සව් කෙලෙසුන් නසා රහත් වූ තැනගේ උතුම් තරම් හඟවන්ට කාෂ්ඨවාහන රජ්ජුරුවන්න්ගේ කථාව මෙ තැන්හි කියමු.
කෙ සේ ද යත්-
යට ගිය දවස බරණැස් නුවර වසන එක් දඬු වඩුවාණ කෙනෙක් වඩු ශිල්පයෙහි ඉතා දක්‍ෂය හ. වඩුකමින් උන් හා සරි කෙනෙක් එ වක දඹ දිව නැත. උන්ගේ අතවැසි වඩුවෝ සොළොස් දෙනෙක් ඇත. ඉන් එකි එකී කෙනෙකුන්ගේ ම අතවැස්සෝ දහස දහස ඇත. මෙ සේ ආචාරීන් ඇතුළු ව වඩුවෝ සොළොස්දහස් සතළොස් දෙනෙක. හැම දෙනම බරණැස් නුවර හිඳ වඩු කමෙන් රැකෙන්නාහු වලට පලා ගොසින් දඬු පත් කපා ගෙන ඒ වලදී ම මාළිගා ආදියට නිසි කොට දඬු පත් සැස නිමවා ගෙන ඒ දඬු පත් පසුරු බැඳ ලා ඊ ලා ගෙන ගඟින් බරණැසට ගෙනවුත් රජ්ජුරුවෝ කැමැත්තෝ නම් උන්ගේ අදහස් ලෙසට මාළිගා කොට දෙති. ඉඳින් උන්ට ප්‍රයෝජන නැත් නම් විකොට පියා ඉන් ලත් දෙයකින් අඹු දරුවනු ත් රැක ගෙන තුමූ ත් රැකෙති.
එක් දවසක් වඩු ආචාරීහු ‘මේ වඩු කම් නම් ශක්ති ඇති අවස්ථාවට මුත් මාලුව ගිය කලට පිළිවන් නොවෙයි. මාලු වුවත් ආයු පමණින් රැකෙන ලෙසට වුව මනා වේ දැ’යි අතවැස්සන් බණවා ලා ‘දරුවෙනි, දිඹුල් දඬු ආදී වූ හර නැති දඬු ගෙනෙව’යි විධාන කළහ. උයිත් ගොසින් සුලභව ලැබෙන හෙයින් ගෙනාවු ය. වඩු ආචාරීහු ඉන් ගුරුළු යන්ත්‍රයක් ඉදි කොට ලා ඒ ඇතුළට වැදලා යන්ත්‍ර ය මිරිකා ලූය. මිරිකා ලන්නාම ගුරුළකු පරිද්දෙන් අහසට නැඟී ලා සිසෑරී ඇවිද ලා අතවැස්සන් ඉදිරියට බට.
වඩු ආචාරීහු මෙසේ වූ යන්ත්‍ර ය ඉදි කොට ගත්තෝ ‘අපත් නැතක් දෙනා හෙයින් දඹ දිව මුළුල්ල වුව ත් හැර ගන්ට පිළිවන. තෙපිත් තෙල ලෙස යන්ත්‍ර ඉදි කරව. හැම දවස් ම වඩු කමින් රැකෙන්ට බැරි ය. රටවල් හැර ගෙන තුබූ කැබැල්ලේ රාජ්‍ය ය කරම්හ’යි කිවු ය. උයි ත් යන්ත්‍ර ඉදි කොට ලා ආචාරීන්ට කීහ. ආචාරීහු ‘අහසින් ගොසින් කවර නුවරක් හැර ගනුමෝ’දැ’ යි විචාළෝ ය. ආදියෙහි පටන් පුරුදු ගිය හෙයින් අත හැර යා නොහී ‘මේ බරණැස් නුවර ට මැටි ගනුම්හ’ යි කිවු ය. ‘ඒ නො කැමැත්තේ ය. අප කවර තරමකට පැමිණිය ත් වඩු යුව රජ්ජුරුවෝ ය, වඩු සෙනෙවිරද්දු ය, යනාදීන් මෙ තැන රඳා හුන්නොත් වඩු කුලය හැරී නොයෙයි. දඹ දිව මහත. අනික් තැනකට යම්හ’යි කිවු ය.
