7. ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ කථාව

star_outline

තව ද යම් කෙනෙක් කීකරු නො වෙත් නම් කීකරු නො වීමෙහි දෝෂ මිළිඳු රජ්ජුරුවන් එක් ජාතියක දමන්ට කියා ලූ කසළ පසු ව දමත ත්, කළ නොකීකරු කම නිසා එ වක හැමඳ එක් කළ කසළ මුසුන් දඬු පහරින් දැම්ම වූ නාගසේන මහ තෙරුන් වහන්සේ දැක ගුරුළුන් දැක නයින් ගේ ආනුභාව නැති වූවා සේ අනුභාව නැති ව මිළිඳු රජ්ජුරුවන් බා ගිය ගමනින් ම දැනෙත ත් අනිකුත් කථාන්තරයකින් ඊ ම දෝෂ දක්වනු පිණිස ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේද? යත්:

ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ නම් සුද්ධෝදන රජ්ජුරුවන් ගේ නැගණි කෙනෙකුන් ගේ පුතණුවන් වහන්සේ ය. ඔබ වැළි ත් ගොයම් කළ මනා වක තබා පියා කල් පසු කොට කරණ ගොයමක් සේ පිළිවෙත් පිරීමට යෝග්‍ය වූ බාල අවස්ථාව ගිහි ගෙයි ම රඳා වැඩි මාලු කල මහණ ව රූක්‍ෂ ප්‍රතිපත්ති නැමැති රළු පරළු දෙය හැර බුදුන්ට උපන් මියුරු ආහාර සුව සේ වළඳා පිළිවෙතින් සීන් වුව ත් මසින් ලෙයින් මහත් ව ඉසත් බඩ ත් මහත් හෙයින් ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ ව මට සිලුටු වූ සීන් සිවුරු වැළඳ පියා ආඪ්‍ය තරම් හඟවනු නිසා විහාර මධ්‍යයෙහි බොහෝ තැන් රැස් වන හෙයින් උස් ව තිබෙන හස්නකට නැඟී පියා බොහෝ සේ හිඳිනා සේක. බුදුන් දක්නට යන එන වහන්දෑ බුඩ්ඩ පබ්බජිත තෙරුන් වහන්සේ දැක වැඩි මාලු කල මහණ වූ නියාව නොදැන මහ තෙර කෙනෙකුන් වහන්සේ වනැ’යි සිතා ළඟට ගොසින් කළ මනා වත් පිළිවෙතු ත් විචාරණ සේක. එ සේ විචාළ කලට බසක් කියා ලූවොත් බාල නියාව කියා ලන ව්‍යවහාර ලෙසින් හැඟෙති’යි බැණ නො නැඟෙන සේක.

