොඩ ගොයම් මිය යේ. නමුත් මඩ ගොයම් කරව’යි කියති. උන් ගේ උපදෙසින් උන් කළ ගොයම් කල් දැන කරණ හෙයින් නො නස්සී. සෙස්සවුන්ට එ සේ නැති හෙයින් ඌ හැම අවුත් ‘මුඛ කළ කළ දෙ යක් නො නස්නට ත් අප කළ දෙයෙහි ශ්‍රෙයස් නැති වන්ටත් කාරණ කිම් දැ’යි විචාරති.
ඌ හැම ඒ අසා ‘හැයි අපනිරන්තර ව කැඳ-බත් හැර ගෙන ගමින් පිටත යන නියාව නො දකු ද? අප ත් ඒ ගෙන යන්නේ එක් යකින්නණි කෙණෙකුන්ට ය. ඌ වැසි ඇති නැති අවධිය කියා ලති. උන් නිසා අප කළ දෙයෙක් නො වරද්දී. තෙපි හැම ත් අප කරණ ලෙස ම කරව් නම් තොපට ත් අමුතු මුසුප්පුවක් නැති හෙයින් එ සේ ම කියති’ කීහ. නුවර ඇත්තෝ මුළුල්ල ත් එ ලෙස ම සත්කාර කොට උන් ගේ සමවායෙන් ගොයමින් බතින් අඩුවක් නැති වූහ. උයි ත් මහත් වූ ලාභ සත්කාර ඇති ව කාළිබරාඬි ය යි ප්‍රසිද්ධ ව ලාබත් අටකු ත් තබා ලු ය. ඒ ලාබත් අටුවා කරණ කල් දක්වා පැත්තේ ය.
එ සේ හෙයින් වෛර නම් මහා ආදීනව කරණ අකුසලක් හෙයින් ඒ හැර මෙත් සිත් නම් බලවත් අනුසස් එකොළොසක් සාධා දී ලන කුසල් හෙයින් එහි:-
“මෙත්තා රහිත පොසෙන – නත්‍ථි පාපං අකාරියං,
මෙත්තා සහිත පොසෙන - නත්‍ථි පුඤ්ඤං අකාරියං”
යනු හෙයින් එහි පිහිටා සිත් සතන් පිරිසිදු කළමනා බැවින් බුදුන් කරා පැමිණෙන්ට ඒ බුදුන් පිරිනිවිය ත් මේ සද්ධර්‍මරත්නාවලී බුදුන් කරා පැමිණ ආදීනව අසා දත් වෛර හැර අනුසස් ඇසූ මෙත් සිත පිහිටා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.