තව ද කලභ කිරීමෙන් අසමඟි නිසා වන බොහෝ ආදීනවද කලහ නොකිරීමෙන් සමඟ වීම නිසා වන බොහෝ අනුසස් ද, හඟවන පිණිස කොසඹෑ නුවර වහන්දෑ ගේ වස්තුව කියමු.
හේ කෙසේද? යත්:-
කොසඹෑ නුවර ඝෝෂක සිටාණන් කරවා පිළිගැන් වූ එ නමින් ම ප්‍රසිද්ධ වූ වෙහෙර හදාළ විනයෙහි පිරිමැස්ම ඇති හෙයින් විනයාභියෝග ය ඇති විනයධර නමක් හා හදාළ විනයෙහි අභ්‍යාස මඳ ව බණ කීම් පමණක් ඇති ධර්‍ම කථික නමක් හා දෙනම පිරිවර වහන්දෑ පන් සිය-පන්සිය හැර ගෙන වසන සේක. ඒ දෙ නමින් ධර්‍ම කථික නම එක් දවසක් අත් පස් ගෙට ගොස් සිරුර කිස සපයා ගෙන උදක කෘත්‍ය ය කොට ඉතිරි පැන් වළඳ ම රඳවා විනයාභියොග නැති නියාවට ම පැන් නමා පියා ව ත් වළඳ නමන්නක් වත් වසා තබන්නක් වත් නො කොට නික්මුණු සේක. පසු ව විනයධර නම අත් පස් ගෙට වැඩි සේක් වළඳ නො වසා තුබූ පැනිත්ත දැක අත් පස සිට අවුත් ධර්‍ම කථික නම අතින් ඉතිරි පැන් නො දමා තබා වත් වැරැද්දුවෝ තුමූ දෑ’යි විචාළ සේක. ‘එ සේ ය අපි’ යයි කියා කී කල්හි ‘ඇවැත් ඇති නියාව දන්නේ නැද්දැ’යි විචාරා ‘එ සේ ය. නො දනුම්හ’යි කි කල්හි ‘එ සේ නො දනිතො ත් ඊට ඇවතක් නැතැ’යි කී සේක. ඒ අසා ධර්‍ම කථික නම ‘සාපත්තික කලට අපායොත්පත්ති වන හෙයින් එ ලෙස හිඳිනට කාරණ කිම් ද ? දෙසනාගාමිනී ඇවතක් බැවින් අවන් ඇවැත් දෙසමි. දෙසා මට පිරිසිදු එළව’යි කී සේක. විනයධර නම පෙරළා ‘නො දැන කළොත් සිහි නැති ව කළ හෙයින් ඇවැත් නැතැ’යි කී සේක.
ඒ අසා ධර්‍ම කථික නම බණ ම කියා ගිය පමණක් මුත් එ පමණක් තමන් වහන්සේ දන්නාට නැති හෙයින් ‘විනයධරනමගේ බසින් නිරැ වතිමී’ යන අදහස ඇති වූ සේක. විනයධර නම එ ලෙස ත් කියා ලා තමන් වහන්සේ නිසා වසන වහන්දෑට ‘මේ ධර්‍ම කථිකයාණෝ කෙසේ දෝ ඉගෙනගත් හෙයින් අනුන්ට බණ කියා ඇවිදිනා පමණක් මුත් පාන් කන්ද මුල අඳුරු නො හැරෙන්නා සේ තමන් ආපත්තියට අවදනා නියා ත් නොදනිතී’යි කියා ලූ සේක. ඒ ඇසූ වහන්දෑ ධර්‍ම කථික නම් ගේ වහන්දෑ දැක ‘තමන් හැම ගේ උපාධ්‍යායයෝ ඇවැතට ඇවද ත් ඇවැත් අවන් නියාව නො දනිත් ල’යි කී සේක. ඒ වහන්දෑ එ පවත් තමන් වහන්සේ ගේ උපාධ්‍යාය වූ ධර්‍ම කථික නමට කී සේක. ඔබ ඒ අසා ‘මේ විනයධරයාණෝ එ සේ ඒ පැන් තබා පීමෙහි නො දැන වී නම් ආපත්ති නැතැ යි ආදි කියා ලා දැන් ආපත්ති ඇතැ’යි කියත් ල. උන් කියන්නේ බොරු ය. විනය දනුම්හ’යි කියා මෙ සේ බොරු කියත්ද? උගත් විනයෙහි බොරු කියන් නට කී තැනු ත් ඇති නිසා ද? බොරු කීව වුන්ට සියලු ම පාප ය සිද්ධ වන නිසා ත් නොදන්නා නිසා ද? ඒ හැම නො දන්නා කල වින ය දන්නේ කෙ සේ දැ’යි කිය ලූ සේක.