එක් බාල නමෙක් කරණ ලෙසින් මසැක ඇතිව විමසනු නිසා වස් ගණන් විචාරා වස් ගණන් කියන්ට නැත. වැඩි මාලු කල මහණ වූම්හ’යි කී කල් හි ‘හැයි නො හික්මුණු මාල්ලණුවෙනි, වයසින් වැඩි මාලු වුවත් පැවිද්දෙන් තමන් බාල නියාව නොදන්නා නියා ද? වැඩි මාලු වහන්දෑ දුටු කල බිම හස්නෙක හුනත් නැඟී සිටිනා ආකාර දක්වා අවසර ලදින් හුන මනා තැන සසර බැඳ රඳවන්නට හිඳවා ලූ කණුවක් සේ නැඟී නොසිට හිඳින්නේ ත් හැයි ද? විචාළ දෙයට බැණ නොනැඟෙන්ට යුක්තියකු ත් මේ බුදු සස්නෙහි ඇද්ද? සෙසු වහන්දෑ කරණ ලෙස තමන් ඇසට නො පෙනෙන නියා ද? උසින් මහතින් මහත් බව මුත් කට යුත්තෙන් මහත් නො වන්ට කාරණ කිම් දැ’යි සකාරණ කොට බොහෝ දෑ කී සේක. එ කල්හි ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගුණයක් නිසා සැබෑ ගුණයක් වී නම් උපදනා අභිමාන නැති හෙයින් රජ කුලෙහි උපන් හෙයින් ජාති ය නිසා අභිමානයක් උපදවා තමන් හැම යන්නේ කවුරුන් ළඟට දැ’යි විචාරා බුදුන් ළඟට ය යි කී කල්හි එ සේ කල තමන් හැම මා ගේ තරම් නොදන්ට කාරණ කිම් ද, මම තමන් හැම දෙනා ගේ බුදුන්ට අවශ්‍ය යෙමි. තමන් හැම ගේ ත් අවශ්‍ය කමෙක් ඇද්ද? තමන් ගේ බුදුන් ගේ පිය රජ්ජුරුවෝ ත් අපගේ මෑණියෝ ත් දෙ බින්නෝ ය. අප ගේ තරම් නො දැන තමන් හැම අපට දෙඩූ සැටියට බුදුන්ගේ නෑ කම් සැබෑ වී නම් අද කියටි කියවමි’යි බුදුන් කුමක් වදාරණ බවත් නොදැනම නියං සමයේ හඬන ආසක් මෙන් ගර්ජන කොට ගෙන හඬමින් වලපමින් බුදුන් කරා ගිය සේක.

හඬන හඬ ත් අවශ්‍ය බන්ධු ව සිටි නන්‍ද මහ තෙරුන් වහන්සේ ත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ත් ආනන්‍ද මහ තෙරුන් වහන්සේ ත් රාහුල මහ තෙරුන් වහන්සේ ත් ඇතුළු තැන් අධිගමත් ලැබ ඒ ඒ ලෙසින් ප්‍රසිද්ධ වූවා සේ තමා එ තරමක් එවා ගන්ට නුවූ හෙයින් වී නම් තව ත් යහපත. එ සේ නො ව හැඬීම උන් වහන්සේට ම තරම් වත් මුත් තරම් නැති තැනකට කවර කලෙක ත් තරම් නොවෙ යි බුදුහු හඬන කාරණ දනිත ත් හැයි තිස්ස යෙනි, හඬ වූ නැ’යි විචාළ සේක.

වහන්දෑත් ‘මූ පෙරාතු ගොසින් ආලෝහළයක් උපදවා පියත් නමුත්’ය යි කැටි ව ම ගොසින් බුදුන් වැඳ ලා හුන් සේක. තිස්ස තෙරුන් වහන්සේද? විචාරා වදාළ බුදුරජුන් වහන්සේට ‘ස්වාමීනි, මූ හැම දෙන මා ගේ තරම කුමක් වුව ත් ස්වාමීන් ගේ තරමු ත් නොසලකා මට බිණූය’යි කී සේක. ‘හැයි තොප හුන්නේ කොයිද? කොයි හුන්නවුන්ට බිණු දෑ’යි විචාරා ‘බොහෝ වහන් දෑ රැස්වන ගෙයි හුන්නෙමි’යි කී කල්හි ‘තෙපි මුන් එන්නවුන් දුටු දැ’යි විචාළ සේක. එ සේ ය දිටිමි’ කී කල්හි ‘දැක නැඟී සිට පෙර ගමන් කළා ද, පා සිවුරු ඉල් වූ ද? හිඳිනා අසුන් පනවා ලා සේධූ ද? පැන් පවස් විචාළා ද? ඇඟට පත් සැලූ ද? පය තෙල් ගැවූ දැ’යි. විචාරා වදාරා ඒ හැම ම නැතැ යි කී කල්හි ‘හෙම්බා තිස්සයෙනි, මා ගේ ශාසනයට ජාතියෙන් හා ගෝත්‍රයෙන් හා වයසින් හා තරමින් හා ප්‍රයෝජන නැත. තෙල සියල්ලම තොප කළ මනා දෙය ය. නො කෙළේ වැරැද්ද වත් නො පිරූ කලට සිල් කෙසේ පිරේ ද? සිල් නො පිරුණු කලට නිවන් සෑදෙන්නේ කෙසේ ද? කළ වැරැද්දට තුලුන් හැම ක්‍ෂමා කරවා ගනුව. සබ්‍රම්සරුන් කෙරෙහි ආදර ගෞරව ත් ඇති ව වත්පිළිවෙත ත් නො පමා ව හැසිරෙව’යි වදාළ සේක.