එ සේ කියා ලා අඹු දරුවනු ත් හැර ගෙන ගුරුළු යන්ත්‍රවලට නැඟී ලා ආයුධ සන්නද්ධ ව අහසට නැඟී ලා හිමවු පියස බලා ගොසින් හිමාලය ගාවා එක් නුවරකට බස්නාහු එ නුවර රජ්ජුරුවන්ගේ මාළිගාවට බැස ලා එනුවරත් රටත් හැර ගෙන ආචාරීන් ඔටුනු පළඳවා ලා රජ කළහ. ඌ තුමූ කාෂ්ඨවාහන රජ්ජුරුවෝ ය යි මෙ නමින් ප්‍රසිද්ධ වූහ. එ නුවර ත් කාෂ්ඨවාහන නුවර යයි මෙ නමින් ප්‍රසිද්ධ විය. රටත් ඒ නමම විය. කාෂ්ඨ වාහන රජ්ජුරුවෝ රාජ්‍යලෝභයෙන් අනුන් මරා අනුන් සන්තක රට ගත් බව මුත් කෘතපුණ්‍ය හෙයින් ධර්මිෂ්ඨයහ. යුවරජ සෙනෙවිරත් ආදීහු ත් එසේම මැදහත්හ. උන් මැදහත් හෙයින් උන්ගේ රටත් සියල්ලෙන් ම සැදී සිට්ටි. නුවර වැස්සෝ ත් රට වැස්සෝ ත් රජ්ජුරුවන් කෙරෙහිත් රාජ අමාත්‍යයන් කෙරෙහි ත් පැහැද හිඳිති.
ඉක් බිත්තෙන් එක් දවසක් මැඳුම් පියස හිඳිනා වෙළෙන්දෝ රන් රිදී ආදී වූ බඩු හැර ගෙන හිමාලයාසන්න වූ කාෂ්ඨවාහන නුවරට ගොසින් පඬුරු දී ලා කෂ්ඨවාහන රජ්ජුරුවන් දුටුවූ ය. රජ්ජුරුවෝ ‘කොයි සිට අවුද’ යනාදීන් සියලු පවත් විචාළෝ ය. බරණැස සිට ය’යි කී කල්හි ‘තොප ගේ බරණැස් රජ්ජුරුවන් හා අප හිත කරවා ලව’යි කිවුය. උයිත් යහපතැ’ යි ගිවිස්සාහ. රජ්ජුරුවෝ ත් වෙළඳුන්ට ප්‍රසාද දෙවා ලා උන් හැම යන කලත් සාද සාමීචි කොට ලා මඳක් පසු ගමනු ත් කොට ලා උන් යවූහ. උයිත් බරණැසට ගොසින් කාෂ්ඨවාහන රජ්ජුරුවන් කී කළ ලෙස බරණැස් රජ්ජුරුවන්ට කිවු ය. ඒ අසා බරණැස් රජ්ජුරුවෝ කාෂ්ඨවාහන රට සිට ආ වෙළඳ කෙනෙක් ඇත් නම් උන්ට නුවර සුංගම හරනා ලෙසට බෙර ලවා සුංගම් හරවා ලා ඒ රජ්ජුරුවනුත් නොදැක ම මිත්‍ර වූ හෙයින් තුමූ ත් නො දැක ම මිත්‍ර වූහ. කාෂ්ඨ වාහන රජ්ජුරුවෝත් තමන්ගේ නුවරට බරණැසින් ගියවුන්ට තමන්ගේ නුවර සුංගම් හරනා ලෙසට ත් සාද සාමීචි කරන්ට ත් බෙර ලවා විධාන කළහ.
ඉක් බිත්තෙන් බරණැස් රජ්ජුරුවෝ කාෂ්ඨවාහන රජ්ජුරුවන්ට තමන් ගේ රට දැක්ක තරම් යහපත් දෙයක් ඇති වී නම් අපට බලන්ට එවන්ට වුව මැනව. කන් නමැති රන් තැටිවල වත් කොට සිත් නමැති තුඩින් බී පියන්ට නිසි යහපත් හස්නෙක් ඇත් නම් එයිත් කියා එවුව මැනැවැ’ යි සන්දේශපත්‍ර යවූහ. කාෂ්ඨවාහන රජ්ජුරුවෝ ඒ සන්දේශ පත්‍රය බලා දැක දක්නට නිස්සක් අසන්ට නිස්සක් යවා ලන්ට නැති හෙයින් තුමූ ත් පෙරළා එලෙස ම සන්දෙශ පත්‍රයක් යවූහ. මෙ සේ කථා කොට ගෙන හුන් කලට කලෙක දී කාෂ්ඨවාහන රජ්ජුරුවන්ට ඉතා මාහැඟි වූ පලස් සම්භ වි ය.