ඒ වහන්දෑ ගොසින් විනයධර නම ගේ වහන්දෑ හට තමන් හැම ගේ උපාධ්‍යායයෝ බොරු කියත් ලයි කියා අතළොස්සක් පමණ පැන් නිසා බුදුනු ත් සන්හිඳුවා ලන්ට බැරි තරම් කලහය වඩා ගත් සේක. ඉක්බිති විනයධර නම අවසරයක් ලැබ ගෙන පක්ෂ බල ආදි ම ඇති බැවින් ධර්‍ම කථික නමට අවන් ඇවැත් නො දැක්ම නිසා උඛෙවුනි කම් කොට ලා දෙ පක්ෂ වූ සේක. මෙ තැන් පටන් උපස්ථාන කරණ උපාසකවරු ත් තම තමන් ගේ පක්ෂවලට නැමීමෙන් දෙ පක්ෂ වූ ය. අවවාද පිළිගන්නා මෙහෙණින්නෝ ද දෙ භාග වූ හ. නැවත අරක් ගත් දෙවියෝ ද උන් ගේ වසයෙන් තලාටු – බූමාටු දෙවියන් පටන් බඹ ලොව දක්වා පෘථග්ජන යම් කෙනෙක් ඇත් ද දෙ පක්ෂ වූහ. සිවු මහ රජයෙහි පටන් අකනිටා බඹ ලොව දක්වා මහා කොලහල වී ය. කොලහල තරවත් වත් එක් නමෙක් බුදුන් කරා ගොසින් “ස්වාමීනි, උඛෙවුනි කම් කළ විනයධර නම ගේ පක්ෂයෙහි වහන්දෑ ‘කෙළේ ධර්‍ම කර්‍ම ය’යි සිතා වෙන පක්ෂ වූ සේක. උඛෙවුනි කම් ලත් නම ගේ වහන්දෑ ‘කෙළේ අධර්‍ම කර්‍ම ය’යි සිත කර්‍ම ය ලත් නම අනු ව පිරිවරා ඇවිදිනා සේකැ’යි දැන්වූ සේක.
බුදුහු ධර්‍ම කර්‍ම නියාවකු ත් අධර්‍ම කර්‍ම නියාවකුත් නො වදාරා සමඟ වෙත්ව යි දෙ වාරයක් කොට වදාරා යවා සමඟ නොවන නියාවක් ම අසා වදාරා තුන් වන වාරයේ “සඟහු බුන්හ”යි ඒ දෙ පක්ෂය ළඟට කොසඹෑ නුවරට වැඩ උඛෙවුනී කම් කළ පක්ෂයට ආදී ඇවැත් නැතැ යි කියා පසු ව කර්‍ම කිරීමෙහි දෝෂ ත් අනික් පක්ෂයට ආදී විනයධර භික්ෂූන් ගේ බසින් නිරාපත්ති යම්හ යි සිතා ගත ත් පසු ව අර ලෙස කී කල විමති කොට ගෙන වෙමතිකා පත්ති වුව ත් දෙසා නො ගැන්මෙහි දෝෂත් වදාරා දෙ පක්ෂයෙහි ලබ්ධි වෙන් හෙයින් එක සීමාවේ වෙන වෙන පොහෝ ආදිය ත් අනුදැන වදාරා අසුන් හල් ආදියෙහි හිඳිනා කල අස්නකට අවසර තබා හින්ද යුතු ය යි බත ගැතැ වත් පනවා ලා එසේ කලහය නොසන්හුන් නියාව අසා පෙරළා ත් කොසඹෑ නුවරට වැඩ ‘මහණෙනි, මේ කලහ ය නම් ඉතා නපුරු දෙයක. අනික් සාධාගන්නා දෙයක් නිසා නො ව කලහය මුල් ව ඉතා දුර්‍වල වූ කැටකිරිල්ලෝ, පවා,—
“කාකඤ්ච පස්ස ලටුකිකං - මණ්ඩුකං නිලමක්ඛිකං,
එතෙ නාගං අඝා තෙසුං - පස්ස වෙරස්ස වෙරිනං”
යනු හෙයින් උපදෙස් බලයෙන් ඇතුන් පවා මරාගත්තෝ වේද, නොදීන් ලටු කික ජාතකය වදාරා ලා යම් තාක් සමඟ ව සමඟ නො වීම නිසා නො එක් දහස් ගණන් වටුවෝ වසා දමා ලූ දැල ‘තෙපි ඔසවා තෙපි ඔසව’යි උන් උන්ට පෙරැත්ත කීමෙන් ම නො ඔසවා මර දුන්හ’ යනාදීන් වට්ටක ජාතකය වදාළ සේක. එ සේ වදාළ අවවාද ත් නො ගිවිස එක් නමක් අවුදින් ‘ස්වාමීනි, බැණ නො නැඟී වැඩ හුන මැනව.
