එක් දවසක් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ සිවුරු දුර්‍වල හෙයින් කසළ ගොඩ ආදි වූ තෙ විසි තැනින් තමන් වහන්සේ උත්කෘෂ්ට පාංශුකූලික හෙයින් කඩ රෙදි සොයන සේක. උන් වහන්සේ ගේ මේ ජාතියට තුන් වන ජාතියෙහි පාදපරිචාරිකා වූ කෙනෙක් තව්තිසා දෙව් ලොව ඉපැද ජාලිනී නම් දිව්‍යාඞ්ගනා වූහ. ඌ මහ තෙරුන් වහන්සේ ආදි සම්පත් විඳි ලෙසට දැන් කඩ රෙදි සොයන්නා දැක දිගින් තෙළෙස් රියන් වූ පළලින් සතර රියන් දිව සළු තුනක් හැර ගෙන ඉදින් මම මෙ ලෙසින් ගෙන ගොස් දෙම් නම් අපිස් ව හැර නො ගන්නා සේකැ’යි සිතා කඩ රෙදි සොයා ඇවිදිනා තැනට ඉදිරියේ එක් කසළ ගොඩක දාවලු පමණක් පෙනෙන ලෙසට තබා ලූහ. මහ තෙරුන් වහන්සේද ඒ මඟින් කඩ රෙදි අවුළා ඇවිදිනා සේක් දිව සළුවේ දාවලු පමණක් දැක දාවලු අල්වා ගෙන අදනා සේක. කියා ලූ පමණ ඇති දිව සළු දැක පංසුකූල ධුතඞ්ගයෙහි උත්කෘෂ්ට තරමට ඇතැ’යි හැර ගෙන වැඩ පී සේක.
ඉක් බිත්තෙන් සිවුරු කරණ දවස් බුදුහු පන් සියක් දෙනා වහන්සේ හැර ගෙන උන් වහන්සේගේ විහාරයට ගොසින් වැඩ හුන්සේක. අසූමහ සවුවන් වහන්සේත් ගොසින් වැඩහුන් සේක. සිවුරු ගෙත්තමට මහසුප් තෙරුන් වහන්සේ මුල වැඩහුන් සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ මැඳ වැඩ හුන් සේක. අනඳ මහ තෙරුන් වහන්සේ අග වැඩ හුන් සේක. ඔබට අග සෙසු වහන්දෑ වැඩ හුන් සේක. එ සේම වැඩ හුන් සෙසු වහන්දෑ හූ අඹරා දෙන සේක. බුදුහු සර්‍වඥකමට වැඩ නො හිද දුන් දුන් හූ ඉඳි කටුවල අවුණා දෙන සේක. ගෙත්තමට නියමව හුන් මහසුප් සැරියුත් - අනඳ තුන් දෙනා වහන්සේ සිවුරු ගෙත්තම් කරණ සේක මුගලන් මහ තෙරුන් වහන්සේ ඒ ගෙත්තමට යමක් යමක් වුවමනා වී නම් ඒ පසිඳිනා සේක.
සිවුරු පිළි දුන් දෙවු දුවණියෝ ද ඇතුළු ගමට වැද ලා අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ සිවුරු ගෙත්තමට බුදුහු අසූ මහ සවුවන් වහන්සේ හා සමහ නිත්‍යපරිවාර පන් සියක් දෙනා වහන්සේ ත් රැගෙන වෙහෙර වැඩ හුන් සේක. කැඳ බත් ගෙන්වා ගෙන විහාරයට යව’යි විධාන කොළෝ ය. මුගලන් මහ තෙරුන් වහන්සේ බත් වලඳන්ට දතුරෙහි මහ දඹයක් ගෙනවු ත් දුන් සේක. පන් සියක් දෙනා වහන්සේ එක දඹ ය වළඳා ත් නිමවාගත නුහුණු සේක. සක් දෙවිඳු තෙමේ සිවුරු ගෙත්තම් කරණ තැන හිඟුල් පිරිබඩ ගත. ඒ බිම අලතාවෙන් තෙමා ලූවාක් මෙන් රත් වි ය. දෙනා දනු ත් එ තෙක් ගෙනා වහන්සේ ත් වළඳා බොහෝ ව ඉතිරි වි ය. ඉන් සමහර වහන්දෑ ‘මෙ තෙක් වහන්දෑට මෙ සේ බොහෝ කොට රැස් කෙළේ හැයි ද? වහන්දෑගේ ගණන සලකා මෙ විතරක් ගෙනෙව යි නෑයන් සියන්ට කිය යුතු වේ ද ? අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ නෑයන් සියන් බොහෝ නියාව හඟවන සැටි ය’යි කී සේක.
බුදුහු ඒ අසා ‘කුමක් කියවු ද, මහණෙනි’යි විචාරා වදාරා මේ නියාව දැන ‘කුමක්ද, මහණෙනි, තෙපි මේ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ විධානයකින් උපන්නා කොට සිතූ දැ’ යි විචාරා ‘ඔබට කරණ ගෙත්තම හෙයින් එසේ සිතුම්හ’යි කී කල්හි ‘හෙම්බා මහණෙනි, ඌ තුමූ මෙ බන්දක් නොකියති. රහතන්ගේ පස පිළිබඳ කථා නැත. මේ කැඳ බත් දෙවියන්ගේ ආනුභාවයෙන් උපනැ’යි වදාරා බණ වදාරණ බුදුහු-
යම් කෙනකුන්ට කාමාශ්‍රවාදී චතුර්විධ ආශ්‍රවයෝ ක්‍ෂය වූ ද මුල් ව සිටිනා අවිද්‍යාශ්‍රව ය ක්‍ෂය වීමෙන් සියලු කෙලෙස්හු නට වූ ද. නැවත තෘෂ්ණා දෘෂ්ටි වසයෙන් ආහාර සන්නිශ්‍රිත නො වෙද්ද, රස තෘෂ්ණාව සියලු ලෙසින් ම නැද්ද සුඤ්ඤත විමොක්ඛා දී නමින් පැවති නිවන් යම් කෙනකුන්ට රහත් ඵල සමවත් සුව විඳීමෙන් ගොදුරු ද, එ සේ වූ රහතන්ගේ යම් සේ අහස යන පක්ෂීන්ගේ මෙ තැන පසුර ඔබා ලූ තැන ය, මෙ තැන බඩ වැද ගත් තැන ය, මෙ තැන හිස වැද ගත් තැන ය, මෙ තැන පියා වැද ගත් තැන ය යි දක්නට නො පිළිවන් ද, එ මෙන් මොහු මේ නරකයට ගිය පිය ය. මේ තිරිසන් යෝනියට ගිය පිය ය, මේ ප්‍රේත ලෝකය ගිය පිය ය, මේ අසුර නිකායට ගිය පිය ය මෙ සේ දුගති වසයෙනු ත්, තව ද මේ මිනිස් ලොවට ගිය පියය, මේ දෙව් ලොවට ගිය පිය ය, මේ බඹ ලොවට ගිය පිය ය යි මෙ සේ සුගති වසයෙනු ත් ගිය පියයක් ම නැති හෙයින් දත නො හැක්කැ’යි වදාළ සේක.
දේශනා කෙළවර බොහෝ දෙන නිවන් පුරවන්හ. එහෙයින් නුවණැත්තවුන් විසින් රහත් වන්ට නිසි පින් කොට රහත් ව මෙ ගුණ තමා කෙරෙහි ත් ඇති කරවන්ට උත්සාහ කටයුතු.