ළ හිරු මඬල සේ ඉතා ශෝභාවත. කාෂ්ඨවාහන රජ්ජුරුවෝ ඒ පලස් දැක ‘මාගේ යාළු වූ බරණැස් රජ්ජුරුවන්ට ත් මින් පලස් යවමි’යි මාහැඟි වූ වා අයොග්‍ය කොට යවන්ට මැළි ව දළ කඩ ලියන්නවුන් ලවා දළ කඩ කරඬු අටක් ලියවා ලා ඒ කරඬු අටෙහි පලස් අට ලවා ලා කරඬු පිධාන ගැළවී නො යන ලෙසට හී වඩුවන් ලවා කරඬු මුඵල්ල වසා බඳවා ලා ඒ කරඬු අට ම එක් කරඬුවෙක ලා ලා කඩෙකින් වස්වා බඳවා ලා හස් මුන්දකින් ඔබ්බවා ලා බරණැස් රජ්ජුරුවන්ට දෙව’යි ඇමැත්තන්ට සම්මත කොට යන ඇමැත්තන් අත ‘තෙල අපගෙන් යවා ලූ පඬුරු නුවර මැද දී අස් කඩවා පියා බැලුව මැනැව’යි බරණැස් රජ්ජුරුවන්ට කියා යවූහ. බරණැස් රජ්ජුරුවෝ ද නුවර මැද දී අස් කඩවා පියා වසා ලූ කඩ වස්නෙන් මෑත් කොට ගෙන මහ කරඬුව හැරලා කඩ වටවල් අට දැක ‘බොහෝ දෙනා රැස් කරවා ලා නුවර මැඳ දී හස් කඩන්ට කියා එවා ලූ නියාව කෙසේ දෝ? අපගේ යාළණුවෝ කුඩා කොල්ලන් ලා ලී ලන්ට එවා ලූ ලා ලී වට මෙන් මෙ තෙක් තැන් සිට මෙ තෙක් කලකින් මාගේ රට ලාකඩ අරුම ය`යි සිතා සෙසු කඩවට එවු ය’ යි මුසුප්පු ව පියා එක් ලාකඩයක් උරණ නියාව හඟවන්ට කරන්නා සේ හුන් හස්නෙහි ගසාලු ය.
එ වේලෙහිලා වටත කැඩී පියා කරඬුව හැරී ගොසින් දෙපියන වෙන් විය. ඇතුළු කරඬුවෙහි තුබූ පලස දැක අනික් ලා වට සතත් බිඳුවා කරඬු හැර ඇතුළේ තුබූ පලස් දුටුවූය. එකි එකී පලසෙක් ම දිගින් සොළොස් රියන. පළලින් අටරියන. පලස් මෑ ත් කොට ලා විදාලන්නා ම හිරු අටක් එකවට නැගි කලක් මෙන් නුවර මුළුල්ල ම බබළා ගියේය. රජ්ජුරුවෝ පිළී පලස් ආදියෙහි අග ය කරන්නවුන් ගෙන්වා ගෙන පලස් අට ම අගය කැරවූහ. අටෙහි ම අගයෙක් නැත. බරණැස් රජ්ජුරුවෝ උන්ට ත් මා පඬුරක් යැවිය යුතු ය. පසු ව යවාලන පඬුරු නම් පෙරාතු එවූ පඬුරට වැඩී සිටිය මැනව මාගේ යාළණුවන්ට කුමක් යවම් දෝ හෝ’යි සිතූහ. එ කල ද වැළිත් කසුප් බුදුහු ලෙවුහි ඉපැද බරණැස වැඩ වසන සේක. බරණැස් රජ්ජුරුවෝ ද මේ ලෙව්හි ලා රුවනෙක් වී නම් තුනුරුවන්ට වඩා නැත. තුනුරුවන් ලොව පහළ වූ නියා ව මාගේ යාළු වූ කාෂ්ඨවාහන රජ්ජුරුවන්ට කියා යවමි’යි කියා ලා:-
බුද්ධො ලොකෙ සමුප්පන්නො - හිතාය සබ්බපාණිනං,
ධම්මො ලොකෙ සමුප්පන්නො සුඛාය සබ්බපාණි නං;
සඞ්ඝො ලොකෙ සමුප්පන්නො - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං,
යන මේ ගාථා පෙළ ද මනා ව පිළිපදනා තැන් මහණ වූ තැන් පටන් රහත් වන තෙක් පිළිපදනා ප්‍රතිපත්ති ක්‍රමය ත් රන් පත දෑහිඟුලෙන් ලියවා ලා ඒ රන් පත රුවන් කරඩුවෙක ලවා ලා ඒ රුවන් කරඬුව ඉඳු නිල් මිණිමුවා කරඬුවෙක ලා ලා ඒ කරඬුව මැ සිරිගල් මැණික් කරඬුවෙක ලා ලා ඒ කරඬුව රත් මැණික් කරඬුවෙක ලා ලා ඒ කරඬුව රන් කරඬුවෙක ලා ඒ කරඬුව රිදී කරඬුවෙක ලා ලා මුළු කරඬුව වසා සිටි සඳුන් කරඬුව පෙට්ටගමෙක ලා ඒ පෙට්ටගම කඩෙකින් වසා බඳවා ලා හස් ඔබ්බවා ඇතකු යහපත් කොට සරහා ලා ඌ පිට හස්නක් පනවා ලා ඒ හස්නෙහි පෙට්ටගම තබ්බවා ලා හෙළ කුඩයක් නංවා නො එක් පෙරහර ඇති ව තමන් සන්තක රට බද මානයේ මඟ ක් සරහවා ලා එ දෑතුරෙහි තුමූ ම වඩා ගෙන ගියහ. තමන්ගේ රට හිම සිට අතුරු රටවල රජ දරුවන්ට ත් තෙල ලෙස ම පූජා කරවමින් ඔබ කාෂ්ඨාවාහන රටට යවන්ට කියා යවූහ.