“යානි කරොති පුරිසො – තානි අත්ත නි පස්සති,
කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරී ච පාපකං;
යාදිසං වපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං”
යනු හෙයින් හමු වපුළවුන් හමු දක්නා සේ අපි ම අප ගේ කට යුත්තෙන් පෙනෙන්නමෝ වේ දැ’යි කී කල්හි නැවතත් දීඝිති කොසල නම් පිය රජ්ජුරුවන් ගේ රට ත් උදුරා ගෙන දුක් පත් ව ගිය රජ්ජුරුවන් පෙරළා මරා පීව ත් දීඝායු කුමාරයන් තමන් ගේ ගේ පියාණන් ‘දිගක් බලව, ලුහුඬක් නො බලව’යි අවවාද ලෙස කියා ලූ බස සිත තබා බ්‍රම්මදත්ත රජ්ජුරුවන්ට අනිකක් නො සිතා සමඟි ව විසූ නියා ව දක්වන සේක් දීඝිති කොසල ජාතකය වදාරා ‘ගිහි ව සිටියවුන් ගේ පවා අබුද්ධෝත්පාද කාලයෙහි එ තරම් ක්‍ෂමාවෙක. තොප හැම මාගේ කරුණා ශාසනයෙහි මහණ ව ක්‍ෂමා වට ම නියම වී හිඳිනාවුන් මෙ සේ නො සන්හිඳෙන්ට කාරණ කවරේ ද, යනාදීන් අවවාද නමැති බෙහෙත් දෙවා වදාරාත් ඒ වහන්දෑගේ නලහ නමැති රෝග පීඩාව සන්හිඳුවා ගත නොහී ඒ වහන්දෑ ගේ නොසන්හුන් තරම් බල බලා එ තන රඳා වැඩ හිඳි නට මැළි ව කොසඹෑ නුවර සිඟා වළඳා වහන්දෑ එක් නම්කට ත් නො වදාරා හුදකලාව ම පා සිවුරු තමන් වහන්සේ ම හැර ගෙන බාලක ලොණකාරාමයට වැඩ එහි වැඩ හුන් භගු තෙරුන් වහන්සේට හුදෙකලාව හැසිරීමෙහි වත් වදාරා, පාචීනවංස නම් උයනට වැඩ අනුරුද්ධාදී තුන් දෙනා වහන්සේට සමඟ ව විසීමෙහි ඵාසු ව වදාරා අඹ-දබ-කෙහෙල් ආදී වූ ගසින් කෙලින් ගැවසී ගත් ඇස්-අස් වලස්-තරස් ආදී වූ සිවුපා සමූහයන් ඇති ගිරා - මොණර-කෙවිලි-ආදී වූ පක්ෂීන් විසින් ගැවසී ගත් සිද්ධ-විද්‍යාධරාදීන් විසින් සෙවුණ ලද දෙවඟණන් ගේ තන කලසයෙන් අලළන ලද පැනින් පිරුණු සිය ගණන් විල් ඇති පාරලිය නම් වනයට වැඩ ඒ වල තමන් වහන්සේ සේ ම ගණ සංගණිකාවෙහි ඇලුම් නැති ව වෙන් ව වසනු කැමැති ව ඇත් මුළින් තේරී ආ පාරලීය නම් ඇතාණන ගෙන් උපස්ථාන ඇති ව ඒ වල්හි වස් විසූ සේක.
කොසඹෑ නුවර උපාසකවරු ද වෙහෙරට අවුත් බුදුන් නො දැක ‘බුදුහු කොයි දෑ’ යි විචාරා ‘පාරිලෙය්‍ය වනයට වැඩ පී සේකැ’යි යනු අසා ‘හැයි එ සේ වැඩ පියන්ට කාරණ කිම් දැ’යි විචාළෝ ය. විචාලවුන්ට අපි හැම ගේ කලහ ය බලවත් හෙයින් ඒ සන්හිඳුවන්ට අවවාද වදාරා ඒ අවවාද අප හැම නො ගිවිස්නා හෙයින් වැඩ පී සේකැ’යි - කලහ නම් භයක් ලජ්ජාවක් ඇති ව කරණ දෙයක් නො වන හෙයින් ලජ්ජා නැති ව ම කී සේක. උපාසකවරු ‘නුඹ වහන්සේ හැම බුදුසස්නෙහි මහණව පොළොව පැකිළී ගියවුන්ට එම පොළොව පිහිට වන්නා සේ සියලු ලෙසින් පිහිට ව සිටි බුදුන් ගේ අවවාද ත් නො පිළි ගත් නියාදැ’යි විචාරා එසේය යි කී කල්හි උපාසකවරු ‘මේ වහන්දෑට උපස්ථාන කොට බුදුන් වැඩි ගමනේ දක්නට වත් වැඳ ගෙන උපස්ථාන කොට ගන්නා පමණකට වත් නැත. ඔබට කරණ උපස්ථානය මේ වහන්දෑ නිසා නුවූ පසු මේ වහන්දෑට බත් පැන් තබා හිඳිනා පමණකු ත් නො දෙම්හ. වඳිනා පමණකු ත් නො කරම්හ’යි තර ව ගෙන එ වක් පටන් ඒ හැම නොකරන්නට වන්හ.