‘ස්වාමීනි, මුන් හැම මට බැණ ලූ නියාව තරම. මම බිණීමුත් අසා මම ම ක්‍ෂමා ත් කරවම් දැ’යි බුදුන්ටත් පටහැණි ව ම සිටි සේක. වහන් දෑ ‘මූ අපට කීකරු වන්නේ කෙසේද? බුදුන්ට ත් නො කීකරු ව සිටිති. අනේ මුන් ගේ නො කීකරු කමක් බලවත් නියා ය. මුන් තමන් සේ ම නො කීකරු කම ත් මහතැ’යි වදාළ සේක. බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බා මහණෙනි, මූ නො කීකරු වූ යේ දැන් මතු නො වෙයි. යටගිය දවස ත් නො කීකරු ම ය’යි වදාරා ලා එ තනට රැස් වූ වහන් දෑ ‘දැන් ස්වාමීනි, මුන් නො කීකරු නියාව මුඹ වහන්සේ අතින් නො අසා ත් අපි ම දතුම්හ. යටගිය දවස මුන් නො කීකරු පරිදි වදාළොත් යහපතැ’යි කී කල්හි ඉකුත් වත් ගෙනහැර දක්වන සේක් -

යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ්ජුරු කෙනෙකුන් රජ කරණ කල්හි දෙවළ නම් තවුසාණ කෙනෙක් හිම ත් ගිමන් අට මස හිමවත වැස පියා වස් සාරමස ලුණු-ඇඹුල් මුසු දෙයක් අනුභව කරණු නිසා බරණැස් නුවර වසන පිණිස හිමාලයෙන් අවුත් නුවර වාසල ළඟ සිටි කුඩා සුඟුන් අතින් සැතපෙන්නට නිසි කෙනෙක් විචාරා කුඹල් හල ඵාසු ය යි කී කල්හි ඔබ ගොසින් කුඹලාණන් අතින් සැතපෙන්ට අවසර ඉල්වු ය. රෑ දවස් කරන කර්මාන්ත නැති බැවිනු ත් කුඹල් හල මහත ඇති බැවිනුත් සැතපුණ මැනවැ’යි අවසර දුන්හ. අවසර ලදින් ගොස් හුන් කල්හි නාරද නම් වූ අනික් තවුසාණ කෙනෙක් එ දවස් ම හිමාලයෙන් අවුත් එම කුඹල් හලින් සැතපෙන්ට අවසර ඉල්වූ ය- කුඹලාණෝ තවුසන් දෙන්නා එක් ව සැතපෙන බව ත් නො සැතපෙන බව ත් නො දැන පසුව විවාදයක් වුවත් අපවාදයෙන් තමන් මිදෙන පිණිස ආදී ත් තවුසාණ කෙනකුන් දෑ අවුත් කුඹල් හල උන් සේක. ඔබ ත් රුචි නම් මා ගෙ ත් පින් පිරෙන සෙයින් අමුතු නැත. සැතපුන මැනව’යි කිවු ය.