ඒ අසා රජ දරුවෝ ත් පෙර මඟට ම අවුත් කාෂ්ඨවාහන රාජ්‍ය සීමාව දක්වා තම තමන්ගේ රටවලින් මහා පෙරහරින් වඩා ගෙන ගියහ. කාෂ්ඨවාහන රජ්ජුරුවෝ පෙර මඟට අවුත් ඒ ලෙසින් ම පූජා කෙරෙමින් තමන්ගේ නුවරට ගෙන ගොසින් ඇමැත්තන් සොළොස් දෙනා නුවර වැස්සනු ත් රැස්කරවා ලා නුවර මැඳ දී වසා බැඳ ලූ කඩවසන උනවා පියා පෙට්ටගම තුබූ කරඬු දැක ආදි සඳුන් කරඬුව හැර ලා ඒ ඇතුළේ තුබූ දළ කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබූ රිදී කරඬුවත් හැර ලා ඒ ඇතුළේ තුබූ රන් කරඬුව ත් හැර ලා, ඒ ඇතුළේ තුබූ රත්මිණි මුවා කර ඬුවත් හැර ඒ ඇතුළේ තුබූ ඉඳුනිල් මිණිමුවා කරඬුවත් හැර ඒ ඇතුළේ තුබූ මැසිරි ගල්මිණිමුවා කරඬුවත් හැර ඒ ඇතුළේ තුබූ සත් රුවන් මුවා කරඬුව ත් හැර ඒ ඇතුළේ තුබූ රන් පත සන්දේශය දැක’අනේ මාගේ යාළණුවෝ බිම ලා පුවොත් දිරා පස්ව යන, ගින්නේ ලා පුවොත් දා නැති ව යන, සොර සතුරු ආදීන් ගෙන් භය උපදවන පලස් අටක් යවුව ට කප් අසඞ්ඛ්‍යයකිනු ත් ලද නො හැකි පඬුරක් එවු ය’යි බලවත්ව සතුටු ව එ පවත් ඇසූ පමණකින් ප්‍රයෝජන කිම්ද? ගොසින් බුදුනු ත් දැක බණ ත් ඇසීම් නම් යහපතැ’යි සිතා ලා ඇමති සොළොස් දෙන බණවා ලා තුනුරුවන් ලොව පහළ වුව කළමනා කිම්දැ’යි කිවු ය. මුඹ වහන්සේ මුඛ මරඳා හුන මැනව. අපි ගොසින් තව ත් දනුම්’යි ඇමැත්තෝ සොළොස් දෙන පිරිවර සොළොස් දහස ත් හැරගෙන රජ්ජුරුවන් වැඳලා ‘ඉඳින් බුදුහු ලොව උපන් සේක් වී නම් ඔබ ගෙන් බණ ත් ඇසුමෝ නම් -
බුද්ධො සබ්‍රහ්මකෙ ලොකෙ - කරවීකස්සරො වත,
වීණාය හත්‍ථිකන්තාය—තන්තියා දෙව් කුඤ්ජරා.
යනු හෙයින් භස්තිකාන්ත වීණා නාදයෙහි ඇලුණු ඇතුන් ඔබ්බට යා නො හෙන්නා සේ අපි ත් ඔබ ම රඳන්නා මුත් මුඹ නො එම්හ. නූපන් සේක් වී නම් එම්හ’යි කියාලා නික්මුණාහ.
රජ්ජුරුවන්ගේ බෑනණුවෝත් රජ්ජුරුවන් වැඳ ලා ‘හැම දෙනා යන කල මමත් යෙමි’යි කීහ. යහපත, තොපි පලා ගොසින් බුදුන් උපන් නියා ව තත්‍වයෙන් දැනලා සෙස්සවුන් සේ නො ව තොපි අවුත් මට කියාලව’යි කීහ. උයි ත් යහපතැ’යි ගිවිස්සාහ. ඔහු හැම දෙන ම කල් යන හෙයින් දෙ රැයක් එක තැනක නො ලැග බරණැසට ගියහ. උන් හැම නො යන තෙක්ම සර්‍වඥ නැමැති සූර්යයා ත් අනුපදිශෙෂ නිර්වාණ ධාතු නැමැති අව රන් පත් වීමෙන් අනන්ත අප්‍රමාණ සක්වළවල් එක පැහැර රෑ විය. ගියා වූ ඔහු හැමත් බුදුහු කොයි දැ’යි විහාර ය මුළුල්ලෙහි සොයා ඇවිදිනාහු බුදුන් හඳුනන වහන්දෑ දැක විචාළෝ ය. ඒ වහන්දෑ බුදුන් පිරිනිවි නියා ව කී සේක.