පාත්‍ර පර්යාපන්න ව රැකෙන හෙයින් සිඟා ගොසින් ලබන බතක් විනා අනික් ජීවනෝපායක් නැති හෙයින් බත් නො ලදින් වියැළී කීප දවසකින් ම කය වියැළුණ ත් නුවණ වියැළෙන දෙයක් නොවන හෙයින් කාරණ සලකා මොළොක් සිත් ඇති ව ගෙන ක්ෂමා නොකරවා නිහඬක් නැති හෙයින් ඔවු නොවුන් වහන්සේ ක්‍ෂමා කරවා ගෙන උපාසකවරුන් කරාගොසින් ‘උපාසකවරුනි, බුදුන්ගේ අවවාදයෙන් සමඟ නො වූව ත් තොප හැම කියා කළ දෙයින් අපි හැම සමඟ වූම්හ. අප පෙර සැටි වූ කල තොප ත් පෙර සැටි වුව මනා වේදැ’යි කී සේක. ඒ අසා උපාසකවරු ‘බුදුන් ක්‍ෂමා කරවා ගන්නා ම අපි ත් පෙර සැටි වම්හ’යි කිවු ය. ඒ වහන්දෑ ද ඈත වසන හෙයින් බුදුන් ළඟට යෑම වත් නොවන හෙයින් වස් දෑතුර දුකින් ම දවස් යවන සේක. කාරිය නො දන්නා වහන්දෑට ඒ වස දුක් වූ බව මුත් ඒ සා මහත් ව කට වැඩි බුදුන්ට කිසිදුකෙක් නැත.
ඒ ඇතාණෝ ද බුදුන් දැක ළඟට ගොසින් වැඳ ලා කැටි ව ආ අනික් තෙනක් නැති නියාව දැක වැඩ සිටි රුප්පයේ ම තණ පයින් උදුරා පියා අත්තක් කඩා ගෙන අවුත් හැමඳ පියා බුදුන් වස් වැස වැඩ හුන් කල්හි වස් තුන් මස ම කළ ය සොඬින් හැර ගෙන ගොසින් බොන පැනු ත් ගෙනවුත් තබා ලති. නහන පැනුත් ගෙන තබා ලති. හුණු පැන් වුව මනා විට දණ්ඩක් කඩා ගෙන ගිනි ගා හෙළා පියා දර ලා ලා ගිනි මොළවා ලා ගලක් පෙරළා ගෙන අවුත් ගින්නේ ලා රත් කොට දණ්ඩකින් ගල පෙරලා ගෙනවුත් කුඩා ගල් කෙමෙක හෙළා ලා පැනිත්ත හුණු වූ කල්හි සොඬ ලා විතර හුණු දැන බුදුන් කරා ගොසින් වැඳ ලති. බුදුහු ‘පාරලෙය්‍යයෙනි, පැන් හුණු කළා දැ’යි විචාර ලා එ තනට වැඩ පෙර වරු පැන් සනහන සේක. පැන් සනහා අන්තයෙහි වළට වැද ලා නොඑක් ඵලාඵල ගෙනවුත් පිළිගන් වති. බුදුහු ඒ වළඳා වදාරණ සේක.
යම් දවසෙක බුදුහු ළං ව තිබෙන ගමකට සිඟා වඩනා සේක් වී නම් පාත්‍ර ධාතූන් වහන්සේ හැර ගෙන හිස මුදුනේ තබා ගෙන බුදුන් හා කැටි ව යෙති. බුදුහු ගම් හිමට වැඩ ලා ‘පාරලෙය්‍යයෙනි, තොප ඇතුළු ගමට එන්ට නො පිළි වනැ’යි පාත්‍ර ධාතූන් වහන්සේ අතට හැර ගෙන ගමට සිඟා වඩනා සේක. ඇතාණෝ ද වඩනා තෙක් එ තන රඳා සිට ලා ගම සිඟා පියා වැඩි කලට පෙර ගමන් කොට ගොසින් පාත්‍ර ධාතූන් වහන්සේ හා සඟළ සිවුරු හැර ගෙන ඇත් රජ කමට මුඬු වොටුන්නක් පළඳිනා කලක් මෙන් හිස මුදුනෙහි තබා ගෙන වැඩ හිඳිනා තෙනට ගොසින් ආදියෙහි පටන් වත් පිළිවෙත් ම උගත්තා සේ පා සිවුරු තැන් පත් කොට තබා ලා පා සේදීම් ආදි වූ වත් සපයා ලා ගිම් නිමනට අත්තක් කඩා ගෙන ඇඟට සල සලා සිට ලා වළඳා අන්තයෙහි ත් කළ මනා වත් කොට ලා රෑ දවස් බුදුනට රැකවල් ගෙන මහා දණ්ඩක් සොඬින් අල්වා ගෙන තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි වනය සිසිරා ඇවිද පාන් කෙරෙති. එසේ හෙයින් ඒ වනය රක්ඛිත වන ය යි ප්‍රසිද්ධ විය. පාන් වූ කලෑ දැහැටි-පැන් දෙමින් මළුව හමදිමින් කළ මනා වත් සපයති.