පසු ව පියා ගිය නාරද තවුසෝ ද කුඹල් හල ඇතුළට වැද දෙවළ තවුසන්ට ‘ඉදින් අභිප්‍රාය ඇත්නම් අපිත් මෙහි සැතපෙම්හ’යි කිවු ය. කුඹල් හල කුඩා නො වත් එක් තෙනක සැතපෙව යි දෙවළ තවුසන් කී කල්හි පසු ව ලා ගිය නාරද තවුසෝ මෑත්ව ලා හිඳ සාද සාමීචි කථා ත් කොට පියා වැද හෝනා වේ ලෙහි තමන් සඤ්ඤතකාරි බැවින් පළමු සැතපෙන්ට සැලසුන දෙවළ තවුසන් වැද හොත් තැන ත් දොර කඩක් සලකා ම නො මැඬ නැඟී යන ලෙසට සැතපුණාහු ය. පළමු ගිය දෙවළ තවුසෝ සැතපෙන ගමනේ තමන් තපසට වන් බව මුත් ඉතා අසඤ්ඤත බැවින් උන් තැනින් අවුත් දොරකඩ ම වැද හොත්හ.

පසුව ගිය නාදර තවුසෝ රෑ නැඟී සිට දොරට යන්නෝ අවුරා වැද හොත් දෙවළ තවුසන් ගේ හිස මැඬපූ ය. ‘මා හිස මැඬුවෝ, කවුරු’දෑ විචාළ කල්හි දොර මෑත් නො වන්ට අවුරාලා ලූ දඬු කඩක් සේ දොර කඩ අවුරා වැද හොත් නියා ව නො දත් හෙයින් ‛ආචාරිනී, මම ය’යි කිවු ය. ඒ අසා දෙවළයෝ කාය සඤ්ඤමය නැත්තා සේ වාක් සඤ්ඤමය ත් නැති බැවින් හැයි සොර දුළුල්ල, වල සිට එන්නෙහි මා ගේ හිස මඬිනට ඇයි දැ’යි කිවු ය. ‘ආචාරිනී, මා දැන කළ දෙයක් නො වෙයි. ක්‍ෂමා කළ මැනවැ’යි කියා ලා උන් දෙඩිය දී ම නාරද තවුසෝ පිටතට ගියෝ ය. දෙවළ තවුසෝ යන ගමනේ මිරිකුවා මඳින් උදවු වනු නිසා එන ගමනෙත් මිරිකා පී නම් නපුරැ යි පා මුලට හිස ලා ලා හිස් දොරට පය ලා වැද හොත්තෝ ය.

නාරද තවුසෝ පෙරළා ගෙට වදනා ගමනේ ‘ආදී මේ කන්නෙන් අවුත් හිස මිරිකා පීමි. මෙ විට පා මුලින් යෙමි. එ සේ කලට මැඬී ගියේ නමුත් අතින් වුව ත් මැඬිය යුතු වූ පය මැඬියෙ යි හිස් දොරින් ගොසින් පෙරළා ත් හිස මැ - ගියේ නම් ක්‍ෂමා කරවන්නට ත් බැරි ලෙසින් කෝපය තර වෙයි. පා මුලින් යෙමි’යි සිතා යන්නෝ තමන් දෑ නො වරදනා බව මුත් අර මුන් කොට වරද්දන හෙයින් වර පෙරැළි වැද හොත්තා වන්නා බැණ නැඟ නො දෙන්ට කළාක් මෙන් බොටුව මැඬ පියා කවුරුදැ යි විචාළ කල්හි ‘ආචාරිනී, මම ය’යි කිවු ය. ‘හැයි සොර දුළුල්ල, පළමු දොරට නික්මෙන ගමනේ ත්, හිස මිරිකා ගෙන ගොසින් පෙරළා එන ගමනේ ත් නිමවන්ට කරන්නාක් මෙන් බොටුව මිරිකා ගෙන යෙයි. සැතපෙන්ට අවසර දුන්නේ වරද වී නම් ඒ හැර මා ගේ අනික් වරද කවරේද? තෙල ලෙසම දුෂ්ට කම් කරණ කල තට හැවිල්ලක් හවමි’යි දෙවළ තවුසෝ කිවු ය.