ඌ හැම දෙන ත් මෙ තෙක් තැන් අවුත් ඇසට රෝග නො වන ලෙසට දැක පිය නුහුණුම්හ. කෙළෙස් විඩා සන්හිඳුවා දහම් පැනු ත් නො ලදුම්හ’යි හඬන්නාහු ‘ස්වාමිදරුවනි. බුදුන් පිරිනිවියත් ඔබ වදාළ දෙයෙක් ඇත් නම් එයිත් එකවිට ම නැති වන්ට නැති බැවින් ඒ ඇත්තේ වේද, ඒ කිම් දැ’යි විචාළෝ ය. ‘එ සේ ය, උපාසකවරිනි, තිසරණ පිහිටිය යුතුය. පන් සිල් සමාදන් ව ඒ රැක්ක යුතු ය. පොහොය අටසිල් රැක්ක යුතු ය. දන් දිය යුතු ය. සෙසු සෙසු ත් පින් කට යුතු ය. අදහස් ලැබේ නම් ගිහි කම් කටොළු හැර මහණ විය යුතු ය. යනාදි ය වදාළ අවවාද ය යි කී සේක.
ඔහු ඒ අසා කාෂ්ඨවාහන රජ්ජුරුවන්ට බෑන වූ ඇමැත්තණු වන් සිටිය දී සෙසු ඇමැත්තෝ ත් පිරිවරත් මහණ වූහ. රජ්ජුරුවන්ගේ බෑන ඇමැත්තණුවෝ බුදුන්ගේ පාරිභෝගික ධාතු වූ ඩබරාව ත් හැර ගෙන තෙවළාධර තෙර කෙනකුන් වහන්සේ ත් කැඳවා ගෙන කාෂ්ඨවාහන නුවරට ගොසින් බුදුන් උපන් නියාව ත් විසි දහසක් හවුරුදු ජීවත් ව වැඩ හිඳ ලා පිරිනිවි නියාව ත් රජ්ජුරුවන්ට කියා ලා වදාළ අවවාද ත් තමන් අසා ගත් ලෙස ම කියා ලූ ය. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ ළඟට ගොසින් බණ අසා පැහැද විහාරයකු ත් කරවා ලා ධාතු වඩා දාගබකු ත් බඳවා ලා බෝධි කෙනකුන් වහන්සේ ත් පිහිටුවා ලා දිවි හිමියෙන් තිසරණත් පන්සිලු ත් පිහිටා මස සතර පොහොය නො වරදවා පේ වෙමින් වැඩි තෙරුන් වහන්සේ මුල් ව ඇති වූ වහන්දෑට දන් දෙන්නාහු, ආයු පමණක් සිට කළ කාමාවචර පින් හෙයින් කාමාවචර දෙව් ලොව උපන්හ. මහණ වූ ඇමැත්තන් හා පිරිවර ත් ගුණ විශේෂයක් ලද නුහුණු හෙයින් කාමාවචර දෙව් ලොවදීත් නායක ව සිටි තැනැත්තවුන් පිරිවරා උපන්හ. ඉපැද කසුප් බුදුන් පිරිනිවි තැන් පටන් අපගේ බුදුන් නූපදනා තෙක් දෙව් ලොව ම රඳා අපගේ බුදුන් උපදනාට පෙරාතු දෙව් ලොවින් සැව නායක තැනැත්තෝ පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ පිය වූ මහ කොසොල් රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණන්ට පුත් වූහ.
උපන් බමුණු කුමරුන්ට බාවාරිය නම තැබූහ. දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ලක්‍ෂණ තුනකු ත් ඇත. වේද තුනකු ත් ඉගෙන නිමවා පියා පියාණන් මළ පසු පුරෝහිත තනතුර ලත්හ. සොළොස් දහස් සොළොස් දෙනකු පමණ වූ සෙස්සෝ ත් එම සැවැත් නුවර බමුණු කුලවල උපන්හ. වඩු ව උපන් සමයෙහි ත් ප්‍රධාන වූ වඩු ආචාරීන් කෙරෙහි වඩු කම් උගත් බමුණෝ සොළොස් දෙන බාවාරී නම් වූ පුරෝහිත බමුණන් කෙරෙහි ම ශිල්ප උගත්හ. අනික් සොළොස් දහස ද ඒ සොළොස් දෙනා කෙරෙහි ශිල්ප උගත්හ. මෙ සේ ඌ හැම දෙන ම වඩු අවධියේ ත් දේවතා අවධියේ ත් එක තැන් වූවා සේ ම බමුණු අවධියේ ත් එක තැන් වූහ.