එම වල වසන එක් රිළවෙක් ද ඒ ඇතාණන් කරණ උපස්ථාන දැක “මම ද උපස්ථානයක් කෙරෙමි’යි සිතා ඇවිදිනේ එක් දවසක් නිමැසි දඬුවෙල්බෑයක් දැක කඩා ගෙන කෙහෙල් පතක් කඩා ඒ මත්තේ තබා ලා ගෙන ගොස් බුදුන්ට පිළිගැන් විය. බුදුහු ත් කුඩු කැවුම් වුව ත් නො මැළි ව පිළිගන්නා හෙයින් පිළිගත් සේක. රිළවාණෝ ද බලා සිටියෝ අල්වා ගෙන නො වළඳා ම වැඩ හුන්නා දැක කුමක් සිතාදෝ හෝ යි සිතා මූල ප්‍රතිසන්ධි ය ජඩ හෙයින් ඥානසම්ප්‍රයුක්ත විපාක සිත් තමන්ට නැත ත් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් තමන්ට පවත්නා හෙයින් පිළවුන් ඇති නියා යයි සිතා දඬුවෙල්බෑය අල්ලා ගෙන පිළවුන් දැක සියුම් මෙහෙවරට නිසි ව සීන් වූවා සේ සීන් වූ ඇඟිල්ලෙන් නොගටා පිළවුන් හවුලා හැර ලා පිළිගන්වා ලූ ය. දෙවියෝ එ වේලෙහි සක් වළ ගබ ඇති රස ය දඬුවෙල්බෑයෙහි මැස්සන් බහා ලූ නො එක් දෙය රස වූ බව මුත් රසයක් බහා ලූවා නැත ත් බහා ලූහ. බුදුහු වළඳා වදාළ සේක.
රිළවාණෝද සතුටු කුල්මත් ව නට නටා අත්තක එලී ගෙන අත්තක් පයින් මැඩ ගෙන සිටියේ ය. අකුසල් නම් කුශලට ඉතා ප්‍රතිපක්‍ෂ හෙයින් අවසරයක් පෙනෙන තුරු කැටි ව ඇවිදිමින් සිට අතුරු පැවත ගිය කුශලයට අප්‍රිය ව කොට ලූවාක් මෙන් පුරා කෘත අකුසලින් අල්වා ගත් අත්තක් පයින් මැඬ ගත් අත්තක් බිඳී කඩා ගෙන හෙන්නේ එක් කණු වෙක ඇණී ඇවිණ දන් විශයෙහි පැවති පහන් සිතින් යුක්ත ව මිය තව්තිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් විමනෙ ක කඩ රෙද්දකින් වසා ලූ මැණිකක් උස් තෙනකට නො වරදවා දමා ලූ කලට දමාලූ වේගයෙන් කඩ රෙද්ද බිම හී මැණික උඩ ම රඳා ගියා සේ රිළා අත් බැවු පාත හෙළා තුන් ගවුවක් විතර ආත්ම භාවයකින් යුක්ත ව දහසක් දෙවඟණන් පිරිවරා දෙවියන් දඬුවෙල්බෑයෙහි බහා ලූ බොහෝ රස සේ බොහෝ සම්පතින් යුක්ත වදුන් මී රසයට නිවන් රස ලබන්නට ත් නිසි ව උපන.
බුදුනු ත් පාරලෙය්‍ය ඇතාණන් ගෙන් උපස්ථාන විඳ ඒ වල වසන නියාව දඹ දිව ප්‍රසිද්ධ විය. සැවත් නුවරින් අනේපිඬු මහ සිටාණෝ ය, විශාඛාවෝ ය, යනාදි ප්‍රසිද්ධ කුලවලින් බුදුන් දක්නා කැමැත්තම්හ යි අනඳ මහ තෙරුන් වහන්සේට කියා යැවූ ය. ඒ ඒ දිගින් පන් සියයක් පමණ වහන්දෑ ද අනඳ මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ඉතිකින් වසු ත් අන්ත වි ය. බුදුන් ගෙන් බණක් නො අසන්නේ ත් නැතක් දවසෙක. දක්නා කැමැත්තම්හ’යි කී සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ඒ වහන්දෑ කැඳවාගෙන ගොසින් වස් තුන් මස තනි ව වැඩ හුන් බුදුන් ළඟට මෙ තෙක් වහන්දෑ ත් කැඳවා ගෙන යෑම යුක්ති නො වෙ යි සිතා ඒ වහන්දෑ පිටත රඳවා ලා තනි ව ම බුදුන් කරා ගිය සේක. පාරලෙය්‍යයෝ අනඳ මහ තෙරුන් වහන්සේ දැක ලා විපක්‍ෂ තෙනෙකැ යි සිතා මරන්ට දණ්ඩක් හැර ගෙන නික්මුණාහු හ.
බුදුහු දැක ‘පාරලෙය්‍යයෙනි, මූ මට අග්‍ර උපස්ථායක ව උපස්ථාන කරණ තැනැත්තෝ ය. මා මරන්ට ය යි දෙවිතුන්ගේ නියෝගයෙන් නාළාගිරි නම් ඇතු ගුගුරා පියා ආ දවස් මා පසු කොට පියා මූ පෙරාතු වූ කෙණෙක. නැවත ස්වර්‍ණකර්කටක ජාතකයෙහි දී මූ තුමූ කකුළු ව උපන් තැනැත්තෝ මා ගේ ඇස් සාරන්ට හුන් කපුටුවා ත් අල්වා ගෙන ඌට සහාය ව ආ නයා ත් අල්වා ගෙන නයි ලවා දෂ්ට කළ මුඛයෙන් විෂය උරවා මා ත් නිර්විෂ කොට පසු ව ත් මට අවැඩ නොවන ලෙසට කපුටුවා ත් නයි ත් මරා පී ය. නො එක් ජාතිවල උන් මට වූ උපකාර බොහෝ ය. උන් එන්නවුන් තෙපි නොවළක්ව’යි වදාළ සේක. ඇතාණෝ ද දඬු කඩ දමා පියා සඟළ සිවුර හා පත්‍ර ය ඉල්වූ හ. මහ තෙරුන් වහන්සේ බුදුන් ළඟදී එ සේ දීම වත් නො වන හෙයින් නුදුන් සේක. දඬු හැර ගෙන මරන්ට ගිය හෙයින් මුසුප්පුවකින් නො වෙයි. ඇතාණෝ ත් මා අතට පාත්‍ර සිවුරු නුදුන් හෙයින් බුදුන් වැඩ හිඳිනා ගල් පෝරුව මත්තේ පා සිවුරු තබා වත් වරදවා නොගත් සේක් නම් යහපතැ’යි සිතූ ය.