ඒ අසා නාරද තවුසෝ ‘ආචාරීනි, මා ගේ වරදෙක් නැත. මෙසේ වර පෙරැළිව වැද හෝනා නියාව නොදැන පා මුලින් යන ගමන ක්‍ෂමා කළ මැනව. තවුස්වරු නම් ක්‍ෂමා වෙත් දැ’ යි කිවු ය. හේ ‘ක්‍ෂමා කරවන්නේ හිස පයින් ඇන පියා වේ ද? ක්‍ෂමා කොට වුව ත් හව්මි’ කී ය. නාරද තවුසන් ‘මා දැන කළ දෙයෙක් නො වෙයි. භවන්ට නොකැමැත්තේ’ ය කිවත් තවුසෝ තමන් ඉතා නො කීකරු හෙයිනුත් අනික් තාපසයන්ගේ ආනුභාවය නොදත් හෙයිනුත් දැන කළ දෙයෙක් නො වෙයි කිවත්-

“සහස්සරංසී සතතෙජො - සුරියො තමවිනොදනො

පාතොදයන්තෙ සුරියෙ - මුද්ධා තෙ ඵලතු සත්තධා”

යනු හෙයින් ‘මා හිස දෙ විටක් කොට පයින් මිරිකුවාට සෙට නැඟිහිරින් තා හිස සත් කඩක්ව පැළී යේව’ යි හැවූ ය. නාරද තවුසෝ ද ‘ආචාරීනි, මා ගේ වරදෙක් නැත. නැතැ යි කීවත් නො හදහා හැවූ බැවින් වරද යම් කෙනෙකුන් කෙරෙහි වී නම් දෙනුන් හැඳින වස්සන් යන්නා සේ ඒ හැවිල්ල උන් කරා ම යේව’යි කියා ලා තමන් අභිඥාලාභී ව අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතළිස් කපක් හා එක් ව අසූ කපක් බලන්ට සමර්‍ථ හෙයින් මේ හැවිල්ල කවුරුන්ට පැමිණේ දෝ හෝ යි දිවැසින් බලා උඩු සුළඟ සිට දැමූ රඬු දැමුවන් කරා ම යන්නා සේ ආචාරීන්ට ම පැමිණේ යි දැන සියලු ලෙඩම සන්හිඳුවන දිව බෙහෙදක් සේ එකද කෙනෙකුන් නො තෝරා තවුසන් කෙරෙහි කරුණාවෙන් තමන් ගේ ආනුභාවයෙන් රාත්‍රියේ තිස් පෑ ඉකුත් නැගෙත හිර, නැංග නුදුන්හ.

නුවර ඇත්තෝ ත් හිර නො නැගෙන්නා ම රජ්ජුරුවන් කරා ගොසින් ‘මුඹ වහන්සේ රජ කමට පටන් ගෙන මෙ තෙක් දවස් නැඟෙන හිර අද මෙ තෙක් වේලා වන තෙක් නො නැඟෙයි. රට තොටවලින් හවුරුදු නොඉක්මවා බද්ද නංවන්නා සේම අද ත් දවස ඉකුත් නොකර හිර නැංගුව මැනැවැ’ යි කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා තමන් ගේ නො මැදහත් කමක් නිසා වූ දෙයෙක් දෝ හෝ යි තමන් ගේ‍ වැරදි විමසන්නෝ කිසි වැරැද්දකුත් නැති හෙයින් ම නො දැක කාරණ සලකන්නෝ තාපසවරුන් ගේ විවාද නිසා ත් වෙ යි- දැන ‘කිමෙක් ද, මේ නුවර තාපසවරු ඇද්ද? එසේ වූ කෙනෙක් ඇත් නම් ඌ තමන්ගේ ආනුභාවයෙන් හිරු නැංග නො දෙන සේ ත් දනිති. එ බඳු කෙනෙක් ඇද්දැ’ යි රජ්ජුරුවන් විචාළ කල්හි නුවර කුඹල් හල තවුසන් දෙන්නකු ලැගි නියාව කිවු ය. රජ්ජුරුවෝ එ වේලේ ම විලක්කු ලවා ගෙන ගොසින් නාරද තවුසන් වැඳලා එකත් පස්ව හිඳ ‘තපස්වීන් වහන්ස, මෙ තෙක් දවස් හිර නැඟෙන වේලාවට අද හිර නො නැඟෙයි. තවත්-