මහ කොසොල් රජ්ජුරුවෝ ත් මළහ. පසේනදි කුමාරයන් ඔටුනු පළඳවා රජ කළහ. බාවාරි සරි වයස් හෙයින් උන්ට ත් පුරෝහිත වූහ. පසේනදි කොසොල් රජ්ජුරුවෝ පිය රජ්ජුරුවන් බාවාරි පුරෝහිතයන්ට දුන් පෙරහර ත් දුන්හ. තමන් ගෙනු ත් වඩා සංග්‍රහ කළහ. කළ සංග්‍රහ නො සිස් ලෙසට බාවාරීන් අතුරෙහි ශිල්ප ඉගෙන රාජ ගුරු කළහ.
බාවාරි ද නුවණ මුහුකුරුත් මහණ වීමෙහි රුචි ඇති ව ‘රජ්ජුරුවන් වහන්ස, මහණ වෙමි’යි කීහ. රජ්ජුරුවෝ ඒ අසා ‘ආචාරීන් වහන්ස, ‘මහණ වෙමි’යි යන්නක් නොකිය මැනව. මුඹ මා ළඟ රඳා හුන්නො ත් අපගේ පිය රජ්ජුරුවන් වහන්සේ මළ ත් නොමළා හා සරි ය. සම්පතෙහි අඩු ඇත් නම් සම්පත් පුරා දෙමි. මහණ නුව මැනැවැ”යි කිවු ය. ‘ඇති සම්පතෙහි ඇලුම් නැත්තෙම් වඩා සම්පත් කැමැති වෙම් ද? ඒ නො කැමැත්තෙමි. මහණ වෙමි’යි කීහ. රජ්ජුරුවෝ නවතා ගත නොහී එසේ වී නම් නො නැවත මහණ වන පසු උදාසන ත් සවසත් ගොසින් දක්නා ලෙසට මාගේ උයන්හි දී මහණ වුව මැනැව’යි කීහ. ආචාරීහු ද සොළොස් දහස් සොළොස් දෙනා හා සමඟ තව බුදුන් නූපන් හෙයින් හෝ උපනත් උපන් නියාව නොදැන තවුස් වෙසින් දළ මඬුලු වල්කලා ආදි ය ඇති ව මහණ ව රාජොද්‍යානයෙහි විසූහ. රජ්ජුරුවෝ ත් සිවු පසයෙන් උපස්ථාන කෙරෙති. උදාසන සවස දක්නට ත් යෙති.
එක් දවසක් අතවැසි තවුසෝ නායක තවුසාණන්ට ‘නුවර ආසන්න ව විසීම මහා නපුර. සිත එකඟ වන්ට නැත. තපසට නිය ළුණ කල ගම් බඩවලුත් වුව මනා ද? නුවරට මඳක් දුරු ව තිබෙන තැනකට යම්හ යි කිවු ය. නායක තවුසාණෝ ද යහපතැ යි ගිවිස එ පවත රජ්ජුරුවන්ට කිවුය. රජ්ජුරුවෝ තුන් වර දක්වා ත් දුරු බා නො යන්ට කියා නවතා ගත නො හී ඇමැත්තන් දෙන්නකුට මසු දෙ ලක්‍ෂයක් දෙවා ලා ‘මේ තවුසන් වහන්සේ යම් තැනක වසන සේක් වී නම් එතැන තෙල දෙලක්‍ෂය වියදම් කොට විහාර කරවා දෙව’යි කීහ. නායක තවුසාණෝ ද අතවැසි තවුසන් හැර ගෙන ඇමැත්තන් දෙන්න කැටි ව උතුරු දනවුවෙන් දකුණු දණවුව බලා නික්මුණාහ. එ සේ නික්ම හිම වතින් ආ ගොධාවරී නම් ගඟ යම් තැනක දී දෙකක් ව බෙදී ගොසින් අතුර දොළොස් ගවුවක් විතර දිග පළල ඇති දිවයින් ගොඩක් කොට ලා පාත දී එක් වේ ද, යම් තැනෙක සරභඞ්ගාදි මහා පුරුෂයෝ තපස් කොට විසූ ද ඒ ගිවුළු වනයට පැමිණ ‘මෙ තැන සරුප, සිත ඇලෙයි’ කියා කැටි ව ගිය ඇමැත්තන්ට කී ය. උයි ත් ඒ බිම අනුන් සන්තක හෙයින් උන්ට දෙ ලක්‍ෂය දීලා ඒ බිම ත් හැර ගෙන ඒ බිම මඳ හෙයින් තවත් අට ගවුවක් විතර හා එක් කොට විසි ගවුවක් විතර හැර ගෙන පන්සල් කරවා ලා සැවැත් නුවරින් තවත් වස්තු ගෙන්වා ගෙන කැරැ වූ පන්සල් වලට ගමකු ත් ගෙන ලා ලා දන්විධාන කොටලා ගියහ. සොළොස් දහස් සතළොස් දෙනකු පමණ වූ ඒ තවුසෝ ද ඒ ගම නිසාත් වන මුල්-පකා-පක්කෙනු ත් රැකී ඒ පන්සල් වල වෙසෙති.