ඇතාණන්ට වඩා කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි බුදු කෙනකුන් වහන්සේට වත් කරන්නට පතා ආ මහ තෙරුන් වහන්සේ වත් දන්නා ම හෙයින් පා සිවුරු බිම තබා ලූ සේක. වත් දන්නා තැන් ගුරුන් වහන්සේ සැතපෙන හැඳවල පුටුවල පා සිවුරු ආදි ය නො තබන සේක. එ සේ හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේත් පා සිවුරු තැන් පත් කොට තබා ලා බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක. බුදුහු තනි ව නො වැඩි නියාව දැන වදාළ ත් තනිය ම අවුදැ යි විචාළ සේක. “පන් සියයක් දෙනා වහන්සේ ආ සේක. නුඹ වහන්සේගේ රුචි නොදැන පිටත රඳවා ලා ආමි’ කී කල්හි ‘එසේ වී නම් මුබ කැඳව’යි වදාළ සේක. වදාළ විධානයෙන් මහ තෙරුන් වහන්සේ ත් කැඳවා ගෙනා සේක. බුදුහු ඔබ හා ත් කථා කොට ලා වැඩහුන් සේක. ඒ වහන්දෑ ද “ස්වාමීනි, මුඹ වහන්සේ ඉතා ම සියුමැළි වූව. මේ තුන් මස හුදකලාව වැඩ හුන්නේ ත් කෙසේද? අනඳ මහ තෙරුන් වහන්සේ පමණකුත් නො ආ හෙයින් පැන් පරහා දීම් පමණකුත් කොළෝ කවුරු ද? බලවත් ව ම අඵාසු වුනැයි සිතූම්හ’යි කී සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි! එ සේ නො සිතව. තෙල පාරලෙය්‍ය නම් ඇතාණෝ කළ මනා සියල්ලක් අඩුවක් නැති වම කොළෝ ය මෙබඳු සහායක් ලදොත් උන් හා එක් ව විසීම යහපත. එ සේ නො ලදොත් රට හැර වල ගිය රජ්ජුරු කෙනකුන් රජ නියාව නො හඟවන්ට තනි ව වසන්නා සේ තනි ව වැස කළ මනා ලෙසත් කිරීම යහපත’ යනාදී බණ වදාළ සේක.
ඒ වදාළ බණ අසා පන් සියයක් දෙනා වහන්සේ දෙතුන් මසක විතර බී පියන්ට නිසි පැනක් නො ලදින් පිපාසා බලවත් ම ලත් පැනක් සැතපී බී පියන්නා සේ බුදුන් ගෙන් ම බණක් අසන්ට සිතා තුන් මසක් විතරින් ලත් බණක් හෙයින් කන් නමැති දහසක් ගොටු වල වත් කරවා ගෙන, සිත් නමැති තුඩුවලින් පුරා බී සව් කෙලෙස් නමැති පැන් පවස් සදහම් නැමැති පැනින් සන්හිඳුවා රහත් වූ සේක. අනඳ මහ තෙරුන් වහන්සේද අනාථපිණ්ඩික සිටාණන්-විසාඛා උපාසිකාවන් පටන් ඒ ඒ දෙනා කියා යවූ හසුන් ධර්‍මාන්විත හසුන් හෙයින් වදාරා “ස්වාමීනි, අනාථපිණ්ඩිකාදිවූ පස් කෙළක් විතර නිවන් දැක සිටි උපාසකවරු මාර්‍ග ගත වූ අචල ශ්‍රද්ධාවෙහි තමන් පිහිටි හෙයින් මුඹ වහන්සේ දක්නට පත පතා හිඳිති’යි වදාළ සේක.