“කම්මන්තා නප්පවත්තන්ති – ජම්බුදීපස්ස නාරද,

කෙන ලොකො තමො භූතො - තම්මේ අක්ඛාහි පුච්ඡිතො”

යනු හෙයින් සී-වප් ආදී කර්‍මාන්තත් කරන්ට නැතැ යි අඳුරු වත් තිබෙ යි. කාරණ කිම් දැ’ යි කිවූ ය. නාරද තවුසෝ ආද්‍යන්ත මුළුල්ල ම කියා ලා ‘නිරපරාධ වූ මට හවා ලූ හැවිල්ල මුල් ව ම පැමිණ හිර නැඟි කලට මේ තවුසන් ගේ හිස සත් කඩක් පැළෙන නියාව දැන මා ම මුල් ව පැළෙන හිස මහ මෙර පරයා ඉස් දන් දෙන මා උන් ගේ ම හිස උන්ට දුන මනා හෙයින් උන් කෙරේ කරුණාවෙන් පාන් විය නො දෙන්නෙම් මම ය’යි කිවු ය. රජ්ජුරුවෝ තමා ම ලා ලූ ගිනි තමා ම නිවන්නට බැරියා සේ සමහරෙක් නසන්ට පිළිවන් වුව ත් වවන්ට බැරිය. එසේ හෙයින් හිර නංවා ලන්ට ත් පිළිවන් ද? තෙල තවුසන් ගේ හිස ත් නොපැළේ දැ’ යි විචාළෝ ය. ‘ආචා‍ර්යෝපවාද දෙසා ගත් කල සග මොකට ඩහක් නැත්තා සේ මා ක්‍ෂමා කරවා ගත්තු නම් හිරත් නැගෙයි. මුන් ගේ හිසට වන හානි ත් නැතැ’යි කිවුය.

ඒ අසා රජ්ජුරුවෝ දෙවළ තවුසන් කරා ගොසින් ‘සමහර විෂයක් බානා කල දෂ්ට කළ සර්පයා ලවාම උරවා ගන්නා සේ මේ වියවුලත් මුඹ වහන්සේ මුල්ව මැවූ හෙයින් අනික් කෙනෙකුන් හළ හැක්කේ නො වෙ යි. ගුණ සම්පන්න තවුසාණන් ක්‍ෂමා කරවා මේ අවුල පසුන යහපතැ’යි කිවුය. පිස නපුරු වූ බතක් සාලීන් ම තිබී නො ගොස් පිස ගන්ට බැරි වන්නා සේ නො කීකරුම තැනැත්තවුන් හෙයින් මේ සා වියවුලක් බල බලා ත් ක්‍ෂමා කරන්ට මැළියෝ ම ය. උන් හිස සත් කඩක් ව පැළෙත ත් සිත සත්කඩක් ව නො පැළෙන හෙයින් නො පැළෙන සිත තර කොට ගෙන ක්‍ෂමා නො කරවන්ට තර නියාව දැන මුන් නිෂ්කර්මික තෙනත්තන් හෙයින් මුන්ට හිර නැඟීමෙන් ප්‍රයෝජන නැත ත් අප ගේ රට පාළු වන හෙයින් අපට හිර නැංග මනා වේ දැ’ යි නොකැමැති කරවා ම අල්වා ගෙන නාරද තවුසන් කරා ගෙන ගොසින් වඳවා හොවා ලූ ය.