ඒ තවුසන් එ තැන රඳා හුන් අට හවුරුද්දක් විතර ගියකලට බුදුහු ලෙව්හි පහළ වූ සේක. බුදුන් පහළවූ නියා ව අසා බාවාරිය තවුසන් රඳවා ලා උන්ට ප්‍රධාන ශිෂ්‍ය වූ දුළුල්ලන් සොළොස් දෙනා නික්මුණු කලට සූ විසි ගවුවක් විතරේ පැතිර සිටිනා පිරිස් වූහ. දෙව්රම වසන බුදුහු ද ‘බාවාරියන්ගේ අතවැසි දුළුල්ලෝ බොහෝ දෙනා පිරිවරා මා කරා එති. තව උන්ගේ ඉඳුරෝ ත් මූකුරා නොගියෝ ය. මෙ තැන ත් සැප ස්ථාන නො වෙ යි. මධ්‍ය මණ්ඩලයෙහි පාෂාණක චෛත්‍යස්ථාන ය යහපත. එ තැන දී බණ කී කල බොහෝ දෙන නිවන් දකිති. මෙ තැනින් නික්මුණු කලම මුන් හැම නුවරින් නුවර වැද මා විචාරා ගෙන එන කලට බොහෝ දෙනා ත් උන් හා එක් ව එති. නුවණ ත් එතකට මුහුකුර යි’ සිතා වදාරා බොහෝ වහන්දෑ පිරිවරා සැවැත් නුවරින් රජගහා නුවර බලා නික්මුණු සේක. බාවාරිය තවුසන්ගේ අතවැසි දුළුල්ලෝ ද සැවැත් නුවරට අවුත් බුදුහු කොයි දැ’යි සොයමින් ගඳ කිළිය කරා ගොසින් බුදුන් ඔබා ලූ පදලස දැක වේද මන්ත්‍ර සලකා බුදුන් නියා ව නියම කොට ගෙන සතුටු වූහ. බුදුහු ත් කිඹුල්වත් ආදී වූ බොහෝ නුවරවලට වැද ගෙන බොහෝ දෙනාට වැඩ සඳහා පාෂාණක චෛත්‍ය ය කරා වැඩි සේක.
ඒ පාෂාණක චෛත්‍ය ය නම් කෙසේ වූ තැනෙක් ද යත්- බුදුන් නූපන් අවධිවල ගල් මුදුනේ දෙවොල් ව තිබෙ යි. බුදුන් උපන් කලට විහාර ව තිබෙයි. විහාර වුවත් නම පළමු ලෙසින් ම පවති දුළුල්ලෝ ත් බුදුන් සැවැත් නුවර නැති හෙයින් ඉන් නික්ම ධාතු නිධානයෙහි ධාතු තිබිය දී දම්සෝ රජුන් දාගැප් මුළුල්ල විදහා බැඳවූවා සේ බුදුන් ගල් දහගබ් වෙහෙර වැඩ ඉන් දදී සියලු නුවරවලට වැද ගෙන පසුව බුදුන් වැඩ හුන් ගල්දහගබ් වෙහෙරට ගියහ. ගොසින් සක් දෙවිඳු මවා ලූ මණ්ඩපයෙහි වැඩ හුන් බුදුන් දුටහ. බුදුහුත් සාද සාමීචි කොට ලා හැම දෙනාගේ අදහස් සරි නො වන හෙයින් එකම දේශනාවක් අනුකූල නො වන නියාව දැන ප්‍රධාන දුළුල්ලන් සොළොස් දෙනාගෙන් අජිත තාපසයන්ට කුදුගොත් සඟිය සූත්‍ර නිපාතයෙහි පාරායණ වග අජිත සූත්‍ර ය වදාළ සේක. දේශනා කෙළවර පිරිවර දුළුල්ලන් දහස හා සමග අජිත තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව තිස්සමෙත්තෙය්‍ය තවුසාණන් හා පිරිවර දුළුලු දහසට තිස්සමෙත්තෙය්‍ය සූත්‍රය දෙසූ සේක. දේශනාව කෙළවර පිරිවර දහසක් දුළුල්ලන් හා සමඟ තිස්සමෙත්තෙය්‍ය තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති පුණ්ණක නම් තවුසාණන් හා පිරි වර දුළුල්ලන් දහසට පුණ්ණක සූත්‍රය දෙසූ සේක. දේශනා කෙළවර පුණ්ණක තෙරුන් වහන්සේත් පිරිවර දහසත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිති මෙත්තභු[1] තවුසාණන් හා පිරිවර දහසට මෙත්තභූ සූත්‍ර ය දෙසූ සේක. දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ මෙත්තභූ තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව ධොතක තවුසාණන් හා පිරිවර දහසට ධොතක සූත්‍ර ය වදාළ සේක. දේශනා කෙළවර ධොතක තෙරුන් වහන්සේ ත් පිරිවර දහස ත් රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිතිව උපසීව තවුසාණන් හා පිරිවර දහසට උපසීව සූත්‍ර ය වදාළ සේක. දේශනා කෙළවර උපසීව තෙරුන් වහන්සේ හා පිරිවර දහස රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව නන්‍ද තවුසන්ට