බුදුහුත් කොසඹෑ නුවර වහන්දෑ සෙසු ලෙසකින් හැද නො හැරෙන දඬු ගින්නට පෑ තවා ලූ කල හැරෙන්නා සේ කොසඹෑ නුවර උපාසකවරුන්ගේ ක්‍රම නමැති ගිනි රැසින් කලහ නමැති ඇද හැරී සමඟ වීමෙන් කම් පසට ගිය නියාව දැන වදාරා එ සේ වී නම් සඟළ සිවුරු පාත්‍ර ය හැර ගනුව’යි අනඳ මහ තෙරුන් වහන්සේ ලවා පාසිවුරු ගෙන්වා ගෙන සදත් දායෙ හි ඡද්දන්ත නම් ඇත් රජ ව ඉපද පසේ බුදු වරුන් වහන්සේට කළ උපස්ථාන සේ ම පාරලෙය්‍යයන් ගෙන් උපස්ථාන විඳගෙන නික්මුණු සේක. ඇතාණෝ ද වඩනා නියාව බලා පියා පෙරාතු ව ගොසින් ඒ ජාතියෙහි තමන් නිවන් මඟට අවුරා සිටියා සේ ම බුදුන් වඩනා මඟ අවුරා සිටියෝ ය. පන් සියයක් දෙනා වහන් සේ ද “මේ භස්ති නාගයා බුද්ධ නාගයන් වහන්සේට මඟ අවුරා සිට ගෙන කුමක් කරණ නියා දෑ’යි විචාළ සේක.
‘හෙම්බා මහණෙනි, අනිකක් නිසා නො වෙ යි. වස්තුන් මස මට කළ උපස්ථාන මුදුන් පමුණුවා තොප හැමට ත් උපස්ථානයක් කරනු කැමැත්තෝ. ය. මට කළ උපස්ථානයට ත් වඩා සංඝගත හෙයින් තොපට කළ උපස්ථානයෙහි උන්ට විපාක ත් මහත. අද පමණකු ත් නොරඳා ගියො ත් වේගවත් ව පැවති ප්‍රසාදය ත් අඩු ය. ප්‍රසාද ය අඩු වූ කලට ලබන විපාක ත් අඩු ය. කවර ලෙසිනුත් මූට අඩුවක් නුවමනා වේ දැ’යි සිතා වදාරා මරන්ට දිව ගෙන ආ නාළාගිරි නම් ඇතා කෙරෙහි ත් මුන් කෙරෙහිත් අදහස සම වුව ත් මුන් කෙරෙහි අමුතු මමායන යක් ඇත්තා සේ මේ තරම් කෙනකුන් අනික් ජාතියක වුවත් ලොවුතුරා සැපත් ලබන හෙයින් ආමිස ගරුක නො වත ත් ධර්‍ම ගරුක ව සහපිරිවරින් රඳා පි සේක. ඇතාණෝ ද වලට වැද ලා අඹ-දඹ කෙසෙල්-වැල-වරකා ආදී වූ ඵලා ඵල ගෙන වුත් ගොඩක් කොට පියා දෙවන දවස් වහන්දෑට පිළිගැන් වූහ. ඒ වහන්දෑ ත් පන් සියයක් දෙනා වහන්සේ වළඳා ත් කෙලෙසුන් නිමවා ගත්තා සේ මේ නිමවා ගත නුහුණු සේක. ඒ නිමවා ගත නුහුණත් පමණක් මේ නිමවාගෙන බුදුන් කැඳවා ගෙන නික්මුණු සේක. ඇතාණෝ ද වහන්දෑ හසු හස්නෙන් ගොසින් පෙරාතු ව ලා අවුරා ගෙන සිටියෝ ය. එ දවස් එ සේ සිටි නියාව ත් දැක වහන්දෑ විචාළ සේක.
බුදුහු වදාරණ සේක් ‘තොප හැම දෙනා යවා පියා මා පමණක් රඳවනු කැමති ච මේ ලෙස කෙරෙතී’ වදාරා ලා ‘හෙම්බා පාරලෙය්‍යයෙනි, මේ ගමන අවශ්‍යයෙන් යා යුතු ගමන. රඳා ත් තොප අභාජන හෙයින් ලෞකික විෂයෙන් ධ්‍යාන වේ ව’යි ලොව්තුරා විෂයෙන් මාර්‍ග ඵල වේ ව යි උපදවා ලන්ට බැරිය. තෙපි රඳව’යි වදාළ සේක. ඇතාණෝ ද ඒ අසා සොඬ කට ලා ගෙන හඬමින් වලපමින් පසු පස්සෙහි ගියෝ ය. ඉදින් බුදුහු රැඳුණු සේක් වී නම් දිවි හිමියෙන් තෙල ලෙස ම උපස්ථාන කෙරෙති. බුදුහු ගම් හිමට වැඩලා ඇතාණන්ට ‘මෙතන පටන් මිනිස් සඤ්චාරය ඇති හෙයින් තොප එන්ට බැරි ය. තෙපි රඳ ව’යි රඳවා වදාළ සේක. උයි ත් රඳා සිටි තෙනැත්තෝ බුදුන් නො පෙනෙන තෙනට වැඩ පී කල්හි ශෝකයෙන් වියළී මිය ගොස් තවුතිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් විමනෙක දහසක් දෙවඟනන් පිරිවරා ඉපිද පාරලෙය්‍ය නම් දිව්‍ය පුත්‍රයාණෝ ය යි ප්‍රසිද්ධ වූ ය. වළඳා නිමවා ලිය නුහුණු ඵලා ඵල ගොඩ සේ ම කියා නිමවා ලිය නො හැකි දිව සැපත් ද පහළ වි ය.