නාරද තවුසෝ ද මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි ධර්ම යුද්ධයට ආ කේවට්ටයන් මැණිකක් පෑ ලා පා මුලට නැඹුරු කරවා ගෙන පිටි කර හා පිටි මුල අල්වා ගෙන නළල බිම උලා පියා ‘ආචාරීනි, නැගී සිටුව’යි කියන වහන්සේ කෙනෙකුන් හෙයින් “ආචාරීනි නැගී සිටිය මැනැවැ යි, ක්‍ෂමා කෙරෙමි”යි කියා ලා “මහරජ මුන් තමන් ගේ සෑදෑයකින් කැරවූ ක්‍ෂමාවක් නොවන හෙයින් හිරු නැඟි කලට හිස පැළෙන්ට බාධා නැත. අවශ්‍යයෙන් හිස නො පැළුණ මනා වී නම් මෙතනට ම නුදුරු එක් විලෙක් ඇත. ඊ ගෙන ගොසින් කර වටක් පමණ දියෙහි සිටුවා ලා හැනූ මැටි පිඬක් හිස තබවා ලව’යි කිවු ය. රජ්ජුරුවෝ ත් එලෙසම කැරැවුය. නාරද තවුසාණෝ ද දේවළ තවුසන්ට ‘මා ඍද්ධිය හළ කල්හි හිරු නැගෙන්නාම දිය කිමිඳ පියා අනික් තෙනකින් හිස ඔසවා පිව මැනැවැ’යි කිවු ය. කියා ලා ඍද්ධිය හරනා ම හිරු නැඟි නැඟී හිරු රසින් හිස් මුඳුනේ තිබූ මැටි පිඬ සත් කඩක් ව පැළී හිස වුවත් මේ තරමේ ම පැළී යෙයි හඟවා නාරද තවුසන් අර්හත් මාර්‍ගඥාන නමැති පොරොවින් අවිද්‍යා නමැති බොහෝ හිස් පලන්ට බල ඇති නියාවත් භඟවා රජ්ජුරුවන් ඇතුළු වූ බොහෝ දෙනාගේ බය අඳුරත් නිකම් අඳුර ත් දුරු කළ හ.

බුදුහු මේ ජාතක දෙශනාව ගෙන හැර වදාරා ලා ‘හෙම්බා මහණෙනි, එ කල රජ්ජුරුවෝ නම් දැන් අනඳ මහ තෙරහු ය. ඒ සා මහත් නො කීකරු කමුත් කොට කුඹල් හල සැතපුණාට තරම් ව මැටි පිඬ හිස තබා ගෙන දේවළ තවුසා නම් මැටි පිඬෙකින් සරි නුව ත් නො කීකරු කමින් සරි වූ ථුල්ලතිස්ස තෙරහු ය. නාරද තවුසාණෝ නම් සම තිස් පැරුම් පුරා නිමවා බුදු වූ මම් ම ය’ යි වදාරා ‘මුහු ගේ මේ නොකීකරු කම් එවක පටන් අභ්‍යාස ය’ යි වදාරා ලා ඉක්බිති තිස්ස තෙරුන් වහන්සේ බණවා ලා ‘හෙම්බල මහණ, යම් කෙනෙක් තමන්ට දොඩාපුව යි බැණපු ව යි කියා හෝ, මැරුව යි තැළු ව යි කියා හෝ වාද විවාද කොට පරදවා පිය යි කියා හෝ, වරදවා තමන් සතු දෙයක් හැර ගත්ත යි කියා හෝ, එකක් මුල්ව වෛර කොට ගෙන තමන්ට සාර වූ ඒ වෛර නමැති වස්තුව ඒ ඒ පුද්ගල සන්තාන නමැති වළඳලා සිත් නමැති ලණුවෙන් තර කොට බැඳ තබා ගත්තෝ වී නම්, උන්ට ම සාර වූ භය කාරණය බුද්ධාදී වූ නුවණැති කෙනකුන් විසින් එක විට ම ඇද හසුරුවා නො පියා සෙමෙන් සෙමෙන් උනා අතට හැර ගෙන අත නො පෙවෙන තෙනට දමා පීමෙක් නොවී නම් බැඳලූ බැම්ම තර හෙයින් නැති ව යන්ට නො ව ඒ බැම්ම ත් දිරා ඒ වළන් බිඳුන ත් අනික් වළන්වල ලා අනික් ලණුවකින් බැඳ තර කොට තබන හෙයින් නො නසී’යි වදාරා ලා ‘යම් කෙනෙක් මෙ ලෙස නො කොට අනුන් මට දොඩන්නෙ ත් බණන්නෙ ත් තළන්නෙ ත් සෙසු සෙසු ත් මට අඵාසු දෙය කරන්නෙ ත්, යට ගිය දවස මා උන්ට කළ දෙයක් නිසා ය. වන්නාට උන් හට කර්‍මාරෝපණය වුව ත් පැළය නැඟී මූකුරන කලට බිජුවට ඇට දිරා නැති වන්නා සේ මාගේ කර්‍මය ගෙවී නැති වේ”යි යනාදීන් සිතා වෛරය නොබඳිත් නම් උපනුපන් වෛරය ඒ ඒ විට ම කාරණ සලකා සන්හිඳුවා පියත් නම් සිදුරු ඇති කළයක වත් කළ පැන් නොරඳන කලක් මෙන් උන් කෙරෙහි සිටි’යි වදාළ සේක.