නන්‍ද නම් සූත්‍ර ය දෙසූ සේක. දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ නන්‍ද තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව හේමක තවුසාණන් හා දුළුල්ලන් දහසට හේමක සූත්‍ර ය දෙසූ සේක. දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ හේමක තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිතිව තෝදෙය්‍ය තවුසාණන් හා පිරිවර දහසට තෝදෙය්‍ය සූත්‍රය දෙසූ සේක. ඒ සූත්‍ර දේශනා කෙළවර පිරිවර දහස හා සමඟ තෝදෙය්‍ය තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිතිව කප්ප නම් තවුසන් හා පිරිවර දහසට කප්ප සූත්‍රය දෙසූ සේක. ඒ සූත්‍ර දේශනා කෙළ වර පිරිවර දහස හා සමග කප්ප තෙරුන් වහන්සේත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව ජතුකණ්ණි නම් තවුසාණන් හා පිරිවර දහසට ජතුකණ්ණි සූත්‍ර ය දෙසූ සේක. ඒ බණ අසා ජතුකණ්ණි තෙරුන් වහන්සේ ත් පිරිවර දහස හා සමග රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිතිව භද්‍රායුධ තවුසාණන් හා පිරිවර දහසට භද්‍රායුධ සූත්‍රය දෙසූ සේක. දේශනා කෙළවර බොහෝ කෙලෙස් සතුරන් නැසීමෙහි වජ්‍රායුධයක් ව භද්‍රායුධ තෙරුන් වහන්සේ ත් පිරිවර දහස ත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව උදය තවුසාණන් හා පිරිවර දහසට උදය සූත්‍ර ය දෙසූ සේක. දේශනා කෙළවර උදය තෙරුන් වහන්සේ හා පිරිවර දහසත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
ඉක්බිති ව පෝසාල තවුසාණන් හා පිරිවර දහසට පෝසාල සූත්‍රය දෙසූ සේක. දේශනාව කෙළවර සහපිරිවරින් පෝසාල තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක්බිති ව මොඝරාජ තවුසාණන් හා පිරිවර දහසට නමින් කුමක් වුව ත් තමා අමෝඝ වූ මෝඝරාජ සූත්‍රය දෙසූ සේක. මෝඝරාජ තෙරුන් වහන්සේත් පිරිවර දහසත් රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. ඉක් බිති ව පිංගිය තවුසාණන් හා පිරිවර දහසට පිංගිය සූත්‍රය දෙසූ සේක. බණ අස අසාම බාවාරි නම් වූ මයිල් තවුසාණන්ට මේ සදහම් නැමැති අමා රස සම්භ වේ දෝ නො වේ දෝ හෝ’යි යන සිතිවිලි නිසා සිත තර ව යොමු කරන්ට නු වූ හෙයින් පිංගිය තෙරුන් වහන්සේ රහත් වන්ට නොව අනැගැමි වූ සේක. පිරිවර දහස එබඳු වික්‍ෂෙපයක් නැති හෙයින් රහත් වූ සේක.
පිංගිය තෙරුන් වහන්සේ තමන් වහන්සේ ඇසූ බණ ගොස් මයිල් වූ බාවාරි තවුසන්දෑට කියන කලට බුදුහු වැඩ හුන් ගල් සෑ වෙහෙරින් බොහෝ වහන්දෑ පිරිවරා දෙව්රම් වැඩි සේක. ඊ වැඩ හිඳ ම රස් කඳන් විහිදුවා පියා පිංගිය තෙරුන් වහන්සේ හා බාවාරිය තවුසන්දෑ හුන් තැන වැඩ හුන්නා සේව ලා බණ වදාළ සේක. බණ කෙළවර පිංගිය තෙරුන් වහන්සේ මයිලණුවන්දෑ හැර අනුභව කරණ දහම් අමා හෙයින් ආදි සිත සේ අනුභව කරන්ට නු වූවත් එ විට සිත සේ අනුභව කොට රහත් වූ සේක. බාවාරි තවුසන්දෑ අනගැමි වූ දෑ ය. බාවාරියන්දෑගේ අතවැසි පන් සිය ය සෝවාන් වූහ.
මෙ සේ -
“තතො පාසාණකෙ රම්මෙ - පාරායණ සමාගමෙ,
අමතං පායයි බුද්ධො - චුද්දසා පාණකොටියො”
යනු හෙයින් ගල් සෑ වෙහෙරදී තුදුස් කෙළක් නිවන් දැක් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මෙත් සිත්හි තබා අධිගම ව්‍යක්තියට උත්සාහ කට යුතු.
-
මෙත්තගු-සමහර ↑