එක් සමයෙක බුදුහු රජගහා නුවර වස් වැස ලා වස් අන්ත වූ දෙ පෝයක් විතරින් සැරිසරා වඩනා සේක් කැටි ව වඩනට සිතන වහන්දෑට සිවුරු රැඳීම් ආදී වූ කාර්‍ය්‍ය සපයනු නිසා සැරිසරා වඩනා නියාව අනඳ මහතෙරුන් වහන්සේ ලවා කියවන සේක. ඒ කවරදා ත් තිබී ආ පනතෙක. වහන්දෑ සිවුරු රැඳීම් ආදියට පටන් ගත් කලට මහසුප් මහ තෙරුන් වහන්සේ ත් තමන් වහන්සේගේ ඝන බොල් වූ පවුල් සිවුරු සෝධන්ට පටන් ගත් සේක. වහන්දෑ ද ඔබ සිවුරු සෝධන්නා දැක ‘මුන් වහන්සේ සිවුරු සෝධන්නේ හැයි ද? මෙ නුවර ඇතුළත කැටි ව පිටත මිනිස්සු අටළොස් කෙළක් වෙසෙති. උන් හැම දෙනා ගෙන් යම් කෙනෙක් මුන් වහන්සේට නො නෑයෝ වූ උපාසකවරු ය. යම් කෙනෙක් උපාසක නො වෙත් නම් ඌ නෑ යෝ ය. එ සේ හෙයින් ඒ දෙපක්‍ෂය ම මුන්වහන්සේට සකසා උපස්ථාන කෙරෙති.
තෙක් උපස්ථාන තිබිය දී මුන් වහන්සේ කො යි යන සේක් ද, සිවුරු සෝධන්නේ රට සැරි සරන නිසා ය. ඉදින් වඩනා සේක් වී නමුත් බුදුහු යම් හොයක් බඩ සිට රැඳවිය යුතු තැන් රඳවා නො පමාව යි වදාරා ලා රඳවන සේක් වී නම් ඒ නො පමා නම් හොය කරා ගොසින් ලා නවත්නා සේකැ’යි කී සේක.
බුදුහු ත් සැරිසරා වඩනා සේක් ‘මෙ නුවරත් අටලොස් කෙළක් මිනිස්සු වෙසෙති. උන් හැමගේ මඟුලේ අවමඟුලේ භික්ෂූන් එළඹිය මැනව. එ හෙයින් වෙහෙර සිස් කරන්ට ත් බැරි ය. කවුරුන් රඳවමෝ දෝ’යි සිතා වදාරා ‘මහසුප් මහ තෙරුන් වහන්සේගේ නෑයන් හා උපාසකවරු බොහෝ ය. උන්ට එ සේ හෙයින් සිවු පසයෙන් හානි නැත. උන් රඳවමි’යි සිතා මහසුප්නි, වෙහෙර සිස් කරන්ට බැරි ය. මිනිසුන්ගේ මඟුලේ අවමඟුලේ දී භික්ෂූනු ත් අනුමෙවෙනි ආදි ය නිසා ඇත මැනව. තොපි තොපගේ පිරිස ත් හා සමග රඳව’යි වදාළ සේක. ‘යහපත, ස්වාමීනි’ කියා ලා පිරිවර හා සමඟ රැඳුණු සේක. වහන්දෑ ද ඔබ රැඳුණා දැක ‘ඇවත්නි, දුටුවු ද? යමක් අපි කීමෝ නම් ඒ මවිය. සිවුරු සෝධන්ට වන්නේ ත් සෝධන සිවුරෙක් නො වන නියා වේ දැ’යි කී සේක.