බුදුහු ත් මහණ ගණා පිරිවරා දෙව්රමට වැඩි සේක, කොසඹෑ නුවර වහන්දෑ ද බුදුන් දෙව්රම් වෙහෙරට වැඩි නියාව අසා දුක්ඛූප නිසා ශ්‍රද්ධාවෙන් බුදුන් වැඳ ක්‍ෂමා කරවන්ට ගිය සේක. කොසොල් රජ්ජුරුවෝ ඒ වහන්දෑ එන නියාව අසා බුදුන් කරා ගොසින් ‘ස්වාමිනී’ ඒ දුෂ්ට වහන්දෑ මාගේ විධාන පවත්නා තෙනට එත නො දෙමී’ කිවු ය. ‘මහරජ තමන් හැම දෙනාගේ කලහ ය මහත් හෙයින්.
‘කුද්ධෝ අත්‍ථං න ජානාති-කුද්ධො ධම්මං න පස්සති,
අන්ධං තමං තදා හොති - යං කොධො සහතෙ නරං’
යනු හෙයින් කාරණය සලකාගත නොහී මගේ අවවාද නො කළ බව මුත් සිල්වත්හ. තෙල විතරෙකින් හළ යුත්තෝ නො වෙති. තුමූ හැම ත් තැති ගෙන මා ත් ක්‍ෂමා කරවන්ට එති. නො නවත්ව’යි වදාළ සේක. අනේපිඬු මහ සිටාණෝ ත් ‘ සසුන් පිළිවෙත් මඟට නොබැස තමන්දෑ හැම මිරිකන වල් මඳ හෙයින් දෝ බුදුන් වහන්සේ ත් වලට යවා පී වහන්දෑ ය. මා ගේ විහාර යට වැද්ද නො දෙමි’ හිඳ බුදුන් ගේ පෙරැත්තයෙන් ඉවසා පීහ. ඒ විහාරයට ගිය වහන්දෑට ත් බුදුහු කළහ ය නිසා අදහස් වෙන් වූවා සේ ම සැතපෙන තැනු ත් වෙන් ව නිල කරවා වදාළ සේක. සෙසු වහන්දෑ ඒ වහන් දෑ හා එක් ව හිඳිනෙ ත් සිටිනෙ ත් නැත. අමුතු ව ගිය වහන්දෑ ඇත්නම් කොසඹෑ නුවර කලහකාරී වහන්දෑ කොයිදැ’ යි බුදුන් විචාරණ සේක. බුදුහු තුමූ ‘එක මුළු ව ලා හිඳින්නෝ ඌ ය’යි වදාරණ සේක. වහන්දෑ ත් ‘මූ ඌ ද, මූ ඌ දැ’ යි ඇඟිලි ඇසට පානා සේක. ඒ වහන්දෑ ත් ආදී වූ ලජ්ජාව ටත් වඩා ලජ්ජාව ගොසින් බුදුන් වැඳලා ක්‍ෂමා කරවූ සේක.
බුදුහු ද ‘හෙම්බා මහණෙනි, යම් කෙනෙක් කලහයෙහි ආදී නව නො දනිත් නම් ඌ තමන් කරණ කලහ ය ම දන්නා සේ පමණක් මුත් ‘අපි මරහු කරා යම් හ. කෙ තෙක් දවස් ජීවත් වූව ත් කෙළවර නිමන්නේ මරණින් ම වේදැ’යි යන්න ත් සෙසු පිළිවෙත් හළුවා සේ මරණ සී භාවනාත් කළ හෙයින් නො දනිති. ඉදින් යම් කෙනෙක් නුවණැත්තෝ වූ නම් කාරණා කාරණ දනිත් නම් ඌ ‘මේ කලහ ය නම් කරණ කල ත් දුක, පසු ව අනිෂ්ට විපාක විඳිනා කල ත් දුක, කිඹුල් වත් නුවර එක් ලක්‍ෂ සැට දහසක් විතර රජ දරුවන් සටන් කොට ලෙහෙ ගඟක් කරන්ට සිතා ගත්තේ ත් දිය ඩබරක් මුල් ව ය. සියලු ලෙසින් ම කළ මනා දෙයක් නොවෙ’යි සිතා යම් ලෙසකින් පිළිපන් කල ඒ කලහ ය සන්හිඳේ නම් එලෙසම පිළිපදිති. එ සේ පිළිපන් කලට මටත් සන්හිඳුවා ලන්ට බැරි ව තුබූ මේ කලහ ය සන්හුන්නා සේ ම කවර ත් කලහයක් නොසන්හිඳේ දැ’යි වදාළ සේක.
මේ බණ අසා ද හේතු සම්පන්න තැන් සසර නමැති මුහුදින් මාර්‍ග ඵල නමැති නැව් නැඟී නිවන් පර තෙරට පැමිණි සේක. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් කලහ නමුත් කුසල් සිතකින් කරණ දෙයක් නොවන බැවින් අකුසල් නියාව දැන රෑ දුටු වළ දවල් පැන හෙන්නා සේ නො ව කුසල්හිම හැසිරී මෙන් චිත්ත ශුද්ධිය කට යුතු.