මේ බණ අසා ලක්‍ෂයක් දෙනා වහන්සේ ගෙන් කිසි කෙනෙකුන් වහන්සේ මුල් ව සිටිනා කෙලෙස් සතුරන් දස දෙනා ගෙන් නිවන් පුර වදනා සෝවාන් නමැති මහ වාසලට වැද්ද නො දෙන්ට දැපී සිටි සත්කාය දෘෂ්ටි ය, විචිකිත්සා ය, යන සතුරන් දෙන්නා තැන ම මරා සෝවාන් නමැති මහ වාසලින් නිවන්පුර වන් සේක. කිසිකෙනෙක් උන් දෙන්නා මරන්ටත් සහාය ව ලා එම වාසල නො සෑහෙන හෙයින් කාම රාග, ව්‍යාපාද යන සතුරන් දෙන්නා අවුරා සිටි සෙද ගැමි නමැති මහ වාසල් කරා ගොසින් උන් දෙන්නා පැන නො යන විතරකට මරා හොවා ඒ වාසලින් නිවන් පුර වන් සේක. කිසි කෙනෙක් උන් දෙන්නා දුර්‍වල කිරීමට ත් සහායව ලා සතුරන් ඇති ව වැඩක් නැති හෙයින් උන් දෙන්නා එතන මරා ඒ වාසලම මඳ හෙයින් අනගැමි නමැති මහ වාසලින් නිවන් පුර වන් සේක. කිසි කෙනෙක් තමන් වහන්සේ හැම ඉතා සපන් හෙයින් තුන් වාසල ම සටන් කොට ඉනු ත් ලද මනා ජය ලැබ තව අර්හත් මාර්‍ග නමැති මහ වාසල තුබූ හෙයිනු ත් ඒ අවුරා ඉතිරි කෙලෙස් සතුරන් සිටි හෙයිනු ත් උනුත් මරා කෙලෙස් සතුරන් මුල් සිඳ ඒ වාසලින් නිවන් පුර වන් සේක.

තිස්ස තෙරුන් වහන්සේ ද වයසින් හා නොකීකරු කමින් මූකළ වුව ත් නුවණ නුමූකළ හෙයින් අධීගමයකට එ දවස් නොපැමිණියත් නො කීකරුකම හැර කීකරු ව ඉදිරියෙහි ලබන ලොවී ලොවුතුරා ගුණ විශේෂයට භාජන වූ සේක.

එසේ හෙයින් සුජනයන් විසින් තිස්ස තෙරුන් වහන්සේ හළ මනා නො කීකරු කම හැර වුව මනා සුවච කම හැර ගෙන ලබන ගුණ විශේෂයට නිසි වූ වා සේ ම හළ මනා ම අකුසල් හෙයින් ඒ හැර වුවමනා කුසල් පමණක් ගෙන එහි හැසිර ලොවී ලොවුතුරා සැපත් සාධනු සඳහා සිත් සතන් පිරිසිදු කට යුතු.