බුදුහු වහන්දෑගේ කථාව අසා කුමක් ද තොප හැම කියන්නේ ය යි විචාරා මහසුප් ස්වාමීන්ගේ පවත් නියාව කී කල්හි ‘මහණෙනි, තෙපි මහසුප් මහ තෙරුන් කුලෙහි ගෙණෙහි ඇලී වෙසෙති කියවු ද? උන් තමන් රඳන්ට සිතා රැඳුණු ගමනෙක් නො වෙ යි. මාගේ බසින් රැඳුණු ගමන. හෙම්බා, මූ පෙර මේ තනතුරට පතන්නෝ ත් සඳ යම් සේ රස් පතුරුවන පමණක් මුත් කුමක ත් නො ඇලේ ද, එ මෙන් සිවු පසෙහි ඇලුම් නැති ව කුලවලට එළඹෙන්ට සමර්ථ වේව යි පැතූ ය. එ හෙයින් මුන්ගේ කුමක ත් ඇලුම් නැත. චන්‍දොපමා පටිපදාවත් ආර්යවංශ පටිපදාව කියන්නා වූ මම ද මුන් මුල් කොට කීමි’ වදාළ සේක. වහන්දෑ මේ තනතුරට මුන් වහන්සේ පැතූ කල් විචාරා අසනු කැමැත්තෝ දැ’යි වදාළ කල්හි ‘එ සේ ය, ස්වාමිනි’ කී සේක.
බුදුහු ‘මෙයට ලක්‍ෂයක් වන කප පියුමතුරා නම් බුදු කෙනෙක් ලොව උපන්හ’ යනාදීන් පියුමතුරා නම් බුදුන් සමයෙහි පැතූ පැතීම ආදි කොට මහ තෙරුන් වහන්සේගේ පූර්ව චරිතය මුළුල්ල ම වදාළසේක. ඒ ථෙරගාථා පෙළ විස්තර හෙයින් ආයේය. මෙ සේ වදාරා ලා ‘මහණෙනි, මපුත් මහසුප් මහ තෙරහු කුඩා විලකට බැස ගොදුරු කා ලා විල වේව යි කුමක වේව යි ඇල්මක් නැති ව යන රාජහංසයක්හු මෙන් කිසිවෙක ත් ඇලුම් ඇත්තෝ නො වෙතී’ වදාරා තව ත් රහතන්ගේ ම ගුණ වදාරා රහත් වීමට උත්සාහ කරවන බුදුහු ‘සෙස්සවුන්ට සිහි ඇතත් සිහි විපුල කොට ඇත්තේ රහතන්ට හෙයින් සිහිමත් වූ රහත්හු තමන් ලද්දා වූ ලොපුතුරා ගුණෙහිත් ධ්‍යානාදී වූ ලොවී ගුණෙහිත් ආවර්ජනාදීන් යෙදී වෙසෙති. කිසිවෙක ත් උන්ගේ ඇල්මෙක් නැත.
යම් සේ ගොදුරු බොහෝ විලකට බැස පක්ෂීහු ගොදුරු අවුළා කාලා යන කල ‘අපගේ විල ය, අපගේ පැනය, අප ගෙ පියුම ය, අපගේ ඉපුලය, අපගේ තැන ය’යි කිසි ඇල් මෙක් නො කොට හැර පියා උඩ නැඟී අහස කෙළනාහු තමන් රුචි තැනකට යෙත් ද, එ පරිද්දෙන් රහත්හු ද යම් කිසි තැනෙක කිසිවෙක ත් නො ඇලී යන කල ත් මාගේ වෙහෙර ය. මාගේ පිරිවෙණ ය, අපගේ උපාසක වරු ය’යි සියල්ලෙහි ම ඇලුම් හැර යෙතී” වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් සියල්ලක් ම ඇල්ම නම් තෘෂ්ණාව තමා ධර්‍ම හෙයින් එකතු බව මුත් අවස්ථාව හෙයින් එක් සිය අට සැටියක් ඇති හෙයින් ක්‍රමක්‍රමයෙන් තුනී කොට ගෙන ගොසින් රහත් මගින් තුනී අවස්ථාවක් නසන ලෙසට උත්සාහ කට යුතු.